Showing posts with label 417 හන්දියේ කතා. Show all posts
Showing posts with label 417 හන්දියේ කතා. Show all posts

Thursday, May 15, 2014

බජ්ජන් දමනය....

බජ්ජන් ඉස්සෙල්ලාම අපේ ගමට ආවේ මට මතක හැටියට 2001 අවුරුද්දේය.බජ්ජන් අපේ ගමට කඩාවැටුනේද අහම්බෙනි.බජ්ජන්ලාගේ තාත්තා අපේ ගමට අල්ලපු ගමක කඩයක් කළේය.කුමක් හෝ හේතුවකට බජ්ජන්ලාගේ තාත්තාට හදිසියේම කඩය වසා නැවත භාරදෙන්නට සිද්දවුනේය.බඩු මුට්ටු ටිකත් ගෙන පාරට බැස්ස බජ්ජන්ලාගේ තාත්තා කඩකාමරයක් හොයමින් අහල පහල ගම්වල කරක් ගහද්දී අපේ මුත්තාගේ වසාදමා තිබු කඩකාමරය දැක අපේ ආච්චි හමුවී කඩය දමාගන්නට කඩකාමරය ඉල්ලා ගත්තේය.

බජ්ජන්ලාගේ තාත්තාගේ නම බාලමහත්තයාය.බාලමහත්තයා 417 හන්දියට අළුත් කෙනෙක් නොවීය.අහල පහල ගමේ කෙනෙක් වුනු බාලමහත්තයාට කඩේ දමාගත්පසු බිස්නස් අතින්නම් පාඩු නොවීය.මෙසේ ටික දවසක් ගතවනවිට දිනක් හදිසියේම කොහේදෝ සිට බජ්ජන් කඩාපාත් වුනේය.දඩාවතේ ගොස් ලෙල්ලටම නසරානි වී සිටි බජ්ජන් ගැන 417 හන්දියේ කොල්ලන් හොඳහැටි දැන සිටියේය.කේස් හතර පහකටම පොලිස් කූඩුවේ කූරු ගණන් කර තිබු බජ්ජන්ට ඒ වනවිටත් අවුරුදු 25 කට වැඩි නොවීය.බජ්ජන්ලාගේ ගෙවල් තිබුණු පැත්තේ හැමදාම හවසට වලියක්ය.පිරිමි පමණක් නොව ගෑනුන්ද රෙදි කරට ගෙන මුඛයෙන් ශ්‍රී වදන් තෙපලමින් කැති,පොළු,උදළු රැගෙන වලිය කාගේ වුවද ඊට සහභාගී වන්නේය.කුඩාකල පටන්ම මේ පරිසරයේ හැදුනු බජ්ජන් නියමිත කාලය වනවිට කොල්ලන් ගැන්සියක් හදාගෙන වැඩ පටන්ගෙන තිබුනේය.

 ඔන්න  ඔය විදිහේ පොරක් වුනු බජ්ජන් හිටිහැටියේම තාත්තා හොයාගෙන පැමිණ අපේ ගමේ පදිංචි වීම මහත් පුදුමයක් විය.කුමක්හෝ කරුණකින් බජ්ජන්ට සුපුරුදු ගැන්සිය මගහැර සිටීමට වුනු සිද්දියක් වී තිබුනේය.එහෙත් ඒ කුමක්දැයි කාටවත් හොයාගන්නට බැරිවිය.ගමට ආ මුල් දිනවල සද්ද නැතුව කඩේ ඇතුලට වී සිටි බජ්ජන් ටික ටික කලඑළි බහින්නට විය.බජ්ජන් ඉස්සේලාම ආවේ අපි ක්‍රිකට් ගහන තැනටය.ක්‍රිකට් ගසද්දී සැරින් සැරේ කොල්ලන් සමග පොඩි පොඩි වළි දාගැනීම බජ්ජන්ගේ සිරිත විය.කොල්ලන්ගේ විහිළු නොතේරුණු බජ්ජන් බොහෝ වෙලාවට කොල්ලන්ගේ සිනාවට ලක්විය.එහෙත් ඉස්සර කරපු වැඩ 417 හන්දියේදී පෙන්විය නොහැකි බැවින් බජ්ජන් කටපියාගෙන පැත්තකට වුනේය.

බජ්ජන් ගමට ඇවිත් ටික දිනකින් පොඩි වැඩකට අතගැසුවේය.ඒනම් අපේ කඩේ වහලට යටින් ඉටිරෙදි වලින් සිවිලිමක් ගැසීමයි.බජ්ජන් කොච්චර ලස්සනට වැඩේ කොලාද කියතොත් ඉන්පසු ගමේ ගෙවල් කිහිපයකම ඉටිරෙදි සිවිලිම් ගැසීමට බජ්ජන්ට සිදුවිය.එහෙත් ඒ කිසි වැඩක් සඳහා මුදල් නම් ගත්තේ නැත.මොන අලුගුත්තේරු වැඩේ කලත් බජ්ජන් අරක්කු උගුරක්‌ හෝ කටේ තියනවා මම දැක නැත.බජ්ජන්ගේ මේ විපරියාසය ගොඩ දෙනෙකුට පුදුමයක් විය.මට බජ්ජන් හරියටම සෙට් වුනේ 2002 වෙසක් දවස්වලය.මම නිකන් ඉන්නට බැරි කමට තඩි වෙසක් කූඩුවක් හැදුවෙමි.අටපට්ටම්ක් වුනු මම එය හැදුවේ රීප්ප උදව් කරගෙනය.කූඩුව උසින් පමණක් අඩි 9 ක් විතර විය.අඩි 9 ක් උස කූඩුවේ සව්කොළ ඇලවිය නොහැකි නිසා ඒ වෙනුවට ඉටිකොළ ගසා දුන්නේ බජ්ජන්ය.ඒ පමණක් නොව ඒ අටපට්ටමට තවත් අඩි 40 ක් පමණ රැලි දමා කූඩුව අපේ ගෙදර ඉස්සරහා අලිගැට පෙර ගහේ උඩම අත්තට ලනුවක් දමා එල්ලන්නට උදව් වුනේද බජ්ජන්ය.

