Saturday, May 18, 2013

පොල්පිති හරකෙක් හදමු - Weekend Project



ඔන්න යාලුවනේ ඔයාලට වෙච්ච පොරොන්දුවක් ඉෂ්ට කරන්නයි යන්නේ.මං කිව්වනේ ගමේ ආවම ආයෙත් Weekend Project වැඩසටහන ආයෙත් පටන්ගන්නවා කියලා.ඔන්න එක නිසා අද වැඩේට ආයෙත් බහිනවා හොදේ.ඔන්න අද කියලා දෙන්නේ පොල්පිති හරකෙක් නැත්නම් පොල්පිති ගොනෙක් හදාගන්න විදිහ.


මුලින්ම සුපුරුදු විදිහට අවශ්‍ය වෙන දේවල් .....

පොල් පිත්තක් - අමු හෝ ගොඩක්ම වේලිච්ච නැති එකක් [මේකේ මුල හරියයි අග හරියයි කපලා ගන්න පින්තුරේ තියෙන විදිහට]

පොල් කට්ටක්
ලණු කැබැල්ලක් 
මහ පිහියක් 


මුලින්ම කරන්න තියෙන්නේ හරකාගේ දිගට ඇතිවෙන්න පොල් පිත්ත කපාගන්න එකයි.


ඊට පස්සේ හරකාගේ වලිගය හරිය පිහියෙන් හදාගන්න ඕන.පින්තුරේ තියෙන විදිහට....



ඊටත් පස්සේ හරකාගේ කකුල් හදාගන්න ඕන උඩ පින්තුරේ තියෙන විදිහට.....



ඔන්න දැන් තමයි අමාරුම වැඩේ.ඒ කියන්නේ හරකාගේ අන් තට්ටුව හදාගැනීම.ඒක ඔය උඩ පින්තුරේ තියෙන විදිහට හදාගන්නකෝ.අන් තට්ටුව ලොකුවුණු තරටම හරකාගේ සැර පරුෂ භාවයත් වැඩිවෙනවා...හි..හි...



දැන් ඔන්න උඩ පින්තුරේ විදිහට හරකාට අන්තට්ටුව හයිකරගන්න ඕන.

අන් තට්ටුව හයිකරපු ගමන්ම හරකාගේ බෙල්ල වටේ ලනුවක් දාලා ගැට ගහන්න ඕන.නැත්නම් හරකා ගාල කඩාගෙන ගොහින් මිනිස්සුන්ට අනතුරු කරන්න ඉඩ තියෙනවා.



දැන් ඉතින් තියෙන්නේ හරකාට වෙලාවට කන්න බොන දෙන එක විතරයි.නැත්නම් හරකා අහල පහල වතුවලට පැනලා වගා හානි කරන්න ඉඩ තියෙනවා.ඒ වගේම තමයි පොඩි අය මේවා තනියම හදන්න යන්නෙපා..අම්මලා තාත්තලා පොඩි අයට මේවා හදලා දෙන්න හොදේ.

ඒ වගේම තමයි පොල්පිති හරකා මේ විදිහට නැතුව පොල් පිත්තේ මුල් කැබැල්ල අරගෙන ඒකට පොල්කටු අන් වෙනුවට ලී කෝටු කෑලි දෙකක් ගහලා හරකෙක් හදන විදිහකුත් තියෙනවා.ඊට වඩා මේ විදිහ ලස්සනයි කියලා හිතුන නිසා මං මේ විදිහට හැදුවේ.එහෙනම් ලබන සතියේ තවත් Weekend Project එකකින් හමුවෙමු ...ටටා.....

Thursday, May 9, 2013

පිය සෙනෙහසට කව් ගී ලියවුනා මදී.... - pursuit of happyness


මේ ලෝකේ උතුම්ම ආදරේ මොකක්ද කියලා ඇහුවොත් කවුරුත් වගේ දෙන උත්තරේ තමයි ඒ අම්මගේ ආදරේ කියන එක.ඒත් තාත්තගේ ආදරේ ගැන කවුරුත් කතාකරනවා අඩුයි.කොටින්ම තාත්තලා පවා ඒ ගැන කතාකරන්නේ නෑ.තාත්තාලාගේ ආදරේ ගොඩක් පේන්නේ කතාවෙන් නෙවෙයි ක්‍රියාවෙන්.

