Tuesday, December 30, 2014

මරණ බිය - Going Solo 12


මනුස්සයෙක් ජීවිතයේ වඩාත්ම අසරණ කරන හැගීම මොකක්ද කියලා මම ඔබෙන් ඇහුවොත් ඔබේ උත්තරේ මොකක් වෙයිද? මරණ බිය ..... ජීවිතයේ අපි ගොඩක්ම අසරණ කරන හැගීම...මටත් ඒ අත්දැකීමට මුහුණ දෙන්න වුනා...මේ ඒ අඳුරු යුගයේ කතාවයි.....

දිනය  - 2008.01.16   ස්ථානය - බුත්තල 

වෙනදා  වගේම දවසක්...බදාදා....හම්මේ පොළ දවස.....බුත්තල ටවුමට වැඩියෙන්ම මිනිස්සු එන දවස.... හේනේ වවාගත්තු දෙයක් විකුණගන්න, ලයිට් බිල ගෙවාගන්න...නැත්නම් ගෙදරට ඕන අඩුම කුඩුම ටික එකතුකරගන්න කවුරුත් ටවුමට එන දවස...එතකොට බැංකුවල අපිට..???? සතියේ එපා..ම කරපු දවස...උදේට මක්ක හරි චුට්ටක් බඩට දාගෙන වාඩිවුනොත් දෙයියන්ගේ පිහිටෙන් හවස 4 වෙද්දී වගේ දවල්ට කන්න නැගිටින්න පුළුවන් වෙන දවස....ඒ ඉතින් බුත්තල එවුන්ටනේ...මට මොකෝ..මං වැඩ බඩල්කුඹුරෙන් .... මටනම් ටිකක් රිලැක්ස් දවස....උදේ පාන්දරම වැඩට යන්න ඕනත් නැහැ...8 වෙනකොට ගියාම ඇති.මං වෙනදට වැඩට යන්නේ උදේ 6.15 බුත්තල - බඩල්කුඹුර බස් එකේ...එතකොට බදාදට? එදාටනම් ඉතින් ඊට පස්සේ එන මාලිගාවිල - බඩල්කුඹුර බස් එකේ ගියාම ඇති....පොඩ්ඩක් අව්ව වැටෙනකල් නිදාගන්න තියෙන දවස...එතකොට ඔන්න එදාත් අන්න ඒ වගේ දවසක්.....

මාත් හයහමාරට විතර නැගිට්ටා...අනිත් එවුන්ට කලින් බාත්රූම් එකට රිංගගත්තේ නැත්නම් වෙලාවට ලෙස්තිවෙනවා බොරු...හතහමාරට විතර බස් එක චමරිය ඉස්සරහින් යන්නේ...මේ බස් එකේ එල්ලෙන එකේ අනිත්වාසිය තමයි චමරිය ගාවින්ම බස් එකට ගොඩවෙන්න පුළුවන් එක...හවසට එනකොටත් චමරිය ගාවින්ම බහින්න පුළුවන්.නැත්නම් ඉතින් ටවුමට පුස් බයිසිකලෙන් ඇදලා...ඒක ටවුමේ දාලා බස් එකක යන්න ඕන...ඔන්න මමත් ලෙස්තිවුනා...වෙලාව උදේ 7 ට විතර....තව පැය බාගයක් විතර ඉන්න ඕන...බස් එකට... ටී.වී.එක චුට්ටක් දාගෙන බැලුවා..කම්මැලි.... ඔන්නොහෙ බයිසිකලෙන් ටවුමට ගෙහුන්ම යනවා... මම බයිසිකලෙත් අරං පාරට බැස්සා...එක හුස්මට ටවුමට පැද්දා..බයිසිකලේ ටවුමේ විජේතුංග හෝටලේ පිටිපස්සට අතැරලා බුත්තල - බඩල්කුඹුර බස් එකේ එල්ලුනා...බස් එකත් කොට කොට ගියා...යන්තම් 8 වෙනකොට වැඩට ගියා...

ඔහොම වැඩිවෙලා ඉන්න වුනේ නෑ...ත්‍රීවීල් පාක් එකේසුනිල් අයියා දුවගෙන ආවා බැංකුව ඇතුලට...මහත්තයා..මහත්තයා... මාලිගාවිල බස් එකට කොටි ගහලලු.....මොනවා...වෙන්න බෑ...මගේ කටින් පිටවුනා..ඒත් මේ වගේ වෙලාවක මොනවා වෙන්න බැරිද?අපි ඉස්සෙල්ලම කලේ බැංකුව හොදින් දොර ජනෙල වහපු එක.ඊට පස්සේ ප්‍රාදේශීය කාර්යාලයෙන් උපදෙස් ගත්තා..වැඩිදුර උපදෙස් එනකල් බැංකුව ඇතුලට වෙලා ඉන්න කියලා උපදෙස් ලැබුනා.

ඒ අතරේ මම මගේම හීන ලෝකෙක...ඇත්තටම මේ මොකද වුනේ?මම හැමදාම එන බස් එක නේද?...ක්ලේමෝ එකක්ලු ගහලා තියෙන්නේ...20 ක් 30 ක් එතනමලු..ආරංචි හතර අතින්...කිසිම දෙයක් හිතාගන්න බෑ...දැන් වගේ හැම එකා අතේම හෑන්ඩ් ෆෝන් නුත් නැහැනේ..තිබ්බත් හරියට සිග්නල් නැහැ...බුත්තලිනුත් හරි ආරංචි එන්නේ නැහැ..දවල් වෙද්දී තවත් ආරංචියක්...හමුදාවේ බෆල් එකකටත් ක්ලේමෝ තියලලු...කතරගම රජමාවතේ.දෙයියනේ මේ මොකක්ද වෙන්න යන්නේ?මට හිතුනා...කොහොමහරි වෙනදට වඩා කලින් බැංකුව වහන්න උපදෙස් ලැබුනා...කොහොමත් බැංකුව ඇරගෙන හිටියත් වැඩක් නැහැ.ටවුමේ බලු බල්ලෙක් නැහැ...හරිම මූසලයි... එලියට බැස්සට මොකෝ බුත්තල යන්න බස් නැහැ..ත්‍රීවීල් වල අය රත්තරන් දෙනවා කිව්වත් යන්න කැමති නැහැ...කවුරුත් බයෙන්..මොකක්ද? ඔව් මම ඇතුළු කවුරුත් මරණ බයෙන්....කොහොම හරි ඒ පාර බදුල්ල මොනරාගල බස් එකක එල්ලිලා මොනරාගල ගියා..මොනරාගලින් වැල්ලවාය බස් එකක් එල්ලුනා..බස් එකට හමුදාවේ 6 ක් 7 කුත් නැග්ගා...කවුරුවත් කතා නැහැ..කවුරුත් බයෙන්..ඔව්..මරණ බයෙන්..හුලන්දාව...මහගොඩ යාය පහුවෙලා බස් එක බුත්තලට ආවා...මං බස් එකෙන් බැස්ස ගමන් පුෂ් බයිසිකලෙත් ඇරගෙන කෙලින්ම ගියේ බුත්තල ඉස්පිරිතාලෙට...එතන එකම මලගමක්....

වෙඩි වැදිලා ඔළු කුඩුවෙච්ච මිනී ඉස්පිරිතාලේ පුරාම...අමාරු ලෙඩ්ඩු සිරිගලට [මොනරාගල රෝහල] අරං ගියාලු...අපේ යාලු දොස්තර අමිත අයියත් එක්ක මමත් ගියා මැරුණු අය බලන්න....දෙයියනේ..වෙනදට මම යන බස් එකේ යන උදවිය....හෙළගම ගමේ මම හොදටම හදුනන කිහිප දෙනෙකුත් ඒ අතරේ..මට ලෝකේ මා වටේම කැරකෙනවා වගේ දැනුනා....දෙයියනේ මේ අසරණ මිනිස්සු.... අද බස් එකේ හිටියනම් සමහරවිට මාත් මේ අතරේ නේද? මැරුණු අය අතරේ බෝම්බ කෑලි වැදුණු අය අඩුයි...ඔක්කොගෙම ඔළුවලට වෙඩි වැදිලා...එහෙම වුනේ කොහොමද?

බෝම්බෙ බස් එකට හරියට වැදිලා නැහැ...හැබැයි බස් එක නැවතිලා..රෝදවල හුලන් ගිහින්....කැලේ හැංගිලා හිටපු කොටි බස් එක ලඟට ඇවිත් බහින බහින අයට වෙඩි තිබ්බලු....දෙයියනේ...මුන් කිරිසප්පයෝන්ටත් වෙඩි තියලා... මල්ලි...ඉක්මනට කනදෙයක් ඇරගෙන චමරියට ගිහින් දොරවල් ජනෙල් වහගෙන ඉන්න...අමිත අයියගේ කටහඬින් මම මේ ලෝකෙට ආවා....රෑට කන්න ඉඳිආප්ප ටිකකුත් අරගෙන චමරියට බයිසිකලේ පැද්දා....ඇඟ හෝදගෙන කන්න වාඩිවුනාට කන්න පිරියක් නැහැ...කැලේ ඇතුලෙන් වෙඩි සද්ද ඇහෙනවා....අනිත් අයත් කතාවක් නෑ...ඉදිආප්ප ටික එළියේ තිබ්බ බල්ලගේ පිගානට හලපු මම ඇවිත් ඇඳේ දිගාවුනා....

අනිත් අයත් නිදාගන්න ගියා...මහ රෑ මම ඇහැරුනා...මගේ කාමරය තිබුනේ චමරියේ පිටතින් ඇතුල් වෙන්න පුළුවන් විදිහට. මං ඇහැරුනේ මගේ ඇදුම් කබඩ් එක අස්සෙන් ආපු සද්දෙකට.වෙලාව රෑ එ‍කට විතර ඇති

ක්රීස් .......ක්රීස් .......ක්රීස් .....

අපිට දීලා තිබ්බේ වානේ වලින් හදපු කබඩ්.මං ඇඳෙන් නැගිටලා ගිහින් අතෙන් හය්යෙන් කබඩ් එකට තට්ටු කළා

දඩාස් ............දඩාස් ..............

ආයිත් ඇදට ඇවිත් නිදාගන්න හැදුවත් ආයෙත් අර සද්දේ....ඒ පාර මම පහත්වෙලා කබඩ් එක යටට ටෝච් එක ගහලා බැලුවා ,ආ .....මේ පොල් කුරුමිනියෙක්නේ ,මං කොස්ස ගෙන පොල් කුරුමිණියා එලියට ගත්තා ,කොස්සෙන්ම කුරුමිණියා තල්ලු කරගෙන එලියට බහින දොර ගාවට ගියා ,දොර ඇරියා ... කරාස් ....මේ දොර කොහොමත් ටිකක් හිරයි.කුරුමිණියා එලියට දැම්මා දොර වැහුවා....ආයෙත් ඇවිත් නින්ද නොයන නිසා සද්දේ අඩුවෙන් රේඩියෝව දාගෙන ඇදට වෙලා හිටියා .ඔහොම මට නින්ද යන්න ඇති.

මං ආයෙත් ඇහැරුනේ මගේ හෑන්ඩ් ෆෝන් එක රින්ග් වෙන්න ගත්තු නිසා...වෙලාව පාන්දර 3 ට විතර ඇති ,කතාකලේ මගේ හොද මිත්‍රයෙක් වන අපේ බැංකුවේ වැල්ලවාය ශාකාවේ මැනේජර් මහතාගේ ලොකු පුතා .ඔහු චරිත්

චරිත් - මචන් දැන් කවුද උබලගේ චමරියට ආවේ
 

මං - මොකක්

චරිත් - දැන් අමල් අපේ ගෙදරට කෝල් එකක් අරන් තිබුනා කොටි ඇවිල්ල කියලා...මේ අපි එන්න හදන්නේ.....

මං -උබට පිස්සුද බන්...ඉදපන් බලන්න මේ අමලයා කොහෙද කියලා .