මෙයින් පසු බජ්ජන් මාත් එක්කබොහොම හිතවත් විය.අපි ඊළඟට කලේ අපේ කඩේ පල්ලෙහා තිබුණු ලිඳ ඉහීමයි.පාර හදද්දී කවුදෝ අලුගුත්තෙරුවෙක් ඒ ලිඳට ගල් පස් දමා බාගෙට ගොඩකර තිබුනේය.බජ්ජනුත් මමත් එකතුවී ලිඳ හාරන්නට ලේස්තිවෙද්දී ගොඩ දෙනෙක් අපිට හිනාවුනේය.ඒත් බජ්ජනුත් මමත් සතියක් පමණ මහන්සි වී පස් ටික ඔක්කොමත් දෙකක් හැර ලිඳට දමා තිබු ගල් ඔක්කොමත් ගොඩට ඇද්දෙමු.ඉන්පසු අපිට සිනාවුණු ගමේ බොහෝ දෙනෙකුද පායන කාලයට ඒ ලිඳෙන් නා කියා ගත්තේය.

417 හන්දියට එනවිට සිටි බජ්ජන් ටිකකලක් යනවිට හාත්පසින්ම වෙනස්වුනේය.කොල්ලන් රැල සමග බොහෝ හිතවත් වූ බජ්ජන් ක්‍රිකට් පිටියේ නිතර දකින්නට සිටි චරිතයක් විය.එහෙත් කොල්ලන්ගෙන් බයිට් වීම නිසාම කෝප ගැනීම බජ්ජන් වෙතින් ටික කලකින්ම ගිලිහුණේය.

ගෙදරින් පැනගොස් සිටි කාලයේ බජ්ජන් බොහෝ රැකියා කර තිබුනේය.කුලී වැඩ,වඩු වැඩ,මේසන් වැඩ ඒ අතරින් කිහිපයකි.බජ්ජන්ගේ මේසන් වැඩදඅගය කළහැකිමට්ටමක තිබුණි.ඒ නිසා ඒ දවස්වල කඩේ සහ අපේ ගෙදර පොඩි පොඩි වැඩ කිහිපයක්ම බජ්ජන් අතින් නිමවිය.බජ්ජන්ලාගේ තාත්තා වුනු බාලමහත්තයා අපේ කඩේ අසල මුදල් ඔට්ටුවට ඕමි පිටියක් පටන්ගත්තේය.තාත්තා කලද බජ්ජන් මේ වැඩේට උදව් දීමට ගියේ නැත.ඕමි සෙල්ලම නිසාම ටික කලකින් බජ්ජන්ලාගේ තාත්තාට 417 හන්දියෙන් යන්නට සිදුවිය.ඒ නිසාම බජ්ජනුත් 417 හන්දියෙන් සමුගත්තේය.

වසර 10 කට පමණ පසුව පහුගියදා මගදී මට බජ්ජන් නැවත හමුවිය.යතුරු පැදියක නැගී මාවෙත ආ බජ්ජන්...

මහත්තයා...

මම - ආ ...රුවන්  [බජ්ජන්ගේ නියම නම රුවන්ය]කොහොමද?සෑහෙන වෙනස්වෙලානේ?මට එකපාරටම අඳුන ගන්නත් බැරිවුනා...

ඔව්..මහත්තයා...දැන් මම මේසන් වැඩ කරනවා..බැන්ද...බබාලත් ඉන්නවා...අපි මේ සැරේ වෙසක් එකට තොරණක් ගහනවා..මම පහුගිය දවසක මාත්ත්යාලගේ ගෙවල් පැත්තේ ගියා.මහත්තයා වැඩට ගිහින්.තාත්තා ආධාරයක්‌ දුන්නා...

මම - හොඳයි...හොඳයි...මම එහෙනම් ගිහින් එන්නම්...


"නභජේ පාපකේ මිත්තේ-නභජේ පුරිසාධමේ

භජේථි මිත්තේ කළ්‍යාණෝ-භජේථ පුරිසුත්තමේ"

පවිටු  මිතුරු ඇසුරෙන් මිදෙමු - කලණ මිතුරන්ම ඇසුරු කරමු.

Thursday, October 10, 2013

චූටී.....