කොහොමවුනත් මං අද ඔයාලට ලියන්න බලාපොරොත්තුවුනේ තාත්තා කෙනෙක්ගේ ආදරේ ගැන කියවෙන ලස්සන චිත්‍රපටියක් ගැන කියන්නයි.සාමන්යෙන් බටහිර චිත්‍රපටිවල මානව සම්බන්දතා ගැන කියවෙන චිත්‍රපටි අඩුයි.ඒකට හේතුවෙන්න ඇත්තේ ඒ සමාජයේ අපේ තරම් පුද්ගල සම්බන්දතා වැඩිදියුණු නොවීම වෙන්නැති.ඉතින් ඒ අතරින් pursuit of happyness කියන්නේ ඉහලින්ම තියෙන චිත්‍රපටියක්.

මව හැරයාම නිසා ජීවිතයේ ප්‍රශ්න ගැටළු රැසකට මුහුණපාන්න වෙන පියෙක් සහ කුඩා පුතෙක් වටා තමයි මේ කතාව ගලායන්නේ.ක්‍රියාදාම චිත්‍රපටි නළුවෙක් වෙන Will smith සහ ඔහුගේ පුත් Jaden smith සුපිරි රංගනයක් ඉදිරිපත්කරනවා මේ චිත්‍රපටියේදී.කොටින්ම මෙහි රංගනය වෙනුවෙන් Will smith ඔස්කාර් සම්මානයෙන් පවා පුදලබනවා.

මං ඔයාලට විස්තරකියපු චිත්‍රපටි හැමෙකක්ම වගේ මේකත් ඇත්ත පුද්ගල චරිතයක් වටා ගෙතුණු කතාවක්.සීයට සීයක්ම නොවුනත් මේ කතාවට පදනම්වෙලා තියෙන්නේ Chris Gardner නම් ප්‍රකට ඇමෙරිකානු ව්‍යාපාරිකයාගේ කතාවයි.



ඇමෙරිකානු සිහිනය කියන්නේ හිතන තරම් සුන්දර එකක් නොවන බව මේ සිනමාපටයෙන් කියාදෙනවා.නිවසක් සහ රැකියාවක් නොමැතිකමින් මේ පියාත් පුතාත් විදින දුක්ගැහැට චිත්‍රපටියේ අපූරුවට නිරූපණය වෙලාතියෙනවා.කොහොමවුනත් ඒ හැම බාධකයක්ම ජය අරගෙන මේ තාත්තා ජීවිතය ජයගන්න හැටි අපි ඔක්කොටම ලොකු ආදර්ශයක් ගතහැකි කතාවක්.වැඩිය විස්තර නොකිය චිත්‍රපටිය බලලම හිටියොත් හොදයි කියලා මට හිතෙනවා.ඒකනිසා අදට මෙතනින් නවතින්නම්....





Sunday, May 5, 2013

අම්මාගේ මතක පොතෙන් .....


අපේ අම්මා .....මට මේ ලෝකේ හම්බවුනු සුන්දරතම මනුස්සයා.අද ගෙවල් දොරවල් අස්පරස් කරද්දී අම්මගේ පරණ සමරු සටහන් පොතක් හමුවුනා.අපේ අම්මා විද්‍යාලංකාර සරසවියේ [දැන් කැළණි සරසවිය] උපාධිධාරිනියක්.ඉතින් විදුබිමෙන් සමුගන්නා දවස්වල බැචාලා තියපු සටහන් තමයි ඒ සමරුපොතේ තියෙන්නේ.ඒ 1971 කාලේ.දැනට අවුරුදු 42 කට විතර ඉස්සර.

මට ඉතින් හිතුනා ඒ සටහන් කිහිපයක් ඔයාලටත් බලන්න දාන්න.මේ සමරු සටහන් ලියපු අය දැන් රටේ ලෝකේ විවිධ තැන්වල ඇති.සමහර අය අපේ අම්මා වගේ මේ ජීවිතෙන් සමුඅරගෙනත් ඇති.සමහරවිට මේ බ්ලොග් කියවන අතර ඒ අයගේ දරුවෙක් මුනුබුරෙක් ඉන්නත් පුළුවන්.කොහොමවුනත් බලලා ඉන්නකෝ...

























මේ සටහන් අතරේ අපේ තාත්තා විසින් තබා ඇති සටහන විශේෂයි.අම්මා අපේ තාත්තාට ඇමතු කෙටි නමින් තමයි තාත්තා අත්සන් කරලා තියෙන්නේ.තාත්තාත් ඒ සරසවියෙම උපාධිධරයෙක්.


මේ සටහන් අතරේ පසුකාලයකදී තැබූ තවත් සුවිශේෂී සටහනක් හමුවුනා.ඒක ලියලා තියෙන්නේ අපේ අක්කා.අවුරුදු 6 ක පමණ කාලයේ ලියපු කවියක්.අදටත් එයාගේ කවි ලිවීමේ හැකියාව පොඩි කාලේ ඉදලම තිබ්බ බව මේක බැලුවම පේනවා.මෙතැන "මල්ලි" කියලා කියලා තියෙන්නේ මගේ අය්යා ගැන.මේ වෙනකොට මම ඉපදිලා නැහැ....


