Sunday, December 30, 2012

2012 ටටා බයි බායි

2011 වසරේ ආරම්භ කලාට එක ලිපියක් විතරක් ලියපු බ්ලොග් එක මේ 2012 අවුරුද්දේ ඔක්තෝබර් අග නැවත පටන්ගන්න හිතුවා ,මේ මාස දෙකට දැනට 

ලිපි - 23 ක් 

හිට්ස්  - 2047 ක් 

කොමෙන්ට්ස් - 175 ක් (මගේ කොමෙන්ට් ඇතුළුව )

ෆලෝවර්ස්ලා - 32 ක් 

යාළුවො - ගොඩක් 

දැනුම  - හුගක් 

සිනාවන් - කප්පරක් 

බ්ලොග් අවකාශේ නිසා ලැබුනා ,එළබෙන 2013 අවුරුද්දේ මගේ ලොකුම බලාපොරොත්තුව තමා ස්ථාන මාරුවක් අරගෙන ගමට යන එක ,එහෙනම් එළබෙන 2013 අවුරුද්ද බ්ලොග් අවකාශේ ඔබ සැමටමත් ලෝක වාසී සියලු ජනතාවටත් සැපෙන් සෞභාග්යෙන් පිරි සිරි


සුබ නව වසරක් වේවා !


Thursday, December 27, 2012

ආදීතමයා -we are not alone අවසාන කොටස




"කලබල නොවන්න ,සියල්ල යහපත් ආකාරයෙන් පවතිනු ඇත "

මා අවට කිසිවෙකු නොමැතිබව පැහැදිලිය ,කිසිදු කටහඩක් මට නොඇසුණු වගත් සහතිකය ,

එහෙත් හඬ නොනැගෙන පරිදි මාගේ සිතිවිලි වලට කතාකරන්නේ කවුද ?මම දැඩි ලෙස නොසන්සුන් වුයෙමි ,මා පමණක් නොව ඔබ උවද මෙවැනි සිදුවීමකට මුහුනදුනහොත් මෙලෙස නොසන්සුන් වනු ඇත ,

ඔබ කවුද ?මා මේ සිටින්නේ කොහෙද ?

මා කෑගැසුවෙමි ,ඇත්තෙන්ම මා කෑ ගැසුවාද?ඔව් මට එය විශ්වාසය ,එහෙත් මගේ මුවින් ශබ්දයක් පිටනොවුණු වගත් මට විශ්වාසය ,

නැවතත් අර සිතුවිලි මට කතාකරන්නට විය ,

"ඔබ කලබල වී ඇති බව පෙනේ ,ඔබ මෙහි සිටින්නේ අපගේ යම් පරීක්ෂණ කටයුත්තක් සදහා පමණි ,කෙසේ වුවත් ඔබගේ මේ කලබල කාරී මානසික තත්වය අපගේ පරීක්ෂණ කටයුතුවලට බාදාවකි ,

එබැවින් අප කවුද යනවගත් ඔබ මෙහි ගෙන ඒමට හේතුවත් ඔබට දැන්වීමට අප තීරණය කළෙමු ,

ඔබලා විශ්වාස කරන්නේ මිනිසුන් වන ඔබලා වානරයන්ගේ පරිනාමයෙන් ඇතිවූ බව නේද ?එහෙත් ඔබලාගේ පරිනාමන වාදයේ වානරයාත් මිනිසාත් සම්බන්දවන තැන එක් පරිනාමන පුරුකක් පිළිබද කිසිදු සාක්ෂියක් ඔබලාට සොයාගැනීමට නොහැකි වුවා නේද ?එයට හේතුව නම් මෙයයි ,එනම් ඔබලා වානරයන්ගෙන් පරිනාමනය වූ සත්ව කොට්ටාශයක් නොවීමයි .

ඔබලා ඇන්ද්‍රෝමීඩා නමින් හදුන්වන චක්‍රාවාටයේ අස්දා තරුවේ ඉන්ග්රෙස් නම් ග්‍රහලෝකයේ වාසයකරන ඉන්ග්රෙස්වරු අප වෙමු ,අදින් පෘතුවි වර්ෂ ලක්ෂ ගණනකට පෙර අපගේ ඉන්ග්රෙස්වරු අපගේ තාරුකාවේ අවසානය ඉක්මනින් ලගාවන බව දැනගත්හ .තාරුකාවේ අවසානයත් සමගින් අපගේ ග්‍රහලොවේද අවසානය ලගාවන බැවින් අපගේ ජීවයට සුදුසු ග්‍රහලොවක් සොයා අපි අපගේ ග්‍රහලොවින් නික්මුනෙමු .

එසේ පැමිණි අපට ඔබලාගේ ග්‍රහලොව අපගේ ජීවයට සුදුසු තැනක් ලෙස සමුවුනි ,එසේ පැමිණි අප පිරිසෙන් කොටසක් මෙහි රැදෙද්දී අනෙක් පිරිස අපගේ ඉතුරු ඉන්ග්රෙස්වරු මෙහි කැදවාගෙන ඒමට නැවතත් අපගේ ග්‍රහලොව කරා නික්මුණි ,(මෙම සිතුවිලි මට කතාකරද්දී එම සිදුවීම් චිත්‍රපට ශාලාවක මෙන් මා සිටි කාමරයේ බිත්ති පුරා දිස්වන්නට විය )

මෙහි රැදුණු පිරිස අපගේ අනෙකුත් ඉන්ග්රෙස්වරුන්ගේ පැමිණීම වෙනුවෙන් මෙම ග්‍රහලොවේ ඉදිකිරීම්වල නියැළුනහ .අද ඔබලා මහත් අභිරහස් ලෙස සලකන පිරමීඩ ඇතුළු අනෙකුත් නිර්මාණවල මුල් අයිතිකරුවන් අපවෙමු .ඔබලාගේ අනෙකුත් මෝඩ විද්‍යා කටයුතු මෙන් අපගේ නිර්මාණවලද කාලනිර්ණය කිරීම ඔබලාට වැරදීම පුදුමයක් නොවේ .ඔබලා කාලනිර්ණයට යොදාගන්නේ අපගේ නිර්මාණවල පසුකාලීනව ඔබලාගේ මිනිසුන් විසින් ඇදඇති සිතුවම් වැනි දේවල් නිසා එය එක් අතකට පුදුමයක් නොවේ .

මෙහි රැදුණු අපගේ ඉන්ග්රෙස්වරු ටිකකලකින්ම අපට හදුනාගත නොහැකි විකෘර්තිකම් වලට ගොදුරු වන්නටවිය .අපගේ ඉන්ග්රෙස්වරුන් ඔවුන්ගේ කපාල ඉදිමීමකට ගොදුරුවිය ,කපාල පරිමාණය ඉහල ගියත් ඔවුන්ගේ බුද්ධි මට්ටම ඉහල නොගිය අතර එය අපට සිතාගත නොහැකිතරම් පහල මට්ටමකට ඇදවැටුණි .ශරීර ප්‍රමාණය කුඩාවන්නට වූ අතර සිරුර පුරා තිබු රෝම ගැලවීයන්නට විය .නොයෙකුත් රෝගවලට ගොදුරු විය.අප මින් පෙර අත්දැක නොතිබූ මරණය නම් අක්රියවීමකට ලක්වන්නටවිය .මින් පසු ඇතිවූ පරම්පරාව අපට හාත්පසින්ම වෙනස් ජීවින් කොට්ටාසයක් විය .ඉතිරි වූ සුළු ඉන්ග්රෙස්වරු පිරිස වනගතව අදවනතුරුත් ජීවත්වෙති .