චූටී අපේ ගෙදරට ඉස්සෙල්ලම ආවේ 1992 අවුරුද්දේදී.....මට අදටත් හොදටම මතකයි.කවුදෝ කෙනෙක් දවසක් රෑ අපේ සීයාගේ කඩේ ගාව පූස් පැටව් වගයක් අතැරලා ගිහින් තිබුනා.මේ වෙනකොට මාත් ඉස්කෝලේ දෙක වසරේ ඉගෙනගත්තේ.මං උදේ නැගිටලා කඩේ පැත්තට යනකොට චූටී විතරක් කඩේගාව අයිනට වෙලා හිටියා.එයාගේ සහෝදර සහෝදරියෝ ඔක්කොම පාරේ යන වාහනවලට යටවෙලා.අපි ඉස්කෝලේ යන්න බස් එකට නැග්ගේ අපේ කඩේ ගාවින්.මං ඉස්කෝලේ ගිහින් ආපු ගමන්ම බැලුවේ කඩේ ගාව චූටී ඉන්නවද කියලා.ඇත්තටම එයා ඒ දවස වෙනකල් නිකම්ම නිකම් පූස් පැටියෙක් විතරයි.කෙට්ටුම කෙට්ටු ඇගෙන් චූටී පූසෙක් විතරයි.ඒක නිසා එදා ඉදලා මං එයාට චූටී කියලා නම තිව්වා.

මං එනකොට චූටී කඩේ ගාව හිටියේ නෑ.බඩිගින්න වැඩි කමටම අපේ ගෙදර පැත්තට ඇවිත් බිත්තිය අයිනට වෙලා හිටියා.ඒත් අනිත් පූස් පැටව් වගේ දුකෙන් බෑගිරි ගහ ගහ නම් නෙවෙයි.ඒත් ඉතින් මොන පූසටද කිරි බඩිගිනි නැත්තේ.මං ඌව සීයට පෙන්නුවම සීයා ඌට කිරි ටිකක් හදලා දුන්නා.ඌ කිරි ටික බොන අතරේ ඌ එදා ඉදලා අපේ ගෙදර කෙනෙක් කරගන්න මං තීරණේ කළා.ගෙදර කවුරුවත් ඒකට අකමැති වුනා කියලා හෝ කැමති වුනා කියලා මට මතකයක් නෑ.ගෙදර කවුරුවත් ඌව එච්චර ගණන් ගත්තේ නෑ.කොටින්ම අපේ ගෙදර බලු සුරතලා වුනු "බෝතා" වත් අම්මගේ සුරතලා වුනු සුදු පූසවත් ඌව ගණන් ගත්තේ නෑ.ඒ වුනාට මට ඌ ගැන අමුතු ආදරයක් එදා ඉදලම තිබුනා.

කොහොම කොහොම හරි චූටී ටිකෙන් ටික ලොකුවුනා.ඇගෙන් ලොකු වුනත් චූටිගේ කෙට්ටු කමනම් කවදාවත් නැති වුනේ නෑ.ඒක නිසා උගේ ඒ හැටි ලස්සනක් තිබුනෙත් නෑ.මේ දවස්වලම අපේ අම්මගේ සුරතලා වුනු සුදු පූසත් මැරුණා.ඔන්න ඉතින් ගෙදර එකම පූසා වෙන්න චූටිට අවස්තාව ලැබුනා.ඒත් ඉතින් මං කලින් කිව්වා වගේ කවුරුවත් චූටිව ගණන් ගත්තේ නෑ.අක්කයි අයියයි ගිහින් ළඟ ගෙදරකින් පර්සියන් පූස් පැටියෙක් ගෙනාවා.එයයි පූසියෙක්.අපි ඌට නම තිව්වා කිටී කියලා.කිටී ආවට පස්සේ චූටිට ගෙදර තිබුණු තැනත් නැතිවුනා.කිටී ගෙදර සැටිය උඩ හිටියත් කවුරුවත් ගණන් ගත්තේ නෑ.ඒත් චූටී කඩේ ගාව බංකුව උඩ හරි හිටියොත් එලවන්න කවුරුත් අමතක කලෙත් නෑ.ඒත් චූටී මගේ සුරතලා වෙන එකනම් කාටවත් වලක්වන්න බැරිවුනා.

