Wednesday, November 21, 2012

බෆල් රථයේ සිටි සෙබළුන්ගේ ගැලවුම්කාරයා - අපිට කොටි ගහපු හැටි 2



මුල් ලිපිය බැලුවේ නැත්නම් බලලා එන්න,

මේකත් එදාම සිද්ද උනු සිද්දියක් ,හැබැයි මේ සිද්දිය ගොඩ දෙනෙක් නොදන්නා දෙයක් ,එයට මාධ්‍ය මගින් ප්‍රචාරයක් ලබා දුන්නෙත් නැහැ 

බස් රථයට එල්ල උනු ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කිරීම උදෙසා අවට පිහිටි හමුදා කදවුරු වලින් අමතර භටපිරිස් කැදවනු ලැබුවා ,

මේ අතර අපේ බැංකුවේ වෑන් රථයක් කතරගම ශාඛාවේ කටයුත්තක් සදහා උදෑසනින් පිටත්ව ගොස් තිබුනා ,උදෙන්ම පිටත්වූ නිසා සහ දැන් මෙන් දුරකථන පහසුකම් (විශේෂයෙන්ම ඒ කාලයේ යාල ප්‍රදේශය අවට හෑන්ඩ් ෆෝන් වලට සිග්නල් තිබුනේ නැහැ )ව්‍යාප්තව නොතිබූ නිසා රථයේ සිටි රියදුරුට බස් රථයේ සිද්දිය ආරංචි වී තිබුනේ නැහැ ,එමෙන්ම කාගේත් අවදානය බුත්තල -මාලිගාවිල මාර්ගයට යොමුවී තිබුණු නිසා බුත්තල - කතරගම රජ මාවත ගැන කාගේවත් ඇස යොමුවී තිබුනේ නැහැ ,
මේ රථයේ සිටි රියදුරු අය්යා ගැන සටහනක් කල යුතුමයි ,කොහොමත් බැංකුවක සිටින රියදුරන්ගේ රැකියාවේ අවදානම උපරිමයි ,මොකද ගොඩක් වෙලාවට මුදල් ප්‍රවාහන කටයුතු සිද්ද කරන්න වෙන නිසා ,එමෙන්ම නියමිත වේලාවන්ට අදාළ ස්ථානවලට යායුතුත් නිසා වේගයත් අවශ්‍ය කාරණයක් ,මේ නිසා වේගය සහ අවධානය යන දෙකම හොදින් ඇති පුද්ගලයෙකුට පමණයි මේ කාර්යය හොදින් සිදු කරන්න පුළුවන් ,

ඉතින් මේ කියන සියලුම කරුණු වලින් පරිපූර්ණ කෙනෙක් තමයි මේ අපේ සුසිරි (නියම නම නොවේ ,ඔහු කිසිසේත්ම ප්‍රසිද්දියට කැමති පුද්ගලයෙකු නොවේ ,මේ සිද්දිය අපිට කිව්වේ ඒ වෙලාවේ රථයේ සිටි වෙනත් කෙනෙක් ,එය ඇත්තදැයි ඇසුවාම ඔහු මහා හඩින් සිනාසී ඕවත් වැඩද මල්ලි කිව්වා,පුවත්පත්වලින් ඉල්ලු සම්මුක සාකච්චා පවා ඔහු ප්‍රතික්ෂේප කළා, )යකාටවත් බය නැති  ඔහු කිසිදු අවස්තාවක කලබල නොවන කෙනෙක් ,

මං ඒක හොදින් අත්දුටුවේ විටෙක ඔහුත් සමග කොළඹ ගොස් මුදල් ප්‍රවාහන කටයුතු සදහා නැවත එන වෙලාවකයි ,පරක්කු වී කොළඹින් පිටත් උනු අපි නිසි වෙලාවට ශාකාවට යාමට නොහැකි වේ යයි සිතා සිටියත් නියමිත වෙලාවටත් ප්‍රථම අපිව ගමනාන්තයට ගෙන ඒමට ඔහු සමත් උනා ,මං හිතන්නේ ඒ ගමනේදී රථයේ රෝද එතරම් ගෙවෙන්නට නැතිව ඇති ,මොකද අපි ආපු හැටියට රෝද පාරේ ගෑවුනයයි හිතන්නවත් බැරි නිසා ,ආ ... කතාවෙන් පිට ගියානේ ,නැවතත් කතාවට 

ඉතින් ඔන්න සුසිරි තමන්ගේ රථයත් එලවාගෙන බුත්තල හරහා රජ මාවත ඔස්සේ කතරගම බලා ගමන් ගන්නවා ,මගදී කතරගම බලා ගමන් ගැනීමට සිටින ගුරු බවතුන් කිහිප දෙනෙකුත් තමන්ගේ රථයට නංවාගත් ඔහු යාල සීමාවට පිවිසුනා ,

