අද මම මේ ඔබට කියන්නට යන්නේ මට වෙච්ච පුද්ගලික අත්දැකීමක්.මම මේ බ්ලොග් එක ලියන්න පටන් අරන් දැන් සැහෙන කාලයක්වුනත් මගේ ජීවිතේට සම්බන්ද පොස්ට් ලියලා තියෙන්නේ අතේ ඇඟිලි ගානටත් අඩුවෙන්.ඒකට විශේෂ හේතුවක් නැතිවුනත් කොහොම කොහොමහරි ඒවා කිසිම දෙයක් ලියවුනේ නෑ.පහුගිය දවස්වල මට බ්ලොග් පැත්තේ පයගහන්න වුනෙත් නෑ.ඒකට හේතුවුණු දේ තමයි මං අද මේ ඔයාලට කියන්න යන්නේ.කොහොමවුනත් මේවගේ දේකට පස්සේ ඇතිවෙන මානසික කැළඹිලි සහගත තත්වය නිසා බ්ලොග් එකක් ලියනවා වගේ දේකට කොහොමටවත් හිත යොමුකරන්න බෑ.
දැන් ඒ ඔක්කොම දේවල් යථාතත්වයට පැමිණුනත් මේ කතාව ඔයාලට කියනවද නැද්ද කියලා මං කල්පනා කර කර හිටියේ.කොහොමවුනත් දැන් මේ කතාව හංගගෙන හිටියා කියලා ඇතිවෙන විශේෂ වාසියකුත් නෑ.අනිත් අතට කිව්වය කියලා වෙන විශේෂ පාඩුවකුත් නෑ.ඒත් මේ සිද්දියෙන් ඔයාලගේ ජීවිතවලට ගොඩාක් ලොකු පාඩම් ටිකක් ඉගෙනගන්න පුළුවන්.ඉතින් ඒක නිසා මම තීරණය කළා මේ කතාව ඔයාලට කියන්න.ඔන්න මේකයි එහෙනං මට වෙච්ච දේ .............
"කරස්" .......නෙද්දකින් විතරක් මේ යක්කුන්ට බෑනේ අම්මපා කන බත්පතටවත් වැලි දාන්නේ නැතුව විකුනන්න.අනේ මුන්ටත් ඉතින් හරියනවනේ......
බත් එකේ තිබිලා හැපිච්ච ගල් කැටේ අරගෙන විසිකරනගමන් මට හිතුනා.අපේ බ්‍රාන්ච් එකේ ක්ෂේත්‍ර නිලධාරී [සිංහලෙන් කිව්වොත් ෆීල්ඩ් ඔෆිසර්] වුනු මට ඉතින් නිතරම ඉතින් ගම් ගානේ මොටෝබයිසිකලේ නැගලා කරක් ගහන්න වෙනවා.එලියට බැස්සොත් ඉතින් ආපහු එනවෙලාවක් ගැන කියන්න බැරිනිසා මං ඔහොම එලියට යනකොට බත් ගෙඩියත් උස්සගෙන තමයි එලියට බහින්නේ.කොහොමත් ඉතින් ෆීල්ඩ් ඔෆිසර් කියන එකාට සාමාන්යෙන් පිළිවෙලකට කන්න බොන්න ලැබෙනවා අඩුයි.ඒක ඉතින් ඔය තනතුරේ වැඩකරපු උන්දැලා දන්නවා ඇති.කොහොමහරි ටිකක් දුරබැහැර ගමකට ගිහින් එන ගමන් බඩිගින්න ඉවසන්න බැරිවුණු වෙලාවට හොද තැනක බලලා බයිසිකලේ නවතලා බත් එක දෙසාබාන එක තමයි කොරන්න තියෙන්නේ.ඔන්න ඔහොම ඉතින් එනමග තිබ්බ දොළ පාරක් ලග කෑම කකා තමයි මං හිටියේ.කකුල් දෙක දොළපාරේ ඔබාගෙන බත් ටික ගිලින එකත් ඒ හැටි නරක දෙයක් නෙවේ.කොහොමත් ඉතින් දවසපුරා සපත්තු දෙකේ කකුල් ඔබාගෙන කකුල් තම්බගන්නවාට වඩා මෙහෙම ෆන් එකක් ගන්න පුළුවන් එකත් අපේ රස්සාවේ හැටියට ලොකු දෙයක්.මෙන්න මං ඔබට දෙන පලවෙනි උපදේසේ....