විකෘර්ති වූවන්ගෙන් කොටසක් තව තවත් විකෘර්තිවීම් වලට ගොදුරුවීමෙන් අද සිටින වදුරන් ,ගොරිල්ලන් වැනි සතුන් බිහිවිය .එහෙත් අපට ඇතිවූ ප්‍රබලම තර්ජනය එය නොවේ ,තවත් කොටසක් කාලයක් යත්ම තව තවත් විකෘර්තිවීමෙන් ඔබලා වැනි මනුෂයන් බිහිවීමයි .මනසින් අපතරම් දියුණු නොවුවත් ඔබලා යම් තරමක බුද්ධි මට්ටමකට හිමිකම් කියයි ,එහෙත් අපට සිතාගත නොහැකි දෙයනම් ඔබලාගේ මනසේ වැඩුනු වෛරය ,ක්‍රෝධය වැනි සිතුම් පැතුම් පිලිබදවයි .එනිසාම ඔබලා අතර ඇතිවූ යුද්ද නම් සිදුවීම් නිසා මේ වටිනා ග්‍රහලොව පසුගියකාලයේදී නැතිවීයනතරම් තත්වවලට මුහුණ දුනි .

නමුත් වැදගත්ම දෙයනම් මිනිසුන්වන ඔබලා මේ ග්‍රහලොවේ තත්වයන්ට හොදින් හැඩගැසීමයි,මින් වර්ෂ ගණනකට පෙර අපේ ග්‍රහලොව විනාශවිය ,දැනටමත් අපේ අනෙකුත් ඉන්ග්රෙස්වරු මේ ලොවකරා ගමන් අරබා ඇත.

දැන් ඔබට අපි ඔබ අපගේ පර්යේෂණයකට යොදා ගත්තේ ඇයිදැයි පැහැදිලි වී ඇති.අපට අවශ්‍ය අපගේ ඉන්ග්රෙස්වරු මෙහි පැමිණි පසුව නැවතත් විකෘර්ති නොවී පවත්වාගැනීමටයි .අපි ඒ සදහා පර්යේෂණ මට්ටමින් මේවනවිට මනුෂ්‍යයන් යොදා ගෙන ඇත .ඔබත් එහි එක් කොටසක් පමණි .තවත් නොබෝ කලකින්ම මෙහි පැමිණෙන අපගේ ඉන්ග්රෙස්වරුන්ට ඇති ප්‍රබලම අභියෝගයනම් මිනිසුන්ය .

එහෙත් අපි ඔබලා සමග "යුද්ධ "වලට නොඑලබෙමු .ඔබලා අප යටතේ  මේ ග්‍රහලොවේ වාසය කිරීමට අකමැතිනම් මෙහි මුල් අයිතිකරුවන් වන අපට ඔබලාව ස්වභාවික අවසානයකට යොමුකිරීමට සිදුවනු ඇත .අපගේ ඉන්ග්රෙස්වරු පැමිණීමට පෙර ඔබ වැනි අපි අපගේ පර්යේෂණ මිනිසුන් නැවත එක්රැස්කර අවසාන ප්‍රතිකර්මයක් සොයාගන්නට අපි කටයුතු කරමු  .දැනට එපමනයි,

"සර්,සර් "

මට සිහිය එනවිට මා දුටුවේ මා දෙස බලා සිටින මාලිබුය.මා වටා අනෙක් අයද එක්රැස්වී සිටියහ .

මට මොකද උනේ ?මම විමසීමි 

සර් කැළේ පැත්තට ඇවිදගෙන ආවනේ දැන් විනාඩි පහකට විතරකලින් .මම සර්ව හොයාගෙන එනකොට සර් මෙතන වැටිලා හිටියා .

මොනවා.මං ඇවිදින්න ඇවිත් තාම විනාඩි පහද ගියේ ?

ඔව් සර් ,ඇයි එහෙම ඇහුවේ ?

එතනින් මගේ සංචාරය අවසන්කළ මම නැවත මව්බිමට පැමිණිමි.එදා සිද්දියෙන් පසු මාගේ මනසේ සහ සිරුර අභ්‍යන්තරයේ වෙනස්කම් මට දැනේ .මා මේ පිලිබදව මාගේ හොදම වෛද්‍ය මිතුරෙකු හමුවී මුළු සිද්දියම ඔහු හට පැවසීමි.ඔහු සිනා මුසු මුහුණින් මගේ පිටට තට්ටුකොට "උබට විකාර "යයි පැවසීය .

මා මුලින් කියුපරිදි මෙම කතාව පිළිගැනීම හෝ නොගැනීම ඔබ සතු කාර්යයකි ,මම මේ දේ පමණක් ඔබගෙන් විමසමි නූතන විද්‍යාවට අසුනොවන සියල්ල බොරුද ?

නිමි .

මවිසින් 10 ශ්‍රේණියේදී පාසලේ බිත්ති පුවත්පතකට ලියු විද්‍යා ප්‍රබන්දයක් ඇසුරිනි.




Wednesday, December 26, 2012

අවුරුදු අටකට කලින් අද වගේ දවසක


2004 දෙසැම්බර් 26 

මාතර අපි වගේම මුළු රටම මුහුණදුන් අදුරු දවසක් ,එදා අපි කවදාවත් අහලා නොතිබුණු කවදාවත් දැකලා නොතිබුණු මහා විනාශකාරී සුනාමි දල රල පෙළ අපේ රට වෙලා ගත්ත දවස ,එදා ඉරිදා දවසක් ,ඒ වගේම පසලොසවක පෝය ,ඒ කාලේ සමහර දවස්වලට මාතර beach road  එක කොහොමත් මුහුදු රලවලින් වැහෙනවා ,ඒකනිසා එදා කොටුවේගොඩ ඉරිදා පොලට ආපු අය මුලින් ආපු පොඩි රළපහර ගනන්ගන්න නැතුව ඇති ,

කොහොමුනත් එදා ආපු දල රලපෙල අපගේ සමීපතමයන් රැසක් අපගෙන් වෙන්කළා .එදිනට පසු දින සිට සතියක් පමණ යනතෙක් මම සහ මගේ ගමේ යහළුවන් රැසක් සහනසේවාවල ස්වේච්චාවෙන් නියුතු උනා ,ඒ සතිය තුල අත්දුටු අත්දැකීම් මිනිසෙකුට තම මුළු ජීවිත කාලයතුලදීම සමහරවිට ලබාගන්න බැරිතරම් කියලා මට  හිතෙනවා .
මනුෂ්‍ය ජීවිතයේ අනිත්‍ය බව තේරුම් ගැනීමට එවැනි අවස්ථාවක් මිනිසෙකුට තමන්ගේ ජීවිතයේදී නොලැබෙන්න පුළුවන් .

