Monday, May 26, 2014

මොකක්ද මේ ක්ෂුද්‍ර මූල්‍ය [Micro-Finance] කියන්නේ ?


"ඈ බං සොපි අක්කේ මේ පාර අවුරුද්දට පොඩිවුන්ට රෙදි කෑල්ලක්වත් අරන් දෙන්නේ කොහොමදැයි කියලා මං මේ කල්පනා කරේ" කරුණාවතී කිව්වේ දවල්වරුවේ වැවට ගොස් රෙදි සෝදන අතරතුරේය....

"ඉතින් බං උඹ ඔය කැවිලි පෙවිලි රහට හදන්න දස්සයා වෙච්චි,හදලා දාපන්කෝ ටවුමේ කඩවලට කැවුම් ,අතිරහ ටිකක්.කීයක්‌ හරි හොයාගන්න බැරුවය"

"ඒකනම් එහෙම තමා,ඒත් ඉතින් මුලින් පිටි සීනි ටික ගන්නවත් මයේ අතේ කීයක්වත් නැහැ නොවැ,කඩේ මුදලාලි අපිට දැන් ණයට දෙන්නෙත් නැහැ,දුන්නත් උන්දැගේ පොලිය ගෙව්වම කැවිලි හදලා ලාබයක් ගන්න බැහැ අක්කේ "

උඹට  කීයක්විතර තිබ්බනම් ඇතිද?

"රුපියල් 10000 ක් තිබ්බෝත්නම් කළමනා ටික ගන්න ඇතිවෙයි මයේ හිතේ,තාච්චි ආම්පන්න ටිකනම් මයේ ගාව තියෙනවා."

එහෙනම් වරෙන් අද හවසට ප්‍රජා ශාලාවේ තියෙන අපේ සමිතියට.උඹට මේ වෙලාවේ උදව්වක් ගන්න බැරි වෙන එකක් නැහැ......

-------------------

මාතෘකාවට කෙලින්ම බහින්නේ නැතිව පොඩි කතාවක් ලිව්වේ වැඩේට ආරම්භයක් විදිහට.මේ වගේ කතා අපි කොතෙකුත් අපි අපේ ජීවිතවල අහලා අත්දැකලා තියෙනවනේ.ඉතින් අපි අද කතාකරන්න බලාපොරොත්තුවෙන ක්ෂුද්‍ර මූල්‍ය කියන අංශයේ අන්තර්ගතය ඔන්න ඔය ඉහතසිද්දවුණු කතාබහ ඇතුලේ තියෙනවා.ලෝකයේ බොහෝ රටවලට මේ ක්ෂුද්‍ර මූල්‍ය කියන දේ අළුත් දෙයක් වුනාට අපේ රටේනම් මේ නමින්ම නැතත් ඉස්සර කාලේ පටන්ම මේ ක්ෂුද්‍ර මූල්‍යක්‍රමය යම්පමනකට ක්‍රියාත්මක වුනා.ලංකාවේ සමුපකාර ව්‍යාපාරය පටන් ගත්තේ ග්‍රාමීය දිළිඳුකම ගමේ ජනතාව තුලින්ම ඇතිවෙන වැඩපිළිවෙලකින් අකාමකා දැමීමේ ප්‍රයත්නයක් හැටියට.

ඉතින් ක්ෂුද්‍ර මූල්‍ය කියන්නෙත් මේ වගේ දේකටම තමා.ක්ෂුද්‍ර මූල්‍ය කියන දේට ගොඩක් නිර්වචන තිබුනත් මෙන්න මේ විදිහට ඒ දේ සරලව දක්වන්න පුළුවන්...

