Thursday, January 31, 2013

ගොන්ටා සහ නොපෝ මතකද - Do you remember them?


ආ... කස්ටියම අදුනගන්නැති නේද?අපේ පොඩි කාලේ යාළුවො දෙන්නෙක්නෙ.මට හිටිහැටියේම මෙයාලව මතක වුනේ පහුගිය දවසක හිරු TV එකේ MAD කියන වැඩසටහන බලනකොට.ඒකත් පොඩි පොඩි දේවල් වලින් නිර්මාණ හදන්න කියලා දෙන වැඩසටහනක්.

ඉතින් අපි පොඩි කාලේ අද වගේ හැටහුටාමාරක් TV චැනල් තිබ්බේ නෑනේ,කෝකටත් තිබුනේ සැළලිහිනියයි සුවාධීනෙයි තමයි,ඉතින් මතක ඇතිනේ සැළලිහිනියගේ ඒ කියන්නේ ජාතික රූපවාහිනියේ හවසට විකාශය වුනු අධ්‍යාපන සේවය,ඉතින් ඒ වැඩසටහන් අතරේදී තමයි අපිට ගොන්ටයි නොපොයි මුණගැහුනේ,[ඇත්තම කියනවනම් මං හිතන හිටියේ ගොන්ටයි නොකොයි කියලා]ඔන්න දන්නේ නැති කස්ටියට කියන්නේ ඔතනින් අත වනන්නේ නොපෝ,එතකොට කිරිගොට්ටක් මුනින් නවලා වගේ ඔලුවක් තියෙන්නේ ගොන්ටා.

මං ඉතින් පොඩි කාලේ ඉදලම ඔය වගේ පොඩි පොඩි දේවල් හදන්න ආසයි,ඉතින් ඒක නිසා මං හැමදාම වගේ ගොන්ටයි නොපොයි බලනවා.මෙතන ඉතින් වැඩ්ඩා තමයි නොපෝ,අත් උදව් කාරයා තමයි ගොන්ටා.හැබැයි ඉතින් ගොන්ටත් නිර්මාණ කරනවා,හැබැයි ඒවා ගොඩක් වෙලාවට අසාර්ථකයි.

ගොන්ටා සහ නොපෝ කිව්වට මේ වැඩසටහනේ ඇත්තනම Dekirukana කියන නමයි.ජපානයේ NHK රූපවාහිනියේ නිරමාණයක්.1967 සිට 1990 දක්වා මෙහි වැඩසටහන් නිෂ්පාදනය වී තිබෙනවා.ඔෂින් වගේ වැඩසටහන් සමග අපිට ලැබුණු තෑග්ගක් තමයි මේ ගොන්ටා සහ නොපෝ.අපිට විතරක් නෙමෙයි ලෝකේ ගොඩක් රටවල මේ දෙන්නා ජනප්‍රිය වෙලා තියෙනවා.විශේෂයෙන්ම ලතින් ඇමෙරිකානු රටවල.ඒ වගේම ඒ රටවල භාශා මේ වැඩසටහනට හඬ කවලා තියෙනවා.

රූපවාහිනියේ ටයි මාමා ඇතුළු පිරිස විසින් ලස්සනට සිංහල හඬ කවලා තමයි අපිට ඉදිරිපත් කලේ.ඇත්තටම දැන් දරුවොන්ට ඒ වගේ වැඩසටහන් දකින්න අඩු එකත්,තිබුනත් බලන්න වෙලාවක් නැතිවීමයි ගොඩක් කනගාටුදායක කාරණයක්.ඒ වගේම ඔයාලට මතකනේ ඒක පටන්ගන්නකොට යන සින්දුව.ඔන්න එහෙනම් පල්ලෙහා තියෙන වීඩියෝ ඒක බලලා පුංචි කාලේ මතකයන් අවධි කරගන්නකො.....


Tuesday, January 29, 2013

ඉතින් මැතිතුමනි - ඔබට නිවන්සුව....


මා පළමුවෙන්ම ඔබට කියාසිටින්නේ අද මාමෙහි සදහන් කරන්නේ ඩබ්.කරුණාජීව නම් දේශපාලන චරිතය ගැනනම් නොවන බවයි.එබැවින් මා මෙහි සදහන් කරනදෙයක සමග ඔබ එකග නොවන්නේ නම් මේ මිනිසාට අගෞරවයක් නොවන පරිදි ඔබගේ අදහස් දක්වන පරිදි ඉල්ලා සිටිමි.

ඔබ මේ වනවිටත් දන්නා පරිදි මහජන බැංකුවේ සභාපති ධූරය ඉසුලු ඩබ්.කරුණාජීව මහතා අදදින ජීවතුන් අතරින් සමුගෙන ඇත.2007 දී මහජන බැංකු සභාපති ධූරයට පත්වූ කරුණාජීව මහතා 2010 නැවත වරක් එම තනතුරටම පත්වෙමින් දිවි අවසානය තෙක්ම එම තනතුර හෙබවූයේය.

මහනුවර ධර්මරාජ විදුහලින් අධ්‍යාපනය හැදෑරු එතුමා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වාණිජ උපාධිධරයෙකි.නීති විද්‍යාලය මගින් නීති උපාධිය ලැබූ එතුමා නිදහස් පක්ෂයේ ප්‍රබල ක්‍රියාකාරී සාමාජිකයෙකි.මහජන බැංකු  සභාපති ධූරයට පත්වීමට පෙර එතුමා සේවක භාරකාර අරමුදලේ අධිපතීත්වය දැරීය.

වඩාත් වැදගත්ම දෙයනම් එතුමා තමන්ගේ ආයතනයේ පහලම සේවකයා සමග පවා හොදින් සිනාසී කතාබහ කිරීමයි.හිනාවෙන්නට නොදත් සමහර ඉහල නිලධාරීන් සිටින තැනක එතුමාගේ වෙනස හොදින් කැපීපෙනෙන්නට විය.වරක් මා සේවයකළ ශාඛාවක සංවිධානය කල උත්සව අවස්ථාවකට සහභාගී වූ මෙතුමා එය සංවිධානය කල අප සැමටම එකිනෙකා ලගට ගොස් ස්තුති කිරීමට කටයුතු කළේය.එමෙන්ම එතුමාගේ කාලයතුල සන්විධානයකළ සේවක උපහාර උත්සව මගින් සේවක අභිප්‍රේරණය ඇතිකිරීමට එතුමා කටයුතු කළේය.

ඉතින් ඩබ්.කරුණාජීව මැතිතුමනි....

ඔබට නිවන් සුව.....

පසුව ලියමි....

අද දින මා එතුමාට අවසන් ගෞරව දැක්වීමට කොලඹ ගියෙමි.එතුමාගේ දේහය තබා තිබුනේ නාරාහේන්පිට ඇන්ඩර්සන් මහල්නිවාසවල කුඩා නිවසකය.මා සිතන්නේ තට්ටු තුනේ හතරේ ගෙයක් අහිමි එකම සංස්ථා සභාපති ඔහුවිය යුතුය.මා දන්නා පරිදි ඔහු බැංකුවෙන් පඩියට අමතරව ලබාගත් එකම දෙය වුයේ නිල රථය පමණි.එයද අලුත්ම අලුත් රථයක් නොවේ.කලින් කවුරු හෝ පාවිච්චි කල එකකි...

Saturday, January 26, 2013

පුනරුත්පත්තිය පිළිගන්නවාද? Reincarnation - believe it or not


මං ඔබෙන් ඒ ප්‍රශනය ඇහුවොත් උත්තරේ මොකක් වේවිද ?කෙනෙක් කියන්න පුළුවන් ඔව් කියලා,තවත් කෙනෙක් කියයි නෑ කියලා,ඒ වගේම සමහර අයගේ උත්තරේ "අනේ මන්දා "වෙන්නත් ඉඩ තියෙනවා.මනුෂ්‍ය වර්ගයාගේ ආරම්බයේ සිටම "දෙවියන්"යන ප්‍රශ්නෙට පස්සේ මිනිස්සු වැඩියෙන්ම උත්තරේ හොයපු ප්‍රශ්නේ තමයි මේක.කොහොමවුනත් අද අපි කතාකරන්නේ පුනරුප්පත්තිය ගැන.

ඉතින් ඉස්සෙල්ලාම බලමුකෝ මේ පුනරුප්පත්තිය කියන්නේ මොකක්ද කියලා.ඒ කියන්නේ මිනිසෙක් හරි සතෙක් හරි තමන්ගේ මරණයට පස්සේ [biological death] තමන් මේ ජීවිත කාලේදී එක්රැස්කරපු දේවලුත්,ඒ කියන්නේ පින් පව් (නැත්නම් හොද නරක ) තමන්ගේ ආත්මයත් [soul or spirit] එක්ක අරගෙන ගිහිල්ලා නැවත ජීවිතයක් අරබන එකටයි.

මූලික වශයෙන්ම ඉන්දියාව පදනම වුනු ආගම්වල මේ සංකල්පය පිළිගැනෙනවා.ඒ කියන්නේ බුද්ධාගම ,ජයිනාගම සහ හින්දු ආගමේ.ඒ වගේම ලෝකය පුරා හැම මහද්වීපයකම වගේ ජන වර්ග අතර මේ සංකල්පය මුල්බැසගෙන තිබෙනවා.නමුත් කිතු දහමේත් ,ඉස්ලාම් සහ යුදෙව් ආගමේත් මේ සංකල්පය බැහැරකර තිබෙනවා.එහෙත් ඒ ආගම්වලත් යම් යම් කුඩා නිකායන්ගේ යම්කිසි පිළිගැනීමක් මේ සදහා තිබෙනවා.එයට බලපෑ තිබෙන්නේ රෝමානු යුගයේදී වුනු යම් යම් බලපෑම්,ඒ වගේම වර්තමානයේදී බටහිර ජාතීන් තුලත් මේ සදහා ඇති පිළිගැනීම ඉහලයමින් පවතිනවා.

මනුෂ්‍ය වර්ගයාගේ ආරම්බයේ පටන්ම මිනිසාගේ හිත්තුල ඇතිවුණු ගැටළුවක් වුනු මේ ප්‍රශ්නයට වඩාත් හොද පන්නරයක් ලැබෙන්නේ ක්‍රි.පූ.6 වන සියවසේදී.ඒ කාලයේ බුදු දහම ඇතුළුව ඉන්දියානු බිම්තලය පුරා ඇතිවුණු ආගමික ප්‍රබෝදයත් සමග මේ සංකල්පයත් දළුලා වැඩෙනවා.ඒ වගේම මේ කාලයේදී ග්‍රීසිය ,රෝමය ආශ්‍රිතවත් මේ පුනරුප්පත්තිය වේගයෙන් පැතිරීයන ආකල්පයක් වුනා.

ඒ කාලේ සිටම ප්ලේටෝ,බෙන්ජමින් ෆ්රෑන්ක්ලින් වගේ දාර්ශනිකයින්පවා මේ ගැන අදහස් පලකරලා තියෙනවා.ඒ වගේම 19 වෙනි ශතවර්ෂයේ විසූ මනෝ විදුදරයෙක්වන ව්ලියම් ජේම්ස් මහතාත් මේ පිලිබදව අදහස්පලකරලා තියෙනවා.


විලියම් ජේම්ස් [ 1842 -1910 ]

ඒ වගේම මේ පිලිබදව ඉතා වැදගත් පර්යේෂණ කරපු දාර්ශනිකයෙක් හැටියට එඩ්ගාර් කේසි [edgar cayce] හදුන්වන්න පුළුවන්.ඔහුගේ පර්යේෂණ මත ලියවුනු many manshions නම් පොත බටහිර රටවල මේ පිළිබද විද්වත් මට්ටමේ සාකච්චා පවා ඇතිවීමට හේතුවුනා.මේ පොත කන්නිමහර සුමංගල හිමියන් විසින් "සංසාර මන්දිර" නමින් සිංහලයට පරිවර්තනය කර තිබෙනවා,සොයාගෙන කියෙව්වට පාඩු නැහැ.විශේෂයෙන්ම දරුවන්ගේ බාලකාලය ඇසුරෙන් කල පර්යේෂණ රැසක් පොත් පතින් හොයා ගන්න පුළුවන්.ඒත් තාම මේ සංසිද්දිය විවාදාත්මක ගනයේ එකක් විදිහට තමයි සැලකෙන්නේ.
           


