Tuesday, October 8, 2013

ණය නොගෙව්වොත් මොකද වෙන්නේ ????


ඔන්න බැංකුවයි ඔබයි ලිපි පෙලේ කලින් ලිපියේ පොරොන්දුවුණු පරිදි අද මං කියන්න යන්නේ ණය මුදලක් නිසි පරිදි ගෙවාගන්න බැරිවුනොත් මොකද වෙන්නේ කියන කාරණයයි.ඒකත් කලින් ලිපියේ පරිදිම ප්‍රශ්නෝත්තර ආකාරයෙන් ඉදිරිපත් කරනවා ඔබේ පහසුව සඳහා.මං මේකෙදි කතාකරලා තියෙන්නේ ප්‍රධාන වශයෙන්ම බැංකුවලින් ගන්න ණය සම්බන්දවයි.ලීසිං ,ෆිනෑන්ස් වලදී මං මේ කියලා තියෙන කාරණා ටිකක් වෙනස්වෙන්න පුළුවන් හොඳේ...

ණය මුදලක් ගෙවාගන්න බැරිවෙන්නේ ඇයි?

අපි ණය මුදලක් ගැනීමේදී බලාපොරොත්තුවෙන ආකාරයට ණයමුදලක් ගෙවාගන්න සමහරවෙලාවට පිට බැරිවෙන්න පුළුවන්.එකට ගොඩක් හේතු බලපාන්න පුළුවන්.රෝගාබාද ,රැකියාව හෝ ආදායම් මාර්ග අහිමිවීම,ස්වභාවික විපත්,හදිසියේ ඇතිවෙන වෙනත් අත්‍යාවශ්‍ය අවශ්‍යතා නිසා මුදල් වියදම් වීම,ණය මුදල යෙදවූ කටයුත්තෙන් ආදායමක් නොලැබීම වැනි කාරණා මේ අතරින් කිහිපයක්.මේ හේතු දිහා බැලුවම අපිට පේන කාරණයක් තමයි මේ සමහර කාරනා තාවකාලිකව ඇතිවන දේවල්,ඒ වගේම සමහර කාරනා දිගුකාලීනව බලපාන දේවල් කියන එක.ඉතින් අපි අපිට ණය මුදලක් ගෙවාගන්න බැරිවුනොත් එහෙම වුනේ ඇයි කියන එක මුලින්ම හිතලා බලන්න ඕන.ඒක තාවකාලිකව ඇතිවුන දෙයක්ද නැතිනම් දිගින්දිගටම ඇතිවෙන දෙයක්ද කියලා බලන්න ඕන.අපි ඒකට දෙන විසඳුමත් රදාපවතින්නේ ඔන්න ඔය හදුනාගැනීම මත...


ණය මුදලක් ගෙවාගන්න බැරිවුනොත් ඉස්සෙල්ලම මොකද කරන්න ඕන ?

තමන් ගත්තු ණයමුදලක් ඒක වාරිකයක් හරි ගෙවාගන්න බැරි වුනොත් ඉස්සෙලම කරන්න ඕන තමන් ණය ගත්තු ආයතනය ඒ පිළිබඳව දැනුවත් කරන එක.හැබැයි ඕකේ වෙන්නේ අනිත් පැත්ත.ණය දුන්නු ආයතනයෙන් ලියුම් එවලා කෝල් දීලා කියනකම් ණය ගත්තු අය ඒ පිළිබඳව සැලකිලිමත් වෙන්නේ නෑ.එතකොට මුලදීම ඒ ආයතනය ණය ගෙවන්නා පිළිබඳව දුර්මතයක පිහිටනවා.ඊට පස්සේ හැම දේම තීරණය කරන්නේ ඒ මතයේ ඉදලා.ඒක අපිට අවාසිවෙන්න පුළුවන්.ඒක නිසා තමන් ගත්තු ණය හරිහැටි ගෙවාගන්න බැරිවුනොත් තමන් ණය ගත්තු ආයතනය එක්ක තියෙන සම්බන්දය තවත් වැඩිදියුණු කරගන්න ඕන.එතකොට තමන්ට ණය ගෙවාගන්න බැරිවුණු කාරනේට අවශ්‍ය සහනයක් පවා ලබාගන්න පුළුවන්.

ණය මුදලක වාරිකයක් දෙකක් ගෙවාගන්න බැරිවුනොත් මොකක්ද කරන්න පුළුවන්?

