Tuesday, February 12, 2013

මහත්තයා ගෙවන්නේ Credit Card එකෙන්ද ??....

පින්තුරය ගත්තේ -http://finance.yahoo.com

ටික දවසකින් මුකුත් ලියන්නවත් බ්ලොග් කියවන්නවත් වුනේ නැහැ.ඔන්න ඉතින් අද පොස්ට් එකක් දාන්න ඕන කියලා හිතුනා.අපේ බැංකුවයි ඔබයි පන්තියත් එහෙම්ම නැවතුනානේ.අද මං කියලා දෙන්නේ  Credit Card ගැන.ඔන්න සමහර අයනම් දැන්ම පොස්ට් එක කියවන එක නවත්තලා දාවී නේද?හෝව් ..හෝව් .. පොඩ්ඩක් ඉන්න මං කියන්න යන්නේ  Credit Card පාවිච්චි කරන හැටිනම් නෙමෙයි.මං කියන්න යන්නේ කොහොමද  Credit Card ආරම්භ වුනේ සහ පරිණාමනය වුනේ කියලයි.

 Credit Card  නැත්නම් ණය කාඩ්පත් ඇතිවීමට හේතුවුනේ මීට අවුරුදු 95 කට විතර කලින් නිව්යෝර්ක් නගරයේදී වුනු එක්තරා සිද්දියක්.ඒ කාලේ ඇමෙරිකාවේ හිටපු ධනවත් ව්‍යාපාරිකයෙකු වුනු ෆ්රෑන්ක් මක්නමාරා මහත්තයා තමන්ගේ යාලු මිත්තරයෝ කිහිප දෙනෙක්ට නිව්යෝර්ක් වල අවන්හලක පොඩි පාර්ටි එකක් දීලා තියෙනවා.පාර්ටිය ඉවරවෙලා බිල ගෙවන්න යද්දී තමයි මෑන්ට දෙලෝ රත්වෙලා තියෙන්නේ .මොකොද මෑන් පර්ස් එක ගෙදර දාලා ඇවිත්.මේ වෙලාවේ යාන්තම් අවන්හලේ පාලකයෝත් එක්ක කතාකරලා පොරොන්දු පත්‍රයකට අත්සන් කරලා මැක්නමාරා ගෙදර ගිහින් පහුවදා ඇවිත් බිල ගෙවලා තියෙනවා.[අපිට වුනානම් තාමත් පිගන් හෝදනවා..]ඉතින් මේ සංකල්පය උඩ Dinners Club Card නම් කාඩ්පත් ඇතිවෙලා තියෙනවා.[ Credit Card මුලින්ම ඕන වුනත් දැන් ඕනවෙන්නෙත් එකම දේවල්වලට නේද??]

මේ සිද්දියට කලිනුත් එක එක  Credit Card භාවිතාවෙලා තියෙනවා.ඒත් ඒවා භාවිතා වෙලා තියෙන්නේ එක තැනකින් බඩු ගන්න පුළුවන් විදිහට විතරයි,අර දැන් තියෙන loyalty card වගේ.[හැබැයි  loyalty card වලින් වෙන්නේ වෙනත් දෙයක්,පටලොගන්නේපා ]පස්සෙන් පහු මේ සංකල්පය දියුණුවෙලා 1946 දී bush national bank ද 1951 දී  franklin national bank ද 1958 දී  bank of america ද මුලින්ම ණය කාඩ්පත් හදුන්වලා දීල තියෙනවා.පස්සේ 70 දශකයේදී bank of america තවත් මුල්‍ය ආයතන කිහිපයක් සමග එක්කහුවෙලා visa international සහ master card international නමින් වෙන වෙනම ව්‍යාපාර දෙකක් ආරම්භ කරලා තියෙනවා.ඒ ව්‍යාපාර තමයි අදටත් ලෝකේ වැඩිම ණය කාඩ්පත් නිකුත් කරන ආයතන දෙක.

ඔයාල Credit Card එකක මුලික අංග දන්නවාද?ඔයාලගේ ලග තියෙන Credit Card එකත අතට අරගෙන මේ වගේද බලන්නකෝ,මේකේ තියෙන chip එකනම් සමහරවිට ඔයාලගේ එකේ නැතුව ඇති.