මං අනිත් දොර අරගෙන අමල්ගේ කාමරේට ගියා ...අමල් හිටියේ නැහැ .ඔන්න දැන්නම් මාත් ටිකක් ඩිම් උනා

මං -යකෝ ,මුන් නැහැනේ ,මාවත් දාල මේ මහා රෑ මුන් කොහෙද ගියේ...මං මටම කියාගත්තා...

මට බයකට වඩා දැනුනේ තරහක් ,මම කෝල් එක කට් කරලා මහා හය්යෙන් කෑගැහුවා ,අමාල් ................අමාල්................

මෙන්න මූ එනවා ඇද යටින් එලියට...ගැහි ගැහි....

අමල් - මචන් උන් උබට මුකුත් කලේ නැද්ද ?

මං - කවුද යකෝ

අමල් - කොටි

මට දැන් යක්ස කේන්තියක් ආවත් බයේ වෙව්ලන අමල් දැක්කම ඒක නිකම්ම නිවිලා ගියා ....මං වතුර බෝතලයක් අරගෙන ඌට බොන්න දුන්නා

මං -දැන් කියපන් මොකද උනේ කියලා ,

අමල් -මචන් හරියටම එකට විතර උබේ කාමරේ දොරට ගහන සද්දයක් ඇහුනා ,(මං කබඩ් එකට ගහපු සද්දේ ) ඊලගට කාමරේ දොර ඇරලා වහනවත් ඇහුනා,ඊලගට කාමරේ කීප දෙනෙක් කතාකරනවත් ඇහුනා ,(මගේ රේඩියෝ එකේ සද්දේ )

මං - ඉතින්

අමල් - මං හිතුව බන් කොටි ඇවිත් උබව මරලා කියලා

මං -ඉතින් එච්චරද උබට හිතුනේ....

අමල් - නෑ බන් මට හිතුනා ඊලගට උන් මගේ කාමරේට ඒවි කියලා,ඉතින් මං මැනේජර්ට කෝල් එකක් ගත්තා ,ෆෝන් එක වැඩකලේ නැහැ...මං R.M. (ප්‍රාදේශීය කළමනාකරු ) ට ගත්තා....සර් 119 ට  කියන්නම් කිව්වා....ඊලගට මං චරිත්ලයි ගෙදරට ගත්තා ,

මං - ඌ තමයි මට කතාකලේ...දැන් ඉතින් කරන්න දෙයක් නැහැ...පොලිසියෙන් ආවොත් මොනවා හරි කියමු... 


කොහෙවත් නැති අමු මූසල කමක් අපිවටේ ගොඩනැගිලා කියල මට හිතුනා...මහ අසරණ කමක්...කොහොමහරි උදේට එලිවුනා..පොලිසියෙන් ආවේ නැහැ...අපි සුපුරුදු පරිදි ලේස්තිවෙලා වැඩට ගියා....තවත් ආරංචියක්..බෆල් එකට ක්ලේමෝ එක ගහපුවෙලේ බැංකුවේ වෑන් එකකුත් එතනින් ගිහින්...ඒ නිසාම සෙබළු කිහිප දෙනෙක්ගේ ජීවිතේ බේරගන්නත් හැකිවෙලා...අසරණ කමක් දැනුනු කතා ගොඩක් අස්සේ ඉඳලා හිටලා හිතට සැනසුමක් දෙන කතා අහන්නත් ලැබෙනවා....

එදා ඉඳං වැඩට ගියේ උදේ 6.15 බස් එකේ...බස් එකේ ඩ්‍රයිවර් සිරි අයියා... දවස් දෙක තුනකට පස්සේ...උදේ බස් එක ටවුම පහුකරලා ඉස්සරහට ගියා...තේක්ක කැලේ මැද්දේ..කවුද පොඩි පොඩි තේක්ක අතු කපලා පාර මැදට ඇදලා දාලා....සිරි අයියා බයෙන්..බයෙන් වුනත් බැහැලා ඉස්සරහට ගියා.... අපිත් බස් එකෙන් බැස්සා... සිරි අයියා එක කොළ අත්තයි අයින් කලේ....දෙයියනේ....කැති ගාපු මිනී දෙක තුනක්...කෑලි කෑලි වලට කපලා....මට මතක බස් එකට නැග්ග බවත් ...සිරි අයියා මාරා වේෂේන් වගේ බස් එක ආපහු බුත්තලට එලෝපු විත්තියත් විතරයි...රහතන්කන්ද පැත්තේ හේන් ගොවියෝ කිහිප දෙනෙක්ලු... උතුරේ යුද්දේ...මෙහාටත් ඇවිත් නේද? 

පහුවෙනිදා උදේ...තවත් අවාසනාවන්ත ආරංචියක්...අපේ ගෙවල් ගාව සාගර අයියා කුඩා ඔය අලිමංකඩ පොලිස් බැරියර් එකේදී කොටි ස්නයිපර් පාරකින් මැරිලා...දෙයියනේ....ජීවිතයේ කවදාවත්ම අමතක වෙන්නේ නැති කාලයක්...මට විතරක් නෙවේ...ඒ කාලේ බුත්තල විතරක් නෙවේ සෑම මායිම් ගම්මානෙක මිනිස්සුනට මරණ බිය දැනුනු කාලයක්...ඒ කාලේ යුදගනාව පැත්තේ මිනිස්සු පොඩි සද්දයක් ඇහුනත් පණ කඩාගෙන ගෙවල් වලින් එළියට බැහැලා දුවනවා....පුදුමාකාර අවාසනාවන්ත කාලයක්...

හැබැයි ඉක්මනින්ම මගේ රට ඒ ශාපයෙන් මිදුනා...2009 දී.. ඒත් ඒ වගේ කාලයක්...මම මුහුණ දුන්නේ බොහොම සීමිත අත්දැකීම් කිහිපයකට...ඒත් ඒ ගම්මානවල මිනිස්සු තමන්ගේ ජීවිත කාලෙන් හරි අඩක් මරණ බියෙන් ජීවත්වුණු මිනිස්සු... ඒ නිසා යුද්දය අවසන් වුනා කියන්නේ ඒ මිනිස්සුන්ගේ ජීවිතේ ලොකුම සහනය....කොළඹ අයටත් එහෙමයි....ඔන්න ඔහොමයි බුත්තල ජීවිතේ අඳුරුම කාලයක් ගෙවුනේ....මට කවදාවත් අමතක නොවෙන චරිත ගොඩක්...වීරවරයෝ...කඳුළු.... පිරි අතීතයක්....මැරෙනතුරානම් අමතක නොවේවි...

Tuesday, November 4, 2014

කරවිලේ කතාව - Going Solo 11


කෝමද  ඉතින්? දැන්නම් අපිව මතකත් නැතිව ඇති නේද ගොඩක් අයට..
යාළු මිත්ත්රයෝන්ගේ කොතෙක් අවවාද අනුසාසනා තිබ්බත් සමහර අයට හැදෙන්න නම කෙලවෙන්නම ඕනලුනේ..ආන්න ඒ වගේ..මාත් කොච්චර අය කිව්වත් ලියන්නේ නැතිව අතැරදාල තිබ්බ බ්ලොගේ මතක්වුනේ කකුලේ වළලුකරට පොඩි අතුරු ආන්තරාවක් වෙලා ඇඳට වැටුනම තමා ඕන්න.වයිද්ද උපදේසේ සතියක් ඇඳට වෙලා හිටු කියලා.ඒ කිව්වට බොලන් එහෙම කොහොමෙයි ඇඳට වෙලා සතියක් ගතකොරන්නේ.ඒක නිසා ආයෙත් එන්න හිතුනා බ්ලොගේ දූලි ගසා බසා දාලා දැකුළු මල් කඩාදාලා සුද්ද පවිත්තර කොරල දාන්න.ඒකත් ඉතින් නිකම්ම නෙවෙයි මගේ යුගයේ ජනප්‍රියතම ආදරණීය....[හුටා වැරදුනා ] මෙගා ටෙලිය [ආයිත් වැරදුනා]...තීරු ලිපිය Going Solo නැවත පටන්ගැනීමත් එක්ක....

අද  අපේ කතාව"කරවිල" ගැන...කරවිල කිව්වම ඔයාලට මතක්වෙන්නේ මොකක්ද?[ඇහුවා නේද ගොන් ප්‍රශ්නයක්,කරවිල කිව්වම මතක්වෙන්නේ යකෝ කරවිල මිසක් පතෝලද?]ඒක තමා ඔබ හරි කරවිල කිව්වම මතක්වෙන්නේ කරවිල තමා...ඔය උඩ පින්තුරේ තියෙන්නේ ...අන්න ඒවා තමා...සමහර අයටනම් කරවිල කිව්වම මතක්වෙන්නේ තිත්තනේ...සමහර අයටනම් තමන්ගේ බ්ලඩ් සුගර් ලෙවල් එකත් මතක්වෙන්න පුළුවන්.කොහොමවුනත් කරවිල කියන්නේ ගොඩක් අයට තිත්ත දෙයක් වුනත් මටනම් අදටත් කරවිල කියන්නේ බොහොම රසවත් දෙයක්...

කරවිල කියන්නේ තිත්ත ඒත් ගොඩක් ගුණ කෑමක් තමා.ඔය කරවිල වලත් තව තව අයියලා මල්ලිලා ඉන්නවනේ.ඒ වගේ එක්කෙනෙක් තමා ඔය "තුඹ කරවිල" කියන්නේ.ඔය තුඹ කරවිල මේ හේන්වල පාත්ති දාලා වගාකොරන ජාතියක් හෙම නෙවෙයි.අවුරුද්දේ එක්තරා කාලෙකට කැලේම ඉබේට හැදෙන ජාතියක් තමා ඔය තුඹ කරවිල.අපි ඒකාලේ විසුව බුත්තලට යන පාරෙත් දැන් ඔය යකඩ කුරුල්ලෝ හෙම නවත්තන මත්තල පැත්තේ ඉඳලා ඌව කුඩා ඔය හරියට යනකල් පාර දෙපැත්තේ තුඹ කරවිල එකතුකරන අය ඒ කාලෙට බොහොම සුලබ දර්සනයක්.මාත් ඉතින් බොහොම මනාපයි ඔය තුඹ කරවිල කිරට උයල හෙම කන්න.

ඔය  මං රැකියාවේ උසස්වීම ලැබිලා ගිය පළාතෙත් තිබ්බ නෙව තවත් කරවිලක්.කරවිල කිව්වට මේක ඔය එලොළුවක් හෙම නෙවේ.කරවිල කියන්නේ ඔය ඒ පැත්තේ තිබ්බ ගමක් නෙව.බඩල්කුඹුරේ ඉඳලා මැදගම යන පාරේ හමුවෙන්නේ.මං කලිනුත් කිව්වනේ අපි ඒ කාලේ ඔය සේවින්ග්ස් ප්‍රමොෂන් කැම්පේන් එහෙම කරනවා නෙව...ඉතින් ඕන්න ඔයි වගේ ඉරිදා දවසක අපිටත් යන්න තිබුනා කොහෙහරි ගමක් දෙකක් තෝරාගෙන යන්න.ඉතින් මේ කාලේ අපිත් එක්ක වැඩකලා ඔය කැම්පස් යනකල් තාවකාලිකව සේවෙට බන්දොගත්ත නංගි බබෙක්.මේ නංගි බබාලාගේ ගෙදර තිබ්බේ ඔය කිව්ව කරවිල ගමේ තමා.අපි කරවිල කිව්වට ඒ පැත්තේ උදවිය ඔය ගමට කියන්නේ "කරවිලේ" කියලයි.ඉතින් දවල්ට කන්න එහෙම ඒ නංගි බබාලාගේ ගෙදර ලැහැස්ති කොරනවා කිව්වා නිසා අපිත් උදහනැක්කෙන්ම ගියා කියමුකෝ ගමට.අපි කියන්නේ මමයි මාත් එක්ක වැඩකොරපු අනිත් අයියයි තව අපේ සිකුරිටි මහත්තයයි අනිත් කැම්පස් මලයයි තමා ඉතින්.

