රස්සාවේ පලවෙනි දවස ගැන කස්ටියම කියවන්න ඇතිනේ.ඔන්න ඔහොම ඉතින් ටික දවසක් යද්දී අපිත් ඉතින් අනිත් අය වගේ සුපුරුදු පීල්ලටම වැටුනා.උදේට නැගිටිනවා, කනවා, වැඩට යනවා, දවල්ට කනවා, ආයේ ආපහු එනවා, ඇගපත හෝද ගන්නවා, රෑට කනවා, නිදාගන්නවා.ඔතනින් ඉතින් ටිකක් විතර හැමදාම වෙනස් වෙන්නේ ඉතින් කෑම වේල තමයි.උයන වැඩේ එච්චර සාර්ථකව ක්‍රියාත්මක වුනේ නෑ.විශේෂයෙන්ම උදේට උයන්න ඉන්න කෙනා මරනවා වගේ තමයි නැගිටින්නේ.ඉතින් ගොඩක් දවසට උදේටයි දවල්ටයි කෑම කඩෙන්.රෑටත් ඉතින් එහෙමත් දවසක තමයි හරියට කෑමක් කන්න ලැබුනේ.අපේ චමරිය තිබුනේ ටවුමෙන් කිලෝමීටරයක් විතර ඈත.ඉතින් බඩිගිනි වුනා කියලා හදිසියට කෑම කඩේකට දුවන්නත් බැහැ.
මේ කෑම කෙරුවාවෙන් වැඩියෙන්ම බැටකෑවේ එවකට බැංකුවේ නිර්ධන පන්තියේ සේවය කල අපි [පඩිය රුපියල් 9200 යි].කඩෙන් කාලානම් මේ පඩියෙන් ඔක්කොම කරගන්න බැරි බව මටයි මගේ යාලුවටයි තේරුනා.ඉතින් අපි දෙන්නා තීරනේ කලා චමරියේ කෑම ප්‍රතිපත්තිය නව මගකට ගෙනියන්න.ඒ කොහොම වුනත් චමරියේත් පීඩිත පන්තිය වුනු අපි දෙන්නට තමා ඒ වෙනකොට ගොඩක් දවස්වල උදේට උයන්න වෙලා තිබුනේ.ඒත් අපේ ඉවීමේ හැකියාවන් තේරුම් ගත්තු අනෙක් උදවිය ටික දවසකට පස්සේ අපි උයන කෑම කන එක ඇතාරියා.ඒත් අපි නෙවෙයි සැලුනේ...මං කිව්වනේ ඕන කට්ටක් කාගෙන ඉන්නවා කියලා තමයි මං හිතාගෙන ආවේ කියලා.මං වගේම තමයි මගේ යාළුවත් ඒ විදිහෙම පොරක්.
චමරියේ අනිත් අයට අපි වගේ නෙවෙයි.නිවාඩු එහෙම තියෙන නිසා සිකුරාදාට එහෙම නිවාඩු දාලා ගෙදර යනවා.අපිට ඒ වෙනකොට නිවාඩු තිබුනේ මාස දෙකකට එක දවසක් වෙන්න.චමරියේ ඒ වෙනකොට උයන්න තිබුනේ ගෑස් ලිපකුයි ඇලුමිනියම් හට්ටි වළං ටිකකුයි විතරයි.කොච්චර කෑම හැදුවත් බත හදාගන්න එක අපිට සෑහෙන්න අමාරු වුනා.එක්කෝ බත අමුයි,නැත්නම් ඇට්ටකුනා වෙලා නැතිනම් ටීවී එක බලන අතරේ බත රොස් වෙලා.ඔන්න ඔය වගේ දේවල් නිසා අපි මුලින්ම තීරණ කලා කුස්සියේ යටිතල පහසුකම් වැඩිකළ යුතුයි කියලා.ඒක නිසා අනිත් අය නැති දවසක අපි මැනේජර් මහත්තයාට ලංකරලා ඇහුවා "සර් අපි චමරියට රයිස් කුකර් එකක් ගන්නද කියලා".හැබැයි අපරාදේ කියන්න බෑ,මැනේජර් මහත්තයත් පටස්ගාලා අනුමැතිය දුන්නා.
