Monday, September 30, 2013

නිකං ඉන්න බැරුවට කොරපු වැඩක් - 2



කෝමද මේ දවස්වල දවල්ට රස්නේ...සනීපයිනේ..ඉරිදා ගෙදර ඉන්නකොට දවල්වෙද්දී ටික ටික රත්වෙන්න ගත්තා.කරුමෙට ගෙදරටම තියෙන්නේ ෆෑන් එකයි.දැන් ඉතින් මේ හදිසියට කොහෙන් ෆෑන් හොයන්නද...ඔහොම හිතනකොට තමයි මතක් වුනේ අපේ ගෙදර ඉස්සර තිබිච්ච National ෆෑන් එක.කලින් හොදට වැඩකලත් ටික කාලෙකට ඉස්සර වැඩ කරන්නැතුව ගිය නිසා පැත්තකට දාලා ගබඩා කාමරේ මුල්ලක තියලා තිබුනා.මේක හදලා ගන්න පුලුවන්නම් හරිනේ කියලා හිතුනු නිසා ඔන්න මං වැඩේට අත ගැහුවා.ෆෑන් එක ඒකෙ පාදමෙන් වෙන්වෙලා තිබුනේ.මං ඒකයි මගේ අඬුමිටි ටිකයි අරන් අපේ ගෙදර ගරාජ් එකට ගියා.ඔන්න තියෙනවා මහා ෆෑන් රාජයා තිබුණු විදිහ....



පේනවනේ ගොඩ දාන්න තියා හිතන්නත් අමාරුයි.ඒත් එහෙම කියලා පුළුවනෑ.මේක මුලින්ම මස් කරලා ඉන්නෙපයි..මම වැඩේට බැස්සා...



වැඩේ ලේසි නෑ..ඒත් අත ඇරියෙත් නෑ....

ඔන්න ඔහොම මුලින්ම ඔළුව ගලොගත්තා.දැන් බලමුකෝ කඳ පැත්ත.වයර් දිරලා,බල්බ් පිච්චිලා.දන්න ඉලෙක්ට්‍රොනික් දැනුමෙන් මදේ හදාගත්තා.ආ...ඊට කලින් ගෙදර ළඟ හාඩ්වෙයාර් එකෙන් වයර්නුයි,බල්බ්නුයි ගෙනාවා.....



දැන් කඳ පැත්ත හරි නිසා ඔළුව පැත්ත බලමු.ඔළුවේ ඉතින් වැදගත්ම මොලේනේ.මං ඉතින් ඔපරේෂන් එකෙන් ෆෑන් එකේ මොලේ [මෝටරේ]එලියට ගත්තා.මේ තියෙන්නේ ඒක...



දෙය්යන්ගේ පිහිටෙන් ඒක වැඩ.ඒක නිසා ලොකු බරක් හිතෙන අයින්වුනා.නැත්නම් වැඩේ ඔක්කොම වතුරේ....ඒ අතරේ ෆෑන් එකේ අතපය මූණ එහෙම හෝදලා හොදට අව්වේ වේලා ගත්තා...



දැන් ඉතින් අත පය හයිකරගන්න තමයි තියෙන්නේ.ඔන්න මුලින්ම කකුල පැත්ත හයිකරා...



හොදටම මලකඩ කාලා නේ...ඇල්ලුවා වැලිකොලයක්...දුන්නා පොඩි ස්ප්‍රේ පේන්ට් පාරක්...
කෝමද ලස්සන...

ඊට පස්සේ කඳයි,ඔළුවයි හයි කරන්න පටන් ගත්තා...



චා..චා..මෙහෙම හරි නෑනේ...මේකටත් පොඩි තීන්ත සත්කාරයක් දෙන්න එපාය...ආයෙත් ගැලෙව්වා...දුන්නා තීන්ත සත්කාරයක්...





