Thursday, December 27, 2012

ආදීතමයා -we are not alone අවසාන කොටස




"කලබල නොවන්න ,සියල්ල යහපත් ආකාරයෙන් පවතිනු ඇත "

මා අවට කිසිවෙකු නොමැතිබව පැහැදිලිය ,කිසිදු කටහඩක් මට නොඇසුණු වගත් සහතිකය ,

එහෙත් හඬ නොනැගෙන පරිදි මාගේ සිතිවිලි වලට කතාකරන්නේ කවුද ?මම දැඩි ලෙස නොසන්සුන් වුයෙමි ,මා පමණක් නොව ඔබ උවද මෙවැනි සිදුවීමකට මුහුනදුනහොත් මෙලෙස නොසන්සුන් වනු ඇත ,

ඔබ කවුද ?මා මේ සිටින්නේ කොහෙද ?

මා කෑගැසුවෙමි ,ඇත්තෙන්ම මා කෑ ගැසුවාද?ඔව් මට එය විශ්වාසය ,එහෙත් මගේ මුවින් ශබ්දයක් පිටනොවුණු වගත් මට විශ්වාසය ,

නැවතත් අර සිතුවිලි මට කතාකරන්නට විය ,

"ඔබ කලබල වී ඇති බව පෙනේ ,ඔබ මෙහි සිටින්නේ අපගේ යම් පරීක්ෂණ කටයුත්තක් සදහා පමණි ,කෙසේ වුවත් ඔබගේ මේ කලබල කාරී මානසික තත්වය අපගේ පරීක්ෂණ කටයුතුවලට බාදාවකි ,

එබැවින් අප කවුද යනවගත් ඔබ මෙහි ගෙන ඒමට හේතුවත් ඔබට දැන්වීමට අප තීරණය කළෙමු ,

ඔබලා විශ්වාස කරන්නේ මිනිසුන් වන ඔබලා වානරයන්ගේ පරිනාමයෙන් ඇතිවූ බව නේද ?එහෙත් ඔබලාගේ පරිනාමන වාදයේ වානරයාත් මිනිසාත් සම්බන්දවන තැන එක් පරිනාමන පුරුකක් පිළිබද කිසිදු සාක්ෂියක් ඔබලාට සොයාගැනීමට නොහැකි වුවා නේද ?එයට හේතුව නම් මෙයයි ,එනම් ඔබලා වානරයන්ගෙන් පරිනාමනය වූ සත්ව කොට්ටාශයක් නොවීමයි .

ඔබලා ඇන්ද්‍රෝමීඩා නමින් හදුන්වන චක්‍රාවාටයේ අස්දා තරුවේ ඉන්ග්රෙස් නම් ග්‍රහලෝකයේ වාසයකරන ඉන්ග්රෙස්වරු අප වෙමු ,අදින් පෘතුවි වර්ෂ ලක්ෂ ගණනකට පෙර අපගේ ඉන්ග්රෙස්වරු අපගේ තාරුකාවේ අවසානය ඉක්මනින් ලගාවන බව දැනගත්හ .තාරුකාවේ අවසානයත් සමගින් අපගේ ග්‍රහලොවේද අවසානය ලගාවන බැවින් අපගේ ජීවයට සුදුසු ග්‍රහලොවක් සොයා අපි අපගේ ග්‍රහලොවින් නික්මුනෙමු .

එසේ පැමිණි අපට ඔබලාගේ ග්‍රහලොව අපගේ ජීවයට සුදුසු තැනක් ලෙස සමුවුනි ,එසේ පැමිණි අප පිරිසෙන් කොටසක් මෙහි රැදෙද්දී අනෙක් පිරිස අපගේ ඉතුරු ඉන්ග්රෙස්වරු මෙහි කැදවාගෙන ඒමට නැවතත් අපගේ ග්‍රහලොව කරා නික්මුණි ,(මෙම සිතුවිලි මට කතාකරද්දී එම සිදුවීම් චිත්‍රපට ශාලාවක මෙන් මා සිටි කාමරයේ බිත්ති පුරා දිස්වන්නට විය )

මෙහි රැදුණු පිරිස අපගේ අනෙකුත් ඉන්ග්රෙස්වරුන්ගේ පැමිණීම වෙනුවෙන් මෙම ග්‍රහලොවේ ඉදිකිරීම්වල නියැළුනහ .අද ඔබලා මහත් අභිරහස් ලෙස සලකන පිරමීඩ ඇතුළු අනෙකුත් නිර්මාණවල මුල් අයිතිකරුවන් අපවෙමු .ඔබලාගේ අනෙකුත් මෝඩ විද්‍යා කටයුතු මෙන් අපගේ නිර්මාණවලද කාලනිර්ණය කිරීම ඔබලාට වැරදීම පුදුමයක් නොවේ .ඔබලා කාලනිර්ණයට යොදාගන්නේ අපගේ නිර්මාණවල පසුකාලීනව ඔබලාගේ මිනිසුන් විසින් ඇදඇති සිතුවම් වැනි දේවල් නිසා එය එක් අතකට පුදුමයක් නොවේ .