                                




ඒ වගේම පසුකාලීනව පුනරුප්පත්තිය සදහන් කතා පුවත් රැගත් නවකතා  වගේම චිත්‍රපටිත් රැසක් බිහිවුණා.ඒ අතරින් සුවිශේෂයි reincarnation of peter proud නම් කෘතිය,එය ඒ නමින්ම සිනමාවටත් නැගුනා. ඒ 1975 දී .බලන්න ආස කෙනෙක් ඉන්නවනම් මෙතනින් ගිහින් බාගෙන බලන්න.මේ පොත චන්දන මෙන්ඩිස් මහතා විසින් "සිහිනයක රැදී රහසක්" නමින් පරිවර්තනය කර තිබෙනවා.


පුනරුප්පත්තිය ගැන අපේ රටෙත් නිතරම වගේ කතා අහන්න ලැබෙනවානේ.කොහොමවුනත් ඒ ගැන වගේම බුදු දහමේ මේ පුනරුප්පත්තිය විස්තර කරලා තියෙන හැටි ඉදිරි පොස්ටුවකින් තොරතුරු ගේන්න මං බලාපොරොත්තුවෙනවා.

පුනරුප්පත්තිය ගැන මගේ ආකල්පයනම් එය එක්වරම බැහැර නොකලයුතුබවයි.ඒ කියන්නේ අපිට නූතන විද්‍යාවට අනුව පුනරුප්පත්තිය ඔප්පුකරන්න බැරිවෙන්න පුළුවන්,ඒත් ඒ කියන්නේ නූතන විද්‍යාවෙන් ඔප්පුකරන්න බැරි හැමදේම බොරු කියලා නෙමේනේ.ඔයාලට වුනත් ජීවිතේ කවදාවත් දැකලා නැති කෙනෙක් දැක්කම කලින් දැකලා තියෙනවා වගේ දැනිලා තියෙනවද?නැත්නම් කවදාවත් නොගියපු තැනකට ගියාම කලින් එතනට ගිහින් තියෙනවා වගේ දැනිලා තියෙනවද?මටනම් එහෙම අවස්ථා උදාවෙලා තියෙනවා.ඒ වගේම සමහර කුඩා දරුවන් යම් යම් දේවල්වලට දක්වන දක්ෂතා දුටුවමත් පුනරුප්පත්තිය පිළිගත හැකියි කියලා තමයි මටනම් හිතෙන්නේ.ඒ වගේම මේ ආත්මේ කරන පින් පව් ලබන ආත්මෙට ගෙනියන බව ගොඩ දෙනෙක් පිළිගන්න නිසා මේ ලෝකය යම් තරමකට හරි යහපත්ව තියෙනවා.නැත්නම් කොහොමට හිටීවිද ....

පුනරුප්පත්තිය ගැන කියනවනම් සාගරයක් වගේ දේවල් කියන්න පුළුවන් .ඒ සාගරයෙන් පොඩි දිය දෝතක් අරගෙන ඔබට දෙන්න දරපු වෑයමක් තමයි මගේ පොස්ටුව.කොහොමවුනත් පල්ලෙහා තියෙන ලින්ක් වලින් සහ පොත පතින් ඔයාල මේ ගැන වැඩිදුර විස්තර දැනගන්න පුළුවන්.


*බ්‍රයිඩේ මර්ෆි සහ අන්තරා බවය - කන්නි මහර සුමංගල හිමි [රත්න පොත්]

*පුනරුප්පත්ති සාධක විද්‍යාවට -තිස්ස ජයවර්ධන [සදීපා පොත්]

*edgar cayce on reincarnation -noel langley

ප.ලි.- නොවැලක්වියහැකි හේතුවක් නිසා මේ සතියේ weekend project පලනොවන බව කාරුනිකව සලකන්න.

Wednesday, January 23, 2013

ලින්කන් සහ කෙනඩි අතර පුදුම හිතෙන සමානකම්

             

ඔන්න ඉතින් කීප දවසකින් පොස්ට් එකකුත් දාන්න බැරිඋනානේ.මේ දවස්වල පොඩ්ඩක්විතර බිසී.ඔන්න මං අද ඔයාලට කියන්න යන්නේ ඇමරිකාවේ හිටපු ජනාධ්පතිවරු දෙදෙනෙක් අතර පුදුම හිතෙන සමානකම් ටිකක් ගැන.කට්ටියම දන්නවනේ මේ තමයි ඇමරිකාවේ 16 වෙනි ජනාධිපති ඒබ්‍රහම් ලින්කන් සහ 35 වෙනි ජනාධිපති ජෝන් එෆ් කෙනඩි.මේ දෙන්නගේ ජීවිත කතාවල ටිකක් පුදුම හිතෙන සමානකම් ටිකක් මට අහුවුණා.ඒ ටික ඔයාලගේ දැනගැනීමටත් එක්ක ඔන්න දානවා.

*ලින්කන් 1846 ඇමෙරිකානු කොන්ග්‍රස් මණ්ඩලයට තේරී පත්වූ අතර එයින් හරියටම අවුරුදු 100 කට පස්සේ ඒ කියන්නේ 1946 කෙනඩි කොන්ග්‍රස් මණ්ඩලයට තේරී පත්වෙනවා.

*ලින්කන් 1860 ඇමෙරිකානු ජනාධිපති ලෙස  තේරී පත්වූ අතර එයින් හරියටම අවුරුදු 100 කට පස්සේ ඒ කියන්නේ 1960 කෙනඩි ජනාධිපති විදියට තේරී පත්වෙනවා.

*දෙදෙනාම මිය යන්නේ හිසේ පිටුපසට තැබූ වෙඩි පහරකින්.මේ අවස්ථා දෙකේම ඔවුන්ගේ බිරියන් ඔවුන් සමග සිටියා.

*දෙදෙනාටම වෙඩි තබාතිබුනේ සිකුරාදා දිනයකදී.

*දෙදෙනාගේම දරුවන් ඔවුන් ජනාධිපතිදූර දරණ කාලයේදී මියගියා.

*දෙදෙනාම මියගියපසු ඊලගට ජනාධිපතිවුනේ ජොන්සන් නම් අය.

*ඔවුන්ගෙන් ලින්කන්ගේ අනුප්‍රාප්තිකයා වූ ඇන්දෘ ජොන්සන් 1808 උපතලබා ඇති අතර කෙනඩිගේ අනුප්‍රාප්තිකයා වුනු ලින්ඩන් ජොන්සන් උපත ලබා ඇත්තේ 1908 දී.

*ලින්කන් මියයන්නේ ෆෝර්ඩ් නම් නාට්‍ය ශාලාවේදී.කෙනඩි මිය යන්නේ ඔහුගේ ලින්කන් වර්ගයේ කාර් රථයේදී ,එය නිෂ්පාදනය කර තිබුනේ ෆෝර්ඩ් සමාගම විසින්.

*ලින්කන්ට වෙඩි තබා තිබුනේ නාට්‍ය ශාලාවකදී.ඔහුගේ ඝාතකයා බඩු ගබඩාවක සැගවී සිටියදී හමුවුනා.කෙනඩිගේ ඝාතකයා ඔහුට වෙඩි තබා තිබුනේ බඩු ගබඩාවක සැගවී සිටයි.ඔහු අල්ලාගත්තේ නාට්‍ය ශාලාවකදී.

*දෙදෙනාගේම ඝාතකයින් නඩු විභාගවලට පෙර මියයනවා.

*ලින්කන්ගේ ලේකම්වරයාගේ නම කෙනඩි.කෙනඩිගේ ලේකම්වරයාගේ නම ලින්කන්.

*දෙදෙනාගේම අවසාන නම්වලට අකුරු 7.ඝාතකයින්ගේ නම්වලට අකුරු 15.

කොහොමද වැඩේ ?

Saturday, January 19, 2013

පුවක් ලෙල්ලෙන් නයිහාමි කෙනෙක් හදමු - weekend project


 

ඔන්න යාලුවනේ අපේ weekend project එකේ තුන්වෙනි වැඩසටහන අද.වැඩේ පටන් ගන්න කලින් මට ඔයාලට කියන්න පොඩි කාරණයක් තියෙනවා.මගේ අරමුණ වෙන්නේ අපි පොඩි කාලේ ස්වභාවික ද්‍රව්‍ය වලින් නිර්මාණය කරපු සෙල්ලම් බඩු අපේ ඉදිරි පරම්පරාවන්ටත් දැකගන්න පුළුවන් විදිහට වෙබ් අවකාශයේ සටහන් කර තැබීමයි.මාත් මේවා හදලා දැන් සෑහෙන කාලයක් වෙනවා,ඒක නිසා මගේ මතකයට අනුව තමයි මන් මේවා හදන්නේ.ඒ නිසා වැරැද්දක් තිබුනොත් ඔයාලට පුළුවන් මාව නිවැරදි කරන්න.

අනිත් කාරණේ තමයි ඔයාල ගොඩ දෙනෙක් වගේ මාත් දැන් නාගරික පරිසරයකට කොටුවෙලා ඉන්නේ.ඒ නිසා මේ නිර්මාන කරන්න අවශ්‍ය අමුද්‍රව්‍ය හරියටම හොයාගන්නත් ටිකක් අමාරුයි.බලමුකෝ ගමට යන්න පුළුවන් වුනොත් ඒ ප්‍රශ්නේනම් එන එකක් නැහැ.ඒ වගේම තමයි සමහරවෙලාවට මන් හිතාමතාම පොඩි පොඩි මොඩිෆයි දාල තියෙනවා හොදේ.ඒ වගේම යාලුවනේ ඔයාලට මේ විස්තර දැන් ෆේස් බුක් එකෙත් දැනගන්න පුළුවන්.හසරැල්ලක් ෆේස්බුක් පිටුවට එකතුවෙන්නකෝ.

හරි.එහෙනම් අද අපි හදන්න යන්නේ පුවක් ලෙල්ලකින් නයිහාමි කෙනෙක්.ඔන්න එහෙනම් මුලින්ම අවශ්‍ය දේවල්.

1.පුවක් ගෙඩියක් - අපි පොඩි කාලෙනම් අපේ ගෙවල්වල බුලත් තට්ටුවල ඕනතරම් පුවක් ලෙලි තිබුනා,දැන් එහෙම නැතිනිසා ඔයාලට කඩෙන් හරි පුවක් ගෙඩියක් ගන්න වෙනවා.මතක ඇතුව හොද අමු පුවක් ගෙඩියක් තෝරා ගන්න.

2.පොල් කොලයක් -මහත පොල් කොලයක් තෝරාගන්න.මටනම් හදිසියට මහත එකක් හොයාගන්න බැරිවුනා.

3.නූලක් - කළු නූලක්නම් හොදයි.ඕකට හරියටම හරියන්නේ කොන්ඩ ගහක්.ඔන්න ඉතින් මන් කිවා කියලා දැන් අම්මගෙවත් නෝනාගේවත් කොන්ඩේ ගස් ගලවන්න යන්න එපා.අනිත් එක දැන් අම්මලාට දිග කොන්ඩ තියෙනවායි කියලයි නේද?හි...හි...

4.පිහියක් - පරිස්සමට හොදේ



දැන් මුලින්ම කරන්න තියෙන්නේ පුවක් ගෙඩිය දෙකට පලාගන්න එක.ඔන්න තියෙනවා මන පුවක් ගෙඩිය පලාගත්ත විදිහ.



දැන් තියෙන්නේ පුවක් කුරුට්ට හාරලා අයින්කරගන්න එක.මේක පරිස්සමට කරන්න ලෙල්ලට හානිනොවෙන්න.



හරිනේ,දැන් තියෙන්නේ අපි හොයාගත්ත පොල් කොලේ ඉරටුවෙන් එක පැත්තක පොල් කොලය ගානට ඉරාගන්න එක.පරිස්සමෙන් පොල් කොලේ අගටම යනකල් ඉරාගන්න.ඒ වගේම ඉරටුවත් හොදට සුද්දකරලා තියාගන්න.අපිට පස්සේ ඕනවෙනවා.