දැන් ඉතින් අවසාන අදියර,,කෑලි බෑලි ටික සෙට් කොරා...ටෙස්ට් රන් එකක් දුන්නා..බඩු එළකිරි වගේ වැඩ..මාර සතුටුයි...වැඩෙත් ලස්සනට ආවා...මේ ඔක්කොටම මට වියදම් වුනේ රුපියල් 750 කටත් අඩුවෙන්.කඩෙන් ගන්න ගියානම් රුපියල් 7500 කටවත් මේ වගේ හොද ජපන් ෆෑන් එකක් ගන්න බෑ.දැන් ඉතින් තියෙන්නේ චීන ඉලෙක්ට්‍රික් බඩු විතරනේ...ඔන්න බලන්නකෝ හොඳද කියලා...ස්පීඩ් තුනට පාට තුනක්....


මං මුලින් මේ වගේ හදපු පැරණි රේඩියෝ එකේ පොස්ට් එක බලපු නැති අය මෙතනින් ඒකත් බලන්නකෝ....



ගෙහුං එන්නං...ටටා...

Saturday, September 28, 2013

තර්කය ...


දැන් කොහොමද.....

දැන් ඉතින් කොහොම වුනාම මොකද.අපිට ඕවා වලක්වන්න බෑනේ.අපි කිව්වය කියලා ඕවා වෙනස්වෙන්නෙත් නෑ.ඇමෙරිකාවේ ජනාධිපතිකමට බ්රූස් ලී පත්වෙනකොටම අපි ඕක හිතුවා.මොකද අපේ රටෙත් නැහැනේ හරි හැටි කතාවක් කරගන්න එකෙක්.ඔන්න ඉතින් හූ ජින්තාවොනම් නම් ඉන්නවා.මිනිහා මහනුවර නගරසභාවට ඉල්ලනකොට අපි හිතුවේ නෑනේ මෙහෙම දෙයක්වෙයි කියලා.අනිත් එක මං අහන්නේ අපේ මිනිස්සුන්ට මොලයක් නැද්ද ඔය තුට්ටු දෙකේ ගායකයෝ පස්සේ යන්න.හොදට සින්දු කියන්න ඇහැකි වුනු පලියට මන්මෝහන්සින් හිතං ඉන්නේ ඌ තරම් පොරක් තවත් මේ ලෝකේ නෑ කියලා.වෙලාවට ස්ටීවන් ස්පිල්බර්ග් ටයිටැනික් හැදුවේ.නැත්නම් ඉතින් අපිට වෙන්නේ ඊලග අවුරුදු 6 ත් පිටසක්වල ජීවියෙක් එක්ක ගනුදෙනු කරකර ඉන්න.අනිත් එක මං අහන්නේ පාරේ හෙළුවෙන් දිව්වාය කියලා සොක්‍රටීස්ට පුළුවන් වුනාද ගුරුත්වාකර්ශනේ මගහැරගන්න.ඔන්න ඕකයි මං හැම තිස්සෙම කියන්නේ.හැබැයි එතනදී මං මැන්ඩේලාත් එක්ක එකගයි.මිනිහා කාර් එක හොයා නොගන්න අපිට වෙන්නේ පොලවේ පස් කකා ඉන්න.මං තාමත්....

මට පේන්නේ ඔහෙට.......

