Tuesday, November 4, 2014

කරවිලේ කතාව - Going Solo 11


කෝමද  ඉතින්? දැන්නම් අපිව මතකත් නැතිව ඇති නේද ගොඩක් අයට..
යාළු මිත්ත්රයෝන්ගේ කොතෙක් අවවාද අනුසාසනා තිබ්බත් සමහර අයට හැදෙන්න නම කෙලවෙන්නම ඕනලුනේ..ආන්න ඒ වගේ..මාත් කොච්චර අය කිව්වත් ලියන්නේ නැතිව අතැරදාල තිබ්බ බ්ලොගේ මතක්වුනේ කකුලේ වළලුකරට පොඩි අතුරු ආන්තරාවක් වෙලා ඇඳට වැටුනම තමා ඕන්න.වයිද්ද උපදේසේ සතියක් ඇඳට වෙලා හිටු කියලා.ඒ කිව්වට බොලන් එහෙම කොහොමෙයි ඇඳට වෙලා සතියක් ගතකොරන්නේ.ඒක නිසා ආයෙත් එන්න හිතුනා බ්ලොගේ දූලි ගසා බසා දාලා දැකුළු මල් කඩාදාලා සුද්ද පවිත්තර කොරල දාන්න.ඒකත් ඉතින් නිකම්ම නෙවෙයි මගේ යුගයේ ජනප්‍රියතම ආදරණීය....[හුටා වැරදුනා ] මෙගා ටෙලිය [ආයිත් වැරදුනා]...තීරු ලිපිය Going Solo නැවත පටන්ගැනීමත් එක්ක....

අද  අපේ කතාව"කරවිල" ගැන...කරවිල කිව්වම ඔයාලට මතක්වෙන්නේ මොකක්ද?[ඇහුවා නේද ගොන් ප්‍රශ්නයක්,කරවිල කිව්වම මතක්වෙන්නේ යකෝ කරවිල මිසක් පතෝලද?]ඒක තමා ඔබ හරි කරවිල කිව්වම මතක්වෙන්නේ කරවිල තමා...ඔය උඩ පින්තුරේ තියෙන්නේ ...අන්න ඒවා තමා...සමහර අයටනම් කරවිල කිව්වම මතක්වෙන්නේ තිත්තනේ...සමහර අයටනම් තමන්ගේ බ්ලඩ් සුගර් ලෙවල් එකත් මතක්වෙන්න පුළුවන්.කොහොමවුනත් කරවිල කියන්නේ ගොඩක් අයට තිත්ත දෙයක් වුනත් මටනම් අදටත් කරවිල කියන්නේ බොහොම රසවත් දෙයක්...

කරවිල කියන්නේ තිත්ත ඒත් ගොඩක් ගුණ කෑමක් තමා.ඔය කරවිල වලත් තව තව අයියලා මල්ලිලා ඉන්නවනේ.ඒ වගේ එක්කෙනෙක් තමා ඔය "තුඹ කරවිල" කියන්නේ.ඔය තුඹ කරවිල මේ හේන්වල පාත්ති දාලා වගාකොරන ජාතියක් හෙම නෙවෙයි.අවුරුද්දේ එක්තරා කාලෙකට කැලේම ඉබේට හැදෙන ජාතියක් තමා ඔය තුඹ කරවිල.අපි ඒකාලේ විසුව බුත්තලට යන පාරෙත් දැන් ඔය යකඩ කුරුල්ලෝ හෙම නවත්තන මත්තල පැත්තේ ඉඳලා ඌව කුඩා ඔය හරියට යනකල් පාර දෙපැත්තේ තුඹ කරවිල එකතුකරන අය ඒ කාලෙට බොහොම සුලබ දර්සනයක්.මාත් ඉතින් බොහොම මනාපයි ඔය තුඹ කරවිල කිරට උයල හෙම කන්න.

