Tuesday, December 31, 2013

Year- End පාටි සහ තවත් කතා - Going Solo 10


හප්පේ.... ඒ අවුරුද්දත් අහවරයි නේද....මටත් බ්ලොග් එකක් කියලා දෙයක් තියෙනවා කියලා මතක්වුනේ ඕන්න අද ගෙදර ආවම තමා ඕන්.මමවත් මේක පැත්තපළාතේ පස්නොපෑගුවාට ගොඩක් උන්දැලා මගේ අඩවියේ දිනපතා කරක්ගහපු බවනම් පේන්න තියෙනවා.පහුගිය දොහේනම් පුල් නස්තාර් වෙන්න වැඩකරලා ඕන්න අද තමයි යාන්තම් හුස්මක් කටක් ගත්තේ.වෙන අවුරුදුවල වගේ නෙමෙයි මේ අවුරුද්දේ වැඩකරන්න වුනෙම ණය අංශෙ.ඉතින් වර්ශාවසානේ කියන්නේ යුද්ධයක්ම තමා.ඔය බැංකුවල වැඩකරන උන්දැලා ඕවා දන්නවා ඇති නොවැ.

අවුරුද්ද අවසානෙට කලින් අතේ තියෙන ණය අයදුම්පත්වලින් දෙන්න පුළුවන් ටික තෝරලාකියලා කෝම කෝමහරි ඒ ටික නිදහස්කරගන්න එක තමා යුද්දේ.ඒකට බැස්සම ඉතින් රැයක් දවාලක් නැහැ.ඕන්න පහුගිය දාක හැන්දෑවේ වැඩ ඇරිලා එනකොට ගියා කියහන්කෝ ණයක් ගන්න ගෙදරක පරීක්ෂනෙකට.ඉතින් මහා පාරෙන් අතුරු පාරට හරෝලා පොඩි දුරකින් තමා මේ ගෙදර තියෙනවා කිව්වේ.මාත් ඉතින් ඔහොම යනකොට මෙන්න බොලේ රබර් වත්තක්.මාත් ඉතින් ඕම ඉස්සරහට ගියා.වමට දකුණට හැරි හැරි තමයි ගියේ.ඔහොම සෑහෙන දුරක් ගියා.මොන....මොකෙක්වත් නෑ...දිගටම රබර් වත්ත.මං ආපහු එන්න හැරුනා.දැන්නම් බිම් කරුවල වැටීගෙන එනවා.රබර් වත්ත ඇතුලේ නිසා කට්ට කරුවලයි.බයික් එකේ එලිය තියෙන නිසා එච්චර අවුලක් වුනේ නෑ.ආපහු එන්න ආවට මොකද දැන් රබර්වත්ත ඇතුලේ මට පාර වැරදිලා බව මට ටිකකින් තේරුනා.හතරවටේටම රබර් ගස් විතරයි පේන්න තියෙන්නේ.මොකෙක්වත් නෑ.කාගෙන් කියලා පාර අහන්නද.හිතටත් පොඩි බයක් නොදනුනාමත් නෙවේ.කෝකටත් කියලා එක පැත්තකටම වගේ එන්න ආවා.ඕන්න ඔහොම එනකොට යාන්තම් රබර් වත්තෙන් එලියට ඇවිත් ගෙවල් තියෙන මන්ඩියක් අහුවුනා.යාන්තම් එතන හිටපු මාමා කෙනෙක්ගෙන් පාර අහගෙන තමයි මහපාරට ආවේ.හැබැයි ඒත් මම අතුරුපාරට හරෝපු තැනට සෑහෙන ඈතකින් තමා.වෙලාවේ හැටියට ඒකත් ලොකු දෙයක්නෙ.

මම ඔය අතරමංවුනු වෙලාවට පාර හොයාගන්නහැටි ඉගෙන ගත්තේ අපේ රූපචන්ද්‍ර මහත්තයාගෙන්.මෑන්ස් අපිත් එක්ක ඒ කාලේ බුත්තල රාජකාරි කෙරුවා.දවසක්දා මෑන්ස්ටයි මටයි කොළඹ යන්න සෙට්වුනා [මට හරියටම මතක නැහැ ගමන මොකක්ද කියලා...ට්‍රේනින් එකක් වගේ තමයි මතක]කෝමහරි වැඩේ කරගෙන ඉවරවෙලා ආයෙත් මොනරාගල එන්න අපි කොළඹින් පිටත්වුනා.ඔන්න එතකොටම අපේ රූපච.....[මොන .......ලයිට් ගියෝ]........

[පැය 4 කින් යන්තම් ලයිට් ආවෝ....] ඔන්න එතකොටම අපේ රූපචන්ද්‍ර මහත්තයා අපේ ඩයිවර් මල්ලි අමතලා "පුතේ අපේ නැන්දා කෙනෙක්ගේ පුතෙක් ඉන්නවා ඔය කොටිකාවත්ත පැත්තේ,යනගමන් පොඩ්ඩක් ඒ පැත්තටත් ගොඩවෙලා යමුකෝ"කියලා කිව්වා.ආ..කලින් කියන්න බැරිවුනා අපේ රූපචන්ද්‍ර මාත්තයා කොයිවෙලෙත් පොඩ්ඩක් අනුමතවෙලා තමයි ඉන්නේ.ඉතින් මේ වෙලෙත් ඒ සේතේම තමා.මාත් ඒ දවස්වල ඔය කොළඹ පැත්තේ පාරවල් එහෙම දන්නේ නෑ.ඒ කිව්වට දැනුත් දන්නේ නෑ...හොදද.කෝම කෝම හරි අපි පාරවල් එහෙම අහගෙන කොටිකාවත්තට ආවා.ඊට පස්සේ රූපචන්ද්‍ර මාත්තයා කියන විදිහට දකුණට ,වමට ආයෙත් වමට ඔන්න ඔය යනාදී වසයෙන් සෑහෙන දුරක් ගියා.එකපාරටම රූපචන්ද්‍ර මාත්තයා "පුතේ මට පාර මතක නෑනේ".කියලා කියපි.එතකොටම අපේ ඩයිවර් මලයත් "අනේ සර් දැන්නම් මටත් ආපහු යනවිදිහ මතක නෑ,සර්නුත් මාරවැඩ තමයි කොරන්නේ"කියලා කිව්වා.ඊට පස්සේ රූපචන්ද්‍ර මාත්තයා "රායිට්,,,පුතා බයවෙන්න එපා අපි කොයිපත්තටවත් හරවන්නේ නැතුව කෙලින්ම යමු.එතකොට මූද අහුවෙයිනෙ,එතකොට පාර හොයාගන්න පුළුවන්"...කෝමද ටිකිරි මොලේ.ඔහෙලා වුනත් ඔය කොහෙහරි ගිහින් අතරමං වුනු වෙලාවට ඔය පතිකර්මේ පාවිච්චි කොරාට කමක් නෑ.අත්දුටුවයි පත්යක්ෂයි.මොනාද මං මේ ලියන්නේ .......

අද කතාව ඉතින් Year end පාටි ගැනනේ.අපි බුත්තල ඉන්න කාලෙ තමයි ඔන්න අපි ඉස්ඉස්සෙලාම බැංකුවේ Year end පාටියකට හිටියේ.දැන් කාලේ වගේ නෙමෙයි ඒ කාලේ ඔය කොම්පීටර් ජිල්මාට් වැඩ දැනට වඩා අඩුයි.ඒක නිසා සෑහෙන වැඩකොටසක් කරන්න තිබ්බා.කොටින්ම අවුරුද්ද අන්තිම දවස ගනුදෙනුකරුවන්ට බැංකුව වහනවා ඒ කාලේ.ඔන්න ඔහොම වැඩ කටයුතු ටික ඔක්කොම ඉවරකරලා ලාබෙ එහෙම බලලා ....විසිල් ගහලා...බල්ටි ගහලා තමයි කස්ටිය පාටියට සෙට්වෙන්නේ.කෝමවුනත් මේ ඔක්කොම කරනකොට රෑ දෙගොඩහරියක් වෙලා.ඒ අතරේ අසල්වැසි ශාඛාවල ලාබෙ ගැනත් පොඩ්ඩක් හොම්බදාලා බලනවා.සාමාන්යෙන් මේ Year end පාටිය දෙන්නේ මැනේජර් මාත්තයා ගානේ.ඒකෙ ඉතින් ඒ හැටි වැරැද්දකුත් නෑ.මොකද ඔක්කොම මාන්සිවෙලා වැඩේ ගොඩදම්මට වැඩිපුර ක්‍රෙඩිට් එක එන්නේ මැනේජර් මාත්තයටනේ.

පාටිය පටන්ගන්නේ ඔක්කොම කස්ටිය පොඩි ෂොට් එකක් එහෙම නවාගෙන ඔක්කොම එකපාර "චියර්ස්" කරලා තමා.එහේ ඉන්නකොටනම් ඉතින් බයිට්වලින්නම් අඩුවක් වුනේ නෑ.ඒවා ගැන මං කලින් කිව්වනේ.ඔන්න ඉතින් එකක් දෙකක් වැටෙනකොට ගෙවිච්ච අවුරුද්දේ වුනු රසසිද්ධි එක දෙක ඉතින් එලියට එනවා.ඒවා අහලා ෆුල්ෆන් එකක් ගන්න අතරේ ලාවට සින්දුවක් දෙකක් කියවෙන්න පටන්ගන්නවා.සින්දු කිව්වම අපේ උන්දැලා ඉස්ටේජ් එකට නග්ගන්නෙම ජෝතියි,කපුගේයි තමා.ඔය අතරේ ඉදලා හිටලා බෙග් මාස්ටර්,මිල්ටන් එහෙමත් එනවා යනවා.කෝමහරි කස්ටියටම ටැප් වෙන්න වැදුනට පස්සෙනම් ඉතින් සොරිම තමා.ඔය වගේ දාසක අපේ කොස් මාත්තයට දවසක් වෙච්චි වැඩේ මං කලින් කියලා තියෙනවනේ.

කෝමවුනත් මනුෂ්‍ය පරිනාමනේ වගේ අපිත් දැන් ටිකටික ඔක්කොමවගේ කොම්පීටරේට භාරදීලා වේලාසන ගෙදරට මන්ගච්චනවා.අවුරුද්ද අවසානේ කියලා ඉස්සරවගේ ඒ තරම් ආතල් එකක් නෑ.ඔන්න ඔහොමයි දැන් කෙරුවාව....ලියන්න ආපු ගොඩක් කතා ලියන්න වුනේ නෑ.මේ ලයිට් යෑම නිසා.මාත් පොඩ්ඩක් විතර අනුමතවෙලා වගේ ඉන්නේ නිසා අද සෑහෙන්න පාරෙන් පිට පැනලා කැලේ කඩාගෙනම ගියා.ඒකනිසා සොරි වෙන්නලා....කියන්න බැරිවුණු කතාටික ඉස්සරහට කියන්නම්....

ඒනම් ටටා බයි බායි චෙරියෝ...2013....

වෙල්කම් 2014 කිව්වා ඈ....

ප.ලි - රාජකාරි වසයෙන් මිසක් ජනවාරි 1 වෙනිදට ලබන අවුරුද්ද අපේ අවුරුද්ද කියලා මමනම් පිළිගන්නේ නෑ.ඒක නිසා කාටවත් විෂ්කරන්නෙත් නෑ..හොදේ....එළෙඹෙන හැම දිනයක්ම කාටකාටත් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වන දිනයක් වේවායි පමණක් පතමි.

Saturday, December 7, 2013

අපි කෑ හැටි මොකා දනී.... - Going Solo 9


මනුස්සයාගේ ප්‍රධානම අවස්සතා වෙන්නේ කෑම,ඇදුම් සහ වාසස්තානනේ.ඔව්...ඔව්...තවත් එකක් තියෙනවා තමයි....හරි...හරි...ඕන්න අද කියන්න යන්නේ රස්සාවට ගිහින් අපි කාපු බීපු කෑම ගැන තමා.මේ කියන්න යන්නේ අර රයිස් කුකර් කතාවේ කියපු අමුතු කෑම ගැන එහෙමනං නෙවෙයි.කෝමත් ඉතින් ලංකාවේ පැත්තෙන් පැත්තට ඔය කෑම ජාති එහෙමත් වෙනස්වෙනවනේ.ඕන්න ඉතින් ඔය අපි රාජකාරි කොර පැත්ත ගැන කියනකොටම ගොඩක් උන්දලාට මතක්වෙන්නේ ඉතින් දඩමස් නෙව.

ඒකනම් ඇත්ත ආයුබෝවන්ඩ වැඩිපුර මස්මාන්ස එහෙම වළඳන්නේ නැතිව උන්නු මාත් මස්වැද්දෙක් වුනා නෙව.දඩමස් කිව්වම ඉතින් අපිට ඉතින් වැඩිපුරම හම්බුනේ මුවා තමයි.අපි උන්දැලා පොසොන් පෝය දවසේ මුව දඩයමේ ගියහැටි ඉස්සරහට කියන්නම්.මුවමස් ගොඩක් වෙලාවට ලැබුනේ රජමාවතේ පැත්තේ ඉදලා ආපු උන්දැලාගෙනුයි ඔක්කම්පිටිය මාලිගාවිල පැත්තේ ඉදලා ආපු උන්දැලාගෙනුයි තමා,ඊලගට වැඩිපුරම අනුභව කරේ ඉතින් "ටන් ටන්" ගාන්නා නෙව.ඒ කියන්නේ ගෝනා.ඒවානම් ඉතින් බඩල්කුඹුර පැත්තේන් තමා වැඩිපුර ලැබුනේ.බුදු අප්පේ තව චුට්ටෙන් "සෙක්සි පෝර්ක්" අමතක වෙනවා.අපේ වර්ෂාවසාන පාටියේ අනිවාර්ය අංගයක් තමයි ඒ කාලේ "උල් වාරා" ඩෙවල් එක.එකටනං ගහන්න ඉතින් ආයේ කෑමක් නෑ බොලව්.ඔය තුනට අමතරව ඉතින් වළිකුකුලා,ඉබ්බෝ,කොකා වගේ ඒවත් ලැබුනා.හැබැයි ආයුබෝවන්ඩ මන්නං ඒවා කටෙවත් තිව්වේ නැති බව මේ අවස්තාවේදී පරකාස කොරන්ඩ ඕන.

ඔය දඩමස් ගැන කිව්වම ඉතින් හොදම කතාවක් තියෙනවා කියන්න.හැබැයි ඉතින් ඒක කිව්වොත් අපේ උන්දැලා ආසාවටවත් දඩමස් කෑල්ලක් කටේ තියෙන එකක් නැහැ.ඒක නිසා ඒ කතාව නොකියා ඉන්නම්.මෙන්න මෙහෙම විතරක් කියන්නම් "ඔය කතරගම එහෙම ගිහින් හෝටල් වලින් දඩමස් එහෙම තියේද" කියලා අහලා ගෙනල්ල දුන්නොත් ඒවා දඩමස්මද කියලා පොඩ්ඩක් හොයලා බලලා වැළඳුවොත් තමයි යහපත්.ඒක එහෙම කිව්වම ඇති.ඇඹිලිපිටියේ ජනරංජන හෝටලේ කතාව එහෙම දන්නවා ඇතිනේ.එවනං ඇත්තද බොරුද දන්නේ නෑ.සමාරවිට ඒකෙන් කාපු උදවිය මේක කියවනවත් ඇති.දඩමස් කතා ඇති.දඩමසුත් ඉතින් නිකම්ම කන්න බෑනේ.හේනක හිටියනම් දන්නවා ඇති දඩමසට කියාපු කෑම තමයි කුරහන් තලප.දඩමසුත් එක්ක කුරහන් තලප ලොරියක් වුනත් කන්න පුළුවන්.ඔය දෙකත් එක්ක නියමෙටම ගැලපෙනවා "කොල්ලු" ආනමක්‌ හදාගත්තාම."කොල්ලු" කියන්නේ අස්සයන්ගේ කෑමක් වුනාට ඔය හේන් තියෙන පැතිවල නැගලා යන කෑමක් තමා ඔය "කොල්ලු" ආනම.හදන හැටිනම් මං නොදනී.

හේන්වල ඉතින් ඔයිට අමතරව වට්ටක්ක දළු,මයියොක්කා කොළ මැල්ලුම් එහෙමත් හදනවනේ.ඔය හේන් වලට ගොඩක් වෙලාවට කැඩෙන ගෙනියන්නේ කරෝල කෑල්ලක්,ලුණු ඩිංගක්,කොල්ලු ටිකක් වගේ තමා.අනිත් ඔක්කොම ඉතින් හේනෙන්ම සප්ලයි කරගන්නවා නෙව.ඊට අමතරව ඉතින් ඕන්න වැව්මාළු තමයි අපේ ෆෙවරිට්ම බයිට් එකවුනේ.බුත්තල ඉස්පිරිතාලේගාව පාලම අයිනේ හවසට කොරලි වැල් විකුනන්න තියෙනවා.එයින් එකක් දෙකක් අරන් ඇවිත් රජමාවතේ තොරණ ගාව තිබ්බ දුවනගිරියේ නයිට්කඩේ අය්යට දීලා හදාගත්තාම ඒකට ගහන්න ආයේ ලොවෙත් බයිට් එකක් නෑ.
මිනිහා සමාර දාසට අපිට වැව්මාලු කොත්තු එහෙමත් දාලාදෙනවා.මාත් ඔය දවසක් දෙකක් මැණික් ගඟේ එතකොට යුදගනාව වැවේ එහෙම මාළු බාන්නත් ගියා.පව්කාරයෙක් නොවන හින්දද මන්දා එකෙක්වත් අහුවුනේ නං නෑ.

ඔය පැත්තේදී කාපු තවත් අමුතු කෑමක් තමා "මඩු පිට්ටු" කියන්නේ.කාපු උන්දැලා නම් ඇති මයේ හිතේ.ඔය රටඉඳි වගේ ගහක් තමා මඩු කියන්නේ.ගෙඩි සාමන්යෙන් පුවක්ගෙඩි විතර ඇති.ඕවා කඩලා දෙකට පලලා අව්වේ වේලලා කොටලා ගන්න පිටිවලින් තමා මඩු පිට්ටු හදන්නේ.රසයි, ඒත් වැඩිපුර කෑවොත් ටිකක් මත්ගතියකුත් එනවා.මඩු ගස්නං හැදෙන්නේ ඔය බඩල්කුඹුර පැත්තේ විතරයි.ඔය අපි කවුරුත් කන "තුඹ" එහෙම හැදෙන්නෙත් ඔය පැත්තේම තමා.වැඩිපුරම තියෙන්නේ ඔය අලුත් එයාපෝර්ට් එක හදපු මත්තල පැත්තේ නෙව.නිකම්ම නිකම් කැලේට හැදෙන ජාතියක්.හැබැයි හැදෙන කාලෙට කැලේ පිරෙන්න හැදෙනවා.ඒ පැත්තේ මිනිස්සුන්ට නිදානයක් පහලවුනා වගේ තමා ඉතින්.

ඔයිට අමතරව ඉතින් නයිට් කඩවලින් කාපුකෑම තමා ඉතින් අමුතු කෑම විදිහට තිබ්බේ.ඔය ට්‍රේනින්වලට එහෙම කොළඹ යනකොට කෑවෙත් ඒවයින්ම තමා.අපිත් එක්ක වැඩකරපු බණ්ඩාර බිත්තර ආප්ප කාපු හැටි එහෙම කියවන්න ඇතිනේ.අපේ චමරිය තිබ්බේ අඹ වත්තක නෙව ඉතින් අඹවලින්නම් අඩුවක් පාඩුවක් වුනේ නෑ.වෙන්නන් ඉතින් පලතුරකට කියලා කෑවේ ඔය අනිත් පැතිවල තියෙන පලතුරුම තමා.ඒ පැත්තේ උක්ගහකින් බල්ලෙක්ටවත් හැගුවට ගණන් ගන්නේ නෑ.ඒ තරමට උක්ගස්වලට ඩිමාන්ඩ් එක අඩුයි.

අපේ කෑම ඉවිල්ලනං එහෙං එනකම්ම හරිගියේ නැහැ.සමාර දාසට බතුයි කරෝල තෙල්දාලා අල හොදියි හදන්න පටන්ගත්තට අන්තිමේදී හදලා තියෙන්නේ බතුයි කරෝල හොදියි අල තෙල්දාන ඒකයි.ඉතින් කොහොමැයි වළඳන්නේ...ඔය උඩ පින්තුරේ තියෙන ඒවානම් අපි ඒ කාලේ වැළඳුවේම නැහැ.ඒක නිසා ෆිගර් එක ගානට මේන්ටේන් කරගෙන උන්නා.ඒත් ඉතින් ගෙන්දගම් පොළොවට පයගැහුවත් එක්කම කෑම චක්කරෙත් වෙනස් වුනා.එදායින් පස්සේ පොල්ගස් වගේ හිටි අපි කොස්ගස් වගේ වුනා.ඒවා මතක්කොරලා හිත පාරගන්න මක්කටෙයි.ඕන්න පල්ලෙහා තියෙනවා කතාවක් කියෝලා නැත්නම් කියෝන එකයි ඇත්තේ...ගෙහුං එන්නං...

pizza ,අපි සහ බෝඩිමේ uncle [ it's about door step delivery ]


ටටා...