මේ සුරතලා කිව්වත් ඌ මට තිබුනේ එක්තරා ආකාරයක පුදුම ආදරයක්.කවදාවත් ඔඩොක්කුවට අරගෙන සුරතල් කරනවට චූටී කැමතිවුනේ නෑ.එහෙම කරන්න හැදුවොත් මගේ අතේ පාර හිටින්න හූරලා දුවන්න තමයි ඌ පුරුදු වෙලා හිටියේ.ඒත් මං පුටුවේ වාඩිවෙලා ටී.වී. බලනකොට ඇවිත් කකුල් දෙකේ අතිල්ලෙන්න චූටී හරි ආසයි.මේ වෙනකොට කිටී අම්මා කෙනෙක් වෙලා.ගේ පුරාම පූස් පැටව් මහා හයියෙන් කෑ ගහ ගහ දුවනවා.පර්සියන් පූසෝ නිසා උන්ව කාටවත් දෙන එක අමාරු වුනේ නෑ.ඇත්තම කියනවනම් උන් කිටීගේ බඩේ ඉදිද්දිම උන්ට ඕඩර් ආවා.ඒත් ඉතින් මේ පූස් කරදරේ ඉවසන්න බැරිව හිටියේ අපේ ආච්චිට තමයි.ආච්චි කියනවා මේ වසංගතේ ඔක්කොම කොහේ හරි ගිහින් දාන්න කියලා.ඒත් ඒ එක්කම කියනවා අරූගෙන් විතරයි කනක් ඇහිලා ඉන්න තියෙන්නේ කියලා චූටිව පෙන්නනවා.ඇත්ත තමයි චූටී කවදාවත් කෑම ඉල්ලලා අඩනවා මට ඇහිලා නෑ.ඌ ඒ තරම් හොද පූසෙක්.ඒත් මගේ ඒ සිතිවිල්ල වැරදියි කියලා ඊට ටික දවසකට පස්සේ මට තේරුනා.මං දවසක් අමු මාළු කූරියෙක් අරගෙන ඉරෙට්ටක අමුනලා චූටිට පේන්න අල්ලාගෙන හිටියා.ඌ ඇවිත් පනිනකොටම මාළුවා ඉරෙට්ටෙන් ඇදලා ගන්නවා.ඔන්න ඔය ටික ඇති චූටී පිස්සු වැටෙන්න.ඌ මහා හයියෙන් කට ඇරලා කෑ ගහනවා.......ඒත් සද්දයක් වත් නෑ.මං ලංවෙලා හොදට බැලුවා.දෙය්යනේ චූටී කෑගහනවා.ඒත් උගෙන් සද්දේ පිටවෙන්නේ නෑ.චූටී ගොළුවෙක්........අවුරුදු ගානක් ගිහිල්ලත් ඇත්තටම මටවත් අපේ ගෙදර කාටවක්වත් ඒක තේරිලා තිබුනේ නෑ.ඇත්තටම ඒක එහෙම වෙන්න පුලුවන්ද?අදටත් මට ප්‍රශ්නයක්.

ඔහොම ටික දවසක් යද්දී කිටීගේ පැටියෙකුත් අපි සුරතලේට හැදුවා.උගේ නම බූටී.අපේ අක්කගේ සුරතලා.මේ වෙනකොට චූටී ටිකෙන් ටික අපෙන් ඈත් වෙන්න අරන් හිටියේ.හිටපු ගමන් ගෙදරින් අතුරුදන් වෙනවා.ටික දවසකට පස්සේ ඔන්න හිටපු ගමන් රෑට අපි ටී වී බලබල ඉන්නකොට ජනෙල් රෙද්ද අස්සෙන් ඔලුව දාලා බලනවා.හොදට වට පිට බලලා තමයි ගේ ඇතුලට එන්නේ.මේ වෙනකොට චූටිට ඉතාම නරක පුරුද්දක් ඇතිවෙලා තිබුනා.ඒ තමයි හොරෙන් කන එක.ගෙදර කෑම මේසේ ඉටි රෙද්දේ එල්ලිලා ඉටි රෙද්දත් එක්ක භාජන ඇදලා දාලා කන්න තරම් චූටී නරක් වෙලා තිබුනා.ඊලගට බේරගන්න බැරිවුනේ නෙස්ටමෝල් ටින් එක.නියපොතු අස්සට දාලා ඌ ටින් පියන අරින හැටි මගේ ඇස් දෙකට දැකලා තියෙන නිසා මං විශ්වාස කරනවා.නැත්නම් කවුරුවත් හිතන්නේ නෑ පූසෙක් එහෙම ටින් පියන් අරීවී කියලා.චූටිගේ නරක ක්‍රියාකලාපේ නිසා ගෙදර කාටත් ඌව පේන්න බැරුව ගියා.ඌ නිකම්ම "හොර පූසා" කියන අන්වර්ථ නාමේ පටබැඳ ගත්තා.

චූටිගේ තවත් විශේෂත්වයක් වුනේ ඌ කවදාවත් වෙනත් පූසෙක්ටවත් කොටින්ම අහල පහල ගෙවල්වල හිටපු බල්ලෙක්වත් සත පහකට ගණන් නොගත්ත එක.අනිත් පූසෝ පස්සේ බල්ලෝ කොච්චර එලෙව්වත් චූටීව කන්න එක බල්ලෙක්වත් එලවනවා මම දැකලා නෑ.ඔහොම සැහෙන කාලයක් ගතවුනා.ඒ කාලය පුරාවටම චූටිත් අපේ ගෙදර කෙනෙක් වගේම ගෙදර කෙනක් නොවී වගෙත් අපිත් එක්ක හිටියා.මාත් සාමාන්‍ය පෙළ සමත්වෙලා උසස්පෙළ හදාරද්දී පන්ති යෑමේ පහසුවට මාතර නතරවුනා.ඒත් ගෙදර අපු වෙලාවට චූටී මට දකින්න හිටියා.ඒත් ඔහොම ටිකකාලයක් යනකොට චූටිව දකින්න නැතුව ගියා.මං ඒ ගැන ආච්චිගෙන් ඇහුවා.මොකද ආච්චි තමයි උගේ පරම හතුරා වෙලා හිටියේ.එතකොට ආච්චි කිව්වා "වත්ත උඩහට කොළදිවියෙක් පුරුදුවෙලා,ඌටවත් අහුවුනාද දන්නේ නෑ" කියලා.සමහරවිට චූටී කොලදිවියට අහුවෙන්න ඇති.ඒත් එහෙමවුනානම් කොලදිවියටත් සෑහෙන අමාරුවෙන්න ඇති කියලා මට හොදටම ෂුවර්.ඒත් මට සමහරවෙලාවට හිතෙනවා ඉස්සර වගේ එකපාරටම ඇවිත් ජනෙල් රෙද්ද අස්සෙන් ඔළුව දාලා බලාවි කියලා.මේක ලියන වෙලාවෙත් මං ජනේලේ දිහා බලං ඉන්නේ ඒකයි.......

