Wednesday, November 21, 2012

බෆල් රථයේ සිටි සෙබළුන්ගේ ගැලවුම්කාරයා - අපිට කොටි ගහපු හැටි 2



මුල් ලිපිය බැලුවේ නැත්නම් බලලා එන්න,

මේකත් එදාම සිද්ද උනු සිද්දියක් ,හැබැයි මේ සිද්දිය ගොඩ දෙනෙක් නොදන්නා දෙයක් ,එයට මාධ්‍ය මගින් ප්‍රචාරයක් ලබා දුන්නෙත් නැහැ 

බස් රථයට එල්ල උනු ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කිරීම උදෙසා අවට පිහිටි හමුදා කදවුරු වලින් අමතර භටපිරිස් කැදවනු ලැබුවා ,

මේ අතර අපේ බැංකුවේ වෑන් රථයක් කතරගම ශාඛාවේ කටයුත්තක් සදහා උදෑසනින් පිටත්ව ගොස් තිබුනා ,උදෙන්ම පිටත්වූ නිසා සහ දැන් මෙන් දුරකථන පහසුකම් (විශේෂයෙන්ම ඒ කාලයේ යාල ප්‍රදේශය අවට හෑන්ඩ් ෆෝන් වලට සිග්නල් තිබුනේ නැහැ )ව්‍යාප්තව නොතිබූ නිසා රථයේ සිටි රියදුරුට බස් රථයේ සිද්දිය ආරංචි වී තිබුනේ නැහැ ,එමෙන්ම කාගේත් අවදානය බුත්තල -මාලිගාවිල මාර්ගයට යොමුවී තිබුණු නිසා බුත්තල - කතරගම රජ මාවත ගැන කාගේවත් ඇස යොමුවී තිබුනේ නැහැ ,
මේ රථයේ සිටි රියදුරු අය්යා ගැන සටහනක් කල යුතුමයි ,කොහොමත් බැංකුවක සිටින රියදුරන්ගේ රැකියාවේ අවදානම උපරිමයි ,මොකද ගොඩක් වෙලාවට මුදල් ප්‍රවාහන කටයුතු සිද්ද කරන්න වෙන නිසා ,එමෙන්ම නියමිත වේලාවන්ට අදාළ ස්ථානවලට යායුතුත් නිසා වේගයත් අවශ්‍ය කාරණයක් ,මේ නිසා වේගය සහ අවධානය යන දෙකම හොදින් ඇති පුද්ගලයෙකුට පමණයි මේ කාර්යය හොදින් සිදු කරන්න පුළුවන් ,

ඉතින් මේ කියන සියලුම කරුණු වලින් පරිපූර්ණ කෙනෙක් තමයි මේ අපේ සුසිරි (නියම නම නොවේ ,ඔහු කිසිසේත්ම ප්‍රසිද්දියට කැමති පුද්ගලයෙකු නොවේ ,මේ සිද්දිය අපිට කිව්වේ ඒ වෙලාවේ රථයේ සිටි වෙනත් කෙනෙක් ,එය ඇත්තදැයි ඇසුවාම ඔහු මහා හඩින් සිනාසී ඕවත් වැඩද මල්ලි කිව්වා,පුවත්පත්වලින් ඉල්ලු සම්මුක සාකච්චා පවා ඔහු ප්‍රතික්ෂේප කළා, )යකාටවත් බය නැති  ඔහු කිසිදු අවස්තාවක කලබල නොවන කෙනෙක් ,

මං ඒක හොදින් අත්දුටුවේ විටෙක ඔහුත් සමග කොළඹ ගොස් මුදල් ප්‍රවාහන කටයුතු සදහා නැවත එන වෙලාවකයි ,පරක්කු වී කොළඹින් පිටත් උනු අපි නිසි වෙලාවට ශාකාවට යාමට නොහැකි වේ යයි සිතා සිටියත් නියමිත වෙලාවටත් ප්‍රථම අපිව ගමනාන්තයට ගෙන ඒමට ඔහු සමත් උනා ,මං හිතන්නේ ඒ ගමනේදී රථයේ රෝද එතරම් ගෙවෙන්නට නැතිව ඇති ,මොකද අපි ආපු හැටියට රෝද පාරේ ගෑවුනයයි හිතන්නවත් බැරි නිසා ,ආ ... කතාවෙන් පිට ගියානේ ,නැවතත් කතාවට 