Friday, November 29, 2013

යකා බාස්ගේ කතා වස්තුව - Going Solo 8


කොහොම කොහොමහරි අලුත් තැන ජීවිතෙත් පටන්ගන්න වුනා.හැබැයි ඉතින් සමහර දේවල් අපහසුවුනා වගේම සමහර දේවල් ඉස්සරට වඩා පහසුවුනා.මං කලින් කිව්වනේ අලුත් තැන තිබ්බේ අපේ සබ්බ්‍රාන්ච් එකක් කියල.ඉතින් ඒ හින්දම සේවකයින් දෙන්නෙයි ආරක්ෂක මහත්තයයි විතරයි රාජකාරි කෙරුවේ.පහසුකම් එහෙමත් සෑහෙන්න අඩුවෙන් තමයි තිබුනේ.හැබැයි තනියම හිතලා මතලා වැඩකරන්න නිදහසනම් ලැබුනා.

පහසුකම් අතින් කිව්වම ඉස්සෙල්ලම මතක්වුනේ කරන්ට් එක ගැන.ඕයි කාලේ ඒ පැත්තේ නිතරම කරන්ට් එක යනවා.ඉතින් ඒ වෙලාවට කරන්ට් එක ඉක්මනට එනවද නැත්ද කියලා බලං ඉන්න එක තම ගොඩක් වෙලාවට කරන්නේ.ඉක්මනට කරන්ට් එක ආපහු ආවොත් ගොඩ.නැත්නම් ඉතින් සදා සොත්ති තමා.එහෙම කිව්වට අපේ බ්‍රාන්ච් එකේ ජෙනරෙටරෙකුත් තිබ්බා.ඒක හැබැයි සුද්දෝ ලංකාව අතැරලා ගියපු කාලේ එකක්.ඩීසල් ජෙනියක්.හැබැයි ඔටෝ ස්ටාර්ට් වෙන්නේ නම් නෑ.ලෑන් මාස්ටරේ වගේ අතින් කරකෝලා තමයි ඉස්ටාට් කරන්න ඕන.හැබැයි ඉතින් මෙලෝ පුතෙකුටනම් ලේසියෙන් ඕක ඉස්ටාට් කරන්න බෑ.අපිට ඕක හැමදාම ඉස්ටාට් කරලා දුන්නේ බැංකුවට එහා පැත්තේ හෝටලේ මල්ලි.මිනිහා ඇගේ වීරිය ඔක්කොම දාලා හයියෙන් හය්යෙන් පුලිය කරකෝලා එකපාරටම හැන්ඩ්ල් එක අහකට ගන්න දස්සයා.වැඩේ තියෙන්නේ උගේ උජාරු කමට ඌ මට ඕක කියලා දුන්නේ නෑ හරියට.ඒක නිසා පරඩල වගේ හිටපු මට ඕක කවදාවත් ඉස්ටාට් කොරගන්න හම්බුනේ නෑ.

දවසක් උදේම කරන්ට් එක කපලා තිබ්බා.එදා දවසම කරන්ට් එන්නේ නෑ කියලත් කලින් දන්නල තිබ්බේ.අපේ කරුමෙට හෝටලෙත් වහලා ඒකෙ මල්ලිත් කොහෙද ගිහින්.දැන් ඉතින් මොන දෙය්යන්ට කියන්නද?මම කීප වතාවකම උත්සහ කොලත් ජෙනිය නෝ හෙල්ලුම්.ඉස්සරහ ත්‍රීවීල් පාර්ක්‌ එකේ මල්ලිලා කීප දෙනෙකුත් ට්‍රයි කොරාට උන්ටත් බැරිවුනා.කෝම හරි දැන් උදේ 9 විතර වෙන්නත් ඇවිත්.කොමහරි ගනුදෙනු කටයුතුත් කරන්න ඕන නිසා අනිත් අය්යා මට කිව්වා "මල්ලි යකා බාස්වත් ගෙන්නලා මේක ඉස්ටාට් කොරගම්මු" කියලා.

කවුද අය්යේ යකා බාස් කියන්නේ? මම ඇහුවා.

මල්ලි මොනරාගල පැත්තට පයින් ටිකක් දුර යනකොට වමතට තියෙන තුරු පාරේ පොඩි ගැරේජ් එකක් තියෙනවා.ඒකෙ තමයි යකා බාස් ඉන්නේ.මිනිහා තමයි මේ මගුල කැඩුන වෙලාවට හැමදාම ගොඩ දැම්මේ.

මමත් ඉතින් එලියට බැහැලා මොනරාගල පැත්තට පොඩ්ඩක් ඇවිදගෙන යනකොට අර අතුරු පාර තිබ්බා.මං ඒ පාරට හැරුණත් එක්කම ඒ පාරේ ඇවිදගෙන ආපු මනුස්සයෙක් ඉස්සරහට හම්බුනා.මමත් බෝම විනීතව...

මහත්තයා...අර යකා බාස් ගේ ගැරේජ් එක තියෙන්නේ මේ පාරේද?

"මොකක්"

අර යකාබාස් උන්නැහේගේ ගැරේජ් එක තියෙන්නේ මේ පාරේද කියල ඇහැව්වේ 

"මේ මාත්තය....මයෙන් මුකුත් අහගන්න එපා.අරිද?ඒ මං තමයි"

හප්පේ...මේ යකාගේ මූණ දැක්කම නමේ වරදක් නෑ නේද කියල මට හිතුනා.නියම "යකා"

අනේ සමාවෙන්න...මං මේ බැංකුවෙන්..අපේ ජෙනිය ඉස්ටාට් වෙන්නේ නෑ,පොඩ්ඩක් බලල දෙන්න පුලුවන්ද?

මාත්තය බැංකුවට අලුතෙන්ද ආවේ?මයේ නම චන්ද්‍රසිරි.මං නැති තැන අර නම කිව්වට කමක් නෑ.අරිද?කෝ යන්කො බාන්ඩ.බැංකුවේ වැඩක් කිව්වම බෑ කියන්න බෑනේ ඉතින්.

ඔන්‍න‍ එතකොට තමයි මගේ අගට ලේ ටිකක් ඉනුවේ.කෝම හරි යකාබාස් මාත් එක්කම බැංකුවට ආවා.ඇවිත් ඉතින් ජෙනිය ලග මජං ගොඩේ දන ගහගෙන ජෙනිය පරීක්සා කොරා.

"මේකේ ඇති අවුලක් නෑ.ඉන්න මං ඉස්ටාට් කොරලා දෙන්නන් "

කියල මෑන්ස් එක පාරින්ම ජෙනිය ඉස්ටාට් කොලා.

"මට ඉතින් හැම තිස්සෙම මෙතෙන්ට දුවගෙන් එන්න බෑනේ.මාත්තයත් මේක පූදුවෙන්න"කියලා මිනිහා මගේ අතට හැන්ඩ්ල් එක දුන්නා.මාත් කීප වතාවක්ම ට්‍රයි කොරත් ජෙනිය සුපුරුදු විදිහටම නෝ හෙල්ලුම්

"ඕම කරලා හරියන්නේ නෑ මාත්තය.හැන්ඩ්ල් එක කරකෝණ ගමන් මේ පොඩි චෝක් කෑල්ල උඩට කරල අල්ලගන්න ඕන.හැන්ඩ්ල් එක ගන්නවත් එක්කම මේක ආතාරින්න.එතකොට අරි....කඩේ මලයා මෙතක් මට කියලනොදීපු "ගුරු මුෂ්ටිය" යකාබාස් උන්නැහේ එක දවසින්ම මට කියලා දුන්න.ඊලග පාරේදී එක සැරේම ජෙනිය ඉස්ටාට් කොරන්න මට පුළුවන් වුනා.

"මරුනේ මාත්තය..."

කියල එක පාරටම යකා බාස් උන්නගේ මගේ පිටට ගැහුවා.මිනිහගේ අතේ ඇඟිලි පහේම මජං පාර මගේ සුදු පාට ෂර්ට් එකේ.ඒක දැකලා මිනිහට තවත් හිනා....මටනම් යස්ස කේන්තියක් ආවා.කොමහරි එදා වැඩකරෙත් බැංකුව ගාව රෙදිකඩේන් ෂර්ට් එකක් ගෙනත් ඇදගෙන.

කෝම හරි එයින් පස්සේ "යකා බාස්" මගේ හොදම යාලුවෙක් වුනා.හැමදාම හවසට ගැරේජ් එකේ වැඩ ඉවරකරලා බාර් එක පැත්තට යන ගමන් බැංකුවටත් ගොඩවෙලායන්න යකාබාස් උන්නැහේ අමතක කලේ නෑ.ඔහොම ටික දවසක් යනකොට මගේ කීමට බැංකු පොතකුත් ඇරලා හැමදාම කීයක්‌ හරි දාන්නත් මෑන්ස් පුරුදු වුනා.හැබයි ඉතින් වැඩ නැතිවුණා දවසට හවසට ඇවිත් පොතෙන් සල්ලි අරන් යන්නත් ඒ වගේම පුරුදුවුනා.කෝම වුනත් එදා වගේම හැමදාමත් අපේ ජෙනිය කැඩුණු වෙලාවට අපිට පිහිට වුනේ "යකාබාස්" උන්නැහේ තමයි.

මං එහෙං මාරුවෙලා එන දවසෙත් බැංකුවට ඇවිත් බෝම හොදින් ගොඩක් වෙලා කතාකරලා තමයි මෑන්ස් ගියේ.මනුස්සයෙක්ගේ පිටින් ස්වභාවය හෝ හැසීරීම ගැන දැකලා මනුස්සයෙක් ගැන තීරණේ කරන එක කොච්චර වැරදිද කියන අපූරු පාඩම මං මගේ ජීවිතේට එකතුකරගත්තේ "යකාබාස්" උන්නැහේ ආස්සරේ කිරීමෙන්.

එහෙදී මට මුණගැහුණු තවත් අය සහ සිද්දි සමගින් ඊලඟ කොටසින් හම්බෙමු.

ටටා.

Saturday, November 23, 2013

රැකියා ස්ථානයේ උසස්වීමක් - Going Solo 7


කොහොමින් කොහොමහරි මං කියාගෙන ආපු සිද්දි කරුණු කාරනා අතරේ මාස 5 ක් 6 ක් විතර ගෙවුනා.ඔන්න ඊට පස්සේ දවසක උදේ මාව තමන්ගේ ගාවට කැඳවපු මැනේජර් මහත්තයා මට රැකියා ස්ථානයේ උසස්වීමක් සහිත ලිපියක් බාරදුන්නා.ඊළඟ සතියේ ඉදන් එතන වැඩකරන්න කියලා.සාමාන්යෙන් උසස්වීමක් ලැබෙනවා කියන්නේ පාටි දාලා සමරන්න ඕන වැඩක්නේ.ඒත් ඉතින් මේ උසස්වීමනම් මගේ හිතේ පොඩ්ඩක්වත් සතුටක් ඇති කලේ නෑ.

මොකද මේ උසස්වීම මට ලැබුනේ තනතුරෙන් නෙවෙයි.ඔයාල දන්නවනේ බුත්තල කියන්නේ තැනිතලා ප්‍රදේශයක් විත්තිය.ඉතින් මට මේ උසස්වීම ලැබුනේ අපේ බ්‍රාන්ච් එකේම සබ් බ්‍රාන්ච් එකක් වුනු බඩල්කුඹුරට.ඉතින් බඩල්කුඹුරට යන්නනම් තැනිතලාවේ ඉදලා කන්දක් දෙකක් නැගලා ටිකක් උඩින් තියෙන පැත්තකට යන්න වෙනවා.ඔන්න ඕකයි මං කිව්ව උසස්වීම.ඒ කියන්නේ වැඩකරන තැන මුහුදුමට්ටමේ ඉදලා උසින් පිහිටා තිබීමයි මට ලැබුණු උසස්වීම.බඩල්කුඹුර තියෙන්නේ මොනරාගල පස්සර-බදුල්ල පාරේ තැනක.හැබැයි බුත්තල ඉඳලා බඩල්කුඹුරට වෙනම පාරක් තියෙනවා.කිලෝමීටර් 16ක් විතර.ගොඩ කෙනෙක් නොදන්නවා වුනාට බුත්තල කතරගම රජමාවත නියම විදිහටනම් පටන්ගන්නේ බඩල්කුඹුරෙන්.දැන් කීප තැනකම මේ රජමාවත ගැන කියලා තියෙන නිසා මේ ගැන නොදන්නා කෙනෙක්ට කුකුසක් ඇතිවෙන්න පුළුවන් මොකක්ද මේ රජමාවත කියන්නේ කියලා.

දුටුගැමුණු රජතුමා එළාරත් එක්ක ෆයිට් කරන්න කලින් කතරගමට ඇවිත් ආශිර්වාද එහෙම අරගෙනලුනේ ගමන පිටත්වුනයි කියන්නේ.අන්න එහෙම කතරගම -බුත්තල - බඩල්කුඹුර -බිබිල - මහියංගනය හරහා තමයි ඔන්න ඔය කියන රූට්‌ එක වැටිලා තිබුනයි කියන්නේ.ඉස්සර නිකන් පස් විතරක් දමාපු පාරක් වුනාට ප්‍රේමදාස මහත්තැන් ගම්උදාව වෙලේ තමයි ඔය රජමාවත එළිපෙහෙළි කොරලා තාර පේන්ට් කරලා අරන් තියෙන්නේ.අපේ හැලපය්යා එහෙම ඕවයේ වග කියනවනේ.අනිත් අතට බඩල්කුඹුර ප්‍රසිද්ද වෙන්න තවත් හේතුවක් තමයි ඔය 1818 ඌව වෙල්ලස්ස කැරැල්ල වෙලාවේ ඒ මිෂන් එක ඇබෝර්ට් කොරන්න එවාපු කැප්පෙටිපොල නිලමේ සුද්දගේ පුකට පයින් ගහලා අපේ පැත්තේ කැප්ටන්සිය භාර අරගෙන තියෙන්නේත් ඔය බඩල්කුඹුර හරියේ තියෙන අළුපොත ගමේදිලු.ඔන්න ඔහොමයි තොරණේ විස්තරේ..තව ඉස්සරහට කරුණු කාරනා කියන්නම්කො...

ගෙදර ඉදලා හැතැම්ම 100 කටත් වැඩිය දුර ඇවිත් වැඩකොරපු මට තව හැතැම්ම 10 ක් විතර දුරට යන්න වුනා.ඒත් ඉතින් බඩල්කුඹුරේ නවතින්න තැනක් හොයාගන්නවට වඩා බුත්තල චමරියේම ඉන්න එක හොඳයි කියලා මං තීරනේ කොලා.මොකද බෝඩිමක නැවතුනොත් වියදම් වැඩියි.මේ වෙනකොට චමරියේ බජට් එක පාලනේ කලෙත් මම.ඒ කිව්වේ කෑම උයන්න ගේන බඩුවල වියදම එකතු කොරලා මාසේ පඩි දවසට එක එකාගෙන් ඉල්ලලා කඩේ බිල පියවන එක තමයි.හැබැයි මාසේ අන්තිමට එකතු කොලාට සතිපතා අයවැය විස්තරේ සාමාජිකයින් දැනුවත් කොරන්න ඕන.එතකොට වැය පාර්ශවය අසාමාන්‍ය ලෙස ඉහල ගිහිල්ලා තිබුනොත් සාමාජිකයින්ට පුළුවන් ප්‍රශ්න කරන්න.ඕවා ඉතින් ඔය චමරිවල හිටපු කස්ටිය දන්නවා ඇතිනේ මටත් වඩා හොඳට.හැබැයි ඉතින් මේ බජට් එක රන් කරන එකෙන් වාසිවලට වඩා වුනේ පාඩු.වාසිය තමයි තමන් කැමති කෑම ජාති ගේන්න පුළුවන් වෙන එක.පාඩුව තමයි 'දෙන්නන් කාසි" ප්‍රමාණය ඉහල යාම නිසා තමන්ගේ පොකට් එකට වැඩි බරක් දරන්නට සිදුවීම.

හරි වත්ත වටේ ගියා ඇති..ආයෙත් ට්‍රැක් එකට වැටෙමු.බඩල්කුඹුර කියන්නේ අපේ සබ් බ්‍රාන්ච් එකක් කියලා මං කිව්වනේ.ඉතින් ඒකෙ වැඩකලේ සේවකයෝ දෙන්නයි සිකුරිටි මහත්තයයි විතරයි.ඇත්තම කියනවනම් ඒ කාලේ අපේ බඩල්කුඹුර බ්‍රාන්ච් එක දිව්වේ ටිකක් අමාරුවෙන්.ඒකට හේතුවුනේ අපේ සබ් බ්‍රාන්ච් එකක් තිබුනත් වෙනත් වාණිජ බැංකුවක දෙකක ප්‍රධාන ශාඛා බඩල්කුඹුරේ පිහිටා තිබීම.ඉතින් ඒවත් එක්ක හැප්පිලා වැඩකරන්න හෙනම ගේමක් දෙන්න ඕන.ඒ දවස්වල අපේ උන්දලා ඔය බඩල්කුඹුරේ රිලීෆ් එකක්වත් යන්න එච්චර කැමති නැහැ.මොකද අඩු පහසුකම්,ප්‍රවාහන අපහසුකම් සහ ඒ දවස්වල සමහර ගිණුම් පරිගනකගත නොකර තිබීම නිසා.කොටින්ම කිව්වොත් ස්ථිර තැන්පත් ගිණුමක් වහන්න ආවොත් වැඩ ඔක්කොම පැත්තකින් තියෙලා තැන්පතුව තිබිච්ච දිනගණන් අනුව පොලිය හදලා බලන්න ඕන.අවුරුදු කිහිපයක් පරණ එකක්නම් වැඩ ටිකක් වැඩියි.

ඒත් ඉතින් ලැබුණු වෙනස හුරුවෙන්නත් එක්කලා මං ඔන්න වැඩභාරගන්න තියෙන දවසෙම බඩල්කුඹුරට ගියා.ඒ දවස්වල අපි බඩල්කුඹුර බ්‍රාන්ච් එකේ වැඩකලේ අඟහරුවාදා සිට සෙනසුරාදා දක්වා.ඉරිදයි සඳුදයි තමයි නිවාඩු දවස්.සෙනසුරාද පොළ නිසා තමයි සෙනසුරාදට බ්‍රාන්ච් එක ඇරියේ.ඒ දවස්වල චෙක් ගනුදෙනු එහෙම නොකළ නිසා සඳුදා වැහුව කියලා අවුලක් වුනේ නෑ.බඩල්කුඹුර ගැන කියනකොට ඉතින් ප්‍රවාහනේ ගැනත් නොකියා බැහැනේ.මං ඉතින් උදේ වැඩට ගියේ බුත්තලින් උදේ 6.15 ට පටන්ගන්න සීටීබී බස් එකේ.ඒක මගහැරුනොත් යන්න ඕන බඩල්කුඹුර - මාලිගාවිල බස් එකේ.ඔය බස් එකටනේ පස්සේ කාලෙක කොටි ගහලා මහා මිනිස් සංහාරයක් කලේ.මං ඒ ගැනත් කියලා තියෙනවනේ.හැබැයි ඒ බස් එකේ ගියොත් ටිකක් පරක්කු වෙලා තමයි වැඩට යන්න වුනේ.ඒක නිසා කොහොම කොහොමහරි උදේ බස් ඒකට දුවාගන්න මං පුරුදු වුනා.බයිසිකලෙත් ඒ වෙනකොට අරගෙන තිබුණු නිසා බයිසිකලෙන් චමරියේ ඉඳං ඇවිත් ටවුමේ අඳුනන කඩයක් පිටිපස්සේ බයිසිකලේ දාලා බස් එකේ එල්ලෙන්න තමයි මං ඒ දවස්වල පුරුදුවෙලා හිටියේ.

උදේ බස් එක එලෙව්වේ "සිරි" කියලා අය්යා කෙනෙක්.අය්යා කිව්වට අපේ තාත්තට වඩා වයස ටිකයි අඩු මං හිතන්නේ.දකුණු පලාතෙන් ඒ පැත්තට ගිහින් පදිංචි වුනු කෙනක් නිසා සිරි අය්යා මට බොහොම හිතවත් වුනා.ඔය ගම්පලාත් වලින් ආපු කස්ටිය දැන අඳුනගත්තම අපිට වුනත් ගොඩක් සතුටක් ඇතිවෙනවනේ.ඒක නිසා මං පොඩ්ඩක් පරක්කු වෙන දවසට විනාඩියක් දෙකක් බස් එක අද්දන්නේ නැතුව බලං ඉන්නත් සිරි අය්යා අමතක කලේ නෑ.ඒකට ප්‍රති උපකාරයක්‌ විදිහට සිරි අය්යා බලාපොරොත්තු වුනේ බස් එක බඩල්කුඹුරේ බෝ ගහ යට නවත්තලා තියෙන වෙලාවට බැංකුවේ පත්තරේ අරන්ගිහින් බස් ඒකට වෙලා බලන්න ලැබෙන වාසිය විතරයි.

