Showing posts with label මගේ විචාර. Show all posts
Showing posts with label මගේ විචාර. Show all posts

Friday, September 27, 2013

සිරදම හා මිතුදම - Shawshank Redemption


ඔන්න ඉතින් කාලෙකට පස්සේ චිත්තරපටියක් ගැන විස්තරයක් දෙන්න හිතුනා.අද මං කියන්න යන්නේ Shawshank Redemption චිත්‍රපටිය ගැන.මේක බලපු අයත් ඉන්න පුළුවන්...කතාව ටිකක් කියන්නම්කො....

Andy Dufresne කියලා බැංකුවක වැඩකරන කෙනෙක් තමන්ගේ බිරිඳ සහ ඇයගේ අනියම් සැමියා මරා දැමීමේ වරදට ජීවිතාන්තය දක්වා සිර දඬුවමකට ලක්වෙනවා.කතාව පටන් ගන්නේ එතැනින්.ඉතින් මෙහෙම හිරගෙදරට එන Andyට හමුවෙනවා හොද යහළුවෙක්.ඔහුගේ නම red.එයාගේ විශේෂත්වය වෙන්නේ ඔහුට තියෙනවා බලධාරීන්ට හොරෙන් හිරගේ ඇතුලට යම් පොඩි පොඩි දේවල් ගෙන ඒමේ හැකියාවක්.ඉතින් ටික දවසකින් මේ Andy සහ red හොඳ යහළුවෝ වෙනවා.

Andy ගේ ප්‍රියතම විෂයක් තමයි භූ විද්‍යාව.ඒ වගේම ඔහුගේ ප්‍රියතම ක්‍රීඩාව වෙන්නේ චෙස්.ඉතින් red ට කියලා පොඩි ගල් කැටයම් කරන මිටියක් ගෙන්නා ගන්න Andy ඒකෙන් චෙස් ඉත්තෝ කපන්න පටන් ගන්නවා.මේ අතරේම Andy සහ red වටා යහලුවෝ ටිකකුත් එකතුවෙනවා.මේ අතරේ Andyට නොසිතුවිරු ඉරණමකටත් ගොදුරුවෙන්න සිදුවෙනවා.හිරේදී තමන්ට පැමිණෙන හැම බාදකයක්ම ජයගන්න Andy සමත්වෙනවා.ඒ වගේම තමන්ගේ සහෝදර හිරකරුවන්ට පොත් කියවන්න පුස්තකාලයක් ඇති කරන්නත් Andy සෑහෙන්න මහන්සි වෙනවා.මේ අතරේම තමන්ගේ බැංකු දැනුම යොදවලා හිරගෙදර පාලකයා සහ ජේලර්ලා අල්ලගන්නත් Andy සමත් වෙනවා.

ඒත් ඉතින් Andy ගේ බැංකුකටයුතු පිලිබඳ දැනුමත් ඔහුගේ නිදහසට සීමාමායිම් ගෙන එනවා.මේ විදිහට අවුරුදු 20 ක් විතර ගතවුණු තැන එක දවසකදී Andy හිටිහැටියේම අතුරුදහන්වෙනවා කාටත් හිතාගන්න බැරිවිදිහට.ඇත්තටම Andyට වුනේ මොකක්ද කියලා දැනගන්නනම් ඔයාලට ෆිල්ම් එක බලන්නම වෙනවා. 

මෙහි andy ගේ චරිතයට පනපොවන්නේ Tim Robbins විසින්. මේ චිත්‍රපටියේ විශේෂත්වයන් කිහිපයක්ම තියෙනවා.එකක් තමයි මෙහි කිසිම දෙයක් අතිශයෝක්තියෙන් දක්වලා නොතිබීම.හිරගෙදරක [ලංකාවේ ආකාරයට නොවේ] සාමාන්‍යයෙන් දක්නට ලැබෙන සමලිංගිකත්වය,සැර පරුෂ ජේලර්වරු මෙහි දක්නට පුළුවන්.අනිත් එක තමයි අපි අවසානෙදි වෙන්නේ මොකක්ද කියලා අපිට හිතාගන්න බැරිවීම.මොකද අපි හැමදේම දැක්කත් Andy ගේ සිතුම්පැතුම් අපිට තේරුම් ගන්න බැහැ.චිත්‍රපටිය බැලුවොත් ඔයාලටත් ඒක තේරේවි.මේ චිත්‍රපටිය ගලායන්නේ red ගේ මතකය අවදිකිරීමක් විදිහට.සුප්‍රකට නළු Morgan Freeman තමයි red ගේ චරිතයට [narrator] පනපොවන්නේ.ඔහුගේ ගැඹුරු කටහඬ චිත්‍රපටියට එකතුකරන්නේ අමුතුම ශක්තියක්.

අනිත් එක තමයි සැලකියයුතු කිසිදු සම්මානයක් දිනා නොගත්තත් මේ චිත්‍රපටිය මේ වෙනකොට IMDB සිනමා දර්ශකයේ මුල් ස්ථානය දිනාගෙන ඉන්නෙත් මේ චිත්‍රපටිය.ඇත්තටම කියවනම් ඒකෙ පුදුමවෙන්න දේකුත් නෑ කියලා ඔයාලට මේ චිත්‍රපටිය බැලුවාම තේරේවි.මේක මාත් මේ වෙනකල් බලලා තියෙන හොඳම චිත්‍රපටිය කියලා මටත් බයනැතිව කියන්න පුළුවන්.ඉතින් ඒක නිසා මං ආරාධනා කරනවා බලලා නැති අයට මේ චිත්‍රපටිය බලන්න කියලා....

මෙතනින් ගිහින් චිත්‍රපටිය බාගන්න පුළුවන්.....[360 mb විතර]

චිත්‍රපටියේ trailer එක...



ගෙහුං එන්නං ..ටටා...

Friday, March 8, 2013

උතුරු මිතුරු යුගයේ සංඛේතය යාල් දේවි


බ්ලොග් එක පටන් අරගෙන සෑහෙන කාලයක් ගතවුනත් මගේ ප්‍රියතම දෙයක් ගැන කිසිවක් ලියන්න බැරිවුණා.පින්තුරේ දැක්ක ගමන් තේරුම් ගන්න පුළුවන්නේ.ඒ තමයි කෝච්චි.ඉතින් මං මේ ගැන නොලිව්වට අපේ බ්ලොග් අවකාශේ යාළුවෝ කිහිප දෙනෙක්ම මේ ගැනම බ්ලොග් ලියන අය ඉන්නවනේ,කොහොමවුනත් මාත් පුලුපුලුවන් හැටියට දන්නා හොයාගත්තදෙයක් කොටලා දාන්න හිතුවා.අද කියන්න යන්නේ "යාල් දේවිය" ගැන.ඇත්තටම නම ඇහෙනකොට කෝච්චියකට වඩා දෙයක් හිතට එනවා නේද?මං මේ වෙනකොට මගේ කාර් කට්ටෙන් හරි බස් එකේ හරි ලංකාවේ සෑම තැනකම කරක්ගහලා තියෙනවා.ඒත් තාම මන්නාරමටවත් යාපනේටවත් ගිහින් නැහැ.වාසනාවක් තිබුනොත් කෝච්චියෙන්ම ඒ තැන්වලට යන්න තමයි මං හිතාන ඉන්නේ.

කොහොමවුනත් මාතෘකාවට බහිමුකො.ඉතින් පොත් පතේ සදහන් විදිහට යාල් දේවිගේ ආරම්භය වෙලා තියෙන්නේ 1956 අප්‍රේල් 23 වෙනිදා.ඇය තනිවම නෙමෙයි මේ ලෝකෙට බිහිවෙලා තියෙන්නේ.ඇගේ නිවුන් සහෝයුරියන් වන රුහුණු කුමාරි සහ උඩරට මැණිකෙත් එක්කයි.

මේවයේ කාලසටහන් හදලා තියෙන්නෙත් හරිම අපූරු විදිහට,ඒ කියන්නේ උදේ කෑම කාල මාතරින් රුහුණට නගින මගියෙකුට රෑ කෑමට යාපනේ යන්න පුළුවන් විදිහටයි ඒවා පෙළ ගස්වලා තිබුනේ.
කොළඹ සිට කි මී 409 ක දුරක් ගෙවා කන්කසන්තුරේට ලගාවුණු යාල්දේවිය එකල දීර්ගතම දුමරිය ගමනට හිමිකම් කිව්වා.නැවත්තුවෙත් රාගම,පොල්ගහවෙල,කුරුණෑගල,මහව හන්දිය,අනුරාධපුර,මැදවච්චිය,වවුනියා,අලිමංකඩ,යාපනය සහ කන්කසන්තුරයෙයි විතරයි.සුද්දන් උතුරු දුම්රිය මග තනවන්නත් හේතුවුණු කාරණයක් තියෙනවා.ඒ තමයි ලංකාවේ අනිත් පළාත්වලින් වෙන්ව හුදකලාව පිහිටි යාපනය ලංකාවේ අනිත් පෙදෙස් සමග සම්බන්ධ කර එක.ඉතින් ඒ කාරණේ මේ දුම්රිය මගෙන් හොදින්ම ඉටුවුනා.එකල නගරාන්තර දුම්රිය සාමන්යෙන් පැය 6 කින් විතර කොලබ සිට යාපනයට ගිහින් තියෙනවා.ඉතින් අපේ රටේ හිටපු ත්‍රස්තවාදීනුත් දැක්කා මේ දුම්රිය මග තියෙනකම් නම් තමන්ගේ අරමුණු ඉෂ්ට කරගන්න බැරිබව.ඒක නිසා තැනින් තැන වරින් වර බෝම්බ අටවලා දුම්රිය ගමනාගමයට බාදා ඇතිකළා.මෙතනින් ප්‍රදානම සිදුවීම වුනේ 1985 ජනවාරි 19 වෙනිදා ,එදා අත්වූ ප්‍රහාරයෙන් සාමාන්‍ය වැසියන් සියගනනකුත් හමුදා සාමාජිකයින් 28 දෙනෙකුත් මරුමුවට පත්වුනා.ඉතින් කොහොමහරි මේ නිසා යාල් දේවියගේ ගමනත් 1990 ඉදලා වව්නියාවට සීමාවුනා.


උතුරු දුම්රිය මාර්ගය ඇතිවුණු හැටිත් ලංකාවේ අනිත් දුම්රිය මාර්ගවලට වඩා වෙනස්.හැම දුම්රිය මාර්ගයක්ම වගේ පටන් අරගෙන තියෙන්නේ කොලබ සිටයි.වරින් වර දික්කරමින් තමයි ඒ දුම්රිය මාර්ගයන් ගොඩ නැගිලා තියෙන්නේ.හැබැයි උතුරු දුම්රිය මාර්ගය කොලබ පැත්තෙන් මෙන්ම යාපනය පැත්තෙනුත් ඉදිකිරීම් වෙලා තියෙනවා.ඒ මෙහෙමයි බ්‍රිතාන්‍යන් විසින් 1877 දි උතරු දුම්රිය මාර්ගය ගොඩ නැංවීම පිළිබද කොමිසමක් පත් කරලා තියෙනවා.ඒකෙන් යෝජනා කරලා තියෙනවා පොල්ගහවෙල සිට යාපනයට දුම්රිය මගක් තැනිය යුතුයි කියලා.

