චායාරූපය -sltbus.blogspot.com
පහුගිය දොහේ බ්ලොග් ලිවිල්ල එපාවී තිබුනේය.ඒත් ඉතින් එහෙම ඉදලාත් බැරිය.පස්සෙන් පන්නන උන්ගේ මඩ ප්‍රහාර දරාගැනීමට හොද හයිය හිතක් තිබිය යුතුය.අලුත්ම මඩ ප්‍රහාරය දේශකයාගෙනි.ඉවසීමේ සීමාව ඉක්මවා ගිය බැවින් පෝස්ට් එකක් දමන්නට සිතුනි.
අද ඉතින් ලියන්නේ අපේ ගමේ බස් එක ගැනය.ඒක ඔය උඩ තියෙන පින්තුරේ ජාතියේ එකක්ය.60 දශකයේ ඉස්සෙල්ලාම ගමට බස් එකක් ලැබුණි.එතකොට අපි ඉපදීලාවත් නැත.ඊට කලින් අපේ තාත්තලා සීයලා මාතර ගියේ බයිසිකලෙන්ය.ඒකත් නිකම්ම නිකම් පුස් බයිසිකලයෙන්ය.අපේ සීයාගේ හම්බර් බයිසිකලේ තාමත් තිබේ.ඒක තාමත් හොදින් පැදිය ඇහැකිය.දැන් තියෙන චීන ඉන්දියන් ලදරම් වගේ නෙවේය.
කොහොමවුනත් අපේ ගමට බස් එක වැටුණු පසු ගොඩක් දේවල් වෙනස් වුනේය.ගමට ලැබී තිබුනේ මුලින්ම තනි දොරේ බස් එකක්ය.ඒක අවුරුදු ගානක් සේවය කලපසු වැඩිවුණු ඉල්ලුමට ඔරොත්තු නොදෙන නිසා පෙන්ෂන් ගියේය.ඉන්පසු කරලියට ආවේ දැන් තියෙන බස් එකය.මේ කියන්නේ 80 දශකයේදී විතරය.කොහොමවුනත් මං ඉපදුනදා ඉදන් අපේ ගමට එන්නේ මේ බස් එකය.ඒ කියන්නේ අවුරුදු 30 ක් විතර දුවන්නේ මේ බස් එකයි.ඒත් තාමත් වැඩය.මං හිතන්නේ මේ වනවිට එන්ජින් 10 ක් වත් මාරුකරලා ඇතිය.ඒත් ඉතින් ගමේ මොනවා වෙනස්වුනත් බස් එකනම් වෙනස්වුනේ නැතිය.ඒක නිසා ලෝකේ කොහේසිට ආවත් ඇස් දෙක පියාගෙන වුවත් අපිට අපේ ගමේ බස් එක හොයාගත ඇහැකිය..
මාතරින් ගොඩක් ඈත නොවුනත් අපේ ගමට අපි ලොකු මහත්වනතුරුම ආවේ මේ බස් එක විතරය.දැන් ප්‍රයිවට් බස් එකකුත් දුවන නමුත් උන් දුවන්නේ සෙනග ඇත්නම් විතරය.පෝයට උන් සිල් ගනිති.ඉරිදාට දහම්පාසල් යති.හරිම ගුනයහපත්ය.හැබැයි එදත් අදත් එකසේ සේවය දෙන්නේ සීටීබී බස් එක විතරය.සෙනග හිටියත් නැතත් බස් එක හැමදාම දුවන්නේය.තියෙනදාට ගම කෙළවරටම දුවන්නේය.සෙනග නැත කියා මග හිටවන්නේ නැතිය.දුවන්නේ නැත්තේ කැඩුනොත් විතරය.
දැන්නම් බස් එක ගොඩක් දවසට කැඩෙනවාය.එතකොටනම් දැන් ගමේ ඉන්න කොල්ලෝ ආණ්ඩුවේ දෙමව්පියන් මතක් කරති.අපේ කාලයේනම් එහෙමවුනේ නැත.දවසක් අතරමගදී බස් එකේ ගියර් පෙට්ටිය කැඩී බිමට වැටුණි.කවුරුවත් මුකුත් නොකියා බස් එකෙන් බැස පයින්ම ගෙවල් බලා ගියෝය.