බුත්තලයි බඩල්කුඹුරයි අතර පාරේ ඒ දවස්වල ටිකක් සීග්‍ර බෑවුමක්‌ තියෙන කඳු ගැටයක් තිබුනා.බස් එක ටිකක් පරණ නිසා සෙනග වැඩිවුනාම බස් එකට මේ කන්ද ඇදගන්න අමාරුයි.ඉතින් අපි කොරන්නේ කන්ද පාමුල බැහැලා පයින්ම කන්ද ඇදලා ආයෙත් කන්ද මුදුනේදී බස් එකට ගොඩවෙනෙක.හැබැයි එහෙම වුනා කියලා කවුරුවත් බස් එකටවත් ඩයිවර් මහත්තයාටවත් දොස් කිව්වා කියලා මට මතකයක් නැහැ.අනිත් එක තමයි කන්ද පාමුල හිටපු විදිහටම කන්ද මුදුනේදීත් කවුරුත් කලබලයක් නැතිව බස් එකට ගොඩවුණු හැටි.කවුරුවත් රන්ඩුවුනේවත් තල්ලු කරගත්තෙවත් නෑ.ඔන්න ඔහොමයි ඒ පැත්තේ මිනිස්සු.

මිනිස්සු ගැන කිව්වම මතක් වුනේ.බුත්තල ඉඳලා ඒ හැටි දුරක් නොවුනට බඩල්කුඹුරේ තිබුනේ ටිකක් සවුම්‍ය දේශගුණයක්.ඒක හින්දමද මන්දා බුත්තල ගෑනු ළමයි වගේ නෙවෙයි බඩල්කුඹුරේ ගෑනු ළමයි ගොඩක් සුදුයි.ඕන්න බලන්න දෙශ්ගුනෙත් හැටි.මිනිස්සුන්ගේ බාසාවත් බුත්තලට වඩා ටිකක් විතර වෙනස්.ඒ දවස් වෙනකොට බඩල්කුඹුරේ පැත්තේ ප්‍රදාන ආදායම් මාර්ග වෙලා තිබුනේ උක්වගාව සහ රබර් ඇතුළු ගම්මිරිස් වැනි අපනයන බෝග වගාව.බස් එක ගැනනේ කතාකරකර හිටියේ.මං බඩල්කුඹුරේ වැඩට ගිහින් අවුරුද්දකට විතර පස්සේ ප්‍රයිවට් බස් එකකුත් පාරට දැම්මා.ඕන්න ඉතින් ඊට පස්සේ සුපුරුදු පරිදි ඔක්කොම කණපිට හැරෙන්න ගත්තා.

ඉස්කෝලේ ළමයි,මිනිස්සු ඔක්කොමවගේ ප්‍රයිවෙට් බස් එකේ යන්න පුරුදු වුනා.සීටීබී එකට වඩා විනාඩි 20 ක් විතර පස්සේ ගමන පටන් ගත්තත් අතරමගදී සීටීබී බස් එක පහුකරලා යන්න ප්‍රයිවෙට් බස් එක හයියෙන් යන්න ගත්තා.අනිත් එක කන්ද නගිද්දී බස් එකෙන් බහින්නත් ඕන නැති නිසා මිනිස්සු වැඩිය කැමැත්තෙන් ඒ බස් එකේ යන්න පුරුදු වුනා.වැඩේ කියන්නේ මේ ප්‍රයිවෙට් බස් එක සමහර දවසට එලෙව්වේ සිරි අය්යගේම පුතා.පුතත් ඉතින් හැමදාම තාත්තා කියලා බලන්නේ නැතුව සීටීබී එකත් එක්ක රේස් යනවා.මෙහෙම ප්‍රයිවෙට් එකට වැඩියෙන් සෙනග යන්න ගත්ත නිසා සිරි අය්යලගේ ටාගට් එකට තමයි බඩේ පාර වැදුනේ.ඉතින් සිරි අය්යා මේ ගැන ගොඩක් හිතේ තරහින් තමයි හිටියේ.

දවසක් ඕන්න ඔහොම ප්‍රයිවෙට් එක සීටීබී එකට ඉස්සරකරන්න හදනකොට සිරි අය්යා ඒකට ඉස්සරකරන්න නොදී බස් එක නවත්තලා ඔලුව එලියට දාලා මහහයියෙන් "උඹේ අම්මට හු...... දැනගනින්" කියලා කිව්වා.අනේ මන්දා ගෙදර දේවල් ඔහොම එළිපිට කියන එක හරිද මන්දා.හැබැයි සිරි අයියගේ පුතානම් කවදාවත් තමන්ගේ ආච්චිගැන ඒ වගේ දෙයක්නම් කිව්වේ නෑ.

බඩල්කුඹුරේ මතක ගොඩක් තියෙනවා.ඉස්සරහට ලියන්නම්..

ටටා... 

Sunday, November 17, 2013

දුප්පත් අපගේ බයිසිකලේ - Going Solo 6


ඕන්න එහෙනම් ඊළඟ කොටසටත් ආව.කලින් පොස්ට් එකේ අපේ අලි පැන්නිල්ල ගැන අපේ බ්ලොග් ලියන අවතාර් කොලුවා සුන්දර මඩ ප්‍රහාරයක් එල්ල කරලා තිබුනනේ.ඒවා බලල දැන් හිනා ගියත් ඇත්තටම ඒ සිද්දියට මූනපාපු වෙලේ දැනිච්ච මර බියනම් පොඩ්ඩක්වත් අමතකවෙන එකක් නෑ.

එහෙනම් අද කතාවට.අද ඉතින් කියන්න යන්නේ මගේ පලවෙනි ගමන් සගයා වෙච්චි මගේ දුප්පත් බයිසිකල් කට්ට ගැන.පොළොන් කතාවලදී මං කිව්වනේ පයින් ගමන අවදානම් නිසාම බයිසිකලයක් ගන්න මං තීරණේ කලා කියන එක.මං බයිසිකලේ ගත්තේ වැඩට ගිහිං මාස දෙකකට විතර පස්සේ.ඒ වෙනකොට දැන අඳුනගෙන හිටපු අපේ ගනුදෙනුකාර මහත්තයෙක්ගේ කඩෙන් තමා ගත්තේ.හැබැයි ඉතින් නම තියෙන ලුමාලා අනං මනං ජාතියේ එකක්නං නෙවි.නිකම්ම නිකම් කෑලි ෆිට් කොරපු බයිසිකලයක්.මට මතක හැටියට රුපියල් 4750 කට තමයි ගත්තේ.මුලින් රුපියල් 3000ක් දීලා ඒ මාසේ පඩි හම්බුනාට පස්සේ ඉතුරු ගාන බේරුවේ.

බයිසිකලේ ගත්ත දවසේ ඉදන්ම මගේ ජීවන චක්කරේ සෑහෙන වෙනස්කම් වෙන්න පටන් ගත්තා.වෙනදා උදෙන්ම නැගිටින්නේ චමරියේ ඉඳලා බැංකුවට තියෙන දුර පයින්ම අදින්න විනාඩි 15 ක් විතර යන හින්දා.ඒත් ඉතින් බයිසිකලේ තියෙන නිසා ඒ දුර විනාඩි 2 න් සුටුස්‌ ගාලා ඇදලා දාන්න පුළුවන් නිසා පශ්චාත් භාගයට ඉරගල වැටෙනකන් නිදාගන්නත් පුරුදු වුනා.හැබැයි ඉතින් ඕන්න මේ කාලෙම වගේ අපේ ඉවිල්ලටත් කණකොකා හඬලමින් තිබ්බ කාලේ නිසා උදේට කෑම කන්න ටවුන් එක එහා කෙලවරින් හොඳ කඩයක් හොයාගන්නත් මේ බයිසිකල් පැදිල්ල නිසා පුළුවන් වුනා.

දැන් මේ රබ්බඩඅය්යා වගේ හිටියට මං ඒ කාලේ කෝටුකිතය්යා වගේ.ඉතින් බයිසිකල් පැදිල්ල ඒ හැටි කම්මැලි වැඩක් වුනේ නෑ.හවසට වැඩ ඇරුනම ඇක්සසයිස් එකටත් එක්ක බුත්තල ටවුමේ ඉඳං ගම් උදාව රවුම වටේ ගොහින් එන එක ඒ කාලේ මගේ පුරුද්දක්.කොහොමත් එතකොට කිලෝමීටර් 3 ක් 4 ක් විතර බයිසිකලේ පැදෙනවා.ඉස්කෝලේ යනකාලේ සමහර දවසට ගෙදර ඉඳං මාතරට දෙපාරක් [ඔක්කොම දුර කිලෝමීටර් 32 ක් විතර ] බයිසිකල් පැදපු මට ඒක ඒ හැටි අමාරු වුනේ නෑ.කෝම වුනත් මේ බයිසිකල් පැදිල්ලෙන් වුන එකම හොඳේ තමා ඇඟපත තිබුණු ටිකත් නැතිවෙලා යෑම.

ඊළඟට ජීවන චක්කරේ වුනු වෙනස තමා ටිකක් වැඩ අඩු දවසට හවසට චමරිය පැත්තේ ඇවිත් වතුර ටිකක් නා කියාගෙන ආපහු වැඩට යන්න පුරුදුවුණු එක.ඒක වුනේ මෙහෙමයි හවසට ඉතින් ඔය අපි කඩවල් ගානේ එහෙම පොත්වලට සල්ලි එකතුකරන්න "ඩේලි කොලෙක්ෂන්" යනවා නෙව.ඉතින් අව් කූටකේ බයිසිකොලේ පැදලා දාඩිය මුගුරු හෙලාගෙන බැංකුවට ගිහිං වැඩකරන්න කලින් පොඩි වතුර පාරක් ඇඟට දාගෙන ගියාම ඇඟටත් පහසුයි වැඩත් ලේසියි.කොහොමත් ඒ කාලේ දැනට වැඩිය රෑ වෙනකල් අපිට වැඩකරන්න වුනා.ඒ.සී කාරිය එහෙම හයි කොරලා නොතිබුණු නිසා රස්නේ වැඩිකාලෙට ෆෑන් එකෙන් වදින හුළඟත් කම්මලේ මයිනහමෙන් හුලන්ගහන්නා වගේ තමයි දැනුනේ.ආ...බයිසිකලෙන් ආපු ගමන ඒ පාරේ කැලේ පැන්නා නෙව...ඉදිල්ලකෝ ආයිත් ඕන්න පාරට ගත්තා...

බයිසිකලේ ගැනිල්ලෙන් වුනු අනිත් හොඳේ තමා නිවාඩු දවසට,ගෙදර නොයන සති අන්ත වලට එහෙම පොඩි ට්‍රිප් එකක් කාරිය යන්න පුරුදුවුණු එක.ඕන්න එහෙම දාසක් මං අපිත් එක්ක වැඩකරපු ඒ පැත්තේ මල්ලිලා දෙතුන් දෙනෙක් එක්ක කුඹුක්කන් ඔයේ නාන්න ගියා නෙව.අපි තුන හතරදෙනා පුට් බයිසිකල් පැදගෙන බුත්තල හෙළගම පාරෙන් තමයි ගියේ.ඔය පාරෙනෙව අර පස්සේ කාලෙක බස් එකට බෝම්බ තිව්වෙත්.ඕන්න ඉතින් අපි බෝම ලස්සනට බයිසිකල් පැදගෙන ගොහින් කුඹුක්කන් ඔයේ කැලේ මැදක් හරියට ගොහින් නෑවා.ඔහොම අපි ටිකක්වෙලා නාන කොට ඔයේ වතුරත් එක්ක කොලරොඩු පාවෙලා එන්න ගත්තා."අය්යේ ..අය්යේ..විගහට ගොඩට එන්න"අපිත් එක්ක ගියපු ඒ පැත්තේ මල්ලිලා ගොඩට දුවන ගමන් කෑගැහුවා.මාත් මේ මොකක්ද කියලා දන්නේ නැතත් කෝකටත් විගහට ගොඩට ආවා.එහෙම ඇවිත් විනාඩි දෙක තුනක් යන්න කලින් මහා වතුර පාරක් එන්න ගත්තා.අපි හිටපු හරියට නොවැස්සත් උඩහ පැත්තට වැහැපුගමන් දෙගොඩ තලාගෙන වතුර ගලන එක තමයි වෙන්නේ.ඊට කලින් ඔය දෙපැත්තේ එකකහුවෙලා තියෙන කොලරොඩු තමයි පාවෙලා එන්නේ.ඉතින් අපි ඕවෑ දන්නවයි කියලයි.කෝම හරි එදත් බේරුනා....නාලකියලා උයාගෙන ගියපු බත් ගෙඩි දෙකතුනටත් වගකියලා අපි ආපහු එන්න පිටත් වුනා.දෙය්යන්න්ටම ඔප්පු වෙච්චාවේ පාරට ඇවිත් බලනකොට බයිසිකල් රෝදේ කරකටුවක් [කර ගහේ කටුවක්] ඇනිලා හුළං බහින්න පටන් ගත්තා.ඉතින් මේ කැලෑපාරේ මොන වින්කල්ද?පයින්ම බයිසිකලේ තල්ලු කරගෙනම එන්න පිටත් වුනා.ටිකවෙලාවකින් සමූපකාරෙ ලොරිය ඔක්කම්පිටියට ගිහිං එන ගමන් ඒ පාරෙන් ඇවිත් හම්බුනා.ඒක නිසා ඉක්මන්ට එන්න පුළුවන් වුනා.නැත්නම් තාම එනවා...

මං ඔක්කම්පිටියෙත් ටික දවසක් වැඩ කලා නෙව.ඕන්න ඉතින් එහේ වැඩකරන සමහර දවස්වලට බස් එක නැති දවසට මං වැඩට ගියත් මයේ බයිසිකලෙන් තමා.හැබැයි ඒ පාරේ වැලිආර කියන හරියේ අලි ඉන්නවා කියලා බැංකුවට එන කෙනෙක් කිව්වට පස්සේ මං බයිසිකලෙන් ඒ පාරේ යනඑක නැවැත්තුවා.ඒ වගේම මං කලින් කිව්වා වගේ අපි වැඩ ඇරිලා එනකොට රෑ වෙනවනේ.ඒකනිසා මං ටික දවසකින් බයිසිකලේට ඩයිනමොවකුත් හයිකොරගත්තා.හැබැයි ඒකෙන් පස්සේ වුනේ ලෙහෙසියක් වගේම තව අකරතැබ්බෙකුත්.ඒ තමයි අපේ කොස් මහත්තයාට බඩු මදිවෙනකොට ටවුමේ බාර් එකෙන් බඩු සප්ලයි කරන්න වුනු එක.ඉස්සරනම් 'මේ තිත්ත කරුවලේ යන්න බෑ" කියලා මග ඇරියත්."අනේ බං හොඳ එකාවගේ ගිහිං වරෙන්කො,දැන් බයිසිකලේට ලයිට් එකකුත් තියෙනවනේ" කිව්වම ඉතින් කට උත්තර නැතිවෙනවනේ.

බයිසිකලේ තිබ්බ හින්දම රෑට උයන්න කම්මැලි වුනාම ඕන වෙලාවක එලියට බැහැලා රෑ කඩේකින් කන්න යන්න පුළුවන් වුනු එකත් හොඳට හිටියා.ඕන්න ඔය විදිහට බයිසිකලේ හින්දම මගේ දින චරියාව සෑහෙන්න වෙනස්වුනා.හැබැයි ඉතින් කොච්චර පැද්දත් මං එහේ හිටපු අවුරුදු තුනටම මයේ බයිසිකලේ මගේ පොකට් එකට ලොකු බරක් වුනේ නෑ.උපරිම පැච් එකක් ටියුබ් එකක් බ්රේක් පළුවක් දෙකක් දාන්න ගිය වියදම තමා.ලොකුම වියදමකට කියලා ගියේ ඉතින් ටයර් එකක් දාන්න ගිය වියදම තමා.මං බඩල්කුඹුරේ වැඩට යනකොටත් උදේට බස් එකට යන්නත් බයිසිකලේ තිබ්බ එක ලොකු පහසුවක් වුනා.

වැඩට ගිහිං අවුරුදු තුනකට පස්සේ මට ස්ථාන මාරුවක් ලැබුනා..හැබැයි ගමට නෙවි..ගෙන්දගම් පොලවට.ඒක නිසාම ඇදුම් කැඩුම් ටිකත් අරං බස් එකේ නැග්ගට මට මයේ බයිසිකලේ ගේන්න පුළුවන් වුනේ නෑ.හැබැයි බුත්තලට කෝච්චියක්වත් දිව්වනම් කෝච්චියේ දාල එවන්න තිබුනා.ඒත් ඉතින් මට වුනේ මගේ දුක සතුට බෙදාගන්න හිටපු හොඳම යාලුවවත් දාලා එන්න වුනු එක.ඒක අදටත් මට ලොකුම දුකක්.ඊට සෑහෙන කලකට පස්සේ දවසක් මං බුත්තල ගියා.එතකොටත් බයිසිකලේ චමරියේ ඇතුලේ පැත්තකට කරලා දූවිලි වැදි වැදී තිබුනා.අපි ආවට පස්සේ චමරිය නිකම්ම පාළුවට ගිහිං.දවසක් අපේ ප්‍රයිවට් සිකුරිටි ලාල් අය්යා මට කෝල් කරලා "මල්ලි ..ලොකු කොල්ලා බයිසිකලයක් ඉල්ලනවා..මං චමරියේ තියෙන මල්ලිගේ බයිසිකලේ හදලා ගන්නද ?" කියලා ඇහැව්වා.මං හා කිව්වේ නෑ [මොකද මට හිතට එකඟව එහෙම කියන්න බෑ ] හැබැයි මං එපා කිව්වෙත් නෑ ........

Sunday, November 10, 2013

ඡන්ද ඔට්ටුව සහ අලි පැන්නිල්ල - Going solo 5


සතියක්ම ගතවුනත් මොකුත්ම ලියන්න වුනේ නෑ.මුණු පොතේ කරක් ගහගහ හිටියා මිසක් මේ පැත්තේ එන්නවත් බැරිවුනා.ඒත් ඉතින් ගොඩක් අය කියෝලා මඩ එහෙමත් ගහලා තිබුනා.අනේ අපිනම් ඕවා පයිසෙකටවත් ගණන් ගන්නේ නෑ ආයුබෝවන්ඩ.ඒක නෙමෙයි දැන් අපේ ගෙදර නාකිත් දනගාන්න පටන් අරං තියෙන්නේ.මේ තියෙන්නේ ඒ ගොල්ලොන්ගේ වැඩ...

කළු සුදු - අපේ අක්කන්ඩිගේ බ්ලොගේ 

හරියටම වැරදියි - අපේ අය්යන්ඩිගේ බ්ලොගේ

ඒ පැතිවල ගිහිල්ලා නැති අය ඒ පැත්තේ ගිහිං හිත සැනසෙන්න මොනවා හරි කියලා එන්න හොඳේ.එනිවේ අද කියන්න ආපු කතාව කියන්න අමතක වෙනවා මේ අව් අස්සේ.going solo කතාපෙල දිගටම ඇදගෙන යන්නේ ඔයාල වගේ කියවන යාළුවොන්ගේ ඉල්ලීම් නිසා.නීරස නම් කියන්න ඕන....හොඳේ...එතකොට වෙන කතා ලියන්න බැරිය.

පොළොන් විමානෙක ඉඳලා වෙච්ච වින්නැහි ගැන ලිව්වනේ.ඊළඟට අපිට ලොකුම කරදර තිබුනේ අලින්ගෙන්...කිව්වට මොකද මුලින්ම කියන්න යන්නේ දෙපා අලියෙක් ගැන සිද්දියක්.අපේ කතානායකයා සුසිල් කියලා අපි කියමුකෝ (නියම නම නෙවි ).අපේ මේ සුසිල් අය්යා කපාපු දෙපා ඇතෙක්.කොටින්ම කිව්වොත් ඩී.ඇස් සේනානායක මහත්තයාටත් වඩා නියම යූ.ඇන්.පී කාරයෙක්.පුදුමේ කියන්නේ බොලව් මිනිහා බෙලිඅත්ත පැත්තේම කෙනෙක් වුන ඒකනේ.ඕන්න බලන්න ඒකෙත් හැටි.අපේ බ්‍රාන්ච් එකේ ඒ වෙනකොට අලි පක්ෂේ කීප දෙනෙක්ම හිටියත් සුසිල් අය්යා වගේ ප්‍රබලව අදහස් ප්‍රකාස කරන්න කවුරුවත් ඉදිරිපත් වුනේ නෑ.අපි ආණ්ඩුවට පක්ෂව කතාකලොත් (මේ වෙනකොට තිබුනේ නිදහස් සන්දාන ආණ්ඩුව) වෙඩි කාපු ඌර වගේ අපේ පස්සෙන්ම ඉන්න තැනකට ඇවිත් බැස්ටිය දෙන එක තමයි සුසිල් ගේ සිරිත.මිනිහා කියන එක අපි පිලිගන්නකම්ම මෑන්ස් නෙවෙයි එතනින් අඩියක්වත් හෙල්ලුනේ.