ඉතින් ඔය ගමට කරවිලේ කියල නම හැදිච්ච විදිහත් රසවත් කතාවක් ලු නෙව.ඔය ගමේ තියෙනවා නිල් කැටේට ගලන දොළ පාරක්.දොළ පාරක් කිව්වට මේකේ විසේසත්වේ තමා පොළවෙන් එකපාරටම පැන නගින දිය බුබුලකින් පටන් ගැනීම.මං හිතන්නේ භූගත ගංගාවක් පොලොව උඩට පැමිණෙන වෙලාවක් තමා ඒක.නැත්නම් කොහොමටවත් එච්චර ලොකු වතුර උල්පතක් එකම තැනකින් එන්න විදිහක් නෑ.මේකේ වතුර නෑවහම ලෙඩ රෝග හොදවෙනවා කියලත් මතයක් ඒ පැත්තේ උදවිය අතරේ තියෙනවා.ඉතින් මෙන්න මේ දියපාරෙන් මතුවෙච්ච "රත්තරන්" කරවිල ගෙඩියක් නිසාලු ගමට කරවිලේ කියල නම වැටුනේ.හැබැයි ඉතින් ඕන්න අපිනම් නෙවේ ඒකවත් ඒක හම්බුනේ කාටද කියලවත් හොයන්න ගියේ.අපිට මුටද අනුන්ගේ වග නේද?

ගම  කරවිල උනාට ගමේ ඇවිදින්න ගිය අපිටනං වැඩේ තිත්ත වුනේ නෑ...යන යන ගෙදරින් තැඹිලි ,හැලප ,බෙලිමල්,තේ,කෝපි වගේ දෙයක් වැරදුනෙම නැහැ.කොහොමත් දවල් වෙනකොට අපිට රුපියල් 10000 කට වැඩිය deposit හොයාගන්න බැරිවුනාට හොඳට බඩ පැලෙන්න කාල බීලනම් තිබ්බා.දහම්පාසල් ගිහිල්ල එන අච්චෝ බච්චෝ අපේ handbill , leaflet එහෙම බොහොම ආසාවෙන් අරන් ගියා.උන් ඒවායේ තියෙන පින්තුර දිහා බැලුවේ ටවුමේ ළමයෙක් සෙල්ලම් බඩුවක් දිහා බලන තරම් ආසාවකින්.සමහර අය ඒවා දහම්පාසල් පොත ඇතුලේ දාගත්තේ ගෙදර ගෙනිහින් රූප කපන්න වෙන්නැති.කොහොමවුනත් හවස්වෙනකොට ගමේ ගොඩක් ගෙවල් වලට යන්න අපිට පුළුවන් වුනා.ඒත් ඉතින් වැඩිය deposit නම් ලැබුනේ නැහැ.ඒත් ගියපු හැම ගෙදරකින්ම ආගන්තුක සත්කාර වගේම අපි කියපුවට හොදින් ඇහුම්කම් දීමත් වුනා.කොහොමවුනත් හවස්වෙනකොට හිත සතුටින් වගේම එක අතකට දුකකුත් දරාගෙන අපි ගමෙන් පිටවුනා.

කොහොමවුනත් අපි ඒ ගියපු ගමනේ ප්‍රතිපල අපිට ලැබුනේ සති දෙක තුනක් ගියාට පස්සේ.ගමේ හැම කෙනෙක්ම වගේ පොලේ ආපු දවසට තමන්ට පුලුපුලුවන් හැටියට කීයක්‌ ඉතුරුකරන්නත් වෙන බැංකුවල දාල තිබ්බ සල්ලිත් අරන් ඇවිත් අපේ බැංකුවේ දාන්නත් පටන් ගත්තා.ඒ අයගෙන් විස්තර අහපු වෙනත් ගම්වල උදවියත් ඊට පස්සේ අපේ බැංකුවට වැඩි වැඩියෙන් එන්න ගත්තා.එක තරුණ ජෝඩුවක්‌ හැමදාම පොලේ ඇවිත් කෙසෙල් කැන්,කිරි අල විකුනලා යන ගමන් පොඩි එකාගේ බැංකු පොතට හැමදාම රුපියල් 10,20 ක් දාන්නත් පුරුදුවෙලා හිටියා.ඒ අය හැමදාම පොඩි එකාගේ පොතට තෑගී තියෙනවද අහල යන්නේ.මූනත් ටිකක් නරක්කරගෙන.බැංකුවෙන් තෑගි දෙන්නේ ටිකක් මුදලක් එකතුවුනාමනේ.ඒත් ඒ අයට ඒ වගේ මුදලක් එකතුකරගන්න සෑහෙන කාලයක් යනවග මට තේරුනා.ඉතින් මං කලේ මගේ ගානේ පොත් බෑග් එකකුයි පැන්සල් පෙට්ටියයි වතුර බෝතලයයි පොත් පෑන් එහෙම ටිකක් ගෙනල්ලා දවසක් බැංකුවෙන් දෙන විදිහට දුන්නා.මොකද මං එහෙම කලේ ඒ අය කොච්චර දුප්පත්වුනත් "පිනට" දෙන දෙයක් නොගන්නා බව මට තේරුම් ගියනිසා.එදා ඒ අයගේ මූනේ තිබ්බ සතුට දැක්කම මට ඇතිවෙච්ච සතුට කොච්චර මුදලක් ගෙවලාවත් ලබාගන්න බැරි තරම් සතුටක්.

තව දවසක එක සීයාකෙනෙක් ඊට අවුරුදු 10 කට කලින් විකුනපු ඉඩමක සල්ලි ලක්ෂ දෙකක් බැංකු පොතේ දාන්න ආවා.එතකල් ඒ සීයා ඒ සල්ලි ගෙදර ලිප්බොක්කේ මුට්ටියක දාලා වලදාලා තිබිල තියෙන්නේ.හැම සල්ලි කොලේම කාවෝ තැනින් තැන විදලා.ඒත් ඒවාට අයිති නියම වටිනාකම ලබාදෙන්න අපිට පුළුවන් වුනා.අන්න ඒ වගේ මට කියන්න ඕන වුනේ අපේ රටේ බැංකු කොච්චර තිබ්බත් තාමත් බැංකුවක් එක්ක ගනුදෙනු නොකරන විශාල පිරිසක් අපේ රටේ ඉන්නවා කියනෙකයි.ඒක රටක විදිහට අපි දුක්වෙන්න ඕන කාරණයක්.අපි AC දාගෙන බැංකු ඇතුලට වෙලා ඉන්නවා කියන්නේ ගමේ ජනතාව තවදුරටත් බැංකුවලින් ඈත්වෙනවා කියනෙකයි.

අපි ඒ කාලේ වැඩකලේ ග්‍රාමීය ප්‍රදේශේක නිසා මිනිස්සුත් බැංකුවත් අතර තිබ්බ දුරස්ථ භාවය අඩුකරන්න අපි සෑහෙන පියවර ගත්තා.ගමේ අයගේ සාක්ෂරතාවය ටිකක් අඩු නිසා ඒ අයගේ තැන්පතුපත්,මුදල් ආපසු ගැනීමේ කොළ පුරවල දෙන්න අපි වෙනම කෙනෙක් යෙදෙව්වා.AC නිවල දාල ඉස්සරහ දොර ඇරලා තිව්වා.මොකද අපිට තේරුනා වහල තියෙන දොරක් ඇරගෙන එන්නට වඩා ඇරලා තියෙන දොරකින් ඇතුලට එන්න මිනිස්සු කැමති විත්තිය.ඒ වගේම හැකි සෑම වෙලාවකම මාරු සල්ලි වලින් සල්ලි ගෙවන්නත් අපි පුරුදුවුනා.ඒක නිසා ඒ වෙනකොට ඒ ටවුමේ තිබිච්ච ප්‍රධාන බැංකු ශාඛාවලට වැඩිය අපේ සේවා මධ්‍යස්තානෙට එන්න මිනිස්සු පුරුදු වුනා.මමත් හැකි සෑම වෙලාවටම එලියට බැහැලා පොලට,කඩපිල්වල, ත්‍රිරෝද රථ නැවතුම්පලවල්වල ඉන්න අයත් එක්ක කතාබහකලා.ඒ අයගේ අදහස් වලට කන් දුන්නා.එහෙම ආපු අදහස් ක්‍රියාවට නැංවුවා.දැන් ගොඩක් අය market research කියල එක එක කොම්පැනිවලට සල්ලි ගෙවල කරන දේවල් අපි බොහොම ලෙහෙසියෙන් පහසුවෙන් කළා.ඒවායේ ප්‍රතිපල ගත්තා.

කොහොමවුනත් අපි ඒ කරපු ඒ දේවල්වල ප්‍රතිපල අනුව ඉතාමත් කෙටිකලකින් අපිට අපේ සේවා මධ්‍යස්ථානය online banking ක්‍රමයට පරිවර්තනය කරගන්න මෙන්ම තවත් ඉතා කෙටිකලකින් ප්‍රධාන ශාඛාවක් බවට පත්කරගන්නත් හැකිවුනා.ඔන්න ඕකයි මං අද කියන්න ආව කරවිලේ "රසවත් කතාව"....

එහෙනං ඊළඟ කොටසින් හමුවෙමු.... ටටා...

Thursday, June 5, 2014

බට්ටාගේ පලහිලව්ව - Spirit of the game


හී...ඊ..ඊ...ඊ..ඊ..

බට්ටෝ .....මොකෝ මගේ සුදු පුතේ....

හී...ඊ..ඊ.. අනේ අම්මේ මන්නම් ආයි අර පින්වත්තේ කොල්ලෝ එක්කනම් ක්‍රිකට් ගහන්න යන්නේ නෑ....ඊ..ඊ....ඊ...

ආ..නාඩ..නාඩ හිටපන් මගේ රත්තරනේ...මොකක්ද ඒ අසමජ්ජාතියෝ මගේ බට්ටට කරේ....

අනේ  අම්මේ උන් අද අපිත් එක්ක ක්‍රිකට් ගහන්න ඇවිත් හොර කරලා මාව අවුට් කළා....ඊ..ඊ..ඊ...

අනේ මේ උඹලගේ ඔය කිරිකොට් කෙරුවාව ගැන මට ඒ හැටි තේරෙන්නේ නෑ...තාත්තා  ආවමවත් කියහන්කෝ...දැන් ඉතින් නාඩ ඉඳින් තාත්තා එනකල්....

----------

මේ  මැණිකේ...හරිම මහන්සියි...හදමුකෝ හොඳවයින් තේ එකක්...

මේ ඇහුනද.....අද අර පින්වත්තේ කොල්ලෝ ටික සෙල්ලං කරන වෙලාවේ අපේ බට්ට පුතාට අරියාදු කරලනේ.....

පින්වත්තේ කිව්වේ...????

ඇයි අනේ....මතක නැද්ද... අර ඔයයිලගේ සීයලාගේ කාලේ අපිට සින්නවෙලා තිබ්බ ඉඩම....කොහෙද ඉතින් සීයා නැතිවුනායින් පස්සේ ඔයයිලගේ අම්මා පිනට කියලා උන්ටම ආයේ ඉඩම ලියලා දුන්නනේ...දැන් ඔන්න ඕකේ ඉන්න වසවර්තියෝ ටික ගැන තමයි මං කිව්වේ....

ආ....හැබෑට මොකද වෙලා තියෙන්නේ...බට්ටෝ....මෙහෙ වරෙන් මයේ පුතේ...

බට්ටෝ...මොකද උනේ මයේ පුතේ....

අනේ  තාත්තේ...අද හවස අර පින්වත්තේ කොල්ලෝ ටික ආවා අපේ වත්තේ ක්‍රිකට් ගහන්න.අපිමයි උන්ට එන්න කිව්වේ.අපේ පිලේ හිටියේ මහප්පාගේ පුතාලයි මායි සුදු නැන්දගේ පුතාලා දෙන්නයි.උන් සෙල්ලං කරද්දී හොරකරලා මාව අවුට් කරලා මැච් එක දින්නා තාත්තේ...

මුන්ව තියන්න වටින්නේ නෑනේ...හැබෑට උන් මොනවද කලේ....