ඒ අනුව 1891 සිට 1893 දක්වා පොල්ගහවෙල සිට කුරුණෑගලට දුම්රිය මග තනා තියෙනවා.ටික කලක් වැඩ නැවතී තිබී 1903 දී අනුරාධපුරය දක්වා වැඩ අරාබී තිබෙනවා.ඒ අතරම 1902 දී කන්කසන්තුරේ සියට චාවකචේරි දක්වාත් පලෙයි දක්වාත් දුම්රිය මග තනන්නට පටන්ගෙන තිබෙනවා.ඉන් පසු පලෙයි සිට අනුරාධපුරය දක්වා දුම්රියමග තනා තිබෙනවා.1912 දී මන්නාරම් පාලමත් තනා එම දුම්රිය මගෙත් වැඩ නිමකර තිබෙනවා.ඉන්පසු ඉන්දු ශ්‍රී ලාංකික ඒකාබද්ධ දුම්රිය සේවය ආරම්භ වී තිබෙනවා.

ආ....කියන්න අමතක වුනානේ කදුකරයේ වැඩකරන්න එන ඉන්දීය කම්කරුවන්ගෙන් කොලරාව වැනි රෝග උතරු කරයේ ජනතාවට බෝවීම වැලක්වීමටත් සුද්දන් මේ දුම්රිය මග යොදාගත්තා.කෙසේවෙතත් දැන් අමිහිරි යුධ මතකයෙන් පසුව දැන්  නැවතත් උතුරු දුම්රිය මගේ වැඩ ඇරබී තියෙනවා.දැනට ඕමන්ත දක්වා දුම්රිය මග තනා අවසන්.හැබැයි තවත් හදන්න ගොඩක් තියෙනවා.

කොහොමවුනත් අපි ප්‍රාර්ථනා කරමු අපි වාසනාවත්තවෙයි කියලා ඉක්මනටම යාල්දේවියේ නැගලා යාපනේ යන්න.මොකද වෙනත් දුම්රියන් වගේ නෙමෙයි යාල්දේවිය කියන්නේ සංස්කෘතීන් දෙකක් අතර තානාපතිවරයෙක්.දකුණේ කළු දොදොල් උතුරට අරන් ගිය සහ උතුරේ කර්තකොලොම්බන් අඹ දකුණට ගෙනාපු වෙළෙන්දෙක්.ඔක්කොටම වඩා අනවබෝධයෙන් සිටින දෙදෙනෙක් අතර සාම දූතයෙක්.පල්ලෙහායින් තියෙන රූපරචනාව බලන්නකෝ.මං කිව්වා කතාව ඔයාලට තේරේවි....





ඒ වගේම මේ දැන්වීමත් මතක ඇතිනේ.......



උතුරු මිතුරු වැඩසටහන දැනට නැවතී ඇතත් යාල් දේවිය නම් උතුරු මිතුරියගේ ආගමනය අපි සැවොම ආදරයෙන් බලා සිටින බවත් කියන්නම ඕනා....

චායාරුප සහ තොරතුරු
http://www.slrfc.org/2008/12/05/yaal-devi-the-queen-of-express-trains
http://en.wikipedia.org/wiki/Yal_Devi

Monday, February 18, 2013

බිව්වම කියන සින්දු මොනවද??


පහුගිය පොස්ට් ටික වගේම අදත් ලියන්න යන්නේ සින්දු ගැනම තමයි.හැබැයි අද ටිකක් වෙනස් සින්දු ටිකක් ගැන ලියන්නේ,හැබැයි ඉතින් අපේ ගොඩ දෙනෙකුටත් අදාළ මාතෘකාවක්.මං අද ලියන්නේ බිව්වම ඒ කියන්නේ බීලා වෙරිවුනාම කියන සින්දු මොනවද කියලා.

පිටරට කස්ටිය වගේ නෙමෙයි අපේ රටේ පැරණි මහලු කට්ටිය වගේම දැන් හැදෙන සමහර තරුණ ගැටයොත් මඩු විතකින් සප්පායම් වුනාම පොඩි ආතල් එකක් ගන්න සින්දු කියනවනේ.ඒකනේ කියන්නේ අපේ රටේ මිනිස්සු හරිවෙනස් කියලා.[හැබැයි ඔන්න මේකනම් කියන්න ඕනේ සින්දු කීම කෙසේවෙතත් බීම නම් මමත් අනුමතකරන්නේ නැහැ].ඔන්න ඔය වෙලාවට තමයි ගොඩක් ඇයගේ සැගවුණු ගායන දක්ෂතා කරලියට එන්නේ.මං හිතන්නේ හිතේ තියෙන ලැජ්ජාව සබකෝලය නැතිවීම ඒකට හේතුවෙනවා ඇති.

වැඩේ කියන්නේ සමහර අය මේ වෙලාවට පැරණි සින්දුවලට අලුත් ගීපද යොදා ගායන කරන එකයි.අපෙත් එකෙක් හිටියා මිනිහ ගොඩක් සින්දුවලට අලුත් පදමාලා ගොතනවා.[ඒ කියන්නේ කුණුහරුප දාලා කියන එක නෙමෙයි]ඔන්න මට මතකයි මිනිහා දවසක් පෝල් පෙරේරා මහත්තයාගේ "සුදු පාට ගවුමේ ..."සින්දුව කියනවා.මෙන්න මෙහෙමයි මිනිහා ඒක කියන්නේ."සුදු පාට ගවුමේ .....ලිඳ ගාව රවුමේ..."ඇතිනේ ,ඔන්න ඔය විදිහට තමයි.හැබැයි වැඩේ කියන්නේ ඔය සින්දුවම මිනිහා බීලා නැතිවෙලාවට හරියට කියනවා.

ඊලගට වැදගත් වෙන්නේ මේ වෙලාවට පාවිච්චිවෙන සංගීත භාණ්ඩ.ගොඩක් වෙලාවට මේ වගේ සාජ්ජ වලට ගන්නේ ඩොල්කියනේ.හොද සුදානමක් තියෙන සාජ්ජ වලදී සර්පිනාවත් තියෙනවා.ඒත් ඉතින් ගොඩක් වෙලාවට මේ වගේ පාටි දාගන්නේ ප්ලෑන් කරලා නෙමෙයිනේ ඒකනිසා මේ වෙලාවට වැඩියෙන්ම තියෙන සංගීත් භාන්ඩේ තමයි හිස් බෝතලේට රුපියලේ කාසි දෙකකින් තට්ටු කරන එක.නැත්නම් හිස් සෝඩා මෙගා බෝතලෙන් මේසෙට ගහන එක.විසිල් එකයි කටයි තමයි අනිත් සංගීත් භාණ්ඩ වෙන්නේ.ඔය සමහර සින්දු වල අතර මැද තියෙන්නේ හෝ...හෝ... ගාන තැන්[රැල්ලෙන් රැල්ලට පාවෙන ඔරුවේ...]ඒ වෙලාවට ඉතින් ඇත්තටම මූදක් ගාවට ගියා වගේ තමයි.

හරි ඊලගට බලමු කියන සින්දු මොනවද කියලා මේ වෙලාවට වැඩියෙන්ම ස්ටේජ් එකට නගින්නේ ජෝතිපාලයි කපුගෙයි නේ.පරම්පරාව මොකක්වුනත් ඔය දෙන්නා තමයි වැඩියෙන්ම මාකට්වෙන්නේ.මොකක්ද මන්දා හේතුව.ඒ දෙන්නත් හොද මදුවිත ලෝලියෝ නිසාද..?ඔතනිනුත් බෝතලේ මුල් හරියේදී වැඩියෙන්ම යන්නේ කපුගේ තමයි.ඔතනින් අනිවාර්යෙන්ම කියවෙන සින්දුවක් තමයි..සුදු නැන්දා ඇයි ගේ දොර වැහුවේ.....ඊලගට දුක හාදු දෙන රැයේ....



බෝතලේ මැදක් හරියට එනකොට ජෝතිපාල මතක වෙනවා.ජෝතිපාල ගැන ගත්තොත් අනිවාර්යෙන්ම කියවෙන්නේ "මම ගන්නෙමි කරකාර බන්දාලා ....



ඒ වගේම "මුලදී බැන්ද ආදරයක මිහිර දැන්....



වෙන වෙලාවට ඇහෙන්නේ නැති තරම් වුනාට මේ සින්දුවත් ගොඩක් වෙලාවට මේ වගේ අවස්තාවලදී ඇහෙනවා "වස්තුව ඉල්ලන කාශ්‍යප පුතුනේ...."


කොහොමින් කොහොමහරි මේ වගේ සින්දු කිහිපයක් යනකොට බෝතලෙත් ඉවරවෙන්න එනවනේ.මේ වෙලාව වෙනකොට බීට් එක ටිකක් වැඩිවෙලා වාඩිවෙලා සින්දු කියපු කිහිප දෙනෙක් ඔන්න දැන් නැගිටලා තමන්ගේ ගායන හැකියාව වගේම නර්ථන හැකියාවත් කලඑළි බස්සනවා.ඔන්න මේ වෙලාවට යන්නේ මේ වගේ සින්දු "කුසුමිලතා රේනුලතා....."


සින්දු ගැනම ලියන්න ගියොත් සමහර පාටිවගේ මේ පොස්ට් එකත් එළිවෙනකං ලියන්න පුළුවන්.හැබැයි වැඩේ කියන්නේ කවුරු කොච්චර බිව්වත් ඉරාජ්ලගේ සින්දුනම් කියන එකක් නැහැ.මොකද එතකොට නිකම්ම වෙරි බහිනවනේ...හි..හි...


Saturday, February 16, 2013

ආදරයේ විරහව දැනෙන්නේ පේරාදෙණියේ උන්ට විතරද??

මට මේක ලියන්න හිතුනේ අද උදේ කනට වැටිච්ච සින්දුවක් නිසා.හැබැයි ඉතින් මේ ගැන ලියන්නනම් මට කිසිම සුදුසුකමක් නැහැ.අපේ බ්ලොග් අවකාශෙත් පේරේ [පේරාදෙණිය විශ්ව විද්‍යාලය]ඉගෙනගත්තු කකා වගේ කට්ටිය වගේම දැනටත් ඉන්න රත්ගමයා මගේ කට්ටියත් මගේ වැරදි ඇතොත් නිවැරදි කරත්වා.

ලංකාවේ අනෙත් විශ්ව විද්‍යාලය වලට වඩා ආදරය ගැන කියනකොට කාටත් මතක  වෙන්නේ පේරේ තමයි.ඒ කියන්නේ අනිත් කැම්පස්වල උන් love කරන්නේ නෑ කියන එකද...,එහෙමත් නැත්නම් පේරේ පිහිටලා තියෙන romantic පරිසරය නිසාද?කොහොමවුනත් සින්දු ගත්තත් ,පොත්පත ගත්තත් වැඩියෙන්ම ඔය subject එකට මාකට් වෙන්නේ පේරේ තමයි.

