Thursday, October 31, 2013

රයිස් කුකර් එක සහ කුකරි කතා - Going solo 3


රස්සාවේ පලවෙනි දවස ගැන කස්ටියම කියවන්න ඇතිනේ.ඔන්න ඔහොම ඉතින් ටික දවසක් යද්දී අපිත් ඉතින් අනිත් අය වගේ සුපුරුදු පීල්ලටම වැටුනා.උදේට නැගිටිනවා, කනවා, වැඩට යනවා, දවල්ට කනවා, ආයේ ආපහු එනවා, ඇගපත හෝද ගන්නවා, රෑට කනවා, නිදාගන්නවා.ඔතනින් ඉතින් ටිකක් විතර හැමදාම වෙනස් වෙන්නේ ඉතින් කෑම වේල තමයි.උයන වැඩේ එච්චර සාර්ථකව ක්‍රියාත්මක වුනේ නෑ.විශේෂයෙන්ම උදේට උයන්න ඉන්න කෙනා මරනවා වගේ තමයි නැගිටින්නේ.ඉතින් ගොඩක් දවසට උදේටයි දවල්ටයි කෑම කඩෙන්.රෑටත් ඉතින් එහෙමත් දවසක තමයි හරියට කෑමක් කන්න ලැබුනේ.අපේ චමරිය තිබුනේ ටවුමෙන් කිලෝමීටරයක් විතර ඈත.ඉතින් බඩිගිනි වුනා කියලා හදිසියට කෑම කඩේකට දුවන්නත් බැහැ.

මේ කෑම කෙරුවාවෙන් වැඩියෙන්ම බැටකෑවේ එවකට බැංකුවේ නිර්ධන පන්තියේ සේවය කල අපි [පඩිය රුපියල් 9200 යි].කඩෙන් කාලානම් මේ පඩියෙන් ඔක්කොම කරගන්න බැරි බව මටයි මගේ යාලුවටයි තේරුනා.ඉතින් අපි දෙන්නා තීරනේ කලා චමරියේ කෑම ප්‍රතිපත්තිය නව මගකට ගෙනියන්න.ඒ කොහොම වුනත් චමරියේත් පීඩිත පන්තිය වුනු අපි දෙන්නට තමා ඒ වෙනකොට ගොඩක් දවස්වල උදේට උයන්න වෙලා තිබුනේ.ඒත් අපේ ඉවීමේ හැකියාවන් තේරුම් ගත්තු අනෙක් උදවිය ටික දවසකට පස්සේ අපි උයන කෑම කන එක ඇතාරියා.ඒත් අපි නෙවෙයි සැලුනේ...මං කිව්වනේ ඕන කට්ටක් කාගෙන ඉන්නවා කියලා තමයි මං හිතාගෙන ආවේ කියලා.මං වගේම තමයි මගේ යාළුවත් ඒ විදිහෙම පොරක්.

චමරියේ අනිත් අයට අපි වගේ නෙවෙයි.නිවාඩු එහෙම තියෙන නිසා සිකුරාදාට එහෙම නිවාඩු දාලා ගෙදර යනවා.අපිට ඒ වෙනකොට නිවාඩු තිබුනේ මාස දෙකකට එක දවසක් වෙන්න.චමරියේ ඒ වෙනකොට උයන්න තිබුනේ ගෑස් ලිපකුයි ඇලුමිනියම් හට්ටි වළං ටිකකුයි විතරයි.කොච්චර කෑම හැදුවත් බත හදාගන්න එක අපිට සෑහෙන්න අමාරු වුනා.එක්කෝ බත අමුයි,නැත්නම් ඇට්ටකුනා වෙලා නැතිනම් ටීවී එක බලන අතරේ බත රොස් වෙලා.ඔන්න ඔය වගේ දේවල් නිසා අපි මුලින්ම තීරණ කලා කුස්සියේ යටිතල පහසුකම් වැඩිකළ යුතුයි කියලා.ඒක නිසා අනිත් අය නැති දවසක අපි මැනේජර් මහත්තයාට ලංකරලා ඇහුවා "සර් අපි චමරියට රයිස් කුකර් එකක් ගන්නද කියලා".හැබැයි අපරාදේ කියන්න බෑ,මැනේජර් මහත්තයත් පටස්ගාලා අනුමැතිය දුන්නා.

අනිත් අය නැති දවසක් බලලා අපි ඔය වැඩේ ක්‍රියාත්මක කලේ හේතුවක් ඇතිව.මොකද එහෙම වුනානම් අපිට අනිත් අය නැතිව ඔය ඉල්ලීම කොරන්න බැරිවෙනවා.අනිත් කස්ටිය ඉතින් කොහොමත් ඔය වැඩේ අහන්න මැනේජර් මහත්තයා ගාවට යන්න කැමති වෙන්නෙත් නෑ.ඔන්න ඒකයි අපි අනිත් අය නැති දවසක් බලලම ඕක ගන්න හිතුවේ.හවස වැඩ ඇරිලා යන ගමන් ටවුමේ කඩේකට ගිහිල්ලා රයිස් කුකර් එකක් ගත්තා.ඔය උඩ පින්තුරේ තියෙන වගේ එකක්.හැබැයි එච්චර ලොකු නැහැ.කඩේ මෑන් අපිට රයිස් කුකර් එක ගැන ලොකු වර්ණනාවක් එහෙම කරලා තමයි ඕක දුන්නේ.ඒකෙන් නූඩ්ල්ස් වුනත් හදන්න පුළුවන් කියලා මිනිහා අපිට කිව්වා.අඩේ මරුනේ.......කියලා අපිට හිතුනා.උදේට උයන්න නූඩ්ල්ස් පැකට් එකකුත් මග කඩේකින් ගත්තා.

කොහොමහරි ඕකත් කරගහගෙන චමරියට ආවා.අපේ ගෙදරවත් යාළුවගේ ගෙදරවත් ඒ වෙනකොට රයිස් කුකර් එකක් තිබුනේ නෑ.ඉතින් ඒක නිසා මේකෙන් උයලා බලනකල් අපිට ඉවසුමක්‌ තිබුනේ නෑ.ඒ දවස්වල අපි ගොඩක් වෙලාවට ඉව්වේ කැකුළු බත්.ඒත් ඉතින් නමෝ විත්තියෙන්ම කුකර් එකේ සුදු බතක් හදන්න තීරනේ කලා.පොතේ හැටියටම වැඩේ කෙරෙන්න ඕන නිසා මුලින්ම හාල් හොදට ගරලා කුකර් එකට එහෙම දාලා අර ඒකෙ තියෙන කෝප්පෙන්ම වතුර මැනලා දැම්මා.ඊට පස්සේ ප්ලග් එක ගහලා අපි පොල් සම්බලෙකුත් සැරට හදාගත්තා.පොල් සම්බලුයි සම්බා බතුයි...හප්පා...බත් මරන්න බැරියැ.....

පොල් සම්බලේ හදාගත්තු අපි බත ඉදෙනකල් ටීවී එක බලන්න ගත්තා.සෑහෙන වෙලාවක් ගියත් රයිස් කුකර් එකෙන් සද්දයක්වත් නෑ.ඇරලා බැලුවහම හාල් ටිකයි වතුරයි ඒ විදිහටම තියෙනවා.ප්ලග් එකේ අවුලක් වෙන්නැති මචන්...මං එහෙම කියලා රයිස් කුකර් එක අරන් ඇවිත් සාලේ ප්ලග් එකකට ගැහුවා.ඔහොම තව පැය බාගයක් විතර ගියා.ආයෙත් ඇරලා බැලුවහම හාල් ටික එහෙම්මමයි.මං හිතන්නේ වතුර මදි ඇති.යාලුවා කිව්වා.අපි ඒ පාර තව වතුර ටිකක් දාලා මැදගිල්ලෙන් පුරුක් දෙකක් විතර වතුර තියලා ආයෙත් පියන වහලා බලං හිටියා.තව පැය බාගයක් විතර ගියා.දැන්නම් බඩගින්න අහස උසට නැගලා.ආයෙත් ඇරලා බැලුවත් හාල් ටික එහෙමම තියෙනවා.මං හිතන්නේ හාල්වල අවුලක් වෙන්න ඕන...කැකුළු හාල් ටිකක් තියලා බලමු...එහෙම කිව්ව මම කැකුළු හාල් ට්කක් ගරලා අරගෙන කුකර් එකට දාල වතුරත්දාලා ආයෙත් පියන වහලා ටික වෙලාවක් බැලුවා...ම්හ්...හාල් ටික බත් වෙන්නේ නෑ.......දැන්නම් අහස උසට බඩිගින්න..."මූ අපිට පිච්චිච එකක්ද කොහෙද දීලා තියෙන්නේ" එහෙම කියපු මම කඩේ එකාගේ මෑණියන්දා සිහි කරමින් හය්යෙන්ම රයිස් කුකර් එකට දඩිබිඩි ගාලා දෙකක් ගැහුවා.

එතකොටම ආශ්චාර්යයක් වුනා වගේ මගේ අත වැදිලා අර පැත්තෙන් තියෙන සුදු පාට පොඩි ප්ලාස්ටික් කෑල්ල පහලට වැටිලා ඒකට උඩින් තියෙන රතුපාට ලයිට් එක පත්තුවුනා.ටික වෙලාවකින් බත ඉදිලා සුවඳ හමන්න වුනා......හම්මේ නිවන් දැක්කා වගේ....කවදාවත් රයිස් කුකර් එකෙන් උයලා නොතිබුණු අපි දෙන්නට ප්ලග් එක ගැහුවට පස්සේ අර ස්විච් එක පහලට දාන්න ඕන කියලා තේරුමක් තිබුනේ නැහැ.සම්බා බතුයි පොල් සම්බලුයි කන්න හිටපු අපිට කන වෙලාවට පහුවෙලා පැය දෙකකට විතර පස්සේ කැකුළු බතුයි ..පොල් සම්බලුයි කන්න වුනා....