ඔබට ගෙවාගන්න බැරිවෙලා තියෙන්නේ ණය මුදලේ වාරිකයක් හෝ දෙකක්නම් [ හිඟ වාරික තුනකට වඩා අඩුනම් ] ඒ ණය මුදල ප්‍රතිව්‍ය්ව්හගත [restructure] කරලා දෙන්න කියලා ඔබට ඉල්ලන්න පුළුවන්.හැබැයි සාධාරණ හේතුවක් මත ණය මුදල ගෙවීම පැහැරහැරී තියෙන්න ඕන.හිතාමතා නය නොගෙවා සිටියොත් මේ සහන කිසිවක් ලබාගන්න බෑ.අනිත් කාරණේ තමයි මෙහෙම සහනයක් එක් ණයකට ලබාගන්න පුළුවන් එක අවස්තාවකදී පමණයි.ඒ වගේම හිග වාරිකවල පොලිය මෙහිදී ඔබ විසින් ගෙවිය යුතුයි.ණය මුදල ගෙවා නිමවන දිනය මෙහිදී ඉදිරියට ගෙනයාමක් තමයි සිද්ද වෙන්නේ.ඒක නිසා වාරිකයේ වෙනස් වීමක් වෙන්නේ නෑ.

ඇපේට තියෙලා තියෙන්නේ දේපලක් නම් වෙන්දේසි කරයිද ?

මේක ගොඩක් දෙනෙකුට තියෙන ගැටළුවක්.මොකද ගොඩක් අය නිවාස ණය ලබාගෙන තියෙන්නේ පදිංචි නිවස ඇපයට තියලා නිසා.මේකෙදි ණය මුදලේ ප්‍රමාණය අනුව විධි දෙකකින් තමයි නීතිය ක්‍රියාත්මක වෙන්නේ.න්‍යා මුදල හෝ ගෙවීමට ඇති ප්‍රමාණය මිලියන 5 ට වඩා වැඩිනම් වාණිජ බැංකුවලට ඇති පරාටේ බලතල අනුව එම බැංකුවල අධ්‍යක්ෂක මණ්ඩල යෝජනා සම්මතයකින් ප්‍රසිද්ද පුවත්පත්වල පළකිරීමෙන් අනතුරුව කෙලින්ම දේපල වෙන්දේසි කිරීමකින් ණය අයකරගනීමේ බලතල තියෙනවා.ණය මුදල මිලියන 5 ට වඩා අඩුනම් බැංකුවලට එහෙම කෙලින්ම දේපල වෙන්දේසියකට යන්න බැහැ.ණය කරුවන් ගෙවීමට පෙලඹවීමට බැංකුවලින් කෙලින්ම දේපල වෙන්දේසි කරනබව පැවසුවත් එසේ කිරීමට බැංකුවලට බලතල නැහැ.මේ තත්වය වෙනස්වුනේ 2011 දී පාර්ලිමේන්තුවේ සම්මත වුනු පනතකින්.ඒ අනුව ණය මුදල අයකරගැනීමට බැංකුවට අධිකරණයේ නඩුවක් පැවරීමට සිදුවෙනවා.ඉන්පසු එහි තීන්දුව අනුව පිස්කල් වෙන්දේසියක් මගින් තමයි බැංකුවලට ණය අයකරගන්න වෙන්නේ.හැබැයි එහෙමෙයි කියලා බැංකුවලින් ගත්තු ණය පැහැර හැරීමනම් නුවණැති කටයුත්තක් නෙවි.මොකද නඩු යනවා කියන්නේ තමන්ගේ මුදල් හා කාලය කියන දෙකම වැයවෙන කාරණයක් නිසා,අනිත් අතට බැංකු ණය මුදල් අයකරගැනීමට දරන සියලු වියදනුත් අන්තිමට ගෙවන්න වෙන්නේ ණයකරුටමයි.

පුද්ගල ඇප දීල තියෙන ණය මුදලක නීතිමය පැත්ත කොහොමද ?

