Saturday, May 8, 2021

චේ ගුවේරා සහෘද ඇසින්

 ඔබ ගැන ඔබගේ සහෘදයින් පොතක් ලියුවහොත් එය කෙසේ වනු ඇතිද ?


ආර්ජන්ටිනාවේ උපන් "අර්නස්ටෝ රෆායෙල් ගුවේරා ඩි ලා සර්නා" නොහොත් අපි කවුරුත් දන්නා නමින් කියතහොත් "අර්නස්ටෝ චේ ගුවේරා" එම දුලභ වාසනාව ලද්දෙකි.


Guerrillero Heroico
Picture taken by Alberto Korda on 5 March 1960, at the La Coubre memorial service


එහි විශේෂත්වය නම් ඔහුගේ ජීවිතය 

# තම මිතුරෙකුගේ ඇසින්

# තම බිරිදගේ ඇසින්

# තම පියාගේ ඇසින්


දුටු ආකාරය , ඔවුන්ගේ චේ ගුවේරා සමග වූ අත්දැකීම් ලේඛන ගත වී තිබීමයි.


චේ ගුවේරා සමග ලතින් ඇමෙරිකාව හරහා කල සුප්‍රසිද්ධ යතුරු පැදි චාරිකාවට එක්වූ ඔහුගේ මිත්‍රයා වන " ඇල්බර්ටෝ ග්‍රනාඩෝ"  [Alberto Granado] නොහොත් චේ ගේ ඔහු ඇමතූ ආකාරයෙන් කිවහොත් "මියාල්"  ඔහුගේ එම චාරිකා අත්දැකීම Travelling with Che Guevara නමින් පොතක් ලෙස පලකර ඇත.එම පොත " චේ සමග සංචාරයෙහි" යනුවෙන් චූලානන්ද සමරනායක මහතා අතින් සිංහලයට පරිවර්තනය වී ඇත.එය විදර්ශණ ප්‍රකාශනයකි.


චේ ගුවේරාගේ පලමු බිරිද වූ එමෙන්ම පේරු ඉපිද පසුව කොමියුනිස්ට් ක්‍රියාකාරිකයෙකු වූ "හිල්ඩා ගාඩියා" [Hilda Gadea] චේ සමග ගත කල ජීවිතය My Life With Che ලෙස පොතක් ලෙස පලකර ඇත.එයද චූලානන්ද සමරනායක මහතා අතින් " චේ සමග මගේ දිවිසැරිය " යනුවෙන් සිංහලයට පරිවර්තනය වී ඇත.එය සූරිය  ප්‍රකාශනයකි.


චේ ගුවේරාගේ පියාවන "අර්නස්ටෝ ගුවේරා ලින්ච්" [Arnesto Guevara Lynch] තම පුතු පිලිබද මතකයන් සහ අත්දැකීම් "Memories of Che Guevara" නමින් ග්‍රන්ථ ගත කර ඇත.එය "මගේ පුතු චේ" නමින් මංජුල කල්දේරා මහතා විසින් සිංහලයට පරිවර්තනය කර ඇත.එය සුභාවී ප්‍රකාශනයකි.


එසේනම් විසිවන සියවසේ විසූ ඒ විප්ලවවාදියාගේ දිවිසැරිය ඔහුගේ සහෘදයන්ගේ ඇසින් දුටු අයුරු කියවාබලමු.


Tuesday, December 30, 2014

මරණ බිය - Going Solo 12


මනුස්සයෙක් ජීවිතයේ වඩාත්ම අසරණ කරන හැගීම මොකක්ද කියලා මම ඔබෙන් ඇහුවොත් ඔබේ උත්තරේ මොකක් වෙයිද? මරණ බිය ..... ජීවිතයේ අපි ගොඩක්ම අසරණ කරන හැගීම...මටත් ඒ අත්දැකීමට මුහුණ දෙන්න වුනා...මේ ඒ අඳුරු යුගයේ කතාවයි.....