හැබැයි ඔය හැම එකේම අනිවාර්යෙන්ම සදහන් වෙන ස්ථාන නම් කිහිපයක්ම තියෙනවා.හන්තාන එයින් එකක්,අනික මහවැලි නදිය ,ම්...ම්...තවත් තැන තියෙනවද...මල්වත්තයි,අර lovers lane ඒකයි ගැනනම් කවුරුත් ලියාලා නෑ නේද?කොහොමවුනත් මං අද ලියන්න ආවේ සින්දු ගැනනේ.ආදරය කිව්වම ඊලට එන වචනේ විරහව නේද ...ඒ නිසා මට මතක සින්දු ඔක්කොම ලියවිලා තියෙන්නේ විරහව ගැන.ඒ මොනවද ..

ඉස්සෙල්ලම මතක වුනේ ප්‍රසිද්ධම එක මේ "මේ නගරය ..."කියන්නේ මර්වින් පෙරේරා ,පද - ප්‍රේමකීර්ති අල්විස්



ඊලගට "සොඳුරිය ..කාලය කෙතරම් නපුරුද ..."කියන්නේ - අමරසිරි පීරිස් 



විරහවක්ම නොවුනට "හන්තානේ කඳු මුදුන සිසාරා..." කියන්නේ - පණ්ඩිත් අමරදේව 



මේවා campus internal ඒ කියන්නේ ඇතුලට ගියපු අය පස්සේ ලියපුවා වුනාට campus external ඒ කියන්නේ යන්න බැරිවෙච්ච කට්ටිය ගියපු කට්ටියට ලියපුවත් තියෙනවනේ ,මේක ඒ වගේ එකක් "හන්තානට පායන සඳ...." කියන්නේ - අමරසිරි පීරිස් 



මේකත් පේරේ නේද?"රඟහල දැන් ඇත අඩ අඳුරේ ...."කිව්වේ - විජේරත්න වරකාගොඩ සහ අනුලා බුලත්සිංහල,පස්සේ මේකේ අයිතියට නඩුවකුත් ගියානේද..


මටනම් මතක් වුනේ මේ ටික විතරයි.ආ.ආ.. හෝව් ..හෝව්..මේ පල්ලෙහා තියෙන එකත් උඩ ගොඩේම එකක් නේද.පදවැල ලස්සන වුනාට බීට් එකනම් විරහ ගීතයකට ගැලපෙන්නේ නැහැ ."සදලුතලේ ඔබයි මමයි..."කියන්නේ -ඉන්ද්‍රජිත් දොලමුල්ල...


වැඩේ කියන්නේ මේ එකකටවත් හරි හමන් වීඩියෝ එකක් නැති එකනේ.මට අමතක වෙච්චා අනන්තවත් ඇති,ඒවා කොමෙන්ටු හැටියට දැම්මොත් ලිපියට add කරන්න පුළුවන්.ආයෙත් කියන්නේ මගේ වැරදි ඇතොත් නිවැරදි කරත්වා.දැන් ඉතින් මේවා අහලා බලලා අපේ ඉගෙන ගන්න උන් පේරාදෙණියටම යන්න වැඩකොරනවා හොදයි.....හි..හි..


ප.ලි....

වැඩිය අහලා නැතත් ඔන්න මෙන්න මේකත් ඔය ගොඩේමයි
සරසවියේදී හෙට විතරයි හමුවන්නේ, කියන්නේ - දයාරත්න රණතුංග 


මෙන්න අපේ මානවක මතක කරපු සින්දුව
හන්තාන දෙසින් එන ...,කියන්නේ-කරුණාරත්න දිවුල්ගනේ 



මෙන්න නිර්මලා මධුශානි මතක කල සින්දුව
හන්තාන කදුවැටිය ...-කියන්නේ අමරසිරි පීරිස් [මොකද මන්දා අමරසිරි පීරිස් පේරේ ගැන මෙච්චර සින්දු කියලා තියෙන්නේ ]


Monday, February 4, 2013

නිදහස අහිමි අපේ දරුවෝ


අද රටම අපේ අභිමානවත් 65 වෙනි නිදහස් සමරුව සමරනවෙලේ මට ටිකක් වෙනස් අදහසක් ආව.ඉතින් ඒක ඔයාලත් එක්ක බෙදාහදාගන්න ඒක හොදයි කියලා හිතුනු නිසා සටහන් කරනවා.

ඇත්තටම නිදහස කියන්නේ මොකක්ද?මං එහෙම කෙනෙක්ගෙන් ඇහුවොත් විවිධ අය විවිධ අදහස් දක්වන්න පුළුවන්.ඒත් මං හිතනවා අපි මේ නිදහස කියලා සමරන්නේ මුලික වශයෙන්ම අපේ චින්තන නිදහස කියලා.නැත්නම් සරලව කියනවනම් ඕන කෙනෙක්ට තමන්ට හිතෙන දෙයක් කරන්න[අනිත් අයට කරදරයක් නොවන විදියට]තමන්ට කැමති තැනක යන්න[රටේ නීතියට අනුකුලව]නැත්නම් තමන්ට හිතෙන කෑමක් ,බීමක්‌ ගන්න තියෙන නිදහස කියලා.ඒ නිදහසනේ අපිට සුද්දාගෙන් අහිමිවෙලා තිබුනේ.ඒත් ඉතින් එක්තරා අන්දමකට වර්තමානයෙත් රටේ මිනිස්සුන්ගේ චින්තන නිදහස සීමාවෙලා තියෙනවා තමයි.

ආ... කතාකරන්න ආපු දෙයින් පිට ගියානේ.මං අද කතාකරන්න බලාපොරොත්තුවුනේ වර්තමානයේ අපේ දරුවන් නිදහසක් අත්විදිනවාද ,නැද්ද යන්න ගැනනේ.අපි පොඩිකාලේ අපි වින්ද නිදහස දැන් දරුවෙක් විදිනවද කියල බැලුවොත් ගොඩ දෙනෙක් එකගවෙයි අපි විදපු නිදහසින් කොටසක්වත් දැන් ඉන්න දරුවෙක් විදින්නේ නැහැ කියලා.

ඒකට ඉතින් දෙමව්පියන්ට විතරක් දොස් කියලා හරියන්නෙත් නැහැ.එහෙමෙයි කියලා සමාජ ක්‍රමේට දොස් නැගලා හරියන්නෙත් නැහැ.අපි පොඩි කාලේ ගමේ වෙලේ ඇලේදොලේ දුව පැනලා නටලා අතක පයක් හූරගෙන කඩාගෙන හරි ගෙදර ආවා කියලා අපේ අම්මලා තාත්තලා අපේ නිදහස සීමාකරේ නෑනේ.ඒකනිසා මං හිතනවා එහෙම හැදෙන දරුවෙක් නිදහස් චින්තනයකට හිමිකම් කියනවා කියලා.අපිටත් වඩා අපේ තාත්තලාගේ කාලේ අය ඒ නිදහසට හිමිකම් කීවා.

දැන් දරුවෙක්ට බොහෝ වෙලාවට ඒ නිදහස අහිමිවෙලා තියෙනවා.නිකම් ගෙදර සෙල්ලම් කරලා තුවාලයක්හරි කරගත්තොත් ඉස්පිරිතාල ගානේ උස්සගෙන යන්නවෙනනිසා දරුවෙක්ට දුවලා පැනලා සෙල්ලමක්වත් කරන්න දැන් ඉන්න දෙමව්පියෝ ඉඩදෙන්නේ නැහැනේ.අපි ඒ කාලේ කරපු සෙල්ලම්වල තැන දැන් වීඩියෝ ගේම් අරගෙන.අනෙත් අතට අධ්‍යාපනේ ගත්තත් දරුවන් පැය 24 ම විෂය නිර්දේශේට අනුව වැඩකරවනවා මිසක කතන්දර පොතක්.කවි පොතක්වත් කියවන්න දැන් ඉන්න දරුවන්ට වෙලාවක් නැහැනේ.

අනෙක් අතට දැන් සමාජයේ දරුවන්ට හරිහමන් ආරක්ශාවක්වත් නැති නිසා දරුවෙක් පාරක තොටක ගිහින් ගෙදර එනකල් අම්මලා ඉන්නේ හිතේ ගින්දරින්.විශේෂයෙන්ම ගැහැණු දරුවන් ගැන.පුළුවන් අය තමන්ගේ දරුවන් අමතර පන්තියකටවත් නොයවා ගුරුවරු ගෙදරට ගෙනවිත් උගන්වන්නේ තමංගේ දරුවන්ගේ ආරක්ෂාව ගැන හිතලයි.ඒත් ඒ දරුවා කවදාහරි සමාජෙට තනියම මුහුණ දෙන්න ඕන දවසට ඒ දරුවා කොච්චර අසරනවෙනවාද කියලා ඒ අම්මලා හිතන්නේ නැහැ.

විශ්වාසකරන්න...මන් දන්න ගැහැණු ළමයෙක් හිටියා වයස අවුරුදු 23 ක් වුනත් ජීවිතේට කවදාවත් බස් එකක ගිහිල්ලා නැති.පවුලේ එකම දරුවා වුනු නිසා ඒ දෙමව්පියෝ ඒ වෙනතුරුත් උදේට කාර් එකෙන් ගෙනවිත් අරලනවා ,හවසට ගෙනියන්න එනවා.අපිත් එක්ක දවසක් බස් එකේ යද්දී එයා මුහුණදුන්න අපහසුතාවයන් ඒ දෙමව්පියෝ දැක්කනම් තමන් තමන්ගේ දරුවාගේ නිදහස අහිමිකරලා කරගත්තු විපත ගැන ඇත්තටම කනගාටුවේවි.

මේ අධිවේගී සමාජ ක්‍රමය අනුව අපි වින්ද නිදහස අපේ දරුවන්ට දෙන්න බැහැ කියලා ගොඩ දෙනෙක් කියාවි.ඒක ඇත්ත,ඒත් ඒ දරුවන්ගේ නිදහස වුවමනාවට වඩා සීමාකරලා ඒ අයගේ අනාගතේ අදුරු කරන්න එපා කියලා තමයි මට මේ නිදහස් දවසේ ඉල්ලන්න තියෙන්නේ....

Saturday, February 2, 2013

හම්බන්තොට Island 1st වීම නොහොත් ශ්‍රී ලාංකීය අධ්‍යාපනයේ බමුණු කුලය බිඳවැටීම

පින්තුරය ගත්තේ  - http://www.shilpasayura.org

ශ්‍රී ලාංකීය දේශපාලනයේ බමුණු කුලය බිඳවැටුනේ 1956 දීය.1956 සිදුවුණු ආණ්ඩු පෙරලිය මාර්ටින් වික්‍රමසිංහ දුටුවේ බමුණු කුලයේ බිදවැටීම ලෙසය.එලෙසම ශ්‍රී ලාංකීය අධ්‍යාපනයේ බමුණු කුලය බිදවැටුණු අවුරුද්ද ලෙස 2012 සටහන් වනු ඇත.