බොහෝ දෙනෙක් දේපල ඇපයට තියෙලා ණය අරගෙන තියෙනවා වගේම පුද්ගල ඇප තියෙලා ණය අරන් තියෙන්නත් පුළුවන්නේ.එහෙම ණයක් ගෙවීම පැහැරහැරියොත් නීතිමය තත්වය මෙහෙමයි.ණය මුදල 250,000/- වඩා අඩුනම් බැංකුවට කෙලින්ම අධිකරණයේ පිහිට පතන්න බෑ.ඊට කලින් සමථ මණ්ඩලයට යොමුවෙන්න වෙනවා.ඒත් අපේ ගොඩ දෙනෙක් මේකේ තියෙන වටිනාකම තේරුම් අරන් නැහැ.සමථ මණ්ඩලය කියන්නේ සාකච්චා මේසයක්.එහිදී කතාබහ කරලා සමථයකට එන්න පුළුවන්.එහිදී යම් සහනයක් ඔබට දෙන්න බැංකුව පොරොන්දු වුනොත් අනිවාර්යෙන්ම ඒ සහනය දියයුතුයි.එසේ නොකර බැංකුව අධිකරණයට ගියොත් ඔබට ඒ සමථ සහතිකය සාක්ෂියක් හැටියට ඉදිරිපත් කරන්න පුළුවන්.හැබැයි ඉතින් එතකොට ඔබත් සමථ තීන්දුව පරිදි අදාළ දිනට මුදල් ගෙවා තිබිය යුතුයි.ණය මුදල ඊට වඩා වැඩිනම් බැංකුවලට පුළුවන් කෙලින්ම අධිකරණයට යන්න.එහිදී ඔබට එරෙහිව ණය අයකරගැනීමේ විධිවිධාන පනත යටතේ සිවිල් නඩුවක් පැවරෙනවා.ඔබ නඩුවට සහභාගී නොවුනොත් නඩුව ඒක පාර්ශ්වීයව විභාගයට ගන්නවා.නීත්දුව ඔබට එරෙහිව ලැබුනොත් බැංකුවට පුළුවන් ඇස්කීසි නියෝගයක් මගින් පිස්කල් මාර්ගයෙන් ඔබේ සහ ඔබේ ඇපකරුවන්ගේ දේපල තහනමට ගෙන විකුණා ණය පියවාගන්න.හැබැයි එහිදී ඔබේ ඇදුම්,අත්‍යාවශ්‍ය බදු බාහිරාදිය සහ රැකියාවට අවශ්‍ය දේවල් තහනමට ගන්න බැහැ.රජයේ සේවකයෙක් නම් රුපියල් 500 ක් ඉතිරි වෙද්දී මුළු වැටුපම ණය මුදලට හිලව් කරන්නත් අධිකරණ නියෝගයක් ගන්න පුළුවන්.ණය මුදලකට විතරක් නෙවි ජංගම ගිණුමකට ගත්තු අයිරාවකට වුනත් මේ නීතිය පොදුයි.ඔබ සතුව ඇති දේපල බැංකුවට හොයාගන්න බැරි වුනොත් ඔබව අධිකරණය ඉදිරියට ගෙනවිත් ප්‍රකාශයක් කරන්න ඔබට අවස්තාව දෙනවා.එහිදී දේපල පිලිබඳ ප්‍රකාශ නොකර බොරු කිව්වොත් සිර දඬුවම් පවා දෙන තරමට නීතිය ප්‍රබලයි.ඔබත් සමහර ණය වලට ඇප වී ඇති..ඒක නිසා පොඩ්ඩක් මේ ගැන සිතන්න...

CRIB [ණය තොරතුරු කාර්යංශය] එකට report වුනොත් ආයෙත් ණයක් ගන්න බැරිද ?

ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශය පිහිටුවලා තියෙන්නේ එක් එක් පුද්ගලයින්ගේ ණයගැතිභාවය සහ ගෙවීමේ හැකියාව පිලිබඳ දර්ශකයක් ලෙස මිසක් ණය නොගෙවන පුද්ගලයින්ට දඬුවම් දෙන ආයතනයක් හැටියට නෙවි.එහෙම වුනොත් ලංකාවේ බාගෙට භාගයකට ණය ගන්න බැරුව යාවි.ණය තොරතුරු කාර්යාංශයේ නොගෙවූ ණය වගේම ගෙවන ණය ගැනත් සටහන් වෙනවා.දැන් online update වෙන නිසා ඔබ හිග වාරික ගෙවූ පසු ඔබ ණය වාරික ගෙවූ බව එහි සටහන් වෙනවා.ඒත් ඉතින් සමහර ආයතන ණය මුදල් නිදහස් කිරීමේදී මේ කාරණය තදින් සොයාබලනවා.ඒත් ඉතින් ගොඩක් වෙලාවට මේ නිසා ඇපකරුවන් වෙලා ඉන්න අයනම් අපහසුතාවයට නම් පත්වෙනවා ඔවුන් ණය මුදලක් ගන්න ගියාම.CRIB ගැන වැඩිදුර විස්තර මෙතනින්..