අපේ සිරි ලංකාවේ මුලින්ම Credit Card හදුන්වලා දීල තියෙන්නේ 1979 වසරේදී golden key ආයතනයයි.Credit Card කිව්වට මේක දීලා තියෙන්නේ මුදල් ඇපයක්‌ තියාගෙන [අර පහුගිය කාලේ එක බැංකුවක් හැම කෙනාටම Credit Card දුන්නා වගේ ],බැංකු අතරින් ලංකා බැංකුව 1989 දී සහ මහජන බැංකුව 1990 දී ණය කාඩ්පත් හදුන්වලා දීලා තියෙනවා.අද වෙනකොට ලංකාවේ හැම වාණිජ බැංකුවක් වගේ Credit Card නිකුත් කරනවා.

මේ වෙනකොට visa,master,amex භාවිතාවන ප්‍රධාන කාඩ්පත් වර්ග වන අතර ඒවායේ ගනුදෙනු ප්‍රමාණය මත classic,gold, platinum වශයෙන් වර්ග කරලා තියෙනවා.Credit Card වල තියෙන පහසුකම්ම තියෙන debit card නුත් දැන් තියෙනවා.visa electron ,mestro කියන්නේ ඒ වගේ කාඩ්පත් කිහිපයක්.debit card වල විශේෂත්වය වෙන්නේ ඒවායේදී බඩු මිලදීගන්නේ ගිනුමක තියෙන බැර ශේෂයට පමණක් නිසා පොලියක් ගෙවන්න ඕන නැහැ.

Credit Card පාවිච්චි කරන හැටිනම් මං කියලා දෙන්න ඕනා නැහැනේ.මට මතක විදිහට අපේ සුදීක අය්යත් ඔය ගැන පොස්ටුවක් දාල තිබුනා.කොහොමවුනත් මටනම් කියන්න තියෙන්නේ තමන්ට අත්යාවශ්‍යනම් විතරක් Credit Card ගන්න කියලයි.මොකද මේ වෙනකොට ලංකාවේ ගොඩ දෙනෙක් දෙපා පාමුලට ගෙනල්ලා දීපු Credit Card අරගෙන එරිලා crib එකෙත් [ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශය ] report වෙලා බැංකුවකින් ණයක්වත් ගන්න බැරි විදිහට එරිලා ඉන්න නිසා.ඒ වගේම පහුගිය කාලේ ලංකාවේ Credit Card වංචා ගොඩක් වාර්තාවුනා.ඉතින් ඒක නිසා තමන්ගේ Credit Card පාවිච්චියේදී විශේෂයෙන් online payment කරද්දී ප්‍රවේසම් වෙන්න.ලංකාවේ වෙළඳසල්වලදී  ගෙවීම් කිරීමේදී වැඩකරන සේවකයින් රිසිට්පතේ සහ Credit Card පතේ පිටුපස අත්සන සසදා නොබලීමත් මේ වංචාවලට හේතුවෙනවා.එහෙනම් අදට ඇතිනේද ?මේ ටික කොටන්නත් වෙලාව හොයාගත්තේ අමාරුවෙන්.

ඊලගට හසරැල්ලක් බ්ලොග් එකේ 50 වෙනි පොස්ට් එකෙන් හමුවෙමු.

13 comments:

  1. නියමයි... ක්‍රෙඩිට් කාර්ඩ් ගැන නොදන්න තොරතුරු ටිකක් දැන ගත්තා,, එහෙනම් පනස් වෙනී පොස්ටුව ඉක්මනට දාන්ට ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා,, ජය වේ!

    ReplyDelete
  2. ක්‍රෙඩිට් කාඩ් - මට නම් කියන්න තියෙන්නේ දැන ගියොත් කතර ගම නොදැන ගියොත් අතර මග කියලා තමා.... මොනවා උනත් බැන්කු කරුවෙක් විදිහට කියනවා නෙමේ... ක්‍රෙඩිට් කාඩ් එක මට නම් ගොඩාක් වටිනවා ගොඩක් තැන වලදී ගොඩක්.....

    ReplyDelete
  3. කාලයකින් හමුවුනේ. අර්ධ ශතකයකටත් ලඟා වුනා නේද?
    ඔන් ලයින් ගෙවීම් ක්‍රමයට ගෙවීම් කරන් ගිහින් මමත් 99 න් බෙරිලා තියෙනවා. ඇත්තෙන්ම වංචාවක් වෙන්න ගියේ.

    ReplyDelete
  4. :) ඔන්න ඉස්සර වෙලාම කියලා තියෙන විදියට නොමිලේ තෑග්ගක් දුන්නා!!