දැන් ඔයාල කලින් කුරුට්ට අයින් කරපු පුවක් ලෙල්ල පැත්තකින් පොඩි කැපුමක් කරලා මේ පොල්කොලේ හයිකරගන්න.



හරි දැන් නයිහාමිනම් හදලා ඉවරයි.දැන් තියෙන්නේ නයි හාමිව නටවන්න අවශ්‍ය කටයුතු සලසන එක.දැන් නූල අරගෙන අර කලින් ඉතුරු කරගත්තු ඉරටුවේ අග්ගිස්සෙයි පුවක් ලෙල්ලේයි (ඒ කියන්නේ නයිහාමිගේ පෙනේ) සවිකරගන්න.



හරි දැන් වැඩේ ඉවරයි.දැන් ඔයාලට ඉරටුවෙන් ඔයාගේ නයිහාමිව නටවන්න පුළුවන්.ඔන්න බලන්නකෝ.ඒ වගේම කාබන් පෑනකින් හරි ප්ලැටිග්නම් එකකින් හරි නයිහාමිව හැඩකරගන්නත් පුළුවන්.ඒ වගේම ඔලිඳ ඇට දෙකක් හොයාගන්න පුලුවන්නම් ඒකෙන් නයිහාමිට ලස්සන ඇස් දෙකක් දෙන්නත් පුළුවන්.මටනම් හොයාගන්න බැරිඋනා.



හරි එහෙනම් දැක්කනේ.අදට වැඩසටහන ඉවරයි.ලබන සතියෙත් අලුත් weekend project එකකින් හමුවෙමු.

ටටා.....

විශේෂ ස්තුතිය - හොඳ පුවක් ගෙඩියක් කැඩීමට ගස්බඩ ගෑ මාලන් මල්ලීට 

Thursday, January 17, 2013

පිටරට ඉඳන් ගෙදරට සල්ලි එවන්නේ කොහොමද? බැංකුවයි ඔබයි 3

ඔන්න යාලුවනේ අපේ පාඩම් මාලාවේ තුන්වෙනි පන්තියත් අද පැවැත්වෙනවා.පාඩම පටන්ගන්න කලින් කියන්න ඕන මං මේ පාඩම් වලින් අරමුණු කරගන්න දේ.ඇත්තටම මගේ අරමුණ තමයි බැංකු කටයුතු ඔයාලගේ එදිනෙදා ජීවිතයට සම්බන්ධ කරගන්න පුළුවන් විධි සහ බැංකුවක් මගින් ඔයාලට ලබාගන්න පුළුවන් දේ ඉතා සරලව පැහැදිලි කරලා දීම.ආ...කියන්න අමතක වුනානේ අද ඉදලා හසරැල්ලක් මූණු පොතෙත් ඉන්නවා.දැන් අපි පාඩම් දෙකක්ම කලානේ,ඒවා බැලුවේ නැති අය පල්ලෙහා තියෙන ලින්කුවලින් ගිහින් ඒවා බලන්නකෝ.


ඉතුරුම් ගිණුමක් විවෘත කරමු - බැංකුවයි ඔබයි පාඩම් අංක 1



ඔන්න එහෙනම් අද පාඩමෙන් මං කියලා දෙන්නේ පිටරට ගියපු සහ පිටරට යන්න බලාපොරොත්තුවෙන අයට ගෙදරට සල්ලි එවන්නේ කොහොමද කියලා කියලා දෙන්නයි.අපේ බ්ලොග් අවකාශේ යාලුමිත්‍රයෝ ගොඩකුත් පිටරට වාසය කරනවානේ,ඔන්න ඕගොල්ලන්ටත් මේ පොස්ට් එක වැදගත්වේවි කියලා මං හිතනවා.

අපේ රටේ දැන් ප්‍රධාන විදේශ විනිමය ලැබෙන ක්‍රමය තමයි විදේශවල සේවය කරන අපේ රටේ පුරවැසියෝ විසින් කරන මුදල් ප්‍රේෂණ (remmitances).ඉතින් ඕගොල්ලා රට ගිහින් දුක්විදලා හම්බකරන සල්ලිය පරිස්සමට ඉක්මනට ගෙදර අයගේ අතට එවන විදිහක් ගැන ඔයාල ගොඩක් කරදරවෙනවා ඇතිනේ,ඉතින් එහෙම සල්ලි එවන්න පුළුවන් ක්‍රම කිහිපයක් තියෙනවා.

1.Western Union / Money Gram වැනි මුදල් එවන ක්‍රම

2.වාණිජ බැංකු මගින් බැංකු ගිණුම් හරහා 

3.චෙක්පත් සහ බැංකු අණකර මගින්

4.බැංකු නොවන නියෝජිතයන් මගින්.

මුලින්ම කියන්න තියෙන්නේ ඔය 4 වෙනි ක්‍රමේනම් නීත්‍යානුකූල නැහැ.සල්ලි ගෙදරට නොලැබීමේ අවදානමත්  උපරිමයි,ඒක නිසා ඔයාල දුක් මහන්සිවෙලා හම්බකරන සල්ලි ටික ඒ ක්‍රමේටනම් එවන්න එපා කියලා තමයි මට කියන්න තියෙන්නේ.කොහොමුනත් අපි මුල් ක්‍රම ටික සලකලා බලමුකෝ.මුලින්ම සල්ලි එවන්න තියෙන ක්‍රමය තමයි වෙස්ටෙර්න් යුනියන් සහ මනී ග්රෑම් වැනි ක්‍රම.මේ වෙනකොට ගොඩක් අය ගෙදරට සල්ලි එවන්න මේ ක්‍රම භාවිතා කරනවා.


මේ මුදල් එවීමේ ක්‍රම ඉතා ඉක්මන් වීම සහ රටේ බොහෝ ස්ථානවලින් ලබාගත හැකිවීම තමයි මේ ක්‍රම ජනප්‍රිය වීමට හේතුව.හැබැයි මෙහෙම මුදල් එවනකොට ඒකට අයකරන ගාස්තුව නැත්නම් කොමිස් එක ටිකක් ඉහලයි.ඒක නිසා ඔයාල පොඩි මුදල් ප්‍රමාණයක් ගෙදරට එවනවනං මේ ක්‍රමේ භාවිතාකරන එක ඔයාලට අවාසිදායකයි.මොකද උදාහරණෙකට කියනවනම් සමහරවෙලාවට ඔයාලට ඩොලර් 10 ක් එවන්නයි ඩොලර් 100 ක් එවන්නයි වැයවෙන්නේ එකම ගාස්තුවක් වගේ නිසා.

ඒ වගේම මේ ක්‍රම භාවිතාකරනවානම් ඔයාලා අපේ රටේ සල්ලි එවන පුද්ගලයාගේ නම ලබාදුන්නට පස්සේ ඔයාලට දෙන රිසිට් එකේ ඒ නම හරියට සදහන් වෙනවද කියලත් බලන්න.මොකද අපේ රටේ නම් සමහර රටවල හරියට සදහන් කරන්න ඔවුන් අපොහොසත් වීම.මේ නිසා ලබන්නාගේ නම හරියට කැපිටල් ඉංග්‍රීසි අකුරෙන් ලියාගෙන යන්න.එතකොට සල්ලි ගන්න කෙනා අනවශ්‍ය රස්තියාදුවීම්වලින් වළක්වාගන්න පුළුවන්.

ඊලග ක්‍රමේ තමයි.වාණිජ බැංකුවක් හරහා ගිණුමකට මුදල් එවීම.දැනට ලංකාවේ ක්‍රියාත්මකවෙන හැම වාණිජ බැංකුවක් වගේම මේ මුදල් ප්‍රේෂණ කටයුතු කරනවා.මෙහෙම මුදල් එවනකොට ඔයාල මුලින්ම තෝරාගන්න ඕන මොන බැංකුවේද ගිණුම අරින්නේ කියලා.මොකද හැම බැංකුවේම හැම රටේම ඒජන්ත බැංකු නැති නිසා.ඒක නිසා ඔයගොල්ල යන රටේ ඒජන්ත බැංකුවක් තියෙන මේ රටේ බැංකුවක් තෝරාගෙන ගිණුමක් අරින්න.එතකොට මුදල් ඉක්මනට වගේම අඩු ගාස්තුවක් යටතේත් එවන්න පුළුවන්.දැන් ඔය ගොඩ දෙනෙක් කරන චෝදනාවක්නේ ගිණුම්වලට මුදල් ලැබෙන්න ප්‍රමාදවෙනවා කියලා.ඒකට හේතුව තමයි බැංකු කිහිපයක් හරහා ගනුදෙනු සිදුවීමට විශාල කාලයක් වැයවීම.

ඔයාලා රට යනවනම් ඒ යන්න කලින්ම සල්ලි ගෙදරට එවන විදිය සැලසුම් කරලා යන්න.නැත්නම් ලොකු අමාරුවල පවා වැටෙන්න පුළුවන්.බැංකුවක ගිණුමක් අරිනකොටම ඔයාල යන රටේ ඒ බැංකුවේ නියෝජිත බැංකු ගැන විස්තර දැනගන්න.ඔයාලගේ හරි සල්ලි එවන්නේ වෙනත් කෙනෙකුටනම් ඒ බැංකු පොතේ ෆොටෝ කොපියක් අරගෙන යන්න.අනිත් වැදගත් දේ තමයි අපේ රටේ බැංකුවේ swift code එක.ලෝකේ හැම රටකම බැංකුවලට ඒ බැංකුවට ආවේනික swift code එකක් තියෙනවා.බැංකුවක් තවත් බැංකුවක් හදුනාගන්නේ මේ swift code මගින්.ඒක නිසා ඒ swift code එකත බැංකුවෙන් විමසලා දැනගෙනම රට යන්න.ඒ වගේම internet banking පහසුකම් සපයනවානම් ඒ පහසුකමුත් ලබාගන්න.එතකොට ඒ රටේ ඉදගෙන උනත් ගිණුමේ ගනුදෙනු පරීක්ෂාකරන්න පුළුවන්නේ.රට ඉදලා සල්ලි එවනවනම් සුදුසුම ක්‍රමය විදිහට මන් දකින්නේ මේ ක්‍රමය.

අනිත් ක්‍රමේනම් දැන් එච්චර භාවිතා නොවුනත් ඉස්සර සැහෙන්න භාවිත වුනා.ඒ කියන්නේ සල්ලි බැංකු ඇනවුමක් නැත්නම් චෙක් එකක් මගින් එවීම.මේක ටිකක් වියදම් අඩු ක්‍රමයක්.හැබැයි සැහෙන්න පරක්කුයි.ඒවගේම මේ ක්‍රමේට සල්ලි එවනවනම් මේ රටේ නියෝජිත බැංකු තියෙන බැංකුවක් හරහා එවන්න,නැත්නම් චෙක් එක මාරුවෙලා සල්ලි ලැබෙන්න සෑහෙන කාලයක් ගතවෙන්න පුළුවන්.ඒ වගේම අපේ රටේ සල්ලි ලබන කෙනාගේ නම සහ ගිණුම අංකය නිවැරදිව ලියාගෙන යන්න.නැත්නම් සමහරවිට ඒ චෙක් එක මාරු කරන්න බැරිවෙන්නත් පුළුවන්.ඒ වගේම ඔයාලට පුලුවන්නම් ගෙදරට සල්ලි එවන ගමන් ඔයාලගේ නමින් NRFC එකවුන්ට් එකක් ඇරලා එකෙත් කීයක්හරි ඉතුරු කරන්න.ඒ ගැන වෙනම ඉදිරි පාඩමකින් කියලා දෙන්නම්කො.

ඔන්න එහෙනම් අදට පාඩම ඉවරයි.මට ඔයාලට කියන්න තියෙන වැදගත්ම දේ තමයි.ඔයාල රට යනවනම් ගෙදරට මුදල් එවන ක්‍රමේ මෙහෙදීම ප්ලෑන් කරලා යන්න.ඒක අතිශය වැදගත්.