දිනය  - 2008.01.16   ස්ථානය - බුත්තල 

වෙනදා  වගේම දවසක්...බදාදා....හම්මේ පොළ දවස.....බුත්තල ටවුමට වැඩියෙන්ම මිනිස්සු එන දවස.... හේනේ වවාගත්තු දෙයක් විකුණගන්න, ලයිට් බිල ගෙවාගන්න...නැත්නම් ගෙදරට ඕන අඩුම කුඩුම ටික එකතුකරගන්න කවුරුත් ටවුමට එන දවස...එතකොට බැංකුවල අපිට..???? සතියේ එපා..ම කරපු දවස...උදේට මක්ක හරි චුට්ටක් බඩට දාගෙන වාඩිවුනොත් දෙයියන්ගේ පිහිටෙන් හවස 4 වෙද්දී වගේ දවල්ට කන්න නැගිටින්න පුළුවන් වෙන දවස....ඒ ඉතින් බුත්තල එවුන්ටනේ...මට මොකෝ..මං වැඩ බඩල්කුඹුරෙන් .... මටනම් ටිකක් රිලැක්ස් දවස....උදේ පාන්දරම වැඩට යන්න ඕනත් නැහැ...8 වෙනකොට ගියාම ඇති.මං වෙනදට වැඩට යන්නේ උදේ 6.15 බුත්තල - බඩල්කුඹුර බස් එකේ...එතකොට බදාදට? එදාටනම් ඉතින් ඊට පස්සේ එන මාලිගාවිල - බඩල්කුඹුර බස් එකේ ගියාම ඇති....පොඩ්ඩක් අව්ව වැටෙනකල් නිදාගන්න තියෙන දවස...එතකොට ඔන්න එදාත් අන්න ඒ වගේ දවසක්.....

මාත් හයහමාරට විතර නැගිට්ටා...අනිත් එවුන්ට කලින් බාත්රූම් එකට රිංගගත්තේ නැත්නම් වෙලාවට ලෙස්තිවෙනවා බොරු...හතහමාරට විතර බස් එක චමරිය ඉස්සරහින් යන්නේ...මේ බස් එකේ එල්ලෙන එකේ අනිත්වාසිය තමයි චමරිය ගාවින්ම බස් එකට ගොඩවෙන්න පුළුවන් එක...හවසට එනකොටත් චමරිය ගාවින්ම බහින්න පුළුවන්.නැත්නම් ඉතින් ටවුමට පුස් බයිසිකලෙන් ඇදලා...ඒක ටවුමේ දාලා බස් එකක යන්න ඕන...ඔන්න මමත් ලෙස්තිවුනා...වෙලාව උදේ 7 ට විතර....තව පැය බාගයක් විතර ඉන්න ඕන...බස් එකට... ටී.වී.එක චුට්ටක් දාගෙන බැලුවා..කම්මැලි.... ඔන්නොහෙ බයිසිකලෙන් ටවුමට ගෙහුන්ම යනවා... මම බයිසිකලෙත් අරං පාරට බැස්සා...එක හුස්මට ටවුමට පැද්දා..බයිසිකලේ ටවුමේ විජේතුංග හෝටලේ පිටිපස්සට අතැරලා බුත්තල - බඩල්කුඹුර බස් එකේ එල්ලුනා...බස් එකත් කොට කොට ගියා...යන්තම් 8 වෙනකොට වැඩට ගියා...

ඔහොම වැඩිවෙලා ඉන්න වුනේ නෑ...ත්‍රීවීල් පාක් එකේසුනිල් අයියා දුවගෙන ආවා බැංකුව ඇතුලට...මහත්තයා..මහත්තයා... මාලිගාවිල බස් එකට කොටි ගහලලු.....මොනවා...වෙන්න බෑ...මගේ කටින් පිටවුනා..ඒත් මේ වගේ වෙලාවක මොනවා වෙන්න බැරිද?අපි ඉස්සෙල්ලම කලේ බැංකුව හොදින් දොර ජනෙල වහපු එක.ඊට පස්සේ ප්‍රාදේශීය කාර්යාලයෙන් උපදෙස් ගත්තා..වැඩිදුර උපදෙස් එනකල් බැංකුව ඇතුලට වෙලා ඉන්න කියලා උපදෙස් ලැබුනා.