එදා සුනාමි රල පහරට ලංකාවේ දකුණු නැගෙනහිර සියලුම වෙරළාසන්න නගර විනාශ වුනත් මාතර නගරයේ කොටුවේගොඩ හැර නගරයේ අනෙත් කිසිදු පෙදෙසක් සුනාමි රල පහරට ගොදුරු වුනේ නැහැ ,ඒක ඔයාලට තේරුම්ගන්න ලේසිවෙන්න ඔන්න මම පහල පින්තුරය දානවා .
පැහැදිලි මදිනම් ටිකක් ලොකුකරලා බලන්නලා හොදේ.



මාතර නගරය හරහා ගලා යන නිල්වලා ගඟ තියෙන්නේ මාතර නගරයට වඩා ගොඩක් පහලින් ,ඒක නිසා මුහුද දෙසින් ආපු රල පහර කොටුවේගොඩ ප්‍රදේශය හරහා ඇවිත් කෙලින්ම නිල්වලා ගඟට වැටුනා ,එහෙම වැටුණු රල පහර ගඟ දිගේ ඉහලට සහ පහලට ගලාගෙන යාම් නිසා එහි රුදුරු බව අඩුවුනා ,ඒ වගේම ගඟ නගරයට වඩා පහලින් ඇතිනිසා මුහුදු රල ගඟෙන් මෙහාට ආවෙත් නැහැ .ඔන්න ඔහොමයි ගඟ නිසා මාතර නගරය බේරුනේ .

එදායින් අවුරුදු 8 ට පස්සේ අද වෙනකොට ගොඩක් දෙනෙකුට ගොඩක් දේවල් අමතකයි ,හැබැයි රටක් විදිහට අපේ රට ඉතිහාසයේ මුහුණදීපු ලොකුම ස්වබාවික විපතෙන් මේ තරම් ඉක්මනට නැගිටපු එක ගැන අපිට ශ්‍රී ලාංකිකයින් වශයෙන් සතුටුවෙන්න පුළුවන් .


මාතර සුනාමි ස්මාරකය 

මාතර අපි අතරින් වෙන්වුණු පිරිස වගේම පැරලියේදී සුනාමි දුම්රියේදී ජීවිත හැරදා ගිය අපේ සහෝදරයින් ,ඒ වගේම මේ විපතින් අපට අහිමිවුණු මුළු ශ්‍රී ලාංකික ජනතාවම සිහිකිරීම අපේ යුතුකමක් .හැබැයි ඒ අවුරුද්දකට සැරයක් දෙසැම්බර් 26 විතරක් නෙමෙයි .අපට පුළුවන් හැමවෙලාවකම .







Monday, December 24, 2012

ආදීතමයා - we are not alone - 2


මුල් කොටසට 

මාගේ මග අවුරා සිටියේ දැවැන්ත මුගුරක් අතින් ගත් වානරයාය ....

මට අත්වන්නට යන ඉරණම ඉදිරියේ මාගේ දෙපා පන නැතිවී යන ආකාරයක් මට දැනුනි ,සමාවන්න මුලදී මට මේ සත්වයාගේ ස්වරූපය ඔබට විස්තර කිරීමට බැරිවිය ,වානරයෙකු ලෙස මම මේ සතා නම් කලේ මා දැක ඇති සතුන් අතරින් මොහු වඩාත් සමීපවන්නේ එම සත්වයාට බැවිනි ,එහෙත් දැන් මට අඩි කිහිපයක් නොදුරින් සිටින මේ සත්වයා වඩාත් හොදින් විස්තර කිරීමට මට හැකිය .

මේ නම් මිහිපිට වසන සත්වයකු නොවන බවනම් මට දිව්රා කිවහැක.උසින් අඩි දහයක පමණ දැවැන්ත සිරුරකට හිමිකම් කියන මේ සත්වයාගේ සිරුර පුර ඝන රෝම වැවී තිබුනි .දෙපයින් සිටගෙන සිටි ඔහු  ( සත්වයෙකුට මේ යෙදුම මා යෙදුවේ ඇයිදැයි ඉදිරියේදී ඔබට පැහැදිලිවනු ඇත )දෙපසින් මිනිසෙකුට වඩා දිගු අත් දෙකක් එල්ලෙමින් පැවතුනි .වඩාත් පුදුම ජනක දෙයනම් ඔහුගේ මුහුණයි ,ඒ නම් කිසිසේත්ම වානර මුහුණක් නොවේ ,ඒ නම් මනුෂ්‍ය මුහුණකි .

ඔහුගේ අතේ තිබුණු මුගුර කිසිසේත්ම ලී දණ්ඩක් නොවේ ,මා සිතන ආකාරයට කිසියම් ලෝහයකින් තැනූ නිල් පැහැති යෂ්ටියකි ,එය මිනිසෙකුගේ හදගැස්ම මෙන් වරින් වර වර්ණය වෙනස් වෙමින් යම්කිසි ජීවයක් පවතින ආකාරයෙන් දිස්වුනි .

එක්වරම එම යෂ්ටිය මා දෙසට දිගුකල ඔහු එහි කෙලවරින් මාගේ නළලත ස්පර්ශ කළේය ,එවිට මා හට ඇතිවූ අවසන් ස්මරනයනම් මා අධික ශීතල අයිස් දණ්ඩකින් ස්පර්ශ වුවා වැනි හැගීමකි ,කෙසේ වුවත් ඉන්පසු මා සිහිමුර්ජා වුවා වියයුතුය .

මා කොතරම් වෙලාවක් එසේ සිටියාදැයි නොදනිමි .නැවත සිහිය පැමිණෙනවිට මා සිටින්නේ කාමරයක් තුල බව මා හට හැගුණි .කාමරයක් යයි කීවාට එහි බිත්ති පෙනෙනෙන්නට නොතිබිණි ,මා වටාම අර සත්වයාගේ අතේ තිබූ යෂ්ටියේ මෙන් නිල් පැහැය ගැස්මකින් යුතුව පැවතුනි .මා මාගේ අත් පා සෙලවීමට උත්සාහකලද එය කලනොහැක්කක් බව මට පෙනුනි .වැදගත්ම දෙයනම් කාලය ගලායාම පිළිබද කිසිදු හැගීමක් නොවීමයි .මට කිසිදු වෙහෙසක් නොදැනුනි ,වානරයා හමුවන අවස්ථාවේ මා කුසගින්නකින් සිටි නමුදු දැන් එයද නොමැත ,

එසේනම් මේ මරණය වියයුතුය ,මට එසේ සිතුනි ,නැත එසේ විය නොහැක,මරණය සිදුවීනම් භෞතික ශරීරයක් පැවතිය නොහැක,එසේනම් මා සිටින්නේ කොහිද ?