Wednesday, January 16, 2013

වෙබ් අවකාශෙන් සිංහල භාෂාවට එකතුවුණු දේවල්

ලෝකේ ඕනෑම භාෂාවක් වගේ අපේ සිංහල භාෂාවත් එක එක කාලෙට උචිතපරිදි හැඩ ගැහෙමින් ආපු භාෂාවක්නෙ,ඒ කියන්නේ පුරාන රජකාලේ වගේම පහුකාලීනව අපේ රට ආක්‍රමණය කරපු විදේශීය ජාතින්ගේනුත් අපේ සිංහල භාෂාවට වචන එක්කහුවෙලා තියෙනවා.

එහෙම එකතුවුණු වචනත් ටික කලක් යනකොට පරිනාමනයවෙලා අපේම වචනත් බිහිවෙලා තියෙනවා.බඩු භාණ්ඩ ආදිය සම්බන්දයෙන් පමණක් නෙවෙයි පුද්ගල නාමයන් සම්බන්දයෙන් පවා.

දැන් ඉතින් මේ නූතන 21 වෙනි සියවසේ අන්තර්ජාල පරම්පරාවත් එක්කත් අපේ භාෂාවට විවිධ වචන එක්කහුවෙලා තියෙනවා.හැබැයි අපේ සමහර පණ්ඩිතයෝ අලුත් පරම්පරාවට දොස් නගනවනේ බස නසනවා කියලා,හැබැයි ඉතින් මේ පණ්ඩිතයෝ රජකාලේ හිටියනම් අද වෙනකොටත් අපිට ලියන්න කියන්න වෙන්නේ බ්‍රාහ්මීය අක්ෂර වලින් තමයි.

සිංහල කතාකරනකොට වචන දෙක තුනකට සැරයක් ඉංග්‍රීසි වචන දමදමා කතාකරන එකටනං මාත් කැමති නැහැ,යම දෙයකට අපේ භාශාවේ සුදුසු වචනයක් නැත්නම් ඒකට ඉංග්‍රීසි වචනයක් භාවිතාකලාට කමක් නැහැ.නිකම් බොරුවට පොෂ් බව පෙන්නන්න ඉංග්‍රීසි භාවිතයටනම් මාත් විරුද්දයි.

හෝව් ..හෝව්.. කතාවෙන් පිට ගියානේ,මං අද පොඩි සමීක්ෂණයක් කරන්න බලාපොරොත්තුවෙනවා වෙබ් අවකාශෙන් නූතන සිංහලයට එකතුවුණු වචන ගැන.අපේ මේ සිංහල බ්ලොග් නිසා තමයි මං හිතන්නේ මේ ගොඩක් වචන එකතුවුනේ.මං දන්න වචන කිහිපයක් මං පහල සටහන් කරනවා.මට මගහැරිච්ච යමක් තිබුනොත් ඔයාල පුළුවන් කොමෙන්ට් කරන්න.

මූණු පොත - facebook එකට භාවිත නමකි.

බුකිය - facebook එකට භාවිත නමකි.(short)

පොස්ටුව - web post එකට භාවිත නමකි.

බ්ලොගේ - blog එකට භාවිත නමකි.

ජාලේ - internet එකට භාවිත නමකි.

ගූගල් දෙය්යා - google search engine එකට භාවිත නමකි.

කොමෙන්ටු - comments වලට භාවිත නමකි

සින්ඩිය -syndicater වලට භාවිත නමකි.

මගහැරිච්චා සෑහෙන ගණනක් ඇතිනේ.ඔන්න මං භාෂාව විනාස කොරනවා කියලා රෙදි උස්සන් වලියට එහෙම එනවා නෙමෙයි ඕන්.

පින්තුරේ ගත්තේ -http://lankafunpicture.blogspot.com

Tuesday, January 15, 2013

කාලෙකට කලින් බලපු ලස්සන චිත්‍රපටියක් - Roja


අද උදේම ටී වී එකේ යනකොට ලස්සන සින්දුවක් ඇහුනා,ඒක කාලෙකට කලින් තිරගත වුනු ලස්සන චිත්‍රපටියක් වුනු "රෝජා "චිත්‍රපටියේ ගීතයක්,ඒ වෙලාවේ හිතාගත්තා වැඩ ඇරිලා ඇවිල්ලා ඒ ගැන පොස්ටුවක් දාන්න ඕන කියලා.

ඉතින් මං හිතන්නේ ඔයාල ගොඩදෙනෙක් මේ ෆිල්ම් ඒක බලලා ඇති නේද,බලලා නැති කට්ටියත් ඇති.මේක සුප්‍රකට මනි රත්නම්ගේ චිත්‍රපටියක්,මුලින්ම දෙමළ චිත්‍රපටියක් විදිහට ආවත් පස්සේ හින්දි වර්ෂන් එකකුත් ආවා.

අරවින්ද් ස්වාමි සහ මධුබාලා තමයි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ,සාමාන්යෙන් ඉන්දීය චිත්‍රපටිවල දකින්න තියෙන්න සරුව පිත්තල ලෝකය නැතිව සාමාන්‍ය මිනිසුන්ගේ ජීවිත කතාවක් තමයි මේකෙ තියෙන්නේ,ඒ වගේම ලස්සන ආදර කතාවක් වගේම ගැහැණියකගේ නොසන්සිදෙන දිරියත් මේ ෆිල්ම් එකේ දකින්න පුළුවන්.

කොහොමවුනත් මං චිත්‍රපටියේ කතාව කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ,මෙතනින් ගිහින් චිත්‍රපටිය ගැන විස්තර ඔක්කොම දැනගන්න පුළුවන්,වැඩිපුර බයිට් තියෙන කස්ටිය මෙතනින් ගිහින් බාගන්න.මෙගා බයිට් 700 ක විතර වෙනවා.

චිත්‍රපටියටත් වඩා මගේ හිත ගත්තේ ඒකෙ තියෙන සින්දු තමයි.ඒ ආර් රහුමාන් ගේ මනබදින සංගීතයට මුසුවුණු ගීත අදටත් ඇහෙන කොට අමුතුම ගතියක් තියෙනවා කියලා මට හිතෙනවා.හරිහරන්ගේ ගැඹුරු කටහඩත් නියමෙටම ඒ සින්දුවලට ගැලපෙනවා.


ආ.. කියන්න අමතක වුනා රෝජා කියන්නේ "රෝස මල " කියන එකයි හොදේ.

Monday, January 14, 2013

කොස් මහත්තයාගේ කතා 2

ඔන්න මන් අදත් කියන්න යන්නේ අපේ කොස් මහත්තයා සම්බන්ද රසවත් සිද්දි ටිකක්.මුල් කතා ටිකබැලුවේ නැති අය මෙතනින් ඒක බලලා එන්නකෝ.

ඔන්න මේ කියන්න යන සිද්දිය වුනේ 2006 අවුරුද්දේ විතර.එතකොට අපේ බ්‍රාන්ච් එකේ නියෝජ්‍ය කලමනාකරු විදිහට වැඩකලේ ගුණවතී (නියම නම නොවේ)කියලා මිස් කෙනෙක්.ගුණවතී මිස් මැදි වයස පහුකරලා හිටපු දරුවන් තුන් දෙනෙකුගේ මවක්.මේ මිස්ට දියවැඩියාව එහෙම තිබුනා.ඒ කියන්නේ හිටිගමන් ඇඟේ සීනි අඩුවෙන තත්වයක් වගේ.ඒක අපි කවුරුත්වගේ  දැනගෙන හිටියා.ඔන්න දවසක් හිටිහැටියේම ගුණවතී මිස් කලන්තේ දාලා වැටුනා.

අපි ඉක්මනටම මැනේජර් මහත්තයාගේ කාර් එකෙන් මිස්ව ඉස්පිරිතාලෙට ගෙනිච්චා.අපිත් එක්ක වැඩකරන නංගිලා දෙන්නෙකුයි ,කොස් මහත්තයයි,මැනේජර් මහත්තයයි තමයි ඉස්පිරිතාලෙට ගියේ,ඔන්න ටිකකින් කොස් මහත්තයා ආපහු ආවා.කොස් මහත්තයා ආපු ගමන් අපේ අනිත් මිස්ලා ටික මිනිහව වටකරගත්තා.

"මොකද,මොකද ගුණවතී මිස්ට වෙලාතියෙන්නේ ?"

කොස් - අනේ ,ඔයාලා දන්නෙම  නැතුව ඇති නේද එකපාරටම කලන්තේ දාල වැටෙන කොට මොකද කියලා.

"අනේ අප්පේ ,වයසවත් බලලද මේ ගෑනි වැඩකරන්නේ " කියලා අනිත් මිස්ලා ටික කම්බුලේ අත තියාගත්තා.

---------------------------------------------------------------------

ඔන්න මේ කියන සිද්දිය වුනේ කොස් මහත්තයා ට්‍රාන්සර් වෙලා ගමට යන දවසේ,මේ වෙනකොට කොස් මහත්තයා අවුරුදු දෙකක් විතර අපේ චමරියේ ඉදලා තිබුනා.ඉතින් ඒ හිටපු දවස් ගානට බොහොම ලගින් යන ප්‍රමාණයක බෝතලුත් අපේ චමරියේ කාමරේක ගොඩ ගැහිලා තිබුනා.ඉතින් කොස් මහත්තයා යන එකේ මේ ටිකත් අස්කරගන්නත් ඕන නිසා ,ඒ වගේම කීයක්හරි හොයාගන්නත් පුළුවන් නිසා මං අපේ පියන් ගුණතිලකට කිව්වා බෝතල් පත්තර කාරයෙක් හොයලා දෙන්න කියලා.

ඔන්න දවල් වෙනකොට බෝතල් පත්තරකාරයෙක් එක්ක අපේ ගුණතිලක ආවා.මං චමරියේ යතුර ගුණතිලකට දීලා බෝතල් ටික විකුනලා සල්ලි මන් එනකම් තියාගන්න කියලා ණය වගයක් අයකිරීමේ වැඩකට එලියට ගියා.

ආපහු ඇවිත් කොස් මහත්තයාට එහෙම සමුදීල කියල ඔන්න ඉතින් අපි හවස වැඩ ඉවර වෙලා චමරියට ආවා.ටික වෙලාවකින් කවුද ඇවිත් දොරට තට්ටු කරනවා.අපි ගිහින් දොර ඇරලා බැලුවා.මෙන්න යකෝ බැලින්නම් කොස් මහත්තයයි ගුණතිලකයි ඉන්නවා දො‍ර ගාව.

අපි - ඇයි ,කොස් මහත්තයා මොකුත් ගෙනියන්න අමතක වුනාද?

කොස් -නෑ බං,මේ ගොඩගැහිලා තිබුණු බෝතල් ටික ගුණතිලක බෝතල්පත්තර කාරයෙක්ට විකුනලා මෑන් ඒකට සල්ලි ටිකක් දීල තිබුනා.ඒකෙන් අපි තව බෝතල් දෙකක් ගෙනාවා,මොකෝ කියන්නේ සෙට් වෙමුද ?

Sunday, January 13, 2013

කොස් මහත්තයාගේ කතා

කොස් මාමා කිව්වමනම් කාටත් මතක වෙන්නේ  ආතර් වී දියෙස් මැතිතුමානේ.හැබැයි ඔන්න අද මං ලියන්න යන්නේ එයා ගැනනම් නෙමෙයි.මේ අපිත් එක්ක රාජකාරි කරපු බොහොම සුන්දර නිර්ව්‍යාජ මිනිසෙක් ගැන රසවත් කතා කීපයක්.

එයාගේ නම කොස්ගහකුඹුර.මුල් නම මට මතක නැහැ.මුල් නම අපිට ඕන වුනෙත් නැහැ.අපි එදා ඉදලම එයාට කිව්වේ කොස් මහත්තයා කියලා.නම වගේම එයාගේ ගමත් වුනේ කැප්පෙටිපොල කොස්ගහකුඹුර ගම්මානය තමයි.බොහොම උස්සාහවන්ත මනුස්සයෙක්.දරුවන්ට බොහොම ආදරේ කරන තාත්තා කෙනෙක්.බැංකුවක නිලධාරියෙක් වුනත් හොද ගැමියෙක්.ඔහුගේ උත්සාහවන්ත බව මං  දැක්කේ ඔහුගේ ගෙදර හිටපු දවසක උදේ 4 ට විතර ඇග ගැහෙන සීතලේ ඔහු ඔහුගේ ගෙදර පහල අර්තාපල් කොටුවලට වතුර දාන හැටි දැක්කමයි.ඒ වගේම ඔහුගේ වඩාත්ම විශේෂ ලක්ෂණය වුනේ මධු පානයට ඇති තදබල කැමැත්ත.