ඕන්න ඔහොම ඉදිද්දී ජනාධිපතිවරනෙත් ආවා.ඕන්න දැන්නම් සුසිල්ගෙන් කනක් ඇහිලා ඉන්න වෙන්නැති බව අපි ඔක්කොම දැනගත්තා.නිදහස් සන්ධානෙන් මහින්ද මහත්තයා ඉදිරිපත්වෙන බව දැනගත්ත දවසේ සුසිල් අය්යා මහහයියෙන් හිනාවෙලා කිව්වා "හප්පේ දැන් තමයි ඕන්න හිත ටිකක් සැහැල්ලු වුනේ කියලා" ඒ වෙනමොකවත් නිසා නෙමෙයි සුසිල් අය්යා ඒ කාලේ ඉදලම දැරුව මතේ තමයි රනිල් එක්ක දිනන්න අමාරුය කියන එක.ඉතින් ඒ නිසා සුසිල් අය්යා හිතුවා එහෙනම් ඕන්න යූ.ඇන්.පී එක දින්නම තමාය කියල.ඊට පස්සේ සුසිල්ගේ කටට පන ආපු තරමට අපිට කනක් ඇහිලා ඉන්න නැතිවුනා.කොහොමින් කොහොම හරි සුසිල්ගේ කටවහන්නත් එක්ක අපි ඔක්කොම එක්කහුවෙලා පොඩි ප්ලෑනක් ගැහුවා.ප්ලෑනක් කිව්වට මේක ඔට්ටුවක්.අපි ඔක්කොම පස් දෙනෙක් එක පැත්තක අපි කියන්නේ නිදහස් සන්දානේ දිනනවය කියලා.සුසිල් කියන්නේ යූ.ඇන්.පී එක දිනනාවය කියලා.ඔට්ටුව රුපියල් පන්දාහයි.ඔට්ටුවේ එකම කොන්දේසිය තමයි ඡන්දේ දවස වෙනකල් ඡන්දේ ගැන අදහස් ප්‍රකාස කිරීම දෙපාර්සවයටම තහනම්.අදහස් ප්‍රකාශ කරොත් ඔට්ටුව පරාදයි.අපි පස්දෙනෙක් අපේ පැත්තට ඉන්න නිසා පැරදුනත් එකෙක්ට පාඩුවෙන්නේ පුංචි සුපියල් දාහක් විතරයි.හැබැයි සුසිල්ට තනියම රුපියල් 5000 පාඩුව දරාගන්න වෙනවා.ඕන්න ඔය කියන කාරණේ සුසිල්ගේ ඔලුවෙත් වැඩකරලා තිබුනා.ඒකනිසා මෑන්ස් කල ඉල්ලීමක් අනුව පොඩ්ඩක් කොන්දේසි වෙනස් කරන්න අපි තීරණේ කලා.

අපි පැරදුනොත් අපි රුපියල් 5000 අපි සුසිල්ට දෙන්න ඕන.සුසිල් පැරදුනොත් සුසිල් සල්ලි දෙන්නේ නෑ...ඒ වෙනුවට පස්පාරක් බැංකුව වටේ බඩගාන්න ඕන.මේ යෝජනාව ගෙනාවේ සුසිල්මයි.ඒක නිසා අපිත් පැනලා කැමතිවුනා.කොහොමින් කොහොමහරි චන්දෙ දවස වෙනකල් අපිට කනක් ඇහිලා ඉන්න ලැබුනා.චන්දෙට දවස් දෙකකට කලින් සුසිල් නිවාඩු දාලා ගෙදර ගියා.හත්දා මගුල් කාලා තමයි එන්නේ කියලා අපිට කියලා ගියේ.මෑන්ස් එනකොට කට්ටියගෙන් සල්ලි එකතුකරලා ලියුම් කවරෙක දාලා තියන්න කියලත් මට කියලයි ගියේ.චන්දෙ ඉතින් නිදහස් සන්දානේ දින්නා නෙව.මහින්ද මහත්තයා ජනාධිපතිවුනා.මෙන්න අපේ සුසිල් පහුවදා වැඩට එනවා.අපිත් ඉතින් සැදී පැහැදී සිටියා සුසිල් බඩගාන හැටි බලන්න.මිනිහම උදේ ඇවිත් කියනවා...

හරි ..මං සුදානම්..ඔට්ටුවේ හැටියට වැඩ කරන්න.හැබැයි ඊට ඉස්සෙල්ලා මේ blind wall දෙක කඩාපල්ලා....

ඇත්තනේ..අපිට අමතක වුනාට බැංකුව වටේ බඩගාන්න බෑ.බිත්ති දෙකක්ම හදලා තියෙන්නේ මායිමටම කරලා තාප්පෙත් එක්ක blind wall කරලා.ඕන්න ඔහොමයි සුසිල් ඔට්ටුව පැරදුනත් දින්නේ...කෝමද ටිකිරි මොලේ..

ඕන්න ඊලග අලි කතාවටත් අපේ සුසිල් අය්යා සම්බන්දයි.මං ඉතින් මාතර පැත්තේ එකා බව ඕගොල්ලෝ දන්නවනේ.ඒ කාලේ අන්තිම මාතර - මොනරාගල බස් එක බුත්තලින් අද්දන්නේ 4.15 ට.ඉතින් අපිට වැඩ බාගෙට දාලාතමයි සිකුරාදාට බස් එකට දුවන්න වෙන්නේ.ඒත් ඉතින් කවුන්ටරේට වැටුනට පස්සේ එහෙම එන එකත් අමාරුයි.හැබැයි අපේ සුසිල් අය්යා සිකුරාදාට ගෙදර යන්නේ එයයිගේ  Honda CD 200 මොටෝ බයිසිකලේ.මිනිහා ඉතින් බෙලිඅත්ත පැත්තේ පොරක් කියලා මං කිව්වනේ.ඉතින් බස් එක මිස්වුණු දාට මාත් මෑන්ස් එක්ක බයික් එකේ එන්න සෙට්වෙනවා.වැඩිපුර හෙල්මට් එකක් මෑන්ස් ගාවම තිබ්බා.ඒකෙ අමතර වාසිය තමයි සිකුරාදාට යන්න සෙට්වුනොත් ඉරිදා හවසට එන්නත් බයිසිකලේ සෙට් වීම.නැත්නම් හෙල්මට් එක විතරක් ගේන එක කරදරයිනේ.ඕන්න ඔහොම තංගල්ලට ඇවිත් එතනින් එහාට මාතරට යන බස් එකක් අල්ලාගෙන තමයි මං ගෙදර එන්නේ.ඔහොම බයික් එකේ එනකොට අපි එන්නේ බුත්තල කතරගම රජ මාවතෙන් ඇවිත් කතරගම තිස්ස හම්බන්තොට හරහා තමයි.මොකද එතකොට වැල්ලවාය තණමල්විල පැත්තෙන් එනවට වඩා කි.මී.15 ක් විතර ලඟයි.මාත් බයික් එකේ එන එකට සුසිල් අයියගේ අකමැත්තක් තිබ්බේ නෑ.මොකද එකක් බයික් එකේ තනියම යනකොට අවදානම වැඩිනිසා අනිත් එක මාරුවෙන් මාරුවට බයික් එක ගෙනියන්න පුළුවන් නිසා මහන්සියත් අඩුයි.

මං මේ කියන්න යන සීන් එක වුනේ ආන්න එහෙම දවසක අපි මොටෝ බයිසිකලෙන් බුත්තල ඉදලා කතරගමට එන අතරමග.ඒ කාලේ පාර හොදට හදලා තිබ්බේ නෑ.ඒක නිසා මාත් බෝම කැමැත්තෙන් සුසිල් අය්යටම සුක්කානම බාරදීලා පිටිපස්සේ එල්ලිලා යනවා.ඔහොම යනකොට තියෙනවනේ ගල්ගේ කියලා හරියක්.අර ගැන දෙවි දේවාලේ,හමුදා කදවුරක් එහෙම තියෙන්නේ.අන්න ඔය හරියේ හරියට අලි ඉන්නවා.හැබැයි ඉතින් කරදරෙකුත් නෑ.වාහනවලින් දෙන කෑම කන්න තමයිලු උන් ඔහොම ඉන්නේ.ඔහොම යනකොට දවසක් පාර අයිනටම වෙලා එක අලියෙක් උන්නා.මාත් ඉතින් අතේ තිබ්බ වඩේ පාර්සලේ වඩේ එකක් විතරක් තියෙන නිසා උගේ දිහාට විසිකරා.මෙන්න යකෝ පිළිමේ වගේ හිටපු එකා එකපාරටම බුල්ඩොසරේ වගේ පාරට පැන්නේ නැතැයි.දැන් මූ බයිසිකලේ පිටිපස්සෙන් එලෝනවා.අපේ ඇගේ ලේ වතුර වෙලා.මට නිකම් හොඳවැල පිටේ ගෑවෙනවා ගෑවෙනවා වගේ තේරෙනවා.බයටම හැරිලා බැලුවේ නෑ.අපිත් ඇරලම ආවා....දෙය්යන්ට පින් සිද්දවෙන්න අනතුරක් වුනේ නෑ.

අපි එදා බේරුනත් ඊට ගොඩ කලකට පස්සේ අපිත් එක්කම වැඩ කරපු අපේ සහෘද සේනක නම් සොයුරා මොනරාගල ඉදලා වැඩකරලා තමන්ගේ ගෙදර තියෙන කතරගම එන ගමන් ගල්ගේ හරියෙදීම ජීවිතෙන් සමු අරගෙන තිබුනා.වන අලි පහරදීමක්ද නැත්නම් වෙනත් අනතුරක්ද කියලා හරි හැටි කියන්න බැරිවුනත් ඔහු ගෙදර එන එයයිගේ ත්‍රීවීල් එකේ තිබිච්ච කෑම ජාති කන්න ආපු අලි වාහනේ පොඩිපට්ටම් කරලා තිබුනා.

කොහොමින් කොහොමහරි සුසිල් අය්යට ටික දවසකින්ම හම්බන්තොටට මාරුවක් ආවා.ඊට පස්සේ මට ගෙදර එන්න වුනේ බස් එකේම තමා.ඊට ටික දවසකට පස්සේ මටත් අපේ අනු ශාඛාවක් වුනු බඩල්කුඹුරට යන්න වුනා....ඊට පස්සේ වුනු දේවල් ඉස්සරහට කියන්නම්...

ටටා...

ප.ලි.-අලි ගැන තව කතා දෙක තුනක් තිබේ.ඉදිරි කතාවලදී කියන්නම්.

Saturday, November 2, 2013

ගුණේගේ ඇඟට වැටුණු කරුමේ සහ තවත් පොළොන් කතා - Going solo 4


කස්ටියම ආසාවෙන් මගේ Going solo කතා පෙළ කියවන බව පේනවා.ඒක නිසා මේක දිගටම ඇදගෙන යන්න ඕන කියලා මට හිතුනා.මෙහෙම රස්සාව කරගෙන ඉන්නකොට අපිට හතුරුකම් කරන්න ආපු කස්ටියක් ගැනයි අද කියන්න යන්නේ.වෙණ කවුරුවත් නෙවි ඔය උඩ තියෙන පින්තුරේ ඉන්න කස්ටිය ගැන.

අපි හිටපු පැත්තේ මෙයාලගෙන්නම් අඩුවක් තිබුනේ නෑ.ඒක ඔයවගේ පැතිවල හිටපු dude,කෙන්ජි එහෙමත් දන්නවා ඇතිනේ.උදේ වැඩට යනකොට පාරපුරාම ස්ටිකර් ගැහුවා වගේ දෙතුන් දෙනෙක් අවසන් ගමන් ගිහින් ඉන්නවමයි.එහෙම වෙන්නේ රෑ කාලෙටත් තාරපාර රස්නේ නිසා පොලොඟු පාරට එනවා.එතකොට ඉතින් ලොකු වාහනේකට අහුවුනොත් ඉතින් සෙත්තපෝච්චි තමා.හැබැයි ඉතින් රබර් කෑලි වගේ නිසා පොඩි ත්‍රී වීල් ,ලෑන් මාස්ටර් වලට අහුවුනාටනම් මැරෙන්නේ නැති වුනුත් ඉන්නවා.කොහොමවුනත් කතාවට එමුකො.

බැංකුවල වැඩකරන අපි කොහොමත් ගෙදර එද්දී රෑ වෙනවා.ඒක ඉතින් ඔයාලා දන්නවා ඇතිනේ.3 ට 4 ට කස්ටමර්ලට දොර වැහුවට ඊට පස්සේ කරන්න දහසක් රාජකාරී තියෙනවා.විශේෂයෙන්ම දැනට වඩා ඒ කාලේ ඔක්කොම කොම්පීටර් කරලා නොතිබුණු නිසා හවසට කාලය යනවා වැඩියි.දවසේ ගනුදෙනු ඔක්කොම බැලන්ස් කරලා තමයි අපි එලියට බහින්නේ.එතකොට ඉතින් රෑ 8 ,9 වෙන වෙලාවලුත් තියෙනවා.ඔන්න ඔහොම දවසක අපි වැඩ ඇරිලා චමරියට යන්න පාරට බැස්සා.අපේ කා.කා.ස වුනු ගුණේත් ගෙදර යන්න අපිට ටිකක් ඉස්සරහින් ගමන්ගත්තා.අපි කොහොමත් ඒ පැතිවල ඉදිද්දී කස්ටමර්ලා ඉන්න වෙලාවට විතරයි සපත්තු එහෙම දාගෙන ඉන්නේ.විශේෂයෙන්ම ඒ කාලේ ඒ .සී කරලා එහෙම නොතිබුණු නිසා හවස් වෙද්දී සපත්තු දෙක ගලෝලා සෙරෙප්පු දෙකක් දාගෙන තමයි වැඩකරන්නේ.ගෙදර/චමරියට යන්නෙත් ඒ සෙරෙප්පු දෙක පිටින්.උදේට එනකොටත් සෙරෙප්පු දෙක දාගෙන ඇවිත් බැංකුවේ තියෙන සපත්තු දෙක දාගෙන වැඩකරනවා.

ඔන්න ඔහොම තමයි ගුණේත් හිටියේ.අපි මෙහෙම පාරේ අයිනේ යනකොට අපේ කනගාවින් වගේ උක්ගස් පටෝගත්තු ලොරියක් ගියා.ඒ වෙනකොට හිඟුරාන එහෙම වහලා නිසා ඒ පැත්තෙනුත් එන උක්ගස් ලොරි එන්නෙත් පැල්වත්තේ පැක්ටේරියට.ලොරිය ගුණේ පහුකරගෙන ගියා විතරයි.ගුණේ මහා හයියෙන් "බුදු අම්මෝ" කියාගෙනම බිම වැටුනා.අපි හිතුවේ ගුණේ ලොරියට හැප්පුනා තමයි කියලා.අපි හයියෙන් ගුණේ ගාවට දුවලා ගියා.මිනිහා කකුල බදාගෙන කෑ ගහනවා.

'මොකක්ද ගුණේ වුනේ? කකුල ලොරියට යටවුනාද ?

ගුණේ - මහත්තයෝ විගහට මාව ඉස්පිරිතාලෙට ගෙනියන්න.

අපිත් ටක්ගාලා පාරේ යන ත්‍රී වීල් එකක් නවත්තගෙන මෑන්ව ඉසිප්රිතාලෙට එක්ක ගියා.යන අතරතුරේ ගුණේම කලිසම ඉරලා රෙදි පටියකින් කකුල දනිස්සට පල්ලෙහින් හයියෙන් ගැටගහ ගත්තා.

ඉස්පිරිතාලෙට ගිහින් ප්‍රතිකාර කරාට පස්සේ තමා ගුණේ හරියටම වෙච්චි දේ අපිට කිව්වේ.උක්ගස් ලොරිය ගුණේ ගාවින් යද්දී ඒකෙ උක්ගස් අතරේ හිටපු තඩි පොලගෙක් ගුණේගේ ඇඟට වැටිලා තියෙනවා.වාසනාවකට වගේ පොළඟා ගුණේගේ ඇගට දශ්ට කරන්න වෙලා නෑ.කකුල මුලට වැටුනම කකුලට තමයි දෂ්ට කරලා තියෙන්නේ.කොහොමවුනත් ගුණේ ඒ පැත්තේම කෙනෙක් නිසා මීට කලින් කීප වතාවක්ම පොලොඟු දෂ්ට කරලා තියෙනවා.ඒක නිසා ඒ වගේ වෙලාවක වැඩ කරන්න ඕන විදිහ ගුණේ දන්නවා.අපිට එහෙම වුනානම් පොළඟා දැකලම පන යනවා.ගුණේ කලබල වුනේ නැහැ.ඒක නිසා ඇඟේ ලේ ගමනය වේගවත්වුනේ නෑ.කොහොමත් ඔය පොළොන් සර්ප විස හදවතට ගියාම ලේ කැටිගැහෙනවලුනේ.දෂ්ට කරපු තැනට උඩින් කකුල හයියෙන් ගැටගැහුවෙත් ලේ ගමනය අඩු කරන්න.කොහොමත් ඒ පැතිවල ඉස්පිරිතාලවලත් ඔය ඕවාට අවශ්‍ය එන්නත් එහෙම ලේස්ති කොරලාම තියෙනවා.කොහොමවුනත් ගුණේට ආපහු වැඩට එන්න පණක් කදක් ලැබුනේ ඊට සති දෙකකට විතර පස්සේ.

උක්ගස් අතරේ ඔය පොලොඟු හරියට ඉන්නවා.උක්ගස් කපන අයනම් දැක්ක තැන කැත්තෙන්ම උක්ගස් කපන්නා වගේ උන් දෙකට කපලා දානවා.උක්ගස් කපලා මිටි බැඳලා බිමදාලා තියෙද්දී ඒවා අස්සටත් මුන් රිංගනවා.අන්න එහෙම හිටපු එකෙක් තමයි ගුණේගේ ඇගට වැටිලා තියෙන්නේ.ගුණේ කියනවා "කොහෙවත් යන කරුමයක් මගේ ඇඟට වැටුනා කියලා".ඒකත් ඇත්ත තමා..

මේ කියන කතාවනම් අපිට වෙච්ච වැඩක් නෙවි.අපේ අසල්වැසි බ්‍රාන්ච් එකක හවස වැඩ ඉවරවෙලා සල්ලි ටික සේප්පුවේ දාන්න සේප්පු කාමරේට ගිහින් තියෙනවා.සල්ලි මිටි සීල් තියන්න අපි පාවිච්චි කරන ලාකඩ අපි උණු කරගන්නේ හොට්ප්ලේට් එකක් උඩ තාච්චියක් තියලා.ඒකට ලාකඩ කෑලි දාලා උනුවුනාම මේස හැන්දකින් ටික ටික අවශ්‍ය තැන් වලට වක්කර වක්කර සීල් තියෙන එකයි කරන්නේ.ඔන්න මෙහෙම සල්ලි සීල් තියෙන කොට එකපාරටම මේසේ යටට පොළගෙක් ඇදෙනවා ඒ බ්‍රාන්ච් එකේ කා.කා.ස. මල්ලි දැකල තියෙනවා.පොලඟට ගහන්න ලඟපාත දේකුත් නැති නිසා මෑන්ස් කරලා තියෙන්නේ එකපාරටම අර ලාකඩ තාච්චිය පොළඟාගේ ඇගට හලලා.ඌ එතනම පරලෝසපත්වෙලා වෙලා තිබුනා.අපායේ ලෝදිය හැලියට දැම්මා වගේ තමයි ඉතින්.සමහර අය කියවනවානේ සර්පයන්ට ටයිල් උඩ ඇදෙන්න බෑ කියලා.අමුලික බොරුවක්.බැංකුවේ පිටිපස්සේ දොර අස්සෙන් තමයි අරූ ඇතුලට ඇදිලා තියෙන්නේ.අපේ චමරියටත් එක දවසක් මාපිලෙක් ආවා.

දැන් ඔන්න පොලොඟු නිසා මට වෙච්චි සිද්දි.ඔය වගේ වැඩ ඇරිලා රෑ වෙලා චමරියට යන දවසක මම තනියම ගියේ.රෑ වෙලා යද්දී පාර කළුවර නිසා මම පොඩි ටෝච් එකක් ගහගෙන යන්නේ.ඒත් කල්පනාවක ගියපු නිසා පාරේ හිටපු පොළඟාගේ ලගටම එනකල් මම දැක්කේ නෑ.මගේ ජීවිතේ දැකපු ලොකුම පොළඟා තමයි ඒ.ඌ දැන් දරණේ ගහගෙන මගේ පැත්තට ස්..ස්...ගාලා මහා හයියෙන් පිඹිනවා.ඌව දැක්ක ගමන් මට එකපාරටම මොකක් කරන්නද කියලා හිතාගන්න බැරුව ගියා.ආපහු හැරිලා දුවන්න හිතුනත් කකුල් දෙක ලොක්වෙලා වගේ.මං උගේ දිහා බලාගෙන ඌ මගේ දිහා බලාගෙන.මේ ටික කියන්න මෙච්චර වෙලා ගියත් මේ ඔක්කොම වෙන්න තප්පර දෙක තුනකට වඩා ගියේ නෑ.එකපාරටම තක්බීර්වෙලා වගේ හිටපු මගේ ඇඟේ වැදී නොවැදී ත්‍රී වීල් එකක් ඇවිත් අර පොළඟාව යටකරා.ඒකෙ හිටපු මල්ලි දනිපනිගලා ලී පොල්ලකුත් අරං එලියට බැහැලා පොළඟාව එළොව යැව්වා.එතකොට තමයි මට හරියටම සිහිය කල්පනාව ආවේ.ඒ ත්‍රී වීල් එකේ හිටපු මල්ලි මාව ත්‍රී වීල් එකෙන්ම චමරියට ගෙනත් බැස්සුවා.මං සල්ලි දුන්නත් හයර් එකවත් ගත්තේ නෑ.ඒ පැත්තේ ත්‍රී වීල්වල සමහර අය එහෙම ලී පොල්ලක් අරගෙන යනවා.ඒ ඉතින් පොලොන්ගුන්ට වැඩේ දෙන්නම තමා.ඒ මල්ලි එහෙ ඉන්නකලුත් දැනටත් මගේ හොදම යාළුවෙක්.මිනිහ සම්බන්ද රසකතා ටිකකුත් ඉස්සරහට ලියන්නම්.හැබැයි ඒ මෑන්ස් ගෙන් අහලා තමයි හොඳේ.

