Sunday, September 1, 2013

රබර් ඇටෙන් රූං පෙත්තක් හදමු - Weekend Project



ඔන්න ඉතින් මාසෙකටත් පස්සේ මේක ලියන්න ගත්තේ.පහුගිය කාලේ හරිම අවිවේකී වුනා නොවැ.තාමත් එහෙම තමයි.ඒත් ඉතින් මේක අතැරලා දාලා පුළුවනෑ.ඒක නිසා ඔන්න අද weekend project එකක් දාන්න හිතුනා.ඒකත් weekend එකත් end වෙන්න ගියාමයි ලියන්න හිතුනේ.අද වැඩට ගිහින් එද්දී (අපි ඉරිදත් වැඩ තමා අනේ )මගදී බයිසිකලේ රෝදෙට අහුවෙලා මොකක්ද මන්දා "පටාස්" ගාලා පුපුරලා ගියා.කෝකටත් කියලා බයිසිකලේ නවත්තලා බැලින්නම් රබර් ඇටයක්.ඒ විතරක්ය පාර පුරාම රබර් ඇට.ඒවායින් දෙක තුනක් අහුලලා සාක්කුවේ දාගත්තා.ගෙදර ඇවිත් සාක්කු අස් කරනකොට මේකෙන් පොඩි වැඩක් කරන්න පුළුවන්නේ කියලා ඔලුවට ආවා.මගේ පොඩි පෑන පිහියත් අරගෙන මිදුලට බැහැලා ඕන කරන අනිත් දේවලුත් එකතුකරගත්තා.හැබැයි ඔන්න මුලින්ම කියන්න ඕන මේක පොඩි අය හදන්න යන්නෙපා.අම්මලා තාත්තලා හදලා දුන්නත් පොඩි අයට තනියම මේකෙන් සෙල්ලම් කරන්න දෙන්නත් එපා.විශේෂයේන්ම ඇස් දෙක පරිස්සම් කරගන්නෝන.රයිටෝ ඔන්න එහෙනම් වැඩේට බහිමු.මුලින්ම සුපුරුදු පරිදි අවශ්‍ය දේ....



1.රබර් ඇටයක් [ටිකක් මහත එකක්]

2.ඉරටු එකක් දෙකක් [අමු ඒවා හොදේ,ටිකක් මහත්වෙන්නත් ඕනේ] 

3.පොල්පිති කැල්ලක් [පින්තුරේ තියෙන විදිහට පොල්පිත්තේ යට පැත්තෙන් කපා ගන්න,අමු පොල්පිත්තක්නම් වැඩිය හොදයි]

4.නූල් කැබැල්ලක්

5.රබර් ඇටේ විදගන්න පොඩි කටුවක්. 

හරි එහෙනම් ඔය ටික එකතුකරගත්තම වැඩේට බහින්න පුළුවන්.



මුලින්ම කරන්න තියෙන්නේ රබර් ඇටේ උඩිනුයි යටිනුයි සහ පින්තුරේ පේන විදිහට මැදිනුයි හිල් තුනක් විදගන්න එක.මතක තියාගන්න රබර් ඇටේ පැලෙන්නේ නැතිවෙන්න පරිස්සමින් වැඩේ කරන්න ඕන.



ඔන්න දැන් තමයි අමාරුම වැඩේ.දැන් ඒ හිල්තුනෙන් ඉරටු කැබැල්ලක් ඇතුලට දාලා රබර් ඇටේ මදේ කුඩා කොටස්වලට කඩලා ඉවතට ගන්න ඕන.ටිකක් වෙලා ගතවෙන වැඩක්.ඉවසිල්ලත් තියෙන්න ඕන.හැබැයි අපේ වැඩේ සාර්ථක වෙන්න නම් මදේ ඔක්කොම ඔය පින්තුරේ තියෙන විදිහට ඉවත්කරගන්න ඕන.එහෙමකරගත්තට පස්සේ අපිට ඊලග පියවරට යන්න පුළුවන්.