අපිමයි  උන්ට ඒ දවස්වල ක්‍රිකට් ගහනහැටි කියලා දුන්නෙත්.උන්ට ඒ දවස්වල බැට් බෝල තිබ්බෙත් නෑ.අදත් සෙල්ලං කලේ අපේ බැට් බෝල වලින්.සෙල්ලං කරද්දී උන් ගහන වෙලාවේ උන්ව අවුට් කරගන්න ඕන නිසා මහප්පාගේ ලොකු පුතා නීතියක් දැම්මා බෝලේ දාන්න කලින් ඉර පැන්නොත් අවුට් කරන්න පුළුවන්ය කියලා...

ඉතින්.... ඉතින්....

ඉස්සරත් නීති හැදුවේ අපිම තමා...ගස් කැච් ඔට්ටුයි කියලයි...වන්බම්ප් අවුට් කියලයි නීති හැදුවෙත් අපිම තමා.උන් ඒවාට මුකුත් සද්දයක් කලේ නෑ.ඊයේ මැච් එකේ උන්ට වැඩියෙන්ම ගැහුවේ මම.අද උන් ගහලා ඉවර වෙලා අපි බැට් කරද්දී අන්තිම හරියේදී බෝල දැම්මේ සේන මාමගේ පුතා.ඊයේ උන්ට ගහපු තරහටම අද ඌ එකපාරටම මම ඉර පැන්නා කියලා විකට් එක කැඩුවනේ.විකට් එක කඩලා උන් ඒ වෙලාවේ අම්පෙයාර් හිටපු සුදු නැන්දගේ පුතාගෙන් මගේ අවුට් එක ඉල්ලුවා.සුදු නැන්දගේ පුතා සද්ද නැතුව ඉන්න හදනකොට උන්ගේ පිලේ නායකයා හිටියේ අර මැතිව් මාමගේ කොල්ලා.ඌ වලියට ආවා.ඉතින් සුදු නැන්දගේ පුතාටත් අවුට් එක නොදී බැරිවුනා....අපි මැච් එකත් පරාදවුනා ඒ නිසා...උන් හරි හොරු තාත්තේ....ඊ...ඊ..ඊ..

මං එක දවසකුත් කිව්වනේ ඔය පින්වත්තේ එවුන් එක්ක තියෙන ඇයිහොඳයි නවත්තන්න කියලා...කෝ ඇහුවය....නීතියක් රීතියක් දන්න එවුන්ය ඕවයේ ඉන්නේ.යකෝ අපේ ඉඩම් අල්ලාගෙන දැන් එනවා මෙතන අපේ පොඩි එවුන්ගේ ඔළුවටත් අත හෝදන්න...කෙලෙහි ගුණයක් නැති පාහර හැත්ත...යන්නේ එහෙම නෑ මින් පස්සේ ඕකුන් එක්ක සෙල්ලමට....

....................................................................................................

එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර පසුගියදා පැවති පස්වැනි එක්දින තරඟයේදී 45 වැනි පන්දු ඕවරයේදී පන්දු යවමින් සිටි සචිත්‍ර සේනානායක විසින් ඒ අවස්තාවේදී පන්දු යවන්නාගේ අන්තයේ රැදී සිටි ජොස් බට්ලර් තමාගේ සීමා ඉර අබිභවා ඉදිරියට ගොස් සිටි බැවින් කඩුල්ල බිඳදමා [පන්දුව යැවීමට පෙර ]ඔහු දැවීගිය ක්‍රීඩකයකු මෙන් නම්කරන මෙන් විනිසුරු ගෙන් ඉල්ලා සිටියේය.ඊට පෙර ඕවරයේදීද සේනානායක විසින් දෙවරක්ම එසේ නොකරන මෙන් බට්ලර් වෙත අවවාද කරන ලදී.ශ්‍රී ලංකා පිලේ නායක ඇන්ජෙලෝ මැතිව්ස් ගෙන්ද ඒ පිලිබඳ විමසූ විනිසුරු බට්ලර් දැවී ගිය ක්‍රීඩකයකු සේ නම් කළේය.

මෙසේ  ක්‍රීඩකයකු දවා ගැනීම "මන්කාඩ්" කිරීම ලෙස හඳුන්වන අතර 1947 තරඟයකදී ඉන්දීය ක්‍රීඩක විනෝ මන්කාඩ් විසින් මෙවැනි ඉල්ලීමක් කලපසු දැන් එය ජාත්‍යන්තර ක්‍රිකට් නීතියක් බවට පත්ව ඇත.කෙසේවුවත් තරඟයෙන් පසුව එංගලන්තය චෝදනා කලේ ශ්‍රීලංකා පිල විසින් ක්‍රීඩාවේ ජීව ගුණයට හානිවන අයුරින් එම දවාගැනීම කල බවටයි.එසේම ඉදිරියේදී ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන තරඟ සඳහා එය අනිටු බලපෑමක් ඇතිකරවන්නක් බවයි. 

ශ්‍රී ලංකාව එංගලන්තයේ යටත් විජිතයක්ව පැවතී පසුව නිදහස ලැබූ රටක් වන අතර ක්‍රිකට් ක්‍රීඩාව මෙරටට හඳුන්වාදෙන ලද්දේ එංගලන්ත ජාතිකයින් විසිනි.ක්‍රිකට් ක්‍රීඩාවේ බොහෝ නීති සකස්කර ඇත්තේ එංගලන්ත ජාතිකයින් විසිනි.

පෙර  කතාව සහ පසුව පැවසු සිද්දිය අතර කිසිදු සමානකමක් නොමැති අතර ඔබට එම කතාවල යම් සමානකමක් හැගේ නම් ගැත්තාට සමාව දුන මැනවි....

Monday, May 26, 2014

මොකක්ද මේ ක්ෂුද්‍ර මූල්‍ය [Micro-Finance] කියන්නේ ?


"ඈ බං සොපි අක්කේ මේ පාර අවුරුද්දට පොඩිවුන්ට රෙදි කෑල්ලක්වත් අරන් දෙන්නේ කොහොමදැයි කියලා මං මේ කල්පනා කරේ" කරුණාවතී කිව්වේ දවල්වරුවේ වැවට ගොස් රෙදි සෝදන අතරතුරේය....

"ඉතින් බං උඹ ඔය කැවිලි පෙවිලි රහට හදන්න දස්සයා වෙච්චි,හදලා දාපන්කෝ ටවුමේ කඩවලට කැවුම් ,අතිරහ ටිකක්.කීයක්‌ හරි හොයාගන්න බැරුවය"

"ඒකනම් එහෙම තමා,ඒත් ඉතින් මුලින් පිටි සීනි ටික ගන්නවත් මයේ අතේ කීයක්වත් නැහැ නොවැ,කඩේ මුදලාලි අපිට දැන් ණයට දෙන්නෙත් නැහැ,දුන්නත් උන්දැගේ පොලිය ගෙව්වම කැවිලි හදලා ලාබයක් ගන්න බැහැ අක්කේ "

උඹට  කීයක්විතර තිබ්බනම් ඇතිද?

"රුපියල් 10000 ක් තිබ්බෝත්නම් කළමනා ටික ගන්න ඇතිවෙයි මයේ හිතේ,තාච්චි ආම්පන්න ටිකනම් මයේ ගාව තියෙනවා."

එහෙනම් වරෙන් අද හවසට ප්‍රජා ශාලාවේ තියෙන අපේ සමිතියට.උඹට මේ වෙලාවේ උදව්වක් ගන්න බැරි වෙන එකක් නැහැ......

-------------------

මාතෘකාවට කෙලින්ම බහින්නේ නැතිව පොඩි කතාවක් ලිව්වේ වැඩේට ආරම්භයක් විදිහට.මේ වගේ කතා අපි කොතෙකුත් අපි අපේ ජීවිතවල අහලා අත්දැකලා තියෙනවනේ.ඉතින් අපි අද කතාකරන්න බලාපොරොත්තුවෙන ක්ෂුද්‍ර මූල්‍ය කියන අංශයේ අන්තර්ගතය ඔන්න ඔය ඉහතසිද්දවුණු කතාබහ ඇතුලේ තියෙනවා.ලෝකයේ බොහෝ රටවලට මේ ක්ෂුද්‍ර මූල්‍ය කියන දේ අළුත් දෙයක් වුනාට අපේ රටේනම් මේ නමින්ම නැතත් ඉස්සර කාලේ පටන්ම මේ ක්ෂුද්‍ර මූල්‍යක්‍රමය යම්පමනකට ක්‍රියාත්මක වුනා.ලංකාවේ සමුපකාර ව්‍යාපාරය පටන් ගත්තේ ග්‍රාමීය දිළිඳුකම ගමේ ජනතාව තුලින්ම ඇතිවෙන වැඩපිළිවෙලකින් අකාමකා දැමීමේ ප්‍රයත්නයක් හැටියට.

ඉතින් ක්ෂුද්‍ර මූල්‍ය කියන්නෙත් මේ වගේ දේකටම තමා.ක්ෂුද්‍ර මූල්‍ය කියන දේට ගොඩක් නිර්වචන තිබුනත් මෙන්න මේ විදිහට ඒ දේ සරලව දක්වන්න පුළුවන්...

"විධිමත් මුල්‍ය ආයතන වෙත පහසුවෙන් ප්‍රවේශය විය නොහැකි,අඩු ආදායම් ලාභී ප්‍රජාවගේ ආරථික හා සමාජ තත්වය ඉහල නැංවීමට උපකාරී වන අයුරින් සපයන කුඩා පරිමාන මුල්‍ය සේවා ලෙස ක්ෂුද්‍ර මූල්‍යකරණය හැඳින්විය හැකියි"

ටිකක් බර වචන තිබ්බත් කාටත් පැහැදිලි ඇති කියලා හිතනවා.මේක කියෙව්වම කෙනෙකුට ඉස්සෙල්ලම එන්න පුළුවන් ගැටලුව තමයි ඇයි කෙනෙකුට විධිමත් මුල්‍ය ආයතන වෙත පහසුවෙන් ප්‍රවේශය විය නොහැක්කේ කියලා.ඒකටනම් හේතු ගොඩක් තියෙන්න පුළුවන්.අපි බලමු ඒ මොනවද කියලා..
  •  විධිමත්මුල්‍ය ආයතන වල පවත්නා නීතිරීති 
  • දුරස්ථභාවය 
  • අඩු මුල්‍ය සාක්ෂරතාවය 
  • අනන්‍යතාවය තහවුරු කිරීමේ ගැටළු 
  • මුල්‍ය  ආයතන වලින් ප්‍රතික්ෂේප කිරීම්
  • ස්වයංව හිතාමතා බැහැරවීම
ඔන්න  ඔය කියන හේතු එකක් හෝ කිහිපයක් නිසා සමහර ජනතාව විධිමත් මුල්‍ය ආයතන වෙතින් බැහැරවෙලා තියනවා.ගොඩක් වෙලාවට මෙහෙම වෙලා තියෙන්නේ අඩු ආදායම්ලාභී ජනතාව වීම විශේෂයි.ලංකාවටත් වඩා මේ තත්වය ඉන්දියාව ,බංග්ලාදේශය වැනි රටවල දකින්නට තියෙනවා.ඒකනිසා තමයි නූතන ක්ෂුද්‍ර මූල්‍ය ක්‍රමයේ නව නැම්මක් ඇතිකළ බංගලාදේශයේ ග්‍රාමීන් බැංකු ඇතිවෙන්නේ.මහාචාර්ය මොහොම්මඩ් යුනුස් විසින්  1976 දී මෙම බැංකුව පිහිටවන්නේ දිළිඳු කමින් පීඩා විඳින එහෙත් යම්කිසි ආදායම් උත්පාදනය කිරීමේ හැකියාවක් ඇති ජනතාව වෙත ලිහිල් සුරැකුම් යටතේ ණය ලබාදීමේ වැඩපිළිවෙලක් සමගයි.ගොඩ දෙනෙක් මේ
ක්ෂුද්‍ර මූල්‍ය කියන දේ ආධාරමුදලක් ලබාදීමක් විදිහටත් හිතනවා.එය සම්පුර්ණයෙන්ම වැරදි නිගමනයක්.මෙය කිසිසේත්ම ආධාර මුදලක්නම් නෙමෙයි.අනෙක් ණය මුදලක් මෙන්ම මේවාද නිසිකලට ගෙවා නිමකළ යුතුයි.එහෙත් වෙනත් ණයවලට වඩා
ක්ෂුද්‍ර මූල්‍ය යන්න වෙනස්වෙන්නේ එම මුල්‍ය පහසුකම් මගින් එය ලබාගන්නා ජනතාවගේ ආර්ථික තත්වය මෙන්ම සමාජ තත්වයද ඉහලනැන්වීමඅරමුණු කරගෙන තිබෙන නිසා.ඒ වගේම ඔවුනට දාරගත හැකි පොලියකට සහ ලිහිල් සුරැකුම් කොන්දේසි යටතේ ලබාදෙන නිසා.වඩාත් වැදගත්ම කාරණය වන්නේ මෙම සංවර්ධනය ඇතිකරවන්නේ ඔවුන් තුලින්ම පැනනගින ක්‍රියාවලියක් හැටියටයි.බංගලාදේශයට අමතරව ඉන්දියාව ,ඉන්දුනීසියාව වැනි රටවලත් මේ ක්ෂුද්‍ර මූල්‍යකරණය ඉතා සාර්ථකව ක්‍රියාත්මක වෙනවා.

