Tuesday, January 8, 2013

අපිට සහනාධාර ඕනද ?


අපි දන්නා කියන කාලේ ඉදලම ලංකාවේ මිනිස්සුන්ට සහනාධාර ලැබුනානේ. ජනසවිය හරි සමුර්ධි හරි දැන් ඔය දෙන්න යනවයි කියන දිවිනැගුම හරි යනාදී විවිධ නම් වශයෙන්.දැන් ඉතින් ඔය දෙන සහනාධාරෙන් ජීවිතේ ගොඩනගාගත්ත කීදෙනෙක් ඉන්නවද ?මං හිතන්නේ එකෙක්වත් නැතුව ඇති.

මන්නම් හිතන්නේ අපි මේ නිකම් දෙන සහනාධාර නවත්වන්න ඕන.ඇත්තටම මෙහෙම සහනාධාර දීමෙන් වෙන්නේ ඒ මිනිස්සුන්ගේ පිටකොන්ද කඩලා දාන එක.දුප්පත් මිනිස්සු කියලා ඒ අය වෙන්කරන එක.මං දරන මතය තමයි නිකම් ඉදලා සතයක්වත් ගන්න මිනිහෙක් පුරුදුවෙන්න නරකයි.එහෙම උනාම ඒ මිනිහා හැමදාම නිකම් දෙන දේට විතරක් පුරුදු වෙලා කවදාවත් දියුණුවෙන්න බලන්නේ නැහැ.අනිත් එක ඔය දෙන සොච්චමෙන් සතියක්වත් කන්න පුලුවන්ද. බැහැනේ.

හැබැයි ඉතින් සමුර්ධි ණය මුදල් අරගෙන ව්‍යාපාර ගොඩනගාගත්ත අයනම් ඉන්නවා.ඒකනිසා මං හිතන්නේ වහාම මේ සහනාධාර නවත්තලා  මිනිස්සුන්ට තමන්ගේ මහන්සියෙන් දියුණුවෙන්න ඉඩ සලසන්න ඕන.ඒකට මුල්‍ය ආධාර කලාට කමක් නැහැ.

හැබැයි ඒකෙන් මං අදහස් කරන්නේ නැහැ.වයසක අහිංසක අම්මලා තාත්තලාට දෙන පින් පඩිය නැත්නම් සමුර්ධිය නවත්වන්න ඕන කියලා.මොකද ඒ මිනිස්සු යන්තම් හරි බෙහෙත් ටිකක්වත් ගන්නේ ඒකෙන් නිසා.හොදට අතපය හයිය තියෙන මිනිස්සුන්ට සහනාධාර නොදී දියුණුවෙන්න උදව් කලානම් හොදයි කියලා මං හිතනවා.සහනාධාර නවත්තුවට හදිසි අවස්තාවකදී විපතට පත්වෙන අයට සුභසාධක කටයුතු තවත් වැඩිදියුණු කලයුතුයි.

ඒත් ඉතින් මේ ඉන්න දේශපාලකයොත් එක්කනම් මේ වැඩේ කරන්න බැහැ.හැම චන්ද වෙදිකාවකම කියන්නේ අරක අච්චර මෙච්චර ගානකින් වැඩිකරනවා කියලනේ.විපක්ෂෙත් හැමදාම කියන්නේ මදි මදි මදි කියලනේ.මොකද ඉතින් ඒ අයගෙත් මඩිය තරවෙන්නේ මේවට අයවැයෙන් වෙන්වෙන ගාන වැඩිවෙන තරමටනෙ.

දියුණු වෙච්ච හැම රටක්ම වගේ මිනිස්සුන්ට දියුණුවෙන්න උදව්කලා මිසක් නිකම් සහනාධාර දීලා හිගාකන්න පුරුදු කලේ නැහැනේ.සමහරවිට ඔයාලගේ අදහස් මීටවඩා වෙනස්වෙන්න පුළුවන්.ඒක නිසා ඔයාලගේ අදහසුත් දක්වලා යන්න.

10 comments:

  1. අපේ පැත්තෙ ආච්චි කෙනෙක් අමාරුවෙන් යනවා පිං පඩිය ගන්න.මම ඇහුවා කීයක් හම්බ වෙනවද කියලා.රුපියල් 100 ලු.මාසෙකට රුපියල් සීයෙන් මොනවද කරන්න පුලුවන් ?