ඔබ කෙතරම් ලොකු රැකියාවක් කලත් සොබාව සව්න්දර්ය විදින්නට අවස්තාවක් ඇතොත් එය මහනොහරින්න......
රයිටෝ ආයෙත් කතාවට....ගල් කැටේ හැපුනත් ඉතින් බඩිගින්න ඊටවඩා වැඩිනිසා මං කොහොමහරි බත් එකම දෙසාබාලා දොලපාරෙන්ම වතුර ටිකක් බිව්වා.ආ ...කලින් කියන්න බැරිවුනා...මේ දොළපාර නිල් කැටේට වතුර ටික දැක්කම ආස හිතෙනවා.ඒ විතරක්ය දොළපාර පුරාවටම බෝල බෝල ගල්කැට.මේක දැක්කගමන් මට මතක්වුනේ ගෙදර තියෙන මාළු ටැංකිය.විගහට විගහට හොද හොද බෝල ගල්කැට ටිකක් එකතුකරලා බෑග් එකේ දාගත්තා.හොද විල අරටු කෑල්ලකුත් ඇහිඳගෙන බයිසිකලේ සීට් එකේ පිටිපස්සට තියෙලා බැඳගත්තා.හනිහනිකට බයිසිකලෙත් ඉස්ටාට් කොරගෙන ආයෙම එන්න පිටත්වුනා.මොකද සොබාව සවුන්දර්ය වින්දා වගේ නෙවේ බොසාගේ බැනුම් අහනකොට ඒ සවුන්දර්ය නිකම්ම චොරවෙලා යනවනේ.
වැඩ ඉවරවෙලා ගෙදර ඇවිත් විල්අරටු කෑල්ල මාළු ටැංකියට දාලා අර ඇහිඳගෙන ආපු බෝල ගල් කැට ටිකත් එකින් එක මාළු ටැංකියට දාන්න පටන්ගත්තා.එතකොට තමයි මට මේක හරියටම දකින්න ලැබුනේ.මුලින් දකිනකොට එච්චර විශේෂයක් නොදැක්කා වුනාට මට මේක මාළු ටැංකියට දාන්න හිතුනේ නෑ.මේ ගල් කැටේ තිත්තම තිත්ත කළු පාටයි.ඒත් හොදට බැලුවම මොකක්දෝ දිස්නෙකුත් පේන්න තියෙනවා.ඔන්න ඔය පහල තියෙන ගල් කැටේ වගේ ....
කොහොමවුනත් මට මේක මාළුටැන්කියට දාන්න හිත දුන්නෙම නෑ.ඉතින් මං හිතාගත්තා මේක ඔෆිස් එකේ මගේ මේසේ උඩ paper weight එකක් හැටියට තියාගන්න.මේක මං මෙහෙම තියාගෙන ඉන්නකොට දවසක් මාව හම්බුවෙන්න ආපු කස්ටමර් කෙනෙක් මගෙන් අහනවා "මහත්තයාට මේක කොහෙන්ද හම්බුනේ කියලා" මං ඇහුවා "ඇයි මුදලාලි එහෙම ඇහුවේ කියලා" එතකොට මිනිහා කියපි "නෑ නිකං" කියලා.අපේ රස්සාවේ හැටියට අපිට සමාජයේ හැම ජාතියකම මිනිස්සු හම්බෙනවා.ඉතින් මිනිහා "නෑ නිකං" කිව්වට "නිකංම නිකං" නොවෙනවග මගේ මීටරේට එකපාරටම වැටුනා.මෙන්න මං ඔබට දෙන දෙවෙනි උපදේසේ......
කවදාහරි ඔබේ සහජ ඉවෙන් ඔබට දෙන ඉඟි නොසලකා හරින්නේපා....