අක්‍රමික ණය මුදලක් ගෙවන්න හදාගන්නේ කොහොමද ?

ණය මුදලක් අක්‍රමික වෙනවා කියන්නේ හිඟ වාරික තුනකට වඩා වැඩි හෝ අයිරාවක්‌ නම් අනුමත සීමාව ඉක්මවා දින 90 කට වඩා වැඩිව නොපියවී තිබීමයි.ඉතින් ඔබට හැකියාවක් තියෙනවානම් කරන්න පුළුවන් හොදම් දේ තමයි හිඟ වාරික එකවර ගෙවීම හෝ කෙටි කාලයකින් ගෙවන්න වැඩපිළිවෙලක් සාකච්චා කරගැනීම.නැතිනම් නයමුදල එකවර පියවනවානම් පොලී සහනයක් ඇතුව පියවීමට කතාකරගත් හැකියි.ඊට අමතරව ඔබට කලහැකිදේ තමයි ණය මුදල ප්‍රතිලේඛනගත [reschedule] කිරීමට ඉල්ලීම.සාමාන්යෙන් මේ සහනයත් එක්වරක් තමයි ලබාගන්න පුළුවන්.එහිදී සමහර ලිපි ලේඛන නැවත ලබාගැනීමක් සිදුවෙනවා.සමහරවිට ඔබට අලුත් සුරැකුම් ලබාදෙන්න වෙන්න පුළුවන්.ඒ වගේම ඔබේ වාරිකයත් ගෙවන කාලයත් වෙනස්වෙන්න පුළුවන්.පොලියත් විශාල ප්‍රමානයක් ගොඩ ගැසී තිබේනම් එයත් ණයක් විදිහට ගෙවන්න ඉඩපහසුව ලබාගන්න පුළුවන්.මේ ඔක්කොටම වැදගත් වෙන්නේ මං අර මුලින් කිව්ව හොඳ හිත පවත්වාගෙන යාමයි.මේ ආකාරයට ණය මුදල ගෙවනවනම් ඔබේ ගෙවීමේ හැකියාව යහපත් මට්ටමකට පැමිණ තිබිය යුතුයි.

ණය මුදල් රක්ෂණයෙන් ඇති වාසි මොනවාද ?

ණයකරුගේ ජීවිතේට අවදානමක් ඇතිනම් ණය රක්ෂණයක් ලබාගැනීම සුදුසුයි.බැංකුවලින් ඉල්ලන අනිවාර්ය අවශ්‍යතාවයක් නොවුනත් ඔබට හැකියාවක් ඇතොත් ඔබේ ණය මුදල රක්ෂණය කරවාගන්න.එතකොට ඔබට හදිසි කරදරයක් වුනොත් ණය මුදල් පියවීම රක්ෂණය විසින් භාරගන්නවා.ඒ වගේම තමයි වගා ණයක් නම් කෘෂි රක්ෂණ මණ්ඩලයේ රක්ෂණය වෙන්න.මොකද ස්වභාවික විපතකින් වගාවට හානිවුනොත් ණය පියවීමට රක්ෂණය වැදගත් වෙනවා.

ඉතින් ඔන්න ඔය කරුණු කාරනා ටික තමයි මට වැදගත් කියලා හිතුනේ.මට අමතකවුණු දෙයක් හරි ඔයාලට දැනගන්න දෙයක් හරි තියෙනවනම් Comment කරන්න.මගේ දැනුමේ තරමට උත්තර දෙන්නම් මම ඒවාට.බැංකුවයි ඔබයි කලින් ලිපිවලට මෙන්න පාර.කොහොමවුනත් මං හිතනවා මං මේ කියපුදෙවල් ටික කාටහරි වැදගත්වෙයි කියලා....

ටටා....

36 comments:

  1. //තමන් ගත්තු ණයමුදලක් ඒක වාරිකයක් හරි ගෙවාගන්න බැරි වුනොත් ඉස්සෙලම කරන්න ඕන තමන් ණය ගත්තු ආයතනය ඒ පිළිබඳව දැනුවත් කරන එක.//

    මේක තමා වටිනාම ටික. බොහො අය හැංගෙන්න හදනවා, ඒ පිලිබද ආයතන දැනුවත් නොකර. ඒක ඉල්ලං කෑමක්..