අපි දැන් ක්ෂුද්‍ර මූල්‍යකරණයේ ලංකාවේ පසුබිම දෙසට හැරෙමුකෝ.මං කිව්වා වගේම ලංකාවේ ඒ කාලේ ඇතිවුණු සමූපකාර ව්‍යාපාරය මගින් බලාපොරෝත්තුවුනේ ග්‍රාමීය අඩු ආදායම් ලබන ජනතාවගේ ජීවන තත්වය එම ජනතාව මගින්ම ඇතිවන සංවිධානයක් මගින් පලවාහැරීමයි.ඒ යටතේ ග්‍රාමීය බැංකුව සහ පසුකාලීනව මහජන බැංකුව වැනි ආයතනත් බිහිවුනේ අර මුලින් කිව්ව අරමුණම ඇතිව තමා.වර්තමානයේ ශ්‍රී ලංකා මහා බැංකුවේ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුවේ මගපෙන්වීම ඇතිව ශ්‍රී ලංකාව පුරාම කුඩා කණ්ඩායම් ක්‍රමය මගින් මේ ක්ෂුද්‍ර මූල්‍යකරණය ක්‍රියාත්මක වෙනවා.ඒ සඳහා ප්‍රධාන පෙලේ වාණිජ බැංකු කිහිපයකුත් සංවර්ධන බැංකු කිහිපයකුත් ක්‍රියාත්මක වෙනවා.ඒ යටතේ කුඩා කණ්ඩායම් ඇති කිරීමත් ඒ මගින් අඩු ආදායම්ලාභී ජනතාවගේ ඉතිරිකිරීම් වැඩිදියුණු කිරීම,සමාජ සජීවීකරණ ක්‍රියා වැඩිදියුණු කිරීම සහ ඔවුන්ගේ ව්‍යවසාය සංවර්ධනය කිරීම සිදුවෙනවා.අන්න ඒ විදිහට පිහිටවපු සමිතියක් ගැන තමයි අපි ඉස්සෙල්ලම සඳහන් කරපු දෙබසේ කතාවුනේ.මේ පිළිබඳව වැඩිදුර විස්තර තවත් ලිපියකින් කියන්න බලාපොරොත්තු වෙනවා.

එහෙත් වර්තමානයේ ක්ෂුද්‍ර මූල්‍ය නමින් ලංකාව තුල ක්‍රියාත්මක වන යම් යම් ආයතන සිදු කරන වැඩපිළිවෙලවල් නම් කිසිසේත්ම අනුමතකල නොහැකියි.මං කලින් කිව්වා වගේ ක්ෂුද්‍ර මූල්‍යකරණයෙන් බලාපොරොත්තුවෙන කරුණු දෙකක් තියෙනවා.ඒ තමයි...
  •  ඉලක්කගත අඩු ආදායම්ලාභී ප්‍රජාව වෙත ඔවුනට දැරිය හැකි මිලකට මුල්‍ය පහසුකම් ලබාදීම.
  • එමගින් ඔවුන්ගේ දුප්පත්කම අඩුකරලීම.
 ඔන්න දැන් ඔයාලටම තීරණය කරන්න පුළුවන් ඒ ආයතනවලින් ඒ දේ සිදුවෙනවාද කියලා.ඇත්තටම සිදුවෙන්නේ මේකේ අනිත් පැත්ත.අඩු ආදායම්ලාභී ප්‍රජාවට දරාගත නොහැකි පොලියකට ණය ලබාදීම මගින් මේ වනවිටත් අපේ රටේ ග්‍රාමීය ජනතාවගෙන් විශාල පිරිසක් විශාල ණය උගුලක පටලවලා තියෙනවා.ළඟටම පැමිණ ණය දෙනනිසාත් ඉතා ඉක්මනින් ණය දෙන නිසාත් අපේ ගොඩ දෙනෙක් පොලී අනුපාතය ගැන සැලකිලිමත් වෙන්නේ නෑ.ඒත් හරියට බැලුවොත් මේ ආයතන වෙතින් වෙන්නෙත්  අර ඉස්සර ගමේ "පොලී මුදලාලි"ගෙන් වුනුං සේවේම තමා.

ක්ෂුද්‍ර මූල්‍ය ගැනත් එය ලංකාවේ ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙන 
ආකාරයත් ඉදිරි ලිපියකින් පැහැදිලි කරන්නම්.

වැඩි දුර විස්තර සඳහා ....

http://en.wikipedia.org/wiki/Microfinance 

http://en.wikipedia.org/wiki/Microcredit 

http://en.wikipedia.org/wiki/Self-help_group_%28finance%29

Central bank of srilanka - Regional Development Lending Programmes 

Thursday, May 15, 2014

බජ්ජන් දමනය....

බජ්ජන් ඉස්සෙල්ලාම අපේ ගමට ආවේ මට මතක හැටියට 2001 අවුරුද්දේය.බජ්ජන් අපේ ගමට කඩාවැටුනේද අහම්බෙනි.බජ්ජන්ලාගේ තාත්තා අපේ ගමට අල්ලපු ගමක කඩයක් කළේය.කුමක් හෝ හේතුවකට බජ්ජන්ලාගේ තාත්තාට හදිසියේම කඩය වසා නැවත භාරදෙන්නට සිද්දවුනේය.බඩු මුට්ටු ටිකත් ගෙන පාරට බැස්ස බජ්ජන්ලාගේ තාත්තා කඩකාමරයක් හොයමින් අහල පහල ගම්වල කරක් ගහද්දී අපේ මුත්තාගේ වසාදමා තිබු කඩකාමරය දැක අපේ ආච්චි හමුවී කඩය දමාගන්නට කඩකාමරය ඉල්ලා ගත්තේය.

බජ්ජන්ලාගේ තාත්තාගේ නම බාලමහත්තයාය.බාලමහත්තයා 417 හන්දියට අළුත් කෙනෙක් නොවීය.අහල පහල ගමේ කෙනෙක් වුනු බාලමහත්තයාට කඩේ දමාගත්පසු බිස්නස් අතින්නම් පාඩු නොවීය.මෙසේ ටික දවසක් ගතවනවිට දිනක් හදිසියේම කොහේදෝ සිට බජ්ජන් කඩාපාත් වුනේය.දඩාවතේ ගොස් ලෙල්ලටම නසරානි වී සිටි බජ්ජන් ගැන 417 හන්දියේ කොල්ලන් හොඳහැටි දැන සිටියේය.කේස් හතර පහකටම පොලිස් කූඩුවේ කූරු ගණන් කර තිබු බජ්ජන්ට ඒ වනවිටත් අවුරුදු 25 කට වැඩි නොවීය.බජ්ජන්ලාගේ ගෙවල් තිබුණු පැත්තේ හැමදාම හවසට වලියක්ය.පිරිමි පමණක් නොව ගෑනුන්ද රෙදි කරට ගෙන මුඛයෙන් ශ්‍රී වදන් තෙපලමින් කැති,පොළු,උදළු රැගෙන වලිය කාගේ වුවද ඊට සහභාගී වන්නේය.කුඩාකල පටන්ම මේ පරිසරයේ හැදුනු බජ්ජන් නියමිත කාලය වනවිට කොල්ලන් ගැන්සියක් හදාගෙන වැඩ පටන්ගෙන තිබුනේය.

 ඔන්න  ඔය විදිහේ පොරක් වුනු බජ්ජන් හිටිහැටියේම තාත්තා හොයාගෙන පැමිණ අපේ ගමේ පදිංචි වීම මහත් පුදුමයක් විය.කුමක්හෝ කරුණකින් බජ්ජන්ට සුපුරුදු ගැන්සිය මගහැර සිටීමට වුනු සිද්දියක් වී තිබුනේය.එහෙත් ඒ කුමක්දැයි කාටවත් හොයාගන්නට බැරිවිය.ගමට ආ මුල් දිනවල සද්ද නැතුව කඩේ ඇතුලට වී සිටි බජ්ජන් ටික ටික කලඑළි බහින්නට විය.බජ්ජන් ඉස්සේලාම ආවේ අපි ක්‍රිකට් ගහන තැනටය.ක්‍රිකට් ගසද්දී සැරින් සැරේ කොල්ලන් සමග පොඩි පොඩි වළි දාගැනීම බජ්ජන්ගේ සිරිත විය.කොල්ලන්ගේ විහිළු නොතේරුණු බජ්ජන් බොහෝ වෙලාවට කොල්ලන්ගේ සිනාවට ලක්විය.එහෙත් ඉස්සර කරපු වැඩ 417 හන්දියේදී පෙන්විය නොහැකි බැවින් බජ්ජන් කටපියාගෙන පැත්තකට වුනේය.

බජ්ජන් ගමට ඇවිත් ටික දිනකින් පොඩි වැඩකට අතගැසුවේය.ඒනම් අපේ කඩේ වහලට යටින් ඉටිරෙදි වලින් සිවිලිමක් ගැසීමයි.බජ්ජන් කොච්චර ලස්සනට වැඩේ කොලාද කියතොත් ඉන්පසු ගමේ ගෙවල් කිහිපයකම ඉටිරෙදි සිවිලිම් ගැසීමට බජ්ජන්ට සිදුවිය.එහෙත් ඒ කිසි වැඩක් සඳහා මුදල් නම් ගත්තේ නැත.මොන අලුගුත්තේරු වැඩේ කලත් බජ්ජන් අරක්කු උගුරක්‌ හෝ කටේ තියනවා මම දැක නැත.බජ්ජන්ගේ මේ විපරියාසය ගොඩ දෙනෙකුට පුදුමයක් විය.මට බජ්ජන් හරියටම සෙට් වුනේ 2002 වෙසක් දවස්වලය.මම නිකන් ඉන්නට බැරි කමට තඩි වෙසක් කූඩුවක් හැදුවෙමි.අටපට්ටම්ක් වුනු මම එය හැදුවේ රීප්ප උදව් කරගෙනය.කූඩුව උසින් පමණක් අඩි 9 ක් විතර විය.අඩි 9 ක් උස කූඩුවේ සව්කොළ ඇලවිය නොහැකි නිසා ඒ වෙනුවට ඉටිකොළ ගසා දුන්නේ බජ්ජන්ය.ඒ පමණක් නොව ඒ අටපට්ටමට තවත් අඩි 40 ක් පමණ රැලි දමා කූඩුව අපේ ගෙදර ඉස්සරහා අලිගැට පෙර ගහේ උඩම අත්තට ලනුවක් දමා එල්ලන්නට උදව් වුනේද බජ්ජන්ය.