"කලබල නොවන්න ,සියල්ල යහපත් ආකාරයෙන් පවතිනු ඇත "

මා අවට කිසිවෙකු නොමැතිබව පැහැදිලිය ,කිසිදු කටහඩක් මට නොඇසුණු වගත් සහතිකය ,

එහෙත් හඬ නොනැගෙන පරිදි මාගේ සිතිවිලි වලට කතාකරන්නේ කවුද ?.....

මතු සම්බන්දයි 

මේ සිදුවීම සිහි කරන විට මාගේ මනස දැඩි නොසන්සුන්තාවයට පත්වේ ,එබැවින් දීර්ඝ ලෙස කතාව ගොනුකිරීම මට මේ වෙලාවේ ඉතා අපහසුය .මාගේ ස්නායු කම්පනයට පත්වී ඇතිබව මාගේ දොස්තරවරු ප්‍රකාශකර සිටිති ,එබැවින් මින් ඉදිරියේදී වූ සිදුවීම් ඉදිරියේදී ඔබහට ගෙන ඒමට බලාපොරොත්තුවෙමි ,මෙම කතාව පිළිගැනීම හෝ නොගැනීම ඔබ සතු කාර්යයකි ,මම මේ දේ පමණක් ඔබගෙන් විමසමි නූතන විද්‍යාවට අසුනොවන සියල්ල බොරුද ?


Saturday, December 22, 2012

ආදීතමයා - we are not alone


මෙම කතාව කොතනින් පටන් ගත යුතුදැයි තවමත් මට සිතාගත නොහැක ,එය ඇත්තටම සිදුවුනක්ද නැතහොත් මාගේ සිතේ ඇතිවූ මායාවක්ද යන්නවත් මේ ලියන මොහොත් වනතුරුත් මට සිතාගත නොහැක ,කෙසේවුවත් එය මෙසේ ගොනු කර තැබීමට මම සිතමි ,අනාගතයේ දිනක හිටිහැටියේම මා සොයාගත් නොහැකි වුවහොත් මා මේ දැන් කියන සිද්දිය එයට කෙලින්ම වගකිවයුතු බවත් සටහන් කරතබමි ,

කුඩා කල පටන්ම වනගත ප්‍රදේශවල සංචාරය කිරීමටත් වනජීවින් නැරබීමටත් ආසාවක් ඇතිවුයේ කෙසේදැයි මට අදටත් සිතාගත නොහැක ,සමහරවිට පෙර ආත්මයේ සිට ගෙන ආ සංසාර පුරුද්දක් යයි මට සිතේ ,වයසින් වැඩෙත්ම මගේ මේ ආශාව වනජීවී චායාරූප කරණයට මා යොමුකරලීය ,

රැකියාවෙන් නිවාඩුවක් ලද විගස ලංකාවේ යාල ,විල්පත්තු වනෝද්‍යාන කරා මා පිටත්ව යන්නේ මිටින් හල කුරුල්ලෙකු විලසිනි ,මෙලෙස සංචාරයකදී මා ලබාගත් චායාරූප කිහිපයක් මාගේ සොහොයුරා මා හටත් නොදන්වා NATIONAL GEOGRAPHIC සගරාව මගින් අන්තර්ජාලය මගින් සංවිදානය කරන ලද චායාරූප තරගයකට යොමු කර තිබුණි ,

යාල වන මැදදී මා චායාරූපයට නැගු තුන්පත් රෑනේ චායාරූපයට එම තරගයෙන් පළමු ස්ථානය ලැබී ඇති බව දන්වා මා හට ඊ මේලයක් ලැබී තිබුනේ පසුගිය මාසයේය ,මුදලින් ඩොලර් 2500 ක් සහ කොන්ගෝ රාජ්‍යයේ වනගත පෙදෙසක සතියක සංචාරයකුත් ඒ සදහා ත්‍යාග වශයෙන් මට පිරිනැමෙන බව එහි වැඩිදුරටත් සටහන්ව තිබුණි .

නෑ සියන්ගෙන් සමුගෙන කටුනායක ගුවන් තොටුපොලෙන් නික්මුණු මම මැදපෙරදිග හරහා දීර්ඝ වෙහෙසකර ගුවන් ගමනකින් අනතුරුව කොන්ගෝ රාජ්‍යයේ කින්ශාෂා අගනුවරට පැමිණුනෙමි.මා පිළිගැනීමට සංචාරක ඒජන්ත" මාලිබු "පැමිණ සිටියේය ,එදින රාත්‍රිය කින්ශාෂා නුවර හෝටලයක ගතකල මා පසුදින කොන්ගෝ වනපෙතේ කුඩා ගම්මානයක් කරා මට සපයාදී තිබූ මෝටර් රථයෙන් පිටත් වුනෙමි .මා සමග මාලිබු සහ අපේ කෝකියා ලෙස උම් -බා -කේද ගමනට එක්වුනි ,

දින 2 ක පමණ දුෂ්කර මං පෙතක් ඔස්සේ ගමන්ගත් මා ඇතුළු පිරිස එම කුඩා ගම්මානයට ලගාවුනි ,ගමේ ප්‍රදානියා විසින් සපයාදුන් නවාතැනේ එදින ගතකල අපි පසුදින අපේ කූඩාරම් සහ ආම්පන්නද රැගෙන වනයට පිවිසීමු ,මගපෙන්නීමටද අපේ භාණ්ඩ රැගෙන යාමටද පෝටර් වරු දෙදෙනෙක් ගම්පතියා විසින් ලබාදුනි .

පැය හයක පමණ වෙහෙසකර පාගමනකින් අනතුරුව තැනිතලා හිස් බිම්කඩක අපි අපේ කූඩාරම් අටවාගත්තෙමු ,එදින රාත්‍රී සහ පසුදින මාගේ සිතුම් පැතුම් මල්පල ගන්වමින් සීබ්‍රා ,සිංහ ,ඇන්ටිලොප් ,ජිරාෆ් සතුන් රැසක් මාගේ කාචයට හසුකර ගැනීමට මම සමත්වුනෙමි ,ඉන් පසු නැවතත් ගමන් ආරම්බ කල අපේ පිරිස වනගහනය ඇති ප්‍රදේශයකට ලගාවූ පසු එහි කදවුරු තැනීමට මම යෝජනා කලෙමි ,

කදවුරු තනන විට ගම්මානයෙන් පැමිණි පෝටර්වරු දෙදෙනා තරමක් නොසන්සුන් ආකාරයෙන් හැසිරෙන බවක් මට පෙනෙන්නට තිබු බැවින් මම මාලිබු මගින් ඔවුන්ගෙන් ඒ ඇයිදැයි විමසුවෙමි ,පිළිතුරු ලෙස වනයට අතදික්කල ඔවුන් ඔවුන්ගේ භාෂාවෙන් මොන මොනවාදෝ කියාගෙන කියාගෙන ගියේය ,මාලිබු විසින් මට පැහැදිලිකරදුන් ආකාරයට මෙම පෙදෙස වාසය කරන දැවැන්ත වානරයන් පිරිසක් නිසා ඔවුන් නොසන්සුන් වී ඇති බව මම දැනගත්තෙමි ,