මට ඔහුව හමුවුනේ මං බුත්තල රාජකාරි කරන කාලයේ.ඔහු අපිත් එක්ක චමරියේ කල්ගෙව්වා.මං අද ලියන්න යන්නේ ඒ කාලයේ සිදුවුණු රසවත් සිද්දි කිහිපයක්.

අපේ මේ කොස් මහත්තයා සමහර දවස්වල රාජකාරි වෙලාවෙත් මදපමණට අනුමත වෙලා තමයි වැඩකරන්නේ.එහෙම වුනා කියලා ගනුදෙනුකරුවන්ටවත් අපිටවත් කිසිම කරදරයක් වුනේ නැහැ.හැබැයි අපේ කළමනාකාරතුමා මේ ගැන ටිකක් හිත්නොහොදින් තමයි හිටියේ.ඔන්න දවසක් කොස් මහත්තයාව මැනේජර් මහත්තයා තමන්ගේ කාමරේට ගෙන්නුවා.

මැනේජර් - බලන්න "කොස්",ඔයා මේ පොතේ මේ මේ තැන්වල අත්සන් කරලා නැහැ,මීට වඩා ටිකක් අවධානෙන් වැඩකලොත් හොදයි.

කොස් - සොරි ලොකු මහත්තයා,මන් ඒක හදලා දාන්නම්,ඒක නෙමෙයි මේ බලන්න මේ පොතේ මීට අවුරුදු 4 කට විතර කලිනුත් කවුරුහරි අත්සන් කරලා නැහැ.

මැනේජර් - හැබෑ නේන්නම් ,ඒ කාලෙත් හරියට වැඩකෙරිලා නැහැ.බලන්න කවුද ඒ කාලේ ඔය සෙක්ෂන් එකේ වැඩකලේ කියලා.

කොස් මහත්තයා ටික වෙලාවක් ඇවිත් බොරුවට පොත් පෙරලා පෙරලා ඉදලා කටකොනකින් හිනාවෙමින් ආයෙත් ඇතුලට ගියා.

කොස්- සර්.ඒ කාලේ වැඩකරලා තියෙන්නේ .........කියලා කෙනෙක් (හිස්තැනට මැනේජර් මහත්තයාගේ නම )

මැනේජර් - ආ ...ඇත්තද ,එහෙනම් ඔයා අත්සන් කරලා ඔය පොත මෙතනින් තියලා යන්න.

---------------------------------------------------------------------------------------

මේ කියන්න යන සිද්දිය වුනේ අපේ වර්ෂාවසාන දවසක.ඒ කියන්නේ දෙසැම්බර් 31 දාක.සාමාන්යෙන් බැංකුවල එදාට ව්‍යාපාරික කටයුතු අවසන්කරලා හවසට පාටියක් එහෙම දානවනේ.ඕන්න ඒ වගේ වෙලාවක කොස් මහත්තයා ටිකක් අනුමතවෙලා හිටියේ.මිනිහා එකපාරට අඩන්න පටන් ගත්තා.

අපි - කොස් මහත්තයා මොකක්ද ප්‍රශ්නේ ?

කොස්- අනේ බන් අවුරුද්දක් ලබන වෙලාවේ දරුවන්ගේ මූණු බලන්න නැතුව මට ඉදලා වැඩක්‌ නැහැ.

අපි - ඉතින් දැන් ගෙදර යන්න බස් නැහැනේ ,අනික හෙට වැඩට එන්නත් එපාය.

කොස් -අනේ කොහොමහරි මාව ගෙදර ගෙනියපල්ලා.

කියල මිනිහා හොදටම අඩන්න ගත්තා.වැඩේ දරුනුවේගෙන එන නිසා අපි වෑන් එකක් කුලියට කතාකරගෙන "කොස්"වත් නග්ගාගෙන අපිත් නැගලා දැන් ඔන්න කොස්ගේ ගමට යනවා.ඔන්න ඉතින් කොහොමහරි රෑ 10 විතර වෙනකොට අපි වැලිමඩ හරියට ආවා.

කොස් - මේ ලග අපේ මස්සිනා කෙනෙක් ඉන්නවා,මිනිහත් පොඩ්ඩක් බලලම යමු.

ඔන්න ඉතින් අපි ඒ මස්සිනාලගේ ගෙදරත් ගියා,එයත් කොස් වගේම තමයි,අපි ගියපු ගමන් බෝතල් දෙකක් අරගෙන මේසේ උඩින් තිබ්බා.
කොහොමහරි කට්ටිය ආයෙත් සෙට් වුනා.රෑ 12 පහුවෙන්නැති.දැන් කොස්ට හොදටම වැඩියි.

අපි -කොස් මහත්තයා දැන් අපි ඔයාලගේ ගෙදර යමු නේද?

කොස් - උබලට පිස්සුද ,අවුරුද්දක් ලබන වෙලේ කට ගොන්නක් බීගෙන කනමදයා වගේ ගෙදර යන්න,උබලා මං කවුරු කියලද හිතාගෙන ඉන්නෙ.අනික උබලා මගෙන්වත් අහන්නෙනැතුව ඇයි අපේ ගෙදර යන්නේ.

Saturday, January 12, 2013

'96 සමාජ පෙරලිය සහ අපි - 96 Revolution of society

හෙඩිම දැක්කගමන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් මං 56 වෙනුවට 96 කියලා සටහන් කරලා කියලා.මොකද 56 කියන්නෙත් අපේ රටේ හොද හොද පෙරලි වෙච්ච අවුරුද්දක්නේ.කොච්චර හොදද කියනවනම් ඒවාට වන්දි අපි තාමත් ගෙවනවානේ.කොහොම උනත් හෙඩිම හරි.

මං අද කතාකරන්නේ 96 අපේ රටේ ඇතිවුණු ක්‍රිකට් වසන්තය (මේ දවස්වල නරක වචනයකි ) සහ අපේ රටේ වෙච්ච විපිරියාස ගැනයි.හිටිහැටියේම මෙහෙම ලිපියක් ලියන්න හිතුනේ අපේ 96 ක්‍රිකට් කණ්ඩායම සහභාගී වුනු සුහද ක්‍රිකට් තරගයක් නැරඹුවාට පස්සේ.මේ ලිපිය ලියන මං ඇතුළු මේක කියවන ගොඩ දෙනෙක් ඒ කාලේ ළමාවයසේ හිටියට මං මේ කියන දේවල් ඔයාලට මතක ඇතිකියලා හිතන්න පුළුවන්.

ඇත්තටම 1996 වෙනකොට අපේ රටේ සමාජයේ තිබුණු වාතාවරණය ආපහු ඔලුවට නගාගත්තොත් මං මේ කියන්න යනදේ ඔයාලටත් හිතෙන්න පුළුවන්.ඒ වෙනකොට අපි රටේ තිබුණු ත්‍රස්තවාදී යුද්ධයෙන් ඉතා දරුණු ලෙස බැටකමින් හිටපු කාලයක්.ඒ වගේම ඒ වෙනකොට රටේ ඇතිවුණු තරුණ නැගිටීමක් ඉතා දරුණු ලෙස මර්ධනය කරලා ගෙවුණු පශ්චාත් සමයක්.

ඇත්තටම මේ කාලේ පොඩිවුන් වුනු අපිටවත් අපේ වැඩිහිටියොන්ටවත් සිනහව සතුට කියන දේ අමතක වෙලා තිබුණු කාලයක් කියලත් කියන්න පුළුවන්.මේ කාලය වනවිට ලංකාවේ සිනමාව පවා කඩාගෙන වැටුනේ මං මේ කියන කාරණය නිසා වෙන්න පුළුවන්(ඒ ගැන පස්සේ දවසක කතාකරමු ).මොකද මිනිස්සුන්ට තමන්ගේ දරුමල්ලොත් එක්ක සතුටුවෙමින් ගෙවන්න කාලයක් වෙන්කරගන්න බැරිවුණු නිසා.

මේ කාලේ වෙනකොට ක්‍රිකට් වුනත් තිබුනේ එච්චර හොද තත්වයක නෙමෙයි.අම්මල තාත්තලා වුනත් සිතුවේ තමන්ගේ දරුවා ක්‍රිකට් වලට යොමුවුනොත් අධ්‍යාපනය කඩාකප්පල් කරගෙන අනාගතේ අඳුරු කරගනීවි වගේ දේවල්.ඔන්න ඔහොම කාලෙක තමයි අපේ ක්‍රිකට් කණ්ඩායම ඕස්ට්‍රේලියා සංචාරය සිදු කරන්නේ.එහිදී ඇතිවුණු විවිධ හැලහැප්පීම් සමග එම සංචාරය ලංකාවේ ක්‍රිකට්වල හැරවුම් ලක්ෂයක් වුනා කියලා මට හිතෙනවා.

ඉන් පස්සේ එලඹුනු 96 ලෝක කුසලාන තරගාවලියේ ශූරතාවය දිනාගන්න අපි සමත් වීමත් සමග රට පුරා ක්‍රිකට් උන්මාදයක් ඇතිවුනා.මං මේක දකින්නේ බලාපොරොත්තුවක් නැතුව හිටපු සමාජයකට අලුත් බලාපොරොත්තුවක් දීමක් හැටියට.රටේ බාල තරුණ මහලු සියලු දෙනා රූපවාහිනිය ලග නැත්නම් ක්‍රීඩාන්ඟනවලට එක්කහුවෙලා හුරේ දමමින් ක්‍රිකට් බලපු කාලයක් උදාවුනේ මින් පස්සේ.ඉස්සරත් අපේ මිනිස්සු ක්‍රිකට් බැලුවා තමයි,ඒත් හදවතින්ම ක්‍රිකට් අත්වින්දේ 96 පස්සේ කියලා තමයි මට හිතෙන්නේ.

අපේ කණ්ඩායම සෙල්ලම් කරන වෙලාවට "අපේ කොල්ලෝ"කියලා හැගීමක් කෙනෙක්ගේ සිතේ අතිනොවුනානම් පුදුමයක්.ඒ වගේම තමයි පිට රටක එක්ක සෙල්ලම් කරනකොට අපි ඒ අය දැක්කේ ක්‍රීඩකයන් වශයෙන් නෙමෙයි සතුරු රටක එක්ක යුධ වැදුණු අපේ රණවිරුවෝ ටිකක් වගේ .ක්‍රිකට් කණ්ඩායම පරාජයක් ලැබුවොත් "කමක් නැහැ ඊලග එක දිනමු" වගේ හැගීමක් අපිට තිබුනා.ඒ වගේම තමයි කණ්ඩායමේ හිටපු අයත් අදට වඩා එදා ලබපු දිනුමක් හදවතින්ම වින්දා කියල තමයි මටනම් හිතෙන්නේ.ඇත්තටම එදා ඔවුන් සෙල්ලම් කලේ රට වෙනුවෙන්.



ඉන් පස්සේ කාලේ නගරෙට සීමාවෙලා තිබුණු ක්‍රිකට් ගමට ගියා වගේම.(මං මේකෙන් අදහස් කලේ කණ්ඩායමට ඇතුළුවීමට තිබුණු අවස්ථාව ගමේ උන්ටත් ලැබුනා කියල)අම්මලා තාත්තලත් තමන්ගේ දරුවෝ දොස්තරලා නැත්නම් ඊලගට කරන්න උත්සාහකලේ ක්‍රිකට් ක්‍රීඩකයෙක්.ඒකෙ හොද වගේම නරක ප්‍රතිපලත් දැන් අපි විදිනවා.දැන් කාලේ කොල්ලෝ ක්‍රිකට් ගහන්නේ හොදට හම්බකරන්න බලාගෙන.

අනේ මන්දා දැන් ක්‍රිකට් තරගයක් බලනකොට මටනම් ඉස්සර දැනිච්ච අර "ගැම්ම" එන්නේ නැහැ.කණ්ඩායමේ කණ්ඩායම් හැගීමත් අඩුද මන්දා.දේශපාලන අතපෙවීම් සහ මුදලාලිකරණයත් අඩුවක් නැතිනිසා ක්‍රිකට්වල ඒ කාලේ තිබුණු "ජවය' අඩුවෙලා කියලා මට හිතෙනවා.