Wednesday, July 17, 2013

417 හන්දියේ කතා.....



කොහෙන් පටන් ගන්නදැයි හිතාගන්නට බැහැ.ඒ තරම් දේවල් ඔළුවට එනවා.අපේ ලමාකාලයේ සුන්දර ,අසුන්දර,භයානක,දුක හිතෙන,සතුට දැනෙන ගොඩක් දේවල් මතකෙට එනවා.කෝකටත් එහෙනම් පටන්ගමුකෝ......

මේ රටේ 417 හන්දි තියෙන්නේ එකකි.ඒ වෙන කොහෙවත් නොව අපේ ගමේ අපේම ගෙදර ලග හන්දියයි.හැබැයි මේක බලන කෙනෙක් අපේ ගමට ඇවිත් 417 හන්දිය කොහේදැයි ඇහුවොත් උත්තර දෙන කෙනා අනුව උත්තර දෙකක් ලැබෙන්නට පුළුවන.ගමේ සාමාන්‍ය කෙනෙක්ගෙන් ඇහුවොත් "එහෙම හන්දියක් ගැන ඇහුවෙත් අදයි"යනුවෙන් පිළිතුර ලැබෙනු ඇත.ඒත් අපේ සෙට් එකේ කොල්ලෙක්ගෙන් ඇහුවොත් ටක්කෙටම "මෙන්න 417 හන්දියයයි" උත්තරේ ලැබෙනු ඇත.ඉතින් අපේ ගමේ නමක් නැති හන්දිය "417 හන්දිය" වුනේ ගමේ බස් එක නිසාය.417 කියන්නේ ගමේ බස් එකේ මාර්ග අංකයයි.

කොහොමවුනත් ඉස්සෙල්ලාම 417 හන්දිය හැදුනු හැටි බලමුකෝ.අපේ ගම මාතර නගරයට ආසන්නව පිහිටි නමුත් කුඩා ඉතා ලස්සන ගමකි.[ දැන්නම් ඒ කාලේ ගමේ තිබු ලස්සන අඩුවී ඇත්දෝයි මට විටෙක සිතේ ...]ඒ කාලයේ බොහෝ දෙනා වී ගොවිතැනේනුත් තවත් ටික දෙනෙක් ගඩොල් කර්මාන්තයෙන්ද ජීවිකාව සරිකරගත්හ.අපේ ගම ගොඩක් පැරණි ගමක් නමුත් මං අද කියන්න යන්නේ මං දන්නා කාලයේ තොරතුරු ටිකකි.

මං ඉපදුනු 80 දශකයේ අපේ ගම සෑහෙන වෙනසකට ලක්වුණි.ඒ නිල්වලා ව්‍යාපාරය නිසාය.මට මතක නැතත් නිල්වලා ව්‍යාපාරය නිසා අපේ ගමට වුනු හොද සහ නරක දෙකම ගැන අපේ තාත්තලා කතාකරනවා මට ඇසී තිබේ.ඉස්සර ගග උඩහට ඩිංගක් හරි වැස්සොත් අපේ ගමේ උන් රෙදි කරට අරගෙන දුවන්නට ලැස්ති වෙන්නට ඕනෑය.ඒ කාලයේ වැස්සොත් අනිවාර්යෙන්ම ගංවතුරකි.කුඹුරු කෙරිල්ල සිහිනයක් විතරය.මේක අපේ ගමේ විතරක් නොව අහල පහල ගම් සියල්ලේම කතාවයි.

මේ ගංවතුර විපත්තිය නිසාම නිල්වලා ගංවතුර වැලැක්වීමේ ව්‍යාපාරය ආණ්ඩුව විසින් කිරියාවට නංවන ලදී.අපේ රටේ මිනිස්සුන්ගේ ,ඉංජිනේරුවන්ගේ දැනුම සත පහකට ගණන් නොගත් ආණ්ඩුව project එක ජර්මනියේ "බෙක්" සමාගමට පවරන ලදී.සුද්දෝ ඇවිත් වැඩ පටන් ගත්තේය.යාන්තමට යන්නට හැකිව තිබු පාරවල් පළල් වුනේය.වැඩබිම්වලට පස් ගේන්නටම සුද්දෝ කුඹුරු ගොඩකර පාරවල් තැනුවෝය.අදටත් ඒ පාරවල් එසේම තිබේ.අපේ ගමේ කුඹුරු තියෙන්නේ ගගට වඩා පහලින්ය.ඒ විතරක් නොව මුහුදු මට්ටමටත් වඩා අඩි 5 ක් විතර පහලින්ය.

