Saturday, February 2, 2013

හම්බන්තොට Island 1st වීම නොහොත් ශ්‍රී ලාංකීය අධ්‍යාපනයේ බමුණු කුලය බිඳවැටීම

පින්තුරය ගත්තේ  - http://www.shilpasayura.org

ශ්‍රී ලාංකීය දේශපාලනයේ බමුණු කුලය බිඳවැටුනේ 1956 දීය.1956 සිදුවුණු ආණ්ඩු පෙරලිය මාර්ටින් වික්‍රමසිංහ දුටුවේ බමුණු කුලයේ බිදවැටීම ලෙසය.එලෙසම ශ්‍රී ලාංකීය අධ්‍යාපනයේ බමුණු කුලය බිදවැටුණු අවුරුද්ද ලෙස 2012 සටහන් වනු ඇත.

මා එසේ කියන්නේ 2012 උසස්පෙළ ගණිත සහ විද්‍යා අංශයන්ගෙන් දිවයිනේ ප්‍රථම ස්ථාන හිමිකරගැනීමට හම්බන්තොට වීරකැටිය රාජපක්ෂ විදුහලේ රුසිරු ගම්භීරආරච්චි සහ කසුන් ලක්මාල් සමත්ව තිබීම නිසාවෙනි,එහෙත් දිස්ත්‍රික්කය හම්බන්තොට වීම නිසාවෙනුත් පාසල වීරකැටිය රාජපක්ෂ විදුහල වීම නිසාවෙනුත් මේ දරුවන්ගේ දක්ෂතාවය දෙස සමහරුන් සමච්චලෙන් බැලීමට පුරුදුවී ඇත.ඔවුන්ට අනුවනම් ඒ ජනාධිපතිගේ ආනුභාවයයි.එහෙත් කලා,වාණිජ,තොරතුරු තාක්ෂණ මුල් ස්ථාන කොළඹ දෙවි බාලිකාවට හිමිවීම  ඔවුන්ට ගැටළුවක් නොවේ.ඔවුන්ට ඒ දරුවන් දක්ෂ දරුවන්ය.

ශ්‍රී ලාංකීය අධ්‍යාපනය අනුව තවමත් දිවයිනේ ප්‍රථම ස්ථාන හිමිවිය යුත්තේ රෝයල්, සාන්ත තෝමස් විදුහල්වලටයයි සිතන පුද්ගලයන් සිටින රටක මෙසේ වීම පුදුමයක් නොවේ.ශ්‍රී ලාංකීය අධ්‍යාපනයේ රෝයල් ආධිපත්‍ය බිදවැටී දැන් ටික කලක් ගතවී ඇත.ඉන්පසු ඒ ආධිපත්‍ය හිමිවුණේ ගාල්ල මහින්ද ,මාතර රාහුල, මහනුවර ධර්මරාජ විදුහල්වලටය.දැන් එය එහි තුන්වැනි අදියරට පිවිස ඇත.එනම් දුෂ්කර යයි හංවඩු ගැසුණු දිස්ත්‍රික්කවලින් දක්ෂයින් බිහිවීමයි.

බොහෝ දෙනෙක් මෙහි නොදකින පැත්තනම් මේ සිදුවීම එක රැයකින් සිදුවුනක් නොවීමයි.වසරින් වසර කෙමෙන් කෙමෙන් හම්බන්තොට ඇතුළු පහසුකම් අඩු දිස්ත්‍රික්කවල සිසුන් තමන්ගේ දිවයින් කුසලතාවයන් වැඩි දියුණු කරගෙන ඇත.පසුගිය වසරවල ප්‍රතිපල සසඳා බැලුවහොත් ඔබට ඒ බව පැහැදිලිවනු ඇත.රුසිරු සහ කසුන්ගේ දක්ෂතාවය එහි කූටප්‍රාප්තියයි.