    ක්‍රෙඩිට් කාඩ් නොගන්න තැන් ගොඩක් තවම ඇමෙරිකාවේ තියෙනවා. ඒ නිසා අවන්හලක දී එය විමසා බලා කෑම බීම ගැනීම වඩා නුවණැති වූවක්.

    ක්‍රෙඩිට් කාඩ් වලින් වඩාත්ම ඉහළම කාඩ් එක මොකක් ද කියලා දන්නවා ද? ඇමෙරිකන් එක්ස්ප්‍රස් කළු කාඩ් එක නැත්නම් centurion card එක. ඔවුන් විසින් කරන ආරාධනයකින් විතරයි එය ලබාගත හැකි. ඒක තියෙනවා නම් ඒක පෙන්වන්න ඕනෙත් නැහැ. ඒක තියෙන්නෙ එපමණ ටික දෙනෙකුට නිසා කාඩ් එක නොපෙන්වාම එයින් බිල ගෙවා දමන්න හැකියි.
    http://www.americanexpress.com/lacidc/iccsite/american_express_centurion_card_benefits.shtml
    http://en.wikipedia.org/wiki/Centurion_Card

    ReplyDelete
    Replies
    1. වටිනම තොරතුරක්..

      Delete
    2. //ක්‍රෙඩිට් කාඩ් නොගන්න තැන් ගොඩක් තවම ඇමෙරිකාවේ තියෙනවා//

      අපේ සමහරක් උන්දලා

      .....අයියෝ ඔයාල ක්‍රෙඩිට් කාඩ් ගන්නේ නැද්ද....

      කියලා අහනවා

      එයාලට මේ කහමන්ට් එක පෙන්නන්ඩ විදිහක් නැනේ

      Delete
  5. මටත් ක්‍රෙඩිට් කාඩ් එකක් අතපත ගාන්න ලැබුනේ 1990 ඉඳලා. එදා ඉඳන් තිබුණ පුදුම ආසාව නිසාමද මන්ද මට අද ක්‍රෙඩිට් කාඩ් අංශයක වැඩ කරන්න වෙලා තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. අවුරුදු 23ක් ඒ කාලය ඇතුලත අම කොච්චර ගෙවලා ඇද්ද ඔය කාඩ් වලින්

      Delete
  6. ක්‍රෙඩිට් කාඩ් නෑ. ඩෙබිට් කාඩ් වලින් තමයි සේරම වැඩ කරන්නේ. ක්‍රෙඩිට් කාඩ් එකක් ගන්න ආසාවක් තිබ්බට ඒ අස්සෙන්ම පොඩි බයකුත් තියෙනවා.. :D

    ReplyDelete
  7. ක්‍රෙඩිට් කාඩ් ගැන නියම විස්තරයක්.
    මටනං තියෙන්නෙ ඩෙබිට් කාඩ් විතරයි. ඒත් ඒවයිනුත් ගණුදෙනු කරන්නෙ ATM එක්ක විතරයි. :D

    ReplyDelete
  8. මම නං කියන්නේ මේ කාඩ්.... විනාසයේ මුලක් කියලයි

    ReplyDelete
  9. ණය කාඩ්පත් ගැන මේ දේ මං සඳහන් කරන්නම්.ඇත්තටම කියනවනම් ණය කාඩ්පත්වලින් අපේ අය අමාරුවේ වැටෙන්නේ හරිහැටි භාවිතා නොකිරීම මතයි.ඒ කියන්නේ අත්‍යාවශ්‍ය වෙලාවකට විතරක් පාවිච්චි කරනවානම් ප්‍රශ්නයක් නැහැ.අපේ ගොඩ දෙනෙක් මුදල් තිබුනත් පාවිච්චිය ලේසි නිසා ණය කාඩ්පත් භාවිතා කරනවා.ඒ වගේම ගෙවීම් නියමිත වෙලාවට නොකර අමතක කරනවා.පස්සේ පොලි පිට පොලි එකතු උනාම ගෙවාගන්න බැහැ තමා.ඒක නිසා මනා කළමනාකාරිත්වයකින් කාඩ් එක පාවිච්චි කරනවනම් අවුලක් වෙන්න විදිහක් නැහැ කියලා තමයි මට කියන්න තියෙන්නේ

    ReplyDelete

මොකෝ කියන්නේ ,ආපු එකේ මොනවහරි කියලම යමුනේද ?

linkwithin

Related Posts Plugin for WordPress, Blogger...