පහුවෙනිදා උදේ කඩේ මෑන් කිව්ව විදිහට නූඩ්ල්ස් හදන්න රයිස් කුකර් ඒකට නූඩ්ල්ස් එක කඩලා දාලා වතුරත් ටිකක් වැඩිපුර තියලා ප්ලග් එක ගැහුවා.......ආ....ඔව්...ඔව්... අර ස්විච් එකත් පහලට දැම්මා....ටික වෙලාවකින් ඇරලා බැලුවා.....හප්පේ නූඩ්ල්ස් නම් හැදිලා...හැදිලා කියන්නේ පාප්ප වගේ හැදිලා....මේක දැකපු මට ගණ දෙවි නුවන පහල වුනා....අපේ උදේ කෑමට කෙළවුණ එක ඇත්ත...ඒත් ඉතින් කෑමක් අපතේ දානවා කියන්නේ සහගහන අපරාදයක්...සීනි බෝතලේ ගෙනල්ලා දැම්මා ලොකු සීනි හැඳි දෙක තුනක්...ඊට පස්සේ බත් කූරු ගාන කූරෙන්ම ටිකක් කූරු ගාලා තව වතුර ටිකකුත් දාලා ආයෙත් ටික වෙලාවක් තියෙන්න ඇරියා..ඊට පස්සේ මේ පාප්පේ අරගෙන පිගන් දෙකකට තුනී කරලා පොඩි කිරිබත් කෑලි වගේ හිටින්න කැපුවා.ඊට පස්සේ අයිස් ක්‍රීම් බාජනෙකට බත් කොලයක් එලලා අර කෑලි ටික අඩුක් කරගෙන වැඩට යනකොට ගෙනිච්චා......

ආනේ..... චෝයි කිරි කෑලි.......මාර රහයි ....... කිය කිය අපේ ඔෆිස් එකේ බඩජාරි කෙල්ලෝ ඒ ඔක්කොම ටිකට වගකිව්වා....

පිදුම  -  මේ පොස්ට් එක කියවන අද වෙනතුරුත් තමන් එදා කෑවේ බෙරිවුණු නූඩ්ල්ස් බව නොදත් ඒ කෙල්ලන්ගේ නමින් මේ පොස්ටුව පුදනු ලැබේ..... 

ටටා...

Wednesday, October 16, 2013

රස්සාවේ පලවෙනි දවස - Going Solo 2


ජීවිතේ ඉස්ඉස්සෙල්ලාම රස්සාවට යන දවස.....ඒත් මට කිසිම අමුත්තක් දැනුනේ නෑ.උදෙන්ම චමරියේ අනිත් අයත් එක්ක වැඩට ගියා.අපේ චමරිය තිබුනේ බැංකුවට වඩා සෑහෙන්න දුරින්.කිලෝමීටරයක් විතර දුර මම ඇවිදගෙනම ගියා.ටයි එකක් දාගෙන යන්න ඕන කියලා හිතුනත් වවුලගේ ගෙදර ගියාම එල්ලිලා ඉන්න ඕන නිසා ඒ අදහස අතහැරියා.ඒ දවස්වල අපේ බැංකුව ඒසී කරලා තිබුනේ නැහැ.උදේ පාන්දරම මැනේජර් මහත්තයා වැඩට ඇවිත් තිබුනා.මම වැඩට ගියේ සුමති අය්යත් එක්ක.එදා උදේටයි දවල්ටයි චමරියේ අය ඉව්වේ නෑ.එදා උයන්න තිබුනේ කොස් මහත්තයාට.මිනිහා ටිකක් කම්මැලියා.ඉව්වේ නෑ කියලා සුමති අය්යා උදේම ගෝරනාඩුවක් දැම්මා.

උදේට වැඩට එන ගමන්ම සුමති අය්යත් එක්ක ගිහින් ටවුමේ තේ කඩේකින් ආප්ප කාලා තේ බිව්වා.ගෙදරින් එද්දී තාත්තා දුන්නු රුපියල් 1500 විතරයි මගේ අතේ තියෙන්නේ.ආපහු ගෙදර යනකල් මේකෙන් කොහොමහරි ඇදගන්න ඕන.සල්ලි වියදම් කරන හැටි ගැන මෙතුවක් කල් සීරියස් හිතපු නැති මට එක පාරටම ලොකු බරක් හිතට දැනුනා.තේ බීලා ඉවරවෙලා ඉතිරි ටිකත් ඇවිදගෙනම ගියා.බැංකුවේ බිල්ඩිම ගම් උදාව කාලේ හදපු එකක්.එච්චර ප්ලෑන් කරලා හදපු එකක් නෙවි.කඩිමුඩියේ වැඩ නිමකළ එකක් බව පේන්න තිබුනා.මම ගිහින් ටික වෙලාවකින් මං වගේම පත්වීම් ලැබුණු අනිත් අයත් ආවා.මාත් එක්ක තව පිරිමි ළමයෙකුයි ගැහැණු ළමයි දෙන්නෙකුයි තමයි අපේ ශාඛාවට අනුයුක්ත කරලා තිබුනේ.

අපි හතර දෙනා තමන්ගේ කාමරේට කැදවපු මැනේජර් මහත්තයා අපිට අපේ රස්සාව ගැන හොද අවබෝදයක් ඇතිවෙන කතාවක් කළා.දුෂ්කර ශාඛාවක් නිසා අපිට පුහුණුවන්න වෙලාවක් හෝ පුහුණු කරන්න කෙනෙක් නැති බවත් වැඩ කරමින්ම ඉගෙන ගන්න වෙන බවත් මැනේජර් මහත්තයා කාරුණිකව පැහැදිලි කරලා දුන්නා.ඒ වගේම එතුමා කිව්වා තවත් දෙයක් අදටත් මගේ හිතේ හොදින් මතක හිටලා තියෙනවා."මේ රස්සාව එක අතකට ඔයාලට ලංකාව ඇතුලේ කරන්න පුළුවන් හොදම රස්සාවක් ඒ වගේම තවත් අතකට කරන්න පුළුවන් නරකම රස්සාවක්,කවදාවත් තමන්ගේ ළඟට උදව්වක් ඉල්ලගෙන එන කෙනෙක් කරදරයක් විදිහට හිතන්න එපා.ඒ මිනිස්සු බැංකුවට ආවොත් තමයි ඔයාලට අපිට පඩි ලැබෙන්නේ"අන්න ඒක හොඳට මතක තියාගෙන වැඩ කරන්න.අද වෙනතුරුත් මම ඒ උපදෙසේනම් කඩකරලා නැහැ කියලා මට කියන්න පුළුවන්.

ඊලගට මැනේජර් මහත්තයා අපිට එක එක සෙක්ෂන් දුන්නා වැඩ කරන්න.මම වැටුනේ විමසීම් කවුන්ටරේට.ඇත්තටම එතන ඉන්න කෙනාට බැංකුවේ හැම දෙයක් ගැනම හොඳ අවබෝදයක් තියෙන්න ඕන.මොකද බැංකුවට එන ගොඩක් දෙනෙක් ඉස්සෙල්ලාම එන්නේ විමසීම් කවුන්ටරේට.ඉතින් ඒ අය අදාළ අංශ වෙත යොමු කරන්න ඕන එතනින්.ඉතින් ඉස්සෙල්ලම වැඩට ගිය මට මොන අවබෝදයක්ද ???? මම කරකෝලා අතාරියා වගේ.ඒත් මූණෙන් ඒ බව නොපෙන්නන මං වග බලා ගත්තා.ඒත් ටික වෙලාවක් යනකොට රාජකාරි ජීවිතේ පලවෙනි නා ගැනීම කළා.මං ඒක මීට කලින් කියලා තියෙනවනේ.දන්නැති අය ඒක මෙතනින් බලන්න.උක...ස්‌ පේමන්ට්....

ඔහොම ඉතින් දවල්ට කන වෙලාවත් ආවා.කන එක ගැන මතක වුනේ මගේ අනිත් යාලුවා ඇවිත් ඇහුවමයි.කන්න ඕන වුනත් බත් එකක් ගෙනාවේ නැතිනිසා කොහොමද කන්නේ කියලා හිත හිත ඉන්නකොට කෑම ගේන කෙනෙක් බැන්කුවට ආවා.මෑන්ස් ගෙන් බත් එකක් අරගෙන කටට දෙකට ගිලලා දැම්මා.දවසේ අනිත් ටිකනම් විශේෂයක් නැතිව ගෙවුනා.බදාදා පොළ දවසට තමයි සෙනග වැඩිපුර ටවුමට එන්නේ.ඉතින් ඒක නිසා එදා එච්චරම සෙනග ආවේ නැහැ.ඕපන් කරපු ගිණුම් ටික පොත්පත්වල ලියලා දාලා දවසේ වැඩකටයුතු ටික අහවර කරගත්තා.