පහසුකම් අඩු දිස්ත්‍රික්ක යයි පැවසීමේදී සදහන් කලයුත්තේ එම දරුවන්ට අඩු පහසුකම් මිස දක්ෂතාවය නොවන බවයි,පහසුකම්ද දැන් දැන් නගරයේ පාසල් වලටමෙන්ම ගමේ පාසල් වලටද ලැබී තිබීම සතුටට කරුණකි.අනෙක් අතට හම්බන්තොට ජනාධිපතිගේ දිස්ත්‍රික්කය වීම නිසා එම දරුවන්ට පසුගිය කාලයෙදී පහසුකම් වැඩිවී ඇත.අනෙක් අතට රුසිරු සහ කසුන් තමා ඉපදුනු ගමේ නොවී තව කිලෝමීටර් 15 ක් 20 ක් මෙහායින් ඉපදී මාතරින් උසස්පෙළ සමත්වූවානම් අද ඔවුන්ට සමච්චල් කරන කිසිවෙකු එසේ නොකරනු ඇත.

පසුගිය කාලයේ සිදුවුණු ඇතැම් සිද්ධීන් නිසා අපට විභාග දෙපාර්තමේන්තුව පිලිබඳ විශ්වාසය බිද වැටී ඇත.එය මේ දරුවන්ට ඇගිල්ල දිගුකරන සමහරුන්ට පිටිවහලක් වී ඇත.අපි කවුරුත් දන්නා පරිදි උසස්පෙළ කරන සිසුන් පාසලට වඩා දැනුම ලබාගන්නේ අමතර පන්ති සහභාගී වීමෙනි.මේ දරුවන් දෙදෙනාද අමතර පන්ති සහභාගී වීඇත.මාතර නගරයේ අමතර පන්ති කරන ගුරුවරුන් සියල්ලක්ම පාහේ තංගල්ල නගරයේද අමතර පන්ති පවත්වයි.මේ දරුවන්ද ඒ පන්තිවලට සහභාගී වී ඇත.ඒ පන්තිවලට සහභාගී වී දිවයිනේ ප්‍රථමයා වීමට මාතර රාහුලේ සිසුවෙකුට හැකිනම් එම පන්තිවලට සහභාගී වී දිවයිනේ ප්‍රථමයා වීමට වීරකැටිය රාජපක්ෂ විදුහලේ සිසුවෙකුට නොහැකි මන්දැයි මටනම් වටහාගත නොහැකිය.

අමතර පන්ති ගැන කතාකිරීමේදී ගණිත අංශයෙන් දිවයිනේ මුල් ස්ථාන රැසක් දකුණේ සිසුන්ට හිමිවීම නිසා එක්තරා වෙබ් අඩවියක් මගින් අමතර පන්ති ගුරුවරයෙකු වන ජනක අබේවර්ධන මහතාට මඩ ප්‍රහාරයක් එල්ල කර ඇත.පසුගිය සාමාන්‍ය පෙළ විභාගයේදී සිදුවුණු ප්‍රශ්න පත්තර වංචාව ගැන සදහන් කොට මේ ගුරුවරයාද එවැන්නෙකියි කීමට ඔවුන් උත්සාහ දරා ඇත.මෙහිද මට කීමට ඇත්තේ පාසල් අතරින් රෝයල් මුල්තැන ගතයුත්තන් සිතන්නේ හොදම ටියුෂන් ගුරුවරු සිටින්නේ නුගේගොඩ කියාය.


එහෙත් පසුගිය කාලයේ ගණිත අංශයේ දිවයින් කුසලතාවයන් සලකා බැලුවහොත් මාතර ඇතුළු දකුණේ සිසුන් මුල් ස්ථාන රැකගැනීමට සමත්ව ඇති බව ඔබට දැක ගැනීමට හැකිවනු ඇත.ඒ බොහෝ සිසුන්ද මේ ගුරුවරයාගේ අමතර පන්තිවලට සහභාගී වී ඇති බව ඔබට ඔවුන්ගෙන්ම අසා දැනගත හැකිය.අනෙක් අතට ඔහුට එසේ ප්‍රශ්නපත්‍ර හොරෙන් පිටකරගැනීමේ කිසිදු අවශ්‍යතාවයක් නැත.ඔහුගේ විෂය වන ව්‍යවහාර ගණිතය සම්බන්දයෙන් දකුණේ ඔහුට ඇත්තේ ඉහල ඉල්ලුමකි.ඔහු හැර වෙනත් විකල්පයක් නැත.එහෙයින් ප්‍රශ්නපත්‍ර හොරෙන් ගත්තායයි ඔහුට අලුතෙන් එකතු වන සිසුවෙක් හෝ වැඩිවන ආදායමක් නැත.

