Thursday, January 17, 2013

පිටරට ඉඳන් ගෙදරට සල්ලි එවන්නේ කොහොමද? බැංකුවයි ඔබයි 3

ඔන්න යාලුවනේ අපේ පාඩම් මාලාවේ තුන්වෙනි පන්තියත් අද පැවැත්වෙනවා.පාඩම පටන්ගන්න කලින් කියන්න ඕන මං මේ පාඩම් වලින් අරමුණු කරගන්න දේ.ඇත්තටම මගේ අරමුණ තමයි බැංකු කටයුතු ඔයාලගේ එදිනෙදා ජීවිතයට සම්බන්ධ කරගන්න පුළුවන් විධි සහ බැංකුවක් මගින් ඔයාලට ලබාගන්න පුළුවන් දේ ඉතා සරලව පැහැදිලි කරලා දීම.ආ...කියන්න අමතක වුනානේ අද ඉදලා හසරැල්ලක් මූණු පොතෙත් ඉන්නවා.දැන් අපි පාඩම් දෙකක්ම කලානේ,ඒවා බැලුවේ නැති අය පල්ලෙහා තියෙන ලින්කුවලින් ගිහින් ඒවා බලන්නකෝ.


ඉතුරුම් ගිණුමක් විවෘත කරමු - බැංකුවයි ඔබයි පාඩම් අංක 1



ඔන්න එහෙනම් අද පාඩමෙන් මං කියලා දෙන්නේ පිටරට ගියපු සහ පිටරට යන්න බලාපොරොත්තුවෙන අයට ගෙදරට සල්ලි එවන්නේ කොහොමද කියලා කියලා දෙන්නයි.අපේ බ්ලොග් අවකාශේ යාලුමිත්‍රයෝ ගොඩකුත් පිටරට වාසය කරනවානේ,ඔන්න ඕගොල්ලන්ටත් මේ පොස්ට් එක වැදගත්වේවි කියලා මං හිතනවා.

අපේ රටේ දැන් ප්‍රධාන විදේශ විනිමය ලැබෙන ක්‍රමය තමයි විදේශවල සේවය කරන අපේ රටේ පුරවැසියෝ විසින් කරන මුදල් ප්‍රේෂණ (remmitances).ඉතින් ඕගොල්ලා රට ගිහින් දුක්විදලා හම්බකරන සල්ලිය පරිස්සමට ඉක්මනට ගෙදර අයගේ අතට එවන විදිහක් ගැන ඔයාල ගොඩක් කරදරවෙනවා ඇතිනේ,ඉතින් එහෙම සල්ලි එවන්න පුළුවන් ක්‍රම කිහිපයක් තියෙනවා.

1.Western Union / Money Gram වැනි මුදල් එවන ක්‍රම

2.වාණිජ බැංකු මගින් බැංකු ගිණුම් හරහා 

3.චෙක්පත් සහ බැංකු අණකර මගින්

4.බැංකු නොවන නියෝජිතයන් මගින්.

මුලින්ම කියන්න තියෙන්නේ ඔය 4 වෙනි ක්‍රමේනම් නීත්‍යානුකූල නැහැ.සල්ලි ගෙදරට නොලැබීමේ අවදානමත්  උපරිමයි,ඒක නිසා ඔයාල දුක් මහන්සිවෙලා හම්බකරන සල්ලි ටික ඒ ක්‍රමේටනම් එවන්න එපා කියලා තමයි මට කියන්න තියෙන්නේ.කොහොමුනත් අපි මුල් ක්‍රම ටික සලකලා බලමුකෝ.මුලින්ම සල්ලි එවන්න තියෙන ක්‍රමය තමයි වෙස්ටෙර්න් යුනියන් සහ මනී ග්රෑම් වැනි ක්‍රම.මේ වෙනකොට ගොඩක් අය ගෙදරට සල්ලි එවන්න මේ ක්‍රම භාවිතා කරනවා.


මේ මුදල් එවීමේ ක්‍රම ඉතා ඉක්මන් වීම සහ රටේ බොහෝ ස්ථානවලින් ලබාගත හැකිවීම තමයි මේ ක්‍රම ජනප්‍රිය වීමට හේතුව.හැබැයි මෙහෙම මුදල් එවනකොට ඒකට අයකරන ගාස්තුව නැත්නම් කොමිස් එක ටිකක් ඉහලයි.ඒක නිසා ඔයාල පොඩි මුදල් ප්‍රමාණයක් ගෙදරට එවනවනං මේ ක්‍රමේ භාවිතාකරන එක ඔයාලට අවාසිදායකයි.මොකද උදාහරණෙකට කියනවනම් සමහරවෙලාවට ඔයාලට ඩොලර් 10 ක් එවන්නයි ඩොලර් 100 ක් එවන්නයි වැයවෙන්නේ එකම ගාස්තුවක් වගේ නිසා.

ඒ වගේම මේ ක්‍රම භාවිතාකරනවානම් ඔයාලා අපේ රටේ සල්ලි එවන පුද්ගලයාගේ නම ලබාදුන්නට පස්සේ ඔයාලට දෙන රිසිට් එකේ ඒ නම හරියට සදහන් වෙනවද කියලත් බලන්න.මොකද අපේ රටේ නම් සමහර රටවල හරියට සදහන් කරන්න ඔවුන් අපොහොසත් වීම.මේ නිසා ලබන්නාගේ නම හරියට කැපිටල් ඉංග්‍රීසි අකුරෙන් ලියාගෙන යන්න.එතකොට සල්ලි ගන්න කෙනා අනවශ්‍ය රස්තියාදුවීම්වලින් වළක්වාගන්න පුළුවන්.