දැන් ගමේ ඉන්න පොඩි කොල්ලන්ට බස් එක පොෂ් මදිය.උන්ට දැන් ප්‍රයිවට් බස් එක තියෙන නිසා මේකේ යාම මදිකමකි.ප්‍රයිවට් බස් එක ගමට ආපු කාලයේ ගමේ ගොඩක් උන්ට ඒක "අලුත ගෙනා මනමාලි" වගේ වුනේය.කිරි කිරි සීට්ය.සෙට් එක දැම්මාම පපුවට පයින් ගහන්නා වාගේය.මාතර ඩිපෝවත් ඇරියේ නැත.සීටීබී බස් එකට අලුත් තීන්ත පාරක් දමාදුන්නේය.ගමේ කොල්ලෝ රැලත් වැඩේ ඇරියේ නැත.ගමේ ගෙවල් වලට ගොස් කාගෙනුත් කීය කීය හරි එකතුකොට සීටීබී බස් එකට සෙට් එකක් හා ඩ්‍රයිවර් මහත්තයා ඉන්න තැනට උඩින් LED බලුබ් පත්තුවෙන බුදු පින්තුරයක් සවිකලෝය.අපේ කාලයේ උන් ඒ වගේය.
බස් එකනිසා ගමේ ගොඩක් ළමුන්ට [මා ඇතුළුව] නගරයේ පාසල්වල ඉගෙනීමට අවස්ථාව ලැබුණි.බස් එක කැඩුණුදාට අපි ඉස්කෝලේ යන්නේ නැතිය..නොපැමිණීමට හේතුව ලෙස ලියාගෙන යන්නේද බස් එක කැඩුණු නිසා කියාය.අපේ ගමට තියෙන්නේ එක බස් එකක් විතරක් බව ඉස්කොලෙනුත් දන්නා නිසා සමාව ලැබේ.අද අපේ ගමේ දියුණුවට වැඩියෙන්ම අතදී ඇත්තේ බස් එකයයි කිව්වොත් ඒක බොරුවක් නෙවේය.සීසන් එක අරගෙන නගරයේ ඉස්කෝලවලට ගෑටු අපිවැනි ගොඩක් දෙනෙක් අද ඉන්නා තැන් ගැන බලා සතුටුවිය හැකිය.
බස් එකේ වැඩකළ ගොඩක් ඩ්‍රයිවර් මහත්තුරු කොන්දොස්තර මහත්තුරු අපේම නෑදෑයෝ වගේය.ඒ කාලයේ අපි අවුරුද්දට නෑ ගමන් යනවිට පුළුවන් කමක් ඇතොත් ඒ දෙදෙනාගේද ගෙවල්වල යන්නෙමු.අනෙත් අතට ගමේ අය ඔවුන් ඇමතුවේද අපිම හදාගත් නම් වලිනි.එක ඩ්‍රයිවර් මහත්තයෙක් ප්රභාකරන් වගේය.ඒ නිසා ඔහු නිකම්ම "ප්රභාකරන්" වුයේය.ඊටපස්සේ ඩිපෝවේ අයත් ඔහු අමතන්නේ "ප්රභාකරන්" කියාය.තවත් කාලයක් වැඩකළ කොන්දොස්තර මහත්තයෙක් මිටිය,මහතය.ඒ නිසා ඔහු නිකම්ම "බෝලේ අන්කල්" වුනේය.