    ReplyDelete
    Replies
    1. රුපියල් 100 පින්පදිය ගන්න යන්නේ ත්‍රීවීල් එකට රුපියල් 50 ක් දීලා

      Delete
  2. ඔව් නිකන් දෙන්න හොද නෑ.විශේෂයෙන් කෑම සදහා.මූල්‍යාධාර දීලා ඔවුන්ගෙන් රටේ ආර්ථිකයට අවශ්‍ය සේවාවන් ලබා ගන්න ඕනි.ඔබේ මතයට මාත් එකගයි.මේ රට ගොඩනගන්න නම් මිනිස්සු තනි තනියෙන් දියුණු වෙන්න ඕනි.ඒකට ඔය දෙන සහනාධාර අඩු කරන්න ඕනි.ණය හැර.නමුත් දැන් ඒකට කල් වැඩියි.එහෙම අඩු කලොත් ජනතාවත් එක්ක ආණ්ඩු විරෝධි අනිත් පක්ෂ පාරට බහිනවා.ආණ්ඩුවට ගෙදර යන්න වෙනවා.ඒකෙන් පැහැදිලි වෙන්නේ මේ රටේ කිසිම දේශපාලන පක්ෂ‍යකට රට නියමා කාරයෙන් ගොඩනගන්න උවමනාවක් නැති බව.

    ReplyDelete
    Replies
    1. විපක්‌ෂෙත් බලන ඉන්නේ ආණ්ඩුව එහෙම එකක් කියනකන් ,තමන්ගේ වාසියට හරවගන්න

      Delete
  3. ඔබේ සංකල්පය හොඳයි.ඒත් සහනාධාරවලට අපේ මිනිස්සු දැන් පුරුදුම වෙලා..

    ReplyDelete
  4. සහනාධාර කියන එකේ තේරුම අපේ මිනිස්සු දන්නේ නෑ.... එක පැත්තකින් දවස කන්න හාල්, පරිප්පු, පොල් ටික දෙනවා.. අනිත් පැත්තේ සමෘද්ධි.. අනිත් පැත්තේ පැන්ෂන් එක.. අනිත් පැත්තේ මාසික පඩිය.

    ඔය ‌ඔක්කොම එක එක වෙලාවකට දේශපාලකයෝ සහනාධාර කරගන්නවා... එහෙම මිසක් කෙනෙක්ට යමක් ගොඩ නඟා ගන්න දෙන සහනාධාරයෙන් හවසට බොන පාටි දාන මිනිස්සන්ට ඒ සල්ලි අවශ්‍ය නෑ... රාජ්‍ය බැංකුවලින් ගන්න ණයත් දැන් දැන් මිනිස්සු හිතාගෙන ඉන්නේ සහනාධාර කියලා....

    සමහර දේශපාලකයෝ කෙනෙක් වැඩ කරලා ගන්න පඩියත් සහනාධාරයක් විදියට තමයි දේශපාලන වේදිකා වල කතා කරන්නේ... ඒක නිසා ඉස්සර වෙලා සහනාධාරයක් කියන්නේ මොකද්ද කියලා අපේ මිනිස්සුන්ට කියලා දෙන්න ඕනේ..

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත,සමහර දේශපාලකයෝ පඩි වැඩිවීම් ගැන කතාකරන්නේ මිනිස්සු නිකම් ඉදලා පඩි ගන්නවා වගේ හිතලා.අනුකම්පාවට තමයි පඩි වැඩි කරන්නේ.

      ණය ගැන කියනවනම් දැන්නම් ටිකක් ඔය මතය අඩුයි.ඉස්සරනම් සෑහෙන තදට ඕක තිබුනා.ණය අයකරන්න ගියාම අපි වැටුණු අමාරු දන්නේ අපි විතරයි.

      ඒ උනාට මගේ අත්දැකීමෙන් කියන්නේ පොඩි මිනිස්සු කොහොමහරි ණය ගෙවනවා.ලොකු උන තමයි පොලු තියන්නේ

      Delete
  5. මාළු බෑමට අවශ්‍ය බිලී පිති නූල් බිලී කොකු සියල්ල දෙන්න, අවශ්‍ය උපදෙසුත් දෙන්න. එහෙත් මාළුන් අල්ලා නොදෙන්න. ඒක ලංකාවේ කවදා වෙයිද මන්දා. හැමදාම මාළු අල්ලලා දීලා හරියන්නේ නැහැ. අල්ලාගන්න විදිහ කියලා දෙන්න ඕනේ

    ReplyDelete
    Replies
    1. දැන් මාළු උයලා කවන්නත් වෙලානේ තියෙන්නේ

      Delete

මොකෝ කියන්නේ ,ආපු එකේ මොනවහරි කියලම යමුනේද ?

linkwithin

Related Posts Plugin for WordPress, Blogger...