කොටින්ම කියනවනම් මට අද අපේ ටීම් එක සෙල්ලම් කරනකොට පේන්නේ මුදලාලිලා ටිකක් සෙල්ලම් කරනවා වගේ.

කොස්කොල ඔටුන්නක් හදමු - Weekend Project


ඔන්න යාලුවනේ අදත් මං ඔයාලාව හමුවෙන්න ආවේ අපේ weekend project වැඩසටහනේ තවත් කොටසකින්.අද මං ඔයාලට හදන්න කියලා දෙන්නේ "කොස්කොල ඔටුන්නක්" එහෙමත් නැත්නම් "කොස්කොල තොප්පියක්".එහෙනම් කට්ටියම වැඩේට සුදානම් වෙන්නකෝ.

ඔන්න ඉස්සෙල්ලම අපිට මේ වැඩේට අවශ්‍යවෙන දේවල්.

1.කොස්කොල - අපේ වැඩේට හරියන්නේ කහපාට වෙලා ගහෙන් වැටුණු ගමන්ම වගේ කොස්කොල,අමු කොස්කොලවගේම වෙලිච්චත් මේ වැඩේට සුදුසු නැහැ,අමු කොස්කොල ඉක්මනට වේලිලා යනවා ඒ වගේම වෙලිච්චා හය්ය මදි.ඒ වගේම එකප්‍රමානේ කොස්කොල තෝරාගත්තොත් වැඩිය ලස්සනයි.

2.ඉරටු -අමු හරි වේලිච්ච ඉරටුවුනත් කමක් නැහැ



ඉස්සෙල්ලම මේ කොස්කොල දෙකක් අරගෙන ඉරටු කැබැල්ලකින් සම්බන්ද කරගන්න.


මේ විදිහටම කොස් කොළ එකක් පිටුපස එකක් තබමින් කොස්කොල ඉරටු කැබලිවලින් අමුණමින් වැලක් ආකාරයට සකස්කරගන්න.



ඊට පස්සේ  තියෙන්නේ මේකේ කොන් දෙක එක්කහුකරලා රවුමක් ආකාරයට සකස්කරගන්න.මතක ඇතුව ඔයාලගේ ඔලුවේ රදවන්න පුළුවන් තරමට රවුම හදාගන්න.



ඊටත් පස්සේ තවත් කොස්කොලයක් අරගෙන එක් පැත්තකින් මේ වගේ හයි කරගන්න.




දැන් ඉතින් අපි අපේ කොස්කොල ඔටුන්න හදාගෙන ඉවරයි ,දැන්  ඔයාලට ඕනනම් කරන්න තියෙන්නේ මේ කොස්කොලේ අතින් හරි කතුරකින් හරි කපලා ඔටුන්නක් වගේ හැඩකරගන්න එක.ඔන්න බලන්නකෝ මං හදපු ඔටුන්න.



දැක්කනේ,ඔයාලටත් මේක වෙනස් විධි වලට හදලා සෙල්ලම් කරන්න ගන්න පුළුවන්.කොස්කොල ඔටුනු හදලා රජකාලේ විදිහට සෙල්ලම් කරනහැටි ගැන කියවෙන "රජ්ජුරුවෝ උඩයි උඩයි" සින්දුව අහලා නැත්නම් අහලා බලන්නකෝ.

එහෙනම් ලබන සතියේ තවත් weekend project එකකින් හමුවෙමු.

ටටා.

විශේෂ ස්තුතිය - හොඳ කොස්කොල ටිකක් එකතුකර ගෙනවිත් දුන් මාලන් මල්ලීට 

ප .ලි.අපේ ඉස්සෙල්ලා පොස්ට් එක වුනු කුරුම්බැට්ටි මැෂිම kurumbatti machine හදන හැටි  තමයි වෙබ් අවකාශේ ඒ ගැන තිබුණු එකම සවිස්තරාත්මක ලිපිය.(සිංහල විකිපීඩියා වල තිබුනට සවිස්තරව චායාරූප සමග නැහැ )මේ koskola otunna නැත්නම්  koskola thoppiya ත් ඒ වගේ තමයි,ඉතින් මට ගොඩක් සතුටුයි අනාගතේ කෙනෙක් මේ ගැන search එකක් දානකොට මේ ලිපි අහුවුනොත් ,ඔන්න ඒකනිසා මම මෙතන ඒවායේ නම දැම්මේ ඉංග්‍රීසියෙන්.

Wednesday, January 9, 2013

ඉස්කෝලේ කාලේ රසකතා


අපි කවුරු කවුරුත් තමන්ගේ ජීවිතේ ගතකරපු සුන්දරම කාලය මොකක්ද කියලා ඇහුවොත් හැමකෙනෙක්ම වගේ දෙන උත්තරය තමයි ඒ තමන්ගේ පාසල් කාලය කියලා.ඉතින් ඒ වගේම මගෙත් පාසල් කාලය සුන්දර මතකයන්ගෙන් පිරුණු එකක්.ඉතින් ඒ පාසල් කාලේ සිදුවුණු රසවත් අත්දැකීම් කිහිපයක් තමයි මං අද ලියන්න හිතුවේ.

ඔයාල දන්නවා ඇතිනේ මං මාතර කියලා.ඉතින් මං පාසල් ගියෙත් ඒ මාතර තියෙන මුල් පෙලේ බාලක විදුහලකට.අපේ පාසල අසලින් මාතර ඉතා සුන්දර ඇළ මාර්ගයක් ගලා යනවා.හරි දැන් මාතර ගැන දන්නා කට්ටියට හිතාගන්න පුළුවන් ඉස්කෝලේ මොකක්ද කියලා.ඔන්න මං ඉස්සෙල්ලාම කියන්න යන මේ සිද්දිය වුනේ අපි 10 වසරේ ඉදිද්දී.

එතකොට අපේ පන්ති භාරව හිටියේ සෝමවන්ත කියලා සර් කෙනෙක්.අපිටම හරියන බුවා.කොල්ලොත් එක්ක බොහොම හොදින් පැහීගෙන මෑන් හිටියා.කොහොමහරි එක වාරාවසාන විභාගයකදී නිවාඩුදෙන දවස වෙනකොට අපිට හැම විශයකමවගේ ලකුණු දීල තිබුනා.ඒ උනාට කෘෂිකර්මේ විතරක් ලකුණු දීල තිබුනේ නැහැ.ඉතින් මේ ගැන අහල සර් ඒ ටීචට පණිවිඩයක් යැව්වා අපේ කොල්ලෙක්ගේ අතේ.

මෙන්න හැරෙන පරක්කුවට අර කොල්ලත් එක්කම කෘෂිකර්මේ ටීචත් එනවා.එයා පන්තියට ඇවිත් මෙහෙම් කිව්වා (නම කෙටියෙන් අපි කෘ:ටී : කියලා දාමු ඈ..)

කෘ:ටී : සර් මේ පන්තියේ ලකුණු දෙන්න විදිහක් නැහැ 

අපේ සර් :ඇයි මිස් මොකක්ද ප්‍රශ්නේ ,පේපර් ටික බලන්න වෙලා මදි උනාද ?

කෘ:ටී :නැහැ ,නැහැ ,පේපර් බලලා ඉවරයි,ඒ උනාට මුන් ඔක්කොම කොපි ගහලා (ඇත්තම කියනවනම් අපි එහෙම කරා හොදේ )

අපේ සර් :ඇත්තද ?ඉතින් මිස් කොහොමද ඒක දැනගත්තේ ?

කෘ:ටී :මුන් ඔක්කොගෙම උත්තර එකවගේ 

අපේ සර් :ඉතින් හරිනේ මිස් ,කාටත් එකම ප්‍රශ්න පත්තරේ  දුන්නම ,උත්තරත් එකවගේ තමයි,මිස් තරහ ගන්නැතුව ලකුණු ටික මට එවන්න.

කෘ:ටී :අපොයි ඉතින් ළමයින්ටම හරියන සර් ...

කියලා ගස්සගෙන ගියාට,විනාඩි දහයක යන්න කලින් අපිට ලකුණු ලැබුනා.

--------------------------------------------------------------------------------------------
මේ කියන සිද්දිය වුනේ අපි උසස්පෙළ කරන කාලේ.ඒ කාලේ ඉතින් අපි ඉස්කෝලේ තාප්පෙන් එහෙම පැනලා එක එක ආතල් ගන්න යනවනේ.ඒක නිසා අපේ ඉස්කෝලේ තාප්ප ගොඩක් උසට හදලා තියෙනවා.වැලිකඩ හිරගෙදර තාප්පවලටත් වඩා උසද මන්දා.ඒ උනාට අපේ උන් පනින එක වලක්වන්නනම් ඒවා උස මදි උනා.අපේ යාලුවෙක් හිටියා ,මිනිහගේ එක නහරයක් අඩුයි.මිනිහට අපි කියන්නේ "මාමා" කියලා 

අපි මිනිහට දෙයක් බැහැ කියලා කිව්වොත් කොහොමහරි මිනිහා ඒක කරනවාමයි.අපි මෙහෙම ඉස්කෝලෙන් පනින තැන (තාප්පෙන් එහා පැත්තේ )දවසක් ලොකු මඩවලක් හැදිලා තිබුනා.අපේ සමහර උන් මේක දැකලා තිබුනට "මාමා" ඒක දැකලා තිබුනේ නැහැ.මඩවලට නොවැටි කොහොමටවත් එහා පැත්තට පනින්න බැහැ.කොහොමවුනත් අපේ උන් බොරුවට ඉස්කෝලෙන් පනින්න වගේ බෑග් ටිකත් අරගෙන තාප්පේ ගාවට ගියා.

අපේ එකෙක් "මාමා"ට අභියෝග කලා "ඔට්ටුයි මචන් අද උබට ඉස්සෙල්ලම පනින්න බැරුවට" කියල.මිනිහා ඒක ඇහුනු ගමන් "ඔන්න බලාපන් මං පනින හැටි"කියාලා දුවගෙන ඇවිත් තාප්පෙට අත් දෙක ගහලා එහා පැත්තට පැන්නා.

ඉතින් ඊට පස්සේ මිනිහා ඌරා වගේ ගෙදර ගියා.අපි බඩ පැලෙනකල් හිනාවෙලා පන්තියට ගියා.ඒ උනාට මිනිහා අපිත් එක්ක තරහ උනේ නැහැ.

තවත් රසවත් සිද්දි ගොඩක් තියෙනවා,ඉස්සරහට දාන්නම්කො.

Tuesday, January 8, 2013

අපිට සහනාධාර ඕනද ?


අපි දන්නා කියන කාලේ ඉදලම ලංකාවේ මිනිස්සුන්ට සහනාධාර ලැබුනානේ. ජනසවිය හරි සමුර්ධි හරි දැන් ඔය දෙන්න යනවයි කියන දිවිනැගුම හරි යනාදී විවිධ නම් වශයෙන්.දැන් ඉතින් ඔය දෙන සහනාධාරෙන් ජීවිතේ ගොඩනගාගත්ත කීදෙනෙක් ඉන්නවද ?මං හිතන්නේ එකෙක්වත් නැතුව ඇති.

මන්නම් හිතන්නේ අපි මේ නිකම් දෙන සහනාධාර නවත්වන්න ඕන.ඇත්තටම මෙහෙම සහනාධාර දීමෙන් වෙන්නේ ඒ මිනිස්සුන්ගේ පිටකොන්ද කඩලා දාන එක.දුප්පත් මිනිස්සු කියලා ඒ අය වෙන්කරන එක.මං දරන මතය තමයි නිකම් ඉදලා සතයක්වත් ගන්න මිනිහෙක් පුරුදුවෙන්න නරකයි.එහෙම උනාම ඒ මිනිහා හැමදාම නිකම් දෙන දේට විතරක් පුරුදු වෙලා කවදාවත් දියුණුවෙන්න බලන්නේ නැහැ.අනිත් එක ඔය දෙන සොච්චමෙන් සතියක්වත් කන්න පුලුවන්ද. බැහැනේ.