මා එසේ කියන්නේ 2012 උසස්පෙළ ගණිත සහ විද්‍යා අංශයන්ගෙන් දිවයිනේ ප්‍රථම ස්ථාන හිමිකරගැනීමට හම්බන්තොට වීරකැටිය රාජපක්ෂ විදුහලේ රුසිරු ගම්භීරආරච්චි සහ කසුන් ලක්මාල් සමත්ව තිබීම නිසාවෙනි,එහෙත් දිස්ත්‍රික්කය හම්බන්තොට වීම නිසාවෙනුත් පාසල වීරකැටිය රාජපක්ෂ විදුහල වීම නිසාවෙනුත් මේ දරුවන්ගේ දක්ෂතාවය දෙස සමහරුන් සමච්චලෙන් බැලීමට පුරුදුවී ඇත.ඔවුන්ට අනුවනම් ඒ ජනාධිපතිගේ ආනුභාවයයි.එහෙත් කලා,වාණිජ,තොරතුරු තාක්ෂණ මුල් ස්ථාන කොළඹ දෙවි බාලිකාවට හිමිවීම  ඔවුන්ට ගැටළුවක් නොවේ.ඔවුන්ට ඒ දරුවන් දක්ෂ දරුවන්ය.

ශ්‍රී ලාංකීය අධ්‍යාපනය අනුව තවමත් දිවයිනේ ප්‍රථම ස්ථාන හිමිවිය යුත්තේ රෝයල්, සාන්ත තෝමස් විදුහල්වලටයයි සිතන පුද්ගලයන් සිටින රටක මෙසේ වීම පුදුමයක් නොවේ.ශ්‍රී ලාංකීය අධ්‍යාපනයේ රෝයල් ආධිපත්‍ය බිදවැටී දැන් ටික කලක් ගතවී ඇත.ඉන්පසු ඒ ආධිපත්‍ය හිමිවුණේ ගාල්ල මහින්ද ,මාතර රාහුල, මහනුවර ධර්මරාජ විදුහල්වලටය.දැන් එය එහි තුන්වැනි අදියරට පිවිස ඇත.එනම් දුෂ්කර යයි හංවඩු ගැසුණු දිස්ත්‍රික්කවලින් දක්ෂයින් බිහිවීමයි.

බොහෝ දෙනෙක් මෙහි නොදකින පැත්තනම් මේ සිදුවීම එක රැයකින් සිදුවුනක් නොවීමයි.වසරින් වසර කෙමෙන් කෙමෙන් හම්බන්තොට ඇතුළු පහසුකම් අඩු දිස්ත්‍රික්කවල සිසුන් තමන්ගේ දිවයින් කුසලතාවයන් වැඩි දියුණු කරගෙන ඇත.පසුගිය වසරවල ප්‍රතිපල සසඳා බැලුවහොත් ඔබට ඒ බව පැහැදිලිවනු ඇත.රුසිරු සහ කසුන්ගේ දක්ෂතාවය එහි කූටප්‍රාප්තියයි.

පහසුකම් අඩු දිස්ත්‍රික්ක යයි පැවසීමේදී සදහන් කලයුත්තේ එම දරුවන්ට අඩු පහසුකම් මිස දක්ෂතාවය නොවන බවයි,පහසුකම්ද දැන් දැන් නගරයේ පාසල් වලටමෙන්ම ගමේ පාසල් වලටද ලැබී තිබීම සතුටට කරුණකි.අනෙක් අතට හම්බන්තොට ජනාධිපතිගේ දිස්ත්‍රික්කය වීම නිසා එම දරුවන්ට පසුගිය කාලයෙදී පහසුකම් වැඩිවී ඇත.අනෙක් අතට රුසිරු සහ කසුන් තමා ඉපදුනු ගමේ නොවී තව කිලෝමීටර් 15 ක් 20 ක් මෙහායින් ඉපදී මාතරින් උසස්පෙළ සමත්වූවානම් අද ඔවුන්ට සමච්චල් කරන කිසිවෙකු එසේ නොකරනු ඇත.

පසුගිය කාලයේ සිදුවුණු ඇතැම් සිද්ධීන් නිසා අපට විභාග දෙපාර්තමේන්තුව පිලිබඳ විශ්වාසය බිද වැටී ඇත.එය මේ දරුවන්ට ඇගිල්ල දිගුකරන සමහරුන්ට පිටිවහලක් වී ඇත.අපි කවුරුත් දන්නා පරිදි උසස්පෙළ කරන සිසුන් පාසලට වඩා දැනුම ලබාගන්නේ අමතර පන්ති සහභාගී වීමෙනි.මේ දරුවන් දෙදෙනාද අමතර පන්ති සහභාගී වීඇත.මාතර නගරයේ අමතර පන්ති කරන ගුරුවරුන් සියල්ලක්ම පාහේ තංගල්ල නගරයේද අමතර පන්ති පවත්වයි.මේ දරුවන්ද ඒ පන්තිවලට සහභාගී වී ඇත.ඒ පන්තිවලට සහභාගී වී දිවයිනේ ප්‍රථමයා වීමට මාතර රාහුලේ සිසුවෙකුට හැකිනම් එම පන්තිවලට සහභාගී වී දිවයිනේ ප්‍රථමයා වීමට වීරකැටිය රාජපක්ෂ විදුහලේ සිසුවෙකුට නොහැකි මන්දැයි මටනම් වටහාගත නොහැකිය.

අමතර පන්ති ගැන කතාකිරීමේදී ගණිත අංශයෙන් දිවයිනේ මුල් ස්ථාන රැසක් දකුණේ සිසුන්ට හිමිවීම නිසා එක්තරා වෙබ් අඩවියක් මගින් අමතර පන්ති ගුරුවරයෙකු වන ජනක අබේවර්ධන මහතාට මඩ ප්‍රහාරයක් එල්ල කර ඇත.පසුගිය සාමාන්‍ය පෙළ විභාගයේදී සිදුවුණු ප්‍රශ්න පත්තර වංචාව ගැන සදහන් කොට මේ ගුරුවරයාද එවැන්නෙකියි කීමට ඔවුන් උත්සාහ දරා ඇත.මෙහිද මට කීමට ඇත්තේ පාසල් අතරින් රෝයල් මුල්තැන ගතයුත්තන් සිතන්නේ හොදම ටියුෂන් ගුරුවරු සිටින්නේ නුගේගොඩ කියාය.


එහෙත් පසුගිය කාලයේ ගණිත අංශයේ දිවයින් කුසලතාවයන් සලකා බැලුවහොත් මාතර ඇතුළු දකුණේ සිසුන් මුල් ස්ථාන රැකගැනීමට සමත්ව ඇති බව ඔබට දැක ගැනීමට හැකිවනු ඇත.ඒ බොහෝ සිසුන්ද මේ ගුරුවරයාගේ අමතර පන්තිවලට සහභාගී වී ඇති බව ඔබට ඔවුන්ගෙන්ම අසා දැනගත හැකිය.අනෙක් අතට ඔහුට එසේ ප්‍රශ්නපත්‍ර හොරෙන් පිටකරගැනීමේ කිසිදු අවශ්‍යතාවයක් නැත.ඔහුගේ විෂය වන ව්‍යවහාර ගණිතය සම්බන්දයෙන් දකුණේ ඔහුට ඇත්තේ ඉහල ඉල්ලුමකි.ඔහු හැර වෙනත් විකල්පයක් නැත.එහෙයින් ප්‍රශ්නපත්‍ර හොරෙන් ගත්තායයි ඔහුට අලුතෙන් එකතු වන සිසුවෙක් හෝ වැඩිවන ආදායමක් නැත.

ශ්‍රී ලාංකීය අධ්‍යාපනය පසුගිය කාලයේ ඉතා සීග්‍ර අන්දමින් දියුනු වී ඇත.බොහෝ පාසල්වල පරිගණක විද්‍යාගාර ඇත.අන්තර්ජාලය යනු තව දුරටත් සිහිනයක් නොවේ.අධ්‍යාපන අවස්ථා වැඩිවී ඇත.එය දිවයින පුරා විසිරී සිටින කසුන්ලාට හා රුසිරුලාට පිටිවහලකි.මට අවසන් වශයෙන් කීමට  ඇත්තේ දුෂ්කරයයි සම්මත දිස්ත්‍රික්කවල කොල්ලන් හමුදාවටද කෙල්ලන් ගාමන්ට් වලද රැකියාව කලයුතු යයි සිතන අයට, මේ වසරේ දිවයිනේ ප්‍රථමයා මොනරාගල මහානාම විදුහලෙන් හෝ අම්පාර සේනානායක විදුහලින් බිහිවුවහොත් පුදුම නොවන ලෙසයි.

Saturday, January 26, 2013

පුනරුත්පත්තිය පිළිගන්නවාද? Reincarnation - believe it or not


මං ඔබෙන් ඒ ප්‍රශනය ඇහුවොත් උත්තරේ මොකක් වේවිද ?කෙනෙක් කියන්න පුළුවන් ඔව් කියලා,තවත් කෙනෙක් කියයි නෑ කියලා,ඒ වගේම සමහර අයගේ උත්තරේ "අනේ මන්දා "වෙන්නත් ඉඩ තියෙනවා.මනුෂ්‍ය වර්ගයාගේ ආරම්බයේ සිටම "දෙවියන්"යන ප්‍රශ්නෙට පස්සේ මිනිස්සු වැඩියෙන්ම උත්තරේ හොයපු ප්‍රශ්නේ තමයි මේක.කොහොමවුනත් අද අපි කතාකරන්නේ පුනරුප්පත්තිය ගැන.

ඉතින් ඉස්සෙල්ලාම බලමුකෝ මේ පුනරුප්පත්තිය කියන්නේ මොකක්ද කියලා.ඒ කියන්නේ මිනිසෙක් හරි සතෙක් හරි තමන්ගේ මරණයට පස්සේ [biological death] තමන් මේ ජීවිත කාලේදී එක්රැස්කරපු දේවලුත්,ඒ කියන්නේ පින් පව් (නැත්නම් හොද නරක ) තමන්ගේ ආත්මයත් [soul or spirit] එක්ක අරගෙන ගිහිල්ලා නැවත ජීවිතයක් අරබන එකටයි.