මාගේ වනජීවී චායාරූපකරන දිවියේ මා කවදත් අනතුරුදායක අවස්ථාවන්ට මුහුණ පා ඇත්තෙමි ,අනතුරුවලට බියක් ඇතිනම් ඔබට කිසිදා මෙවන් කටයුත්තකට එලබිය නොහැක ,අනිත් අය කූඩාරම් සකස්කරන අතරතුර මාගේ කැමරාවත් රැගෙන මා කදවුරු භූමියෙන් බැහැරට ගමන් කලෙමි ,එක් වරම මා දුටුවේ මා සිටි දෙසට වම් දිසාවෙන් ඇවිද යන දැවැන්ත වානරයෙකි ,මාගේ විමතියට හේතු වුයේ මෙය නොවේ ,එම වානරයා නැතහොත් ගොරිල්ලා (ඇත්තටම එම සත්ව විශේෂය කුමක්දැයි මා අදටත් දන්නේ නැත )මිනිසෙකු මෙන් දෙපයින් ඇවිද යාමයි .

මට එක්වරම සිහිවුයේ බිග් ෆුට් නැතිනම් යෙටි වැනි තවත් සත්වයෙකු වියහැකියි යන්නයි ,විද්‍යා ලෝකයට මෙතෙක් අභිරහසක්ව පවතින මෙවන් සතෙකු චායාපරූයට නගාගතහොත් එය මිල කල නොහැකිවනු ඇත යන්න එක්වරම මගේ සිතට නැගුණි ,ඇත්තටම එම සිතිවිල්ල මට ඒ වෙලාවේ අතිනොවුවානම් වඩා හොදයැයි මට දැන් සිතේ.

මා සිටිදෙසින් කෙමෙන් නික්ම යන එම සතා පසුපස ශබ්ද නොනැගෙන සේ මා ලුහුබන්දේ වඩාත් පැහැදිලි චායාරූපයක් ලබාගැනීමේ අරමුණෙනි ,හැම අවස්ථාවකදීම ගහකට හෝ ගසක සෙවනල්ලකට අසුවීම නිසා මිනිත්තු පහක් පමණ ගතවනතුරුත් මට චායාරූපයක් ගැනීමට නොහැකිවිය ,කෙමෙන් කෙමෙන් නොසන්සුන් තාවයට පත්වූ මම දුටුවේ එම වානරයා එක් වරම දැවැන්ත රුකක් අසල නැවතුනු ආකාරයයි ,

ඉතා පරිස්සමින් වෙනත් ගස්වලට මුවාවෙමින් මම එම දෙසට ලන්වුනෙමි ,මා පුදුමයට පත්කරමින් එක්වරම එම වානරයා දක්නට නොසිටියේය ,අවට පරීක්ෂා කර බැලූ නමුදු කිසිවක් සොයාගත නොහැකිවිය ,ඉතා කනස්සල්ලට පත්වූ මා ආපසු යන්නට හැරුණි ,

මාගේ මග අවුරා සිටියේ දැවැන්ත මුගුරක් අතින් ගත් වානරයාය ....

මතු සම්බන්දයි 

මේ සිද්දිය සිහි කරන විට මාගේ මනස දැඩි නොසන්සුන්තාවයට පත්වේ ,මාගේ ස්නායු කම්පනයට පත්වී ඇතිබව මාගේ දොස්තරවරු ප්‍රකාශකර සිටිති ,එබැවින් මින් ඉදිරියේදී වූ සිදුවීම් ඉදිරියේදී ඔබහට ගෙන ඒමට බලාපොරොත්තුවෙමි ,මෙම කතාව පිළිගැනීම හෝ නොගැනීම ඔබ සතු කාර්යයකි ,මම මේ දේ පමණක් ඔබගෙන් විමසමි නූතන විද්‍යාවට අසුනොවන සියල්ල බොරුද ?


Friday, December 21, 2012

එසැනින් පුවත් - Breaking News



මෙන්න දැන් ලැබුණු පුවතක් ,

අද දිනට නියමිතව තිබූ ලෝක විනාශය නොවැලක්විය හේතුවක් මත දින නියමයක් නැතිව කල් දමා ඇත ,

ලෝක විනාශය පිළිබද මහත් බලාපොරොත්තු තබාගෙන සිටි අයවලුන් වෙත ඔවුන්ගේ කනගාටුව ප්‍රකාශකර මායාවරුන් විසින් පවත්වනලද මාධ්‍ය සාකච්චාවකදී මේ බව ප්‍රකාශවිය ,

මෙන්න ඒ පුවත නැවතත් ......

අද දිනට නියමිතව තිබූ .............

Wednesday, December 19, 2012

අධිවේගී මාර්ග සහ ශ්‍රී ලංකාවේ ප්‍රවාහනය


බ්ලොග් අවකාශේ ඉන්න කවුරු කවුරුත් තම තමන්ගේ බ්ලොග්වල එක එක දේ ගැන විචාර දානවනේ ඉතින් මටත් හිතුනා විචාරයක් දාන්න ,සමහරවිට මේ මාතෘකාව ටිකක් විවාද සම්පන්න වෙන්න පුළුවන් ,කොහොම උනත් මං අද කතාකරන්න බලාපොරොත්තුවෙන්නේ ලංකාවේ අධිවේගී මාර්ග ඇතුළු මාර්ග පද්දතිය සහ ලංකාවේ ප්‍රවාහන පද්දතිය ගැන ,

කවුරු කවුරුත් පිලිගන්නවා ඇතිනේ ලංකාවේ මාර්ග පද්දතිය පසුගිය වසර 10 ක පමණ කාලයක් ඇතුලත සීග්‍රයෙන් දියුණු වෙලා තියනවා කියලා ,ඒ කාලයේ ලංකාවේ A ශ්‍රේණියේ මාර්ගවල පවා අඩියෙන් අඩියට  අලි නාවන තඩිවලවල් තිබුනනේ ,ඒ උනාට දැන් A ශ්‍රේණියේ සියලුම මාර්ග හොදින් කාපට් අතුරා සකස්කර තිබෙනවා .ඒක දකුණට විතරක් නෙමෙයි උතුරු නැගෙනහිරටත් අදාලයි ,ඇත්තටම මට මේ පොස්ට් එක ලියන්න හේතුවුනෙත් පසුගිය සතියේ මම මඩකලපුව ඇතුළු නැගෙනහිර කල සංචාරයක් නිසයි ,මාතර ඉදලා මඩකලපුව වාකරේ හරහා ත්‍රිකුණාමලය දක්වා එකදු මඩ වලකවත් නොවැටී රථයක් පැදවීමට මට හැකියාව ලැබුනා ,

මේ තත්වය අපි සංසන්දනය කලයුත්තේ පසුගිය කාලයත් එක්කයි ,කෙනෙක් කියන්න පුළුවන් උතුරු නැගෙනහිර මාර්ග දියුණු නොවුනේ යුද්දය නිසයි කියලා ,ඇත්තටම ඒක වැරදියි ,එහෙනම් ඒ කාලේ දකුණේ මාර්ග දියුණු උනාද ?නැහැනේ ,ඇත්තටම නිදහසින් පසු කිසිම නායකයෙක් හෝ රජයක් මාර්ග පද්දතිය දියුණු කිරීමට කිසිදු උත්සාහයක් දැරුවේ නැහැයි කියන එකයි මටනම් හිතෙන්නේ .