කලින් දවසේ ආපු යාලුවටයි මටයි කතාකරන්නවත් වෙලාවක් වුනේ නැහැ.අපි දෙන්නා වැඩ ඉවරවෙලා හවස කතාකර චමරියට ගියා.අනිත් අයත් ආවට පස්සේ ඔක්කොමලා එකතුවෙලා කෑම හදාගෙන කෑවා.ටී වී එකක් තිබුනට හරි හමන් ඇන්ටෙනා එකක් තිබුනේ නැහැ.අනිත් අතට ටී වී බලන්න ඕනා කෙනකුත් හිටියේ නැහැ.සුමති අය්යා ගෙදරින් ගෙනාපු Vcd ප්ලේයර් එකක් තිබුනා.ඉතින් මිනිහා ඉදලා හිටලා ඒකෙ ෆිල්ම් එකක් බලනවා.කොස් මහත්තයාට බෝතලේ තියෙන නිසා වෙන සිහියක් නැහැ.මමයි යාළුවයි කාලා ඉවරවෙලා නිදාගන්න තැන හදාගන්න බැලුවා.තාමත් අර තුන්වෙනි කාමරේ වහපු ගමන්මයි.අනිත් අයත් අපිට ඒ කාමරේ ඕනද කියලවත් ඇහුවේ නැහැ.මේක දැන්නම් හිතට ලොකු ප්‍රශ්නයක් වේගෙන එන නිසා මේ ගැන හෙට වැඩට ගියාම මැනේජර්ට කියන්න ඕන කියලා මමත් මගේ යාලුවත් දෙන්නා තීරණේ කළා.

පහුවෙනිදා වැඩට ගියාම උදේම අපි දෙන්නා මැනේජර් ගාවට ගියා.අපිට නිදාගන්න කාමරයක් නැති විත්තියත් වහපු කාමරයක් තියෙන වගත් අපි මැනේජර් මහත්තයාට කිව්වා.මැනේජර් මහත්තයා චමරියේ බාරකාරයා වගේ ඉන්න සුමති අය්යව ගෙන්නලා මේ ගැන ඇහුවා.බැංකුවේ චමරියක් වුනාට අපි හිටියේ රෙන්ට් එකට ගත්තු ගෙදරක.ඉතින් ඒ ගෙදර අයිති කෙනාගේ හිතවත්  මහත්තයෙක් මේ කාමරේ ඉන්නවා කියලා සුමති කිව්වේ.මේ ගැන මැනේජර් මහත්තයා කලින් දැනගෙන ඉදලා නැහැ.මේ ඉන්න කෙනා ගොඩක් වෙලාවට සති අන්තයේ තමයිලු එන්නේ.ගෙදර පිටු පස්සේ දොරේ යතුරක් එයයි ගාව තියෙන නිසා සති අන්තේ අපේ අය නැතිවෙලාවට ඇවිත් ඒ කාමරේ ඉන්නවා කියලා තමයි සුමති කිව්වේ.මැනේජර් මහත්තයාට හොදටම කේන්ති ගිහින් සුමතිටත් බැනලා අපිට කිව්වා ඒ කාමරේ අස්කරගෙන ඉන්න කියලා.

එදා වැඩ ඇරිලා ගියාට පස්සේ අපි අර කාමරේ ඇරගත්තා.යතුරු කට ගෙවිලා තිබුණු නිසා වෙන්නැති ඉස්සරහා දොරේ යතුර දාලා කරකවද්දී දොර අරුනා.මායි යාළුවයි කාමරේ අස්කරගෙන හිටපු කෙනාගේ රෙදි බඩු බාන්ඩ ටික සාලේ පැත්තකට කරලා තිව්වා.දවස් දෙක තුනකට පස්සේ කාමරේ හිටපු මෑන්ස් ත්‍රී වීල් එකකින් ඇවිත් බඩු ටික පටෝගෙන ගියා.ඒත් අපි දෙන්න දිහා එච්චර හොද හිතකින් නෙවි බැලුවේ.

කාමරේ හොද මෙට්ටයක් තිබුනට මට හිතුනා ඒක අවුවට දාලා ගත්තොත් හොඳයි කියලා.මම මෙට්ටේ අවුවට දාන්න යද්දී තමයි දැක්කේ මෙට්ටේ යට තිබුණු බැලුම් පැකට් එක [ පොඩිවුන් පුම්බන බැලුම් නෙවි ] .දැන් වැඩේ පැහැදිලියි.අර මෑන්ස් මේක ඇතුලේ රිංගලා ඉදලා තියෙන්නේ මොකටද කියලා අපිට සීන් එක තේරුනා.ඒත් එදා අපි හිතාගත්ත විදිහ වැරදියි කියලා ටික දවසකින් අපිට දැනගන්න ලැබුනා.කාමරේ අයිති කරගන්න යාමෙන් පරම හතුරෙක් අපි ඇතිකරගෙන තිබුනා.හැබැයි ඒ අපි හිතපු විදිහට කාමරේ හිටපු මෑන්ස් නෙවි.අපි ඒ වෙනකොටත් දැකලා නොතිබුණු කෙනෙක්.ඒ හින්දම අපිට ගොඩක් කරදර වලට මූනපාන්නත් වුනා.ඒ සිද්දි ඉස්සරහට කියන්නම්...

ප.ලි -  අපිට හතුරුකම් කරන්න ආවේ ගෙදර අයිති කෙනා යටතේ වැඩකළ කෙනෙක්...වැරදියට වටහා ගන්න නිසයි ලිව්වේ...

Sunday, October 13, 2013

තනිව ගිය මග - Going solo


බස් එකේ පිටිපස්සේ සීට් එකේ යන එක ලේසි පාසු වැඩක් නෙවි.මග දිගටම පාර කැඩිලා.අනේ මන්දා අපේ රටේ පාරක් තොටක් හරියට හදන්නේ කවදද මන්දා?......හෙට තමයි මට මගේ ජීවිතේ පලවෙනි රස්සාවේ වැඩ භාරගන්න තියෙන්නේ.හෙටින් පටන්ගන්න ජීවිතේ මොන වගේ වේවිද?මීට කලින් ගෙදරින් පිටනම් ඉදලා තියෙනවා.ඒත් තනියම ඔක්කොම කරගන්න එක ලේසි වෙන එකක් නෑ.ඒත් මං බලාපොරොත්තුවෙන් හිටියේ මේ වගේ දේකට නේද ....අද ඒ චාන්ස් එක මට ලැබිලා තියෙනවා...

පලවෙනි පාර මම උසස්පෙළ කෙරුවේ ගොඩක් බලාපොරොත්තු ඇතිව.ඒත් මම ඒකට හරියට සුදානම් වුනේ නෑ කියලා මට දැන් හිතෙනවා.විභාගේ දවස්වලම වුනු අම්මගේ හදිසි වියෝවත් මට සැහෙන්න බලපෑවා.ඒත් ඒ ඔක්කොටම වඩා හොදටම පිස්සු කෙලිය එක පරහට හිටියා.දෙවැනි පාරත් විභාගේ ලියන්න ඕන කියලා හිතුනේ ප්‍රතිපල ඇවිත් මාසෙකට විතර පස්සේ.මේ පාරනම් විභාගේ හොදට ලිව්වා.ඒත් කෙමෙස්ට්‍රි අවුල් ගියා.දෙවැනි පාර විභාගෙට පන්ති යන අතරේ දවසක් සුදර්ශියේදී යාලුවෙක් ගෙනත් දුන්නු බැංකු විභාගේ ඇප්ලිකේෂන් එක පුරෝලා තැපැල් කලේ එච්චර බලාපොරොත්තුවකින් නෙමේ.ඒත් ඒකෙ තිබ්බ කොන්දේසියකට මගේ හිත ගියා "මේ රැකියාවට ඔබ තෝරා ගතහොත් රටේ දුෂ්කර පලාතක සේවය කිරීමට කැමති විය යුතුය".ගොඩක් උන ඕක දැක්කම පස්ස ගැහුවත් මට ඕනා වෙලා තිබුනේ ඒ වගේ පළාතකට ගිහින් ඉන්න.රස්සාවක් කරනවාටත් වඩා මට ජීවිතේ වෙනසක් ඕනා වෙලා තිබුනා.ගෙදරට වෙලා නිකම් බත් ගිල ගිල ඉන්නවට වඩා ඒක නරක නැත්ද?