ඔය  මං රැකියාවේ උසස්වීම ලැබිලා ගිය පළාතෙත් තිබ්බ නෙව තවත් කරවිලක්.කරවිල කිව්වට මේක ඔය එලොළුවක් හෙම නෙවේ.කරවිල කියන්නේ ඔය ඒ පැත්තේ තිබ්බ ගමක් නෙව.බඩල්කුඹුරේ ඉඳලා මැදගම යන පාරේ හමුවෙන්නේ.මං කලිනුත් කිව්වනේ අපි ඒ කාලේ ඔය සේවින්ග්ස් ප්‍රමොෂන් කැම්පේන් එහෙම කරනවා නෙව...ඉතින් ඕන්න ඔයි වගේ ඉරිදා දවසක අපිටත් යන්න තිබුනා කොහෙහරි ගමක් දෙකක් තෝරාගෙන යන්න.ඉතින් මේ කාලේ අපිත් එක්ක වැඩකලා ඔය කැම්පස් යනකල් තාවකාලිකව සේවෙට බන්දොගත්ත නංගි බබෙක්.මේ නංගි බබාලාගේ ගෙදර තිබ්බේ ඔය කිව්ව කරවිල ගමේ තමා.අපි කරවිල කිව්වට ඒ පැත්තේ උදවිය ඔය ගමට කියන්නේ "කරවිලේ" කියලයි.ඉතින් දවල්ට කන්න එහෙම ඒ නංගි බබාලාගේ ගෙදර ලැහැස්ති කොරනවා කිව්වා නිසා අපිත් උදහනැක්කෙන්ම ගියා කියමුකෝ ගමට.අපි කියන්නේ මමයි මාත් එක්ක වැඩකොරපු අනිත් අයියයි තව අපේ සිකුරිටි මහත්තයයි අනිත් කැම්පස් මලයයි තමා ඉතින්.

ඉතින් ඔය ගමට කරවිලේ කියල නම හැදිච්ච විදිහත් රසවත් කතාවක් ලු නෙව.ඔය ගමේ තියෙනවා නිල් කැටේට ගලන දොළ පාරක්.දොළ පාරක් කිව්වට මේකේ විසේසත්වේ තමා පොළවෙන් එකපාරටම පැන නගින දිය බුබුලකින් පටන් ගැනීම.මං හිතන්නේ භූගත ගංගාවක් පොලොව උඩට පැමිණෙන වෙලාවක් තමා ඒක.නැත්නම් කොහොමටවත් එච්චර ලොකු වතුර උල්පතක් එකම තැනකින් එන්න විදිහක් නෑ.මේකේ වතුර නෑවහම ලෙඩ රෝග හොදවෙනවා කියලත් මතයක් ඒ පැත්තේ උදවිය අතරේ තියෙනවා.ඉතින් මෙන්න මේ දියපාරෙන් මතුවෙච්ච "රත්තරන්" කරවිල ගෙඩියක් නිසාලු ගමට කරවිලේ කියල නම වැටුනේ.හැබැයි ඉතින් ඕන්න අපිනම් නෙවේ ඒකවත් ඒක හම්බුනේ කාටද කියලවත් හොයන්න ගියේ.අපිට මුටද අනුන්ගේ වග නේද?

ගම  කරවිල උනාට ගමේ ඇවිදින්න ගිය අපිටනං වැඩේ තිත්ත වුනේ නෑ...යන යන ගෙදරින් තැඹිලි ,හැලප ,බෙලිමල්,තේ,කෝපි වගේ දෙයක් වැරදුනෙම නැහැ.කොහොමත් දවල් වෙනකොට අපිට රුපියල් 10000 කට වැඩිය deposit හොයාගන්න බැරිවුනාට හොඳට බඩ පැලෙන්න කාල බීලනම් තිබ්බා.දහම්පාසල් ගිහිල්ල එන අච්චෝ බච්චෝ අපේ handbill , leaflet එහෙම බොහොම ආසාවෙන් අරන් ගියා.උන් ඒවායේ තියෙන පින්තුර දිහා බැලුවේ ටවුමේ ළමයෙක් සෙල්ලම් බඩුවක් දිහා බලන තරම් ආසාවකින්.සමහර අය ඒවා දහම්පාසල් පොත ඇතුලේ දාගත්තේ ගෙදර ගෙනිහින් රූප කපන්න වෙන්නැති.කොහොමවුනත් හවස්වෙනකොට ගමේ ගොඩක් ගෙවල් වලට යන්න අපිට පුළුවන් වුනා.ඒත් ඉතින් වැඩිය deposit නම් ලැබුනේ නැහැ.ඒත් ගියපු හැම ගෙදරකින්ම ආගන්තුක සත්කාර වගේම අපි කියපුවට හොදින් ඇහුම්කම් දීමත් වුනා.කොහොමවුනත් හවස්වෙනකොට හිත සතුටින් වගේම එක අතකට දුකකුත් දරාගෙන අපි ගමෙන් පිටවුනා.