මේ අතර බෆල් රථයකට නැගුනු හමුදා සෙබළු කිහිප දෙනෙක් කතරගම සිට බුත්තල කරා ඒමට පිටත් වී තිබුනා ,අපගේ වෑන් රථය සහ මේ බෆල් රථය දෙපසින් එකිනෙකා කරා ලංවෙමින් සිටියා ,රජ මාවතේ ගල්ගේ ප්‍රදේශයට ලංවෙමින් සිටි සුසිරි දුටුවේ ඉදිරියෙන් පැමිණි බෆල් රථය එක්වරම බෝම්බයකට අසුවී කැලයට ඇදී ගිය අන්දමයි,

හොදින් සූදානම් වී සිටි ත්‍රස්තයන් මේ බෆල් රථයටත් ක්ලේමෝ ප්‍රහාරයක් එල්ලකොට තිබුනා ,මේ අවස්තාව කොතරම් කම්පනකාරී අවස්තාවක් උනත්  සුසිරි මේ කිසිවකින් කලබල උනේ නැහැ ,වහාම වෑන් රථය නැවැත්වූ ඔහු එහි සිටි අනිත් අයගෙත් උදව්වෙන් මියගොස් නොසිටි  සෙබළුන් වෑන් රථයට පටවාගත්තා ,

කැලයේ සැගවී සිටි ත්‍රස්තයන් බලාපොරොත්තු නොවූ අන්දමින් වෙනත් රථයක් පැමිණ හමුදා සෙබළුන් බේරා ගැනීම නිසා ඔවුන්ගේ බලාපොරොත්තු කඩ උනා ,පසුව මාර්ගය අසලට දිව ආ ත්‍රස්තයන් වෙඩි වරුසාවක් එල්ල කරත් ඒ වනවිටත් සුසිරි තමන්ගේ රථයත් සමග ඉගිලී අවසන් ,මෙසේ ඉගිලී ගිය ඔහු සෙල්ල කතරගම ප්‍රදේශයේදී මාර්ග බාධකයක් පවා පෙරලාගෙන ගොස් කෙලින්ම නැවතී තිබුනේ කතරගම රෝහල ඉදිරිපිටයි ,

අපි එදා හවස ඔහු මුණගැසෙන විටත් හැමදාම ඔහුගේ මුවග රැදෙන හසරැල්ල නම් මැකී ගොස් තිබුනේ නැහැ ,ඔහුගේ නොසැලෙන ආත්ම විශ්වාසය සහ වේගය නිසා රටට වටිනා රණවිරු ජීවිත කිහිපයක්ම රැක ගැනීමට හැකිවූවා  ,(දැන්නම් රජ මාවත කාපට් අතුරා සකස් කර තිබුනත් ඒ කාලයේ එය වල ගොඩල් වල එකතුවක් විතරයි )ඔහුගේ චායාරූපයක් මා සතුව පැවතුනත් එය ඔහුගෙන් නොවිමසා  පලකල නොහැකි බැවින් පල නොකරමි ,(ඔහුගෙන් ඇසුවොත් මේ පොස්ටුවත් දාන්න වෙන්නේ නැහැ )

මීලහට ටිකක් රස කතාවක් - මහ රෑ චමරියට කොටි ඇවිත් 

10 comments:

  1. මෙන්න වීරයෝ...

    කෝ මාධ්‍ය වීරයෝ..!

    ReplyDelete
    Replies
    1. අර මාරයා අහන්නා වගේ කෝ මුන්

      Delete
  2. ඔන්න මිනිස්සු... වීරයෝ කියලා කට ඇරලා ලැජ්ජාවක් නැතුව කියන්න පුළුවන් මිනිස්සු... අන්තිමට කිව්වේ ඉතිං ඕවත් වැඩද කියලානෙ.. ඔවු .. ඕවා තමයි වැඩ....

    ReplyDelete
    Replies
    1. ඒකනේ කියන්නේ අලියා දන්නේ නැහැ අලියාගේ තරම කියලා

      Delete
  3. ඕවත් වැඩ ද??

    අන්න ඒවා තමයි වැඩ... නැතුව ෆේස් බුක් එක වීරයෝ වෙලා ඒක දෙවනත් කරන එක නෙවේ...

    ReplyDelete
    Replies
    1. ඌ නම් මේක ගැන වැඩිය කතාකරනවටත් කැමති නැහැ

      Delete
  4. ඇඟ කිලිපොලා යනවා අන්න නියම වීරයෙක් අපේ කාලයේ වීරයෙක්.
    කෝරලේ වලව්ව

    ReplyDelete
  5. අද කාලේ ඉන්න ඕනි ඔය වගේ අය මිසක් දියවන්නාවේ ඉන්න වීරයෝනම් නෙවෙයි.

    ReplyDelete

මොකෝ කියන්නේ ,ආපු එකේ මොනවහරි කියලම යමුනේද ?

linkwithin

Related Posts Plugin for WordPress, Blogger...