ඉතින් ඔන්න සුසිරි තමන්ගේ රථයත් එලවාගෙන බුත්තල හරහා රජ මාවත ඔස්සේ කතරගම බලා ගමන් ගන්නවා ,මගදී කතරගම බලා ගමන් ගැනීමට සිටින ගුරු බවතුන් කිහිප දෙනෙකුත් තමන්ගේ රථයට නංවාගත් ඔහු යාල සීමාවට පිවිසුනා ,

මේ අතර බෆල් රථයකට නැගුනු හමුදා සෙබළු කිහිප දෙනෙක් කතරගම සිට බුත්තල කරා ඒමට පිටත් වී තිබුනා ,අපගේ වෑන් රථය සහ මේ බෆල් රථය දෙපසින් එකිනෙකා කරා ලංවෙමින් සිටියා ,රජ මාවතේ ගල්ගේ ප්‍රදේශයට ලංවෙමින් සිටි සුසිරි දුටුවේ ඉදිරියෙන් පැමිණි බෆල් රථය එක්වරම බෝම්බයකට අසුවී කැලයට ඇදී ගිය අන්දමයි,

හොදින් සූදානම් වී සිටි ත්‍රස්තයන් මේ බෆල් රථයටත් ක්ලේමෝ ප්‍රහාරයක් එල්ලකොට තිබුනා ,මේ අවස්තාව කොතරම් කම්පනකාරී අවස්තාවක් උනත්  සුසිරි මේ කිසිවකින් කලබල උනේ නැහැ ,වහාම වෑන් රථය නැවැත්වූ ඔහු එහි සිටි අනිත් අයගෙත් උදව්වෙන් මියගොස් නොසිටි  සෙබළුන් වෑන් රථයට පටවාගත්තා ,

කැලයේ සැගවී සිටි ත්‍රස්තයන් බලාපොරොත්තු නොවූ අන්දමින් වෙනත් රථයක් පැමිණ හමුදා සෙබළුන් බේරා ගැනීම නිසා ඔවුන්ගේ බලාපොරොත්තු කඩ උනා ,පසුව මාර්ගය අසලට දිව ආ ත්‍රස්තයන් වෙඩි වරුසාවක් එල්ල කරත් ඒ වනවිටත් සුසිරි තමන්ගේ රථයත් සමග ඉගිලී අවසන් ,මෙසේ ඉගිලී ගිය ඔහු සෙල්ල කතරගම ප්‍රදේශයේදී මාර්ග බාධකයක් පවා පෙරලාගෙන ගොස් කෙලින්ම නැවතී තිබුනේ කතරගම රෝහල ඉදිරිපිටයි ,

අපි එදා හවස ඔහු මුණගැසෙන විටත් හැමදාම ඔහුගේ මුවග රැදෙන හසරැල්ල නම් මැකී ගොස් තිබුනේ නැහැ ,ඔහුගේ නොසැලෙන ආත්ම විශ්වාසය සහ වේගය නිසා රටට වටිනා රණවිරු ජීවිත කිහිපයක්ම රැක ගැනීමට හැකිවූවා  ,(දැන්නම් රජ මාවත කාපට් අතුරා සකස් කර තිබුනත් ඒ කාලයේ එය වල ගොඩල් වල එකතුවක් විතරයි )ඔහුගේ චායාරූපයක් මා සතුව පැවතුනත් එය ඔහුගෙන් නොවිමසා  පලකල නොහැකි බැවින් පල නොකරමි ,(ඔහුගෙන් ඇසුවොත් මේ පොස්ටුවත් දාන්න වෙන්නේ නැහැ )

මීලහට ටිකක් රස කතාවක් - මහ රෑ චමරියට කොටි ඇවිත් 

Tuesday, November 20, 2012

අපිට කොටි ගහපු හැටි


පින්තුරේ දැක්ක ගමන් සමහර අයටනම් මතක වෙන්නැති ,මේ තමයි බුත්තල බස් බෝම්බයේ සලරුවක් ,

