Saturday, February 2, 2013

හම්බන්තොට Island 1st වීම නොහොත් ශ්‍රී ලාංකීය අධ්‍යාපනයේ බමුණු කුලය බිඳවැටීම

පින්තුරය ගත්තේ  - http://www.shilpasayura.org

ශ්‍රී ලාංකීය දේශපාලනයේ බමුණු කුලය බිඳවැටුනේ 1956 දීය.1956 සිදුවුණු ආණ්ඩු පෙරලිය මාර්ටින් වික්‍රමසිංහ දුටුවේ බමුණු කුලයේ බිදවැටීම ලෙසය.එලෙසම ශ්‍රී ලාංකීය අධ්‍යාපනයේ බමුණු කුලය බිදවැටුණු අවුරුද්ද ලෙස 2012 සටහන් වනු ඇත.

මා එසේ කියන්නේ 2012 උසස්පෙළ ගණිත සහ විද්‍යා අංශයන්ගෙන් දිවයිනේ ප්‍රථම ස්ථාන හිමිකරගැනීමට හම්බන්තොට වීරකැටිය රාජපක්ෂ විදුහලේ රුසිරු ගම්භීරආරච්චි සහ කසුන් ලක්මාල් සමත්ව තිබීම නිසාවෙනි,එහෙත් දිස්ත්‍රික්කය හම්බන්තොට වීම නිසාවෙනුත් පාසල වීරකැටිය රාජපක්ෂ විදුහල වීම නිසාවෙනුත් මේ දරුවන්ගේ දක්ෂතාවය දෙස සමහරුන් සමච්චලෙන් බැලීමට පුරුදුවී ඇත.ඔවුන්ට අනුවනම් ඒ ජනාධිපතිගේ ආනුභාවයයි.එහෙත් කලා,වාණිජ,තොරතුරු තාක්ෂණ මුල් ස්ථාන කොළඹ දෙවි බාලිකාවට හිමිවීම  ඔවුන්ට ගැටළුවක් නොවේ.ඔවුන්ට ඒ දරුවන් දක්ෂ දරුවන්ය.

ශ්‍රී ලාංකීය අධ්‍යාපනය අනුව තවමත් දිවයිනේ ප්‍රථම ස්ථාන හිමිවිය යුත්තේ රෝයල්, සාන්ත තෝමස් විදුහල්වලටයයි සිතන පුද්ගලයන් සිටින රටක මෙසේ වීම පුදුමයක් නොවේ.ශ්‍රී ලාංකීය අධ්‍යාපනයේ රෝයල් ආධිපත්‍ය බිදවැටී දැන් ටික කලක් ගතවී ඇත.ඉන්පසු ඒ ආධිපත්‍ය හිමිවුණේ ගාල්ල මහින්ද ,මාතර රාහුල, මහනුවර ධර්මරාජ විදුහල්වලටය.දැන් එය එහි තුන්වැනි අදියරට පිවිස ඇත.එනම් දුෂ්කර යයි හංවඩු ගැසුණු දිස්ත්‍රික්කවලින් දක්ෂයින් බිහිවීමයි.

බොහෝ දෙනෙක් මෙහි නොදකින පැත්තනම් මේ සිදුවීම එක රැයකින් සිදුවුනක් නොවීමයි.වසරින් වසර කෙමෙන් කෙමෙන් හම්බන්තොට ඇතුළු පහසුකම් අඩු දිස්ත්‍රික්කවල සිසුන් තමන්ගේ දිවයින් කුසලතාවයන් වැඩි දියුණු කරගෙන ඇත.පසුගිය වසරවල ප්‍රතිපල සසඳා බැලුවහොත් ඔබට ඒ බව පැහැදිලිවනු ඇත.රුසිරු සහ කසුන්ගේ දක්ෂතාවය එහි කූටප්‍රාප්තියයි.