ඊලග ක්‍රමේ තමයි.වාණිජ බැංකුවක් හරහා ගිණුමකට මුදල් එවීම.දැනට ලංකාවේ ක්‍රියාත්මකවෙන හැම වාණිජ බැංකුවක් වගේම මේ මුදල් ප්‍රේෂණ කටයුතු කරනවා.මෙහෙම මුදල් එවනකොට ඔයාල මුලින්ම තෝරාගන්න ඕන මොන බැංකුවේද ගිණුම අරින්නේ කියලා.මොකද හැම බැංකුවේම හැම රටේම ඒජන්ත බැංකු නැති නිසා.ඒක නිසා ඔයගොල්ල යන රටේ ඒජන්ත බැංකුවක් තියෙන මේ රටේ බැංකුවක් තෝරාගෙන ගිණුමක් අරින්න.එතකොට මුදල් ඉක්මනට වගේම අඩු ගාස්තුවක් යටතේත් එවන්න පුළුවන්.දැන් ඔය ගොඩ දෙනෙක් කරන චෝදනාවක්නේ ගිණුම්වලට මුදල් ලැබෙන්න ප්‍රමාදවෙනවා කියලා.ඒකට හේතුව තමයි බැංකු කිහිපයක් හරහා ගනුදෙනු සිදුවීමට විශාල කාලයක් වැයවීම.

ඔයාලා රට යනවනම් ඒ යන්න කලින්ම සල්ලි ගෙදරට එවන විදිය සැලසුම් කරලා යන්න.නැත්නම් ලොකු අමාරුවල පවා වැටෙන්න පුළුවන්.බැංකුවක ගිණුමක් අරිනකොටම ඔයාල යන රටේ ඒ බැංකුවේ නියෝජිත බැංකු ගැන විස්තර දැනගන්න.ඔයාලගේ හරි සල්ලි එවන්නේ වෙනත් කෙනෙකුටනම් ඒ බැංකු පොතේ ෆොටෝ කොපියක් අරගෙන යන්න.අනිත් වැදගත් දේ තමයි අපේ රටේ බැංකුවේ swift code එක.ලෝකේ හැම රටකම බැංකුවලට ඒ බැංකුවට ආවේනික swift code එකක් තියෙනවා.බැංකුවක් තවත් බැංකුවක් හදුනාගන්නේ මේ swift code මගින්.ඒක නිසා ඒ swift code එකත බැංකුවෙන් විමසලා දැනගෙනම රට යන්න.ඒ වගේම internet banking පහසුකම් සපයනවානම් ඒ පහසුකමුත් ලබාගන්න.එතකොට ඒ රටේ ඉදගෙන උනත් ගිණුමේ ගනුදෙනු පරීක්ෂාකරන්න පුළුවන්නේ.රට ඉදලා සල්ලි එවනවනම් සුදුසුම ක්‍රමය විදිහට මන් දකින්නේ මේ ක්‍රමය.

අනිත් ක්‍රමේනම් දැන් එච්චර භාවිතා නොවුනත් ඉස්සර සැහෙන්න භාවිත වුනා.ඒ කියන්නේ සල්ලි බැංකු ඇනවුමක් නැත්නම් චෙක් එකක් මගින් එවීම.මේක ටිකක් වියදම් අඩු ක්‍රමයක්.හැබැයි සැහෙන්න පරක්කුයි.ඒවගේම මේ ක්‍රමේට සල්ලි එවනවනම් මේ රටේ නියෝජිත බැංකු තියෙන බැංකුවක් හරහා එවන්න,නැත්නම් චෙක් එක මාරුවෙලා සල්ලි ලැබෙන්න සෑහෙන කාලයක් ගතවෙන්න පුළුවන්.ඒ වගේම අපේ රටේ සල්ලි ලබන කෙනාගේ නම සහ ගිණුම අංකය නිවැරදිව ලියාගෙන යන්න.නැත්නම් සමහරවිට ඒ චෙක් එක මාරු කරන්න බැරිවෙන්නත් පුළුවන්.ඒ වගේම ඔයාලට පුලුවන්නම් ගෙදරට සල්ලි එවන ගමන් ඔයාලගේ නමින් NRFC එකවුන්ට් එකක් ඇරලා එකෙත් කීයක්හරි ඉතුරු කරන්න.ඒ ගැන වෙනම ඉදිරි පාඩමකින් කියලා දෙන්නම්කො.

ඔන්න එහෙනම් අදට පාඩම ඉවරයි.මට ඔයාලට කියන්න තියෙන වැදගත්ම දේ තමයි.ඔයාල රට යනවනම් ගෙදරට මුදල් එවන ක්‍රමේ මෙහෙදීම ප්ලෑන් කරලා යන්න.ඒක අතිශය වැදගත්.

4 comments:

  1. අපි ඉතිං මේහේ සල්ලි ටික වෙන රටවලට පුදල එන එවුන්නේ. රැකියාවට යන අයට නම් හරිම වටිනවා ලිපිය.

    ReplyDelete
  2. වටිනා විස්තර ටිකක් ස්තුතියි

    ReplyDelete
  3. වැදගත් විස්තරයක්.

    ඒත් ඉතිං රට යන්න එපැයි. :D

    ReplyDelete
  4. පිටරට ගොඩ දෙනෙක් පොස්ට් එක බලලා තිබ්බා.උදව්වක් වුනානම් මට සතුටුයි

    ReplyDelete

මොකෝ කියන්නේ ,ආපු එකේ මොනවහරි කියලම යමුනේද ?

linkwithin

Related Posts Plugin for WordPress, Blogger...