මූලික වශයෙන්ම ඉන්දියාව පදනම වුනු ආගම්වල මේ සංකල්පය පිළිගැනෙනවා.ඒ කියන්නේ බුද්ධාගම ,ජයිනාගම සහ හින්දු ආගමේ.ඒ වගේම ලෝකය පුරා හැම මහද්වීපයකම වගේ ජන වර්ග අතර මේ සංකල්පය මුල්බැසගෙන තිබෙනවා.නමුත් කිතු දහමේත් ,ඉස්ලාම් සහ යුදෙව් ආගමේත් මේ සංකල්පය බැහැරකර තිබෙනවා.එහෙත් ඒ ආගම්වලත් යම් යම් කුඩා නිකායන්ගේ යම්කිසි පිළිගැනීමක් මේ සදහා තිබෙනවා.එයට බලපෑ තිබෙන්නේ රෝමානු යුගයේදී වුනු යම් යම් බලපෑම්,ඒ වගේම වර්තමානයේදී බටහිර ජාතීන් තුලත් මේ සදහා ඇති පිළිගැනීම ඉහලයමින් පවතිනවා.

මනුෂ්‍ය වර්ගයාගේ ආරම්බයේ පටන්ම මිනිසාගේ හිත්තුල ඇතිවුණු ගැටළුවක් වුනු මේ ප්‍රශ්නයට වඩාත් හොද පන්නරයක් ලැබෙන්නේ ක්‍රි.පූ.6 වන සියවසේදී.ඒ කාලයේ බුදු දහම ඇතුළුව ඉන්දියානු බිම්තලය පුරා ඇතිවුණු ආගමික ප්‍රබෝදයත් සමග මේ සංකල්පයත් දළුලා වැඩෙනවා.ඒ වගේම මේ කාලයේදී ග්‍රීසිය ,රෝමය ආශ්‍රිතවත් මේ පුනරුප්පත්තිය වේගයෙන් පැතිරීයන ආකල්පයක් වුනා.

ඒ කාලේ සිටම ප්ලේටෝ,බෙන්ජමින් ෆ්රෑන්ක්ලින් වගේ දාර්ශනිකයින්පවා මේ ගැන අදහස් පලකරලා තියෙනවා.ඒ වගේම 19 වෙනි ශතවර්ෂයේ විසූ මනෝ විදුදරයෙක්වන ව්ලියම් ජේම්ස් මහතාත් මේ පිලිබදව අදහස්පලකරලා තියෙනවා.


විලියම් ජේම්ස් [ 1842 -1910 ]

ඒ වගේම මේ පිලිබදව ඉතා වැදගත් පර්යේෂණ කරපු දාර්ශනිකයෙක් හැටියට එඩ්ගාර් කේසි [edgar cayce] හදුන්වන්න පුළුවන්.ඔහුගේ පර්යේෂණ මත ලියවුනු many manshions නම් පොත බටහිර රටවල මේ පිළිබද විද්වත් මට්ටමේ සාකච්චා පවා ඇතිවීමට හේතුවුනා.මේ පොත කන්නිමහර සුමංගල හිමියන් විසින් "සංසාර මන්දිර" නමින් සිංහලයට පරිවර්තනය කර තිබෙනවා,සොයාගෙන කියෙව්වට පාඩු නැහැ.විශේෂයෙන්ම දරුවන්ගේ බාලකාලය ඇසුරෙන් කල පර්යේෂණ රැසක් පොත් පතින් හොයා ගන්න පුළුවන්.ඒත් තාම මේ සංසිද්දිය විවාදාත්මක ගනයේ එකක් විදිහට තමයි සැලකෙන්නේ.
           


                                




ඒ වගේම පසුකාලීනව පුනරුප්පත්තිය සදහන් කතා පුවත් රැගත් නවකතා  වගේම චිත්‍රපටිත් රැසක් බිහිවුණා.ඒ අතරින් සුවිශේෂයි reincarnation of peter proud නම් කෘතිය,එය ඒ නමින්ම සිනමාවටත් නැගුනා. ඒ 1975 දී .බලන්න ආස කෙනෙක් ඉන්නවනම් මෙතනින් ගිහින් බාගෙන බලන්න.මේ පොත චන්දන මෙන්ඩිස් මහතා විසින් "සිහිනයක රැදී රහසක්" නමින් පරිවර්තනය කර තිබෙනවා.


පුනරුප්පත්තිය ගැන අපේ රටෙත් නිතරම වගේ කතා අහන්න ලැබෙනවානේ.කොහොමවුනත් ඒ ගැන වගේම බුදු දහමේ මේ පුනරුප්පත්තිය විස්තර කරලා තියෙන හැටි ඉදිරි පොස්ටුවකින් තොරතුරු ගේන්න මං බලාපොරොත්තුවෙනවා.

පුනරුප්පත්තිය ගැන මගේ ආකල්පයනම් එය එක්වරම බැහැර නොකලයුතුබවයි.ඒ කියන්නේ අපිට නූතන විද්‍යාවට අනුව පුනරුප්පත්තිය ඔප්පුකරන්න බැරිවෙන්න පුළුවන්,ඒත් ඒ කියන්නේ නූතන විද්‍යාවෙන් ඔප්පුකරන්න බැරි හැමදේම බොරු කියලා නෙමේනේ.ඔයාලට වුනත් ජීවිතේ කවදාවත් දැකලා නැති කෙනෙක් දැක්කම කලින් දැකලා තියෙනවා වගේ දැනිලා තියෙනවද?නැත්නම් කවදාවත් නොගියපු තැනකට ගියාම කලින් එතනට ගිහින් තියෙනවා වගේ දැනිලා තියෙනවද?මටනම් එහෙම අවස්ථා උදාවෙලා තියෙනවා.ඒ වගේම සමහර කුඩා දරුවන් යම් යම් දේවල්වලට දක්වන දක්ෂතා දුටුවමත් පුනරුප්පත්තිය පිළිගත හැකියි කියලා තමයි මටනම් හිතෙන්නේ.ඒ වගේම මේ ආත්මේ කරන පින් පව් ලබන ආත්මෙට ගෙනියන බව ගොඩ දෙනෙක් පිළිගන්න නිසා මේ ලෝකය යම් තරමකට හරි යහපත්ව තියෙනවා.නැත්නම් කොහොමට හිටීවිද ....

පුනරුප්පත්තිය ගැන කියනවනම් සාගරයක් වගේ දේවල් කියන්න පුළුවන් .ඒ සාගරයෙන් පොඩි දිය දෝතක් අරගෙන ඔබට දෙන්න දරපු වෑයමක් තමයි මගේ පොස්ටුව.කොහොමවුනත් පල්ලෙහා තියෙන ලින්ක් වලින් සහ පොත පතින් ඔයාල මේ ගැන වැඩිදුර විස්තර දැනගන්න පුළුවන්.


*බ්‍රයිඩේ මර්ෆි සහ අන්තරා බවය - කන්නි මහර සුමංගල හිමි [රත්න පොත්]

*පුනරුප්පත්ති සාධක විද්‍යාවට -තිස්ස ජයවර්ධන [සදීපා පොත්]

*edgar cayce on reincarnation -noel langley

ප.ලි.- නොවැලක්වියහැකි හේතුවක් නිසා මේ සතියේ weekend project පලනොවන බව කාරුනිකව සලකන්න.

Wednesday, January 16, 2013

වෙබ් අවකාශෙන් සිංහල භාෂාවට එකතුවුණු දේවල්

ලෝකේ ඕනෑම භාෂාවක් වගේ අපේ සිංහල භාෂාවත් එක එක කාලෙට උචිතපරිදි හැඩ ගැහෙමින් ආපු භාෂාවක්නෙ,ඒ කියන්නේ පුරාන රජකාලේ වගේම පහුකාලීනව අපේ රට ආක්‍රමණය කරපු විදේශීය ජාතින්ගේනුත් අපේ සිංහල භාෂාවට වචන එක්කහුවෙලා තියෙනවා.

එහෙම එකතුවුණු වචනත් ටික කලක් යනකොට පරිනාමනයවෙලා අපේම වචනත් බිහිවෙලා තියෙනවා.බඩු භාණ්ඩ ආදිය සම්බන්දයෙන් පමණක් නෙවෙයි පුද්ගල නාමයන් සම්බන්දයෙන් පවා.

දැන් ඉතින් මේ නූතන 21 වෙනි සියවසේ අන්තර්ජාල පරම්පරාවත් එක්කත් අපේ භාෂාවට විවිධ වචන එක්කහුවෙලා තියෙනවා.හැබැයි අපේ සමහර පණ්ඩිතයෝ අලුත් පරම්පරාවට දොස් නගනවනේ බස නසනවා කියලා,හැබැයි ඉතින් මේ පණ්ඩිතයෝ රජකාලේ හිටියනම් අද වෙනකොටත් අපිට ලියන්න කියන්න වෙන්නේ බ්‍රාහ්මීය අක්ෂර වලින් තමයි.

සිංහල කතාකරනකොට වචන දෙක තුනකට සැරයක් ඉංග්‍රීසි වචන දමදමා කතාකරන එකටනං මාත් කැමති නැහැ,යම දෙයකට අපේ භාශාවේ සුදුසු වචනයක් නැත්නම් ඒකට ඉංග්‍රීසි වචනයක් භාවිතාකලාට කමක් නැහැ.නිකම් බොරුවට පොෂ් බව පෙන්නන්න ඉංග්‍රීසි භාවිතයටනම් මාත් විරුද්දයි.

හෝව් ..හෝව්.. කතාවෙන් පිට ගියානේ,මං අද පොඩි සමීක්ෂණයක් කරන්න බලාපොරොත්තුවෙනවා වෙබ් අවකාශෙන් නූතන සිංහලයට එකතුවුණු වචන ගැන.අපේ මේ සිංහල බ්ලොග් නිසා තමයි මං හිතන්නේ මේ ගොඩක් වචන එකතුවුනේ.මං දන්න වචන කිහිපයක් මං පහල සටහන් කරනවා.මට මගහැරිච්ච යමක් තිබුනොත් ඔයාල පුළුවන් කොමෙන්ට් කරන්න.

මූණු පොත - facebook එකට භාවිත නමකි.

බුකිය - facebook එකට භාවිත නමකි.(short)

පොස්ටුව - web post එකට භාවිත නමකි.

බ්ලොගේ - blog එකට භාවිත නමකි.

ජාලේ - internet එකට භාවිත නමකි.

ගූගල් දෙය්යා - google search engine එකට භාවිත නමකි.

කොමෙන්ටු - comments වලට භාවිත නමකි

සින්ඩිය -syndicater වලට භාවිත නමකි.

මගහැරිච්චා සෑහෙන ගණනක් ඇතිනේ.ඔන්න මං භාෂාව විනාස කොරනවා කියලා රෙදි උස්සන් වලියට එහෙම එනවා නෙමෙයි ඕන්.

පින්තුරේ ගත්තේ -http://lankafunpicture.blogspot.com

Saturday, January 12, 2013

'96 සමාජ පෙරලිය සහ අපි - 96 Revolution of society

හෙඩිම දැක්කගමන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් මං 56 වෙනුවට 96 කියලා සටහන් කරලා කියලා.මොකද 56 කියන්නෙත් අපේ රටේ හොද හොද පෙරලි වෙච්ච අවුරුද්දක්නේ.කොච්චර හොදද කියනවනම් ඒවාට වන්දි අපි තාමත් ගෙවනවානේ.කොහොම උනත් හෙඩිම හරි.