කොහොමවුනත් අපි ඒ ගියපු ගමනේ ප්‍රතිපල අපිට ලැබුනේ සති දෙක තුනක් ගියාට පස්සේ.ගමේ හැම කෙනෙක්ම වගේ පොලේ ආපු දවසට තමන්ට පුලුපුලුවන් හැටියට කීයක්‌ ඉතුරුකරන්නත් වෙන බැංකුවල දාල තිබ්බ සල්ලිත් අරන් ඇවිත් අපේ බැංකුවේ දාන්නත් පටන් ගත්තා.ඒ අයගෙන් විස්තර අහපු වෙනත් ගම්වල උදවියත් ඊට පස්සේ අපේ බැංකුවට වැඩි වැඩියෙන් එන්න ගත්තා.එක තරුණ ජෝඩුවක්‌ හැමදාම පොලේ ඇවිත් කෙසෙල් කැන්,කිරි අල විකුනලා යන ගමන් පොඩි එකාගේ බැංකු පොතට හැමදාම රුපියල් 10,20 ක් දාන්නත් පුරුදුවෙලා හිටියා.ඒ අය හැමදාම පොඩි එකාගේ පොතට තෑගී තියෙනවද අහල යන්නේ.මූනත් ටිකක් නරක්කරගෙන.බැංකුවෙන් තෑගි දෙන්නේ ටිකක් මුදලක් එකතුවුනාමනේ.ඒත් ඒ අයට ඒ වගේ මුදලක් එකතුකරගන්න සෑහෙන කාලයක් යනවග මට තේරුනා.ඉතින් මං කලේ මගේ ගානේ පොත් බෑග් එකකුයි පැන්සල් පෙට්ටියයි වතුර බෝතලයයි පොත් පෑන් එහෙම ටිකක් ගෙනල්ලා දවසක් බැංකුවෙන් දෙන විදිහට දුන්නා.මොකද මං එහෙම කලේ ඒ අය කොච්චර දුප්පත්වුනත් "පිනට" දෙන දෙයක් නොගන්නා බව මට තේරුම් ගියනිසා.එදා ඒ අයගේ මූනේ තිබ්බ සතුට දැක්කම මට ඇතිවෙච්ච සතුට කොච්චර මුදලක් ගෙවලාවත් ලබාගන්න බැරි තරම් සතුටක්.

තව දවසක එක සීයාකෙනෙක් ඊට අවුරුදු 10 කට කලින් විකුනපු ඉඩමක සල්ලි ලක්ෂ දෙකක් බැංකු පොතේ දාන්න ආවා.එතකල් ඒ සීයා ඒ සල්ලි ගෙදර ලිප්බොක්කේ මුට්ටියක දාලා වලදාලා තිබිල තියෙන්නේ.හැම සල්ලි කොලේම කාවෝ තැනින් තැන විදලා.ඒත් ඒවාට අයිති නියම වටිනාකම ලබාදෙන්න අපිට පුළුවන් වුනා.අන්න ඒ වගේ මට කියන්න ඕන වුනේ අපේ රටේ බැංකු කොච්චර තිබ්බත් තාමත් බැංකුවක් එක්ක ගනුදෙනු නොකරන විශාල පිරිසක් අපේ රටේ ඉන්නවා කියනෙකයි.ඒක රටක විදිහට අපි දුක්වෙන්න ඕන කාරණයක්.අපි AC දාගෙන බැංකු ඇතුලට වෙලා ඉන්නවා කියන්නේ ගමේ ජනතාව තවදුරටත් බැංකුවලින් ඈත්වෙනවා කියනෙකයි.