"විධිමත් මුල්‍ය ආයතන වෙත පහසුවෙන් ප්‍රවේශය විය නොහැකි,අඩු ආදායම් ලාභී ප්‍රජාවගේ ආරථික හා සමාජ තත්වය ඉහල නැංවීමට උපකාරී වන අයුරින් සපයන කුඩා පරිමාන මුල්‍ය සේවා ලෙස ක්ෂුද්‍ර මූල්‍යකරණය හැඳින්විය හැකියි"

ටිකක් බර වචන තිබ්බත් කාටත් පැහැදිලි ඇති කියලා හිතනවා.මේක කියෙව්වම කෙනෙකුට ඉස්සෙල්ලම එන්න පුළුවන් ගැටලුව තමයි ඇයි කෙනෙකුට විධිමත් මුල්‍ය ආයතන වෙත පහසුවෙන් ප්‍රවේශය විය නොහැක්කේ කියලා.ඒකටනම් හේතු ගොඩක් තියෙන්න පුළුවන්.අපි බලමු ඒ මොනවද කියලා..
  •  විධිමත්මුල්‍ය ආයතන වල පවත්නා නීතිරීති 
  • දුරස්ථභාවය 
  • අඩු මුල්‍ය සාක්ෂරතාවය 
  • අනන්‍යතාවය තහවුරු කිරීමේ ගැටළු 
  • මුල්‍ය  ආයතන වලින් ප්‍රතික්ෂේප කිරීම්
  • ස්වයංව හිතාමතා බැහැරවීම
ඔන්න  ඔය කියන හේතු එකක් හෝ කිහිපයක් නිසා සමහර ජනතාව විධිමත් මුල්‍ය ආයතන වෙතින් බැහැරවෙලා තියනවා.ගොඩක් වෙලාවට මෙහෙම වෙලා තියෙන්නේ අඩු ආදායම්ලාභී ජනතාව වීම විශේෂයි.ලංකාවටත් වඩා මේ තත්වය ඉන්දියාව ,බංග්ලාදේශය වැනි රටවල දකින්නට තියෙනවා.ඒකනිසා තමයි නූතන ක්ෂුද්‍ර මූල්‍ය ක්‍රමයේ නව නැම්මක් ඇතිකළ බංගලාදේශයේ ග්‍රාමීන් බැංකු ඇතිවෙන්නේ.මහාචාර්ය මොහොම්මඩ් යුනුස් විසින්  1976 දී මෙම බැංකුව පිහිටවන්නේ දිළිඳු කමින් පීඩා විඳින එහෙත් යම්කිසි ආදායම් උත්පාදනය කිරීමේ හැකියාවක් ඇති ජනතාව වෙත ලිහිල් සුරැකුම් යටතේ ණය ලබාදීමේ වැඩපිළිවෙලක් සමගයි.ගොඩ දෙනෙක් මේ
ක්ෂුද්‍ර මූල්‍ය කියන දේ ආධාරමුදලක් ලබාදීමක් විදිහටත් හිතනවා.එය සම්පුර්ණයෙන්ම වැරදි නිගමනයක්.මෙය කිසිසේත්ම ආධාර මුදලක්නම් නෙමෙයි.අනෙක් ණය මුදලක් මෙන්ම මේවාද නිසිකලට ගෙවා නිමකළ යුතුයි.එහෙත් වෙනත් ණයවලට වඩා
ක්ෂුද්‍ර මූල්‍ය යන්න වෙනස්වෙන්නේ එම මුල්‍ය පහසුකම් මගින් එය ලබාගන්නා ජනතාවගේ ආර්ථික තත්වය මෙන්ම සමාජ තත්වයද ඉහලනැන්වීමඅරමුණු කරගෙන තිබෙන නිසා.ඒ වගේම ඔවුනට දාරගත හැකි පොලියකට සහ ලිහිල් සුරැකුම් කොන්දේසි යටතේ ලබාදෙන නිසා.වඩාත් වැදගත්ම කාරණය වන්නේ මෙම සංවර්ධනය ඇතිකරවන්නේ ඔවුන් තුලින්ම පැනනගින ක්‍රියාවලියක් හැටියටයි.බංගලාදේශයට අමතරව ඉන්දියාව ,ඉන්දුනීසියාව වැනි රටවලත් මේ ක්ෂුද්‍ර මූල්‍යකරණය ඉතා සාර්ථකව ක්‍රියාත්මක වෙනවා.