බැංකු විභාගේ තිබුනේ ගාල්ලේ.ගිහිල්ලා ඒක ලියලා ආවා.ඊට පස්සේ ඒක නිකම්ම අමතක වෙලා ගියා.දෙවැනි පාර විභාගේ ලිව්වට පස්සෙත් වුනේ නිකම්ම නිකම් ගෙදරට වෙලා ඉන්න.ප්‍රතිපල එනකල් කරන්න දේකුත් නැහැනේ.ඔන්න ඔහොම ඉදිද්දී දවසක් රෙජිස්ටර් ලියුමක් ආවා මගේ නමට.විභාගෙන් පාස් ලකුණු 100 න් 100 යි.කොළඹ ඉන්ටර්වීව් එන්න කියලා තමයි ලියුමේ තිබුනේ.මං ඉන්ටර්වීව් එකට ගියේ අයියත් එක්ක.කොටුවේ ඉස්ටේසමෙන් බැහැලා පාර පැනලා තැපැල් හුවමාරුව ඉස්සරහා තිබ්බ ඉන්ටෙර්වීව් එක තිබ්බ තැනට ගියා.මගේ වාරේ ආවම මං සහතික මිටියත් අරගෙන ඇතුලට ගියා.මගේ පලවෙනි ඉන්ටෙර්වීව් එක.ඒත් අමුතු බයක් මගේ හිතේ තිබුනේ නෑ.පරීක්ෂක මණ්ඩලේ හිටියේ ටයි දාගත්තු සර්ලා දෙන්නෙකුයි මැඩම් කෙනෙකුයි.මගේ සහතික මුකුත් බැලුවේ නෑ.ප්‍රතිපල ලේඛනේ විතරක් බලලා මගෙන් ඇහුවා මගේ විනෝදාංශ මොනවද කියලා.මන් කිව්වා චිත්‍රපටි බලන එක කියලා.අන්තිමට බලපු චිත්‍රපටිය මොකක්ද ඇහුවා.ඒකට මං දුන්නු උත්තරේට එතන හිටපු මැඩම් බිම බලාගත්තා.ඒත් සර්ලා දෙන්නා කිව්වා ඇත්ත කියපු එක අගය කරනවා කියලා.එහෙම කියල මගෙන් ඇහුවා දුෂ්කර පලාතක වැඩකරන්න කැමතිද කියලා.මං ඔව් කිව්වා.එතකොට මට කිව්වා "අපි ඔයාව තෝරාගත්තා,කෙලින් ඇත්ත කතාකරපු එක අගය කරනවා කියලා".

සතියකට විතර පස්සේ පත්වීම් ලිපි ගන්න ආයෙත් කොළඹ එන්න කියලා තිබුනා.තාත්තත් එක්ක ගිහින් ඒක ගත්තා.දැන් වගේ නෙවෙයි මුකුත් උත්සව තිබුනේ නෑ.අපිට සැන්ඩ්විච් එකකුයි බීම එකකුයි දුන්නා.පත්වීම් ලිපිය දුන්නෙත් එතන හිටපු නිලධාරී මහත්තයෙක්.ඒ වෙනකොට මං ඉස්කෝලෙන් අයින් වෙලා හිටියේ නෑ.ඒ නිසා ඒ අය පත්වීම් ලිපිය දෙන්න බෑ කිව්වා.මෙතන හිටියා අර ඉන්ටර්වීව් එකේ හිටපු මැඩම්.මං එයාට ගිහින් ඒ බව කිව්වම එයා පත්වීම් ලිපිය අරගෙන දුන්නා.පස්සේ අස්වීමේ සහතිකේ ගෙනත් දෙන්න කියලා.පත්වීම් ගන්න හිටපු උන්ගෙන් බාලම එකා මම.ඒත් ඉතින් අමුත්තක් දැනුනෙත් නෑ.පත්වීම දීලා තිබුනේ මං බලාපොරොත්තු වුනු විදිහටම දුෂ්කර පළාතකට.ඒ කියන්නේ බුත්තලට.මං ෆුල් ජොලියේ එලියට ඇවිත් ඒක තාත්තට කිව්වා.තාත්තා හිතන්නැති මුට පිස්සු කියලා...ඒත් මුකුත් කිව්වේ නෑ.

සැප්තැම්බර් පළවෙනිදා තමයි වැඩ භාරගන්න තිබ්බේ.අයියයි මායි මොනරාගල බස් එකේ මේ යන්නේ ඒ ගමන.ගමන එන්න කලින් තාත්තා ගෙදරට කතාකරන්න කියලා නොකියා 1100 ෆෝන් එකක් අරන් දුන්නා.තාත්තා කලින් මොනරාගල වැඩකරලා තිබුණු නිසා අපි මීට කලින් දවසක් නවාතැනක් හොයාගන්න බුත්තල ගියා.ඒත් නවාතැනක් හොයාගන්න බැරිවුනා.තාත්තගේ යාලුවෙක් වුනු පතිරණ අන්කල් කිව්වා බැංකුවේ ක්වාටස් එකක් නම් තියෙනවා ඒකෙ ඉඩ නැත්නම් අපේ ගෙදර හරි ඉන්න කියලා.ඉතින් අද යන ගමන ගැන හිතේ තිබුනේ දෙගිඩියාවක්.නවතින්න තැනක නැතුව යන මේ ගමන ආපහු හැරිලා එන්න වේවිද?

විකාර ඔලුවට එන නිසා මං ෆෝන් එක සාක්කුවෙන් අරගෙන ඒකෙ වැඩකෑලි බල බල ආවා.ෆෝන් එකේ ඩිස්ප්ලේ එකේ ටවුමෙන් ටවුමට ටවර්වල නම් මාරුවෙනවා....දික්වැල්ල...තංගල්ල...රන්න...අම්බලන්තොට....හම්බන්තොට.....වීරවිල.....ලුණුගම්වෙහෙර....ලුණුගම්වෙහෙරදී බස් එක තේ බොන්න නැවැත්තුවා.අයියා මාළු පාන් ගෙඩියක් කාලා තේ බිව්වත් මං මුකුත් කෑවේ නැහැ.ඒ දවස්වල මට නරක බඩේ අමාරුවක් තිබුනා.දුර ගමන් යද්දී මං මුකුත්ම මගදී කන්නේ නෑ.කෑවොත් ටොයිලට් යන්න වෙනවා.තේ බිව්වට පස්සේ ආයෙත් බස් එක ගමන පටන් ගත්තා.....ඒත් ආයෙත් එක එක ටවුන් පහුවුනත් ටවර් එකේ නම විදිහට එකම නමක් විතරයි සැරින් සැරේ වැටෙන්නේ....නායබැද්ද.....ගොඩක් වෙලාවට සිග්නල් නැහැ.මාතරින් ගත්තු ඩයලොග් සිම් එකෙන් වැඩක් නැතිවෙයිද?මගේ හිතට හිතුනා.මග දෙපැත්තේම බලන්න තරම් දෙයක් නැති තරම්.අව් කූටකෙට වේලිලා ගිය බැද්ද විතරයි.ඉදලා හිටලා මැටි ගහපු ගෙයක් දකින්න තියෙනවා.බස් එකත් එක වලකින් ගොඩ එනකොටම තව වලක වැටෙනවා.දුෂ්කරකම එන්න එන්නම වැඩිවෙනවා  කියන එක මට තේරුනා.ඊලගට පහුවුනේ තනමල්විල....ඇතිලිවැව..වැල්ලවාය..වැල්ලවායේදී බණ්ඩාරවෙල පැත්තේ කඳු පන්තිය ලස්සනට පේනවා.ෆෝන් එකට හොදටම සිග්නල් ආවේ වැල්ලවායේදී.....පැල්වත්ත.....නාහේ කඩාගෙන යන ගඳක් ආවේ පැල්වත්ත පහුකරනකොට.ඒ ෂුගර් එකේ ගෝඩා ගඳ කියලා අයියා කිව්වා.ඔන්න ඊළඟ නැවතුමෙන් අපි බැස්සා..බුත්තල...කතරගම රජ මාවතේ තොරණ ගාවින් තමයි අපි බැස්සේ.බැහැපු ගමන්ම මං බැලුවේ ෆෝන් එකට සිග්නල් තියේද කියලා.හුටා...සිග්නල් කඳුලක්වත් නැහැ.හිතට ලොකු බරක් ඇතුල්වුණා වගේ දැනුනා.අපි ඇඳුම් බෑග් දෙකත් අරගෙන බැංකුවට ගියා.මැනේජර් මහත්තයා අපි දෙන්නට වාඩිවෙන්න කියලා නවතින්න බැංකුවේ චමරියේ පුළුවන් කිව්වා.අපි ත්‍රීවීල් එකකින් චමරියට ගියා.උදෙන්ම මාතරින් ආපු නිසා කරන්න දෙයක් තිබුනේ නෑ.දවල්ට ගිහින් ටවුමේ කඩේකින් කෑවා.දවල් නිසා චමරියේ හිට්යේ මමයි අයියයි විතරයි.ටික වෙලාවකින් තවත් මං වගේම තවත් ළමයෙක් ආවා.එයයිත් එක්ක ගෙදර ඔක්කොමලා ඇවිත් හිටියා,ඒ අය ඇඳුම් බෑග් තියලා ඒ අය නැවතිලා හිටපු තැනට ගියා.හෙට එනවා කියලා.

හවස්වෙද්දී චමරියේ අනිත් අයත් ආවා.චමරියේ තිබුනේ කාමර තුනයි.එකක සුමති අය්යා හිටියා.අනිත් එකේ ලීලේ අයියයි කොස් මහත්තයයි හිටියා.තුන්වෙනි කාමරේ වහලා යතුරු දාලා තිබුනේ.ඒ කාමරේ ඉන්නේ කවුද කියලා ඇහුවත් අනිත් අය හිමීට ඒ ප්‍රශ්නේ මග හැරලා ගියා.චමරියේ අය රෑට උයාගෙන කන්නේ.අපිත් උදව්වෙලා කරෝල හොද්දකුයි...බතුයි...බොන්චියි හැදුවා.රෑට නිදාගන්න ගියාම තමයි ප්‍රශ්නේ ආවේ.සාලේ ඇඳවල් දෙකක් තිබුනා.අපි ඒකට වෙලා නිදාගත්තා.කැඩීච්ච මෙට්ට දෙකක් තිබුනේ.රෑට මදුරුවෝ විමානේ.නෙට් එකක්වත් නැහැ.උදේ වෙනකල් හරියට නින්ද ගියේ නැහැ.මං උදෙන්ම නැගිටලා අර තුන්වෙනි කාමරේ දොරේ සිදුරට ඇහැ තියලා බැලුවා.ඉර එලිය කාමරේට වැටිලා තිබුනා.හොඳ ඇඳකුයි මේසෙකුයි ඇදුම් රැක් එකකුයි කාමරේ තියෙනවා.ඉස්සෙලාම වැඩට යන්න තියෙන දවස නිසා ඉක්මනට බාත්රූම් ඒකට පැනලා නාගත්තා.ටොයිලට් එක ගැන කතා කරලා වැඩක් නැහැ .අයියට කොළඹ වැඩට යන්න තිබුනා.ඒක නිසා එයයි උදෙන්ම මොනරාගල කොලබ බස් එකට ගියා.යන්න කලින් මේ වගේ තැනක ඉන්න ඕන හැටිත් තවත් ගොඩක් දේ ගැනත් උපදෙස් දීලා ගියේ....අනේ මන්දා හිතාගෙන ආවට වැඩේ ලේසි නැහැ වගේ...
ඒත් මගේ හිත ඒ කාලේ ගොඩක් හයියයි....මොන කරදරේ ආවත් දාලා යන්නේ නෑ කියලා හිතාගෙන තමයි මං ආවේ...බලමුකෝ වෙන්නේ මොකද කියලා....