කොච්චර හිතවත් වුනත් මේ දෙන්නා සමහර කාලවලට ගමේ උන්ගෙන් හොදහැටි බැනුම් අසන්නේය..ආණ්ඩුවෙන් අලුත් බස් අනිත් පාරවල් වලට දානවිට ගමේ උන්ට ඉහිලුම් නොදෙන්නේය.සමහර උන් හිතන විදිහට අපිට අලුත් බස් එකක් නොලැබෙන්නේ ඩ්‍රයිවර් මහත්තයා සහ කොන්දොස්තර මහත්තයා ඩිපෝවෙන් අලුත් බස් එකක් ඉල්ලන්නේ නැති නිසාය.මේ බස් එක කැඩුනාම ඩ්‍රයිවර් මහත්තයාටයි කොන්දොස්තර මහත්තයාටයි ගෙදර ඉඳං නිකම්ම පඩිකත හැකි නිසාය.හැබැයි ඉතින් target එකට දුවන නිසා බස් එක කැඩුනොත් ඒ දෙන්නාගේත් බඩට වදින බව දන්නේ කීපදෙනෙක් පමණය.
ඒ කාලයේ අපි මහා නීතිවිරෝදී වැඩද කළෙමු.උදේට ඉස්කෝලේ යනවිට අපි සීසන් එක කොන්දොස්තර මහත්තයාට දෙන්නේ නැත.
එයැයි ඉල්ලන්නෙත් නැත.ඉතින් අපි ඒ සීසන් එකෙන්ම හවස පන්තිත් යන්නෙමු.කොන්දොස්තර මහත්තයාද වැඩේ දන්නා නමුත් අපිට මුකුත් කියන්නෙත් නැතිය.ටික්කෝ [චෙකර්ලා] පනින දවසට නම් සීසන් එක කැන්සල් කිරීම අනිවාර්යෙන්ම වෙන්නේය.අපි ඉස්කෝලේ යන කාලයේ ගමේ බස් එකේ කවදාවත් හොරෙන් ගියපු කෙනෙක් අසුවී නැතිය.දවසක් අසරණ සීයා කෙනෙක් [සල්ලි නැති කම නිසාම] අසුවුනි.බස් එකේ සිටි සියල්ලෝම සල්ලි එකතුකර සීයා බේරාගත්තෙමු.
එදා ගමේ කඩේට පත්තරේ ගෙනාවේ බස් එකෙන්ය.හදිසියට අවශ්‍ය දෙයක්,අරක්කු බෝතලයක් මාතරින් ගෙන්නා ගැනීමට අවශ්‍ය වුනොත් පිහිටවුණේ බස් එකය.අදටත් ඒක එසේමය.ගමේ මරණෙට ,මගුලට,දානෙට අනිවාර්යෙන්ම සහභාගී වන දෙන්නෙකි ඩ්‍රයිවර් මහත්තයා සහ කොන්දොස්තර මහත්තයා.ඒ දවස්වල බස් එකේ අපේ ප්‍රියතම පොට් එක ඩ්‍රයිවර් මහත්තයාගේ සීට්එක පිටුපස බැට්රි පෙට්ටියයි.ඒ දවස්වල ලොකුම පොරේ යන්නේ ඔතන යෑමටය.බස් එක ගැන මට වඩා හොද මතක අපේ අක්කාට තිබෙන්නට පුළුවන.එහෙම තිබුනොත් එයෑ ඒක කොමෙන්ට් කොරන් නැතෑ.
එක පෝස්ට් එකෙන් ඉවර කරන්නට සිටියත් අදට මෙතනින් නවතින්නේය........417 හන්දියේ කතා ඊලග පෝස්ට් එකෙන් බලාපොරොත්තුවන්න.
ප.ලි. - මේක කියවපු ගොඩක් දෙනෙකුට අපේ ගම මොකක්දැයි ගැටළුවක් ඇතිවී තිබෙන්නට පුළුවන.417 කියන්නේ අපේ ගමේ බස් එකේ මාර්ග අංකයයි.ඒ නිසා ගමේ කොල්ලෝ රැල ගමේ හන්දිය නිකම්ම 417 හන්දිය කරගත්තෙමු.අපේ ගමට එන්නට ඕනෑනම් ඔය උඩ තියෙන පින්තුරේ print කරගෙන ඇවිල්ලා මාතර බස් ස්ටෑන්ඩ් එකේ ඕනෑම කෙනෙක්ගෙන් අහන්නය.එවිට අපේ ගමේ නම මොකක්දැයි දැනගන්න ඇහැකිය.