පහසුකම් අඩු දිස්ත්‍රික්ක යයි පැවසීමේදී සදහන් කලයුත්තේ එම දරුවන්ට අඩු පහසුකම් මිස දක්ෂතාවය නොවන බවයි,පහසුකම්ද දැන් දැන් නගරයේ පාසල් වලටමෙන්ම ගමේ පාසල් වලටද ලැබී තිබීම සතුටට කරුණකි.අනෙක් අතට හම්බන්තොට ජනාධිපතිගේ දිස්ත්‍රික්කය වීම නිසා එම දරුවන්ට පසුගිය කාලයෙදී පහසුකම් වැඩිවී ඇත.අනෙක් අතට රුසිරු සහ කසුන් තමා ඉපදුනු ගමේ නොවී තව කිලෝමීටර් 15 ක් 20 ක් මෙහායින් ඉපදී මාතරින් උසස්පෙළ සමත්වූවානම් අද ඔවුන්ට සමච්චල් කරන කිසිවෙකු එසේ නොකරනු ඇත.

පසුගිය කාලයේ සිදුවුණු ඇතැම් සිද්ධීන් නිසා අපට විභාග දෙපාර්තමේන්තුව පිලිබඳ විශ්වාසය බිද වැටී ඇත.එය මේ දරුවන්ට ඇගිල්ල දිගුකරන සමහරුන්ට පිටිවහලක් වී ඇත.අපි කවුරුත් දන්නා පරිදි උසස්පෙළ කරන සිසුන් පාසලට වඩා දැනුම ලබාගන්නේ අමතර පන්ති සහභාගී වීමෙනි.මේ දරුවන් දෙදෙනාද අමතර පන්ති සහභාගී වීඇත.මාතර නගරයේ අමතර පන්ති කරන ගුරුවරුන් සියල්ලක්ම පාහේ තංගල්ල නගරයේද අමතර පන්ති පවත්වයි.මේ දරුවන්ද ඒ පන්තිවලට සහභාගී වී ඇත.ඒ පන්තිවලට සහභාගී වී දිවයිනේ ප්‍රථමයා වීමට මාතර රාහුලේ සිසුවෙකුට හැකිනම් එම පන්තිවලට සහභාගී වී දිවයිනේ ප්‍රථමයා වීමට වීරකැටිය රාජපක්ෂ විදුහලේ සිසුවෙකුට නොහැකි මන්දැයි මටනම් වටහාගත නොහැකිය.

අමතර පන්ති ගැන කතාකිරීමේදී ගණිත අංශයෙන් දිවයිනේ මුල් ස්ථාන රැසක් දකුණේ සිසුන්ට හිමිවීම නිසා එක්තරා වෙබ් අඩවියක් මගින් අමතර පන්ති ගුරුවරයෙකු වන ජනක අබේවර්ධන මහතාට මඩ ප්‍රහාරයක් එල්ල කර ඇත.පසුගිය සාමාන්‍ය පෙළ විභාගයේදී සිදුවුණු ප්‍රශ්න පත්තර වංචාව ගැන සදහන් කොට මේ ගුරුවරයාද එවැන්නෙකියි කීමට ඔවුන් උත්සාහ දරා ඇත.මෙහිද මට කීමට ඇත්තේ පාසල් අතරින් රෝයල් මුල්තැන ගතයුත්තන් සිතන්නේ හොදම ටියුෂන් ගුරුවරු සිටින්නේ නුගේගොඩ කියාය.


එහෙත් පසුගිය කාලයේ ගණිත අංශයේ දිවයින් කුසලතාවයන් සලකා බැලුවහොත් මාතර ඇතුළු දකුණේ සිසුන් මුල් ස්ථාන රැකගැනීමට සමත්ව ඇති බව ඔබට දැක ගැනීමට හැකිවනු ඇත.ඒ බොහෝ සිසුන්ද මේ ගුරුවරයාගේ අමතර පන්තිවලට සහභාගී වී ඇති බව ඔබට ඔවුන්ගෙන්ම අසා දැනගත හැකිය.අනෙක් අතට ඔහුට එසේ ප්‍රශ්නපත්‍ර හොරෙන් පිටකරගැනීමේ කිසිදු අවශ්‍යතාවයක් නැත.ඔහුගේ විෂය වන ව්‍යවහාර ගණිතය සම්බන්දයෙන් දකුණේ ඔහුට ඇත්තේ ඉහල ඉල්ලුමකි.ඔහු හැර වෙනත් විකල්පයක් නැත.එහෙයින් ප්‍රශ්නපත්‍ර හොරෙන් ගත්තායයි ඔහුට අලුතෙන් එකතු වන සිසුවෙක් හෝ වැඩිවන ආදායමක් නැත.