කොහොමවුනත් පස්සෙකාලෙකදී මේ වගේ සමරු සටහන් බලලා අපිට ඒ සොදුරු අතීතෙට සිතෙන් හරි යන්න පුළුවන්.ඒත් දැන් තියෙන ඉලෙක්ට්‍රොනික සමාජයේ මේ වගේ දේවල් වලට ඇති වටිනාකම අඩුවෙලා ගිහින්...

Thursday, May 2, 2013

ආයෙත් "ඔහේ"ලා හමුවීය ...



අද මට නැවතත් "ඔහේ"ලා හමුවිය.ඒ අවුරුදු 8 කට පමණ පසුය.ඒ මම ආයෙත් ගමරට බලා පැමිණි නිසාය."ඔහේ"ලා හමුවන්නටනම් අපේ පැත්තේම එන්නට ඕනෑය.දැන්නම් ගොඩක් අය මේ කියන්නේ කොහේදැයි දන්නවා ඇත.දන්නැති අයට දැනගන්නට කෙටියෙන්ම කිව්වොත් අපේ ගම මාතරය.

අද බැංකුවට පැමිණි "ඔහේ"ලා මට කටපුරා "ඔහේ" කීවෝය.මමද කටපුරා "ඔහේ"ලාට "ඔහේ" කිව්වෙමි.කොහේ ගියත් මටනම් ගම වගේ හරියන්නේ නැත.පහුගිය දොහේ බ්ලොගේ පාලුවට ගියේද ගමරට බලා එන්නට කදමලු බැන්ද නිසාවෙනි.

රටේ වෙනකොහේදී හරිනම් "ඔහේ"ලාට "ඔහේ" කිව්වොත් අම්බානකට කෑමක් සෙට්වෙන වැඩකි.ඒකනිසා මගේ කට අවුරුදු 8 ක්ම පරිස්සම් කරගැනීමට සිදුවිය.හප්පේ...දැන්නම් ඒ කරදරේ ඉවරය.ඕන කෙනෙක්ට කටපුරා "ඔහේ" කිවහැක.අපිට තාත්තාද "ඔහේ"ය.පන්සලේ හාමුදුරුවෝද "ඔහේ"ය.වෙනකක් තබා පොලිසියේ ලොකු මහත්තයාද "ඔහේ"ය.

"ඔහේ" ගැන කියද්දී කට වැරදී අමාරුවේ වැටුණු අවස්ථා කිහිපයක්ම ඔලුවට නැගේ.ඒත් ඉතින් එකම සිද්දිය බැවින් මෙතන කොටා වැඩක් නැත.රටේ අනිත් පැතිවල මිනිස්සු හිතන්නේ අපි  "ඔහේ" කියා අමතන්නේ ඊලගට පිහියෙන් අනින්න ලේස්තිවෙලා කියලාය.මක්කා වුනත් දැන්නම් ආයෙත් ඒ අමාරුවේ වැටෙන්නේ නැත.

දැන් ඉතින් මක්ක කියන්නේ මක්කටදැයි අහන්නට එපාය.ඔහෙලාට මොකදනම් අපිට මක්කටෙයිය.කවුරු මක්කා කිව්වත් අපේ පැත්තේ  මිනිස්සුන්ගේ පපුව හොදය.හොදට හෝ නරකට කියන්නාක් මූණටම කියති.මටත් මේ පුරුද්ද නිසාම පහුගිය කාලයේ සෑහෙන මට්ටුවෙන්නට විය.ඒත් කොහෙගියත් මාතර ගමේකම රැකිය යුතුය.

ඉතින් මේක කියවන "ඔහේ"ලාට කියන්නට තියෙන්නේ ගමරට බලා පැමිණි බැවින් මගේ අපේ ගම මාතර බ්ලොගේද අළු ගසාබසා දමා තීන්ත ටිකක් ගා කල එලි කරලා නැවත පටන් ගන්නට මං හිතන් ඉන්න බවය."ඔහේ"ලා ඒ පැත්තේ එනවානම් වැඩේ පටන් ගන්නට හැකිය.අතරමග නැවතුනු අනිත් වැඩේ වන weekend project ද ලබන සතියේ සිට පටන් ගැනීමටද සිතා සිටිමි.

එහෙනම් එතකන් "ඔහේ"ලාට ටටාය......

linkwithin

Related Posts Plugin for WordPress, Blogger...