ඒ අතරේ මම මගේම හීන ලෝකෙක...ඇත්තටම මේ මොකද වුනේ?මම හැමදාම එන බස් එක නේද?...ක්ලේමෝ එකක්ලු ගහලා තියෙන්නේ...20 ක් 30 ක් එතනමලු..ආරංචි හතර අතින්...කිසිම දෙයක් හිතාගන්න බෑ...දැන් වගේ හැම එකා අතේම හෑන්ඩ් ෆෝන් නුත් නැහැනේ..තිබ්බත් හරියට සිග්නල් නැහැ...බුත්තලිනුත් හරි ආරංචි එන්නේ නැහැ..දවල් වෙද්දී තවත් ආරංචියක්...හමුදාවේ බෆල් එකකටත් ක්ලේමෝ තියලලු...කතරගම රජමාවතේ.දෙයියනේ මේ මොකක්ද වෙන්න යන්නේ?මට හිතුනා...කොහොමහරි වෙනදට වඩා කලින් බැංකුව වහන්න උපදෙස් ලැබුනා...කොහොමත් බැංකුව ඇරගෙන හිටියත් වැඩක් නැහැ.ටවුමේ බලු බල්ලෙක් නැහැ...හරිම මූසලයි... එලියට බැස්සට මොකෝ බුත්තල යන්න බස් නැහැ..ත්‍රීවීල් වල අය රත්තරන් දෙනවා කිව්වත් යන්න කැමති නැහැ...කවුරුත් බයෙන්..මොකක්ද? ඔව් මම ඇතුළු කවුරුත් මරණ බයෙන්....කොහොම හරි ඒ පාර බදුල්ල මොනරාගල බස් එකක එල්ලිලා මොනරාගල ගියා..මොනරාගලින් වැල්ලවාය බස් එකක් එල්ලුනා..බස් එකට හමුදාවේ 6 ක් 7 කුත් නැග්ගා...කවුරුවත් කතා නැහැ..කවුරුත් බයෙන්..ඔව්..මරණ බයෙන්..හුලන්දාව...මහගොඩ යාය පහුවෙලා බස් එක බුත්තලට ආවා...මං බස් එකෙන් බැස්ස ගමන් පුෂ් බයිසිකලෙත් ඇරගෙන කෙලින්ම ගියේ බුත්තල ඉස්පිරිතාලෙට...එතන එකම මලගමක්....

වෙඩි වැදිලා ඔළු කුඩුවෙච්ච මිනී ඉස්පිරිතාලේ පුරාම...අමාරු ලෙඩ්ඩු සිරිගලට [මොනරාගල රෝහල] අරං ගියාලු...අපේ යාලු දොස්තර අමිත අයියත් එක්ක මමත් ගියා මැරුණු අය බලන්න....දෙයියනේ..වෙනදට මම යන බස් එකේ යන උදවිය....හෙළගම ගමේ මම හොදටම හදුනන කිහිප දෙනෙකුත් ඒ අතරේ..මට ලෝකේ මා වටේම කැරකෙනවා වගේ දැනුනා....දෙයියනේ මේ අසරණ මිනිස්සු.... අද බස් එකේ හිටියනම් සමහරවිට මාත් මේ අතරේ නේද? මැරුණු අය අතරේ බෝම්බ කෑලි වැදුණු අය අඩුයි...ඔක්කොගෙම ඔළුවලට වෙඩි වැදිලා...එහෙම වුනේ කොහොමද?

බෝම්බෙ බස් එකට හරියට වැදිලා නැහැ...හැබැයි බස් එක නැවතිලා..රෝදවල හුලන් ගිහින්....කැලේ හැංගිලා හිටපු කොටි බස් එක ලඟට ඇවිත් බහින බහින අයට වෙඩි තිබ්බලු....දෙයියනේ...මුන් කිරිසප්පයෝන්ටත් වෙඩි තියලා... මල්ලි...ඉක්මනට කනදෙයක් ඇරගෙන චමරියට ගිහින් දොරවල් ජනෙල් වහගෙන ඉන්න...අමිත අයියගේ කටහඬින් මම මේ ලෝකෙට ආවා....රෑට කන්න ඉඳිආප්ප ටිකකුත් අරගෙන චමරියට බයිසිකලේ පැද්දා....ඇඟ හෝදගෙන කන්න වාඩිවුනාට කන්න පිරියක් නැහැ...කැලේ ඇතුලෙන් වෙඩි සද්ද ඇහෙනවා....අනිත් අයත් කතාවක් නෑ...ඉදිආප්ප ටික එළියේ තිබ්බ බල්ලගේ පිගානට හලපු මම ඇවිත් ඇඳේ දිගාවුනා....

අනිත් අයත් නිදාගන්න ගියා...මහ රෑ මම ඇහැරුනා...මගේ කාමරය තිබුනේ චමරියේ පිටතින් ඇතුල් වෙන්න පුළුවන් විදිහට. මං ඇහැරුනේ මගේ ඇදුම් කබඩ් එක අස්සෙන් ආපු සද්දෙකට.වෙලාව රෑ එ‍කට විතර ඇති

ක්රීස් .......ක්රීස් .......ක්රීස් .....