අපිට වැඩිපුර කතාකරන්න ඇස් දෙකකුත් චුට්ටක් බලන්න එක කටකුත් දීල තියෙන්නේ නිකමට නෙවෙයි.ඕකෙන් හරි ප්‍රයෝජනයක් ගත්තු මිනිහෙක්ට මං දැකලා තියෙන්නේ අයින්ස්ටයින් විතරයි.මිනිහා ඉස්කෝලෙන් අවුට් වුනුදා ඉදලම සීටීබී එකේ වැඩට ගිය හින්දා මිනිහට පුළුවන් වුනා හයියෙන් දුවන්න.මිනිහත් එක්ක කරට කර හිටියේ ඉතින් අපේ ජේම්ස් බොන්ඩ් විතරයි.මිනිහා අර පහළවෙළේ පින්ලිඳ ගාව නාන්න එන ගෑනු දිහා හොරෙන් බලන හිටියා තමයි.ඒත් ඉතින් එහෙම හිටියාය කියලා  අපිට පුලුවන්ද රුසියන් කාරයෙක්ට පරදින්න.ලංකාවයි එංගලන්තෙයි අතරේ තිබිච්ච එල්ලේ තරගෙකදී නරබන්නෙක් දමාගසපු සෙරෙප්පුවක් වැදිලා චේ ගුවේරට හොදටම අමාරුලු.මේක අහපු ගමන් හරිහමන් මිනිහෙක්නම් මං කියන්නේ ෂර්ලොක් හෝම්ස්ට තිබුනේ නැද්ද තමන්ගේ ගෙදර තාප්පේ ටිකක් උස් කරලා හදාගන්න.අපි කිව්වොත් තමයි ඉතින් හැමෝටම අමාරු.මේක කිව්වේ.....

කට පොඩ්ඩක් වහන්.....

කට පොඩ්ඩ පොඩ්ඩ දාගෙන තමයි ඉතින් හැම එකාම මේක අස්සේ රිංගන්න එන්නේ.මුලින්නම් හිටියේ නිව්ටනුයි,ජයසුරියයි විතරයි.ඒක දැකපු හැම එකාටම ඕන වුනා චර්චිල්වගේ වෙන්න.අනේ ඉතින් මේ වෙලාවට තමයි හිතෙන්නේ චාලි චැප්ලින් හිටියනම් කියලා.එහෙනම් මේ ඔක්කොම සුන්නද්දූලි වෙන්න ගහලා.මිනිහටත් ඉතින් ඉන්න බැරිවුනානේ බොම්බයි මොටයි නොකා.මං අහන්නේ බඩිගින්නක් තිබුණු පලියට මොන මිනිහද කුඹුරට තෙල් ගහන්න යන්නේ.ඔන්න ඉතින් මේ ගිය සතියෙත් මං දැක්කා රයිට් සහෝදරවරු අපේ ගෙවල් ගාව පෝස්ටර් වගයක් අලව අලවා ඉන්නවා.ඉගෙනගත්තට වැඩක් නැහැනේ අපිට පාඩුවේ ඉන්න නැත්නම්.මහලොකු ඩිග්රි නොගැහැව්වට පොල්පොට් කියන්නෙත් ලේසිපාසු මිනිහෙක් නෙවි.නැත්නම් මං අහන්නේ එක දවසට පොල්ගස් සීයක ගෙඩි කඩන්න පුළුවන් මොන මිනිහටද.ඕවා කිව්වමනම් අපි ඉතින් නරක මිනිස්සු වෙන්නත් පුළුවන්.හැබැයි ඉතින් එහෙමවුනාය කියලා අපි ලෙනින්ව අමතක කරලා දාන එක වැරදි.මිනිහා නොහිටින්න ගමේ පාරට කොන්ක්‍රීට් ටිකවත් වැටෙන්නේ නැහැනේ.ඔන්න ඕකයි මං හැමතිස්සෙම.........

ගිය සතියට සාපේක්ෂව තත්වේ......