මට වුනත් මේ ගල්කැටේ දක්කවෙලාවේ අමුත්තක් දැනුනු නිසා මං මේක සාක්කුවේ දාගෙන ගෙදර ඇවිත් ආපු ගමන්ම ඇහැලියගොඩ ඉන්න මගේ මිත්‍රයෙකුට කතාකරලා සිද්දිය කිව්වා.ඌත් මට කිව්වා විගහට නිවාඩුවක් දාලා එහෙ එන්නයි කියලා.මාත් ඔන්න දැන් උන්ගේ ගෙදර.අපි මේ ගල් කැටේත් අරගෙන මැණික් ගැන බොහොම හොද දැනුමක් තියෙන උන්ගේ මාමා හම්බුවෙන්න ගියා.උන්දෑ මේක දැක්කා විතරයි ඇස් දෙක උඩ ඉන්දෝගෙන නළලේ අත තියාගෙන කියපිනම් "දෙය්යෝ සාක්කි" කියලා.ඔන්න මෑන් ගෙන් දැනගත්ත විදිහට මේක ඉතාමත් දුර්ලභ මැණිකක්.හැබැයි ගල් කැටේ දිගටම පළුද්දක් තියෙනවා කිව්වා.මිනිහා අපිට දුන්නු උපදේසේ තමයි ඉක්මනට මේක කාටහරි විකුනන්න කියලා.ඒකෙත් නැත්තක් නැත්තෙත් නෑ.මොකෝ මහජන සම්පත වගේ පිටිපස්සේ ID නොම්මරෙයි නමයි ලියන්නය කියලයි.
අපි විගහට රත්නපුරේ ගිහින් තැන් දෙක තුනකටම ගියා.එක එක වුන් එක එක ගණන් කිව්වා.මටත් දැන් මේක දරාගෙන ඉන්න බෑ.මේවගේ දේකට මොකෝ කලින් මුණ දීලත් නෑනේ.කොහොමහරි ගල්කෑල්ල ලොකුවට තිබ්බට පළුද්ද නිසා සෑහෙන්න ගාන අඩුවුනා.කොහොමහරි ලස්ස 55 කට වැඩේ තීන්දුවුනා.මෙන්න මං ඔබට දෙන ඊලග උපදේසේ මේක නම් කිව්වේ යාළුවගේ මාමා.....
මේ වගේ ගනුදෙනුවක් කරද්දී පුළුවන්තරම් ඉක්මනට ඉවරකොරන්න ඕනා.ඒ වගේම අත්පිට මුදලට වැඩේ කෙරෙන්නත් ඕනා.
වැඩේ ඇත්ත.මොකෝ අපි දන්නවය ඕවා පස්සේ පස්සේ මොන මොන දේකට හැරේවිද කියලා.සල්ලි ටිකත් අරගෙන බැංකුවට ගිහිල්ලා ඉක්මනට පොතේ දැම්මා.මැනේජර් මහත්තයට විතරක් වැඩේ කිව්වා.නැත්නම් බලනවනේ එකපාර මේ වගේ මුදලක් අතට ආවේ කොහොමද කියලා.ඊට පස්සේ කල්පනා කොරන්න ගත්තා මොකද මේ සල්ලිවලින් කරන්නේ කියලා.ගේ හදනවද???? ඉඩම් ටිකක් ගන්නවද???? බස් එකක් අරගෙන පාරට දානවද????සල්ලි අතට ආවම ඔන්න ඔය වගේ ඔලුව විකාරවෙනවා.කොහොමවුනත් කිරලා මැනලා අන්තිමේදී මං මේ තීරනෙට ආවා.මෙන්න මං ඔබට දෙන ඊලග උපදේසේ....
මේ වගේ මුදලක් එකපාර අතට ආවොත් හිතෙන හිතෙන දේ කරන්න යන්නෙපා.හොදට හිතලා බලලා වැඩේට බහින්න.
ලස්ස 55 ක්ම තියෙන එකේ මුලින් කාර් එකක් ගන්නවා.මං කොහොමත් ඉතින් ගෙවල්දොරවල් වලට වඩා ඔය වාහනවලට මනාපයි නොවැ.ඔය කාර් සේල් ඉස්සරහින් යනකොට මගේ ඇහැ ඇදිලා ගියපු කාර් එකක් තියෙනවා.මේ තියෙන්නේ.....