හැබැයි ඉතින් සමුර්ධි ණය මුදල් අරගෙන ව්‍යාපාර ගොඩනගාගත්ත අයනම් ඉන්නවා.ඒකනිසා මං හිතන්නේ වහාම මේ සහනාධාර නවත්තලා  මිනිස්සුන්ට තමන්ගේ මහන්සියෙන් දියුණුවෙන්න ඉඩ සලසන්න ඕන.ඒකට මුල්‍ය ආධාර කලාට කමක් නැහැ.

හැබැයි ඒකෙන් මං අදහස් කරන්නේ නැහැ.වයසක අහිංසක අම්මලා තාත්තලාට දෙන පින් පඩිය නැත්නම් සමුර්ධිය නවත්වන්න ඕන කියලා.මොකද ඒ මිනිස්සු යන්තම් හරි බෙහෙත් ටිකක්වත් ගන්නේ ඒකෙන් නිසා.හොදට අතපය හයිය තියෙන මිනිස්සුන්ට සහනාධාර නොදී දියුණුවෙන්න උදව් කලානම් හොදයි කියලා මං හිතනවා.සහනාධාර නවත්තුවට හදිසි අවස්තාවකදී විපතට පත්වෙන අයට සුභසාධක කටයුතු තවත් වැඩිදියුණු කලයුතුයි.

ඒත් ඉතින් මේ ඉන්න දේශපාලකයොත් එක්කනම් මේ වැඩේ කරන්න බැහැ.හැම චන්ද වෙදිකාවකම කියන්නේ අරක අච්චර මෙච්චර ගානකින් වැඩිකරනවා කියලනේ.විපක්ෂෙත් හැමදාම කියන්නේ මදි මදි මදි කියලනේ.මොකද ඉතින් ඒ අයගෙත් මඩිය තරවෙන්නේ මේවට අයවැයෙන් වෙන්වෙන ගාන වැඩිවෙන තරමටනෙ.

දියුණු වෙච්ච හැම රටක්ම වගේ මිනිස්සුන්ට දියුණුවෙන්න උදව්කලා මිසක් නිකම් සහනාධාර දීලා හිගාකන්න පුරුදු කලේ නැහැනේ.සමහරවිට ඔයාලගේ අදහස් මීටවඩා වෙනස්වෙන්න පුළුවන්.ඒක නිසා ඔයාලගේ අදහසුත් දක්වලා යන්න.

චෙක් ගනුදෙනු කරලා තියෙනවද ? බැංකුවයි ඔබයි 2


පලවෙනි පන්තියට ආපු නැති අය ඒ පාඩමත් බලල එන්නකෝ.

ඔන්න අද මං ඔයාලට කියලා දෙන්න යන්නේ චෙක්පත් මගින් ගනුදෙනු කරනකොට ඔයාලා අවධානය යොමුකරන්න ඕන සහ ඔයාලට වැදගත්වියහැකි කරුණු කිහිපයක් පිලිබදවයි .

චෙක්පත්‍රයක් කියන්නේ මුදල් වගේම ගනුදෙනු කරන්න පුළුවන් දෙයක් ,ඔයාලා ගොඩදෙනෙක් චෙක් ගැන ඉස්කෝලෙදි ඉගෙනගෙන ඇතිනේ .ඒක නිසා මං අද ඔයාලට චෙක් ගැන කියලා දෙන්නේ සාමාන්‍ය ජීවිතේදී බැංකුවක් එක්ක ගනුදෙනු කරනකොට ඔයාලට වැදගත්වන කරුණු විතරයි .අපි බලමු ඔයාලට චෙක් ලැබෙන්න පුළුවන් කොහොමද කියලා .

1.වැටුප් ගෙවීමේදී 

2.කොටස් ලාබාංශ ගෙවීමේදී 

3.පිටරට සිට ලැබෙන මුදල් ප්‍රේෂණයකින් 

4.යම් දෙයක් විකිණීමේදී 

5.ණය මුදලක් ලබාගැනීමකදී.

ඔන්න ඔය මං කිව්ව විධි එකකින් හෝ කිහිපයකින් මේ වෙනකොට ඔයාලගේ අතටත් චෙක් ලැබිලා ඇති .ඒත් ඔයාලා බොහෝ දුරට තමන්ගේ අතට ලැබුණු මේ චෙක් ඒක දිහා අවධානෙන් බලන්න නැතිව ඇති නේද ?සාමාන්‍යයෙන් චෙක් පත් දෙවර්ගයක් තියෙනවා .ඒ තමයි order cheques සහ bearer cheques.ඔයාලට මෙයින් වැඩිපුර ලැබෙන්න පුළුවන් bearer cheque නිසා අපි මෙයින් bearer cheques ගැන සලකලා බලමු .

bearer cheque එකක් හදුනාගන්න පුළුවන් ලෙහෙසිම විදිහ තමයි චෙක් එකේ ඔයාලගේ නම හරි මුදල් හරි කියලා තියෙන තීරුව අවසානයේ "හෝ රැගෙන එන්නාට - or bearer"කියලා ගහලා තියෙනවා,bearer cheque එකක තියෙන වාසි වගේම අවාසිත් තියෙනවා .වාසිය තමයි ඒ චෙක් ඔයාලගේ නමට ලියලා තිබුනත් ඒ චෙක් එක මාරු කරන්න ඔයාලම බැංකුවට යන්න ඕන නැතිවීම ,අවාසියත් ඉතින් ඒකම තමයි ,ඒ කියන්නේ මේ චෙක් එක ඔයාලගෙන් කෙනෙක් සොරකම් කලොත් හොරාටත් කිසි ප්‍රශ්නයක් නැතිව ඒ චෙක් එක මාරුකරගන්න පුළුවන්.

ඉතින් අපිට මේ අවාසිය මග හරවගන්න පුළුවන් විදි දෙකක් තියෙනවා .එකක් තමයි ඒ චෙක් එක ඔයාලගේ නමටනම් තියෙන්නේ චෙක් එක "ආදායකගේ ගිණුමට පමණි " නැත්නම් AC PAYEE ONLY කියලා රේඛනය කරවා ගැනීම .පල්ලෙහා තියෙන උදාහරණය බලන්නකෝ 



හරි දැන් ඔයාලට පේනවනේ මේ චෙක් එකේ AC PAYEE ONLY ගහලා තියෙනවා වගේම or bearer කියන එකත් කපලා දාලා තියෙනවා,දැන් මේ චෙක් එක ඒකෙ නම තියෙන කෙනාගේ ගිණුම හරහා හැර වෙන කිසිකෙනෙකුට මාරුකරන්න බැහැ.ඒක නිසා මින් පස්සේ ඔයාලාට ලැබෙන වැදගත් ගෙවීමක් තියෙනවානම් චෙක් එකක් ලැබෙනකොට ඒක දෙන අයගෙන් මේ විදිහට ඉල්ලගන්න.

ඒ වගේම ඔයාලට චෙක් එක "ගනුදෙනු කල නොහැක " නැත්නම් NOT NEGOTIABLE කියලා රේඛනය කරන්න පුළුවන්.ඔන්න තියෙනවා එහෙම චෙක් එකක් 


මේක දැක්කම කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ චෙක් එක ගනුදෙනු සදහා වලංගු නැහැ කියලා .මොකද ඒකෙම ගහලා තියෙනවනේ "ගනුදෙනු කල නොහැක "කියලා .එහෙම ගහලා තිබුනට මේකෙන් ගනුදෙනු කරන්න පුළුවන්.ඒකෙන් වෙන්නේ මේකයි.අපි හිතමු මේ චෙක් එක ඔයාලගෙන් කෙනෙක් හොරකම් කරගෙන ගිහින් මාරුකරගත්තා කියලා.රේඛනය කරලා තියෙන නිසා මේක අනිවාර්යෙන්ම ගිණුමක් හරහා මාරුකරගන්න ඕන.එතකොට ලෙහෙසියෙන්ම හොරා හොයාගන්න පුළුවන්.වඩාත් වැදගත් දේ තමයි නීතිය ඉදිරියේ ඔයාගෙන් හොරකම් කළ කෙනා හරි වෙනත් කෙනෙක් හරි මේ චෙක් එක මාරුකරගෙන ඇත්නම් ඔයාලට එයාලගෙන් වන්දි ගන්න පුළුවන්.

ඒ කියන්නේ අපි "ගනුදෙනු කල නොහැක" කියලා රේඛනය කරලා තිබුණු නිසා අපෙන් හොරකම්කල කෙනාගෙන් පස්සේ හොරකම ගැන දැන හෝ නොදැන කාගේ අතට ඒ චෙක් එක ගියත් එයාලට ඒ චෙක් එකට හොද හිමිකමක් ලැබෙන්නේ නැහැ.ඒ වගේම ඒක නිසා ඔයාලගේ අතට ලැබෙන ඉහත ආකාරයේ චෙක් පතක් සොරකම් නොකළ එකක්ද කියලත් හොදින් හොයල බලල ගන්න.

මං මුලින්ම කිව්වනේ චෙක් කියන්නෙත් ගනුදෙනු කරන්න පුළුවන් දෙයක් කියලා.ඉතින් ඔයාලට ලැබෙන චෙක් එකක් බැංකුවකට නොගිහින් වෙනත් කෙනෙකුට දීලා ඒකට බඩු හරි මුදල් හරි ලබාගන්න ඔයාලට පුළුවන්.එහෙම දෙනකොට චෙක් එක ඔයාලගේ නමටනම් තියෙන්නේ  චෙක් එක පිටිපස්සේ පිටසන් කරලාදෙන්න.සිංහලෙන් නම් පැහැදිලි අත් අකුරෙනුත් ඉංග්‍රීසියෙන් නම් වැල් අකුරෙනුත් පිටසන් කලයුතුයි.මං පිටසන ගැන ඉස්සරහ පංතියකදී කියලා දෙන්නම්කො.

ඒ වගේම තමයි පිටරටින් ඔයාලාට මුදල් වෙනුවට චෙක් එකක් එවනවනම් ඒ චෙක් එක අපේ රටේ නියෝජිත බැංකුවක් වන බැංකුවකින් ගෙන්වාගන්න.එතකොට අනවශ්‍ය ප්‍රමාදවීම් නැතුව චෙක් එක මාරුකරගන්න පුළුවන්.ඔන්න එහෙනම් චෙක් ගැන පහත කරුණු ටිකත් මතක තියාගන්න.

1.රේඛනය කරලා නැති ඕනෑම චෙක් එකක් මුදල් කවුන්ටරය හරහා මාරුකරගන්න පුළුවන් .රේඛනය කරලා තියෙනවනම් අනිවාර්යෙන්ම ගිණුමක් හරහා මාරුකරගත යුතුයි.

2.සාමාන්‍යයෙන් මුදල් චෙක්පත් ඉතිරිකිරීමේ ගිණුම්වලට භාරගන්නේ නැහැ.ඒකනිසා ඔයාල චෙක් එක දාන්නේ ඉතිරිකිරීමේ ගිනුමටනම් ඔබේ නමට චෙක් එක ඉල්ලාගන්න.මුදල් චෙක් සාමාන්‍යයෙන් භාරගන්නේ ජංගම ගිණුම්වලට පමණයි.

3.සාමාන්‍යයෙන් චෙක්පතක වලංගු කාලය විදිහට සලකන්නේ චෙක්පතේ සදහන් දිනයෙන් මාස 6 ක් යනතුරු පමණයි.

4.විශේෂිත කාලයකට පමණක් වලංගු බව සීමාකර ඇති චෙක්පත් ඒ කාලය තුලදී මාරුකරගන්න.සමහර චෙක්පත්වල දින 30 ,දින 45 ,දින 60 වශයෙන් වලංගු කාලය සදහන් කරලා තියෙනවා.

5.චෙක්පතක් අගරු වුනොත් ඒ කියන්නේ return වුනොත් ඉස්සරවගේ දැන් ඔයාලට චෙක් එක නැවත ලැබෙන්නේ නැහැ,දැන් ඔයාලට ලැබෙන්නේ CRN [cheque return notice] නම් චෙක්පතේ ජායාපිටපතක් සදහන් ලියවිල්ලක්.ඒක පරිස්සම් කරගන්න.ඒක නීතිය ඉදිරියේ චෙක් එක වගේම පිලිගන්නවා.