සාපේක්ෂතාවාදේ ඉදිරිපත් කරනකොටම ඔහොමවෙයි කියලා මම ලින්කන්ට කිව්වා.කොහෙද මිනිහා ඕවා ඇහුවේ නැහැ නොවැ.එයයිත් එක්ක හිටපු මයිකල් ජෝර්ඩනුයි,සිල්වෙස්ටර් ස්ටලෝනුයි ගිය සතියේ ආගිය අතක නැතිළු.ඕක කියාගෙන පාරේ දිගේ යනවා කියලා පරණවිතාන මහත්තයා මට ටෙලිපොන් කරලා හොදට දොස් කිව්වා.හැබැයි ඉතින් මං කියන්නේ උද්දමනය ඉහලගියයි කියලා අපි මහවැලි ගඟේ ඔරු පදින්න යන එක වැරදි.මොකද බැරිවෙලාවත් ඇන්ජලීනා ජොලී දැක්කොත් ඕවා කොහෙන් කෙලවර වෙයිද කවුද දන්නේ.අනේ අපිටනම් බැහැ ඕවාට වගකියන්න.මං කවුද කියලා ඇහුවොත් හොදට අහගන්න ඇහැකි කපිල් දෙව්ට කතාකලොත්.පොඩි කාලේ ඉදලම එයයි මායි ඉස්පිතාලේ ලග තැඹිලි කපලා විකුන්නා.ඒවා විකුන්නය කියලා අපිට පානුයි කිරිහොදියි නොකා ඉන්න බෑනේ.මං කාල තියෙන රසම කට්ට සම්බෝලේ හදලා දුන්නේ මැඩෝනා.එයයිගේ අතින් උයාපු කෑමකට ලංවෙන්න තියා.........

හිතුවට වඩා බොහොම බරපතල....

බරපතල රෝගේ ඇතිකරන කෘමියා හොයාගත්තය කියලා ඇරිස්ටෝටල්ට නොබෙල් සාම ත්‍යාගේ දුන්න එකටනං මං එකෙන්ම විරුද්ධයි.මෙහෙම හිටියට අපිත් කවදාවත් හිට්ලර්ට දෙවනිවුණු මිනිස්සු නෙවෙයි.එයයිට කවදාවත් බැරිවුනා අපි තරම් හොදට හඳට ගල්ගහන්න.මං කිව්වය කියලා කාටවත් කියන්න යන්න එපා,ඔය ඇලන් බෝඩර් ඉන්නවා නේද ..අප්පෝ මහා කුණා.තමන්ගේ ලග ඉන්න කිරිහරකෙක් ඉල්ලපු ලුවී පාස්ච්ර්ට මිනිහා නොසෑහෙන්න අපහාස කරලා තියෙනවා.ඕක ඉතින් දෙමව්පියන්ගේ වැරැද්ද.පොඩි කාලෙම පාරේ වමෙන් ගමන් කරන හැටි පොඩිවුන්ට කියලා දෙන එක තමන්ගේ යුතුකමක් කියලා මොහොමඩ් අලි කවදාවත් හිතුවේ නෑ.එහෙම හිතුවනම් පිදෙල් කස්ත්‍රෝ කවදාවත්ම හොදම නළුවා වෙන්නේ නැහැ.නළුවෝ ඉන්නේ ඉතින් දේශපාලනේ කරන්නනේ.
මං හැම තිස්සෙම කියන දෙයක් තමයි එක්සත් ජාතික පක්ෂේ නායක කමනම් වෙනස්වෙන්න හොද නෑ කියන එක.ඒ වගේ ලෝකේ පිළිගන්න නායකයෙක් අපිට වෙන ඉන්නවද.චන්ද 27ක් පැරදුනා කියලා නායකයා වගකියන්න ඕන කියන අයගේ මොලේ තියෙන්නේ කොහෙද කියලා හොදට හොයලා බලන්න ඕන.අනිත් එක ලෝකේ මොන රටේද චන්දයක් පැරදුනා කියලා පක්ෂේ නායකයාට බනින්නේ.මමනම් කියන්නේ සදාකාලික නායකයා විදිහට රනිල්.....

නර්ස්...මේ ලෙඩාගේ තත්වෙනම් එන්න එන්නම නරක අතට හැරෙනවා.විකාර කියවන එක හොදටම වැඩි.ඒකනිසා මම ගිය සතියේ නියම කරපු බෙහෙත්ම තුන්ගුණයක් කරලා දෙන්න......


linkwithin

Related Posts Plugin for WordPress, Blogger...