අපිට දීලා තිබ්බේ වානේ වලින් හදපු කබඩ්.මං ඇඳෙන් නැගිටලා ගිහින් අතෙන් හය්යෙන් කබඩ් එකට තට්ටු කළා

දඩාස් ............දඩාස් ..............

ආයිත් ඇදට ඇවිත් නිදාගන්න හැදුවත් ආයෙත් අර සද්දේ....ඒ පාර මම පහත්වෙලා කබඩ් එක යටට ටෝච් එක ගහලා බැලුවා ,ආ .....මේ පොල් කුරුමිනියෙක්නේ ,මං කොස්ස ගෙන පොල් කුරුමිණියා එලියට ගත්තා ,කොස්සෙන්ම කුරුමිණියා තල්ලු කරගෙන එලියට බහින දොර ගාවට ගියා ,දොර ඇරියා ... කරාස් ....මේ දොර කොහොමත් ටිකක් හිරයි.කුරුමිණියා එලියට දැම්මා දොර වැහුවා....ආයෙත් ඇවිත් නින්ද නොයන නිසා සද්දේ අඩුවෙන් රේඩියෝව දාගෙන ඇදට වෙලා හිටියා .ඔහොම මට නින්ද යන්න ඇති.

මං ආයෙත් ඇහැරුනේ මගේ හෑන්ඩ් ෆෝන් එක රින්ග් වෙන්න ගත්තු නිසා...වෙලාව පාන්දර 3 ට විතර ඇති ,කතාකලේ මගේ හොද මිත්‍රයෙක් වන අපේ බැංකුවේ වැල්ලවාය ශාකාවේ මැනේජර් මහතාගේ ලොකු පුතා .ඔහු චරිත්

චරිත් - මචන් දැන් කවුද උබලගේ චමරියට ආවේ
 

මං - මොකක්

චරිත් - දැන් අමල් අපේ ගෙදරට කෝල් එකක් අරන් තිබුනා කොටි ඇවිල්ල කියලා...මේ අපි එන්න හදන්නේ.....

මං -උබට පිස්සුද බන්...ඉදපන් බලන්න මේ අමලයා කොහෙද කියලා .

මං අනිත් දොර අරගෙන අමල්ගේ කාමරේට ගියා ...අමල් හිටියේ නැහැ .ඔන්න දැන්නම් මාත් ටිකක් ඩිම් උනා

මං -යකෝ ,මුන් නැහැනේ ,මාවත් දාල මේ මහා රෑ මුන් කොහෙද ගියේ...මං මටම කියාගත්තා...

මට බයකට වඩා දැනුනේ තරහක් ,මම කෝල් එක කට් කරලා මහා හය්යෙන් කෑගැහුවා ,අමාල් ................අමාල්................

මෙන්න මූ එනවා ඇද යටින් එලියට...ගැහි ගැහි....

අමල් - මචන් උන් උබට මුකුත් කලේ නැද්ද ?

මං - කවුද යකෝ

අමල් - කොටි

මට දැන් යක්ස කේන්තියක් ආවත් බයේ වෙව්ලන අමල් දැක්කම ඒක නිකම්ම නිවිලා ගියා ....මං වතුර බෝතලයක් අරගෙන ඌට බොන්න දුන්නා

මං -දැන් කියපන් මොකද උනේ කියලා ,

අමල් -මචන් හරියටම එකට විතර උබේ කාමරේ දොරට ගහන සද්දයක් ඇහුනා ,(මං කබඩ් එකට ගහපු සද්දේ ) ඊලගට කාමරේ දොර ඇරලා වහනවත් ඇහුනා,ඊලගට කාමරේ කීප දෙනෙක් කතාකරනවත් ඇහුනා ,(මගේ රේඩියෝ එකේ සද්දේ )

මං - ඉතින්

අමල් - මං හිතුව බන් කොටි ඇවිත් උබව මරලා කියලා

මං -ඉතින් එච්චරද උබට හිතුනේ....

අමල් - නෑ බන් මට හිතුනා ඊලගට උන් මගේ කාමරේට ඒවි කියලා,ඉතින් මං මැනේජර්ට කෝල් එකක් ගත්තා ,ෆෝන් එක වැඩකලේ නැහැ...මං R.M. (ප්‍රාදේශීය කළමනාකරු ) ට ගත්තා....සර් 119 ට  කියන්නම් කිව්වා....ඊලගට මං චරිත්ලයි ගෙදරට ගත්තා ,

මං - ඌ තමයි මට කතාකලේ...දැන් ඉතින් කරන්න දෙයක් නැහැ...පොලිසියෙන් ආවොත් මොනවා හරි කියමු... 