අපි දැන් ක්ෂුද්‍ර මූල්‍යකරණයේ ලංකාවේ පසුබිම දෙසට හැරෙමුකෝ.මං කිව්වා වගේම ලංකාවේ ඒ කාලේ ඇතිවුණු සමූපකාර ව්‍යාපාරය මගින් බලාපොරෝත්තුවුනේ ග්‍රාමීය අඩු ආදායම් ලබන ජනතාවගේ ජීවන තත්වය එම ජනතාව මගින්ම ඇතිවන සංවිධානයක් මගින් පලවාහැරීමයි.ඒ යටතේ ග්‍රාමීය බැංකුව සහ පසුකාලීනව මහජන බැංකුව වැනි ආයතනත් බිහිවුනේ අර මුලින් කිව්ව අරමුණම ඇතිව තමා.වර්තමානයේ ශ්‍රී ලංකා මහා බැංකුවේ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුවේ මගපෙන්වීම ඇතිව ශ්‍රී ලංකාව පුරාම කුඩා කණ්ඩායම් ක්‍රමය මගින් මේ ක්ෂුද්‍ර මූල්‍යකරණය ක්‍රියාත්මක වෙනවා.ඒ සඳහා ප්‍රධාන පෙලේ වාණිජ බැංකු කිහිපයකුත් සංවර්ධන බැංකු කිහිපයකුත් ක්‍රියාත්මක වෙනවා.ඒ යටතේ කුඩා කණ්ඩායම් ඇති කිරීමත් ඒ මගින් අඩු ආදායම්ලාභී ජනතාවගේ ඉතිරිකිරීම් වැඩිදියුණු කිරීම,සමාජ සජීවීකරණ ක්‍රියා වැඩිදියුණු කිරීම සහ ඔවුන්ගේ ව්‍යවසාය සංවර්ධනය කිරීම සිදුවෙනවා.අන්න ඒ විදිහට පිහිටවපු සමිතියක් ගැන තමයි අපි ඉස්සෙල්ලම සඳහන් කරපු දෙබසේ කතාවුනේ.මේ පිළිබඳව වැඩිදුර විස්තර තවත් ලිපියකින් කියන්න බලාපොරොත්තු වෙනවා.

එහෙත් වර්තමානයේ ක්ෂුද්‍ර මූල්‍ය නමින් ලංකාව තුල ක්‍රියාත්මක වන යම් යම් ආයතන සිදු කරන වැඩපිළිවෙලවල් නම් කිසිසේත්ම අනුමතකල නොහැකියි.මං කලින් කිව්වා වගේ ක්ෂුද්‍ර මූල්‍යකරණයෙන් බලාපොරොත්තුවෙන කරුණු දෙකක් තියෙනවා.ඒ තමයි...
  •  ඉලක්කගත අඩු ආදායම්ලාභී ප්‍රජාව වෙත ඔවුනට දැරිය හැකි මිලකට මුල්‍ය පහසුකම් ලබාදීම.
  • එමගින් ඔවුන්ගේ දුප්පත්කම අඩුකරලීම.
 ඔන්න දැන් ඔයාලටම තීරණය කරන්න පුළුවන් ඒ ආයතනවලින් ඒ දේ සිදුවෙනවාද කියලා.ඇත්තටම සිදුවෙන්නේ මේකේ අනිත් පැත්ත.අඩු ආදායම්ලාභී ප්‍රජාවට දරාගත නොහැකි පොලියකට ණය ලබාදීම මගින් මේ වනවිටත් අපේ රටේ ග්‍රාමීය ජනතාවගෙන් විශාල පිරිසක් විශාල ණය උගුලක පටලවලා තියෙනවා.ළඟටම පැමිණ ණය දෙනනිසාත් ඉතා ඉක්මනින් ණය දෙන නිසාත් අපේ ගොඩ දෙනෙක් පොලී අනුපාතය ගැන සැලකිලිමත් වෙන්නේ නෑ.ඒත් හරියට බැලුවොත් මේ ආයතන වෙතින් වෙන්නෙත්  අර ඉස්සර ගමේ "පොලී මුදලාලි"ගෙන් වුනුං සේවේම තමා.

ක්ෂුද්‍ර මූල්‍ය ගැනත් එය ලංකාවේ ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙන 
ආකාරයත් ඉදිරි ලිපියකින් පැහැදිලි කරන්නම්.