6.ඔබට ගනුදෙනුවලදී ලැබෙන චෙක් ඒ ලබාදෙන කෙනාට හොද අයිතියක් ඇති චෙක් එකක්ද කියලා හොයලා බලලා ගන්න.නැත්නම් නීතිය ඉදිරියේ වෙනකෙනෙක් වෙනුවෙන් ඔයාලට වන්දි ගෙවන්න වෙන්න පුළුවන්.

7.දැන් ලංකාවේ සාමාන්‍යයෙන් ඕනෑම චෙක්පතක් දින දෙකක් ඇතුලත මාරුකරගන්න පුළුවන්,ඒක නිසා ඔයාලට ලැබෙන චෙක්පත් බ්‍රහස්පතින්දා උදේ වරුවෙවත් තැන්පත් කරන්න.සිකුරාදා තැන්පත් කලොත් සල්ලි ලැබෙන කොට අගහරුවාදා වෙන්නත් පුළුවන්.

8.චෙක් එක නවන්න පොඩිකරන්න එපා.ඒකත් චෙක් එක return වෙන්න හේතුවෙන්න පුළුවන්.

එහෙනම් අදට පන්තිය ඉවරයි.ඊලග පන්තියේදී හමුවෙමු හොදේ.

පින්තුර ගත්තේ ගූගල් ලොක්කාගෙන් 

Sunday, January 6, 2013

ඉතුරුම් ගිණුමක් විවෘත කරමු - බැංකුවයි ඔබයි පාඩම් අංක 1

ඔන්න යාලුවනේ අද මං හිතුවා තවත් අලුත් වැඩකට අතගහන්න ,මගේ රාජකාරි ක්ෂේත්‍රය වන බැංකු ක්ෂේත්‍රයෙන් ඔයගොල්ලන්ගේ එදිනෙදා ජීවිතයට ලබාගන්න පුළුවන් පොඩි පොඩි කරුණු ටිකක් ලිපි මාලාවක් වශයෙන් ගෙන එන්න මං බලාපොරොත්තුවෙනවා .

එහෙනම් අද හා හා පුරා මං කියලා දෙන්න යන්නේ ඔයගොල්ලන්ට ඉතිරිකිරීමේ ගිණුමක් තිබිය යුත්තේ ඇයිදැයි කියලත් ගිණුමක් ආරම්භකිරීම සහ පවත්වාගෙන යන හැටි ගැනත් කියලා දෙන්නයි .

අපේ රටේ මේ වෙනකොට වාණිජ බැංකු 25 ක් විතරත් ඉතිරිකිරීමේ බැංකු සහ සංවර්දන බැංකු කිහිපයකුත් ක්‍රියාත්මක වෙනවා .මේ හැම බැංකුවකම වගේ විවිධාකාර ඉතිරිකිරීමේ ගිණුම් පවතිනවා .ඉස්සර සාමාන්යෙන් කෙනෙක් ඉතිරි කිරීමේ ගිණුමක් ආරම්භ  කලේ ඉතිරිකිරීමේ අරමුණින් වුවත් මේ වෙනකොට ඒක වඩාත් පුළුල් අවශ්‍යතා කිපියක්‌ සදහා යොදාගන්නවා ,අපි බලමු ඒ මොනවද කියලා 

1.ඉතිරිකිරීමේ අරමුණ 

2.වැටුප බැරකරගැනීමට

3.ණය වාරික ගෙවීමට

4.පිටරටින් හෝ වෙනත් කෙනෙකුගෙන් මුදල් ගෙන්වා ගැනීමට 

5.ජංගම ගිණුමේ වැඩිපුර ඇති මුදල් වලට පොලියක් ලබාගැනීමට

ඉතින් ඔන්න ඔය අවශ්‍යතා එකක් හෝ කිහිපයක් නිසා ඔයාලටත් ඉතිරිකිරීමේ ගිණුමක් අවශ්‍යවෙනවා .දැන් අපි බලමු ඉතිරිකිරීමේ ගිණුමක් විවෘත කරන්න මොනවද අවශ්‍යවෙන දේවල් කියලා .අද පවතින නීතිය අනුව ඕනෑම ශ්‍රීලාංකික පුරවැසියකුට ඉතිරිකිරීමේ ගිණුමක් ආරම්බ කරන්න පුළුවන් එයා අධිකරණය මගින් බුන්වත් පුද්ගලයෙකු (bankrupted person) ලෙස නම්කරලා නැත්නම් .ඔයගොල්ලා බැංකුවකට  ගිහින් පහත දේවල් බැංකුව සෑහීමට පත්වෙන ලෙස තහවුරු කලයුතුයි.

1.ඔබේ අනන්‍යතාවය

2.ඔබේ පදිංචිය

3.ආදායම් මාර්ග සහ සාමාන්‍ය වාර්ෂික ආදායම 

4.ගිණුම විවෘත කිරීමේ අවශ්‍යතාවය 

කරදරයක් වගේ දැනුනත් ඔය සදහන් කරලා තියෙන දේවල් ඔබ අනිවාර්යෙන්ම බැංකුවට ලබාදියයුතුයි ,ඇත්තටම ඒක නෛතික අවශ්‍යතාවයක් ,මහ බැංකුව මගින් නියම කරලා තියෙන .පහුගිය කාලේ ත්‍රස්තවාදීන්ට මුදල් ගලා ආවේ ඒ කාලේ බැංකු ඒ තරම් ගනුදෙනුකරු හදුනා ගැනීම (know your customer)ට අවදානයක් යොමු නොකළ නිසා 

හරි දැන් ඉහත අවශ්‍යතාවයන් සම්පූර්ණ කලාම ඔයගොල්ලන්ට පුළුවන් ඉතිරිකිරීමේ ගිණුමක් විවුර්ත කරන්න .දැන් ඔයගොල්ලා තෝරාගන්න ඕන ඔයගොල්ලන්ට ගැලපෙන බැංකු ගිණුම කුමක්ද කියලා .හැම බැංකුවකම වගේ විවිධාකාර බැංකු ගිණුම් තියෙනවා ,විවිධ වයස් වලට ගැලපෙන විවිධ රැකියාවන්ට ගැලපෙන විදිහට .

මුලින්ම ඔයාලා මං ඉහත සදහන් කල අවශ්‍යතාවයන්ගෙන් තමන්ගේ අවශ්‍යතාවය තෝරාගන්න .එහි 1 සහ 5 අවශයතාවයන්නම් ඔයගොල්ලන්ට තියෙන්නේ ඔයගොල්ල තෝරාගන්න ඉතිරිකිරීමේ ගිණුමට ඉහල පොලියක් ගෙවන ගිණුමක් තෝරාගන්න .ඒ ගිණුමට ATM කාඩ් එකක් නොගත්තොත් මං හිතනවා ඔය ගොල්ලන්ගේ අරමුණ වන ඉතිරිකිරීමේ අවශ්‍යතාවය ඉටුකරගන්න පුළුවන් කියලා .මොකද කොච්චර වුනත් කාඩ් එකක් අතේ තියෙනකොට සල්ලි නොගෙන ඉන්න එක අමාරුයි .

මං මෙතන සදහන් කරලා තියෙන ජංගම ගිණුමේ වැඩිපුර ඇති මුදල් ඉතිරිකිරීමේ ගිණුමට බැරකරගැනීම ගැන ගොඩක් දෙනෙක් දන්නේ නැහැ .මේක කියවන ඔබටත් ජංගම ගිණුමක් ඇත්නම් එහි වැඩිපුර ඇති මුදල් ස්වයන්ක්‍රීයව පරිගණකය මගින් ඉතිරිකිරීමේ ගිණුමට බැරකරලා යම්කිසි පොලියක් ලබාගන්න පුළුවන් ,හැබැයි ඉතින් එහෙම වැඩකට භාවිතා කරන ඉත්රිකිරීමේ ගිණුම දිනපතා පොලිය ගණනයවන ගිණුමක් වියයුතු බවත් මතක තියාගන්න .

ඔයගොල්ලන්ගේ අවශ්යතාවය මං ඉහත සදහන් කල අවශ්‍යතාවයන්ගෙන් 2 හෝ 4 නම් ඔයගොල්ලා අරඹන ගිණුමේ පොලිය එතරම් වැදගත්වෙන්නේ නැහැ ,යම්කිසි පොලියක් ලබාගනීමට අවශ්‍යනම් දිනපතා පොලිය ගණනයවන ගිණුමක් තෝරාගන්න .මේ ගිණුම විවෘත කරන දිනයේම ATM කාඩ් එකක් ලබාගන්න.ඔයගොල්ල නිතර බැංකුවට යැවෙන්නේ නැත්නම් පාස්පොත වෙනුවට බැංකු ප්‍රකාශන (bank statement) දෙන ගිණුමක් තෝරාගන්න .එතකොට ඔයගොල්ලන්ට ගෙදර ඉදන්ම ගිණුමේ ගනුදෙනු පරීක්ශාකරගන්න පුළුවන්.

ඔයගොල්ල ගිණුමක් ආරම්භ කරන්නේ ණයවාරික ගෙවීමට විතරක්නම් තෝරාගන්න ගිණුමට අවම ශේෂයකින් පවත්වාගෙන යාහැකි ගිණුමක් තෝරාගන්න .

ඊලගට වැදගත් දෙය තමයි බැංකු ගාස්තු .ඔයාලගේ ගිණුමට සලසන යම්යම් සේවාවන් වෙනුවෙන් බැංකුව ගාස්තු අයකරනවා ,ගිණුම් ප්‍රකාශන ගාස්තු ,ATM කාඩ් ගනුදෙනු සදහා ,ස්ථාවර නියෝග (Standing Orders) ගාස්තු ,මොබයිල් බෑන්කින් ගාස්තු ,ඊ බෑන්කින් ගාස්තු ,ආදී වශයෙන්.හොදම දේ තමයි තමන් ගාස්තුවක් අයකරන සේවාවක් ලබාගන්නවනම් ලබාගන්න විටම එහි ගාස්තු ගැන බැංකුවෙන් විමසා දැනුවත්වීම ,ඒක ඔයාලට බැංකුවත් එක්ක හොදහිත පවත්වාගෙන යාමට උදව්වේවි ,සමහර ගිණුම් වල අවම ශේෂයටැ වඩා පහල ගියොත් එකටත් ගාස්තුවක් අයකරනවා ,ඒ ගැනත් සැලකිලිමත්වෙන්න එහෙනම් අදට ඇතිනේද ?මං පොඩි හින්ට් එකකුත් දෙන්නද .

ඔයගොල්ල ඔයාලගේ දරුවන්ට අනාගතය වෙනුවෙන් ඉතිරිකිරීමේ ගිණුමක් විවුර්තකරනවානම් වැඩිපුර මුදලක් එකවර බැර කරන්න පුළුවන් වෙලාවට ඉතිරිකිරීමේ ගිණුමට දාන්නේ නැතුව ඒකෙන් ස්ථාවර ගිණුමක් ආරම්භ කරන්න .මොකද අනාගතය වෙනුවෙන් වැඩිපුර වැදගත්වෙන්නේ පොලිය නිසා ,ලංකාවේ නීතිය අනුව ළමා ගිණුම් වලින් ළමයා වැඩිවියට පත්වෙනතුරු සල්ලි ආපසු ගන්න බැහැ .ඒක නිසා ඉතිරිකිරීමේ ගිණුමේ මුදල් අරගෙන පස්සේ ස්ථාවර ගිණුම් ආරම්බ කරන්න බැහැ .ඒක නිසා තෑගී ගැනම වදනොවී වැඩිපුර මුදලක් තියෙන වෙලාවට ස්ථාවර ගිණුමක් ආරම්බ කරන්න .සාමන්යෙන් රුපියල් 10000 වැඩි ඕනෑම ගණනකින් ස්ථාවර ගිණුමක් ආරම්භකරන්න පුළුවන් .
හැබැයි ඉතින් මතකනේ වැඩි පොලිය පස්සේ දුවලා අමාරුවේ වැටෙන්න එපා .




linkwithin

Related Posts Plugin for WordPress, Blogger...