මෙහි රැදුණු අපගේ ඉන්ග්රෙස්වරු ටිකකලකින්ම අපට හදුනාගත නොහැකි විකෘර්තිකම් වලට ගොදුරු වන්නටවිය .අපගේ ඉන්ග්රෙස්වරුන් ඔවුන්ගේ කපාල ඉදිමීමකට ගොදුරුවිය ,කපාල පරිමාණය ඉහල ගියත් ඔවුන්ගේ බුද්ධි මට්ටම ඉහල නොගිය අතර එය අපට සිතාගත නොහැකිතරම් පහල මට්ටමකට ඇදවැටුණි .ශරීර ප්‍රමාණය කුඩාවන්නට වූ අතර සිරුර පුරා තිබු රෝම ගැලවීයන්නට විය .නොයෙකුත් රෝගවලට ගොදුරු විය.අප මින් පෙර අත්දැක නොතිබූ මරණය නම් අක්රියවීමකට ලක්වන්නටවිය .මින් පසු ඇතිවූ පරම්පරාව අපට හාත්පසින්ම වෙනස් ජීවින් කොට්ටාසයක් විය .ඉතිරි වූ සුළු ඉන්ග්රෙස්වරු පිරිස වනගතව අදවනතුරුත් ජීවත්වෙති .

විකෘර්ති වූවන්ගෙන් කොටසක් තව තවත් විකෘර්තිවීම් වලට ගොදුරුවීමෙන් අද සිටින වදුරන් ,ගොරිල්ලන් වැනි සතුන් බිහිවිය .එහෙත් අපට ඇතිවූ ප්‍රබලම තර්ජනය එය නොවේ ,තවත් කොටසක් කාලයක් යත්ම තව තවත් විකෘර්තිවීමෙන් ඔබලා වැනි මනුෂයන් බිහිවීමයි .මනසින් අපතරම් දියුණු නොවුවත් ඔබලා යම් තරමක බුද්ධි මට්ටමකට හිමිකම් කියයි ,එහෙත් අපට සිතාගත නොහැකි දෙයනම් ඔබලාගේ මනසේ වැඩුනු වෛරය ,ක්‍රෝධය වැනි සිතුම් පැතුම් පිලිබදවයි .එනිසාම ඔබලා අතර ඇතිවූ යුද්ද නම් සිදුවීම් නිසා මේ වටිනා ග්‍රහලොව පසුගියකාලයේදී නැතිවීයනතරම් තත්වවලට මුහුණ දුනි .

නමුත් වැදගත්ම දෙයනම් මිනිසුන්වන ඔබලා මේ ග්‍රහලොවේ තත්වයන්ට හොදින් හැඩගැසීමයි,මින් වර්ෂ ගණනකට පෙර අපේ ග්‍රහලොව විනාශවිය ,දැනටමත් අපේ අනෙකුත් ඉන්ග්රෙස්වරු මේ ලොවකරා ගමන් අරබා ඇත.

දැන් ඔබට අපි ඔබ අපගේ පර්යේෂණයකට යොදා ගත්තේ ඇයිදැයි පැහැදිලි වී ඇති.අපට අවශ්‍ය අපගේ ඉන්ග්රෙස්වරු මෙහි පැමිණි පසුව නැවතත් විකෘර්ති නොවී පවත්වාගැනීමටයි .අපි ඒ සදහා පර්යේෂණ මට්ටමින් මේවනවිට මනුෂ්‍යයන් යොදා ගෙන ඇත .ඔබත් එහි එක් කොටසක් පමණි .තවත් නොබෝ කලකින්ම මෙහි පැමිණෙන අපගේ ඉන්ග්රෙස්වරුන්ට ඇති ප්‍රබලම අභියෝගයනම් මිනිසුන්ය .

