Saturday, July 20, 2013

අපේ ගම මාතර - ආනයනය කරන ලදී ......


ඔයාල දන්නවා ඇතිනේ මගේ තව බ්ලොග් එකක් තිබුනා අපේ ගම මාතර කියලා.ඒත් ඉතින් මගේ අතින් පොස්ට් ලියවෙන්නේ නැති නිසාම ඒක අභාවයට ගිහින්.ඒක නිසා ඒකෙ තියෙන වැදගත් පොස්ට් ටික මේ බ්ලොග් එකට ගේන්න මං තීරණය කළා.කියවලා නැති අය කියවලා අදහසක් දාන්නකෝ.....

මිනී නොකයි මාතර කිඹුලිගේ පැටියා










ප.ලි.-මේක දැම්මට අද හරි හෙට හරි පොස්ටුවක් දාන්න ඕනා....

Thursday, July 18, 2013

උගතමනා ශිල්පයමයි මතු රැකෙනා - The First Grader


ඔන්න ඉතින් 417 හන්දියේ කතාවලට පොඩි විරාමයක් තියලා අද වෙනත් කතාවක් කියන්න හිතුනා.අපි කවුරුත් උපන්දා ඉදලම ඉගෙන ගන්නවනේ.ඉතින් මේ ඉගෙනගැනීම කෙලවරවෙන්නේ කොතැනින්ද?කවුරුත් පිලිගන්නවා ඇතිනේ අපේ මරණ මොහොත වෙනකල්ම අපි මේ ලෝකේ යම්කිසි දෙයක් ඉගෙන ගන්නවා කියලා.

ඉතින් අද කියන්න යන්නේ ටිකක් අන්න ඒ වගේ කතාවක්.ඔයාල දන්නවා ඇතිනේ අපේ රටේ නිදහස් අධ්‍යාපනය [නිදහස්ද නැත්ද කියන එක වෙනම කතාකරමු ] තිබුනට ලෝකේ ගොඩක් රටවල එහෙම නැහැ කියලා.ඒක නිසා ගොඩක් රටවල දරුවන්ට මුලික අධ්‍යාපනයවත් හරිහැටි ලැබෙන්නේ නැහැ.විශේෂයෙන්ම අප්‍රිකානු කලාපයේ රටවල මේ තත්වය දකින්නට තියෙනවා.අන්න ඒ වගේ කෙන්යාවෙත් 2003 වෙනකල්ම තිබුනේ මුදල් ගෙවා ලබාගතයුතු අධ්‍යාපන ක්‍රමයක්.හැබැයි 2003 දී කෙන්යාවේ අලුතෙන් පත්වෙන ආණ්ඩුව නිදහස් අධ්‍යාපන ක්‍රමයක් ඇති කරනවා.ඔන්න ඔතනින් තමයි මං අද කියන්න යන කතාව පටන්ගන්නේ.



kimani maruge, අද අපේ කතා නායකයා.නිකම්ම නිකම් කෙනෙක් නෙවෙයි.මේ වෙනකොට වැඩිහිටිම ප්‍රාථමික පාසල් සිසුවා කියන ලෝක වාර්තාවට හිමිකම් කියන්නේ මේ kimani මහත්තයා.අර මං මුලින් කිව්වා වගේ 2003 දී කෙන්යාවේ නිදහස් අධ්‍යාපනය හදුන්වලා දුන්නට පස්සේ kimani ත් යනවා තමන්ට මේ වෙනකල් ලබාගන්න බැරිවුණු ඒ අමිල ධනය ලබාගන්න.ඒ ප්‍රාථමික පාසලකට.ඒ වෙනකොට kimani වයස අවුරුදු 84ක්.ඉතින් අමුතුවෙන් කියන්න ඕන නැහැනේ.kimani ගේ ඉල්ලීම කෙලින්ම ප්‍රතික්ෂේප වෙනවා.

ඒත් kimani කොහොම කොහොමහරි තමන්ගේ අරමුණ කරා ලගාවෙනවා.ඉතින් මේ කතාව ලස්සන චිත්‍රපටයකට නැගිලා තියෙනවා.kimani ගේ ඉස්කෝලේ ගමනේ අතරේදී ඔහුගේ අතීත ආවර්ජනා අපි වෙනමම ලෝකෙකට ගෙනියනවා.ඒ ගැන විස්තර චිත්‍රපටිය බලලම දැනගන්නකො.චිත්‍රපටියේ නම The First Grader.එච්චර ප්‍රසිද්ධ වුනු එකක් නොවෙන නිසා ගොඩ දෙනෙක් බලලා නැතුව ඇති.ඒත් කතාවනම් ඔයාලා කවුරුත් වගේ ආසාවෙන් බලාවි කියලා මං හිතනවා.ඒ වගේම මේ චිත්‍රපටිය බලලා අපේ ජීවිතවලටත් ගොඩක් දේවල් එකතුකරගන්න පුළුවන්. 