පයින් යන එක වෙලාව යන වැඩක් වගේම මේ වගේ අවධානමත් වැඩි නිසා මම ඊට දවස් දෙක තුනකට පස්සේ පුෂ් බයිසිකලයක් ගත්තා.අතේ සල්ලි එච්චර නොතිබුණු නිසා කඩේට සල්ලි දුන්නෙත් දෙපාරකට.මගේ පලවෙනි වාහනේ වුනු බයිසිකලේ ගැන වෙනම දවසක ලියන්නම්.මං එහෙං එනකොට මගේ බඩු බාහිරාදිය ඔක්කොම ගෙනාවත් බයිසිකලේ ගේන්න බැරිවුනා.මට ඒ ගැන තියෙන්නේ අදටත් දුකක්.මං අන්තිමට එහේ ගිය වෙලාවෙත් බයිසිකලේ චමරියේ තිබුනා.දැන්නම් තියෙද දන්නේ නෑ.

මට ඊළඟ සිද්දිය වුනේ බයිසිකලේ යද්දීම තමා.වැඩ ඇරිලා බයිසිකලෙන් චමරියට එද්දී කෝල් එකක් ආවා.බයිසිකලේ ඉදගෙනම කකුලක් බිම තියලා කෝල් එක ආන්සර් කරනකොටම එක පාරටම කකුලට මොකක්ද "ටොක්" ගාලා වැදුනා.බලනකොටම පොළොන් පැටියෙක් කකුල මුල.එදා වෙලාවට සපත්තු දාගෙන හිටපු නිසා ජීවිතේ බේරුනා.ඒත් ඉතින් ලොකු පොළන්ගේක් වුනානම් සෙත්ත පෝච්චි තමා.දෂ්ට කරාට කකුලට වැදිලා තිබුනේ නෑ.සපත්තුවේ යන්තම් හීරිලා වගේ තිබුනා.

මගේ ජීවිතේ වාසනාවන්තම සිද්දියක් ගැන තමයි ඊලගට කියන්නේ.ඇත්තටම එදා මම කොහොම බේරුනාද කියලා අදටත් මට හිතාගන්න බෑ.එදා සිකුරාදා දවසක්.ඒ සතියේ සෙනසුරාදා මට වැඩ වැටිලා තිබ්බ නිසා මම විතරයි චමරියේ හිටියේ.අනිත් අය ගෙදර ගිහිං.අපේ චමරියේ වතුර ටැංකියේ බෝල් වෑල්ව් එකක් නෑ.ඒක නිසා ටැංකිය පිරවුනාට පස්සේ මීටරේ ගාවින් කරාමේ වහන්න ඕන.මං එද්දී මීටරේ ගාවින් කරාමේ ඇරගෙනම ගෙට ආවේ.ඇවිත් ඇගපත හෝදාගෙන ටී වී බලනකොට ටැංකිය පිරිලා වතුට වැටෙන සද්දේ ආවා.මේ වෙනකොට හවස 6.30ට විතර ඇති.යාන්තමට තමයි එලිය තිබ්බේ.වතුර කරාමේ වහන්න මම චමරියේ දොරත් ඇරගෙනම එලියට බැස්සා.මීටරේ තියෙන්නේ ගේට්ටුව ගාව.චමරියේ ඉදන් මීටර් 15 - 20 විතර දුරින්.හුඩ් එක යට තියෙන එළියත් එතෙන්ට වැටෙන්නේ යාන්තමට.මම ඇවිත් පාත්වෙලා කරාමේ වහලා ආපහු යන්න හැරුනා.ස්....ස්...ස්...ගාලා වතුර කරාමේ ගාවින් සද්දයක් ආවා.මං හිතුවා කරාමේ හරියට වැහිලා නැතිව වතුර ලීක්‌ වෙනවා තමයි කියලා.මම ආපහු හැරිලා කරාමේ තියෙන තැනට අත දැම්මා...බුදු අම්මේ...මගේ අතට හීතලට අහුවුනේ පොළඟාගේ ඇඟ.මම ආපහු අත ගසලා දාලා දිව්වේ කොහොමද කියලා මටම මතක නැහැ.මට කොහොම හරි ආපහු හොද කල්පනාව එනකොට මම චමරිය ඇතුලේ සැටිය උඩ.

ඉස්සෙල්ලම බැලුවේ පොළඟා දෂ්ට කරාද කියලා.දෙය්යන්ගේ පිහිටෙන් එහෙම වෙලා නෑ.මට තාමත් හිතාගන්න බෑ එහෙම වුනේ කොහොමද කියලා.මං හිතන්නේ ඌ දෂ්ට කරාට වැදිලා තියෙන්නේ වතුර මීටරේට වෙන්න ඕන.ඒක තමයි මට හිතාගන්න පුළුවන් එකම දේ.මං කලින් වතුර මීටරේ වහද්දි තමයි ඌ එතනට එන්න ඇත්තේ.ස්..ස්..ස්..ගාලා වතුර ලීක්වෙනවා වගේ මට ඇහුනේ ඌ පිම්බපු සද්දේ.මම දොර අරින්නේ නැතිව ජනේලේ ඇරලා ගේට්ටුව දිහාට ටෝච් එක ගහලා බැලුවා.මූ ඉන්නවා තාමත් එතන.සෙරෙප්පු දෙකත් මගේ අතේ තිබුණු ටී වී එකේ රිමෝට් එකත් තාම වතුර මීටරේ ගාව බිම.පහුවෙනිදා උදේ තමයි ඒ දෙක ගන්න ගියේ.මිනිහෙක්ගේ අඩ්රිනලින් හෝමෝනේ වැඩකරන හැටි මං එදා තමයි හොදටම අත්දැක්කේ....හප්පේ මතක වෙද්දීත් මයිල් ස්මයිල් වෙනවා.....
අදට ඇතිනේ...තව කතා ඉස්සරහට...

ටටා... 

Thursday, October 31, 2013

රයිස් කුකර් එක සහ කුකරි කතා - Going solo 3


රස්සාවේ පලවෙනි දවස ගැන කස්ටියම කියවන්න ඇතිනේ.ඔන්න ඔහොම ඉතින් ටික දවසක් යද්දී අපිත් ඉතින් අනිත් අය වගේ සුපුරුදු පීල්ලටම වැටුනා.උදේට නැගිටිනවා, කනවා, වැඩට යනවා, දවල්ට කනවා, ආයේ ආපහු එනවා, ඇගපත හෝද ගන්නවා, රෑට කනවා, නිදාගන්නවා.ඔතනින් ඉතින් ටිකක් විතර හැමදාම වෙනස් වෙන්නේ ඉතින් කෑම වේල තමයි.උයන වැඩේ එච්චර සාර්ථකව ක්‍රියාත්මක වුනේ නෑ.විශේෂයෙන්ම උදේට උයන්න ඉන්න කෙනා මරනවා වගේ තමයි නැගිටින්නේ.ඉතින් ගොඩක් දවසට උදේටයි දවල්ටයි කෑම කඩෙන්.රෑටත් ඉතින් එහෙමත් දවසක තමයි හරියට කෑමක් කන්න ලැබුනේ.අපේ චමරිය තිබුනේ ටවුමෙන් කිලෝමීටරයක් විතර ඈත.ඉතින් බඩිගිනි වුනා කියලා හදිසියට කෑම කඩේකට දුවන්නත් බැහැ.

මේ කෑම කෙරුවාවෙන් වැඩියෙන්ම බැටකෑවේ එවකට බැංකුවේ නිර්ධන පන්තියේ සේවය කල අපි [පඩිය රුපියල් 9200 යි].කඩෙන් කාලානම් මේ පඩියෙන් ඔක්කොම කරගන්න බැරි බව මටයි මගේ යාලුවටයි තේරුනා.ඉතින් අපි දෙන්නා තීරනේ කලා චමරියේ කෑම ප්‍රතිපත්තිය නව මගකට ගෙනියන්න.ඒ කොහොම වුනත් චමරියේත් පීඩිත පන්තිය වුනු අපි දෙන්නට තමා ඒ වෙනකොට ගොඩක් දවස්වල උදේට උයන්න වෙලා තිබුනේ.ඒත් අපේ ඉවීමේ හැකියාවන් තේරුම් ගත්තු අනෙක් උදවිය ටික දවසකට පස්සේ අපි උයන කෑම කන එක ඇතාරියා.ඒත් අපි නෙවෙයි සැලුනේ...මං කිව්වනේ ඕන කට්ටක් කාගෙන ඉන්නවා කියලා තමයි මං හිතාගෙන ආවේ කියලා.මං වගේම තමයි මගේ යාළුවත් ඒ විදිහෙම පොරක්.

චමරියේ අනිත් අයට අපි වගේ නෙවෙයි.නිවාඩු එහෙම තියෙන නිසා සිකුරාදාට එහෙම නිවාඩු දාලා ගෙදර යනවා.අපිට ඒ වෙනකොට නිවාඩු තිබුනේ මාස දෙකකට එක දවසක් වෙන්න.චමරියේ ඒ වෙනකොට උයන්න තිබුනේ ගෑස් ලිපකුයි ඇලුමිනියම් හට්ටි වළං ටිකකුයි විතරයි.කොච්චර කෑම හැදුවත් බත හදාගන්න එක අපිට සෑහෙන්න අමාරු වුනා.එක්කෝ බත අමුයි,නැත්නම් ඇට්ටකුනා වෙලා නැතිනම් ටීවී එක බලන අතරේ බත රොස් වෙලා.ඔන්න ඔය වගේ දේවල් නිසා අපි මුලින්ම තීරණ කලා කුස්සියේ යටිතල පහසුකම් වැඩිකළ යුතුයි කියලා.ඒක නිසා අනිත් අය නැති දවසක අපි මැනේජර් මහත්තයාට ලංකරලා ඇහුවා "සර් අපි චමරියට රයිස් කුකර් එකක් ගන්නද කියලා".හැබැයි අපරාදේ කියන්න බෑ,මැනේජර් මහත්තයත් පටස්ගාලා අනුමැතිය දුන්නා.

අනිත් අය නැති දවසක් බලලා අපි ඔය වැඩේ ක්‍රියාත්මක කලේ හේතුවක් ඇතිව.මොකද එහෙම වුනානම් අපිට අනිත් අය නැතිව ඔය ඉල්ලීම කොරන්න බැරිවෙනවා.අනිත් කස්ටිය ඉතින් කොහොමත් ඔය වැඩේ අහන්න මැනේජර් මහත්තයා ගාවට යන්න කැමති වෙන්නෙත් නෑ.ඔන්න ඒකයි අපි අනිත් අය නැති දවසක් බලලම ඕක ගන්න හිතුවේ.හවස වැඩ ඇරිලා යන ගමන් ටවුමේ කඩේකට ගිහිල්ලා රයිස් කුකර් එකක් ගත්තා.ඔය උඩ පින්තුරේ තියෙන වගේ එකක්.හැබැයි එච්චර ලොකු නැහැ.කඩේ මෑන් අපිට රයිස් කුකර් එක ගැන ලොකු වර්ණනාවක් එහෙම කරලා තමයි ඕක දුන්නේ.ඒකෙන් නූඩ්ල්ස් වුනත් හදන්න පුළුවන් කියලා මිනිහා අපිට කිව්වා.අඩේ මරුනේ.......කියලා අපිට හිතුනා.උදේට උයන්න නූඩ්ල්ස් පැකට් එකකුත් මග කඩේකින් ගත්තා.

කොහොමහරි ඕකත් කරගහගෙන චමරියට ආවා.අපේ ගෙදරවත් යාළුවගේ ගෙදරවත් ඒ වෙනකොට රයිස් කුකර් එකක් තිබුනේ නෑ.ඉතින් ඒක නිසා මේකෙන් උයලා බලනකල් අපිට ඉවසුමක්‌ තිබුනේ නෑ.ඒ දවස්වල අපි ගොඩක් වෙලාවට ඉව්වේ කැකුළු බත්.ඒත් ඉතින් නමෝ විත්තියෙන්ම කුකර් එකේ සුදු බතක් හදන්න තීරනේ කලා.පොතේ හැටියටම වැඩේ කෙරෙන්න ඕන නිසා මුලින්ම හාල් හොදට ගරලා කුකර් එකට එහෙම දාලා අර ඒකෙ තියෙන කෝප්පෙන්ම වතුර මැනලා දැම්මා.ඊට පස්සේ ප්ලග් එක ගහලා අපි පොල් සම්බලෙකුත් සැරට හදාගත්තා.පොල් සම්බලුයි සම්බා බතුයි...හප්පා...බත් මරන්න බැරියැ.....

පොල් සම්බලේ හදාගත්තු අපි බත ඉදෙනකල් ටීවී එක බලන්න ගත්තා.සෑහෙන වෙලාවක් ගියත් රයිස් කුකර් එකෙන් සද්දයක්වත් නෑ.ඇරලා බැලුවහම හාල් ටිකයි වතුරයි ඒ විදිහටම තියෙනවා.ප්ලග් එකේ අවුලක් වෙන්නැති මචන්...මං එහෙම කියලා රයිස් කුකර් එක අරන් ඇවිත් සාලේ ප්ලග් එකකට ගැහුවා.ඔහොම තව පැය බාගයක් විතර ගියා.ආයෙත් ඇරලා බැලුවහම හාල් ටික එහෙම්මමයි.මං හිතන්නේ වතුර මදි ඇති.යාලුවා කිව්වා.අපි ඒ පාර තව වතුර ටිකක් දාලා මැදගිල්ලෙන් පුරුක් දෙකක් විතර වතුර තියලා ආයෙත් පියන වහලා බලං හිටියා.තව පැය බාගයක් විතර ගියා.දැන්නම් බඩගින්න අහස උසට නැගලා.ආයෙත් ඇරලා බැලුවත් හාල් ටික එහෙමම තියෙනවා.මං හිතන්නේ හාල්වල අවුලක් වෙන්න ඕන...කැකුළු හාල් ටිකක් තියලා බලමු...එහෙම කිව්ව මම කැකුළු හාල් ට්කක් ගරලා අරගෙන කුකර් එකට දාල වතුරත්දාලා ආයෙත් පියන වහලා ටික වෙලාවක් බැලුවා...ම්හ්...හාල් ටික බත් වෙන්නේ නෑ.......දැන්නම් අහස උසට බඩිගින්න..."මූ අපිට පිච්චිච එකක්ද කොහෙද දීලා තියෙන්නේ" එහෙම කියපු මම කඩේ එකාගේ මෑණියන්දා සිහි කරමින් හය්යෙන්ම රයිස් කුකර් එකට දඩිබිඩි ගාලා දෙකක් ගැහුවා.

එතකොටම ආශ්චාර්යයක් වුනා වගේ මගේ අත වැදිලා අර පැත්තෙන් තියෙන සුදු පාට පොඩි ප්ලාස්ටික් කෑල්ල පහලට වැටිලා ඒකට උඩින් තියෙන රතුපාට ලයිට් එක පත්තුවුනා.ටික වෙලාවකින් බත ඉදිලා සුවඳ හමන්න වුනා......හම්මේ නිවන් දැක්කා වගේ....කවදාවත් රයිස් කුකර් එකෙන් උයලා නොතිබුණු අපි දෙන්නට ප්ලග් එක ගැහුවට පස්සේ අර ස්විච් එක පහලට දාන්න ඕන කියලා තේරුමක් තිබුනේ නැහැ.සම්බා බතුයි පොල් සම්බලුයි කන්න හිටපු අපිට කන වෙලාවට පහුවෙලා පැය දෙකකට විතර පස්සේ කැකුළු බතුයි ..පොල් සම්බලුයි කන්න වුනා....

පහුවෙනිදා උදේ කඩේ මෑන් කිව්ව විදිහට නූඩ්ල්ස් හදන්න රයිස් කුකර් ඒකට නූඩ්ල්ස් එක කඩලා දාලා වතුරත් ටිකක් වැඩිපුර තියලා ප්ලග් එක ගැහුවා.......ආ....ඔව්...ඔව්... අර ස්විච් එකත් පහලට දැම්මා....ටික වෙලාවකින් ඇරලා බැලුවා.....හප්පේ නූඩ්ල්ස් නම් හැදිලා...හැදිලා කියන්නේ පාප්ප වගේ හැදිලා....මේක දැකපු මට ගණ දෙවි නුවන පහල වුනා....අපේ උදේ කෑමට කෙළවුණ එක ඇත්ත...ඒත් ඉතින් කෑමක් අපතේ දානවා කියන්නේ සහගහන අපරාදයක්...සීනි බෝතලේ ගෙනල්ලා දැම්මා ලොකු සීනි හැඳි දෙක තුනක්...ඊට පස්සේ බත් කූරු ගාන කූරෙන්ම ටිකක් කූරු ගාලා තව වතුර ටිකකුත් දාලා ආයෙත් ටික වෙලාවක් තියෙන්න ඇරියා..ඊට පස්සේ මේ පාප්පේ අරගෙන පිගන් දෙකකට තුනී කරලා පොඩි කිරිබත් කෑලි වගේ හිටින්න කැපුවා.ඊට පස්සේ අයිස් ක්‍රීම් බාජනෙකට බත් කොලයක් එලලා අර කෑලි ටික අඩුක් කරගෙන වැඩට යනකොට ගෙනිච්චා......

ආනේ..... චෝයි කිරි කෑලි.......මාර රහයි ....... කිය කිය අපේ ඔෆිස් එකේ බඩජාරි කෙල්ලෝ ඒ ඔක්කොම ටිකට වගකිව්වා....

පිදුම  -  මේ පොස්ට් එක කියවන අද වෙනතුරුත් තමන් එදා කෑවේ බෙරිවුණු නූඩ්ල්ස් බව නොදත් ඒ කෙල්ලන්ගේ නමින් මේ පොස්ටුව පුදනු ලැබේ..... 

ටටා...

Wednesday, October 16, 2013

රස්සාවේ පලවෙනි දවස - Going Solo 2


ජීවිතේ ඉස්ඉස්සෙල්ලාම රස්සාවට යන දවස.....ඒත් මට කිසිම අමුත්තක් දැනුනේ නෑ.උදෙන්ම චමරියේ අනිත් අයත් එක්ක වැඩට ගියා.අපේ චමරිය තිබුනේ බැංකුවට වඩා සෑහෙන්න දුරින්.කිලෝමීටරයක් විතර දුර මම ඇවිදගෙනම ගියා.ටයි එකක් දාගෙන යන්න ඕන කියලා හිතුනත් වවුලගේ ගෙදර ගියාම එල්ලිලා ඉන්න ඕන නිසා ඒ අදහස අතහැරියා.ඒ දවස්වල අපේ බැංකුව ඒසී කරලා තිබුනේ නැහැ.උදේ පාන්දරම මැනේජර් මහත්තයා වැඩට ඇවිත් තිබුනා.මම වැඩට ගියේ සුමති අය්යත් එක්ක.එදා උදේටයි දවල්ටයි චමරියේ අය ඉව්වේ නෑ.එදා උයන්න තිබුනේ කොස් මහත්තයාට.මිනිහා ටිකක් කම්මැලියා.ඉව්වේ නෑ කියලා සුමති අය්යා උදේම ගෝරනාඩුවක් දැම්මා.

උදේට වැඩට එන ගමන්ම සුමති අය්යත් එක්ක ගිහින් ටවුමේ තේ කඩේකින් ආප්ප කාලා තේ බිව්වා.ගෙදරින් එද්දී තාත්තා දුන්නු රුපියල් 1500 විතරයි මගේ අතේ තියෙන්නේ.ආපහු ගෙදර යනකල් මේකෙන් කොහොමහරි ඇදගන්න ඕන.සල්ලි වියදම් කරන හැටි ගැන මෙතුවක් කල් සීරියස් හිතපු නැති මට එක පාරටම ලොකු බරක් හිතට දැනුනා.තේ බීලා ඉවරවෙලා ඉතිරි ටිකත් ඇවිදගෙනම ගියා.බැංකුවේ බිල්ඩිම ගම් උදාව කාලේ හදපු එකක්.එච්චර ප්ලෑන් කරලා හදපු එකක් නෙවි.කඩිමුඩියේ වැඩ නිමකළ එකක් බව පේන්න තිබුනා.මම ගිහින් ටික වෙලාවකින් මං වගේම පත්වීම් ලැබුණු අනිත් අයත් ආවා.මාත් එක්ක තව පිරිමි ළමයෙකුයි ගැහැණු ළමයි දෙන්නෙකුයි තමයි අපේ ශාඛාවට අනුයුක්ත කරලා තිබුනේ.