අපි ඒ කාලේ වැඩකලේ ග්‍රාමීය ප්‍රදේශේක නිසා මිනිස්සුත් බැංකුවත් අතර තිබ්බ දුරස්ථ භාවය අඩුකරන්න අපි සෑහෙන පියවර ගත්තා.ගමේ අයගේ සාක්ෂරතාවය ටිකක් අඩු නිසා ඒ අයගේ තැන්පතුපත්,මුදල් ආපසු ගැනීමේ කොළ පුරවල දෙන්න අපි වෙනම කෙනෙක් යෙදෙව්වා.AC නිවල දාල ඉස්සරහ දොර ඇරලා තිව්වා.මොකද අපිට තේරුනා වහල තියෙන දොරක් ඇරගෙන එන්නට වඩා ඇරලා තියෙන දොරකින් ඇතුලට එන්න මිනිස්සු කැමති විත්තිය.ඒ වගේම හැකි සෑම වෙලාවකම මාරු සල්ලි වලින් සල්ලි ගෙවන්නත් අපි පුරුදුවුනා.ඒක නිසා ඒ වෙනකොට ඒ ටවුමේ තිබිච්ච ප්‍රධාන බැංකු ශාඛාවලට වැඩිය අපේ සේවා මධ්‍යස්තානෙට එන්න මිනිස්සු පුරුදු වුනා.මමත් හැකි සෑම වෙලාවටම එලියට බැහැලා පොලට,කඩපිල්වල, ත්‍රිරෝද රථ නැවතුම්පලවල්වල ඉන්න අයත් එක්ක කතාබහකලා.ඒ අයගේ අදහස් වලට කන් දුන්නා.එහෙම ආපු අදහස් ක්‍රියාවට නැංවුවා.දැන් ගොඩක් අය market research කියල එක එක කොම්පැනිවලට සල්ලි ගෙවල කරන දේවල් අපි බොහොම ලෙහෙසියෙන් පහසුවෙන් කළා.ඒවායේ ප්‍රතිපල ගත්තා.

කොහොමවුනත් අපි ඒ කරපු ඒ දේවල්වල ප්‍රතිපල අනුව ඉතාමත් කෙටිකලකින් අපිට අපේ සේවා මධ්‍යස්ථානය online banking ක්‍රමයට පරිවර්තනය කරගන්න මෙන්ම තවත් ඉතා කෙටිකලකින් ප්‍රධාන ශාඛාවක් බවට පත්කරගන්නත් හැකිවුනා.ඔන්න ඕකයි මං අද කියන්න ආව කරවිලේ "රසවත් කතාව"....

එහෙනං ඊළඟ කොටසින් හමුවෙමු.... ටටා...

18 comments:

  1. හොඳ වැඩේ උඹේ කකුල කැඩුන එක. මම කිව්වේ බ්ලොගේ මතක් වුණ නිසා. ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනවද ? නැද්ද කියලා හිතන්න වෙනවා. මේ ග්‍රාමීය මිනිසුන්ගේ තියෙන නිර්ව්‍යාජ කම දවස් කිහිපයකට හරි අත් විඳින්න ලැබුන නිසා තේරෙනවා. පත්තර, ටී,වී. ෆේස්බුක් වලින් නොදකින ලෝකයක් තවමත් තියෙනවා කියලා. නගරයත් ගමත් අතර මම දැක්ක ලොකුම වෙනස තමයි. නගරේදී අපි ගනුදෙනු කරුට සර්/මැඩම් කියනවා. නමුත් ගමේදී අපිට ගනුදෙනු කරුවා බොහොම යටහත් පහත්ව සර් කියනවා.

    ReplyDelete
    Replies
    1. ෆේස් බුක් ඇබ්බැහි වුනාම වෙන දේවල්නේ අනේ...

      Delete
  2. කෝ බං ඉති අර කරවිලේ පැණි රස නංගි ගැන ඉතිරි විස්තරේ.. එදා දවල් එයාලගේ ගෙදරින් බත් කද්දි අනේ හසරැල් අයියා කන්ට කන්ට කියලා බලෙන් බත් බෙදපුවා හෙම..? :D

    ReplyDelete
    Replies
    1. .. එදා දවල් එයාලගේ ගෙදරින් බත් කද්දි අනේ හසරැල් අයියා කන්ට කන්ට කියලා බලෙන් බත් බෙදපුවා හෙම////
      මාරෙටත් ඒ පැත්තෙ අත්දැකීම් තියනව වගේ...