මං අද කතාකරන්නේ 96 අපේ රටේ ඇතිවුණු ක්‍රිකට් වසන්තය (මේ දවස්වල නරක වචනයකි ) සහ අපේ රටේ වෙච්ච විපිරියාස ගැනයි.හිටිහැටියේම මෙහෙම ලිපියක් ලියන්න හිතුනේ අපේ 96 ක්‍රිකට් කණ්ඩායම සහභාගී වුනු සුහද ක්‍රිකට් තරගයක් නැරඹුවාට පස්සේ.මේ ලිපිය ලියන මං ඇතුළු මේක කියවන ගොඩ දෙනෙක් ඒ කාලේ ළමාවයසේ හිටියට මං මේ කියන දේවල් ඔයාලට මතක ඇතිකියලා හිතන්න පුළුවන්.

ඇත්තටම 1996 වෙනකොට අපේ රටේ සමාජයේ තිබුණු වාතාවරණය ආපහු ඔලුවට නගාගත්තොත් මං මේ කියන්න යනදේ ඔයාලටත් හිතෙන්න පුළුවන්.ඒ වෙනකොට අපි රටේ තිබුණු ත්‍රස්තවාදී යුද්ධයෙන් ඉතා දරුණු ලෙස බැටකමින් හිටපු කාලයක්.ඒ වගේම ඒ වෙනකොට රටේ ඇතිවුණු තරුණ නැගිටීමක් ඉතා දරුණු ලෙස මර්ධනය කරලා ගෙවුණු පශ්චාත් සමයක්.

ඇත්තටම මේ කාලේ පොඩිවුන් වුනු අපිටවත් අපේ වැඩිහිටියොන්ටවත් සිනහව සතුට කියන දේ අමතක වෙලා තිබුණු කාලයක් කියලත් කියන්න පුළුවන්.මේ කාලය වනවිට ලංකාවේ සිනමාව පවා කඩාගෙන වැටුනේ මං මේ කියන කාරණය නිසා වෙන්න පුළුවන්(ඒ ගැන පස්සේ දවසක කතාකරමු ).මොකද මිනිස්සුන්ට තමන්ගේ දරුමල්ලොත් එක්ක සතුටුවෙමින් ගෙවන්න කාලයක් වෙන්කරගන්න බැරිවුණු නිසා.

මේ කාලේ වෙනකොට ක්‍රිකට් වුනත් තිබුනේ එච්චර හොද තත්වයක නෙමෙයි.අම්මල තාත්තලා වුනත් සිතුවේ තමන්ගේ දරුවා ක්‍රිකට් වලට යොමුවුනොත් අධ්‍යාපනය කඩාකප්පල් කරගෙන අනාගතේ අඳුරු කරගනීවි වගේ දේවල්.ඔන්න ඔහොම කාලෙක තමයි අපේ ක්‍රිකට් කණ්ඩායම ඕස්ට්‍රේලියා සංචාරය සිදු කරන්නේ.එහිදී ඇතිවුණු විවිධ හැලහැප්පීම් සමග එම සංචාරය ලංකාවේ ක්‍රිකට්වල හැරවුම් ලක්ෂයක් වුනා කියලා මට හිතෙනවා.

ඉන් පස්සේ එලඹුනු 96 ලෝක කුසලාන තරගාවලියේ ශූරතාවය දිනාගන්න අපි සමත් වීමත් සමග රට පුරා ක්‍රිකට් උන්මාදයක් ඇතිවුනා.මං මේක දකින්නේ බලාපොරොත්තුවක් නැතුව හිටපු සමාජයකට අලුත් බලාපොරොත්තුවක් දීමක් හැටියට.රටේ බාල තරුණ මහලු සියලු දෙනා රූපවාහිනිය ලග නැත්නම් ක්‍රීඩාන්ඟනවලට එක්කහුවෙලා හුරේ දමමින් ක්‍රිකට් බලපු කාලයක් උදාවුනේ මින් පස්සේ.ඉස්සරත් අපේ මිනිස්සු ක්‍රිකට් බැලුවා තමයි,ඒත් හදවතින්ම ක්‍රිකට් අත්වින්දේ 96 පස්සේ කියලා තමයි මට හිතෙන්නේ.

අපේ කණ්ඩායම සෙල්ලම් කරන වෙලාවට "අපේ කොල්ලෝ"කියලා හැගීමක් කෙනෙක්ගේ සිතේ අතිනොවුනානම් පුදුමයක්.ඒ වගේම තමයි පිට රටක එක්ක සෙල්ලම් කරනකොට අපි ඒ අය දැක්කේ ක්‍රීඩකයන් වශයෙන් නෙමෙයි සතුරු රටක එක්ක යුධ වැදුණු අපේ රණවිරුවෝ ටිකක් වගේ .ක්‍රිකට් කණ්ඩායම පරාජයක් ලැබුවොත් "කමක් නැහැ ඊලග එක දිනමු" වගේ හැගීමක් අපිට තිබුනා.ඒ වගේම තමයි කණ්ඩායමේ හිටපු අයත් අදට වඩා එදා ලබපු දිනුමක් හදවතින්ම වින්දා කියල තමයි මටනම් හිතෙන්නේ.ඇත්තටම එදා ඔවුන් සෙල්ලම් කලේ රට වෙනුවෙන්.



ඉන් පස්සේ කාලේ නගරෙට සීමාවෙලා තිබුණු ක්‍රිකට් ගමට ගියා වගේම.(මං මේකෙන් අදහස් කලේ කණ්ඩායමට ඇතුළුවීමට තිබුණු අවස්ථාව ගමේ උන්ටත් ලැබුනා කියල)අම්මලා තාත්තලත් තමන්ගේ දරුවෝ දොස්තරලා නැත්නම් ඊලගට කරන්න උත්සාහකලේ ක්‍රිකට් ක්‍රීඩකයෙක්.ඒකෙ හොද වගේම නරක ප්‍රතිපලත් දැන් අපි විදිනවා.දැන් කාලේ කොල්ලෝ ක්‍රිකට් ගහන්නේ හොදට හම්බකරන්න බලාගෙන.

අනේ මන්දා දැන් ක්‍රිකට් තරගයක් බලනකොට මටනම් ඉස්සර දැනිච්ච අර "ගැම්ම" එන්නේ නැහැ.කණ්ඩායමේ කණ්ඩායම් හැගීමත් අඩුද මන්දා.දේශපාලන අතපෙවීම් සහ මුදලාලිකරණයත් අඩුවක් නැතිනිසා ක්‍රිකට්වල ඒ කාලේ තිබුණු "ජවය' අඩුවෙලා කියලා මට හිතෙනවා.

කොටින්ම කියනවනම් මට අද අපේ ටීම් එක සෙල්ලම් කරනකොට පේන්නේ මුදලාලිලා ටිකක් සෙල්ලම් කරනවා වගේ.

Tuesday, January 8, 2013

අපිට සහනාධාර ඕනද ?


අපි දන්නා කියන කාලේ ඉදලම ලංකාවේ මිනිස්සුන්ට සහනාධාර ලැබුනානේ. ජනසවිය හරි සමුර්ධි හරි දැන් ඔය දෙන්න යනවයි කියන දිවිනැගුම හරි යනාදී විවිධ නම් වශයෙන්.දැන් ඉතින් ඔය දෙන සහනාධාරෙන් ජීවිතේ ගොඩනගාගත්ත කීදෙනෙක් ඉන්නවද ?මං හිතන්නේ එකෙක්වත් නැතුව ඇති.

මන්නම් හිතන්නේ අපි මේ නිකම් දෙන සහනාධාර නවත්වන්න ඕන.ඇත්තටම මෙහෙම සහනාධාර දීමෙන් වෙන්නේ ඒ මිනිස්සුන්ගේ පිටකොන්ද කඩලා දාන එක.දුප්පත් මිනිස්සු කියලා ඒ අය වෙන්කරන එක.මං දරන මතය තමයි නිකම් ඉදලා සතයක්වත් ගන්න මිනිහෙක් පුරුදුවෙන්න නරකයි.එහෙම උනාම ඒ මිනිහා හැමදාම නිකම් දෙන දේට විතරක් පුරුදු වෙලා කවදාවත් දියුණුවෙන්න බලන්නේ නැහැ.අනිත් එක ඔය දෙන සොච්චමෙන් සතියක්වත් කන්න පුලුවන්ද. බැහැනේ.

හැබැයි ඉතින් සමුර්ධි ණය මුදල් අරගෙන ව්‍යාපාර ගොඩනගාගත්ත අයනම් ඉන්නවා.ඒකනිසා මං හිතන්නේ වහාම මේ සහනාධාර නවත්තලා  මිනිස්සුන්ට තමන්ගේ මහන්සියෙන් දියුණුවෙන්න ඉඩ සලසන්න ඕන.ඒකට මුල්‍ය ආධාර කලාට කමක් නැහැ.

හැබැයි ඒකෙන් මං අදහස් කරන්නේ නැහැ.වයසක අහිංසක අම්මලා තාත්තලාට දෙන පින් පඩිය නැත්නම් සමුර්ධිය නවත්වන්න ඕන කියලා.මොකද ඒ මිනිස්සු යන්තම් හරි බෙහෙත් ටිකක්වත් ගන්නේ ඒකෙන් නිසා.හොදට අතපය හයිය තියෙන මිනිස්සුන්ට සහනාධාර නොදී දියුණුවෙන්න උදව් කලානම් හොදයි කියලා මං හිතනවා.සහනාධාර නවත්තුවට හදිසි අවස්තාවකදී විපතට පත්වෙන අයට සුභසාධක කටයුතු තවත් වැඩිදියුණු කලයුතුයි.

ඒත් ඉතින් මේ ඉන්න දේශපාලකයොත් එක්කනම් මේ වැඩේ කරන්න බැහැ.හැම චන්ද වෙදිකාවකම කියන්නේ අරක අච්චර මෙච්චර ගානකින් වැඩිකරනවා කියලනේ.විපක්ෂෙත් හැමදාම කියන්නේ මදි මදි මදි කියලනේ.මොකද ඉතින් ඒ අයගෙත් මඩිය තරවෙන්නේ මේවට අයවැයෙන් වෙන්වෙන ගාන වැඩිවෙන තරමටනෙ.

දියුණු වෙච්ච හැම රටක්ම වගේ මිනිස්සුන්ට දියුණුවෙන්න උදව්කලා මිසක් නිකම් සහනාධාර දීලා හිගාකන්න පුරුදු කලේ නැහැනේ.සමහරවිට ඔයාලගේ අදහස් මීටවඩා වෙනස්වෙන්න පුළුවන්.ඒක නිසා ඔයාලගේ අදහසුත් දක්වලා යන්න.