ඊලගට තියෙන්නේ පොල්පිති කෑල්ලට ඉරටුවක් සවිකරගන්න එක.පොල්පිති කෑල්ල කටුවෙන් විදලා ඔය රූපෙ තියෙන විදිහට හොදට සවිකරගන්න ඕන.මේක අතිශයින්ම වැදගත්.මේක හරියට සවිනොවුනොත් රූං පෙත්ත කරකැවෙන වේගෙට පොල්පිති කෑල්ල ගැලවිලා ඇවිත් ඇහේ වදින්න පුළුවන්.



හරි ඊට පස්සේ කරන්න තියෙන්නේ අපේ ගාව තියෙන නූල් කැබැල්ලේ එක කොනක් ඉරටු කදේ ගැටගහලා ඉරටුව රබර් ඇටේ මැදින් දාලා නූලේ අනිත් කොන අපි අර ඉස්සෙල්ලා විදගත්ත රබර් ඇටේ මැද සිදුරෙන් එලියට අරගෙන තවත් පොඩි ඉරටු කැබැල්ලක් ඒ කොනට ගැට ගහන එක.අපැහැදිලිනම් ඔය උඩ තියෙන රූප සටහන බලන්නකෝ.ඊට පස්සේ මැද තියෙන ඉරටුව කරකවලා නූල ඒකෙ ඔතාගන්න.ඔන්න එතකොට පල්ලෙහා තියෙන පින්තුරේ වගේ තියේවි.



ඊට පස්සේ පොඩි ඉරටු කෑල්ලෙන් ඇදලා අත ඇරියම රූන්පෙත්ත කරකැවිලා ආයිත් නූල එතෙනවා.මං මුලින් කිව්වා වගේම ඇහැ තමයි පරිස්සම් කරගන්න ඕන.ඒක නිසා මේකෙන් පොඩි අයට තනියම සෙල්ලම් කරන්න දෙන්නෙපා.දවසක් දෙකක් ගියාම පොල්පිති කැබැල්ල වේලෙන නිසා කරකවද්දී ඉරටුවෙන් ගැලවිලා ඇවිත් ඇහේ වදින්න පුළුවන්.ඒක නිසා සෙල්ලම ලෙල්ලම කරගන්න එපා කියලා කාරුණිකව ඉල්ලා සිටිනවා.

මම මේවා බ්ලොග් අවකාශේ සටහන් කරලා තබන්න හිතුවේ.අනාගතේ දවසක [දැනටමත් පොඩි අය මේවා දැකලවත් නැතුව ඇති] කවුරුහරි කෙනෙක්ට උදව්වක් වේවි කියලා හිතලයි.ඒත් ඉතින් සිංහලෙන් හෙව්වොත් විතරනේ මේක අහුවෙන්නේ.ඒක නිසා ඔන්න දානවා මේකේ හෙඩිම ඉංගිරිසියෙන්.වැරදිනම් නිවැරදිකරත්වා.එහෙනම් ගොහින් එන්නම්.ටටා.....

how to make simple toy fan using rubber seed..........

Saturday, July 20, 2013

අපේ ගම මාතර - ආනයනය කරන ලදී ......


ඔයාල දන්නවා ඇතිනේ මගේ තව බ්ලොග් එකක් තිබුනා අපේ ගම මාතර කියලා.ඒත් ඉතින් මගේ අතින් පොස්ට් ලියවෙන්නේ නැති නිසාම ඒක අභාවයට ගිහින්.ඒක නිසා ඒකෙ තියෙන වැදගත් පොස්ට් ටික මේ බ්ලොග් එකට ගේන්න මං තීරණය කළා.කියවලා නැති අය කියවලා අදහසක් දාන්නකෝ.....

මිනී නොකයි මාතර කිඹුලිගේ පැටියා










ප.ලි.-මේක දැම්මට අද හරි හෙට හරි පොස්ටුවක් දාන්න ඕනා....

linkwithin

Related Posts Plugin for WordPress, Blogger...