තුන්වෙනි කාමරේ හිටියේ කවුද???? ඊලග කොටසින් බලාපොරොත්තු වන්න .....

Thursday, October 10, 2013

චූටී.....


චූටී අපේ ගෙදරට ඉස්සෙල්ලම ආවේ 1992 අවුරුද්දේදී.....මට අදටත් හොදටම මතකයි.කවුදෝ කෙනෙක් දවසක් රෑ අපේ සීයාගේ කඩේ ගාව පූස් පැටව් වගයක් අතැරලා ගිහින් තිබුනා.මේ වෙනකොට මාත් ඉස්කෝලේ දෙක වසරේ ඉගෙනගත්තේ.මං උදේ නැගිටලා කඩේ පැත්තට යනකොට චූටී විතරක් කඩේගාව අයිනට වෙලා හිටියා.එයාගේ සහෝදර සහෝදරියෝ ඔක්කොම පාරේ යන වාහනවලට යටවෙලා.අපි ඉස්කෝලේ යන්න බස් එකට නැග්ගේ අපේ කඩේ ගාවින්.මං ඉස්කෝලේ ගිහින් ආපු ගමන්ම බැලුවේ කඩේ ගාව චූටී ඉන්නවද කියලා.ඇත්තටම එයා ඒ දවස වෙනකල් නිකම්ම නිකම් පූස් පැටියෙක් විතරයි.කෙට්ටුම කෙට්ටු ඇගෙන් චූටී පූසෙක් විතරයි.ඒක නිසා එදා ඉදලා මං එයාට චූටී කියලා නම තිව්වා.

මං එනකොට චූටී කඩේ ගාව හිටියේ නෑ.බඩිගින්න වැඩි කමටම අපේ ගෙදර පැත්තට ඇවිත් බිත්තිය අයිනට වෙලා හිටියා.ඒත් අනිත් පූස් පැටව් වගේ දුකෙන් බෑගිරි ගහ ගහ නම් නෙවෙයි.ඒත් ඉතින් මොන පූසටද කිරි බඩිගිනි නැත්තේ.මං ඌව සීයට පෙන්නුවම සීයා ඌට කිරි ටිකක් හදලා දුන්නා.ඌ කිරි ටික බොන අතරේ ඌ එදා ඉදලා අපේ ගෙදර කෙනෙක් කරගන්න මං තීරණේ කළා.ගෙදර කවුරුවත් ඒකට අකමැති වුනා කියලා හෝ කැමති වුනා කියලා මට මතකයක් නෑ.ගෙදර කවුරුවත් ඌව එච්චර ගණන් ගත්තේ නෑ.කොටින්ම අපේ ගෙදර බලු සුරතලා වුනු "බෝතා" වත් අම්මගේ සුරතලා වුනු සුදු පූසවත් ඌව ගණන් ගත්තේ නෑ.ඒ වුනාට මට ඌ ගැන අමුතු ආදරයක් එදා ඉදලම තිබුනා.

කොහොම කොහොම හරි චූටී ටිකෙන් ටික ලොකුවුනා.ඇගෙන් ලොකු වුනත් චූටිගේ කෙට්ටු කමනම් කවදාවත් නැති වුනේ නෑ.ඒක නිසා උගේ ඒ හැටි ලස්සනක් තිබුනෙත් නෑ.මේ දවස්වලම අපේ අම්මගේ සුරතලා වුනු සුදු පූසත් මැරුණා.ඔන්න ඉතින් ගෙදර එකම පූසා වෙන්න චූටිට අවස්තාව ලැබුනා.ඒත් ඉතින් මං කලින් කිව්වා වගේ කවුරුවත් චූටිව ගණන් ගත්තේ නෑ.අක්කයි අයියයි ගිහින් ළඟ ගෙදරකින් පර්සියන් පූස් පැටියෙක් ගෙනාවා.එයයි පූසියෙක්.අපි ඌට නම තිව්වා කිටී කියලා.කිටී ආවට පස්සේ චූටිට ගෙදර තිබුණු තැනත් නැතිවුනා.කිටී ගෙදර සැටිය උඩ හිටියත් කවුරුවත් ගණන් ගත්තේ නෑ.ඒත් චූටී කඩේ ගාව බංකුව උඩ හරි හිටියොත් එලවන්න කවුරුත් අමතක කලෙත් නෑ.ඒත් චූටී මගේ සුරතලා වෙන එකනම් කාටවත් වලක්වන්න බැරිවුනා.

මේ සුරතලා කිව්වත් ඌ මට තිබුනේ එක්තරා ආකාරයක පුදුම ආදරයක්.කවදාවත් ඔඩොක්කුවට අරගෙන සුරතල් කරනවට චූටී කැමතිවුනේ නෑ.එහෙම කරන්න හැදුවොත් මගේ අතේ පාර හිටින්න හූරලා දුවන්න තමයි ඌ පුරුදු වෙලා හිටියේ.ඒත් මං පුටුවේ වාඩිවෙලා ටී.වී. බලනකොට ඇවිත් කකුල් දෙකේ අතිල්ලෙන්න චූටී හරි ආසයි.මේ වෙනකොට කිටී අම්මා කෙනෙක් වෙලා.ගේ පුරාම පූස් පැටව් මහා හයියෙන් කෑ ගහ ගහ දුවනවා.පර්සියන් පූසෝ නිසා උන්ව කාටවත් දෙන එක අමාරු වුනේ නෑ.ඇත්තම කියනවනම් උන් කිටීගේ බඩේ ඉදිද්දිම උන්ට ඕඩර් ආවා.ඒත් ඉතින් මේ පූස් කරදරේ ඉවසන්න බැරිව හිටියේ අපේ ආච්චිට තමයි.ආච්චි කියනවා මේ වසංගතේ ඔක්කොම කොහේ හරි ගිහින් දාන්න කියලා.ඒත් ඒ එක්කම කියනවා අරූගෙන් විතරයි කනක් ඇහිලා ඉන්න තියෙන්නේ කියලා චූටිව පෙන්නනවා.ඇත්ත තමයි චූටී කවදාවත් කෑම ඉල්ලලා අඩනවා මට ඇහිලා නෑ.ඌ ඒ තරම් හොද පූසෙක්.ඒත් මගේ ඒ සිතිවිල්ල වැරදියි කියලා ඊට ටික දවසකට පස්සේ මට තේරුනා.මං දවසක් අමු මාළු කූරියෙක් අරගෙන ඉරෙට්ටක අමුනලා චූටිට පේන්න අල්ලාගෙන හිටියා.ඌ ඇවිත් පනිනකොටම මාළුවා ඉරෙට්ටෙන් ඇදලා ගන්නවා.ඔන්න ඔය ටික ඇති චූටී පිස්සු වැටෙන්න.ඌ මහා හයියෙන් කට ඇරලා කෑ ගහනවා.......ඒත් සද්දයක් වත් නෑ.මං ලංවෙලා හොදට බැලුවා.දෙය්යනේ චූටී කෑගහනවා.ඒත් උගෙන් සද්දේ පිටවෙන්නේ නෑ.චූටී ගොළුවෙක්........අවුරුදු ගානක් ගිහිල්ලත් ඇත්තටම මටවත් අපේ ගෙදර කාටවක්වත් ඒක තේරිලා තිබුනේ නෑ.ඇත්තටම ඒක එහෙම වෙන්න පුලුවන්ද?අදටත් මට ප්‍රශ්නයක්.