අද වෙනකොට ප්‍රදාන පෙලේ මාර්ග විතරක් නෙමෙයි හැම ගමකම වගේ එක පාරක් හරි කොන්ක්‍රීට් වෙලා තියෙනවා ,එම වැඩවල ප්‍රමිතිය පිළිබද ගැටළු තියෙන එක ඇත්ත .මගේ මතය අනුව රටේ මෙතෙක් සිටි නායකයින් කලක් පවතින පරිදි කල වැඩ පහත පරිදි පෙළගස්වන්න මං කැමතියි ,

ඩී.එස් .සේනානායක - ගල් ඔය ඇතුළු රටේ වාරිමාර්ග පද්දතිය සහ  ජනපද සංකල්පය ඇති කිරීම 

ඩඩ්ලි සේනානායක - මොකුත් නැහැ 

ජෝන් කොතලාවල - මොකුත් නැහැ 

බණ්ඩාරනායක මහත්තයා - මොකුත් නැහැ 

බණ්ඩාරනායක මැතිනිය - ජනසතු ව්‍යාපාර සහ ගොවි පනත් ඇතිකිරීම 

ජේ ආර් ජයවර්දන - විවුර්ත ආර්ථිකය 

ආර් ප්‍රේමදාස - නිදහස් වෙළද කලාප 

චන්ද්‍රිකා බණ්ඩාරනායක - මොකුත් නැහැ 

රනිල් වික්‍රමසිංහ - මොකුත් නැහැ 

මහින්ද රාජපක්ෂ - රටේ මහා මාර්ග ඇතුළු යටිතල පහසුකම් දියුණු කිරීම 

සමහරවිට මේක කියවන කෙනෙක් මාත් එක්ක එකග නොවෙන්න පුළුවන් ,ඒ උනාට මං හිතන්නේ නැහැ මහින්ද ඇර වෙන කෙනෙක් රටේ නායකයා වෙලා හිටියනම් අපිට අධිවේගී මාර්ගයක ගමන් කරන්න අවස්තාවක් ලැබෙයි කියලා ,ඒ මාර්ගයේ අඩු පාඩු ඇති බව ඇත්ත ,ඒ මාර්ගය විවුර්ත කරන්න කලින් බොහෝ දෙනෙක් කිව්වේ අපේ රටේ මිනිස්සු සල්ලි ගෙවලා ඔකේ යන්නේ නැහැ කියලනේ ,දැන් අධිවේගී මාර්ගය ඇරලා අවුරුද්දකට වඩා වැඩියි ,දිනපතා මාර්ගය භාවිතා කරන ප්‍රමාණය ඉහල යනවා ,මොකද අද ජනතාව තේරුම අරගෙන තියෙනවා මුදලට වඩා කාලයේ ඇති වටිනාකම ,ඇත්තටම ඒක දියුණු රටක ලක්ෂණයක්.

කාලය ගැන කිව්වම ඊලගට කල්පනා වෙන්නේ ප්‍රවාහනයනේ ,අපේ රටේ රජය සහ පුද්ගලික අංශය කියලා කොටස් දෙකක් තියනවනේ ,කොහොමුනත් මං හිතනවා අද වෙනතුරුත් අපේ රටේ රාජ්‍ය අංශය පුද්ගලික අංශයට වඩා ඉදිරියෙන් ඉන්නවා කියලා ,සේවය සහ සේවකයින් අතින් කියන දෙඅංශයෙන්ම.


කවුරුත් දන්නවනේ ප්‍රයිවට් බස් කොට කොටා යනහැටි ඒ වගේම ඒ බස්වල රියදුරන්ගේ රිය ධාවන හැකියාව සහ කොන්දොස්තර මහතුන්ගේ හැසිරීම ගැනත් ,ඒ අතින් බැලුවම CTB එක ගව්ගානක් ඉදිරියෙන් ඉන්නවා කියන්න පුළුවන් ,දුර ගමන් යන්න ඉන්න කෙනෙක් ඉන්නවනම් ඉක්මනට යන්න CTB බස් එකක යන්න ,දැන් අධිවේගී මාර්ගයේ පවා හොද CTB බස් සේවයක් ලබාගන්න පුළුවන් ,ඇත්තටම අද වෙනකොට CTB එක වගේම දුම්රිය සේවයත් පාඩු ලබන්නේ ඒ ඒ කාලවල ඒ ඒ රජයන් ගත්ත වැරදි තීරණ නිසා ,ඒක දැන් පවතින රජයටත් පොදුයි .

හැබැයි හොද සේවයක් දෙනවනම් මිල කීය උනත් ඒ සේවය ලබාගන්න මිනිස්සු ඉන්නවා ,ඒකට හොද උදාහරණයක් බලාගන්න ඕන නම් මහරහම බස් නැවතුමේ අධිවේගී බස් නැවතුමට ගිහින් බලන්න ,සාමාන්‍ය මිල වගේ තුන් ගුණයක් උනත් බස් එකේ සීට් ගාන පිරෙන්න විනාඩි 10 ක් වත් යන්නේ නැහැ .දුම්රිය සේවය උනත් එහෙමයි ,දැන් බලන්නකෝ රුහුණු කුමාරි ඇතුළු ප්‍රදාන දුම්රියවල යන්න ඉන්න සෙනග ප්‍රමාණය .

එහෙනම් අදට මගේ විචාරය මෙතෙකින් අවසන් ,කියවූ ඔබ සැමට ස්තුතියි ,පුලුවන්නම් අදහසක් පල කරලම යන්න .

Monday, December 10, 2012

ඔහෙලට මෙයයි මතකෙයි




අදනම් මුකුත්ම කියන්නේ නෑ,මං අහන්නේ ඔයාලට මෙයයි මතකද කියලා විතරයි ,අන්න එයා පහුගිය දොහේ ලංකාවට ඇවිත්ලු .මතකයිනේ මෙයාගේ just another day සින්දුව ,සමහරවිට ඔයගොල්ලත් කැමති ඇති .