    ජය වේවා !

    ReplyDelete
    Replies
    1. වැඩියෙන් බැංකුවට යන්න ඕන කරදරයක් වුනු වෙලාවට..

      Delete
  2. දැනට ණයක් නැති හින්දා අවුලක් නෑ...ඒත් ණය ගන්න බලාගෙන ඉන්න ඇත්තන්ට බොහොම වටින තොරතුරු ටිකක්...

    ReplyDelete
    Replies
    1. අපි නොහිතන විදිහටනේ අමාරුවේ වැටෙන්නේ..ඒකයි මේක ලිව්වේ..

      Delete
  3. මල්ලි උඹ මේ පැත්ත කවර් කරන නිසා මට පහසුයි. මට ඔය තාක්ෂණික පැත්ත කවර් කරන්න බැරියැයි.

    ReplyDelete
    Replies
    1. ඔව්..ඔව්..තාක්ෂණික පැත්ත ගැන ලියන්න සුදුස්සා අය්යා තමයි

      Delete
  4. අන්න හොඳ බැංකු කාරයෝ. තමන් දන්න දේ බෙදලා දෙනවා. :D

    ReplyDelete
    Replies
    1. දුන් දේ සුවඳයි ...කෑදේ ගඳයි..

      Delete
  5. මෙවැනි ලිපි හුග දෙනකුට ප්‍රයෝජනවත් වෙනව.
    ඔය බැංකු සහ මුල්‍ය ආයතන වල නීති රීති බොහොම කුඩාවට පෝර්මය පිටු පස ඉංග්‍රීසියෙන් විතරයි නේද තියෙන්නෙ.(මම දන්නෙ නැහැ සිංහලෙන් තිබේද කියා)
    කීයෙන් කී දෙනාද ඒ විස්තර කියවල බලන්නෙ.
    හැකි පමණ මෙවැනි ඉතා වටින ලිපි ලියන්න හසරැල්.

    ReplyDelete
    Replies
    1. මං වැඩකරන මහජන බැංකුවේ නම් භාෂා තුනෙන්ම හැම ලේඛනයක්ම සටහන් කරලා තියෙනවා.මුලින්ම සිංහලෙන් සහ දෙමලෙන් බැංකු කටයුතු ශ්‍රී ලංකාව තුල ආරම්භ කලෙත් මහජන බැංකුව.දැන්නම් මං හිතන්නේ අනිත් බැංකුවලත් එහෙම තියෙනවා...

      මොන භාෂාවෙන් තිබුනත් කියවන ප්‍රමාණය = බින්දුවයි.

      Delete
  6. කදිම ලිපියක්. බොහොම වටිනවා...මීට කලින් මේකෙ පලවෙනි ලිපිය පලකරලා තිබ්බා හසරැස් විසින්. කැමති අය ගිහින් මෙන්න මෙතනින් කියවන්න. http://hasarallak.blogspot.com/2013/09/blog-post_20.html

    ReplyDelete
    Replies
    1. ගොඩක් අය කියවලා තිබුනා...නොදැන සිටි යමක් දැනගත්තනම් මට සතුටුයි.

      Delete
  7. එතකොට පුද්ගලික ණය (personal loans) වල තත්ත්වය වෙනස්ද? සහ ඇප කරු රටින් පිටවී තිබ්බොත් මොකද වෙන්නේ

    ReplyDelete
    Replies
    1. අවශ්‍යතාවය කුමක් වුනත් නීතිය ක්‍රියාත්මක වෙන්නේ එකම විදිහට.

      ඇපකරු නොවෙයි ණයකරු වුනත් විදෙස් ගතව සිටියත් නඩුව ඒක පාර්ශවීයව විභාගයට අරන් තීන්දුව දෙනවා.දේපල තහනමට හෝ වෙන්දේසියට ණයකරු හෝ ඇපකරු නොසිටීම වැදගත් වෙන්නේ නෑ

      Delete
  8. ඉදිරියෙදි ණය වෙන්න හිතාගෙන ඉන්න හින්ද මේක බොහොම ප්‍ර‍යෝජනවත්.

    ReplyDelete
    Replies
    1. ගන්න ඒවා ගෙවන්නත් හිතන ඉන්න නිසා අවුලක් නෑ

      Delete
  9. ගොඩාක් වැදගත් ලිපියක්......

    ReplyDelete
  10. හොඳ පෝස්ට් එකක්..............