අනිත් අය නැති දවසක් බලලා අපි ඔය වැඩේ ක්‍රියාත්මක කලේ හේතුවක් ඇතිව.මොකද එහෙම වුනානම් අපිට අනිත් අය නැතිව ඔය ඉල්ලීම කොරන්න බැරිවෙනවා.අනිත් කස්ටිය ඉතින් කොහොමත් ඔය වැඩේ අහන්න මැනේජර් මහත්තයා ගාවට යන්න කැමති වෙන්නෙත් නෑ.ඔන්න ඒකයි අපි අනිත් අය නැති දවසක් බලලම ඕක ගන්න හිතුවේ.හවස වැඩ ඇරිලා යන ගමන් ටවුමේ කඩේකට ගිහිල්ලා රයිස් කුකර් එකක් ගත්තා.ඔය උඩ පින්තුරේ තියෙන වගේ එකක්.හැබැයි එච්චර ලොකු නැහැ.කඩේ මෑන් අපිට රයිස් කුකර් එක ගැන ලොකු වර්ණනාවක් එහෙම කරලා තමයි ඕක දුන්නේ.ඒකෙන් නූඩ්ල්ස් වුනත් හදන්න පුළුවන් කියලා මිනිහා අපිට කිව්වා.අඩේ මරුනේ.......කියලා අපිට හිතුනා.උදේට උයන්න නූඩ්ල්ස් පැකට් එකකුත් මග කඩේකින් ගත්තා.
කොහොමහරි ඕකත් කරගහගෙන චමරියට ආවා.අපේ ගෙදරවත් යාළුවගේ ගෙදරවත් ඒ වෙනකොට රයිස් කුකර් එකක් තිබුනේ නෑ.ඉතින් ඒක නිසා මේකෙන් උයලා බලනකල් අපිට ඉවසුමක් තිබුනේ නෑ.ඒ දවස්වල අපි ගොඩක් වෙලාවට ඉව්වේ කැකුළු බත්.ඒත් ඉතින් නමෝ විත්තියෙන්ම කුකර් එකේ සුදු බතක් හදන්න තීරනේ කලා.පොතේ හැටියටම වැඩේ කෙරෙන්න ඕන නිසා මුලින්ම හාල් හොදට ගරලා කුකර් එකට එහෙම දාලා අර ඒකෙ තියෙන කෝප්පෙන්ම වතුර මැනලා දැම්මා.ඊට පස්සේ ප්ලග් එක ගහලා අපි පොල් සම්බලෙකුත් සැරට හදාගත්තා.පොල් සම්බලුයි සම්බා බතුයි...හප්පා...බත් මරන්න බැරියැ.....
පොල් සම්බලේ හදාගත්තු අපි බත ඉදෙනකල් ටීවී එක බලන්න ගත්තා.සෑහෙන වෙලාවක් ගියත් රයිස් කුකර් එකෙන් සද්දයක්වත් නෑ.ඇරලා බැලුවහම හාල් ටිකයි වතුරයි ඒ විදිහටම තියෙනවා.ප්ලග් එකේ අවුලක් වෙන්නැති මචන්...මං එහෙම කියලා රයිස් කුකර් එක අරන් ඇවිත් සාලේ ප්ලග් එකකට ගැහුවා.ඔහොම තව පැය බාගයක් විතර ගියා.ආයෙත් ඇරලා බැලුවහම හාල් ටික එහෙම්මමයි.මං හිතන්නේ වතුර මදි ඇති.යාලුවා කිව්වා.අපි ඒ පාර තව වතුර ටිකක් දාලා මැදගිල්ලෙන් පුරුක් දෙකක් විතර වතුර තියලා ආයෙත් පියන වහලා බලං හිටියා.තව පැය බාගයක් විතර ගියා.දැන්නම් බඩගින්න අහස උසට නැගලා.ආයෙත් ඇරලා බැලුවත් හාල් ටික එහෙමම තියෙනවා.මං හිතන්නේ හාල්වල අවුලක් වෙන්න ඕන...කැකුළු හාල් ටිකක් තියලා බලමු...එහෙම කිව්ව මම කැකුළු හාල් ට්කක් ගරලා අරගෙන කුකර් එකට දාල වතුරත්දාලා ආයෙත් පියන වහලා ටික වෙලාවක් බැලුවා...ම්හ්...හාල් ටික බත් වෙන්නේ නෑ.......දැන්නම් අහස උසට බඩිගින්න..."මූ අපිට පිච්චිච එකක්ද කොහෙද දීලා තියෙන්නේ" එහෙම කියපු මම කඩේ එකාගේ මෑණියන්දා සිහි කරමින් හය්යෙන්ම රයිස් කුකර් එකට දඩිබිඩි ගාලා දෙකක් ගැහුවා.