Wednesday, January 2, 2013

මුල් කාලයේ ටෙලි නාට්‍ය සහ මෙගා ටෙලි නාට්‍ය -Old Tele drama vs Mega Tele drama


ඔන්න දැන් ඉතින් බනින්නෙපා අලුත් අවුරුද්දේ පරණ දේවල් ගැනම පොස්ට් දානවා කියලා .මන් අද කියන්න යන්නේ අපේ රටට රුපවාහිනිය හදුන්වලා දුන් මුල් කාලයේ ටෙලි නාට්‍ය සහ දැන් සතියේ දවස් අටේම (සොරි සොරි දවස් හතේම ..අටක් තිබුනනං අටේම පෙන්නනවා )පෙන්නන මෙගා ටෙලි නාට්‍ය ගැන .සංසන්දනය කරලා කතාකරන්න කලින් මන් කැමතියි පැරණි ටෙලි නාට්‍ය ගැන ටිකක් මතක අවදි කරන්න .මොකටද නිකම් පොස්ට් ඒක මුලදීම ලේ රත් කොරගන්නෙ නේද ?

මුල් කාලයේ ඉතින් අද වගේ ටී වී චැනල් හැට හුටාමාරක්‌ තිබ්බේ නෑනේ ,තිබුනේ ස්වාධීන රූපවාහිනියයි සැළලිහිනියයි තමයි ,මන් මේ කියන්නේ වත්තේ තිබුණු උසම ගහේ ඇන්ටෙනාව බැදලා ගහ උඩ හරි ගහ ලග හරි ඇන්ටෙනාව කරකවන්න එකෙක් තියලා ටී වී බලපු කාලේ ගැන ,ඒක නිසා මන් මේ කියන ටෙලි නාට්‍ය ගැන අලුත් කස්ටිය නොදන්නවා වෙන්න පුළුවන් හොදේ .

කවුරුත් දන්නවා ඇතිනේ ලංකාවේ මුල්ම ටෙලි නාට්‍යය තමයි දිමුතු මුතු නාට්‍ය ,අපි කවුරුත් දන්නා කියන දේවිකා මිහිරානි කල එලි බැස්සේ ඒකෙන්නේ,මේක ආචාර්ය ඩී බී නිහාල්සිංහගේ අධ්‍යක්‍ෂණයක්.


මට පිලිවෙලින් මතක නැතත් මන් හිතන්නේ ඊලගට ආවා පලිගු මැණිකේ ටෙලි නාට්‍ය ,මේකෙන් මන් හිතන්නේ අපේ ජැක්සොන් ඇන්තනී ගොය්යා කල එලි බැස්සේ .

ඊට පස්සේ කන්දේ ගෙදර ,දු දරුවෝ ,වෙද හාමිනේ,රතු රෝස ,ලා හිරු දහසක් ,ගංගා සහ නිස්සංක,යශෝරාවය,අඹ යාළුවො  වගේ ටෙලි නාට්‍ය ගොඩක් ආවනේ ,මට මතක හැටියට ලංකාවේ පලවෙනි ෆන් ටෙලිය තමයි බෝඩිම .කුණුහරුප නැති වුනාට අපි කවුරු කවුරුත් බඩවල් අල්ලාගෙන හිනාවුණා හැටි මතක ඇතිනේ .


ඉතින් මේ කාලේ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ හිටියේ නිහාල්සිංහ ,හර්බට් රන්ජිත් පීරිස් ,ධම්ම ජාගොඩ වගේ අත්දැකීම් බහුල පිරිසක්නේ ,පසුකාලීනව ජයන්ත චන්ද්‍රසිරි වගේ අය ක්ෂේත්‍රයට පිවිසුනා ,හප්පොච්චියෙ තව ටිකෙන් සුසීමා අමතක වෙනවනේ ,මන් හිතන්නේ අදවෙනතුරුත් ලංකාවේ බිහිවුණු එකම සංගීත ටෙලි නාට්‍ය තමයි සුසීමා .


ඔන්න දැන් තමයි සුපර් හිට් එක ගැන ලියන්න යන්නේ ,ඒ ඉතින් වෙන මොකුත් නෙමෙයි හර්බට් රන්ජිත් පීරිස්ගේ "හිරුට මුවාවෙන් ",මොකක් කිව්වා ?හෝව් හෝව් කලබල වෙන්නේපා ඒ තමයි ඉදිආප්ප කතාව ,ආ දැන්නම් හරි නේද ?මන් හිතන්නේ පවුලේ සැම සමහර තැන්වල ගමේ සැම (ඒ දවස්වල ඉතින් හැම ගෙදරම ටී වී තිබ්බේ නෑනේ ,ඉතින් ටී වී තිබ්බ ගෙවල්වලට ගමේ උන් එක්කහුවෙනවා නාට්‍ය බලන්න ,බන අහනවා වගේ පැදුරු දාගෙන ටී වී බලන්නේ )එක්ව නැරබු ටෙලියක්.කරුමෙට ඒකෙ ක්ලිප් එකක් ජාලේ හොයාගන්න බැරිඋනා.සින්දුවනම් කාටත් මතක ඇතිනේ "ඔබට හොරා ඔබ වෙත සෙනෙහස පා ,අවිහිංසක ඔබ රිදවුයේ "

ඒ දවස්වල ඉතින් ගෙදර කට්ටිය ගමනක් ගියත් නාට්‍යයේ වෙලාවට ගෙදර නොගියොත් ඉතින් කට්ටියටම රෑට කෑවේ නෑ වගේ තමයි.මේ ටෙලිනාට්‍ය ජනතාවට සමීපවීමට ප්‍රධාන හේතුව විදිහට මන් දකින්නේ ඒ ටෙලි නාට්‍ය වල තිබුණු සරල බව සහ යතාර්ථ වාදී බවයි .

කොහොමුනත් මෙහෙම ඉස්සරහට ආපු ලංකාවේ ටෙලි නාට්‍ය කලාවට කණකොකා හැඩුවේ ඉන්දියන් ටෙලි නාට්‍ය නිසයි ,ඉන් පස්සේ ප්‍රේක්ෂකයා ගැන නොහිතා වාණිජ පරමාර්ථ විතරක් මුදුන්පත්වීම නිසා හැමදාම ටෙලිනාට්‍ය පෙන්නන්න ගත්තනේ ,මේකට වඩා වුනු හානිය තමයි අපේ ළමා පරපුරට වැරදි පණිවිඩ රාශියක් මේ නාට්‍ය නිසා ලැබීම ,
අපොයි ඉතින් මේ මෙගා ගැන කතාකරනවට වඩා හොදයි කට පියන් ඉන්න එක.මොකටද නිකම් පරණ රසවත් මතකයන් මතක්වුණු වෙලාවේ ලේ කෝප කරගන්නේ නේද ?


Tuesday, January 1, 2013

අලුත් අවුරුද්දට පැරණි රසාංග - Old hits for New year


එහෙනම් ඕන් ඉස්ඉස්සෙල්ලාම ඔක්කොටම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා කිව්වා ,වෙහෙසකර මාසෙකින් පස්සේ යාන්තම් ටිකක් හොදින් හුස්ම ගන්න පුළුවන් මාසයක් ආව ,ඉතින් බලමුකෝ මේ අවුරුද්දේ මේ බ්ලොග් කෙරුවාව කොහොම කොහොමහරි කොරගෙන යන්න .

ඕන්න අලුත් අවුරුද්දේ හා හා පුරා කියල මං ලියන්න යන්නේ පැරණි රසාංග ගැන ටිකක් ,පැරණි රසාංග කිව්වට මන්නම් හිතන්නේ මේවා කවදාවත් පැරණි වෙන්නේ නැහැ කියලා ,මට මේ ගැන ටිකක් ලියන්න හිතුනේ ඊයේ 31 රෑ සුවාදීන සූපවාහිනියේ ගියපු "තරු දිලෙන රැයක්" නැරබුවාට පස්සේ ,

මට ඒ වෙලාවේ හිතුනේ දෙය්යනේ මේ සින්දු ටික නොතිබුනානම් මුන් කොහොමද මේ වගේ ෂෝ එකක් කොරන්නේ කියලා ,එච් ආර් ජෝතිපාල ,එම් එස් ප්‍රනාන්දු,සුජාතා අත්තනායක ,විතරක් නෙමෙයි ඇන්ජලින් ,කොරින් අල්මේදාගේ හඩවල් අපි ඒ සොදුරු අතීතෙට ගෙනිච්චා කිව්වොත් වැරදි නැහැ ,

ඒක බලද්දී මටනම් හිතුනේ අපේ සිනමාව දැන් කඩාවැටිලා තියෙන එක පුදුමයක් නෙමෙයි කියලා ,ඇත්තටම මිනිස්සුන්ට ඕන චිත්‍රපටියක් හරි සින්දුවක් හරි අහලා තමන්ගේ සිතේ තියෙන ප්‍රශ්න ,පීඩනය අඩුකරගන්න මිසක් නැති ප්‍රශ්න ඔලුවට දාගන්න එක නෙමෙයිනේ .දැන් ඉතින් චිත්‍රපටි කියලා එන්නේ ඒක හදපු එකාටවත් තේරෙන්නේ නැති රූපරාමු ටිකකින් අටවගත්ත ඒවානේ ,සින්දු අහලා අධි රුධිර පීඩනය ඇතිකරගන්නවාට වඩා හොදයි ඒවා අහන්නේ නැතුව ඉන්න එක.ඕන්න මං පහලින් සින්දුවක් දාන්නම් බලන්නකෝ ඔයාලත් කැමති එකක්ද කියලා ,



ගීතය - මාගේ මතකේ ඔබේ රුව ඇඳේ
චිත්‍රපටය - මිනිසුන් අතර මිනිසෙක්
ගායනය - සුජාතා අත්තනායක සහ එච් ආර් ජෝතිපාල 
රංගනය -ගාමිණි ෆොන්සේකා සහ වීනා ජයකොඩි 

එතකොට මේකත් මං කැමතිම සින්දුවක් 


ගීතය - පාට පොදක් තිලකලා 
චිත්‍රපටය - කස්තුරි සුවඳ
ගායනය - ඇන්ජලින් ගුණතිලක සහ එච් ආර් ජෝතිපාල 
රංගනය -ගාමිණි ෆොන්සේකා සහ මාලිනි ෆොන්සේකා 

ඒ ඉතින් චිත්‍රපටි සින්දුනේ,ඇයි එතකොට බයිලා ,බයිලා චක්‍රවර්ති එම් එස්  ප්‍රනාන්දුගේ මම කැමතිම සින්දුවක් තමයි මේ



සින්දුව - අශෝක මල් මාල නෙළාලා 

70 කණ්ඩායම් සංගීතයත් අපිට අමතක කරන්න බැහැනේ ,නෙවිල් ප්‍රනාන්දු ප්‍රමුඛ los caballeros කණ්ඩායම "දෙලොවක් අතර" චිත්‍ර පටියට ගැයූ "ගයන ගැයුම්" ගීතයත් මේ අතර ඉදිරියෙන්ම සිටිනවා .