ඔහොම ටික දවසක් යද්දී කිටීගේ පැටියෙකුත් අපි සුරතලේට හැදුවා.උගේ නම බූටී.අපේ අක්කගේ සුරතලා.මේ වෙනකොට චූටී ටිකෙන් ටික අපෙන් ඈත් වෙන්න අරන් හිටියේ.හිටපු ගමන් ගෙදරින් අතුරුදන් වෙනවා.ටික දවසකට පස්සේ ඔන්න හිටපු ගමන් රෑට අපි ටී වී බලබල ඉන්නකොට ජනෙල් රෙද්ද අස්සෙන් ඔලුව දාලා බලනවා.හොදට වට පිට බලලා තමයි ගේ ඇතුලට එන්නේ.මේ වෙනකොට චූටිට ඉතාම නරක පුරුද්දක් ඇතිවෙලා තිබුනා.ඒ තමයි හොරෙන් කන එක.ගෙදර කෑම මේසේ ඉටි රෙද්දේ එල්ලිලා ඉටි රෙද්දත් එක්ක භාජන ඇදලා දාලා කන්න තරම් චූටී නරක් වෙලා තිබුනා.ඊලගට බේරගන්න බැරිවුනේ නෙස්ටමෝල් ටින් එක.නියපොතු අස්සට දාලා ඌ ටින් පියන අරින හැටි මගේ ඇස් දෙකට දැකලා තියෙන නිසා මං විශ්වාස කරනවා.නැත්නම් කවුරුවත් හිතන්නේ නෑ පූසෙක් එහෙම ටින් පියන් අරීවී කියලා.චූටිගේ නරක ක්‍රියාකලාපේ නිසා ගෙදර කාටත් ඌව පේන්න බැරුව ගියා.ඌ නිකම්ම "හොර පූසා" කියන අන්වර්ථ නාමේ පටබැඳ ගත්තා.

චූටිගේ තවත් විශේෂත්වයක් වුනේ ඌ කවදාවත් වෙනත් පූසෙක්ටවත් කොටින්ම අහල පහල ගෙවල්වල හිටපු බල්ලෙක්වත් සත පහකට ගණන් නොගත්ත එක.අනිත් පූසෝ පස්සේ බල්ලෝ කොච්චර එලෙව්වත් චූටීව කන්න එක බල්ලෙක්වත් එලවනවා මම දැකලා නෑ.ඔහොම සැහෙන කාලයක් ගතවුනා.ඒ කාලය පුරාවටම චූටිත් අපේ ගෙදර කෙනෙක් වගේම ගෙදර කෙනක් නොවී වගෙත් අපිත් එක්ක හිටියා.මාත් සාමාන්‍ය පෙළ සමත්වෙලා උසස්පෙළ හදාරද්දී පන්ති යෑමේ පහසුවට මාතර නතරවුනා.ඒත් ගෙදර අපු වෙලාවට චූටී මට දකින්න හිටියා.ඒත් ඔහොම ටිකකාලයක් යනකොට චූටිව දකින්න නැතුව ගියා.මං ඒ ගැන ආච්චිගෙන් ඇහුවා.මොකද ආච්චි තමයි උගේ පරම හතුරා වෙලා හිටියේ.එතකොට ආච්චි කිව්වා "වත්ත උඩහට කොළදිවියෙක් පුරුදුවෙලා,ඌටවත් අහුවුනාද දන්නේ නෑ" කියලා.සමහරවිට චූටී කොලදිවියට අහුවෙන්න ඇති.ඒත් එහෙමවුනානම් කොලදිවියටත් සෑහෙන අමාරුවෙන්න ඇති කියලා මට හොදටම ෂුවර්.ඒත් මට සමහරවෙලාවට හිතෙනවා ඉස්සර වගේ එකපාරටම ඇවිත් ජනෙල් රෙද්ද අස්සෙන් ඔළුව දාලා බලාවි කියලා.මේක ලියන වෙලාවෙත් මං ජනේලේ දිහා බලං ඉන්නේ ඒකයි.......

Tuesday, October 8, 2013

ණය නොගෙව්වොත් මොකද වෙන්නේ ????


ඔන්න බැංකුවයි ඔබයි ලිපි පෙලේ කලින් ලිපියේ පොරොන්දුවුණු පරිදි අද මං කියන්න යන්නේ ණය මුදලක් නිසි පරිදි ගෙවාගන්න බැරිවුනොත් මොකද වෙන්නේ කියන කාරණයයි.ඒකත් කලින් ලිපියේ පරිදිම ප්‍රශ්නෝත්තර ආකාරයෙන් ඉදිරිපත් කරනවා ඔබේ පහසුව සඳහා.මං මේකෙදි කතාකරලා තියෙන්නේ ප්‍රධාන වශයෙන්ම බැංකුවලින් ගන්න ණය සම්බන්දවයි.ලීසිං ,ෆිනෑන්ස් වලදී මං මේ කියලා තියෙන කාරණා ටිකක් වෙනස්වෙන්න පුළුවන් හොඳේ...

ණය මුදලක් ගෙවාගන්න බැරිවෙන්නේ ඇයි?

අපි ණය මුදලක් ගැනීමේදී බලාපොරොත්තුවෙන ආකාරයට ණයමුදලක් ගෙවාගන්න සමහරවෙලාවට පිට බැරිවෙන්න පුළුවන්.එකට ගොඩක් හේතු බලපාන්න පුළුවන්.රෝගාබාද ,රැකියාව හෝ ආදායම් මාර්ග අහිමිවීම,ස්වභාවික විපත්,හදිසියේ ඇතිවෙන වෙනත් අත්‍යාවශ්‍ය අවශ්‍යතා නිසා මුදල් වියදම් වීම,ණය මුදල යෙදවූ කටයුත්තෙන් ආදායමක් නොලැබීම වැනි කාරණා මේ අතරින් කිහිපයක්.මේ හේතු දිහා බැලුවම අපිට පේන කාරණයක් තමයි මේ සමහර කාරනා තාවකාලිකව ඇතිවන දේවල්,ඒ වගේම සමහර කාරනා දිගුකාලීනව බලපාන දේවල් කියන එක.ඉතින් අපි අපිට ණය මුදලක් ගෙවාගන්න බැරිවුනොත් එහෙම වුනේ ඇයි කියන එක මුලින්ම හිතලා බලන්න ඕන.ඒක තාවකාලිකව ඇතිවුන දෙයක්ද නැතිනම් දිගින්දිගටම ඇතිවෙන දෙයක්ද කියලා බලන්න ඕන.අපි ඒකට දෙන විසඳුමත් රදාපවතින්නේ ඔන්න ඔය හදුනාගැනීම මත...


ණය මුදලක් ගෙවාගන්න බැරිවුනොත් ඉස්සෙල්ලම මොකද කරන්න ඕන ?

තමන් ගත්තු ණයමුදලක් ඒක වාරිකයක් හරි ගෙවාගන්න බැරි වුනොත් ඉස්සෙලම කරන්න ඕන තමන් ණය ගත්තු ආයතනය ඒ පිළිබඳව දැනුවත් කරන එක.හැබැයි ඕකේ වෙන්නේ අනිත් පැත්ත.ණය දුන්නු ආයතනයෙන් ලියුම් එවලා කෝල් දීලා කියනකම් ණය ගත්තු අය ඒ පිළිබඳව සැලකිලිමත් වෙන්නේ නෑ.එතකොට මුලදීම ඒ ආයතනය ණය ගෙවන්නා පිළිබඳව දුර්මතයක පිහිටනවා.ඊට පස්සේ හැම දේම තීරණය කරන්නේ ඒ මතයේ ඉදලා.ඒක අපිට අවාසිවෙන්න පුළුවන්.ඒක නිසා තමන් ගත්තු ණය හරිහැටි ගෙවාගන්න බැරිවුනොත් තමන් ණය ගත්තු ආයතනය එක්ක තියෙන සම්බන්දය තවත් වැඩිදියුණු කරගන්න ඕන.එතකොට තමන්ට ණය ගෙවාගන්න බැරිවුණු කාරනේට අවශ්‍ය සහනයක් පවා ලබාගන්න පුළුවන්.

ණය මුදලක වාරිකයක් දෙකක් ගෙවාගන්න බැරිවුනොත් මොකක්ද කරන්න පුළුවන්?

ඔබට ගෙවාගන්න බැරිවෙලා තියෙන්නේ ණය මුදලේ වාරිකයක් හෝ දෙකක්නම් [ හිඟ වාරික තුනකට වඩා අඩුනම් ] ඒ ණය මුදල ප්‍රතිව්‍ය්ව්හගත [restructure] කරලා දෙන්න කියලා ඔබට ඉල්ලන්න පුළුවන්.හැබැයි සාධාරණ හේතුවක් මත ණය මුදල ගෙවීම පැහැරහැරී තියෙන්න ඕන.හිතාමතා නය නොගෙවා සිටියොත් මේ සහන කිසිවක් ලබාගන්න බෑ.අනිත් කාරණේ තමයි මෙහෙම සහනයක් එක් ණයකට ලබාගන්න පුළුවන් එක අවස්තාවකදී පමණයි.ඒ වගේම හිග වාරිකවල පොලිය මෙහිදී ඔබ විසින් ගෙවිය යුතුයි.ණය මුදල ගෙවා නිමවන දිනය මෙහිදී ඉදිරියට ගෙනයාමක් තමයි සිද්ද වෙන්නේ.ඒක නිසා වාරිකයේ වෙනස් වීමක් වෙන්නේ නෑ.

ඇපේට තියෙලා තියෙන්නේ දේපලක් නම් වෙන්දේසි කරයිද ?