ශ්‍රී ලාංකීය අධ්‍යාපනය පසුගිය කාලයේ ඉතා සීග්‍ර අන්දමින් දියුනු වී ඇත.බොහෝ පාසල්වල පරිගණක විද්‍යාගාර ඇත.අන්තර්ජාලය යනු තව දුරටත් සිහිනයක් නොවේ.අධ්‍යාපන අවස්ථා වැඩිවී ඇත.එය දිවයින පුරා විසිරී සිටින කසුන්ලාට හා රුසිරුලාට පිටිවහලකි.මට අවසන් වශයෙන් කීමට  ඇත්තේ දුෂ්කරයයි සම්මත දිස්ත්‍රික්කවල කොල්ලන් හමුදාවටද කෙල්ලන් ගාමන්ට් වලද රැකියාව කලයුතු යයි සිතන අයට, මේ වසරේ දිවයිනේ ප්‍රථමයා මොනරාගල මහානාම විදුහලෙන් හෝ අම්පාර සේනානායක විදුහලින් බිහිවුවහොත් පුදුම නොවන ලෙසයි.

24 comments:

  1. ඇත්තටම අවංකවම එහෙම වෙන්න බැරිද කියල මගෙ හිත අහනවා. ඇත්ත දැනගන්ට ලැබෙයි. චරිත මෙන්ඩිස් මීට අවුරුදු කීපෙකට කලින් වාර්තාවක් තියලම රාජකීයෙන් මොරටු ගියා. අදටත් ඔහු සුපිරි ලෙස ඒ තත්වෙ පවත්වගෙන යනවා. ගුරුවරු මොරටුවෙදි මේ අයගෙ දක්සකං වල වෙනසක් නොදකීවි. ඔවුනුත් ඔවුන් දක්ශයින් බව පෙන්නාවි.

    ReplyDelete
    Replies
    1. රෝයල් එකට තියෙන වාසියක් තමයි 5 ශිෂ්ෂත්වෙන් රටේ දක්ෂයෝ ගොඩක් රෝයල් එකට ඇතුළුවීම,රෝයල් එකේ දක්ෂතා දක්වලා තියෙන ළමයින්ගෙන් සමහරක් පිටපළාත්වලින් එහෙම ආපු අය.ඒත් දැන් පිට පලාත්වල පාසල්වලත් පහසුකම් තියෙන නිසා රෝයල් එකට දක්ෂයෝ ඇදිලා ඒම අඩුවෙලා තියෙනවා.

      ඒත් දක්ෂකම් මොනවාවුනත් රකියාවකදී ගියපු ඉස්කෝලෙට තියෙන සැලකිල්ල තියෙන තාක් රෝයල් එකටත් ඉල්ලුම තියේවි.

      Delete
    2. @ හස රැල්

      දක්ෂයා කොතැන සිටියත් බැබලෙනවා. මම දන්නා තරමින් ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 200න් 200 ම ලබා ගත්තු චාගි බාසුරු ශිෂ්‍යයාත් රාජකීය විද්‍යාලයට ඇතුළත් වුණේ නැහැ.

      //..ඒත් දක්ෂකම් මොනවාවුනත් රකියාවකදී ගියපු ඉස්කෝලෙට තියෙන සැලකිල්ල තියෙන තාක් රෝයල් එකටත් ඉල්ලුම තියේවි...//

      මේක ගැන යමක් කිව්වොත් 2007 අවුරුද්දේදී රාජකීය විද්‍යාලයේ කලා අංශයට සාමාන්‍ය පෙළ හොඳ ප්‍රතිඵල තියෙන දරුවෙක් ඇතුළත් වුණා කැබිතිගොල්ලෑව ප්‍රදේශයෙන්.