අපි හතර දෙනා තමන්ගේ කාමරේට කැදවපු මැනේජර් මහත්තයා අපිට අපේ රස්සාව ගැන හොද අවබෝදයක් ඇතිවෙන කතාවක් කළා.දුෂ්කර ශාඛාවක් නිසා අපිට පුහුණුවන්න වෙලාවක් හෝ පුහුණු කරන්න කෙනෙක් නැති බවත් වැඩ කරමින්ම ඉගෙන ගන්න වෙන බවත් මැනේජර් මහත්තයා කාරුණිකව පැහැදිලි කරලා දුන්නා.ඒ වගේම එතුමා කිව්වා තවත් දෙයක් අදටත් මගේ හිතේ හොදින් මතක හිටලා තියෙනවා."මේ රස්සාව එක අතකට ඔයාලට ලංකාව ඇතුලේ කරන්න පුළුවන් හොදම රස්සාවක් ඒ වගේම තවත් අතකට කරන්න පුළුවන් නරකම රස්සාවක්,කවදාවත් තමන්ගේ ළඟට උදව්වක් ඉල්ලගෙන එන කෙනෙක් කරදරයක් විදිහට හිතන්න එපා.ඒ මිනිස්සු බැංකුවට ආවොත් තමයි ඔයාලට අපිට පඩි ලැබෙන්නේ"අන්න ඒක හොඳට මතක තියාගෙන වැඩ කරන්න.අද වෙනතුරුත් මම ඒ උපදෙසේනම් කඩකරලා නැහැ කියලා මට කියන්න පුළුවන්.

ඊලගට මැනේජර් මහත්තයා අපිට එක එක සෙක්ෂන් දුන්නා වැඩ කරන්න.මම වැටුනේ විමසීම් කවුන්ටරේට.ඇත්තටම එතන ඉන්න කෙනාට බැංකුවේ හැම දෙයක් ගැනම හොඳ අවබෝදයක් තියෙන්න ඕන.මොකද බැංකුවට එන ගොඩක් දෙනෙක් ඉස්සෙල්ලාම එන්නේ විමසීම් කවුන්ටරේට.ඉතින් ඒ අය අදාළ අංශ වෙත යොමු කරන්න ඕන එතනින්.ඉතින් ඉස්සෙල්ලම වැඩට ගිය මට මොන අවබෝදයක්ද ???? මම කරකෝලා අතාරියා වගේ.ඒත් මූණෙන් ඒ බව නොපෙන්නන මං වග බලා ගත්තා.ඒත් ටික වෙලාවක් යනකොට රාජකාරි ජීවිතේ පලවෙනි නා ගැනීම කළා.මං ඒක මීට කලින් කියලා තියෙනවනේ.දන්නැති අය ඒක මෙතනින් බලන්න.උක...ස්‌ පේමන්ට්....

ඔහොම ඉතින් දවල්ට කන වෙලාවත් ආවා.කන එක ගැන මතක වුනේ මගේ අනිත් යාලුවා ඇවිත් ඇහුවමයි.කන්න ඕන වුනත් බත් එකක් ගෙනාවේ නැතිනිසා කොහොමද කන්නේ කියලා හිත හිත ඉන්නකොට කෑම ගේන කෙනෙක් බැන්කුවට ආවා.මෑන්ස් ගෙන් බත් එකක් අරගෙන කටට දෙකට ගිලලා දැම්මා.දවසේ අනිත් ටිකනම් විශේෂයක් නැතිව ගෙවුනා.බදාදා පොළ දවසට තමයි සෙනග වැඩිපුර ටවුමට එන්නේ.ඉතින් ඒක නිසා එදා එච්චරම සෙනග ආවේ නැහැ.ඕපන් කරපු ගිණුම් ටික පොත්පත්වල ලියලා දාලා දවසේ වැඩකටයුතු ටික අහවර කරගත්තා.

කලින් දවසේ ආපු යාලුවටයි මටයි කතාකරන්නවත් වෙලාවක් වුනේ නැහැ.අපි දෙන්නා වැඩ ඉවරවෙලා හවස කතාකර චමරියට ගියා.අනිත් අයත් ආවට පස්සේ ඔක්කොමලා එකතුවෙලා කෑම හදාගෙන කෑවා.ටී වී එකක් තිබුනට හරි හමන් ඇන්ටෙනා එකක් තිබුනේ නැහැ.අනිත් අතට ටී වී බලන්න ඕනා කෙනකුත් හිටියේ නැහැ.සුමති අය්යා ගෙදරින් ගෙනාපු Vcd ප්ලේයර් එකක් තිබුනා.ඉතින් මිනිහා ඉදලා හිටලා ඒකෙ ෆිල්ම් එකක් බලනවා.කොස් මහත්තයාට බෝතලේ තියෙන නිසා වෙන සිහියක් නැහැ.මමයි යාළුවයි කාලා ඉවරවෙලා නිදාගන්න තැන හදාගන්න බැලුවා.තාමත් අර තුන්වෙනි කාමරේ වහපු ගමන්මයි.අනිත් අයත් අපිට ඒ කාමරේ ඕනද කියලවත් ඇහුවේ නැහැ.මේක දැන්නම් හිතට ලොකු ප්‍රශ්නයක් වේගෙන එන නිසා මේ ගැන හෙට වැඩට ගියාම මැනේජර්ට කියන්න ඕන කියලා මමත් මගේ යාලුවත් දෙන්නා තීරණේ කළා.

පහුවෙනිදා වැඩට ගියාම උදේම අපි දෙන්නා මැනේජර් ගාවට ගියා.අපිට නිදාගන්න කාමරයක් නැති විත්තියත් වහපු කාමරයක් තියෙන වගත් අපි මැනේජර් මහත්තයාට කිව්වා.මැනේජර් මහත්තයා චමරියේ බාරකාරයා වගේ ඉන්න සුමති අය්යව ගෙන්නලා මේ ගැන ඇහුවා.බැංකුවේ චමරියක් වුනාට අපි හිටියේ රෙන්ට් එකට ගත්තු ගෙදරක.ඉතින් ඒ ගෙදර අයිති කෙනාගේ හිතවත්  මහත්තයෙක් මේ කාමරේ ඉන්නවා කියලා සුමති කිව්වේ.මේ ගැන මැනේජර් මහත්තයා කලින් දැනගෙන ඉදලා නැහැ.මේ ඉන්න කෙනා ගොඩක් වෙලාවට සති අන්තයේ තමයිලු එන්නේ.ගෙදර පිටු පස්සේ දොරේ යතුරක් එයයි ගාව තියෙන නිසා සති අන්තේ අපේ අය නැතිවෙලාවට ඇවිත් ඒ කාමරේ ඉන්නවා කියලා තමයි සුමති කිව්වේ.මැනේජර් මහත්තයාට හොදටම කේන්ති ගිහින් සුමතිටත් බැනලා අපිට කිව්වා ඒ කාමරේ අස්කරගෙන ඉන්න කියලා.

එදා වැඩ ඇරිලා ගියාට පස්සේ අපි අර කාමරේ ඇරගත්තා.යතුරු කට ගෙවිලා තිබුණු නිසා වෙන්නැති ඉස්සරහා දොරේ යතුර දාලා කරකවද්දී දොර අරුනා.මායි යාළුවයි කාමරේ අස්කරගෙන හිටපු කෙනාගේ රෙදි බඩු බාන්ඩ ටික සාලේ පැත්තකට කරලා තිව්වා.දවස් දෙක තුනකට පස්සේ කාමරේ හිටපු මෑන්ස් ත්‍රී වීල් එකකින් ඇවිත් බඩු ටික පටෝගෙන ගියා.ඒත් අපි දෙන්න දිහා එච්චර හොද හිතකින් නෙවි බැලුවේ.

කාමරේ හොද මෙට්ටයක් තිබුනට මට හිතුනා ඒක අවුවට දාලා ගත්තොත් හොඳයි කියලා.මම මෙට්ටේ අවුවට දාන්න යද්දී තමයි දැක්කේ මෙට්ටේ යට තිබුණු බැලුම් පැකට් එක [ පොඩිවුන් පුම්බන බැලුම් නෙවි ] .දැන් වැඩේ පැහැදිලියි.අර මෑන්ස් මේක ඇතුලේ රිංගලා ඉදලා තියෙන්නේ මොකටද කියලා අපිට සීන් එක තේරුනා.ඒත් එදා අපි හිතාගත්ත විදිහ වැරදියි කියලා ටික දවසකින් අපිට දැනගන්න ලැබුනා.කාමරේ අයිති කරගන්න යාමෙන් පරම හතුරෙක් අපි ඇතිකරගෙන තිබුනා.හැබැයි ඒ අපි හිතපු විදිහට කාමරේ හිටපු මෑන්ස් නෙවි.අපි ඒ වෙනකොටත් දැකලා නොතිබුණු කෙනෙක්.ඒ හින්දම අපිට ගොඩක් කරදර වලට මූනපාන්නත් වුනා.ඒ සිද්දි ඉස්සරහට කියන්නම්...

ප.ලි -  අපිට හතුරුකම් කරන්න ආවේ ගෙදර අයිති කෙනා යටතේ වැඩකළ කෙනෙක්...වැරදියට වටහා ගන්න නිසයි ලිව්වේ...

Sunday, October 13, 2013

තනිව ගිය මග - Going solo


බස් එකේ පිටිපස්සේ සීට් එකේ යන එක ලේසි පාසු වැඩක් නෙවි.මග දිගටම පාර කැඩිලා.අනේ මන්දා අපේ රටේ පාරක් තොටක් හරියට හදන්නේ කවදද මන්දා?......හෙට තමයි මට මගේ ජීවිතේ පලවෙනි රස්සාවේ වැඩ භාරගන්න තියෙන්නේ.හෙටින් පටන්ගන්න ජීවිතේ මොන වගේ වේවිද?මීට කලින් ගෙදරින් පිටනම් ඉදලා තියෙනවා.ඒත් තනියම ඔක්කොම කරගන්න එක ලේසි වෙන එකක් නෑ.ඒත් මං බලාපොරොත්තුවෙන් හිටියේ මේ වගේ දේකට නේද ....අද ඒ චාන්ස් එක මට ලැබිලා තියෙනවා...

පලවෙනි පාර මම උසස්පෙළ කෙරුවේ ගොඩක් බලාපොරොත්තු ඇතිව.ඒත් මම ඒකට හරියට සුදානම් වුනේ නෑ කියලා මට දැන් හිතෙනවා.විභාගේ දවස්වලම වුනු අම්මගේ හදිසි වියෝවත් මට සැහෙන්න බලපෑවා.ඒත් ඒ ඔක්කොටම වඩා හොදටම පිස්සු කෙලිය එක පරහට හිටියා.දෙවැනි පාරත් විභාගේ ලියන්න ඕන කියලා හිතුනේ ප්‍රතිපල ඇවිත් මාසෙකට විතර පස්සේ.මේ පාරනම් විභාගේ හොදට ලිව්වා.ඒත් කෙමෙස්ට්‍රි අවුල් ගියා.දෙවැනි පාර විභාගෙට පන්ති යන අතරේ දවසක් සුදර්ශියේදී යාලුවෙක් ගෙනත් දුන්නු බැංකු විභාගේ ඇප්ලිකේෂන් එක පුරෝලා තැපැල් කලේ එච්චර බලාපොරොත්තුවකින් නෙමේ.ඒත් ඒකෙ තිබ්බ කොන්දේසියකට මගේ හිත ගියා "මේ රැකියාවට ඔබ තෝරා ගතහොත් රටේ දුෂ්කර පලාතක සේවය කිරීමට කැමති විය යුතුය".ගොඩක් උන ඕක දැක්කම පස්ස ගැහුවත් මට ඕනා වෙලා තිබුනේ ඒ වගේ පළාතකට ගිහින් ඉන්න.රස්සාවක් කරනවාටත් වඩා මට ජීවිතේ වෙනසක් ඕනා වෙලා තිබුනා.ගෙදරට වෙලා නිකම් බත් ගිල ගිල ඉන්නවට වඩා ඒක නරක නැත්ද?

බැංකු විභාගේ තිබුනේ ගාල්ලේ.ගිහිල්ලා ඒක ලියලා ආවා.ඊට පස්සේ ඒක නිකම්ම අමතක වෙලා ගියා.දෙවැනි පාර විභාගේ ලිව්වට පස්සෙත් වුනේ නිකම්ම නිකම් ගෙදරට වෙලා ඉන්න.ප්‍රතිපල එනකල් කරන්න දේකුත් නැහැනේ.ඔන්න ඔහොම ඉදිද්දී දවසක් රෙජිස්ටර් ලියුමක් ආවා මගේ නමට.විභාගෙන් පාස් ලකුණු 100 න් 100 යි.කොළඹ ඉන්ටර්වීව් එන්න කියලා තමයි ලියුමේ තිබුනේ.මං ඉන්ටර්වීව් එකට ගියේ අයියත් එක්ක.කොටුවේ ඉස්ටේසමෙන් බැහැලා පාර පැනලා තැපැල් හුවමාරුව ඉස්සරහා තිබ්බ ඉන්ටෙර්වීව් එක තිබ්බ තැනට ගියා.මගේ වාරේ ආවම මං සහතික මිටියත් අරගෙන ඇතුලට ගියා.මගේ පලවෙනි ඉන්ටෙර්වීව් එක.ඒත් අමුතු බයක් මගේ හිතේ තිබුනේ නෑ.පරීක්ෂක මණ්ඩලේ හිටියේ ටයි දාගත්තු සර්ලා දෙන්නෙකුයි මැඩම් කෙනෙකුයි.මගේ සහතික මුකුත් බැලුවේ නෑ.ප්‍රතිපල ලේඛනේ විතරක් බලලා මගෙන් ඇහුවා මගේ විනෝදාංශ මොනවද කියලා.මන් කිව්වා චිත්‍රපටි බලන එක කියලා.අන්තිමට බලපු චිත්‍රපටිය මොකක්ද ඇහුවා.ඒකට මං දුන්නු උත්තරේට එතන හිටපු මැඩම් බිම බලාගත්තා.ඒත් සර්ලා දෙන්නා කිව්වා ඇත්ත කියපු එක අගය කරනවා කියලා.එහෙම කියල මගෙන් ඇහුවා දුෂ්කර පලාතක වැඩකරන්න කැමතිද කියලා.මං ඔව් කිව්වා.එතකොට මට කිව්වා "අපි ඔයාව තෝරාගත්තා,කෙලින් ඇත්ත කතාකරපු එක අගය කරනවා කියලා".

සතියකට විතර පස්සේ පත්වීම් ලිපි ගන්න ආයෙත් කොළඹ එන්න කියලා තිබුනා.තාත්තත් එක්ක ගිහින් ඒක ගත්තා.දැන් වගේ නෙවෙයි මුකුත් උත්සව තිබුනේ නෑ.අපිට සැන්ඩ්විච් එකකුයි බීම එකකුයි දුන්නා.පත්වීම් ලිපිය දුන්නෙත් එතන හිටපු නිලධාරී මහත්තයෙක්.ඒ වෙනකොට මං ඉස්කෝලෙන් අයින් වෙලා හිටියේ නෑ.ඒ නිසා ඒ අය පත්වීම් ලිපිය දෙන්න බෑ කිව්වා.මෙතන හිටියා අර ඉන්ටර්වීව් එකේ හිටපු මැඩම්.මං එයාට ගිහින් ඒ බව කිව්වම එයා පත්වීම් ලිපිය අරගෙන දුන්නා.පස්සේ අස්වීමේ සහතිකේ ගෙනත් දෙන්න කියලා.පත්වීම් ගන්න හිටපු උන්ගෙන් බාලම එකා මම.ඒත් ඉතින් අමුත්තක් දැනුනෙත් නෑ.පත්වීම දීලා තිබුනේ මං බලාපොරොත්තු වුනු විදිහටම දුෂ්කර පළාතකට.ඒ කියන්නේ බුත්තලට.මං ෆුල් ජොලියේ එලියට ඇවිත් ඒක තාත්තට කිව්වා.තාත්තා හිතන්නැති මුට පිස්සු කියලා...ඒත් මුකුත් කිව්වේ නෑ.

සැප්තැම්බර් පළවෙනිදා තමයි වැඩ භාරගන්න තිබ්බේ.අයියයි මායි මොනරාගල බස් එකේ මේ යන්නේ ඒ ගමන.ගමන එන්න කලින් තාත්තා ගෙදරට කතාකරන්න කියලා නොකියා 1100 ෆෝන් එකක් අරන් දුන්නා.තාත්තා කලින් මොනරාගල වැඩකරලා තිබුණු නිසා අපි මීට කලින් දවසක් නවාතැනක් හොයාගන්න බුත්තල ගියා.ඒත් නවාතැනක් හොයාගන්න බැරිවුනා.තාත්තගේ යාලුවෙක් වුනු පතිරණ අන්කල් කිව්වා බැංකුවේ ක්වාටස් එකක් නම් තියෙනවා ඒකෙ ඉඩ නැත්නම් අපේ ගෙදර හරි ඉන්න කියලා.ඉතින් අද යන ගමන ගැන හිතේ තිබුනේ දෙගිඩියාවක්.නවතින්න තැනක නැතුව යන මේ ගමන ආපහු හැරිලා එන්න වේවිද?

විකාර ඔලුවට එන නිසා මං ෆෝන් එක සාක්කුවෙන් අරගෙන ඒකෙ වැඩකෑලි බල බල ආවා.ෆෝන් එකේ ඩිස්ප්ලේ එකේ ටවුමෙන් ටවුමට ටවර්වල නම් මාරුවෙනවා....දික්වැල්ල...තංගල්ල...රන්න...අම්බලන්තොට....හම්බන්තොට.....වීරවිල.....ලුණුගම්වෙහෙර....ලුණුගම්වෙහෙරදී බස් එක තේ බොන්න නැවැත්තුවා.අයියා මාළු පාන් ගෙඩියක් කාලා තේ බිව්වත් මං මුකුත් කෑවේ නැහැ.ඒ දවස්වල මට නරක බඩේ අමාරුවක් තිබුනා.දුර ගමන් යද්දී මං මුකුත්ම මගදී කන්නේ නෑ.කෑවොත් ටොයිලට් යන්න වෙනවා.තේ බිව්වට පස්සේ ආයෙත් බස් එක ගමන පටන් ගත්තා.....ඒත් ආයෙත් එක එක ටවුන් පහුවුනත් ටවර් එකේ නම විදිහට එකම නමක් විතරයි සැරින් සැරේ වැටෙන්නේ....නායබැද්ද.....ගොඩක් වෙලාවට සිග්නල් නැහැ.මාතරින් ගත්තු ඩයලොග් සිම් එකෙන් වැඩක් නැතිවෙයිද?මගේ හිතට හිතුනා.මග දෙපැත්තේම බලන්න තරම් දෙයක් නැති තරම්.අව් කූටකෙට වේලිලා ගිය බැද්ද විතරයි.ඉදලා හිටලා මැටි ගහපු ගෙයක් දකින්න තියෙනවා.බස් එකත් එක වලකින් ගොඩ එනකොටම තව වලක වැටෙනවා.දුෂ්කරකම එන්න එන්නම වැඩිවෙනවා  කියන එක මට තේරුනා.ඊලගට පහුවුනේ තනමල්විල....ඇතිලිවැව..වැල්ලවාය..වැල්ලවායේදී බණ්ඩාරවෙල පැත්තේ කඳු පන්තිය ලස්සනට පේනවා.ෆෝන් එකට හොදටම සිග්නල් ආවේ වැල්ලවායේදී.....පැල්වත්ත.....නාහේ කඩාගෙන යන ගඳක් ආවේ පැල්වත්ත පහුකරනකොට.ඒ ෂුගර් එකේ ගෝඩා ගඳ කියලා අයියා කිව්වා.ඔන්න ඊළඟ නැවතුමෙන් අපි බැස්සා..බුත්තල...කතරගම රජ මාවතේ තොරණ ගාවින් තමයි අපි බැස්සේ.බැහැපු ගමන්ම මං බැලුවේ ෆෝන් එකට සිග්නල් තියේද කියලා.හුටා...සිග්නල් කඳුලක්වත් නැහැ.හිතට ලොකු බරක් ඇතුල්වුණා වගේ දැනුනා.අපි ඇඳුම් බෑග් දෙකත් අරගෙන බැංකුවට ගියා.මැනේජර් මහත්තයා අපි දෙන්නට වාඩිවෙන්න කියලා නවතින්න බැංකුවේ චමරියේ පුළුවන් කිව්වා.අපි ත්‍රීවීල් එකකින් චමරියට ගියා.උදෙන්ම මාතරින් ආපු නිසා කරන්න දෙයක් තිබුනේ නෑ.දවල්ට ගිහින් ටවුමේ කඩේකින් කෑවා.දවල් නිසා චමරියේ හිට්යේ මමයි අයියයි විතරයි.ටික වෙලාවකින් තවත් මං වගේම තවත් ළමයෙක් ආවා.එයයිත් එක්ක ගෙදර ඔක්කොමලා ඇවිත් හිටියා,ඒ අය ඇඳුම් බෑග් තියලා ඒ අය නැවතිලා හිටපු තැනට ගියා.හෙට එනවා කියලා.