    ReplyDelete
  11. ගොඩක් වැදගත් වෙන කරුණු ටිකක් දැන ගත්තා. ගොඩක් ස්තූතියි හසරැල්.

    - ප්‍රියා.

    ReplyDelete
    Replies
    1. ගොඩක් අය වැදගත් කරුණු දැනගෙන තිබුනා....මගේ අරමුණත් එයයි...

      Delete
  12. හසරැල්...මෙය ඉතාම වටිනා කරුණු දැක්වීමක්...අප ඉන්න පලාතේ ණය ගෙවාගන්න බැරිවෙන අය සම්බන්ධව ඉතාම සානුකම්පිත ක්‍රමවේදයන් තියෙනවා. මෙය අපරාධයක් කොට සලකන්නේ ඔබට ණය දුන් ආයතනයට නොදන්වා සිටීම සහ මග හැරීමයි. උඹට හැකිනම් කියන PAY PLAN වෙබ් සයිට් එකට ගිහින් බලන්න.එය ඔබට වැදගත් වේවී.

    බැංකු විසින් PAYMENT PROTECTION INSURANCE නමින් තවත් කුණුහරපයක් මගින් පාරිභෝගිකයාගෙන් මුදල් ලබාගත්තා. නමුත් රජය විසින් නීතියක් ගෙනාවා ඒ මුදල් පාරිභෝගිකයාට නැවත ලබා දිය යුතුයි කියා. PPI කියා ගූග්ල් සර්ච් එකක් කරන්න. ඔබට වැදගත් වේවී.

    ReplyDelete
    Replies
    1. මං හිතන්නේ අරූ ඉන්නේ පිටරට වෙන්නැති නේ.රක්ෂණය ගැනීම ණයකරුගේ තීරණයක් මත සිදුවිය යුතු දෙයක්...

      නොදන්නා කරුණු රැසක දැනගත්තා ..ස්තුතියි....

      Delete
  13. මේකනං ගොඩක් වටිනවා මචෝ... මිල මුදල් වලින් විතරක් නෙවෙයි ගොඩක් දේවල් වලින් මිනිස්සුන්ට මේ ලෝකේ ණය වෙන්න වෙනවා!

    ReplyDelete
  14. මොනම විදිහකින්වත් ණය වෙන්න නම් මන් කැමති නෑ......නමුත් මේ ලිපිය නම් ගොඩක් දෙනෙක්ට වැදගත් වෙයි හසරැල්

    ReplyDelete
    Replies
    1. කවුරුත් අකමැති දෙයක්...ඒත් නොවීත් බැරි දෙයක්...

      Delete
  15. මෙහේ නම් ණයක් ගෙවුනේ නෑ කියලා මුකුත් කරන්න බෑ.. ආයි එකක් ගන්න බැරි එක විතරයි තියෙන අවුල.. අපේ ලෝයර් කෙනෙක් කියනවා අහන් හිටපු හන්දා මමත් දන්නේ..

    ReplyDelete
    Replies
    1. ඕවා කියන්නෙපා...අපේ අය්යලා ඔගේ එන්න තව තවත් ට්‍රයි කොරයි.

      Delete
  16. මටත් අත්දැකීම් තියනවා මූල්ය ආයතනයක වැඩ කරලා.. සමහර මිනිස්සි ණය මගඇරල කතා කරහම අපිට බනින්නෙ අපි ණය ගත්තා වගේ.. සමහරු නම් ඇවිත් තර්ජනය කරනවා උස්සල පෙන්නන්නකො බලන්න මගේ වාහනේ, එදාට තමයි මගේ හැටි දැනගන්නේ කියලා...

    ReplyDelete
    Replies
    1. ණය අයකරන්න ගිහින් වෙච්ච කතා පස්සේ දවසක කියන්නකෝ..

      Delete
  17. ණය නො වී තියන හැටියකට ජීවත් වෙන එක හොඳ යි කියල හිතෙනවා. කොහොම වුණත් වටින විස්තර ටිකක්. ස්තුති යි.

    ReplyDelete
    Replies
    1. ණය නොවී ඉන්න පුළුවන් කීයෙන් කී දෙනාටද ?

      Delete
  18. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  19. බොහොම ප්‍රයෝජනවත්!

    ReplyDelete

මොකෝ කියන්නේ ,ආපු එකේ මොනවහරි කියලම යමුනේද ?

linkwithin

Related Posts Plugin for WordPress, Blogger...