මේක ගොඩක් දෙනෙකුට තියෙන ගැටළුවක්.මොකද ගොඩක් අය නිවාස ණය ලබාගෙන තියෙන්නේ පදිංචි නිවස ඇපයට තියලා නිසා.මේකෙදි ණය මුදලේ ප්‍රමාණය අනුව විධි දෙකකින් තමයි නීතිය ක්‍රියාත්මක වෙන්නේ.න්‍යා මුදල හෝ ගෙවීමට ඇති ප්‍රමාණය මිලියන 5 ට වඩා වැඩිනම් වාණිජ බැංකුවලට ඇති පරාටේ බලතල අනුව එම බැංකුවල අධ්‍යක්ෂක මණ්ඩල යෝජනා සම්මතයකින් ප්‍රසිද්ද පුවත්පත්වල පළකිරීමෙන් අනතුරුව කෙලින්ම දේපල වෙන්දේසි කිරීමකින් ණය අයකරගනීමේ බලතල තියෙනවා.ණය මුදල මිලියන 5 ට වඩා අඩුනම් බැංකුවලට එහෙම කෙලින්ම දේපල වෙන්දේසියකට යන්න බැහැ.ණය කරුවන් ගෙවීමට පෙලඹවීමට බැංකුවලින් කෙලින්ම දේපල වෙන්දේසි කරනබව පැවසුවත් එසේ කිරීමට බැංකුවලට බලතල නැහැ.මේ තත්වය වෙනස්වුනේ 2011 දී පාර්ලිමේන්තුවේ සම්මත වුනු පනතකින්.ඒ අනුව ණය මුදල අයකරගැනීමට බැංකුවට අධිකරණයේ නඩුවක් පැවරීමට සිදුවෙනවා.ඉන්පසු එහි තීන්දුව අනුව පිස්කල් වෙන්දේසියක් මගින් තමයි බැංකුවලට ණය අයකරගන්න වෙන්නේ.හැබැයි එහෙමෙයි කියලා බැංකුවලින් ගත්තු ණය පැහැර හැරීමනම් නුවණැති කටයුත්තක් නෙවි.මොකද නඩු යනවා කියන්නේ තමන්ගේ මුදල් හා කාලය කියන දෙකම වැයවෙන කාරණයක් නිසා,අනිත් අතට බැංකු ණය මුදල් අයකරගැනීමට දරන සියලු වියදනුත් අන්තිමට ගෙවන්න වෙන්නේ ණයකරුටමයි.

පුද්ගල ඇප දීල තියෙන ණය මුදලක නීතිමය පැත්ත කොහොමද ?

බොහෝ දෙනෙක් දේපල ඇපයට තියෙලා ණය අරගෙන තියෙනවා වගේම පුද්ගල ඇප තියෙලා ණය අරන් තියෙන්නත් පුළුවන්නේ.එහෙම ණයක් ගෙවීම පැහැරහැරියොත් නීතිමය තත්වය මෙහෙමයි.ණය මුදල 250,000/- වඩා අඩුනම් බැංකුවට කෙලින්ම අධිකරණයේ පිහිට පතන්න බෑ.ඊට කලින් සමථ මණ්ඩලයට යොමුවෙන්න වෙනවා.ඒත් අපේ ගොඩ දෙනෙක් මේකේ තියෙන වටිනාකම තේරුම් අරන් නැහැ.සමථ මණ්ඩලය කියන්නේ සාකච්චා මේසයක්.එහිදී කතාබහ කරලා සමථයකට එන්න පුළුවන්.එහිදී යම් සහනයක් ඔබට දෙන්න බැංකුව පොරොන්දු වුනොත් අනිවාර්යෙන්ම ඒ සහනය දියයුතුයි.එසේ නොකර බැංකුව අධිකරණයට ගියොත් ඔබට ඒ සමථ සහතිකය සාක්ෂියක් හැටියට ඉදිරිපත් කරන්න පුළුවන්.හැබැයි ඉතින් එතකොට ඔබත් සමථ තීන්දුව පරිදි අදාළ දිනට මුදල් ගෙවා තිබිය යුතුයි.ණය මුදල ඊට වඩා වැඩිනම් බැංකුවලට පුළුවන් කෙලින්ම අධිකරණයට යන්න.එහිදී ඔබට එරෙහිව ණය අයකරගැනීමේ විධිවිධාන පනත යටතේ සිවිල් නඩුවක් පැවරෙනවා.ඔබ නඩුවට සහභාගී නොවුනොත් නඩුව ඒක පාර්ශ්වීයව විභාගයට ගන්නවා.නීත්දුව ඔබට එරෙහිව ලැබුනොත් බැංකුවට පුළුවන් ඇස්කීසි නියෝගයක් මගින් පිස්කල් මාර්ගයෙන් ඔබේ සහ ඔබේ ඇපකරුවන්ගේ දේපල තහනමට ගෙන විකුණා ණය පියවාගන්න.හැබැයි එහිදී ඔබේ ඇදුම්,අත්‍යාවශ්‍ය බදු බාහිරාදිය සහ රැකියාවට අවශ්‍ය දේවල් තහනමට ගන්න බැහැ.රජයේ සේවකයෙක් නම් රුපියල් 500 ක් ඉතිරි වෙද්දී මුළු වැටුපම ණය මුදලට හිලව් කරන්නත් අධිකරණ නියෝගයක් ගන්න පුළුවන්.ණය මුදලකට විතරක් නෙවි ජංගම ගිණුමකට ගත්තු අයිරාවකට වුනත් මේ නීතිය පොදුයි.ඔබ සතුව ඇති දේපල බැංකුවට හොයාගන්න බැරි වුනොත් ඔබව අධිකරණය ඉදිරියට ගෙනවිත් ප්‍රකාශයක් කරන්න ඔබට අවස්තාව දෙනවා.එහිදී දේපල පිලිබඳ ප්‍රකාශ නොකර බොරු කිව්වොත් සිර දඬුවම් පවා දෙන තරමට නීතිය ප්‍රබලයි.ඔබත් සමහර ණය වලට ඇප වී ඇති..ඒක නිසා පොඩ්ඩක් මේ ගැන සිතන්න...

CRIB [ණය තොරතුරු කාර්යංශය] එකට report වුනොත් ආයෙත් ණයක් ගන්න බැරිද ?

ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශය පිහිටුවලා තියෙන්නේ එක් එක් පුද්ගලයින්ගේ ණයගැතිභාවය සහ ගෙවීමේ හැකියාව පිලිබඳ දර්ශකයක් ලෙස මිසක් ණය නොගෙවන පුද්ගලයින්ට දඬුවම් දෙන ආයතනයක් හැටියට නෙවි.එහෙම වුනොත් ලංකාවේ බාගෙට භාගයකට ණය ගන්න බැරුව යාවි.ණය තොරතුරු කාර්යාංශයේ නොගෙවූ ණය වගේම ගෙවන ණය ගැනත් සටහන් වෙනවා.දැන් online update වෙන නිසා ඔබ හිග වාරික ගෙවූ පසු ඔබ ණය වාරික ගෙවූ බව එහි සටහන් වෙනවා.ඒත් ඉතින් සමහර ආයතන ණය මුදල් නිදහස් කිරීමේදී මේ කාරණය තදින් සොයාබලනවා.ඒත් ඉතින් ගොඩක් වෙලාවට මේ නිසා ඇපකරුවන් වෙලා ඉන්න අයනම් අපහසුතාවයට නම් පත්වෙනවා ඔවුන් ණය මුදලක් ගන්න ගියාම.CRIB ගැන වැඩිදුර විස්තර මෙතනින්..

අක්‍රමික ණය මුදලක් ගෙවන්න හදාගන්නේ කොහොමද ?

ණය මුදලක් අක්‍රමික වෙනවා කියන්නේ හිඟ වාරික තුනකට වඩා වැඩි හෝ අයිරාවක්‌ නම් අනුමත සීමාව ඉක්මවා දින 90 කට වඩා වැඩිව නොපියවී තිබීමයි.ඉතින් ඔබට හැකියාවක් තියෙනවානම් කරන්න පුළුවන් හොදම් දේ තමයි හිඟ වාරික එකවර ගෙවීම හෝ කෙටි කාලයකින් ගෙවන්න වැඩපිළිවෙලක් සාකච්චා කරගැනීම.නැතිනම් නයමුදල එකවර පියවනවානම් පොලී සහනයක් ඇතුව පියවීමට කතාකරගත් හැකියි.ඊට අමතරව ඔබට කලහැකිදේ තමයි ණය මුදල ප්‍රතිලේඛනගත [reschedule] කිරීමට ඉල්ලීම.සාමාන්යෙන් මේ සහනයත් එක්වරක් තමයි ලබාගන්න පුළුවන්.එහිදී සමහර ලිපි ලේඛන නැවත ලබාගැනීමක් සිදුවෙනවා.සමහරවිට ඔබට අලුත් සුරැකුම් ලබාදෙන්න වෙන්න පුළුවන්.ඒ වගේම ඔබේ වාරිකයත් ගෙවන කාලයත් වෙනස්වෙන්න පුළුවන්.පොලියත් විශාල ප්‍රමානයක් ගොඩ ගැසී තිබේනම් එයත් ණයක් විදිහට ගෙවන්න ඉඩපහසුව ලබාගන්න පුළුවන්.මේ ඔක්කොටම වැදගත් වෙන්නේ මං අර මුලින් කිව්ව හොඳ හිත පවත්වාගෙන යාමයි.මේ ආකාරයට ණය මුදල ගෙවනවනම් ඔබේ ගෙවීමේ හැකියාව යහපත් මට්ටමකට පැමිණ තිබිය යුතුයි.

ණය මුදල් රක්ෂණයෙන් ඇති වාසි මොනවාද ?