හවස්වෙද්දී චමරියේ අනිත් අයත් ආවා.චමරියේ තිබුනේ කාමර තුනයි.එකක සුමති අය්යා හිටියා.අනිත් එකේ ලීලේ අයියයි කොස් මහත්තයයි හිටියා.තුන්වෙනි කාමරේ වහලා යතුරු දාලා තිබුනේ.ඒ කාමරේ ඉන්නේ කවුද කියලා ඇහුවත් අනිත් අය හිමීට ඒ ප්‍රශ්නේ මග හැරලා ගියා.චමරියේ අය රෑට උයාගෙන කන්නේ.අපිත් උදව්වෙලා කරෝල හොද්දකුයි...බතුයි...බොන්චියි හැදුවා.රෑට නිදාගන්න ගියාම තමයි ප්‍රශ්නේ ආවේ.සාලේ ඇඳවල් දෙකක් තිබුනා.අපි ඒකට වෙලා නිදාගත්තා.කැඩීච්ච මෙට්ට දෙකක් තිබුනේ.රෑට මදුරුවෝ විමානේ.නෙට් එකක්වත් නැහැ.උදේ වෙනකල් හරියට නින්ද ගියේ නැහැ.මං උදෙන්ම නැගිටලා අර තුන්වෙනි කාමරේ දොරේ සිදුරට ඇහැ තියලා බැලුවා.ඉර එලිය කාමරේට වැටිලා තිබුනා.හොඳ ඇඳකුයි මේසෙකුයි ඇදුම් රැක් එකකුයි කාමරේ තියෙනවා.ඉස්සෙලාම වැඩට යන්න තියෙන දවස නිසා ඉක්මනට බාත්රූම් ඒකට පැනලා නාගත්තා.ටොයිලට් එක ගැන කතා කරලා වැඩක් නැහැ .අයියට කොළඹ වැඩට යන්න තිබුනා.ඒක නිසා එයයි උදෙන්ම මොනරාගල කොලබ බස් එකට ගියා.යන්න කලින් මේ වගේ තැනක ඉන්න ඕන හැටිත් තවත් ගොඩක් දේ ගැනත් උපදෙස් දීලා ගියේ....අනේ මන්දා හිතාගෙන ආවට වැඩේ ලේසි නැහැ වගේ...
ඒත් මගේ හිත ඒ කාලේ ගොඩක් හයියයි....මොන කරදරේ ආවත් දාලා යන්නේ නෑ කියලා හිතාගෙන තමයි මං ආවේ...බලමුකෝ වෙන්නේ මොකද කියලා....

තුන්වෙනි කාමරේ හිටියේ කවුද???? ඊලග කොටසින් බලාපොරොත්තු වන්න .....

Thursday, October 10, 2013

චූටී.....


චූටී අපේ ගෙදරට ඉස්සෙල්ලම ආවේ 1992 අවුරුද්දේදී.....මට අදටත් හොදටම මතකයි.කවුදෝ කෙනෙක් දවසක් රෑ අපේ සීයාගේ කඩේ ගාව පූස් පැටව් වගයක් අතැරලා ගිහින් තිබුනා.මේ වෙනකොට මාත් ඉස්කෝලේ දෙක වසරේ ඉගෙනගත්තේ.මං උදේ නැගිටලා කඩේ පැත්තට යනකොට චූටී විතරක් කඩේගාව අයිනට වෙලා හිටියා.එයාගේ සහෝදර සහෝදරියෝ ඔක්කොම පාරේ යන වාහනවලට යටවෙලා.අපි ඉස්කෝලේ යන්න බස් එකට නැග්ගේ අපේ කඩේ ගාවින්.මං ඉස්කෝලේ ගිහින් ආපු ගමන්ම බැලුවේ කඩේ ගාව චූටී ඉන්නවද කියලා.ඇත්තටම එයා ඒ දවස වෙනකල් නිකම්ම නිකම් පූස් පැටියෙක් විතරයි.කෙට්ටුම කෙට්ටු ඇගෙන් චූටී පූසෙක් විතරයි.ඒක නිසා එදා ඉදලා මං එයාට චූටී කියලා නම තිව්වා.

මං එනකොට චූටී කඩේ ගාව හිටියේ නෑ.බඩිගින්න වැඩි කමටම අපේ ගෙදර පැත්තට ඇවිත් බිත්තිය අයිනට වෙලා හිටියා.ඒත් අනිත් පූස් පැටව් වගේ දුකෙන් බෑගිරි ගහ ගහ නම් නෙවෙයි.ඒත් ඉතින් මොන පූසටද කිරි බඩිගිනි නැත්තේ.මං ඌව සීයට පෙන්නුවම සීයා ඌට කිරි ටිකක් හදලා දුන්නා.ඌ කිරි ටික බොන අතරේ ඌ එදා ඉදලා අපේ ගෙදර කෙනෙක් කරගන්න මං තීරණේ කළා.ගෙදර කවුරුවත් ඒකට අකමැති වුනා කියලා හෝ කැමති වුනා කියලා මට මතකයක් නෑ.ගෙදර කවුරුවත් ඌව එච්චර ගණන් ගත්තේ නෑ.කොටින්ම අපේ ගෙදර බලු සුරතලා වුනු "බෝතා" වත් අම්මගේ සුරතලා වුනු සුදු පූසවත් ඌව ගණන් ගත්තේ නෑ.ඒ වුනාට මට ඌ ගැන අමුතු ආදරයක් එදා ඉදලම තිබුනා.

කොහොම කොහොම හරි චූටී ටිකෙන් ටික ලොකුවුනා.ඇගෙන් ලොකු වුනත් චූටිගේ කෙට්ටු කමනම් කවදාවත් නැති වුනේ නෑ.ඒක නිසා උගේ ඒ හැටි ලස්සනක් තිබුනෙත් නෑ.මේ දවස්වලම අපේ අම්මගේ සුරතලා වුනු සුදු පූසත් මැරුණා.ඔන්න ඉතින් ගෙදර එකම පූසා වෙන්න චූටිට අවස්තාව ලැබුනා.ඒත් ඉතින් මං කලින් කිව්වා වගේ කවුරුවත් චූටිව ගණන් ගත්තේ නෑ.අක්කයි අයියයි ගිහින් ළඟ ගෙදරකින් පර්සියන් පූස් පැටියෙක් ගෙනාවා.එයයි පූසියෙක්.අපි ඌට නම තිව්වා කිටී කියලා.කිටී ආවට පස්සේ චූටිට ගෙදර තිබුණු තැනත් නැතිවුනා.කිටී ගෙදර සැටිය උඩ හිටියත් කවුරුවත් ගණන් ගත්තේ නෑ.ඒත් චූටී කඩේ ගාව බංකුව උඩ හරි හිටියොත් එලවන්න කවුරුත් අමතක කලෙත් නෑ.ඒත් චූටී මගේ සුරතලා වෙන එකනම් කාටවත් වලක්වන්න බැරිවුනා.

මේ සුරතලා කිව්වත් ඌ මට තිබුනේ එක්තරා ආකාරයක පුදුම ආදරයක්.කවදාවත් ඔඩොක්කුවට අරගෙන සුරතල් කරනවට චූටී කැමතිවුනේ නෑ.එහෙම කරන්න හැදුවොත් මගේ අතේ පාර හිටින්න හූරලා දුවන්න තමයි ඌ පුරුදු වෙලා හිටියේ.ඒත් මං පුටුවේ වාඩිවෙලා ටී.වී. බලනකොට ඇවිත් කකුල් දෙකේ අතිල්ලෙන්න චූටී හරි ආසයි.මේ වෙනකොට කිටී අම්මා කෙනෙක් වෙලා.ගේ පුරාම පූස් පැටව් මහා හයියෙන් කෑ ගහ ගහ දුවනවා.පර්සියන් පූසෝ නිසා උන්ව කාටවත් දෙන එක අමාරු වුනේ නෑ.ඇත්තම කියනවනම් උන් කිටීගේ බඩේ ඉදිද්දිම උන්ට ඕඩර් ආවා.ඒත් ඉතින් මේ පූස් කරදරේ ඉවසන්න බැරිව හිටියේ අපේ ආච්චිට තමයි.ආච්චි කියනවා මේ වසංගතේ ඔක්කොම කොහේ හරි ගිහින් දාන්න කියලා.ඒත් ඒ එක්කම කියනවා අරූගෙන් විතරයි කනක් ඇහිලා ඉන්න තියෙන්නේ කියලා චූටිව පෙන්නනවා.ඇත්ත තමයි චූටී කවදාවත් කෑම ඉල්ලලා අඩනවා මට ඇහිලා නෑ.ඌ ඒ තරම් හොද පූසෙක්.ඒත් මගේ ඒ සිතිවිල්ල වැරදියි කියලා ඊට ටික දවසකට පස්සේ මට තේරුනා.මං දවසක් අමු මාළු කූරියෙක් අරගෙන ඉරෙට්ටක අමුනලා චූටිට පේන්න අල්ලාගෙන හිටියා.ඌ ඇවිත් පනිනකොටම මාළුවා ඉරෙට්ටෙන් ඇදලා ගන්නවා.ඔන්න ඔය ටික ඇති චූටී පිස්සු වැටෙන්න.ඌ මහා හයියෙන් කට ඇරලා කෑ ගහනවා.......ඒත් සද්දයක් වත් නෑ.මං ලංවෙලා හොදට බැලුවා.දෙය්යනේ චූටී කෑගහනවා.ඒත් උගෙන් සද්දේ පිටවෙන්නේ නෑ.චූටී ගොළුවෙක්........අවුරුදු ගානක් ගිහිල්ලත් ඇත්තටම මටවත් අපේ ගෙදර කාටවක්වත් ඒක තේරිලා තිබුනේ නෑ.ඇත්තටම ඒක එහෙම වෙන්න පුලුවන්ද?අදටත් මට ප්‍රශ්නයක්.

ඔහොම ටික දවසක් යද්දී කිටීගේ පැටියෙකුත් අපි සුරතලේට හැදුවා.උගේ නම බූටී.අපේ අක්කගේ සුරතලා.මේ වෙනකොට චූටී ටිකෙන් ටික අපෙන් ඈත් වෙන්න අරන් හිටියේ.හිටපු ගමන් ගෙදරින් අතුරුදන් වෙනවා.ටික දවසකට පස්සේ ඔන්න හිටපු ගමන් රෑට අපි ටී වී බලබල ඉන්නකොට ජනෙල් රෙද්ද අස්සෙන් ඔලුව දාලා බලනවා.හොදට වට පිට බලලා තමයි ගේ ඇතුලට එන්නේ.මේ වෙනකොට චූටිට ඉතාම නරක පුරුද්දක් ඇතිවෙලා තිබුනා.ඒ තමයි හොරෙන් කන එක.ගෙදර කෑම මේසේ ඉටි රෙද්දේ එල්ලිලා ඉටි රෙද්දත් එක්ක භාජන ඇදලා දාලා කන්න තරම් චූටී නරක් වෙලා තිබුනා.ඊලගට බේරගන්න බැරිවුනේ නෙස්ටමෝල් ටින් එක.නියපොතු අස්සට දාලා ඌ ටින් පියන අරින හැටි මගේ ඇස් දෙකට දැකලා තියෙන නිසා මං විශ්වාස කරනවා.නැත්නම් කවුරුවත් හිතන්නේ නෑ පූසෙක් එහෙම ටින් පියන් අරීවී කියලා.චූටිගේ නරක ක්‍රියාකලාපේ නිසා ගෙදර කාටත් ඌව පේන්න බැරුව ගියා.ඌ නිකම්ම "හොර පූසා" කියන අන්වර්ථ නාමේ පටබැඳ ගත්තා.

චූටිගේ තවත් විශේෂත්වයක් වුනේ ඌ කවදාවත් වෙනත් පූසෙක්ටවත් කොටින්ම අහල පහල ගෙවල්වල හිටපු බල්ලෙක්වත් සත පහකට ගණන් නොගත්ත එක.අනිත් පූසෝ පස්සේ බල්ලෝ කොච්චර එලෙව්වත් චූටීව කන්න එක බල්ලෙක්වත් එලවනවා මම දැකලා නෑ.ඔහොම සැහෙන කාලයක් ගතවුනා.ඒ කාලය පුරාවටම චූටිත් අපේ ගෙදර කෙනෙක් වගේම ගෙදර කෙනක් නොවී වගෙත් අපිත් එක්ක හිටියා.මාත් සාමාන්‍ය පෙළ සමත්වෙලා උසස්පෙළ හදාරද්දී පන්ති යෑමේ පහසුවට මාතර නතරවුනා.ඒත් ගෙදර අපු වෙලාවට චූටී මට දකින්න හිටියා.ඒත් ඔහොම ටිකකාලයක් යනකොට චූටිව දකින්න නැතුව ගියා.මං ඒ ගැන ආච්චිගෙන් ඇහුවා.මොකද ආච්චි තමයි උගේ පරම හතුරා වෙලා හිටියේ.එතකොට ආච්චි කිව්වා "වත්ත උඩහට කොළදිවියෙක් පුරුදුවෙලා,ඌටවත් අහුවුනාද දන්නේ නෑ" කියලා.සමහරවිට චූටී කොලදිවියට අහුවෙන්න ඇති.ඒත් එහෙමවුනානම් කොලදිවියටත් සෑහෙන අමාරුවෙන්න ඇති කියලා මට හොදටම ෂුවර්.ඒත් මට සමහරවෙලාවට හිතෙනවා ඉස්සර වගේ එකපාරටම ඇවිත් ජනෙල් රෙද්ද අස්සෙන් ඔළුව දාලා බලාවි කියලා.මේක ලියන වෙලාවෙත් මං ජනේලේ දිහා බලං ඉන්නේ ඒකයි.......

Tuesday, October 8, 2013

ණය නොගෙව්වොත් මොකද වෙන්නේ ????


ඔන්න බැංකුවයි ඔබයි ලිපි පෙලේ කලින් ලිපියේ පොරොන්දුවුණු පරිදි අද මං කියන්න යන්නේ ණය මුදලක් නිසි පරිදි ගෙවාගන්න බැරිවුනොත් මොකද වෙන්නේ කියන කාරණයයි.ඒකත් කලින් ලිපියේ පරිදිම ප්‍රශ්නෝත්තර ආකාරයෙන් ඉදිරිපත් කරනවා ඔබේ පහසුව සඳහා.මං මේකෙදි කතාකරලා තියෙන්නේ ප්‍රධාන වශයෙන්ම බැංකුවලින් ගන්න ණය සම්බන්දවයි.ලීසිං ,ෆිනෑන්ස් වලදී මං මේ කියලා තියෙන කාරණා ටිකක් වෙනස්වෙන්න පුළුවන් හොඳේ...

ණය මුදලක් ගෙවාගන්න බැරිවෙන්නේ ඇයි?

අපි ණය මුදලක් ගැනීමේදී බලාපොරොත්තුවෙන ආකාරයට ණයමුදලක් ගෙවාගන්න සමහරවෙලාවට පිට බැරිවෙන්න පුළුවන්.එකට ගොඩක් හේතු බලපාන්න පුළුවන්.රෝගාබාද ,රැකියාව හෝ ආදායම් මාර්ග අහිමිවීම,ස්වභාවික විපත්,හදිසියේ ඇතිවෙන වෙනත් අත්‍යාවශ්‍ය අවශ්‍යතා නිසා මුදල් වියදම් වීම,ණය මුදල යෙදවූ කටයුත්තෙන් ආදායමක් නොලැබීම වැනි කාරණා මේ අතරින් කිහිපයක්.මේ හේතු දිහා බැලුවම අපිට පේන කාරණයක් තමයි මේ සමහර කාරනා තාවකාලිකව ඇතිවන දේවල්,ඒ වගේම සමහර කාරනා දිගුකාලීනව බලපාන දේවල් කියන එක.ඉතින් අපි අපිට ණය මුදලක් ගෙවාගන්න බැරිවුනොත් එහෙම වුනේ ඇයි කියන එක මුලින්ම හිතලා බලන්න ඕන.ඒක තාවකාලිකව ඇතිවුන දෙයක්ද නැතිනම් දිගින්දිගටම ඇතිවෙන දෙයක්ද කියලා බලන්න ඕන.අපි ඒකට දෙන විසඳුමත් රදාපවතින්නේ ඔන්න ඔය හදුනාගැනීම මත...


ණය මුදලක් ගෙවාගන්න බැරිවුනොත් ඉස්සෙල්ලම මොකද කරන්න ඕන ?

තමන් ගත්තු ණයමුදලක් ඒක වාරිකයක් හරි ගෙවාගන්න බැරි වුනොත් ඉස්සෙලම කරන්න ඕන තමන් ණය ගත්තු ආයතනය ඒ පිළිබඳව දැනුවත් කරන එක.හැබැයි ඕකේ වෙන්නේ අනිත් පැත්ත.ණය දුන්නු ආයතනයෙන් ලියුම් එවලා කෝල් දීලා කියනකම් ණය ගත්තු අය ඒ පිළිබඳව සැලකිලිමත් වෙන්නේ නෑ.එතකොට මුලදීම ඒ ආයතනය ණය ගෙවන්නා පිළිබඳව දුර්මතයක පිහිටනවා.ඊට පස්සේ හැම දේම තීරණය කරන්නේ ඒ මතයේ ඉදලා.ඒක අපිට අවාසිවෙන්න පුළුවන්.ඒක නිසා තමන් ගත්තු ණය හරිහැටි ගෙවාගන්න බැරිවුනොත් තමන් ණය ගත්තු ආයතනය එක්ක තියෙන සම්බන්දය තවත් වැඩිදියුණු කරගන්න ඕන.එතකොට තමන්ට ණය ගෙවාගන්න බැරිවුණු කාරනේට අවශ්‍ය සහනයක් පවා ලබාගන්න පුළුවන්.

ණය මුදලක වාරිකයක් දෙකක් ගෙවාගන්න බැරිවුනොත් මොකක්ද කරන්න පුළුවන්?

ඔබට ගෙවාගන්න බැරිවෙලා තියෙන්නේ ණය මුදලේ වාරිකයක් හෝ දෙකක්නම් [ හිඟ වාරික තුනකට වඩා අඩුනම් ] ඒ ණය මුදල ප්‍රතිව්‍ය්ව්හගත [restructure] කරලා දෙන්න කියලා ඔබට ඉල්ලන්න පුළුවන්.හැබැයි සාධාරණ හේතුවක් මත ණය මුදල ගෙවීම පැහැරහැරී තියෙන්න ඕන.හිතාමතා නය නොගෙවා සිටියොත් මේ සහන කිසිවක් ලබාගන්න බෑ.අනිත් කාරණේ තමයි මෙහෙම සහනයක් එක් ණයකට ලබාගන්න පුළුවන් එක අවස්තාවකදී පමණයි.ඒ වගේම හිග වාරිකවල පොලිය මෙහිදී ඔබ විසින් ගෙවිය යුතුයි.ණය මුදල ගෙවා නිමවන දිනය මෙහිදී ඉදිරියට ගෙනයාමක් තමයි සිද්ද වෙන්නේ.ඒක නිසා වාරිකයේ වෙනස් වීමක් වෙන්නේ නෑ.

ඇපේට තියෙලා තියෙන්නේ දේපලක් නම් වෙන්දේසි කරයිද ?

මේක ගොඩක් දෙනෙකුට තියෙන ගැටළුවක්.මොකද ගොඩක් අය නිවාස ණය ලබාගෙන තියෙන්නේ පදිංචි නිවස ඇපයට තියලා නිසා.මේකෙදි ණය මුදලේ ප්‍රමාණය අනුව විධි දෙකකින් තමයි නීතිය ක්‍රියාත්මක වෙන්නේ.න්‍යා මුදල හෝ ගෙවීමට ඇති ප්‍රමාණය මිලියන 5 ට වඩා වැඩිනම් වාණිජ බැංකුවලට ඇති පරාටේ බලතල අනුව එම බැංකුවල අධ්‍යක්ෂක මණ්ඩල යෝජනා සම්මතයකින් ප්‍රසිද්ද පුවත්පත්වල පළකිරීමෙන් අනතුරුව කෙලින්ම දේපල වෙන්දේසි කිරීමකින් ණය අයකරගනීමේ බලතල තියෙනවා.ණය මුදල මිලියන 5 ට වඩා අඩුනම් බැංකුවලට එහෙම කෙලින්ම දේපල වෙන්දේසියකට යන්න බැහැ.ණය කරුවන් ගෙවීමට පෙලඹවීමට බැංකුවලින් කෙලින්ම දේපල වෙන්දේසි කරනබව පැවසුවත් එසේ කිරීමට බැංකුවලට බලතල නැහැ.මේ තත්වය වෙනස්වුනේ 2011 දී පාර්ලිමේන්තුවේ සම්මත වුනු පනතකින්.ඒ අනුව ණය මුදල අයකරගැනීමට බැංකුවට අධිකරණයේ නඩුවක් පැවරීමට සිදුවෙනවා.ඉන්පසු එහි තීන්දුව අනුව පිස්කල් වෙන්දේසියක් මගින් තමයි බැංකුවලට ණය අයකරගන්න වෙන්නේ.හැබැයි එහෙමෙයි කියලා බැංකුවලින් ගත්තු ණය පැහැර හැරීමනම් නුවණැති කටයුත්තක් නෙවි.මොකද නඩු යනවා කියන්නේ තමන්ගේ මුදල් හා කාලය කියන දෙකම වැයවෙන කාරණයක් නිසා,අනිත් අතට බැංකු ණය මුදල් අයකරගැනීමට දරන සියලු වියදනුත් අන්තිමට ගෙවන්න වෙන්නේ ණයකරුටමයි.

පුද්ගල ඇප දීල තියෙන ණය මුදලක නීතිමය පැත්ත කොහොමද ?