මෙයින් පසු බජ්ජන් මාත් එක්කබොහොම හිතවත් විය.අපි ඊළඟට කලේ අපේ කඩේ පල්ලෙහා තිබුණු ලිඳ ඉහීමයි.පාර හදද්දී කවුදෝ අලුගුත්තෙරුවෙක් ඒ ලිඳට ගල් පස් දමා බාගෙට ගොඩකර තිබුනේය.බජ්ජනුත් මමත් එකතුවී ලිඳ හාරන්නට ලේස්තිවෙද්දී ගොඩ දෙනෙක් අපිට හිනාවුනේය.ඒත් බජ්ජනුත් මමත් සතියක් පමණ මහන්සි වී පස් ටික ඔක්කොමත් දෙකක් හැර ලිඳට දමා තිබු ගල් ඔක්කොමත් ගොඩට ඇද්දෙමු.ඉන්පසු අපිට සිනාවුණු ගමේ බොහෝ දෙනෙකුද පායන කාලයට ඒ ලිඳෙන් නා කියා ගත්තේය.

417 හන්දියට එනවිට සිටි බජ්ජන් ටිකකලක් යනවිට හාත්පසින්ම වෙනස්වුනේය.කොල්ලන් රැල සමග බොහෝ හිතවත් වූ බජ්ජන් ක්‍රිකට් පිටියේ නිතර දකින්නට සිටි චරිතයක් විය.එහෙත් කොල්ලන්ගෙන් බයිට් වීම නිසාම කෝප ගැනීම බජ්ජන් වෙතින් ටික කලකින්ම ගිලිහුණේය.

ගෙදරින් පැනගොස් සිටි කාලයේ බජ්ජන් බොහෝ රැකියා කර තිබුනේය.කුලී වැඩ,වඩු වැඩ,මේසන් වැඩ ඒ අතරින් කිහිපයකි.බජ්ජන්ගේ මේසන් වැඩදඅගය කළහැකිමට්ටමක තිබුණි.ඒ නිසා ඒ දවස්වල කඩේ සහ අපේ ගෙදර පොඩි පොඩි වැඩ කිහිපයක්ම බජ්ජන් අතින් නිමවිය.බජ්ජන්ලාගේ තාත්තා වුනු බාලමහත්තයා අපේ කඩේ අසල මුදල් ඔට්ටුවට ඕමි පිටියක් පටන්ගත්තේය.තාත්තා කලද බජ්ජන් මේ වැඩේට උදව් දීමට ගියේ නැත.ඕමි සෙල්ලම නිසාම ටික කලකින් බජ්ජන්ලාගේ තාත්තාට 417 හන්දියෙන් යන්නට සිදුවිය.ඒ නිසාම බජ්ජනුත් 417 හන්දියෙන් සමුගත්තේය.

වසර 10 කට පමණ පසුව පහුගියදා මගදී මට බජ්ජන් නැවත හමුවිය.යතුරු පැදියක නැගී මාවෙත ආ බජ්ජන්...

මහත්තයා...

මම - ආ ...රුවන්  [බජ්ජන්ගේ නියම නම රුවන්ය]කොහොමද?සෑහෙන වෙනස්වෙලානේ?මට එකපාරටම අඳුන ගන්නත් බැරිවුනා...

ඔව්..මහත්තයා...දැන් මම මේසන් වැඩ කරනවා..බැන්ද...බබාලත් ඉන්නවා...අපි මේ සැරේ වෙසක් එකට තොරණක් ගහනවා..මම පහුගිය දවසක මාත්ත්යාලගේ ගෙවල් පැත්තේ ගියා.මහත්තයා වැඩට ගිහින්.තාත්තා ආධාරයක්‌ දුන්නා...

මම - හොඳයි...හොඳයි...මම එහෙනම් ගිහින් එන්නම්...


"නභජේ පාපකේ මිත්තේ-නභජේ පුරිසාධමේ

භජේථි මිත්තේ කළ්‍යාණෝ-භජේථ පුරිසුත්තමේ"

පවිටු  මිතුරු ඇසුරෙන් මිදෙමු - කලණ මිතුරන්ම ඇසුරු කරමු.

Monday, May 5, 2014

පරණ ලයිටරෙන් මෝටර්සයිකලයක් හදමු - Weekend Project

http://www.instructables.com

කාලෙකින් ඔන්න ඔයාලට සෙල්ලම් බඩුවක් හදන හැටි කියලා දෙන්න හිතුනා...මීට අවුරුදු 10 කට 15 කට කලින් මං නිතරම හදපු සෙල්ලම් බඩුවක් තමයි මේ.මීට කලින් Weekend Project වැඩසටහනෙන් කියලා දුන්නේ ස්වභාවික දේවල් වලින් හදන සෙල්ලම්බඩු වුනාට ඔන්න මේ පාර කියලා දෙන්නේ අපතේ යන කෘත්‍රිම දෙයකින් හදන චුට්ටිම චුට්ටි ඒත් ආස හිතෙන සෙල්ලම් බඩුවක්.අද තවත් විශේෂත්වයක් තියෙනවා.මට හදිස්සියට අවශ්‍යකරන දේවල් හොයාගන්න බැරිවුනා.ඒත් ඉතින් බයවෙන්නේ මොකටද නේද ?දැන් අන්තර්ජාලේ හැම දෙයක්ම තියෙනවනේ.ඒක නිසා අද පින්තුර අන්තර්ජාලෙන් ගත්තු ඒවා තමයි තියෙන්නේ [පින්තුර -http://www.instructables.com වෙබ් අඩවියෙන්].පස්සේ වෙලාවක මං හදපු එකක ෆොටෝ එකක් දාන්නම්.අනික මේකේ තියෙන්නේ පොඩි පොඩි කෑලිබෑලි නිසා හොඳ කැමරාවකුත් ඕනා කරනවා ෆොටෝ ගන්න.මගේ දුප්පත් කැමර් එකෙන් මේ වගේ හොඳ ෆොටෝ ගන්න අමාරුයි.එනිවේ වැඩේ පටා....න් ගමු.මුලින්ම සුපුරුදු පරිදි අවශ්‍ය දේ....

මේක හදන්න අවශ්‍ය එකම දෙයයි.ඒ තමයි පරණ ඉවරවෙච්චි ලයිටර් දෙකක්.ඒ දෙකේ කෑලි වලින් චුට්ටි සෙල්ලම් මොටර්බයිසිකලයක් හදන්න තමයි අද ලේස්තිවෙන්නේ.ඔය උඩම තියෙන පින්තුරේ විදිහේ එකක්.හැබැයි රජෝ මේකට ඕන වෙන්නේ අර ගිනිගලත් එක්ක රෝදේ තියෙන ලයිටර් දෙකක් හොඳේ...හරි බඩු හොයාගත්තනම් වැඩේට බහිමු...
http://www.instructables.com
 මුලින්ම කෑලි ටික ගලවලා ලයිටර් දෙක මස් කරන්න තමයි තියෙන්නේ.ඔය උඩ පින්තුරේ තියෙන විදිහට..

ඊළඟට වැඩේ ඉස්සරහට යන්න ලේසි වෙන්න ඕන කෑලිබෑලි ටිකට ඉලක්කම් දාගත්තා...

 මුලින්ම කරන්න තියෙන්නේ අංක 2 ප්ලාස්ටික් කැබැල්ල අරගෙන ඒකෙ සිදුරට අංක 5 කියන ස්ප්‍රින්ග් එක දාලා අංක 7 යකඩ විල්ල ඒ ස්ප්‍රින්ග් එකේ උඩට තියලා අංක 8 කියන යකඩ රෝදේ ඒ ස්රින්ග් එකෙන් තදවෙලා හිටින පරිදි ඔන්න ඔය උඩ රූපේ විදිහට රඳවාගන්න එක තමයි.මේ විදිහට සෙට් දෙකම හදාගන්න.ඔය අපි හදාගත්තේ බයික් එකේ රෝද දෙක.

 ඊට පස්සේ කරන්න තියෙන්නේ අර හදාගත්තු සෙට් දෙකෙන් එකක් අරගෙන ඒකට ඔන්න ඔය උඩ රූපේ විදිහට අංක 3 ප්ලාස්ටික් කැබැල්ලක් හයිකරගන්න එක.මේක තමයි බයික් එකේ සීට් එක වෙන්නේ.

 ඊළඟට කරන්න තියෙන්නේ අර සීට් එක හයිකරගත්තු රෝද සෙට් එකේම සයිලන්සර් දෙක හයිකරගන්න එක.ඒකට ඕනා වෙන්නේ අංක 4 සහ 6 කැබලි.ඔන්න ඔය උඩ රූපේ තියෙන විදිහට හයිකරගන්න තමයි තියෙන්නේ.

ඊළඟට අර අනිත් රෝද සෙට් එක අරගෙන ඒකෙ ඔය උඩ තියෙන විදිහට අංක 9 කැබලි සවිකරගන්න තියෙන්නේ.රූපේ විදිහට චුට්ටක් දිග ඉතුරුවෙන්න කපලා පොඩ්ඩක් රත්කරහම ඉබේම සීල් වෙනවා.මේ තමයි අපේ බයික් එකේ හැන්ඩ්ල් එක.
ඔන්න ඊළඟට කරන්න තියෙන්නේ අංක 1 කියන යකඩ විල්ල ලස්සනට බයික් එකේ ෆ්රන්ට් පැනල් එක විදිහට සවිකරගන්න එක.ඒක තමන් කැමති විදිහකට සවිකරගන්න පුළුවන්.


ඔන්න වැඩේ අවසාන පියවර ...දැන් තියෙන්නේ අර රෝද සෙට් දෙක එකිනෙකට සවිකරගන්න.ඔය රූපේ තියෙන විදිහට.සුපර්ග්ලු බින්දුවක් දැම්මනම් වැඩේ හරි.මේක හදන හැටි වඩාත් පැහැදිලිවෙයි පල්ලෙහා තියෙන පොඩි වීඩියෝ එකත් බැලුවොත්.


පොඩ්ඩක් වෙනස්වුනත් වැඩේ පැහැදිලියි නේද?Weekend එකේ පබ්ලිෂ් කරන්න හිටියත් මගේ වැඩේට ලයිටර් දෙකක් හොයාගන්න බැරිවුනා.කොහොමවුනත් වැඩේ ලේසියි.ලස්සනයි.එහෙනම් හදාගෙන පදින එකයි ඇත්තේ...අපි ගෙහුං එන්නං...ටටා...


පින්තුර photo credit -http://www.instructables.com

Wednesday, April 16, 2014

සැන්ඩි දූපත.....


මිනිසුන්ව ඉපදුනු අපි හැමටම සිහින ඇත්තේය.....කුඩා කල කෙනෙකු ලොකුමහත්වී දොස්තර කෙනෙකු වන්නට සිහින දකින අතර තවකෙකුට ඇත්තේ ඉංජිනේරුවකු වීමේ සිහිනයකි..කුඩාකල පටන්ම මා සතුව පවතී සිහිනය වුනේ කවදා කෙසේ හෝ මේ කරදිය වළල්ලෙන් එපිට රටකට පය ගැසීමේ සිහිනයයි....දිගුකාලයකට නැතත් කෙටි සංචාරයකට හෝ පිටරටකට යමියි මා අදිටන් කරගෙන සිටියෙමි.නොබෝ දිනකින්ම මා හට ඒ සඳහා අවස්තාවක් ලැබුණු අතර එය තායිලන්ත සංචාරයක් විය...මගේ සංචාරය ගැන ඇසු මගේ බොක්කේ ප්රෙන්තෙක්ද මගේ ගමනට සෙට්විය...මෙය කියවන ඔබ සැම ඔහු නොහඳුනන නිසා අපි ඔහු සමන් යයි නම්කරමු...

සමනුත්  මමත් සංචාරය සඳහා පිටත්ව යාමට කටුනායක ගුවන් තොටුපොළට පැමිණි අතර නියමිත වෙලාවටම ගුවන් යානය පිටත්විය.මගෙ මෙන්ම සමන්ගේද මුල්ම ගුවන්ගමන මෙය වූ බැවින් අපි දෙදෙනා බෙල්ල හරෝගෙන ගුවන් යානයේ වීදුරුවෙන් පෙනෙන දර්සන බලමින් උන්නෙමු.ගුවන් යානයේ සේවයේ නියුතු ලස්සන ගෑනුලමයෙක් ඉඳහිට කතාකොට කෑම ටිකක් බීම ටිකක් දීමක් හැර විශේෂිත කිසිවක් සිදුනොවීය.මේ මුලුකාලයම සමනා කලේ FB එකේ ස්ටේටස් දැමීමත් ඒ මේ අතට ෆෝන් එක හරව හරවා ෆොටෝ ගැනීමත් පමණි.බොන්නට දුන් වයින් වීදුරුවද මේ යෝධයා එක එක පැත්තට හරව හරවා ෆොටෝ ගත්තේ FB එකේ දාන්නය.එහෙත් ටික වෙලාවකින් යානයේ ඇතිවූ දරුණු ගැස්මක් සමග මගීන් විලාප නගන්නට විය.ටික වෙලාවකින් ගැස්ම තරමක් අඩුවූ නමුත් සම්පුර්ණයෙන් නැවතුනේ නැත.ඒ සමගම ගුවන්යානයේ ශබ්ද විකාශන යන්ත්‍රයෙන් ගුවන් නියමුවාගේ හඬ නැගී ආවේය.