මේවයේ ඉතින් අලුත් වර්ෂන් තිබුනට මන් මෙතන පරණ ඒවම දැම්මේ ඒවා ඔරිජිනල්ම නිසා ,ඇත්තටම දැන් තියෙන සිංදුවල තේරුම කියන එකාවත් දන්නේ නැහැනේ,හොදම උදාහරණය තමයි "රම්බරි".කෙනෙක්ට කියන්න පුළුවන් සින්දුවක් රසවිදින්නේ ශබ්ද රසය මගින් පමණක් කියලා ,ඒ නිසානේ අපි සමහර ඉංග්‍රීසි සින්දු රසවිදින්නේ කියලා ,ඒක ඇත්ත කියලා මන් යම්තාක් දුරට පිලිගන්නවා ,ඒත් මන් හිතනවා හරවත් පදමාලාවකින් සින්දුවේ රසය තවදුරටත් වැඩිවෙනවා කියලා .

මේ වගේ පැරණි රසාන්ගවලට උදාහරණ ඕනෑතරම් දෙන්න පුළුවන් ,මේක බලනකොට ඔයාලගේ මතකෙටත් එන්න ඇතිනේ ,කොහොම උනත් අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේ සින්දු ටික නොතිබුනානම් සුපර් ස්ටාර් ,ඩ්‍රීම් ස්ටාර්  අර ස්ටාර් මේ ස්ටාර් ඔක්කොලම අනාථයි කියලා තමයි .





Wednesday, December 19, 2012

අධිවේගී මාර්ග සහ ශ්‍රී ලංකාවේ ප්‍රවාහනය


බ්ලොග් අවකාශේ ඉන්න කවුරු කවුරුත් තම තමන්ගේ බ්ලොග්වල එක එක දේ ගැන විචාර දානවනේ ඉතින් මටත් හිතුනා විචාරයක් දාන්න ,සමහරවිට මේ මාතෘකාව ටිකක් විවාද සම්පන්න වෙන්න පුළුවන් ,කොහොම උනත් මං අද කතාකරන්න බලාපොරොත්තුවෙන්නේ ලංකාවේ අධිවේගී මාර්ග ඇතුළු මාර්ග පද්දතිය සහ ලංකාවේ ප්‍රවාහන පද්දතිය ගැන ,

කවුරු කවුරුත් පිලිගන්නවා ඇතිනේ ලංකාවේ මාර්ග පද්දතිය පසුගිය වසර 10 ක පමණ කාලයක් ඇතුලත සීග්‍රයෙන් දියුණු වෙලා තියනවා කියලා ,ඒ කාලයේ ලංකාවේ A ශ්‍රේණියේ මාර්ගවල පවා අඩියෙන් අඩියට  අලි නාවන තඩිවලවල් තිබුනනේ ,ඒ උනාට දැන් A ශ්‍රේණියේ සියලුම මාර්ග හොදින් කාපට් අතුරා සකස්කර තිබෙනවා .ඒක දකුණට විතරක් නෙමෙයි උතුරු නැගෙනහිරටත් අදාලයි ,ඇත්තටම මට මේ පොස්ට් එක ලියන්න හේතුවුනෙත් පසුගිය සතියේ මම මඩකලපුව ඇතුළු නැගෙනහිර කල සංචාරයක් නිසයි ,මාතර ඉදලා මඩකලපුව වාකරේ හරහා ත්‍රිකුණාමලය දක්වා එකදු මඩ වලකවත් නොවැටී රථයක් පැදවීමට මට හැකියාව ලැබුනා ,

මේ තත්වය අපි සංසන්දනය කලයුත්තේ පසුගිය කාලයත් එක්කයි ,කෙනෙක් කියන්න පුළුවන් උතුරු නැගෙනහිර මාර්ග දියුණු නොවුනේ යුද්දය නිසයි කියලා ,ඇත්තටම ඒක වැරදියි ,එහෙනම් ඒ කාලේ දකුණේ මාර්ග දියුණු උනාද ?නැහැනේ ,ඇත්තටම නිදහසින් පසු කිසිම නායකයෙක් හෝ රජයක් මාර්ග පද්දතිය දියුණු කිරීමට කිසිදු උත්සාහයක් දැරුවේ නැහැයි කියන එකයි මටනම් හිතෙන්නේ .

අද වෙනකොට ප්‍රදාන පෙලේ මාර්ග විතරක් නෙමෙයි හැම ගමකම වගේ එක පාරක් හරි කොන්ක්‍රීට් වෙලා තියෙනවා ,එම වැඩවල ප්‍රමිතිය පිළිබද ගැටළු තියෙන එක ඇත්ත .මගේ මතය අනුව රටේ මෙතෙක් සිටි නායකයින් කලක් පවතින පරිදි කල වැඩ පහත පරිදි පෙළගස්වන්න මං කැමතියි ,

ඩී.එස් .සේනානායක - ගල් ඔය ඇතුළු රටේ වාරිමාර්ග පද්දතිය සහ  ජනපද සංකල්පය ඇති කිරීම 

ඩඩ්ලි සේනානායක - මොකුත් නැහැ 

ජෝන් කොතලාවල - මොකුත් නැහැ 

බණ්ඩාරනායක මහත්තයා - මොකුත් නැහැ 

බණ්ඩාරනායක මැතිනිය - ජනසතු ව්‍යාපාර සහ ගොවි පනත් ඇතිකිරීම 

ජේ ආර් ජයවර්දන - විවුර්ත ආර්ථිකය 

ආර් ප්‍රේමදාස - නිදහස් වෙළද කලාප 

චන්ද්‍රිකා බණ්ඩාරනායක - මොකුත් නැහැ 

රනිල් වික්‍රමසිංහ - මොකුත් නැහැ 

මහින්ද රාජපක්ෂ - රටේ මහා මාර්ග ඇතුළු යටිතල පහසුකම් දියුණු කිරීම 

සමහරවිට මේක කියවන කෙනෙක් මාත් එක්ක එකග නොවෙන්න පුළුවන් ,ඒ උනාට මං හිතන්නේ නැහැ මහින්ද ඇර වෙන කෙනෙක් රටේ නායකයා වෙලා හිටියනම් අපිට අධිවේගී මාර්ගයක ගමන් කරන්න අවස්තාවක් ලැබෙයි කියලා ,ඒ මාර්ගයේ අඩු පාඩු ඇති බව ඇත්ත ,ඒ මාර්ගය විවුර්ත කරන්න කලින් බොහෝ දෙනෙක් කිව්වේ අපේ රටේ මිනිස්සු සල්ලි ගෙවලා ඔකේ යන්නේ නැහැ කියලනේ ,දැන් අධිවේගී මාර්ගය ඇරලා අවුරුද්දකට වඩා වැඩියි ,දිනපතා මාර්ගය භාවිතා කරන ප්‍රමාණය ඉහල යනවා ,මොකද අද ජනතාව තේරුම අරගෙන තියෙනවා මුදලට වඩා කාලයේ ඇති වටිනාකම ,ඇත්තටම ඒක දියුණු රටක ලක්ෂණයක්.

කාලය ගැන කිව්වම ඊලගට කල්පනා වෙන්නේ ප්‍රවාහනයනේ ,අපේ රටේ රජය සහ පුද්ගලික අංශය කියලා කොටස් දෙකක් තියනවනේ ,කොහොමුනත් මං හිතනවා අද වෙනතුරුත් අපේ රටේ රාජ්‍ය අංශය පුද්ගලික අංශයට වඩා ඉදිරියෙන් ඉන්නවා කියලා ,සේවය සහ සේවකයින් අතින් කියන දෙඅංශයෙන්ම.


කවුරුත් දන්නවනේ ප්‍රයිවට් බස් කොට කොටා යනහැටි ඒ වගේම ඒ බස්වල රියදුරන්ගේ රිය ධාවන හැකියාව සහ කොන්දොස්තර මහතුන්ගේ හැසිරීම ගැනත් ,ඒ අතින් බැලුවම CTB එක ගව්ගානක් ඉදිරියෙන් ඉන්නවා කියන්න පුළුවන් ,දුර ගමන් යන්න ඉන්න කෙනෙක් ඉන්නවනම් ඉක්මනට යන්න CTB බස් එකක යන්න ,දැන් අධිවේගී මාර්ගයේ පවා හොද CTB බස් සේවයක් ලබාගන්න පුළුවන් ,ඇත්තටම අද වෙනකොට CTB එක වගේම දුම්රිය සේවයත් පාඩු ලබන්නේ ඒ ඒ කාලවල ඒ ඒ රජයන් ගත්ත වැරදි තීරණ නිසා ,ඒක දැන් පවතින රජයටත් පොදුයි .

හැබැයි හොද සේවයක් දෙනවනම් මිල කීය උනත් ඒ සේවය ලබාගන්න මිනිස්සු ඉන්නවා ,ඒකට හොද උදාහරණයක් බලාගන්න ඕන නම් මහරහම බස් නැවතුමේ අධිවේගී බස් නැවතුමට ගිහින් බලන්න ,සාමාන්‍ය මිල වගේ තුන් ගුණයක් උනත් බස් එකේ සීට් ගාන පිරෙන්න විනාඩි 10 ක් වත් යන්නේ නැහැ .දුම්රිය සේවය උනත් එහෙමයි ,දැන් බලන්නකෝ රුහුණු කුමාරි ඇතුළු ප්‍රදාන දුම්රියවල යන්න ඉන්න සෙනග ප්‍රමාණය .

එහෙනම් අදට මගේ විචාරය මෙතෙකින් අවසන් ,කියවූ ඔබ සැමට ස්තුතියි ,පුලුවන්නම් අදහසක් පල කරලම යන්න .

Tuesday, November 6, 2012

අපේ ගම මාතර - අලුත් වැඩක්

අලුත් වැඩකට අත ගැහුවා මෙතනින් ගිහින් බලන්නකෝ

http://apegamamathara.blogspot.com/


ගිහින් එන්නම්

Monday, October 29, 2012

අමන්දා ටොඩ් - amanda todd

කාලෙකින් බ්ලොග් 1 පැත්තේ ආවේ ,දැකුළු මල් ටිකක් කඩලා දාන්නයි .

පලවෙනි පොස්ට් එකටම දාන්න හිතුනේ මගේ හිත කාලෙකින් සසල කලදෙයක් ,ඇත්තටම දැනටමත් ඔයගොල්ලා මෙයා ගැන දන්නවා ඇති ,



මේ පුංචි සුරන්ගනාවිට වෙච්ච දේ නම් ඇත්තටම අදහා ගන්න බැරිතරම් ,ඔයාලා ඇගේ කතාව මේ වෙනකොටත් දැකලා නැත්නම් බලන්න 



බටහිර රටක උනත් කෙල්ලෙක්ට ඔක්කොටම වඩා වටින්නේ තමන්ගේ ආත්ම ගෞරවය බව ඈ ලෝකෙට කියාදුන්නා ,හෙට මේ දේ ඕනා කෙනෙකුට වෙන්න පුළුවන් ,පරිස්සම තමයි වැදගත් ,

වැඩිදුර විස්තර මෙතනින්

linkwithin

Related Posts Plugin for WordPress, Blogger...