මේ නිසා ගංවතුර ගැලුවාට කුඹුරුවල තියෙන වතුර ආයෙත් ගගට බහින්නේ නැත.එහෙම්මම රැදිලා තිබෙන්නේය.මේකට සුද්දන් යෙදු උපායනම් ඇලවල් හාරා ඒ ඇලවල් හරහා කුඹුරුවල ඇති වතුර විශාල පොම්ප මගින් ඇද ආයෙත් ගගට දැමීමයි.එමෙන්ම ගංවතුර වැලැක්වීමට මහා විශාල වේලි බැදීමයි.ඒ අනුව අපේ ගමටත් පොම්පාගාරයක් සහ වේල්ලක් ලැබුණි.වේල්ලේ නම BR 7 ය.සුද්දන්ට මුලින්ම වැඩ වැරදුනේ ඇලවල් කපන්නට ගොසින්ය.ඇලවල් කැපු පසු හැන්දෑ කොරේට යස අගේට ගග දිගේ ඉහලට ආ කරිජ්ජ [කරදිය] කුඹුරුවලට වැදුනේය.කුබුරුවල වී වෙනුවට ටිකියා පඳුරු පිටින් වැවෙන්නට ගත්තේය.කිරල කැලේ වතුර බස්සන්නට කපපු ඇලවල් දිගේ ආ කිබුල් තඩියෝ ටික ගඟට බැහැගත්තේය.ඉන්පස්සේ මිනිහෙකුට ගගෙන් නෑම තියා ගග ලගින් යෑමත් මරුවාට අත වැනීමක් වුනේය.

ඇත්තම කියනවනම් මට මේ කාලය එතරම් මතක නැත.මට මතක එකම දේනම් ඔන්න මේ පල්ලෙහා තියෙන පින්තුරේ ජාතියේ ට්‍රක්රථය.




මේකට අපේ ගමේ මිනිස්සු කීවේ ඌරු හොම්බ කියලාය.මේ වාහනේ විශේෂත්වය පිටිපස ඇති ටේලරය වැරදිලාවත් පෙරලුනත් ඩ්‍රයිවර් ඉන්න කෑල්ල පෙල්ලෙන්නේ නැති එකය.කොහොමවුනත් මේ යකඩ යක්කු අපේ ගම අනිත් පැත්ත පෙරලුවේය.ගමේ හදපු වේල්ලේ එක කොනක් හැදුවේ අපේ ඉඩමට අල්ලලාය.ඒ වෙනකොටත් ගග පැත්තට යන්නට තිබුනු පාර මේ නිසා බන්ට් එක උඩින්යන්නට සිදුවිය.සාමාන්‍ය බස් පාර බන්ට් එකට මෙපිටින් දිවෙන්නට විය.ඒ නිසා අපේ ගෙදර ගාව නිකම්ම හන්දියක් හැදුනේය.ඒ 417 හන්දියේ උප්පත්ති කතන්දරයයි.

417 හන්දිය ඇතිවී වැඩිකලක් ගියේ නැත.දකුණ වෙලාගත් භීෂණය අපේ ගමටත් එබිකං කළේය.අපේ මිනිස්සු 88-89 භීෂනෙට මුහුණ දුන්න හැටි ඊලග පොස්ටුවෙන්.......



ප.ලි.- මේකත් හැලපය්යාගේ මොනාලිසා සීරිස්‌ එක වගේ වෙවිද මන්දා.කියන්න එන්නේ එකක්.ඒත් අන්තිමට මං කියලා තියෙන්නේ වෙන එකක්.



Tuesday, July 16, 2013

අපේ ගමේ බස් එක සහ 417 හන්දියේ කතා ...

චායාරූපය -sltbus.blogspot.com

පහුගිය දොහේ බ්ලොග් ලිවිල්ල එපාවී තිබුනේය.ඒත් ඉතින් එහෙම ඉදලාත් බැරිය.පස්සෙන් පන්නන උන්ගේ මඩ ප්‍රහාර දරාගැනීමට හොද හයිය හිතක් තිබිය යුතුය.අලුත්ම මඩ ප්‍රහාරය දේශකයාගෙනි.ඉවසීමේ සීමාව ඉක්මවා ගිය බැවින් පෝස්ට් එකක් දමන්නට සිතුනි.

අද ඉතින් ලියන්නේ අපේ ගමේ බස් එක ගැනය.ඒක ඔය උඩ තියෙන පින්තුරේ ජාතියේ එකක්ය.60 දශකයේ ඉස්සෙල්ලාම ගමට බස් එකක් ලැබුණි.එතකොට අපි ඉපදීලාවත් නැත.ඊට කලින් අපේ තාත්තලා සීයලා මාතර ගියේ බයිසිකලෙන්ය.ඒකත් නිකම්ම නිකම් පුස් බයිසිකලයෙන්ය.අපේ සීයාගේ හම්බර් බයිසිකලේ තාමත් තිබේ.ඒක තාමත් හොදින් පැදිය ඇහැකිය.දැන් තියෙන චීන ඉන්දියන් ලදරම් වගේ නෙවේය.