      [මට මුලින් කියන්න අමතක වුණා. මම 5 ශිෂ්‍යත්වේ සමත් වෙලා රාජකීය විද්‍යාලයට ඇතුළත් වෙනවා අධ්‍යාපනය හදාරපු කෙනෙක්]

      Delete
    3. තමන් එක්ක එක බත් පත බෙදාගෙන කාලා එකට ඉගෙන ගත්ත එකා තමන්ට වඩා එක අවුරුද්දක් පරක්කු වෙලා කැම්පස් එනකොට ජරා විදිහට රැග් කරලා පහත් කරනවට වඩා තමන්ගේ එකෙක්ට උදව් කරන එක උතුම්. හීනමානයෙන් අන්ධ වෙලා බොලඳ විදිහට මඩ ගහන අයත් එක්ක තර්ක කරල වැඩක් නෑ, හසිත. මේ වගේ අවස්ථාවකත් මඩක් නොගහ සතුටු වෙන්න බැරි කමින්ම ඒ අයගේ මානසික මට්ටම පේනවා.

      Delete
    4. චාගි බාසුරු තක්ශිලාවට 6 වසරට ඇතුලත් වූ පසු පලවන වාර පරීක්ශනයේදී පන්තියේ 17 වෙනියා වීම නිසා . සැක පිට ඔහුගේ ප්‍රතිථල අත්හිටවූ වග අහන්නට ලැබුනා . කලින් ප්‍රශ්න පත්‍රය පිටවී ඇති බවයි පැවසුනේ

      Delete
  2. Replies
    1. ස්තුතියි අදහස් දැක්වුවාට

      Delete
  3. කතාව ඇත්ත. දැං ගොඩක් කොළඹ පාසල වලට වඩා පිට පළාත්වල පාසලවලිං තමයි හොඳ ප්‍රථිඵල ලැබෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. පසුගිය කාලේ ප්‍රතිපල බැලුවම පේනවනේ.

      Delete
  4. ජනක කියන්නේ දකුණු පළාතටම ඉන්න හොඳම ගුරුවරයෙක්...මම හිතන්නේ හසරැල් පවා ඔහුගෙන් ඉගන ගත්ත කියලා..
    පල ඇති රුකට ගල් ගැසීම අද සමාජයට පුරුදු දෙයක් නේ..
    කොහොම වුනත්..දක්ෂ දරුවා...කොහේ හිටියත් මැණිකක් වගේ බැබලෙනවා...

    ReplyDelete
    Replies
    1. මා ඔහුගෙන් ඉගෙනගෙන ඇතිවා මෙන්ම ඔහු පුද්ගලිකවද කුමන කෙනෙක්දැයි දන්නා බැවින් මගේ අදහස් පලකලෙමි

      Delete
  5. හොද ලිපියක්.ඔහොම කියන එක බොහොම හොදයි.රෝයල් දැන් මොනවද.

    ReplyDelete
  6. //..ශ්‍රී ලාංකීය අධ්‍යාපනය අනුව තවමත් දිවයිනේ ප්‍රථම ස්ථාන හිමිවිය යුත්තේ රෝයල්, සාන්ත තෝමස් විදුහල්වලටයයි සිතන පුද්ගලයන් සිටින රටක මෙසේ වීම පුදුමයක් නොවේ....//

    මම හිතන විදිහට නම් මෙතන තියෙන සාන්ත තෝමස් කියන පදය ඉවත් වෙලා ඒ වෙනුවට ආනන්ද, නාලන්ද විද්‍යාල කියන එකයි එකතු වෙන්න ඕනේ.

    මොකද මම දන්නා තරමින් නම් මීට කලින් එහෙම ප්‍රථමස්ථානලාභියෙක් සාන්ත තෝමස් විද්‍යාලයෙන් බිහිකරලා නැහැ. ඒක නිසා එහෙම මතයක් එන්න විදිහක් නැහැ කියලයි මගේ හැඟීම

    ReplyDelete
    Replies
    1. ඇත්ත,මං එහෙම යෙදුවේ එක් කුලකයක් හැදින්වීමට,ඒ කුලකයට ආනන්ද ,නාලන්දත් ඇතුලත්

      Delete
  7. මා මෙම සිද්ධිය ගැන නොකියා යමක් කියන්නම්. මාගේ පාසලේදී භෞතික විද්‍යාව උගන්වද්දී පාසලෙන් එහි විශය නිර්දේශය අඩක්වත් ආවරණය කලේ නැත. අපෙන් පසුවත් තත්ත්වය වෙනස් වී නැත. නමුත්, ළමුන්ගේ අධ්‍යාපන මට්ටමනම් සැලකිය යුතු ඉහල මට්ටමක තිබෙනවා.
    මේ වර්තමානයේ ඌන සංවර්ධනයට හසුවූ දිස්ත්‍රික්කයකි.