කාටවත් කරදරයක් නැති අසරණ මිනිසුන් මරාදමා උන් සෙවූ විමුක්තිය කුමක්ද ?මම මේ කාලයේ සේවය කලේ අපේ බැංකුවේ බඩල්කුඹුර ශාඛාවේ ,හැබැයි නැවතිලා හිටියේ බුත්තල ශාඛාවේ චමරියේ ,මාත් සමග මගේ බැචාලා දෙන්නෙකුත් චමරියේ හිටියා ,

මම බොහෝ දිනවල වැඩට යන්නේ මේ බස් එකේ තමයි ,මේ බස් එක දිව්වේ මාලිගාවිල සිට බඩල්කුඹුර දක්වායි,කොහොම උනත් එදා මට ටිකක් කලින් වැඩට යන්න හිතිලා මං බයිසිකලේ ටවුමේ දමලා වෙන බස් එකක වැඩට ගියා ,එහෙම ගිහින් ටික වෙලාවකින් තමයි මේ සෝචනීය පුවත කන වැකුණේ ,සිද්දිය වෙලා තිබුනේ අපේ චමරියේ ඉදලා බොහොම කෙටි දුරකින් ,

කොහොම උනත් එදා ආරක්ෂක තත්වය සලකලා අපි ශාඛාව ටිකක් කලින් වැහුවා ,මං කෙලින්ම ගියේ බුත්තල රෝහලට ,මා සමග වෙනදා බසයේ එකට ගමන්ගත් මිනිසුන්ගේ නිසල සිරුරු දකිනවිට මට දැනුනේ මා සිටගෙන සිටින තැන පොලව ගිලාබසිනවා වැනි හැගීමක් ,

එමෙන්ම ඔවුන් මරාදමා තිබූ කුරිරු ආකාරය මටනම් දිවි ඇතිතෙක් අමතක නොවේවි ,ගොඩ දෙනෙක් නොදන්නවා උනාට මිනිස්සු මැරිලා තිබුනේ බෝම්බෙන් නොවේ ,බෝම්බය අටවා තිබුණු තැන අනුව බෝම්බයේ බොහෝ කොටස් බසයට ඉහලින් විසිවී තිබුනා ,හැබැයි ඒ කම්පනයට බසය නැවතී තිබුනා ,බසයේ ටයරයක හුලන්ගොස් තිබුනා ,

නැවතත් බසය පනනන්වා ගත් රියදුරු රීම් එකෙන්ම බසය ටික දුරක් ගෙනගොස් තිබුනා ,ඒ වෙලාවේ බසයට ගොඩ උණු ත්‍රස්තයන් රියදුරුගේ දෑතටම වෙඩි තබා තිබුනා ,බසය නැවතුනු පසු බසයේ දොරවල් අසල රැක සිට බිමට බහින මගීන්ට වෙඩිතබා තිබුනා ,මගේ හොද මිත්‍රයෙකු වන මේ රියදුරා පසුව මට ඔහුගේ නිවසේදී හමු උනා ,ඔහුගේ දෑතම වෙඩි තැබීමෙන් අප්‍රාණික වී තිබුනා ,තමන්ගේ බසයට ගොඩ උණු මගීන් තමාගේ දෑස ඉදිරිපිටම මරා දැමීමේ කම්පනයෙන් ඔහු ගොළුවී සිටියා ,

ඔන්න ඔහොමයි ඒ ලේ වැගිරීම උනේ ,මේ ලියන මොහොතේත් මට එදා දැනුනු කම්පනය දැනෙනවා .එදා ඒ සිද්දියෙන් පස්සේ තවත් ගොඩක් දේවල් උනා ,ඒවා ඉදිරි කාලයේ ඔබ වෙත ගෙන එන්නම්.

මීලග කොටසින් - යාල මැදදී බෆල් රථයේ සෙබළුන් බේරාගත් අභීත රියදුරා කවුද ?

linkwithin

Related Posts Plugin for WordPress, Blogger...