කොහෙන් පටන් ගන්නදැයි හිතාගන්නට බැහැ.ඒ තරම් දේවල් ඔළුවට එනවා.අපේ ලමාකාලයේ සුන්දර ,අසුන්දර,භයානක,දුක හිතෙන,සතුට දැනෙන ගොඩක් දේවල් මතකෙට එනවා.කෝකටත් එහෙනම් පටන්ගමුකෝ......
මේ රටේ 417 හන්දි තියෙන්නේ එකකි.ඒ වෙන කොහෙවත් නොව අපේ ගමේ අපේම ගෙදර ලග හන්දියයි.හැබැයි මේක බලන කෙනෙක් අපේ ගමට ඇවිත් 417 හන්දිය කොහේදැයි ඇහුවොත් උත්තර දෙන කෙනා අනුව උත්තර දෙකක් ලැබෙන්නට පුළුවන.ගමේ සාමාන්‍ය කෙනෙක්ගෙන් ඇහුවොත් "එහෙම හන්දියක් ගැන ඇහුවෙත් අදයි"යනුවෙන් පිළිතුර ලැබෙනු ඇත.ඒත් අපේ සෙට් එකේ කොල්ලෙක්ගෙන් ඇහුවොත් ටක්කෙටම "මෙන්න 417 හන්දියයයි" උත්තරේ ලැබෙනු ඇත.ඉතින් අපේ ගමේ නමක් නැති හන්දිය "417 හන්දිය" වුනේ ගමේ බස් එක නිසාය.417 කියන්නේ ගමේ බස් එකේ මාර්ග අංකයයි.
කොහොමවුනත් ඉස්සෙල්ලාම 417 හන්දිය හැදුනු හැටි බලමුකෝ.අපේ ගම මාතර නගරයට ආසන්නව පිහිටි නමුත් කුඩා ඉතා ලස්සන ගමකි.[ දැන්නම් ඒ කාලේ ගමේ තිබු ලස්සන අඩුවී ඇත්දෝයි මට විටෙක සිතේ ...]ඒ කාලයේ බොහෝ දෙනා වී ගොවිතැනේනුත් තවත් ටික දෙනෙක් ගඩොල් කර්මාන්තයෙන්ද ජීවිකාව සරිකරගත්හ.අපේ ගම ගොඩක් පැරණි ගමක් නමුත් මං අද කියන්න යන්නේ මං දන්නා කාලයේ තොරතුරු ටිකකි.
මං ඉපදුනු 80 දශකයේ අපේ ගම සෑහෙන වෙනසකට ලක්වුණි.ඒ නිල්වලා ව්‍යාපාරය නිසාය.මට මතක නැතත් නිල්වලා ව්‍යාපාරය නිසා අපේ ගමට වුනු හොද සහ නරක දෙකම ගැන අපේ තාත්තලා කතාකරනවා මට ඇසී තිබේ.ඉස්සර ගග උඩහට ඩිංගක් හරි වැස්සොත් අපේ ගමේ උන් රෙදි කරට අරගෙන දුවන්නට ලැස්ති වෙන්නට ඕනෑය.ඒ කාලයේ වැස්සොත් අනිවාර්යෙන්ම ගංවතුරකි.කුඹුරු කෙරිල්ල සිහිනයක් විතරය.මේක අපේ ගමේ විතරක් නොව අහල පහල ගම් සියල්ලේම කතාවයි.
මේ ගංවතුර විපත්තිය නිසාම නිල්වලා ගංවතුර වැලැක්වීමේ ව්‍යාපාරය ආණ්ඩුව විසින් කිරියාවට නංවන ලදී.අපේ රටේ මිනිස්සුන්ගේ ,ඉංජිනේරුවන්ගේ දැනුම සත පහකට ගණන් නොගත් ආණ්ඩුව project එක ජර්මනියේ "බෙක්" සමාගමට පවරන ලදී.සුද්දෝ ඇවිත් වැඩ පටන් ගත්තේය.යාන්තමට යන්නට හැකිව තිබු පාරවල් පළල් වුනේය.වැඩබිම්වලට පස් ගේන්නටම සුද්දෝ කුඹුරු ගොඩකර පාරවල් තැනුවෝය.අදටත් ඒ පාරවල් එසේම තිබේ.අපේ ගමේ කුඹුරු තියෙන්නේ ගගට වඩා පහලින්ය.ඒ විතරක් නොව මුහුදු මට්ටමටත් වඩා අඩි 5 ක් විතර පහලින්ය.