    ReplyDelete
    Replies
    1. මා සමග සේ‍වය සොහොයුරෙකුත් මොනරාගලින් ශිශ්ශත්වය පාස් වෙලා ඉබ්බාගමුව මධ්‍ය මහා විදුහලෙන් උසස්පෙළ හදාරා තියෙනවා.ඒත් මං දන්නේ නෑ, කුරුණෑගල ඌන සංවර්ධිත දිස්ත්‍රීක්කයක්ද ????

      මා අධ්‍යාපනය ලැබූ මාතර රාහුල විදුහලේත් විෂය නිර්දේශය ආවරණය නොකලාට අපේ වසරේ ගණිතය හැදෑරු ළමයි 150 න් 70 ක් පමණ ඉංජිනේරුවරු වුනා.

      මං හිතන්නේ දැන් උසස්පෙළ කිසිම පාසලක විෂය නිර්දේශය ආවරණය කරන්නේ නැහැ.

      Delete
    2. කුරුණෑගල ඌන නැහැ. නමුත්, නමුත් ඌන සංවර්ධනයට හසුවූ ප්‍ර. ලේකම් කොට්ඨාශ කිහිපයක් ම තිබෙනවා. අප ඒවා ගැනත් සිතිය යුතුයි.

      Delete
  8. මේ පළවෙනියා වීම ප්‍රවෘත්ති පැත්තෙන් වැදගත් වුනත්, මට හිතෙන්නේ ඒ ලිස්ට් එකේ අන්තිමය විදියට විශ්ව විද්‍යාලයට යන කෙනත් ඊට කිට්ටු දක්ෂකම් දක්වනවා. විභාගයට හොඳින් මුහුණ දීම තමයි මෙතන තියෙන්නේ. කොළඹ නොවන ළමුන් දෙදෙනෙක් මේ දක්ෂතාව දැක්වීමේ යම් සුවිශේෂී බවක් තියෙනවා.

    ReplyDelete
  9. මේ සිදුවීම අරබයා ලියැවුණු හොදම ලිපියකි මෙය...බොරු මඩ නොගසා ඒ දක්ශයන් දෙදෙනාට ගෞරවයක්ම වනු ඇති මේ ලියුම.

    ReplyDelete
  10. හොද ලිපියක් මචන්!

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  11. දක්ෂතාවය කොළඹට කේන්ද්‍ර වෙන එක් ඉක්මවා ගම් පෙදෙස් දක්වා ව්‍යාප්ත විම ගම්බද දරුවන්ගේ මානසිකත්වය ඉහළ නැංවිමට රුකුලක්

    ReplyDelete
  12. දේශපාලනය ඈඳාගෙන ඒ ප්‍රථම ස්ථානය ලැබූ ළමයි දෙන්නට පහර ගහන්න හදපු උත්සාහය නිසා ඒ ළමයි දෙන්නා කොයිතරම් අපහසුතාවයට පත් වෙන්න ඇද්ද? නමුත් හොර පාරෙන් විභාග සමත් වෙන දේශපාලනඥයන්ගේ දරුවන් ගැන කවුරුත් නිහඬයි!

    ReplyDelete
  13. හොඳම ගුරුවරු ඉන්නේ කොළඹ නොවන බවට තර්ක කිරීමෙන් පලක් නැත්තේ . හොඳම අය ඉන්නේ කොළඹ නිසාය ....... කරුමය වී ඇත්තේ හොඳම සිසුන් ඔවුන්ගෙන් ඉගෙන නොගැනීමයි

    ReplyDelete
  14. මේ දෙන්න මගේ ඉස්කෝලෙ, ජනක සර් මගෙත් ගුරුවරයා, 100% එකඟ වෙන්න පුලුවන් ලිපියක්, ජීව විද්‍යාවට හොඳම ඉසෙඩ් ස්කෝර් එක ගිය අවුරුද්දෙ තිබුනෙ හම්බන්තොට, මේක එක රැයකින් වෙච්ච දෙයක් නෙවෙයි.

    ReplyDelete

මොකෝ කියන්නේ ,ආපු එකේ මොනවහරි කියලම යමුනේද ?

linkwithin

Related Posts Plugin for WordPress, Blogger...