Found at Beemp3.com

Saturday, December 8, 2012

රොකට් කොල්ලෝ - october sky


කාලෙකට පස්සේ හිතට වැදුණු ෆිල්ම් 1 ක් බැලුවා ,ඉතින් ඒ ගැන පොස්ටුවක් දාන්න හිතුනා ,මොකද අපි වගේම කොල්ලෝ සෙට් එකක කතාවක් නිසා ,මේක බැලුවම ඉස්කෝල කාලේ මතක උනා ,සමහරවිට ඔයාලටත් එහෙමවෙයි,මේ වගේම සෙට් එකක් තමයි අපේ සෙට් එකෙත් හිටියේ,

ඇත්තටම ඒ කාලේ අපිට මොන මොන වගේ හීනද තිබ්බේ ,ඒත් අද වෙනකොට අපි මොන මොන තැන්වලද ඉන්නේ ,ඉස්කෝලේ ඒ ලෙවෙල් කාලේ ලැබ් එකේ පිස්සු කෙලපු හැටි මතක උනා මේක දකිද්දී ,
ආතල් එකට මැග්නීසියම් පුච්චපු හැටි ,එතිල් ඇල්කොහොල් වලින් දේශීය නිෂ්පාදන හදාගෙන  බීපු හැටි ,ඔන්න අද ප්‍රථම වතාවට හසරැල් වන මම මගේ මූණ ඔයගොල්ලොන්ට පෙන්නන්න යන්නේ ,මෙතන අපි සෙට් එකේ 5 ක් ඉන්නවා ,පුලුවන්නම් කියන්න මන් කවුද කියලා 


මෙතනින් අද දෙන්නෙක් බැංකු කාරයෝ (මා ඇතුළුව ) එකෙක් ගුවන් හමුදාවේ පියාසර ලුනිනත් කෙනෙක් (ඒ කියන්නේ පයිලට් කෙනෙක් )එකෙක් කැම්පස් එකේ ලෙක්චර් කෙනෙක් ,අනිකා ටෙලිකොම් ඉන්ජෙක් .

ආ .... කතාවෙන් පිටගියා ,අපි කතාකලේ ෆිල්ම් එක ගැනනේ ,මේක ඇමෙරිකාවේ බටහිර වර්ජිනියා ප්‍රාන්තයේ ගල් අගුරු පතල් ගම්මානෙක ඉන්න කොල්ලෝ සෙට් එකක් ගැන කියවෙන කතාවක් ,ඇත්තම කතාවක් ,රුසියාව විසින් ස්පුට්නික් 1 චන්ද්‍රිකාව ගුවන් ගතකිරීම සමග රොකට් ගැන උනන්දුවක් මේ සෙට් එකට ඇතිවෙනවා ,ඔවුන්ගේ උත්සාහය වෙන්නේ තමන්ගේම රොකට් එකක් නිෂ්පාදනය කිරීමයි,මේකෙදි ඔවුන්ට උදව්‍කරන්නේ කවුද  ,කකුලෙන් අදින්නේ කවුද කියාලා ෆිල්ම් එක බලලම දැනගන්න ,


මේ ඉන්නේ ෆිල්ම් එකේ නළු බට්ටෝ සෙට් එක ,අපි වගේම තමා පස්සෙන් පහු මේ කස්ටිය මොන මොන රැකියාවල්ද කරන්නේ කියලා ෆිල්ම් එක අවසානයේදී දානවා ,


මේ ඉන්නේ මේකට අදාළ ඇත්තම සෙට් එක ,මන ෆිල්ම් එක ගැන වැඩිදුර විස්තර කියන්න බලාපොරොත්තුවෙන්නේ නැහැ ,මේ ෆිල්ම් එකට පසුබිම් වෙලාතියන පොතත් නියමයි එකේ නම rocket boys පුලුවන්නම් හොයාගෙන කියවන්න ,ඔයාලගේ කොනෙක්ෂන් එකේ වැඩිපුර බයිට් තියනවනම් බාගෙන බලන්න ,697 MB විතර වෙනවා ,පාඩු නැහැ ,ඔන්න මන පල්ලෙහායින් මේකේ trailer එකත් දානවා ,



Friday, December 7, 2012

බණ්ඩාර සහ බිත්තර ආප්ප


ඔන්න අදත් මං කියන්න යන්නේ මගේ රාජකාරි ජීවිතේදී හමුවුණු කෙනෙක් ගැන කතාවක්,මෑන් මගේ බැචෙක්,අපිත් එක්කම පත්වීම් ලැබිලා අපේ ආසන්න ශාඛාවක තමයි මිනිහා ඒ දවස්වල වැඩකලේ ,

අපි බහුතරය උපාධි විරහිත රැකියාදාරීන් උනාට මිනිහා ජොබ් එකට එනකොටත් මිනිහා ඩිග්‍රිය ගහලා හිටියේ ,ඒක නිසා පොර අපිට වඩා පොඩ්ඩක් විතර වැඩිමහල් ,කොහොමුනත් අපිත් එක්ක තමා මිනිහා වැඩිපුර කාලේ ගතකලේ ,

මිනිහා හෙන ටැලේන්ටඩ් බුවා උනාට මිනිහට තිබ්බ අඩුපාඩුව තමයි මිනිහා පොතේ ගුරෙක් වීම ,පොතේ ගුරා කියන්නේ ඌට අපේ රාජකාරියට අදාළ චක්‍රලේකයක් ආවොත් කටපාඩම් ,අපිත් ඉතින් මිනිහාගෙන් තමයි අහන්නේ ,ඒ වගේම තමයි පොතේ ක්‍රමේට වඩා චුට්ටක්වත් වෙනස් විදිහට වැඩකරන්න අකමැති වීම ,ඒ වගේම ප්‍රායෝගික ජීවිතේ ගැන අත්දැකීම් අඩු වීම ,

අපි මොනවාහරි ගානක් හදලා දුන්නත් ඒක නැවත හදලා බලන පුරුද්දක් මිනිහගේ තිබුනා ,ඉතින් අද මං මේ කියන්න යන්නේ මිනිහා අපිත් එක්ක ගමනක් යනකොට වෙච්ච සිද්දියක් .

අපි යාළුවො කීපදෙනෙක්ටම කොලඹ ප්‍රධාන කාර්යාලයේ පුහුණුවීමක් තිබුනා,අපිත් එක්ක මේ ගමනට බණ්ඩාරත් එකතු උනා ,ඔන්න ඉතින් අපි හවස වැඩ ඉවරකරලා රෑ බස් එකේ නැග්ග කොලඹ එන්න ,රෑ බස් කොහොමත් නවත්වනවනේ තේ බොන්න ,ඔන්න ඔහොම අපි ගියපු බස් එකත් තේ කඩයක් ගාව නැවැත්තුවා ,

අපි යාළුවො ටික තේ බොන්න මේසයක් ලගට සෙට් උනා ,එකෙක් ගිහින් ආප්පයි ,බිත්තර ආප්පයි ගෙනාවා ,ගේන ගමන් ඌ කිව්වා " අඩේ අප්පා ආප්පත් ගණන් ගිහින්නේ බන් ,බිත්තර ආප්පයක් රුපියල් පහළොවයි" (මං මේ කියන සිද්දිය උනේ  2007 විතර ) කියලා ,

මේක අහපු බණ්ඩාර නැගිට්ටා ,කෙලින්ම ගියා ආප්ප බාස් ගාවට .

බණ්ඩාර - දැන් ප්ලේන් ආප්පයක් කීයද ?

ආප්ප බාස් - රුපියල් පහයි මහත්තයෝ 

බණ්ඩාර - එතකොට දැන් බිත්තරයක් කීයක්‌ වෙනවද ?