කොහොමවුනත් අපේ ගමට බස් එක වැටුණු පසු ගොඩක් දේවල් වෙනස් වුනේය.ගමට ලැබී තිබුනේ මුලින්ම තනි දොරේ බස් එකක්ය.ඒක අවුරුදු ගානක් සේවය කලපසු වැඩිවුණු ඉල්ලුමට ඔරොත්තු නොදෙන නිසා පෙන්ෂන් ගියේය.ඉන්පසු කරලියට ආවේ දැන් තියෙන බස් එකය.මේ කියන්නේ 80 දශකයේදී විතරය.කොහොමවුනත් මං ඉපදුනදා ඉදන් අපේ ගමට එන්නේ මේ බස් එකය.ඒ කියන්නේ අවුරුදු 30 ක් විතර දුවන්නේ මේ බස් එකයි.ඒත් තාමත් වැඩය.මං හිතන්නේ මේ වනවිට එන්ජින් 10 ක් වත් මාරුකරලා ඇතිය.ඒත් ඉතින් ගමේ මොනවා වෙනස්වුනත් බස් එකනම් වෙනස්වුනේ නැතිය.ඒක නිසා ලෝකේ කොහේසිට ආවත් ඇස් දෙක පියාගෙන වුවත් අපිට අපේ ගමේ බස් එක හොයාගත ඇහැකිය..

මාතරින් ගොඩක් ඈත නොවුනත් අපේ ගමට අපි ලොකු මහත්වනතුරුම ආවේ මේ බස් එක විතරය.දැන් ප්‍රයිවට් බස් එකකුත් දුවන නමුත් උන් දුවන්නේ සෙනග ඇත්නම් විතරය.පෝයට උන් සිල් ගනිති.ඉරිදාට දහම්පාසල් යති.හරිම ගුනයහපත්ය.හැබැයි එදත් අදත් එකසේ සේවය දෙන්නේ සීටීබී බස් එක විතරය.සෙනග හිටියත් නැතත් බස් එක හැමදාම දුවන්නේය.තියෙනදාට ගම කෙළවරටම දුවන්නේය.සෙනග නැත කියා මග හිටවන්නේ නැතිය.දුවන්නේ නැත්තේ කැඩුනොත් විතරය.

දැන්නම් බස් එක ගොඩක් දවසට කැඩෙනවාය.එතකොටනම් දැන් ගමේ ඉන්න කොල්ලෝ ආණ්ඩුවේ දෙමව්පියන් මතක් කරති.අපේ කාලයේනම් එහෙමවුනේ නැත.දවසක් අතරමගදී බස් එකේ ගියර් පෙට්ටිය කැඩී බිමට වැටුණි.කවුරුවත් මුකුත් නොකියා බස් එකෙන් බැස පයින්ම ගෙවල් බලා ගියෝය.

දැන් ගමේ ඉන්න පොඩි කොල්ලන්ට බස් එක පොෂ් මදිය.උන්ට දැන් ප්‍රයිවට් බස් එක තියෙන නිසා මේකේ යාම මදිකමකි.ප්‍රයිවට් බස් එක ගමට ආපු කාලයේ ගමේ ගොඩක් උන්ට ඒක "අලුත ගෙනා මනමාලි" වගේ වුනේය.කිරි කිරි සීට්ය.සෙට් එක දැම්මාම පපුවට පයින් ගහන්නා වාගේය.මාතර ඩිපෝවත් ඇරියේ නැත.සීටීබී බස් එකට අලුත් තීන්ත පාරක් දමාදුන්නේය.ගමේ කොල්ලෝ රැලත් වැඩේ ඇරියේ නැත.ගමේ ගෙවල් වලට ගොස් කාගෙනුත් කීය කීය හරි එකතුකොට සීටීබී බස් එකට සෙට් එකක් හා ඩ්‍රයිවර් මහත්තයා ඉන්න තැනට උඩින් LED බලුබ් පත්තුවෙන බුදු පින්තුරයක් සවිකලෝය.අපේ කාලයේ උන් ඒ වගේය.

බස් එකනිසා ගමේ ගොඩක් ළමුන්ට [මා ඇතුළුව] නගරයේ පාසල්වල ඉගෙනීමට අවස්ථාව ලැබුණි.බස් එක කැඩුණුදාට අපි ඉස්කෝලේ යන්නේ නැතිය..නොපැමිණීමට හේතුව ලෙස ලියාගෙන යන්නේද බස් එක කැඩුණු නිසා කියාය.අපේ ගමට තියෙන්නේ එක බස් එකක් විතරක් බව ඉස්කොලෙනුත් දන්නා නිසා සමාව ලැබේ.අද අපේ ගමේ දියුණුවට වැඩියෙන්ම අතදී ඇත්තේ බස් එකයයි කිව්වොත් ඒක බොරුවක් නෙවේය.සීසන් එක අරගෙන නගරයේ ඉස්කෝලවලට ගෑටු අපිවැනි ගොඩක් දෙනෙක් අද ඉන්නා තැන් ගැන බලා සතුටුවිය හැකිය.