එතකොටම ආශ්චාර්යයක් වුනා වගේ මගේ අත වැදිලා අර පැත්තෙන් තියෙන සුදු පාට පොඩි ප්ලාස්ටික් කෑල්ල පහලට වැටිලා ඒකට උඩින් තියෙන රතුපාට ලයිට් එක පත්තුවුනා.ටික වෙලාවකින් බත ඉදිලා සුවඳ හමන්න වුනා......හම්මේ නිවන් දැක්කා වගේ....කවදාවත් රයිස් කුකර් එකෙන් උයලා නොතිබුණු අපි දෙන්නට ප්ලග් එක ගැහුවට පස්සේ අර ස්විච් එක පහලට දාන්න ඕන කියලා තේරුමක් තිබුනේ නැහැ.සම්බා බතුයි පොල් සම්බලුයි කන්න හිටපු අපිට කන වෙලාවට පහුවෙලා පැය දෙකකට විතර පස්සේ කැකුළු බතුයි ..පොල් සම්බලුයි කන්න වුනා....
පහුවෙනිදා උදේ කඩේ මෑන් කිව්ව විදිහට නූඩ්ල්ස් හදන්න රයිස් කුකර් ඒකට නූඩ්ල්ස් එක කඩලා දාලා වතුරත් ටිකක් වැඩිපුර තියලා ප්ලග් එක ගැහුවා.......ආ....ඔව්...ඔව්... අර ස්විච් එකත් පහලට දැම්මා....ටික වෙලාවකින් ඇරලා බැලුවා.....හප්පේ නූඩ්ල්ස් නම් හැදිලා...හැදිලා කියන්නේ පාප්ප වගේ හැදිලා....මේක දැකපු මට ගණ දෙවි නුවන පහල වුනා....අපේ උදේ කෑමට කෙළවුණ එක ඇත්ත...ඒත් ඉතින් කෑමක් අපතේ දානවා කියන්නේ සහගහන අපරාදයක්...සීනි බෝතලේ ගෙනල්ලා දැම්මා ලොකු සීනි හැඳි දෙක තුනක්...ඊට පස්සේ බත් කූරු ගාන කූරෙන්ම ටිකක් කූරු ගාලා තව වතුර ටිකකුත් දාලා ආයෙත් ටික වෙලාවක් තියෙන්න ඇරියා..ඊට පස්සේ මේ පාප්පේ අරගෙන පිගන් දෙකකට තුනී කරලා පොඩි කිරිබත් කෑලි වගේ හිටින්න කැපුවා.ඊට පස්සේ අයිස් ක්‍රීම් බාජනෙකට බත් කොලයක් එලලා අර කෑලි ටික අඩුක් කරගෙන වැඩට යනකොට ගෙනිච්චා......
ආනේ..... චෝයි කිරි කෑලි.......මාර රහයි ....... කිය කිය අපේ ඔෆිස් එකේ බඩජාරි කෙල්ලෝ ඒ ඔක්කොම ටිකට වගකිව්වා....
පිදුම - මේ පොස්ට් එක කියවන අද වෙනතුරුත් තමන් එදා කෑවේ බෙරිවුණු නූඩ්ල්ස් බව නොදත් ඒ කෙල්ලන්ගේ නමින් මේ පොස්ටුව පුදනු ලැබේ.....
ටටා...