      Delete
    2. //මටනම් අදටත් කරවිල කියන්නේ බොහොම රසවත් දෙයක්...//

      එදා කෑමට කරවිල කිරට, කරවිල මිරිසට, කරවිල ඩෙවල්, කරවිල සම්බෝල, කරවිල පුරවා බැදුම වගේ කරවිල වලින් හදන්න පුලුවං හැම එකම හදල තිබුණ(ලු). එදා ඉඳල තමයි(ලු) මෙයාට කරවිල ගැන ඔච්චර ආසාවක් ඇති උනේ.

      Delete
    3. මං මේ කල්පනා කොලේ මාරයත් එදා අපිත් එක්ක ගියාද කියලා...

      Delete
  3. මේක කරවිල ගැන කතාවක්ද නැත්තං බැංකු ප්‍රමෝට් කිරීමක්ද? :D
    මොනව උනත් කකුළ කැඩිල හර බ්ලොග් එක මතක් වෙච්ච එක ලොකු දෙයක්.

    තරුණ කට්ටියට වැඩිය ඔය වයසක මිනිස්සු ඒසී දාල දොරවල් වහගෙන ඉන්න ඒවට වැඩිය පරන කැඩෑල්ලිච්ච ගොඩනැගිලි වල තියෙන ආයතන එක්ක ගණුදෙනු කරන්න මනාපයි කියන කතාවනං ඇත්ත.

    ReplyDelete
    Replies
    1. බැංකුව ප්‍රමෝට් කරන්නේ අයියේ බ්ලොග් එකෙන් නෙවිනේ... :D

      Delete
  4. කොයිබ යන්නෙ මල්ලෙ පොල්...
    මං හුතුව කියන්න ගියෙ කරවිල කියල කෝම කෝම හරි හොද කතා ටික්කුත් අහගත්ත නෙව.
    හිහි

    ReplyDelete
    Replies
    1. මේ කතා සීරීස් එකේ හැටි එහෙම තමා...කියන්න එන්නේ එකක්..කියන්නේ තවත් එකක්...

      Delete
  5. උඹෙන් පස්සේ ආපු අයත් ඔහොම කරාද? 😱😨

    ReplyDelete
    Replies
    1. ඔන්න ඉතින් උඹ අහන ඒවා... හි..හි...

      Delete
  6. අනිත් කකුලත් කැඩිය...!!! :p

    ReplyDelete
  7. උඹ කරපු අර ලස්සන වැඩේ ගුණ සුවඳ හැමදාම උඹට දැනේවි. එහෙම දෙයක් කරන්න හිතෙන්නේ කීයෙන් කී දෙනෙකුටද.

    ReplyDelete
  8. අපේ ආතත් හෙන කරවිල මරුව

    ReplyDelete
  9. කාලෙකින් දකින්න ලැබීම සතුටක්..දැන් බොලාගෙ බොග එළවළු කොරටුවක් වගේ...මම කරවිල බැදලා තමයි ඉස්සර ඉදලම මනාප...මැලේසියාවෙ ගොයියො විශේෂ මිශ්‍රණයක දවටලා කරවිල බදිනවා පුදුම රසයි...තිත්ත දැනෙන්නෙ හරිම අඩුවෙන්...ඒ නිසා කරවිල මෙහෙදි නිතරම කැවෙනවා...ඊට අමතරව ගම්බදව තියෙන එළවළු විකුණන තැන් වලදි ඉදලා හිටලා තුඹ කරවිල දකිනවා....

    බැංකුව ජනතාව ලගට යන්න ඕනෙ...ඒක ඇත්ත...අපේ ගොඩාක් ජනතාව බැංකුවකින් තමන්ගෙ කාර්යය සහයෝගයක් නැතිව කරගන්න තරමට දියුණු නෑ...

    ReplyDelete
  10. මේ බ්ලොගය පැත්තට අාවේ අදමයි මයේ හිතේ..... අලුතෙන් බ්ලොග් ටිකක් හොයාගෙන යන ගමන් හමුවුනේ...... බ්ලොගය නියමයි............ දිගට ම ලියුවානම් තවත් නියමයි.............

    ReplyDelete

මොකෝ කියන්නේ ,ආපු එකේ මොනවහරි කියලම යමුනේද ?

linkwithin

Related Posts Plugin for WordPress, Blogger...