වැඩි දුර විස්තර සඳහා ....

http://en.wikipedia.org/wiki/Microfinance 

http://en.wikipedia.org/wiki/Microcredit 

http://en.wikipedia.org/wiki/Self-help_group_%28finance%29

Central bank of srilanka - Regional Development Lending Programmes 

16 comments:

  1. උ.පෙ. කරද්දි B.S.වලට ක්ෂුද්‍ර මුලය ගැන ඉගෙන ගත්ත මතකයක් තීනවා......පැහැදිලි කිරිම අගෙයි හසරැල්ලෝ....ඊලග ලිපියත් ලියන්ඩෝ ලියලා ඇහැක් නම් ලින්ක් එක ඉන්බොක්ස් කරන්න...

    ReplyDelete
    Replies
    1. අපිට වෙන වැඩ නෑ කියලා හිතුවද?ඇහැක් නොවී කනක් වුනොත් ඉන්බොක්ස් කලාට කමක් නැද්ද?

      Delete
    2. ශානුවෝ මේ හසරැල්ලගේ අර කළු සුදු අවාසනා අක්ක දැන් මොනවත් ලියන්නෙ නැත්තේ ඇයි කියල හොයල බැලුවේ නැද්ද?

      Delete
    3. එයයි පුල් බිසී ..

      Delete
  2. හෆොයි බණ්ඩාර සර්ගේ ක්ලාස් එකේ නිදිකිරා වැටි වැටි මේවා ඉගෙන ගත්ත කාලේ මතක් වුනා..

    ReplyDelete
    Replies
    1. මේක කියෙව්වෙත් නිදිකිරා වැටි වැටීද?

      Delete
  3. සීට්ටු දැමිල්ලත් වැටෙන්නෙ ඔතෙන්ටද?

    ReplyDelete
    Replies
    1. සීට්ටු දැමිල්ල අපිට මේ ගණයට ගන්න අමාරුයි.එතෙන්දිත් වෙන්නේ දුප්පතාට සහනයක් දෙන එක නෙවිනේ

      Delete
  4. micro finance කොම්පැනි දැන් වැහි වැහැලා..

    මම හිතන්නේ එතන කරන්නේ හූරා කෑමක් විතරද මන්දා..

    ReplyDelete
    Replies
    1. ඔව් සෑම් ...micro finance නාමයෙන් ගොඩක් උන් කරන්නේ දුප්පතා සූරා කෑම තමයි

      Delete
  5. වැදගත් ලිපියක්...
    දැං හැම තැනම ඕව බෝ වෙලා නෙව.. ඒ එක්කට වත් නෑ කිසිම ප්‍රතිපත්තියක්. තියෙන එකම දේ දිලිදු ජනතාව තවත් දිළිදු කිරීම තුලිං මඩි තර කර ගැනීම පමණය්

    ReplyDelete
    Replies
    1. ඔව්..කනගාටුවට කරුණත් එයයි

      Delete
  6. හොඳ පැහැදිලි කිරීමක් හසරැල්.
    ඒත් ලංකාවෙ වෙන්නෙ නිසි පාලනයක් නැති කමෙන් සහ රජයේ ආයතන තමන්ගෙ ආයතන ගැන මිනිස්සුන්ට නිසියාකාරව ප්‍රචාරය නොකිරීමෙන් (මොකද මේවායින් ප්‍රයෝජන ගන්න බොහෝ දෙනෙකුට මාධ්‍ය වලින් දෙන තොරතුරු නිසියාකාරව තේරුම්ගත නොහැකි නිසා) හොරුන්ට රැවටෙන එක.

    ReplyDelete
    Replies
    1. ඔව් ප්‍රසන්න අයියේ ..ලංකාවේ තියෙන්නේ නියාමන ආයතන මිසක් පාලනය කරන ආයතන නෙවේනේ.අනික මෙවැනි අයට දඬුවම් කරන්නත් නීති අලුතෙන්ම හැදිය යුතුයි.

      Delete
  7. කෙටි කතාවක් කියවන්න ආව කියල මුලින්ම හිතුණත් අන්තිමට වටිනා පාඩමක්නේ දීල තියෙන්නේ..

    ReplyDelete
    Replies
    1. කවුරුවුනත් නොදන්නා දෙයක් දැනගත්තානම් මට සතුටුයි...

      Delete

මොකෝ කියන්නේ ,ආපු එකේ මොනවහරි කියලම යමුනේද ?

linkwithin

Related Posts Plugin for WordPress, Blogger...