එහෙත් අපි ඔබලා සමග "යුද්ධ "වලට නොඑලබෙමු .ඔබලා අප යටතේ  මේ ග්‍රහලොවේ වාසය කිරීමට අකමැතිනම් මෙහි මුල් අයිතිකරුවන් වන අපට ඔබලාව ස්වභාවික අවසානයකට යොමුකිරීමට සිදුවනු ඇත .අපගේ ඉන්ග්රෙස්වරු පැමිණීමට පෙර ඔබ වැනි අපි අපගේ පර්යේෂණ මිනිසුන් නැවත එක්රැස්කර අවසාන ප්‍රතිකර්මයක් සොයාගන්නට අපි කටයුතු කරමු  .දැනට එපමනයි,

"සර්,සර් "

මට සිහිය එනවිට මා දුටුවේ මා දෙස බලා සිටින මාලිබුය.මා වටා අනෙක් අයද එක්රැස්වී සිටියහ .

මට මොකද උනේ ?මම විමසීමි 

සර් කැළේ පැත්තට ඇවිදගෙන ආවනේ දැන් විනාඩි පහකට විතරකලින් .මම සර්ව හොයාගෙන එනකොට සර් මෙතන වැටිලා හිටියා .

මොනවා.මං ඇවිදින්න ඇවිත් තාම විනාඩි පහද ගියේ ?

ඔව් සර් ,ඇයි එහෙම ඇහුවේ ?

එතනින් මගේ සංචාරය අවසන්කළ මම නැවත මව්බිමට පැමිණිමි.එදා සිද්දියෙන් පසු මාගේ මනසේ සහ සිරුර අභ්‍යන්තරයේ වෙනස්කම් මට දැනේ .මා මේ පිලිබදව මාගේ හොදම වෛද්‍ය මිතුරෙකු හමුවී මුළු සිද්දියම ඔහු හට පැවසීමි.ඔහු සිනා මුසු මුහුණින් මගේ පිටට තට්ටුකොට "උබට විකාර "යයි පැවසීය .

මා මුලින් කියුපරිදි මෙම කතාව පිළිගැනීම හෝ නොගැනීම ඔබ සතු කාර්යයකි ,මම මේ දේ පමණක් ඔබගෙන් විමසමි නූතන විද්‍යාවට අසුනොවන සියල්ල බොරුද ?

නිමි .

මවිසින් 10 ශ්‍රේණියේදී පාසලේ බිත්ති පුවත්පතකට ලියු විද්‍යා ප්‍රබන්දයක් ඇසුරිනි.




9 comments:

  1. විද්‍යාවට ඔප්පු කළ නොහැකී වූ බොහෝ දේ තාම මේ විශ්වය තුළ පවතී යන්න මගේ විශ්වාසයයි. ඔබට ජය.

    ReplyDelete
  2. විද්‍යාවෙන් ඔප්පු කරන්න බැරිවූ තව කොතෙක් දේවල් නම් තිබේද

    ReplyDelete
  3. නුතන විද්‍යාව අපගේ යම් යම් ගැටලුවලට පිළියමක් මිස විසදුමක් නොවනබව මාගේ හැගීමයි

    ReplyDelete
  4. නූතන විද්‍යාව කියන්නෙත් තාම ඉගෙන ගන්න එකෙක් නොවැ.ඌට සෑහෙන්න කාලයක් යයි යම් මට්ටමකට එන්න..

    ලිවීම ගැන.

    ලස්සනට පෙළගස්සලා තිබුණත් පොඩි කලබලයක් පේන්න තියෙනවද මන්දා
    ජයවේවා !

    ReplyDelete
    Replies
    1. ඇත්ත ,කතාව කොටස් තුනකින් විතර ඉවරකරන්න ඕන කියල මං තීරණය කළා

      Delete
  5. අපි විද්‍යාවෙන් සොයාගෙන ඇති දේ ‍ටිකයි. නමුත් සෙවිය යුතුදේ බොහොමයි.කාලය සහ තරංග ගලායාම වගේ දේවල් ගැන හිතනකොට පුදුම හිතෙනවා

    ReplyDelete
    Replies
    1. බටහිර විද්‍යාව ප්‍රයෝගික නැහැ කියලා තමයි මං හිතන්නේ ,හැබැයි ඔන්න මං මහාචාර්ය නලින් ද සිල්වා වගේ නෙමෙයි හොදේ

      Delete
  6. වයසෙ හැටියට නිර්මානෙ අති විශිශ්ටයි මචං!

    ReplyDelete

මොකෝ කියන්නේ ,ආපු එකේ මොනවහරි කියලම යමුනේද ?

linkwithin

Related Posts Plugin for WordPress, Blogger...