ශ්‍රී ලාංකීය අධ්‍යාපනය පසුගිය කාලයේ ඉතා සීග්‍ර අන්දමින් දියුනු වී ඇත.බොහෝ පාසල්වල පරිගණක විද්‍යාගාර ඇත.අන්තර්ජාලය යනු තව දුරටත් සිහිනයක් නොවේ.අධ්‍යාපන අවස්ථා වැඩිවී ඇත.එය දිවයින පුරා විසිරී සිටින කසුන්ලාට හා රුසිරුලාට පිටිවහලකි.මට අවසන් වශයෙන් කීමට  ඇත්තේ දුෂ්කරයයි සම්මත දිස්ත්‍රික්කවල කොල්ලන් හමුදාවටද කෙල්ලන් ගාමන්ට් වලද රැකියාව කලයුතු යයි සිතන අයට, මේ වසරේ දිවයිනේ ප්‍රථමයා මොනරාගල මහානාම විදුහලෙන් හෝ අම්පාර සේනානායක විදුහලින් බිහිවුවහොත් පුදුම නොවන ලෙසයි.

සීයාගේ දිනපොතින්..........



ඔන්න ඉතින් මං අද දාන්න හිතුවේ මගේ සීයාගේ දිනපොත්වලින් ගත්ත පොඩි විස්තර ටිකක්.මට මේක දාන්න හිතුනේ අපේ සිරා කොලුවාගේ සීයාගේ පත්තර කොලෙක්ෂන් එකේ පින්තුර ටික දැක්කමයි.

කාගේ වුනත් දිනපොත් ,ලියුම් කියවන එක හොද වැඩක් නෙමෙයි,ඒ මොකද ඒවයේ ජීවිතේ කාටවත් නොකියපු අතිශය රහසිගත දේවල් පවා තියෙන නිසා.ඒත් ඉතින් ලෝකේ ගොඩක් ප්‍රසිද්ද වුනු අයගේ දිනපොත් පොත් විදිහට පවා මුද්‍රණය වෙලා තියෙනවා.ඒවායෙන් අපේ ජීවිතවලටත්  ගන්න පුළුවන් ආදර්ශ තියෙනවා.

මං සීයා කියලා කීවාට අපේ පැත්තේ සීයලා නෑනේ.අපේ මාතර පැත්තේ ඉන්නේ මුත්තලා.ඉතින් මගේ තාත්තගේ අම්ම ඒ කියන්නේ මගේ ආච්චිගේ අය්යා වන මුත්තාගේ තමයි මේ දිනපොත්.අපි කිව්වේ සුදු මුත්තා කියලා.ඔහු නමින් එච්.එස්.පී.ජයවර්ධන.රාජකාරි කලේ මාතර කච්චේරියේ,රැකියාව ආරච්චිල,මේ කියන්නේ අර ඉස්සර ගම්වල හිටපු ආරච්චිලා ගැන නෙමෙයි,ඉස්සර රජයේ කන්තෝරුවල හිටපු ප්‍රධාන කාර්යාල කාර්ය සහායකට කිව්වේ ආරච්චිල කියලයි,ඉතින් ඒ කාලේ හිටපු දිසාපතිවරුන්ගේ කා.කා.ස. හැටියට තමයි මගේ සීයා වැඩකලේ.ඔහු 1971 දී රැකියාවෙන් විශ්‍රාම ලබනවා.

මං ඉතින් අද දිනපොත්වලින් ගත්තා කියලා දාන්නේ දිනපොත්වල මුද්‍රණය කරලා තියෙන පොඩි දැන්වීම් කීපයක් විතරයි,ඒ ඒ කාලවල රටේ සිදුවුණු සිදුවීම් දින වකවානුත් එක්ක දිනපොත්වලින් උපුටලා පස්සේ පොස්ටුවකින් දාන්නම්.මේ දිනපොත් ඔක්කොම වගේ කුඩාප්‍රමානයේ සාක්කු දිනපොත්.1950 සිට 1970 දක්වා සමහර අවුරුදුවල දිනපොත් එතන තියෙනවා.මං අද තෝරා ගත්තේ 1953 දිනමිණ සාක්කු දිනපොතේ දැන්වීම් ටිකක්..
















linkwithin

Related Posts Plugin for WordPress, Blogger...