මේ නිසා ගංවතුර ගැලුවාට කුඹුරුවල තියෙන වතුර ආයෙත් ගගට බහින්නේ නැත.එහෙම්මම රැදිලා තිබෙන්නේය.මේකට සුද්දන් යෙදු උපායනම් ඇලවල් හාරා ඒ ඇලවල් හරහා කුඹුරුවල ඇති වතුර විශාල පොම්ප මගින් ඇද ආයෙත් ගගට දැමීමයි.එමෙන්ම ගංවතුර වැලැක්වීමට මහා විශාල වේලි බැදීමයි.ඒ අනුව අපේ ගමටත් පොම්පාගාරයක් සහ වේල්ලක් ලැබුණි.වේල්ලේ නම BR 7 ය.සුද්දන්ට මුලින්ම වැඩ වැරදුනේ ඇලවල් කපන්නට ගොසින්ය.ඇලවල් කැපු පසු හැන්දෑ කොරේට යස අගේට ගග දිගේ ඉහලට ආ කරිජ්ජ [කරදිය] කුඹුරුවලට වැදුනේය.කුබුරුවල වී වෙනුවට ටිකියා පඳුරු පිටින් වැවෙන්නට ගත්තේය.කිරල කැලේ වතුර බස්සන්නට කපපු ඇලවල් දිගේ ආ කිබුල් තඩියෝ ටික ගඟට බැහැගත්තේය.ඉන්පස්සේ මිනිහෙකුට ගගෙන් නෑම තියා ගග ලගින් යෑමත් මරුවාට අත වැනීමක් වුනේය.
ඇත්තම කියනවනම් මට මේ කාලය එතරම් මතක නැත.මට මතක එකම දේනම් ඔන්න මේ පල්ලෙහා තියෙන පින්තුරේ ජාතියේ ට්‍රක්රථය.
මේකට අපේ ගමේ මිනිස්සු කීවේ ඌරු හොම්බ කියලාය.මේ වාහනේ විශේෂත්වය පිටිපස ඇති ටේලරය වැරදිලාවත් පෙරලුනත් ඩ්‍රයිවර් ඉන්න කෑල්ල පෙල්ලෙන්නේ නැති එකය.කොහොමවුනත් මේ යකඩ යක්කු අපේ ගම අනිත් පැත්ත පෙරලුවේය.ගමේ හදපු වේල්ලේ එක කොනක් හැදුවේ අපේ ඉඩමට අල්ලලාය.ඒ වෙනකොටත් ගග පැත්තට යන්නට තිබුනු පාර මේ නිසා බන්ට් එක උඩින්යන්නට සිදුවිය.සාමාන්‍ය බස් පාර බන්ට් එකට මෙපිටින් දිවෙන්නට විය.ඒ නිසා අපේ ගෙදර ගාව නිකම්ම හන්දියක් හැදුනේය.ඒ 417 හන්දියේ උප්පත්ති කතන්දරයයි.
417 හන්දිය ඇතිවී වැඩිකලක් ගියේ නැත.දකුණ වෙලාගත් භීෂණය අපේ ගමටත් එබිකං කළේය.අපේ මිනිස්සු 88-89 භීෂනෙට මුහුණ දුන්න හැටි ඊලග පොස්ටුවෙන්.......
ප.ලි.- මේකත් හැලපය්යාගේ මොනාලිසා සීරිස් එක වගේ වෙවිද මන්දා.කියන්න එන්නේ එකක්.ඒත් අන්තිමට මං කියලා තියෙන්නේ වෙන එකක්.
.jpg)

.jpg)