ණයකරුගේ ජීවිතේට අවදානමක් ඇතිනම් ණය රක්ෂණයක් ලබාගැනීම සුදුසුයි.බැංකුවලින් ඉල්ලන අනිවාර්ය අවශ්‍යතාවයක් නොවුනත් ඔබට හැකියාවක් ඇතොත් ඔබේ ණය මුදල රක්ෂණය කරවාගන්න.එතකොට ඔබට හදිසි කරදරයක් වුනොත් ණය මුදල් පියවීම රක්ෂණය විසින් භාරගන්නවා.ඒ වගේම තමයි වගා ණයක් නම් කෘෂි රක්ෂණ මණ්ඩලයේ රක්ෂණය වෙන්න.මොකද ස්වභාවික විපතකින් වගාවට හානිවුනොත් ණය පියවීමට රක්ෂණය වැදගත් වෙනවා.

ඉතින් ඔන්න ඔය කරුණු කාරනා ටික තමයි මට වැදගත් කියලා හිතුනේ.මට අමතකවුණු දෙයක් හරි ඔයාලට දැනගන්න දෙයක් හරි තියෙනවනම් Comment කරන්න.මගේ දැනුමේ තරමට උත්තර දෙන්නම් මම ඒවාට.බැංකුවයි ඔබයි කලින් ලිපිවලට මෙන්න පාර.කොහොමවුනත් මං හිතනවා මං මේ කියපුදෙවල් ටික කාටහරි වැදගත්වෙයි කියලා....

ටටා....

Wednesday, October 2, 2013

ප්‍රධාන ආරාධිත අමුත්තා......


ස්ථානය - ධවල මන්දිරය ,වොෂින්ටන් ඩී.සී. , එක්සත් ජනපදය.

වෙලාව -  පෙ.ව.5.30 ,2013.10.02

----------------------------------------------------------------------------------------

බබා... බලන්නකෝ මේ ටයි එක හොඳද කියලා...

මොකද වදේ මේ උදේ පාන්දර නැගිටගෙන බෙරිහන් දෙන්නේ,තව චුට්ටක් නිදාගමුකෝ....

අනේ බෑ පැටියෝ.....මෙහෙ බලන්නකෝ....

ම්ම්ම්......උදේ පාන්දර නැගිටගෙන මේ කොහෙද දුවන්න හදන්නේ,අද මුකුත් විශේෂ වැඩක් නැහැනේ.අනිත් එක ඔයා ඊයේ රජයත් වහලා දැම්මානේ.....

මේක විශේෂ වැඩක් බබා....මට ලැබිච්ච ආරාධනාවක්....ප්‍රධාන ආරාධිත අමුත්තා විදිහට....

ඉතින් කොහෙද ඔය ඔකේෂන් එක තියෙන්නේ...New yorkවලද...

ම්ම්ම්....එහේනම් නෙවි...ආ...ඔයා වැඩ්ඩී නම් කියමු බලන්න......

එහේනම් ඉතින් Denver වල වෙන්නැති....ඔයාගේ හොදම චක්ගෝලයෝ ඉන්නේ එහෙනේ....අනේ මටනම් බෑ ඔන්න ඕවට එන්න....

ඔයා එන්න ඕන නෑ....කොහොමත් මේකේ ආරාධනාව එවල තියෙන්නේ මට විතරයි...

ඔයාට විතරයි ආරාධනාව????.....කව්ද යකෝ රටේ ලොක්කගේ නෝනව අමතක කරපු ඒ අලුගුත්තෙරුවා....

හා..හා.... තරහ ගන්නෙපා....මේක මේ අපේ රටේ වැඩක් නෙවි....

එහෙනම් කොහේද ඕක තියෙන්නේ...

ශ්‍රී ලංකාවේ ...පැටියෝ....ශ්‍රී ලංකාවේ.....

ඉතින් මාවත් දාලා ලෝකේවටේ භාගයක් දුර යන්න තරම් මොකක්ද ඔයාට ලැබිලා තියෙන ඔච්චර මහා ලොකු ආරාධනාව....

ඔන්න ඒකනම් කියන්න බෑ....මං ගිහින් ඇවිත් ඔයාට ඔක්කොම විස්තර කියන්නම්කො...ෆොටෝත් අරන් එන්නම්.....මට පරක්කුවෙනවා.....Air Force One එක මං එනකම් Airport එකේ ස්ටාට් කරගෙන ඉන්නේ...අනේ තරහ නැතුව කියන්නකෝ මේ ටයි එක හොදද කියලා....

බැන්දට පස්සේ මෙච්චර කාලෙකට ඔයා මට නොකියා කොහෙවත් ගියේ නෑ...ඉතින් මේ එකපාරටම මොකක්ද ඔයාට වැහිච්ච මලයකා.....මට කියලා ඕන තැනක යන එකයි ඇත්තේ.....

පැටියෝ....මේ අහන්නකො...ඔයා දන්නවනේ...මට ශ්‍රී ලංකාවේ තියෙන්නේ එච්චර හොඳ ප්‍රතිරූපයක් නෙවිනේ....මේක තමයි මට ඒක වෙනස්කරගන්න තියෙන හොදම අවස්ථාව...ඉතින් ඒකයි මේකට නොයා බැරි.මං මේක ඔයාට කිව්වම ඔයාට කොච්චර වුනත් කට පරිස්සම්කරගන්න බැරුව ඕක කියවාවි ජෙනීත් එක්ක.ඉතින් ජෙනී ඕක කියාවි එයා බැඳලා ඉන්න රුසියන්කාරයට.ඔන්න එතකොට මිනිහගෙන් ඕක දැනගන්නවා රුසියාවේ පුටින්.මිනිහා මට කලින් ඔතනට ගිහිං ඕකේ ක්‍රෙඩිට් එක දාගනියි....

එහෙම වෙන්නේ නෑ....මං කොච්චර දේවල්  ජෙනීත් එක්ක කියවලා තියෙනවද...කෝ මුකුත් ප්‍රශ්නයක් වුනේ නෑනේ අද වෙනකම්....

ඒවයි මේකයි වෙනස්...මේක ගොඩා.....ක් වැදගත් අවස්ථාවක්.....

ඉහි......ඉහි......මට දැන් තේරුම් ගන්න පුළුවන්.ඔයා ඔය යන්න හදන්නේ කොහෙහරි ඉන්න සක්කරවට්ටමක් එක්ක රවුමක් ගහන්න තමයි.ඒකනේ මට කියන්න බැරි කාරණාව.....මං ඒත් සැකකළා.....ඒත් දෙය්යනේ මං හිතුවේ නෑ ඔයා මට මෙහෙම කරාවි කියලා.....මම ඇහැරුණ නිසානේ බොරුවට ටයි එක ගැන ඇහුවේ...නැත්නම් හිමින් සැරේ මාරුවෙලා යන්න තමයි මේ උදේ පාන්දර ලකලහස්තිවෙන්න ඇත්තේ...ඇදගෙන ඉන්නෙත් මනමාලයා වගේ......ශ්‍රී ලංකාවේද හනිමූන් යන්නේ....අනේ මං වගේ කරුමක්කාර ගෑනියෙක්....මං ඒත් හිතුවා....ඊයේ බිල් ක්ලින්ටන් කළා වගේ ආණ්ඩුව වහලා දැම්මා...අද මිනිහව ආදර්සෙට අරන් හොර ගෑනු පස්සේ යනවා...මටයි අර කෙල්ලෝ දෙන්නටයි පාරට බහින්න තමයි වෙන්නේ....ඉහි...ඉහි.....මං අදම යනවා අපේ අම්මලාගේ ගෙදර....තමුසේ ඕන කුදයක් ගහගන්න ඒකයි ඇත්තේ ඕන අම්මණ්ඩියෙක් එක්ක...එතකොට කෙනඩිටයි ක්ලින්ටන්ටයි පස්සේ මහා ඉහළින් නම කියෝගන්න බැරිය...හැබැයි තමුසේ හිතන්නෙපා මං තමුසෙට ලේසියෙන් එහෙම ගැලවිලා යන්න දෙයි කියලා....ඔය හිලරි වගේ නෙවි මම....මොකාවුනත් ඔය අම්මණ්ඩිගේ අඩුවක් දෙකක් කඩලා තමයි මං පස්ස බලන්නේ....

-----------------------------------------------------------------------------------------
නොවැලක්විය පෞද්ගලික හේතුවක් මත මාගේ බ්ලොගයේ 100 වෙනි පෝස්ටුව දියත් කිරීමේ මහා මංගල්‍යට සහභාගීවීමට සිටි ප්‍රධාන ආරාධිත අමුත්තාට එයට සහභාගී නොවිය හැකි බැව් මාවෙත දන්වා ඇත.එනිසා මාගේ 100 වෙනි බ්ලොග් පෝස්ටුවේ ප්‍රීතිය සහෘද ඔබ සැම සමග බෙදාගමි.

ආරාධිත අමුත්තා වෙත වෙන්කොට තිබූ 100 වෙනි Follower ගේ ස්ථානයේ මෙතෙක් අසුන්ගෙන නොසිටින Follower කෙනෙකු අසුන් ගන්නා මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

ඔබ සමග එක්ව සිටි වසරක කාලයක් තුරාවට ඔබගේ මුවගට හසරැල්ලක් සහ මනසට දැනුමක් ගෙන ඒමේ මාගේ අදිටන යම් තරමකට හෝ සාර්ථක වී යයි මම සිතමි....ඉදිරියටත් එකිනෙකට වෙනස් බ්ලොග් පොස්ටු සමගින් ඔබ හමුවීමට අදහස් කරමි...එතෙක් ඔබට සැප හා ජය....

මම ඔබේ හිතවත්....

හසරැල්....

linkwithin

Related Posts Plugin for WordPress, Blogger...