කොහෙවත් නැති අමු මූසල කමක් අපිවටේ ගොඩනැගිලා කියල මට හිතුනා...මහ අසරණ කමක්...කොහොමහරි උදේට එලිවුනා..පොලිසියෙන් ආවේ නැහැ...අපි සුපුරුදු පරිදි ලේස්තිවෙලා වැඩට ගියා....තවත් ආරංචියක්..බෆල් එකට ක්ලේමෝ එක ගහපුවෙලේ බැංකුවේ වෑන් එකකුත් එතනින් ගිහින්...ඒ නිසාම සෙබළු කිහිප දෙනෙක්ගේ ජීවිතේ බේරගන්නත් හැකිවෙලා...අසරණ කමක් දැනුනු කතා ගොඩක් අස්සේ ඉඳලා හිටලා හිතට සැනසුමක් දෙන කතා අහන්නත් ලැබෙනවා....

එදා ඉඳං වැඩට ගියේ උදේ 6.15 බස් එකේ...බස් එකේ ඩ්‍රයිවර් සිරි අයියා... දවස් දෙක තුනකට පස්සේ...උදේ බස් එක ටවුම පහුකරලා ඉස්සරහට ගියා...තේක්ක කැලේ මැද්දේ..කවුද පොඩි පොඩි තේක්ක අතු කපලා පාර මැදට ඇදලා දාලා....සිරි අයියා බයෙන්..බයෙන් වුනත් බැහැලා ඉස්සරහට ගියා.... අපිත් බස් එකෙන් බැස්සා... සිරි අයියා එක කොළ අත්තයි අයින් කලේ....දෙයියනේ....කැති ගාපු මිනී දෙක තුනක්...කෑලි කෑලි වලට කපලා....මට මතක බස් එකට නැග්ග බවත් ...සිරි අයියා මාරා වේෂේන් වගේ බස් එක ආපහු බුත්තලට එලෝපු විත්තියත් විතරයි...රහතන්කන්ද පැත්තේ හේන් ගොවියෝ කිහිප දෙනෙක්ලු... උතුරේ යුද්දේ...මෙහාටත් ඇවිත් නේද? 

පහුවෙනිදා උදේ...තවත් අවාසනාවන්ත ආරංචියක්...අපේ ගෙවල් ගාව සාගර අයියා කුඩා ඔය අලිමංකඩ පොලිස් බැරියර් එකේදී කොටි ස්නයිපර් පාරකින් මැරිලා...දෙයියනේ....ජීවිතයේ කවදාවත්ම අමතක වෙන්නේ නැති කාලයක්...මට විතරක් නෙවේ...ඒ කාලේ බුත්තල විතරක් නෙවේ සෑම මායිම් ගම්මානෙක මිනිස්සුනට මරණ බිය දැනුනු කාලයක්...ඒ කාලේ යුදගනාව පැත්තේ මිනිස්සු පොඩි සද්දයක් ඇහුනත් පණ කඩාගෙන ගෙවල් වලින් එළියට බැහැලා දුවනවා....පුදුමාකාර අවාසනාවන්ත කාලයක්...

හැබැයි ඉක්මනින්ම මගේ රට ඒ ශාපයෙන් මිදුනා...2009 දී.. ඒත් ඒ වගේ කාලයක්...මම මුහුණ දුන්නේ බොහොම සීමිත අත්දැකීම් කිහිපයකට...ඒත් ඒ ගම්මානවල මිනිස්සු තමන්ගේ ජීවිත කාලෙන් හරි අඩක් මරණ බියෙන් ජීවත්වුණු මිනිස්සු... ඒ නිසා යුද්දය අවසන් වුනා කියන්නේ ඒ මිනිස්සුන්ගේ ජීවිතේ ලොකුම සහනය....කොළඹ අයටත් එහෙමයි....ඔන්න ඔහොමයි බුත්තල ජීවිතේ අඳුරුම කාලයක් ගෙවුනේ....මට කවදාවත් අමතක නොවෙන චරිත ගොඩක්...වීරවරයෝ...කඳුළු.... පිරි අතීතයක්....මැරෙනතුරානම් අමතක නොවේවි...

linkwithin

Related Posts Plugin for WordPress, Blogger...