ආප්ප බාස් - ඒත් රුපියල් පහයි මහත්තයෝ ,

බණ්ඩාර - තමුසෙලට හරියට ගනන්වත් බෑනේ ඕයි,ප්ලේන් ආප්පයක් පහයි නම් ,බිත්තරෙකුත් පහයිනම් ,බිත්තර ආප්පයක් රුපියල් දහයක් වෙන්න ඕන ,ඒත් තමුසෙලා විකුනන්නේ පහලොවටනේ ,

ආප්ප බාස් - අනේ මේ ,තමුසේ මගෙන් හොදවයින් තාච්චි පාරක් කාගන්නේ නැතුව මෙතනින් යනවද ?

ආප්ප බාස්ට පින්සිද්දවෙන්න එදා ඉදලා බණ්ඩාර අපි හදපු ගානක්නම් ආයෙත් හදලා බලන්න ගියේ නැහැ ,

පින්තුරේ ගත්තේ -http://bleacherreport.com


Wednesday, December 5, 2012

අපිට මල් කඩන්න ඉගැන්නුවේ කවුද ?



දැන් ඉතින් බ්ලොග් අවකාශේ අලුත්ම ට්‍රෙන්ඩ් එක ප්‍රශ්නෝත්තර වැඩසටහන්නේ ,කතන්දර කාරයා වගේ ඔස්තාර්ලා වගේම අපේ අලුත් කස්ටියත් පහුගිය දවස්වල දාපු පොස්ට් බැලුවම හිතාගන්න පුළුවන්නේ ඒ ගැන ,මේ දවස්වල අධික විදියට වැඩ ,අවුරුද්දත් ඉවරයිනේ (තව ටික දොහකින් ඔක්කොම ඉවරයිනේ ,හෝව් හෝව් ..මං නෙමෙයි කියන්නේ ,එහෙම කියන්නේ අපේ මාරය්යා හරිය )ගෙදර එනකොට පාන් කියාගන්නත් බැහැ, ඒක නිසා මේ වගේ පොඩි පොස්ට් දන්නේ හොදේ ,

රායිට් .. දැන් පටන් ගමු තරගය ...

මෙන්න ඔබට ලැබෙන පලවෙනි ගැටලුව ...

අපිට මල් කඩන්න ඉගැන්නුවේ කවුද ?



ප .ලි .- පොඩි උදව්වක් මේකට හරි උත්තරේ 90 ට පස්සේ උපන් අය දන්නේ නැතිවෙන්න පුළුවන් 

පින්තුර -http://www.rgbstock.com,http://workinghome2.com/


UPDATED ......

කස්ටිය හරි උත්තරේ දීල තිබුනේ නැතත් ලගින් ගිහින් තිබුනා...මෙන්න හරි උත්තරේ 

නයනා සහ අමර 


Sunday, December 2, 2012

pizza ,අපි සහ බෝඩිමේ uncle [ it's about door step delivery ]

ඔන්න අද මාත් අපේ කතන්දර කාරයා වගේ දැම්මා english හෙඩිමක් ,මේ සිද්දිය උනේ මං කොළඹ වැඩ කරන දවස්වල ,ඒ කාලේ මං නැවතිලා හිටියේ බොරලැස්ගමුවේ ගෙදරක අනෙක්සියක් අරගෙන ,මාත් එක්ක ඒ කාමරේ share කරගත්තේ මගේ හොදම යාළුවගේ මල්ලි .මිනිහා ඒ කාලේ ජපුරේ campus එකේ ඉගෙන ගන්නවා ,

එදා මගේ birthday එක ,ඉතින් මං  ඒ හින්දා පොඩි party එකක් දාමු කියලා යෝජනා කළා ,තිබුනේ option දෙකයි ,එක්කෝ restaurant එකකට ගිහිල්ලා කන එක නැත්නම් කාමරේට ගෙනවිත් කන එක .මේකේ දෙවෙනි ඔප්ෂන් එක ක්‍රියාත්මක කරන්න අපි තීරණය කළා ,ඒකෙත් පොඩි වෙනසක් කරලා pizza hut එකෙන් pizza ගෙනෙවිත් කමු කියලා තෝරාගත්තා .

ගත්තා කෝල් එකක් ඕඩර් කළා pizza දෙකයි coke දෙකයි තව මොනවා මොනවා හරි [මට හරියටම මතක නැහැ ],කොහොම උනත් ඒ කාලේ හැටියට සෑහෙන්න ගානක් ,ඒ ගානට කොහොම උනත් campus එකේ canting එකෙන්  සතියක් විතර කන්න පුළුවන් .ඉතින් අපි කෑම එනකල් අතීත සිද්දි මතක් කරකර පොඩි ජොලියක් දැම්මා ,

මෙහෙම කොහොමත් පැයක් හමාරක් යන්න ඇති ,කෝ තාමත් මේ pizza කාරයා නෑනේ කියලා අපි කතා උනා ,මං ඇහුවා "මල්ලි උබ හරියට තැන කිව්වනේ "කියලා ,එයත් කිව්වා "හරි හරි මං හරියට කිව්වා ,ගෙදර uncleගේ නමත් කිව්වා හොයාගන්න බැරිඋනොත් කියලා "ඔහොම අපි තව ටික වෙලාවක් බැලුවා ,

ටික වෙලාවකින් කවුද ඇවිත් කාමරේ දොරට තට්ටු කළා ,දොර ඇරලා බලනකොට ඒ ගෙදර uncle දොර ගාව ,

uncle-පුතාලා  pizza ඕඩර් කලාද ,දැන් රෑට කන්නේ පීසද ?

අපි -නෑ ,ආ ... ඔව් uncle,අද මේ නිකම් දන්නැද්ද .....

uncle -අන්න මිනිහා දැන් සෑහෙන වෙලාවක් තිස්සේ අපේ ගෙදර ඉස්සරහ දොර ගාව ,

අපි - ආ ...ඇත්තද uncle ,ඉන්න අපි ගන්නම් .sorryහොදේ ...

ඔහොම කියලා අපි ඉතින් පීසා ටික කාමරේ ඇතුලට අරන් බොහොම සතුටෙන් බුක්ති වින්දා .

පහුවෙනිදා ගෙදර අන්කල් අපිට ආයෙත් හමුඋනා ,

uncle- මං මේ පුතාලව හම්බුවෙන්න කියලමයි උන්නේ ,දැන් ඉතින් හැම දේම ගිනි ගණන්,අද බලන ගාන නෙවෙයි හෙට ,මේ අනෙක්සියත් වෙන කෙනෙක් ඉල්ලුවා මීට වැඩියෙන් ,මට ඉතින් පුතාලව එහෙම යවන්නත් බෑනේ ,කොහොම උනත් පුතාලා මේ මාසේ ඉදලා රුපියල් දාහක් නම් වැඩිකරන්න වෙනවා ,පුතාලට උනත් ඒ ගාන අමාරුවක් නැතිව ඇතිනේ .......




linkwithin

Related Posts Plugin for WordPress, Blogger...