"හිතවත් මගීනි,අපගේ යානයේ එන්ජින් දෙකම ක්‍රියා විරහිතවී තිබෙනවා මේ අවස්තාවේදී.අපි දැන් ගමන්ගන්නේ අන්දමන් දූපත්වලට ඉහලින් ,ඒ නිසා අපි ලගම ඇති ගුවන් තොටුපොළට යානය ගෙනයන්න උපරිම උත්සාහය දරනවා.ඒ නිසා  ඔබේ ජීවිතාරක්ෂක ජැකට්ටු පලඳගන්නා මෙන් කාරුනිකව ඉල්ලා සිටිනවා"

ඒ  සමගම යානය නැවතත් තදින් ගැස්සෙන්නට වුනු අතර මගේ ඔලුව ඉදිරි අසුනේ වදිනවා මට මතකය.ඉන්පසු මට සිහි නැතිවුවා විය යුතුය......
මුහුදු  ලිහිණියන්ගේ හඬින් මා අවදිවුනෙමි.එක්වරම මට ඉන්නා තැන ගැන සිහියක් නොමැතිවිය.තැඹිලි පැහැති ජීවිතාරක්ෂක බෝට්ටුවක මමත් සමනත් තවත් චීනෙක් වැනි එකෙකුත්  වුන්නෙමු.ගුවන්යානයේ ගමන ගැනත් අවසන් මොහොත ගැනත් මට සිහියට එන්නටවිය.නැගිට ගැනීමට පණක් නැතත් සමන් ගාවට බඩගාගෙන ගිය මා බෝට්ටුවේ රැස්වී තිබු වතුර ටිකක් ඉස ඔහු ඇහැරවීමට උත්සාහ ගත්තෙමි.මුලින් මලාක් මෙන්වුන් සමනා දෙතුන්වරක් තට්ටු දාන විට සිහියට ආවේය.

මොකක්ද  හු.....  වුනේ?

අනේ  මන්දා බං මටත් හිතාගන්න බෑ.ප්ලේන් එක මූදට පාත්කරාට පස්සේ මටත් සිහිය නැතිවුනා...අපි කොහොමද බං මේකට ගොඩ වුනේ.....කවුරුහරි උස්සලා දාන්නතිනේ....

බඩගාගෙනම  චීනා ලඟට ගිය සමන්....

ඒ  බං...මු මැරිලද කොහෙද බං....මේ....මුගේ කකුලක් ඇඟේන්ම ගැලවිලා ගිහින් බං....ලේ ගිහින්ම මු මැරිලා....

අඩෝ  ... මේ මේකව මූදට දාමු...අපිට බඩිගින්න වැඩිවුනොත් මුගේ මස් කන්න හිතේවි.... මොකෙක්ගේ මස් කෑවත් චීනේක්ගේ මස්නම් කන්න බෑ ලොවෙත්.....

මාත්  සමනාත් එකතුවී චීනා මූදට ඇද දැම්මෙමු.දිවා කල වූ බැවින් ජීවිතාරක්ෂක බෝට්ටුවේ වහල කෑල්ල යටට රිංගාගත් අපි එහි වුන්නෙමු.හවස්වීමත් සමගම මුහුද පුදුමලෙස නිසන්සලවුණු අතර එක්වරම ඒ නිසසල බව බිඳගෙන මහා කුණාටුවක් බිරුසන් දෙන්නට විය.කුණාටුවට අහුවුණු අපේ බෝට්ටුව පිහාට්ටක් මෙන් ඒ මේ අත විසිවිය.

සමනෝ....මක්කාවුනත් හයියෙන් බෝට්ටුව අල්ලාගෙන හිටපියෝ......

කුණාටුවත සමග බොහොවේලා පොරබැදු අපි තවදුරටත් එය දරාගනු බැරිව නින්දට වැටෙන්නට ඇත.නැවතත් සිහිය එනවිට මා සිටියේ මුදු වැල්ලක් සිපගනිමිනි.නැගිට ගැනීමට උත්සාහකලත් මා ඇද වැටුනේ අධික තෙහෙට්ටුවෙනි.වටපිට බලනවිට ඈතින් මා දෙසට එන රුවක් පෙනුනි.විගසින් මා නොදන්නා දූපතක සිටින බවත් මේ එන්නේ මිනීමස්කන වනචාරියකු වියහැකි බවත් මගේ මොලය මගේ ඉන්ද්‍රියන්ට දැනුම් දුන්නේය...මොලය දුන් පණිවිඩය ඉන්ද්‍රියන්ට ලැබුණු නමුත් අතපය අධික වෙහෙස නිසාම වැඩකිරීම ප්‍රතික්ෂේප කලෝය.මරණය බලාපොරොත්තුවෙන් මා ඇස් පියාගතිමි....

මේ...මේ....නැගිටපන් වද නොදී.... ඒ සමනාගේ හඬය....

අඩේ උඹද බං....මං බයවුනා බං...අපි මේ කොහෙද ඉන්නේ බං....

ඉන්නේ කොහෙදනම් කියන්න දන්නේ නෑ....මේක දූපතක් වගේ...

අඩේ වතුර ටිකක් නැද්ද බං.....

ඒක තමයි මං මේ ඇවිදලා බැලුවේ.....ම්හු ....දූපතේ වතුරනම් නෑ වගේ....
මං බෝට්ටුවේ තිබ්බ වතුරටික බිව්වා බොට සිහිය නැතිනිසා.....

තොගේ අම්....... බල්ලෝ....මටත් වතුර ටිකක් තියන්නේපයි....

ඕවා දැන් කතාකරලා වැඩක් නෑ...අර දැක්කනේ බෝට්ටුවෙන් ගන්න දෙයක් නෑ...කවුරුහරි අපිව හොයාගන්නකන් මේකේ තමා ඉන්න වෙන්නේ...අමාරුවෙන් හරි නැගිටලා වරෙන් වතුර ටිකක් කෑම ටිකක් හොයාගන්න යන්න.....

ඉතා අමාරුවෙන් වුවද නැගිටගත් මා සමනාගේ උදව්වද ඇතිව දූපතේ ඇවිද්දෙමි.බොහෝ වේලාවක් ඇවිද්දද වතුර හොයාගැනීමට බැරිවිය...

මේ දූපතේ වතුරනම් නෑ වගේ බං...අපිට මැරෙන්න තමා වෙන්නේ...බලහන්කො පොල් ගහක්වත් නැහැනේ.....

ඒ වුනාට බලහන්කො මේ මොනවද මේ දූපතේ තියෙන ගස් ජාතිය....අපි ජීවිතේට දැකලා නැහැනේ...නිකං පුවක්ගස්වාගේ....ඒ වුනාට පොල්ගෙඩි වගේ ගෙඩි තියෙන්නේ....ඒවායේ වතුර තියෙද්ද දන්නේ නැහැනේ බං...ගහකට නැගලා ගෙඩියක් දෙකක් කඩපන්කෝ....

අම්මෝ....මටනම් බැහැ...කවුද්දන්නේ ඕවා වහවෙන්නත් පුළුවන්....

මේ සමනෝ...මගෙන් කුණුහබ්බ නාහ කඩපිය ගෙඩියක් දෙකක්...වතුර නැතිවුනොත් අපි කොහොමත් මැරෙනවානේ....

ගහකට නැගී සමන් ගෙඩි දෙකක් කැඩුවේය.ඉන්පසු සාක්කුවේ තිබු පැනපිහියෙන් ගෙඩිය සිදුරුකළ සමනා ඒක මට දික්කළේය.....

"බොට ගහට නැගලා මහන්සිත් ඇතිනේ බං...සමනෝ...උඹම බීපං ඕක"

අනේ අම්මේ...උඹේ සත්තකරුනාව.....ඔනෙකක් වෙද්දෙන් ඕන් මං බිව්වා....මැරුනොත් අපේ ගෙදරට කියපන්.....

කටේ තියාගෙන උගුරක්‌ බිව් සමනා....

තුහ් ...මේ මොන ජරාවක්ද බං...

ඇයි මොකෝ....

මේකේ වතුරනෙමේ තියෙන්නේ..මේ බීල බලහන්...අනේ මන්දා නිකං පුරුදු රහකුත් දැනෙනවා.....

කෝ බලන්න.....මාත් උගුරක්‌ බීමි...දියරය ගලනාලය පුච්චාගෙන ආමාසේට බැස්සේය....

යකෝව්.....මේ.... විස්කිනේ.....

මොකා....කෝ දියන් බලන්න... සමනාද උගුරක්‌ බිව්වේය.....

ඇඩෝව්...සිරාවට....මට එකපාර අඳුනගන්න බැරිවුනා...අපි ජීවිතේට සැන්ඩි නැතුව අමුවෙන් ගහන්නේ නැහැනේ....යකෝ මේ ගෙඩියේ තියෙන්නේ නිකං RED LABEL වගේ නේ....

ඒකනේ බං....මේ තව ගෙඩි දෙකක් කඩපන්....

ඒ ගහ උස වැඩී....මේ ගහෙන් කඩපන්....

සමනා තවත් ගහකට බඩගෑවේය.එයින් ගෙඩියක් බිව් මා.....මේ මේ ගහේ තියෙන්නේ ඔරිජිනල් GALLERY නේ බං.....

දූපතේ තිබු ගස් සියල්ලෙහිම ගෙඩිවල තිබුනේ එක එක ජාතියේ මද්‍යසාර වුනු අතර අපි ඊළඟ සති දෙකම ගතකලේ දූපතේ තිබුණු ගස් වර්ග කොට නම් කිරීමටය....අපට එසේ කිරීමට වුනේ....BLACK LABEL,VAT 69,GOLD LABEL,CHIVAS REGAL,ABSOLUTE VODKA වැනි ගස් අතරතුර ඉඳහිට කසිප්පු,කරිඤඤන් ගස්ද පිහිටා තිබීම හේතුවෙනි..එමෙන්ම COKE  සහ SODA ගස්ද පිහිටා තිබුණි.වැඩිපුර තිබුනේ එවැනි ගස් බැවින් අපි අපේ දූපත "සැන්ඩි දූපත" ලෙස නම්කලෙමු.

අපේ පානීය ගැටලුව මෙසේ විසඳුනු අතර අපට කෑමටනම් තිබුනේ අඩුවෙනි.දූපතේ තිබුනු පඳුරුවල FRENCH FRIES සහ සොසේජස් හැදුනු අතර වඩාත් වැදගත් දේ වුයේ ඒවා තෙලෙන් බැද සකස්කළ ආකාරයටම ගස්වල සෑදීමය.

කෑම බීම ප්‍රශ්නය විසඳුනු කල අපිට තිබුනු වෙනත් ප්‍රශ්න නොසැලකිය හැකිතරම් විය.මුදේ හොඳහැටි නාගෙන BLACK LABEL ගෙඩියක් ගසා FRENCH FRIES අහුරක් කටේ දාගෙන වැල්ලේ ඇලවුණු විට දිවියලෝකේ ගියා හා සමාන විය.මෙසේ සති දෙක තුනක්ම ගෙවී ගියේය.
අපේ දිනපතා ජීවන චක්‍රය එකලෙසම ගෙවී ගියේය.

දිනක් මා හොඳ හැටි මුදේ නා ගොඩට එනවිට සමනා කම්මුලේ අතගහගෙන මහත් සෝකයෙන් යුතුව ඉන්නා හැටි මට පෙනුනි.