බොහෝ දෙනෙක් දේපල ඇපයට තියෙලා ණය අරගෙන තියෙනවා වගේම පුද්ගල ඇප තියෙලා ණය අරන් තියෙන්නත් පුළුවන්නේ.එහෙම ණයක් ගෙවීම පැහැරහැරියොත් නීතිමය තත්වය මෙහෙමයි.ණය මුදල 250,000/- වඩා අඩුනම් බැංකුවට කෙලින්ම අධිකරණයේ පිහිට පතන්න බෑ.ඊට කලින් සමථ මණ්ඩලයට යොමුවෙන්න වෙනවා.ඒත් අපේ ගොඩ දෙනෙක් මේකේ තියෙන වටිනාකම තේරුම් අරන් නැහැ.සමථ මණ්ඩලය කියන්නේ සාකච්චා මේසයක්.එහිදී කතාබහ කරලා සමථයකට එන්න පුළුවන්.එහිදී යම් සහනයක් ඔබට දෙන්න බැංකුව පොරොන්දු වුනොත් අනිවාර්යෙන්ම ඒ සහනය දියයුතුයි.එසේ නොකර බැංකුව අධිකරණයට ගියොත් ඔබට ඒ සමථ සහතිකය සාක්ෂියක් හැටියට ඉදිරිපත් කරන්න පුළුවන්.හැබැයි ඉතින් එතකොට ඔබත් සමථ තීන්දුව පරිදි අදාළ දිනට මුදල් ගෙවා තිබිය යුතුයි.ණය මුදල ඊට වඩා වැඩිනම් බැංකුවලට පුළුවන් කෙලින්ම අධිකරණයට යන්න.එහිදී ඔබට එරෙහිව ණය අයකරගැනීමේ විධිවිධාන පනත යටතේ සිවිල් නඩුවක් පැවරෙනවා.ඔබ නඩුවට සහභාගී නොවුනොත් නඩුව ඒක පාර්ශ්වීයව විභාගයට ගන්නවා.නීත්දුව ඔබට එරෙහිව ලැබුනොත් බැංකුවට පුළුවන් ඇස්කීසි නියෝගයක් මගින් පිස්කල් මාර්ගයෙන් ඔබේ සහ ඔබේ ඇපකරුවන්ගේ දේපල තහනමට ගෙන විකුණා ණය පියවාගන්න.හැබැයි එහිදී ඔබේ ඇදුම්,අත්‍යාවශ්‍ය බදු බාහිරාදිය සහ රැකියාවට අවශ්‍ය දේවල් තහනමට ගන්න බැහැ.රජයේ සේවකයෙක් නම් රුපියල් 500 ක් ඉතිරි වෙද්දී මුළු වැටුපම ණය මුදලට හිලව් කරන්නත් අධිකරණ නියෝගයක් ගන්න පුළුවන්.ණය මුදලකට විතරක් නෙවි ජංගම ගිණුමකට ගත්තු අයිරාවකට වුනත් මේ නීතිය පොදුයි.ඔබ සතුව ඇති දේපල බැංකුවට හොයාගන්න බැරි වුනොත් ඔබව අධිකරණය ඉදිරියට ගෙනවිත් ප්‍රකාශයක් කරන්න ඔබට අවස්තාව දෙනවා.එහිදී දේපල පිලිබඳ ප්‍රකාශ නොකර බොරු කිව්වොත් සිර දඬුවම් පවා දෙන තරමට නීතිය ප්‍රබලයි.ඔබත් සමහර ණය වලට ඇප වී ඇති..ඒක නිසා පොඩ්ඩක් මේ ගැන සිතන්න...

CRIB [ණය තොරතුරු කාර්යංශය] එකට report වුනොත් ආයෙත් ණයක් ගන්න බැරිද ?

ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශය පිහිටුවලා තියෙන්නේ එක් එක් පුද්ගලයින්ගේ ණයගැතිභාවය සහ ගෙවීමේ හැකියාව පිලිබඳ දර්ශකයක් ලෙස මිසක් ණය නොගෙවන පුද්ගලයින්ට දඬුවම් දෙන ආයතනයක් හැටියට නෙවි.එහෙම වුනොත් ලංකාවේ බාගෙට භාගයකට ණය ගන්න බැරුව යාවි.ණය තොරතුරු කාර්යාංශයේ නොගෙවූ ණය වගේම ගෙවන ණය ගැනත් සටහන් වෙනවා.දැන් online update වෙන නිසා ඔබ හිග වාරික ගෙවූ පසු ඔබ ණය වාරික ගෙවූ බව එහි සටහන් වෙනවා.ඒත් ඉතින් සමහර ආයතන ණය මුදල් නිදහස් කිරීමේදී මේ කාරණය තදින් සොයාබලනවා.ඒත් ඉතින් ගොඩක් වෙලාවට මේ නිසා ඇපකරුවන් වෙලා ඉන්න අයනම් අපහසුතාවයට නම් පත්වෙනවා ඔවුන් ණය මුදලක් ගන්න ගියාම.CRIB ගැන වැඩිදුර විස්තර මෙතනින්..

අක්‍රමික ණය මුදලක් ගෙවන්න හදාගන්නේ කොහොමද ?

ණය මුදලක් අක්‍රමික වෙනවා කියන්නේ හිඟ වාරික තුනකට වඩා වැඩි හෝ අයිරාවක්‌ නම් අනුමත සීමාව ඉක්මවා දින 90 කට වඩා වැඩිව නොපියවී තිබීමයි.ඉතින් ඔබට හැකියාවක් තියෙනවානම් කරන්න පුළුවන් හොදම් දේ තමයි හිඟ වාරික එකවර ගෙවීම හෝ කෙටි කාලයකින් ගෙවන්න වැඩපිළිවෙලක් සාකච්චා කරගැනීම.නැතිනම් නයමුදල එකවර පියවනවානම් පොලී සහනයක් ඇතුව පියවීමට කතාකරගත් හැකියි.ඊට අමතරව ඔබට කලහැකිදේ තමයි ණය මුදල ප්‍රතිලේඛනගත [reschedule] කිරීමට ඉල්ලීම.සාමාන්යෙන් මේ සහනයත් එක්වරක් තමයි ලබාගන්න පුළුවන්.එහිදී සමහර ලිපි ලේඛන නැවත ලබාගැනීමක් සිදුවෙනවා.සමහරවිට ඔබට අලුත් සුරැකුම් ලබාදෙන්න වෙන්න පුළුවන්.ඒ වගේම ඔබේ වාරිකයත් ගෙවන කාලයත් වෙනස්වෙන්න පුළුවන්.පොලියත් විශාල ප්‍රමානයක් ගොඩ ගැසී තිබේනම් එයත් ණයක් විදිහට ගෙවන්න ඉඩපහසුව ලබාගන්න පුළුවන්.මේ ඔක්කොටම වැදගත් වෙන්නේ මං අර මුලින් කිව්ව හොඳ හිත පවත්වාගෙන යාමයි.මේ ආකාරයට ණය මුදල ගෙවනවනම් ඔබේ ගෙවීමේ හැකියාව යහපත් මට්ටමකට පැමිණ තිබිය යුතුයි.

ණය මුදල් රක්ෂණයෙන් ඇති වාසි මොනවාද ?

ණයකරුගේ ජීවිතේට අවදානමක් ඇතිනම් ණය රක්ෂණයක් ලබාගැනීම සුදුසුයි.බැංකුවලින් ඉල්ලන අනිවාර්ය අවශ්‍යතාවයක් නොවුනත් ඔබට හැකියාවක් ඇතොත් ඔබේ ණය මුදල රක්ෂණය කරවාගන්න.එතකොට ඔබට හදිසි කරදරයක් වුනොත් ණය මුදල් පියවීම රක්ෂණය විසින් භාරගන්නවා.ඒ වගේම තමයි වගා ණයක් නම් කෘෂි රක්ෂණ මණ්ඩලයේ රක්ෂණය වෙන්න.මොකද ස්වභාවික විපතකින් වගාවට හානිවුනොත් ණය පියවීමට රක්ෂණය වැදගත් වෙනවා.

ඉතින් ඔන්න ඔය කරුණු කාරනා ටික තමයි මට වැදගත් කියලා හිතුනේ.මට අමතකවුණු දෙයක් හරි ඔයාලට දැනගන්න දෙයක් හරි තියෙනවනම් Comment කරන්න.මගේ දැනුමේ තරමට උත්තර දෙන්නම් මම ඒවාට.බැංකුවයි ඔබයි කලින් ලිපිවලට මෙන්න පාර.කොහොමවුනත් මං හිතනවා මං මේ කියපුදෙවල් ටික කාටහරි වැදගත්වෙයි කියලා....

ටටා....

Wednesday, October 2, 2013

ප්‍රධාන ආරාධිත අමුත්තා......


ස්ථානය - ධවල මන්දිරය ,වොෂින්ටන් ඩී.සී. , එක්සත් ජනපදය.

වෙලාව -  පෙ.ව.5.30 ,2013.10.02

----------------------------------------------------------------------------------------

බබා... බලන්නකෝ මේ ටයි එක හොඳද කියලා...

මොකද වදේ මේ උදේ පාන්දර නැගිටගෙන බෙරිහන් දෙන්නේ,තව චුට්ටක් නිදාගමුකෝ....

අනේ බෑ පැටියෝ.....මෙහෙ බලන්නකෝ....

ම්ම්ම්......උදේ පාන්දර නැගිටගෙන මේ කොහෙද දුවන්න හදන්නේ,අද මුකුත් විශේෂ වැඩක් නැහැනේ.අනිත් එක ඔයා ඊයේ රජයත් වහලා දැම්මානේ.....

මේක විශේෂ වැඩක් බබා....මට ලැබිච්ච ආරාධනාවක්....ප්‍රධාන ආරාධිත අමුත්තා විදිහට....

ඉතින් කොහෙද ඔය ඔකේෂන් එක තියෙන්නේ...New yorkවලද...

ම්ම්ම්....එහේනම් නෙවි...ආ...ඔයා වැඩ්ඩී නම් කියමු බලන්න......

එහේනම් ඉතින් Denver වල වෙන්නැති....ඔයාගේ හොදම චක්ගෝලයෝ ඉන්නේ එහෙනේ....අනේ මටනම් බෑ ඔන්න ඕවට එන්න....

ඔයා එන්න ඕන නෑ....කොහොමත් මේකේ ආරාධනාව එවල තියෙන්නේ මට විතරයි...

ඔයාට විතරයි ආරාධනාව????.....කව්ද යකෝ රටේ ලොක්කගේ නෝනව අමතක කරපු ඒ අලුගුත්තෙරුවා....

හා..හා.... තරහ ගන්නෙපා....මේක මේ අපේ රටේ වැඩක් නෙවි....

එහෙනම් කොහේද ඕක තියෙන්නේ...

ශ්‍රී ලංකාවේ ...පැටියෝ....ශ්‍රී ලංකාවේ.....

ඉතින් මාවත් දාලා ලෝකේවටේ භාගයක් දුර යන්න තරම් මොකක්ද ඔයාට ලැබිලා තියෙන ඔච්චර මහා ලොකු ආරාධනාව....

ඔන්න ඒකනම් කියන්න බෑ....මං ගිහින් ඇවිත් ඔයාට ඔක්කොම විස්තර කියන්නම්කො...ෆොටෝත් අරන් එන්නම්.....මට පරක්කුවෙනවා.....Air Force One එක මං එනකම් Airport එකේ ස්ටාට් කරගෙන ඉන්නේ...අනේ තරහ නැතුව කියන්නකෝ මේ ටයි එක හොදද කියලා....

බැන්දට පස්සේ මෙච්චර කාලෙකට ඔයා මට නොකියා කොහෙවත් ගියේ නෑ...ඉතින් මේ එකපාරටම මොකක්ද ඔයාට වැහිච්ච මලයකා.....මට කියලා ඕන තැනක යන එකයි ඇත්තේ.....

පැටියෝ....මේ අහන්නකො...ඔයා දන්නවනේ...මට ශ්‍රී ලංකාවේ තියෙන්නේ එච්චර හොඳ ප්‍රතිරූපයක් නෙවිනේ....මේක තමයි මට ඒක වෙනස්කරගන්න තියෙන හොදම අවස්ථාව...ඉතින් ඒකයි මේකට නොයා බැරි.මං මේක ඔයාට කිව්වම ඔයාට කොච්චර වුනත් කට පරිස්සම්කරගන්න බැරුව ඕක කියවාවි ජෙනීත් එක්ක.ඉතින් ජෙනී ඕක කියාවි එයා බැඳලා ඉන්න රුසියන්කාරයට.ඔන්න එතකොට මිනිහගෙන් ඕක දැනගන්නවා රුසියාවේ පුටින්.මිනිහා මට කලින් ඔතනට ගිහිං ඕකේ ක්‍රෙඩිට් එක දාගනියි....

එහෙම වෙන්නේ නෑ....මං කොච්චර දේවල්  ජෙනීත් එක්ක කියවලා තියෙනවද...කෝ මුකුත් ප්‍රශ්නයක් වුනේ නෑනේ අද වෙනකම්....

ඒවයි මේකයි වෙනස්...මේක ගොඩා.....ක් වැදගත් අවස්ථාවක්.....

ඉහි......ඉහි......මට දැන් තේරුම් ගන්න පුළුවන්.ඔයා ඔය යන්න හදන්නේ කොහෙහරි ඉන්න සක්කරවට්ටමක් එක්ක රවුමක් ගහන්න තමයි.ඒකනේ මට කියන්න බැරි කාරණාව.....මං ඒත් සැකකළා.....ඒත් දෙය්යනේ මං හිතුවේ නෑ ඔයා මට මෙහෙම කරාවි කියලා.....මම ඇහැරුණ නිසානේ බොරුවට ටයි එක ගැන ඇහුවේ...නැත්නම් හිමින් සැරේ මාරුවෙලා යන්න තමයි මේ උදේ පාන්දර ලකලහස්තිවෙන්න ඇත්තේ...ඇදගෙන ඉන්නෙත් මනමාලයා වගේ......ශ්‍රී ලංකාවේද හනිමූන් යන්නේ....අනේ මං වගේ කරුමක්කාර ගෑනියෙක්....මං ඒත් හිතුවා....ඊයේ බිල් ක්ලින්ටන් කළා වගේ ආණ්ඩුව වහලා දැම්මා...අද මිනිහව ආදර්සෙට අරන් හොර ගෑනු පස්සේ යනවා...මටයි අර කෙල්ලෝ දෙන්නටයි පාරට බහින්න තමයි වෙන්නේ....ඉහි...ඉහි.....මං අදම යනවා අපේ අම්මලාගේ ගෙදර....තමුසේ ඕන කුදයක් ගහගන්න ඒකයි ඇත්තේ ඕන අම්මණ්ඩියෙක් එක්ක...එතකොට කෙනඩිටයි ක්ලින්ටන්ටයි පස්සේ මහා ඉහළින් නම කියෝගන්න බැරිය...හැබැයි තමුසේ හිතන්නෙපා මං තමුසෙට ලේසියෙන් එහෙම ගැලවිලා යන්න දෙයි කියලා....ඔය හිලරි වගේ නෙවි මම....මොකාවුනත් ඔය අම්මණ්ඩිගේ අඩුවක් දෙකක් කඩලා තමයි මං පස්ස බලන්නේ....

-----------------------------------------------------------------------------------------
නොවැලක්විය පෞද්ගලික හේතුවක් මත මාගේ බ්ලොගයේ 100 වෙනි පෝස්ටුව දියත් කිරීමේ මහා මංගල්‍යට සහභාගීවීමට සිටි ප්‍රධාන ආරාධිත අමුත්තාට එයට සහභාගී නොවිය හැකි බැව් මාවෙත දන්වා ඇත.එනිසා මාගේ 100 වෙනි බ්ලොග් පෝස්ටුවේ ප්‍රීතිය සහෘද ඔබ සැම සමග බෙදාගමි.

ආරාධිත අමුත්තා වෙත වෙන්කොට තිබූ 100 වෙනි Follower ගේ ස්ථානයේ මෙතෙක් අසුන්ගෙන නොසිටින Follower කෙනෙකු අසුන් ගන්නා මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

ඔබ සමග එක්ව සිටි වසරක කාලයක් තුරාවට ඔබගේ මුවගට හසරැල්ලක් සහ මනසට දැනුමක් ගෙන ඒමේ මාගේ අදිටන යම් තරමකට හෝ සාර්ථක වී යයි මම සිතමි....ඉදිරියටත් එකිනෙකට වෙනස් බ්ලොග් පොස්ටු සමගින් ඔබ හමුවීමට අදහස් කරමි...එතෙක් ඔබට සැප හා ජය....

මම ඔබේ හිතවත්....

හසරැල්....

Monday, September 30, 2013

නිකං ඉන්න බැරුවට කොරපු වැඩක් - 2



කෝමද මේ දවස්වල දවල්ට රස්නේ...සනීපයිනේ..ඉරිදා ගෙදර ඉන්නකොට දවල්වෙද්දී ටික ටික රත්වෙන්න ගත්තා.කරුමෙට ගෙදරටම තියෙන්නේ ෆෑන් එකයි.දැන් ඉතින් මේ හදිසියට කොහෙන් ෆෑන් හොයන්නද...ඔහොම හිතනකොට තමයි මතක් වුනේ අපේ ගෙදර ඉස්සර තිබිච්ච National ෆෑන් එක.කලින් හොදට වැඩකලත් ටික කාලෙකට ඉස්සර වැඩ කරන්නැතුව ගිය නිසා පැත්තකට දාලා ගබඩා කාමරේ මුල්ලක තියලා තිබුනා.මේක හදලා ගන්න පුලුවන්නම් හරිනේ කියලා හිතුනු නිසා ඔන්න මං වැඩේට අත ගැහුවා.ෆෑන් එක ඒකෙ පාදමෙන් වෙන්වෙලා තිබුනේ.මං ඒකයි මගේ අඬුමිටි ටිකයි අරන් අපේ ගෙදර ගරාජ් එකට ගියා.ඔන්න තියෙනවා මහා ෆෑන් රාජයා තිබුණු විදිහ....



පේනවනේ ගොඩ දාන්න තියා හිතන්නත් අමාරුයි.ඒත් එහෙම කියලා පුළුවනෑ.මේක මුලින්ම මස් කරලා ඉන්නෙපයි..මම වැඩේට බැස්සා...



වැඩේ ලේසි නෑ..ඒත් අත ඇරියෙත් නෑ....

ඔන්න ඔහොම මුලින්ම ඔළුව ගලොගත්තා.දැන් බලමුකෝ කඳ පැත්ත.වයර් දිරලා,බල්බ් පිච්චිලා.දන්න ඉලෙක්ට්‍රොනික් දැනුමෙන් මදේ හදාගත්තා.ආ...ඊට කලින් ගෙදර ළඟ හාඩ්වෙයාර් එකෙන් වයර්නුයි,බල්බ්නුයි ගෙනාවා.....



දැන් කඳ පැත්ත හරි නිසා ඔළුව පැත්ත බලමු.ඔළුවේ ඉතින් වැදගත්ම මොලේනේ.මං ඉතින් ඔපරේෂන් එකෙන් ෆෑන් එකේ මොලේ [මෝටරේ]එලියට ගත්තා.මේ තියෙන්නේ ඒක...



දෙය්යන්ගේ පිහිටෙන් ඒක වැඩ.ඒක නිසා ලොකු බරක් හිතෙන අයින්වුනා.නැත්නම් වැඩේ ඔක්කොම වතුරේ....ඒ අතරේ ෆෑන් එකේ අතපය මූණ එහෙම හෝදලා හොදට අව්වේ වේලා ගත්තා...



දැන් ඉතින් අත පය හයිකරගන්න තමයි තියෙන්නේ.ඔන්න මුලින්ම කකුල පැත්ත හයිකරා...



හොදටම මලකඩ කාලා නේ...ඇල්ලුවා වැලිකොලයක්...දුන්නා පොඩි ස්ප්‍රේ පේන්ට් පාරක්...
කෝමද ලස්සන...

ඊට පස්සේ කඳයි,ඔළුවයි හයි කරන්න පටන් ගත්තා...



චා..චා..මෙහෙම හරි නෑනේ...මේකටත් පොඩි තීන්ත සත්කාරයක් දෙන්න එපාය...ආයෙත් ගැලෙව්වා...දුන්නා තීන්ත සත්කාරයක්...





දැන් ඉතින් අවසාන අදියර,,කෑලි බෑලි ටික සෙට් කොරා...ටෙස්ට් රන් එකක් දුන්නා..බඩු එළකිරි වගේ වැඩ..මාර සතුටුයි...වැඩෙත් ලස්සනට ආවා...මේ ඔක්කොටම මට වියදම් වුනේ රුපියල් 750 කටත් අඩුවෙන්.කඩෙන් ගන්න ගියානම් රුපියල් 7500 කටවත් මේ වගේ හොද ජපන් ෆෑන් එකක් ගන්න බෑ.දැන් ඉතින් තියෙන්නේ චීන ඉලෙක්ට්‍රික් බඩු විතරනේ...ඔන්න බලන්නකෝ හොඳද කියලා...ස්පීඩ් තුනට පාට තුනක්....


මං මුලින් මේ වගේ හදපු පැරණි රේඩියෝ එකේ පොස්ට් එක බලපු නැති අය මෙතනින් ඒකත් බලන්නකෝ....



ගෙහුං එන්නං...ටටා...

linkwithin

Related Posts Plugin for WordPress, Blogger...