රතුපාට Honda fit hybrid කාර් එක.එතකොට දැන් තියෙන එක.අළුත් එක ගත්තට පස්සේ දැන් තියෙන එක විකුනනවා.හදිසියේ විකුනන්න ගියොත් හරි මිලක් ගන්නත් බැරිවෙනවා.අනිත් එක ලොරිය ගන්න මුරුංගා ගහ කපපු එකාගේ කතාවත් අපි දන්නවා නොවැ.කාර් සේල් කිහිපෙකටම ගියත් ඒවායේ තිබ්බේ කලුපාට ඒවා විතරයි.මෙන්න එක තැනක තිබුනා රතුපාට එකක්.ඔන්න එතනම එහාපැත්තෙ තියෙනවා මේ වර්ගෙම කොලපාට එකකුත්.....
රතුපාට එකක් ගන්න ආවත් මේක දැක්කම මගේ හිත මේකට ඇදිලා ගියා.පේන්නැද්ද දිලිහි දිලිහි තියෙනහැටි....ඒ එක්කම මගේ ඔලුවට ආවේ ප්‍රසිද්ද නළුවෙක් වුනු jonny depp ගේ උපදේසයක්......
ඔබ එකවර දෙකකට ආසා කරයිනම් දෙවැනි එක තෝරාගන්න...මන්ද ඔබ පලවෙනි එකට නියම විදිහටම ආසානම් දෙවැනි එකක් ගැන ආසා වෙන්නේ නැත....
ඇත්තනේ කතාව....මං කොලපාට එක ගන්න තීරණේ කළා.ඔන්න එතකොට මට තව පිනා චෑන්ස් එකක් වැදුනා.මට මතක නැතිවුනාට මේ කාර් සේල් එක අයිති මහත්තයා අපේ ඔෆිස් එකට ආපුවෙලාවෙ මම උදව්වක් කරලා තියෙනවා.ඉතින් ඒකෙන් මිනිහට ගොඩක් වාසිවෙලත් තියෙනවා.ඉතින් ඒක නිසා මිනිහා එයාගේ ලාබෙනුත් සෑහෙන ප්‍රමාණයක් අඩුකරලා ගාන කිව්වා.මෙන්න මං ඔබට දෙන ඊලග උපදේසේ.....
ඔබට කවදාහෝ කිසියම් අයෙකුට උදව්වක් කරන්න ලැබුනොත් එය මගනොහරින්න.මන්ද කවදාහෝ දවසක එය ඔබට වෙස්වලාගත් ආශිර්වාදයක් වෙනු ඇත......
සල්ලි තිබුනටම බෑ.සෑහෙන ලියකියවිලි ටිකකුත් සම්පුර්ණ කරන්න තියෙනවා.ඒවටනම් ඒ කාර් සේල් එකේ ලස්සන ගෑනු ළමයෙකුත් ඉන්නවා.මේ දැරිවි ඉතින් මගේ ලගටම වෙලා කොලටික පුරෝලා දුන්නා.සීදේවි කෙල්ල...ආ.....ඒවා පස්සේ......ඉස්සෙල්ලා ගනුදෙනුව......
කොහොමහරි සල්ලි ටික පියෙව්වට පස්සේ කාර්සේල් එකේ මල්ලි කෙනෙක් කාරෙක ගැන නට් එකේ ඉදලා බෝල්ට් එක දක්වාම කියලා දුන්නා.හම්මේ ඒවා ඇහුවම මේක පදින්නත් බයයි වගේ.ඒත් ඉතින් පපුව ගැහි ගැහිම කාර් එකට නැග්ගා.හප්පේ තියෙන සනීපෙ.යතුර දාලා නමෝ විත්තියෙන් ඉස්ටාට් කොරන්න යතුර කරකැව්වා.......
ට්‍රීන්......ට්‍රීන්......ට්‍රීන්.......ට්‍රීන්..........
මෙන්න මං ඔබට දෙන වැදගත්ම උපදේසේ
ඔබට මෙවැනි සුබ සිහින අතරමග කඩනොවී බලන්නට අවශ්‍යනම් කරුණාකර නින්දට යන්නටපෙර ඔබේ එලාම් ඔරලෝසුව නිවා දමන්න..........
ටටා......