මොකෝ.....ඊයේ රෑ පොඩ්ඩක් වැඩිවුනානේ...කොහෙද තෝ අමුවෙන්ම VODKA ගෙඩි දෙකක්ම ගැහුවනෙ...මං කීවේ සමනා කබරයා දැමු වමනේ ගොඩක් වැල්ලෙන් වසන අතරතුරේය....

එහෙම එකක් නෙවේ බං.....දැන් අමුවෙන්ම ගහලා ඇඟත් හුරුවෙලා තියෙන්නේ....

එහෙනම් මොකෝ බං සමනෝ.....බොට ගෙදර මතක්වුනානේ.....මක්කා කොරන්නද බං....හැමදේම හොඳ පැත්ත දකින්න පුරුදුවෙයන්....බලහන් අපි මේ WHISKY ගහන විදිහට WHISKY ගහන්නනම් අපේ තාත්තලා ඇමතිකෙනෙක්වුනත් පුලුවන්ද බං....

ඒ වුනාට වැඩක් නෑ බං.....

ඒ මොකෝ සමනෝ.....

කොච්චර වටින ජාති බිව්වත් වැඩක් තියේද බං...බීපුවා ගැන පම්පෝරි ගහන්න එකෙක්වත් නැතුව.....අඩුම ගානේ බොන වෙලාවට ෆොටෝ ටිකක් අරගෙන FB එකේ ස්ටේටස් එකක්වත් දාන්නතුව බොන බීමෙන් ඇති පලේ මොකක්ද බං.....

Wednesday, January 15, 2014

"මා නිර්දෝෂයි ස්වාමීනි" - මහඋළු ගෙදර සිට ලියන වගනම්....


කාළය යන්න ආපසු හැරවිය හැකිනම් අද දිනයේ මේ ලෝකයේ වඩාත්ම සතුටුවන පුද්ගලයා මම වෙමි.ජීවිතයේ ගන්නා කුඩාම කුඩා තීන්දු තීරනයක්වුවද අපේ ජීවිතය එළියෙන් අඳුරට ඇදදමන්නට ගන්නේ නිමේෂයකි.ඊයේ දිනයේ අධිකරණය වෙත ඉදිරිපත්කරනු ලදුව දින 14 කින් රිමාන්ඩ් කාළය දීර්ගකිරීම නිසා නැවතත් මගේ සිරකුටියට කොටුවුනෙමි.ඇප ඉල්ලීමක් කිරීමටවත් මාහට කෙනෙකු නොමැති වීමත් නීතිවේදීන් මා වෙනුවෙන් අධිකරණයේ පෙනීසිටීම ප්‍රතික්ෂේප කිරීමත් නිසා මා හට අද මේ සිරකුටියේ බිත්ති හතරට (බිත්ති තුනට හා යකඩ දොරට) කොටුවී සිටීමට සිදුවී ඇත.පසුගිය කාලයේ පත්තරවල කියවූ ඇප ලබාදීමට අමතකවුණු සීයාගේ කතාව මගේ සිහියට නැගේ.මටද ඒ ඉරණමම අත්වේදොයි විටෙක මට සිතෙන බැවින් මාගේ කතාව මෙසේ ගොනුකරතබමි.

මේ සිදුවීම නිසා මගේ පවුලේ උන් තියා නෑදෑ හිතමිතුරන් පවා මාහට අහිමිවී ඇත.රටේ කීර්තිය විනාස කළැයි රටේ සියල්ලන්ම මට අපවාද නගති.එහෙත් මා රටේ කීර්තිය විනාස කලාද නැතිනම් රටේ කීර්තිය ආරක්ශාකලාද යන්න තීරණය කිරීම ඔබට පවරා මාගේ කතාව මෙසේ අරඹමි.

පාසල්කාලයේ සිටම මා ඉතාමත් චරිතවත් ළමයෙක වශයෙන් සහෝදර සිසුන් අතහැර මෙන්ම ගුරුභවතුන් අතරත් නමක් දිනා සිටියෙමි.එහෙත් ඒ සියල්ලටම වඩා මම මාගේ මේ මාතෘ භූමියට ආදරය කලෙමි.කිසිවෙකු හෝ එයට අපහාසයක් චෝදනාවක් කළහොත් මාගේ සිංහල ලෙය කැකෑරුනේය.කෙසේවෙතත් මට සිදුවූ සිද්දිය මෙසේය.පසුගිය සතියේ සුපුරුදු පරිදී මාගේ අධ්‍යයන කටයුතු සඳහා කොළඹ ගිය මා එම වැඩ අවසන් වූ පසු නැවතත් ගෙදර බලා පැමිණීමට බස් රථයකට ගොඩවුනෙමි.බස් රථය පිටවීමට ටික වෙලාවක් තිබුණු අතර ටික වෙලාවකින් බස් රථයට ගොඩවුයේ විදේශික තරුණියකි.තනිව පැමිණි ඈ මදක් විපිලිසරව වටපිට බලා මාසිටි අසුන කරා පැමිණ මා අසලින්ම වාඩිවූවාය.



විදේශික තරුණියක වුවත් ඈගේ විශේෂත්වය වුයේ ඇය ලස්සන ගවුමකින් සැරසී සිටීමය.කාන්තාවන්ට කවදත් ගරුකරන මා අසුනේ අයිනටම වී ඈ හට හොඳින් වාඩිවී යාමට ඉඩ සැලසුවෙමි.[කතාව ඉදිරියට කීම සදහා අපි මෙතැන්සිට ඇයට සුදු නංගී යයි කියමු].

අසුනේ වාඩිවුනු සුදු නංගී මදක් වටපිට බලා මාවෙතින්...

සුදු නංගී - is this bus going to mirissa????

මම - yes,you can go to mirissa by this bus.

සුදු නංගී - oh...thanx..

මද වේලාවකින් බස් රථය පිටත්වුණු අතර මාද බස්රථයේ කවුළුවෙන් පිටත බලාගෙන ගමන්කලෙමි.බස් රථය වංගුගන්නා සමහර අවස්ථාවන්හීදී සුදු නන්ගීගේ අත වරින්වර මාගේ ඇඟේ විත් හැපුනි.විදේශික තරුණියක නිසා ඇය එය එතරම් ගණනකට නොගත් අතර මම එම අවස්තාවන්හීදී තවතවත් අසුනේ කෙළවරටම වී ගමන් කලෙමි.බස්රථවල ගමන්ගන්නාවිට නින්දට පත්වීම මාගේ සාමාන්‍ය පුරුද්දවුවත් එදින මම ඕනාකමින්ම නින්ද ඒම වලක්වා ගත්තෙමි.නැතහොත් මට නින්දගොස් සුදු නන්ගීගේ ඇඟට වැටුනහොත් එය හොදවැඩක් නොවේය.මා එසේ සිතුවත් බස්රථයේ පසුපස සිටි කොල්ලන් රැල ඇය වෙත ඉගිබිඟි පානබව මට පෙනුනි."අනේ අම්මපා,මේ වගේ යක්කු නිසා අපේ රටට සුද්දෙක්වත් ඒවිද"යන සිතිවිල්ල මගේ සිතට නැගුණි.

බස්රථය කෙමෙන් කෙමෙන් ගම්නගර පසුකොට වැලිගම නගරයට සම්ප්‍රාප්තවිය.එහෙත් සුදු නංගී මෙලෝ සිහියක් නැතිව බලාසිටී.ශ්‍රීලාංකික අපි කවදත් ආගන්තුකයන්ට හොදින් සලකන්නෝ වෙමු.මිරිස්ස ලංවී ඇති බව ඇයට දැන්වීම මා සතු යුතුකමකැයි මා සිතීමි.

මම - ma'am next halt is mirissa.you better prepare yourself to get off from bus.

සුදු නංගී - oh...thanx...

ඇය මෙසේ මා වෙත කියා ඈ සතුව තිබු බෑගයද රැගෙන අසුනින් නැගීසිටියාය.

පසුපස අසුනේ සිටි කොල්ලන් රැලගේ "සු..සු.." හඬ මහා හිනාවක් බවට පත්වුණේ මේ අවස්ථාවේදීය.ඒ මන්දැයි මම සොයා බැලුවෙමි.මොහොතකින් මට කාරනාව පසක්විය.සුදු නංගීගේ ගවුම ඈගේ පශ්චාත්භාගයට අසුවී ඇත.සිංහලෙන්ම කිවහොත් "අල්මාරියට අසුවී ඇත".කොල්ලන් රැල සිනාවෙන්නේ එයටය.සිනාව පමණක් නොව මුන් මේ කරන්නේ අසමජ්ජාති වැඩකි.අපේ රටට පැමිණි විදේශික ආගන්තුක කාන්තාවකටවත් ගරුකරන්නට මුන් නොදනිති.බසයෙන් බසින සිහියෙන් සිටිනිසා සුදුනන්ගීට මේ බල්ලන්ගේ සිනහව ගැන අවධානයක් තිබුනේ නැත.එහෙත් මාගේ සිංහල ලෙය මේ වෙලාවේදී කැකෑරෙමින් නටන්නට ගත්තේය.

අපේ රටේ අමුත්තෙකු මේ ආකාරයට නවනින්දිරා විදීම මාහටනම් කිසිසේත්ම බලාසිටිය නොහැක.විශේෂයෙන්ම ඇය කාන්තාවකි.මා අසුනේ මදක් මෙපිටට වී සුදු නංගීට නොදැනෙන්නට ඇයගේ ගවුම ඇද සකස්කලෙමි.මෙය දුටු සිනහසෙමින් සිටි කොල්ලන් රැලගේ සිනහව මහා "හූ" හඬක්බවට පත්විය.දැන්නම් තවත් ඉවසිය නොහැක.සිනහසීම එකකි.හූ කීම මහා පහත්ක්‍රියාවකි.තාමත් මේ ගැන අවධානය යොමුනොවුනත් සුදු නන්ගීගේ අවධානය කොයි මොහොතේ හෝ මේ හූවට යොමු වනු ඇත.භාෂාව නොතේරුණත් මේ ලෝකේ ඕන යකෙකුට හූ කියන්නේ අපහාසයට බව තේරෙන්නේය.විගසින් මා නැවතත් ක්‍රියාත්මක වියයුතුබව මාගේ මොලය මට දන්වා සිටියේය.මුන්ගේ හූව නවතාලන කෙටිම ක්‍රමය මාගේ මොලය මටදන්වා සිටියේය.



මම ඇඟිල්ලෙන් ඇන සුදු නංගීගේ ගවුම පෙර තිබු ආකාරයට නැවතත් පත්කලෙමි.හූව නැවතුනු අතර මහා විලාපයක් නැගආවේය.....

HEL...............P......

විලාපය නැගුනේ සුදුනන්ගීගේ කටින්බවත් කොල්ලන් රැල මට පහරදෙන්නට සරසේනබවත් මාහට අන්තිම වශයෙන් මතක තිබේ....නැවතත් සිහිඑනවිය මා මේ සිරකුටියේ බිත්ති අතරට කොටුවී සිටියෙමි.මට නැගී ඇති චෝදනානම් "විදේශික තරුණියකගේ හිරිඔතප් බිඳීමට තැත්කිරීම සහ රටේ කීර්තිනාමය කෙලෙසාදැමීම" යන වරදන්ය.දැනටමත් දේශීය මාධ්‍ය පමණක් නොව විදෙස් මාධ්‍යද මේ සිද්දිය අතිශයෝක්තියෙන් උපුටාදක්වමින් සිටී.මාගේ නිර්දොශීබව ප්‍රකාශ කිරීමට මා ලැබුණු අවස්තාවෙන් සිදුවූ සියල්ල ඔබහට ප්‍රකාෂකලෙමි..මා වැරදිකරුදැයි ...නිවැරදිකරුදැයි තීරණය කිරීම ඔබ සැමට පවරමි.මාංචු ඇතිව හෝ නැතිව මට පිහිනිය නොහැකිබැවින් මේ මාගේ අවසන් සටහන වියහැකිය..... 

linkwithin

Related Posts Plugin for WordPress, Blogger...