බස් එකේ වැඩකළ ගොඩක් ඩ්‍රයිවර් මහත්තුරු කොන්දොස්තර මහත්තුරු අපේම නෑදෑයෝ වගේය.ඒ කාලයේ අපි අවුරුද්දට නෑ ගමන් යනවිට පුළුවන් කමක් ඇතොත් ඒ දෙදෙනාගේද ගෙවල්වල යන්නෙමු.අනෙත් අතට ගමේ අය ඔවුන් ඇමතුවේද අපිම හදාගත් නම් වලිනි.එක ඩ්‍රයිවර් මහත්තයෙක් ප්‍රභාකරන් වගේය.ඒ නිසා ඔහු නිකම්ම "ප්‍රභාකරන්" වුයේය.ඊටපස්සේ ඩිපෝවේ අයත් ඔහු අමතන්නේ "ප්‍රභාකරන්" කියාය.තවත් කාලයක් වැඩකළ කොන්දොස්තර මහත්තයෙක් මිටිය,මහතය.ඒ නිසා ඔහු නිකම්ම "බෝලේ අන්කල්" වුනේය.

කොච්චර හිතවත් වුනත් මේ දෙන්නා සමහර කාලවලට ගමේ උන්ගෙන් හොදහැටි බැනුම් අසන්නේය..ආණ්ඩුවෙන් අලුත් බස් අනිත් පාරවල් වලට දානවිට ගමේ උන්ට ඉහිලුම් නොදෙන්නේය.සමහර උන් හිතන විදිහට අපිට අලුත් බස් එකක් නොලැබෙන්නේ ඩ්‍රයිවර් මහත්තයා සහ කොන්දොස්තර මහත්තයා ඩිපෝවෙන් අලුත් බස් එකක් ඉල්ලන්නේ නැති නිසාය.මේ බස් එක කැඩුනාම ඩ්‍රයිවර් මහත්තයාටයි කොන්දොස්තර මහත්තයාටයි ගෙදර ඉඳං නිකම්ම පඩිකත හැකි නිසාය.හැබැයි ඉතින් target එකට දුවන නිසා බස් එක කැඩුනොත් ඒ දෙන්නාගේත් බඩට වදින බව දන්නේ කීපදෙනෙක් පමණය.

ඒ කාලයේ අපි මහා නීතිවිරෝදී වැඩද කළෙමු.උදේට ඉස්කෝලේ යනවිට අපි සීසන් එක කොන්දොස්තර මහත්තයාට දෙන්නේ නැත.
එයැයි ඉල්ලන්නෙත් නැත.ඉතින් අපි ඒ සීසන් එකෙන්ම හවස පන්තිත් යන්නෙමු.කොන්දොස්තර මහත්තයාද වැඩේ දන්නා නමුත් අපිට මුකුත් කියන්නෙත් නැතිය.ටික්කෝ [චෙකර්ලා] පනින දවසට නම් සීසන් එක කැන්සල් කිරීම අනිවාර්යෙන්ම වෙන්නේය.අපි ඉස්කෝලේ යන කාලයේ ගමේ බස් එකේ කවදාවත් හොරෙන් ගියපු කෙනෙක් අසුවී නැතිය.දවසක් අසරණ සීයා කෙනෙක් [සල්ලි නැති කම නිසාම] අසුවුනි.බස් එකේ සිටි සියල්ලෝම සල්ලි එකතුකර සීයා බේරාගත්තෙමු.

එදා ගමේ කඩේට පත්තරේ ගෙනාවේ බස් එකෙන්ය.හදිසියට අවශ්‍ය දෙයක්,අරක්කු බෝතලයක් මාතරින් ගෙන්නා ගැනීමට අවශ්‍ය වුනොත් පිහිටවුණේ බස් එකය.අදටත් ඒක එසේමය.ගමේ මරණෙට ,මගුලට,දානෙට අනිවාර්යෙන්ම සහභාගී වන දෙන්නෙකි ඩ්‍රයිවර් මහත්තයා සහ කොන්දොස්තර මහත්තයා.ඒ දවස්වල බස් එකේ අපේ ප්‍රියතම පොට් එක ඩ්‍රයිවර් මහත්තයාගේ සීට්එක පිටුපස බැට්රි පෙට්ටියයි.ඒ දවස්වල ලොකුම පොරේ යන්නේ ඔතන යෑමටය.බස් එක ගැන මට වඩා හොද මතක අපේ අක්කාට තිබෙන්නට පුළුවන.එහෙම තිබුනොත් එයෑ ඒක කොමෙන්ට් කොරන් නැතෑ.

එක පෝස්ට් එකෙන් ඉවර කරන්නට සිටියත් අදට මෙතනින් නවතින්නේය........417 හන්දියේ කතා ඊලග පෝස්ට් එකෙන් බලාපොරොත්තුවන්න.

ප.ලි. - මේක කියවපු ගොඩක් දෙනෙකුට අපේ ගම මොකක්දැයි ගැටළුවක් ඇතිවී තිබෙන්නට පුළුවන.417 කියන්නේ අපේ ගමේ බස් එකේ මාර්ග අංකයයි.ඒ නිසා ගමේ කොල්ලෝ රැල ගමේ හන්දිය නිකම්ම 417 හන්දිය කරගත්තෙමු.අපේ ගමට එන්නට ඕනෑනම් ඔය උඩ තියෙන පින්තුරේ print කරගෙන ඇවිල්ලා මාතර බස් ස්ටෑන්ඩ් එකේ ඕනෑම කෙනෙක්ගෙන් අහන්නය.එවිට අපේ ගමේ නම මොකක්දැයි දැනගන්න ඇහැකිය.

linkwithin

Related Posts Plugin for WordPress, Blogger...