ඔන්න තියෙනවා චිත්‍රපටියේ Trailer එක....



චිත්‍රපටිය බලන අය මෙතනින් ගිහින් බාගන්න...


එහෙනම් අදට එච්චරයි.බලමුකෝ මේ සතියේවත් Weekend Project එකක් දාන්න පුළුවන් වෙයිද කියලා.

Wednesday, July 17, 2013

417 හන්දියේ කතා.....



කොහෙන් පටන් ගන්නදැයි හිතාගන්නට බැහැ.ඒ තරම් දේවල් ඔළුවට එනවා.අපේ ලමාකාලයේ සුන්දර ,අසුන්දර,භයානක,දුක හිතෙන,සතුට දැනෙන ගොඩක් දේවල් මතකෙට එනවා.කෝකටත් එහෙනම් පටන්ගමුකෝ......

මේ රටේ 417 හන්දි තියෙන්නේ එකකි.ඒ වෙන කොහෙවත් නොව අපේ ගමේ අපේම ගෙදර ලග හන්දියයි.හැබැයි මේක බලන කෙනෙක් අපේ ගමට ඇවිත් 417 හන්දිය කොහේදැයි ඇහුවොත් උත්තර දෙන කෙනා අනුව උත්තර දෙකක් ලැබෙන්නට පුළුවන.ගමේ සාමාන්‍ය කෙනෙක්ගෙන් ඇහුවොත් "එහෙම හන්දියක් ගැන ඇහුවෙත් අදයි"යනුවෙන් පිළිතුර ලැබෙනු ඇත.ඒත් අපේ සෙට් එකේ කොල්ලෙක්ගෙන් ඇහුවොත් ටක්කෙටම "මෙන්න 417 හන්දියයයි" උත්තරේ ලැබෙනු ඇත.ඉතින් අපේ ගමේ නමක් නැති හන්දිය "417 හන්දිය" වුනේ ගමේ බස් එක නිසාය.417 කියන්නේ ගමේ බස් එකේ මාර්ග අංකයයි.

කොහොමවුනත් ඉස්සෙල්ලාම 417 හන්දිය හැදුනු හැටි බලමුකෝ.අපේ ගම මාතර නගරයට ආසන්නව පිහිටි නමුත් කුඩා ඉතා ලස්සන ගමකි.[ දැන්නම් ඒ කාලේ ගමේ තිබු ලස්සන අඩුවී ඇත්දෝයි මට විටෙක සිතේ ...]ඒ කාලයේ බොහෝ දෙනා වී ගොවිතැනේනුත් තවත් ටික දෙනෙක් ගඩොල් කර්මාන්තයෙන්ද ජීවිකාව සරිකරගත්හ.අපේ ගම ගොඩක් පැරණි ගමක් නමුත් මං අද කියන්න යන්නේ මං දන්නා කාලයේ තොරතුරු ටිකකි.

මං ඉපදුනු 80 දශකයේ අපේ ගම සෑහෙන වෙනසකට ලක්වුණි.ඒ නිල්වලා ව්‍යාපාරය නිසාය.මට මතක නැතත් නිල්වලා ව්‍යාපාරය නිසා අපේ ගමට වුනු හොද සහ නරක දෙකම ගැන අපේ තාත්තලා කතාකරනවා මට ඇසී තිබේ.ඉස්සර ගග උඩහට ඩිංගක් හරි වැස්සොත් අපේ ගමේ උන් රෙදි කරට අරගෙන දුවන්නට ලැස්ති වෙන්නට ඕනෑය.ඒ කාලයේ වැස්සොත් අනිවාර්යෙන්ම ගංවතුරකි.කුඹුරු කෙරිල්ල සිහිනයක් විතරය.මේක අපේ ගමේ විතරක් නොව අහල පහල ගම් සියල්ලේම කතාවයි.

මේ ගංවතුර විපත්තිය නිසාම නිල්වලා ගංවතුර වැලැක්වීමේ ව්‍යාපාරය ආණ්ඩුව විසින් කිරියාවට නංවන ලදී.අපේ රටේ මිනිස්සුන්ගේ ,ඉංජිනේරුවන්ගේ දැනුම සත පහකට ගණන් නොගත් ආණ්ඩුව project එක ජර්මනියේ "බෙක්" සමාගමට පවරන ලදී.සුද්දෝ ඇවිත් වැඩ පටන් ගත්තේය.යාන්තමට යන්නට හැකිව තිබු පාරවල් පළල් වුනේය.වැඩබිම්වලට පස් ගේන්නටම සුද්දෝ කුඹුරු ගොඩකර පාරවල් තැනුවෝය.අදටත් ඒ පාරවල් එසේම තිබේ.අපේ ගමේ කුඹුරු තියෙන්නේ ගගට වඩා පහලින්ය.ඒ විතරක් නොව මුහුදු මට්ටමටත් වඩා අඩි 5 ක් විතර පහලින්ය.

මේ නිසා ගංවතුර ගැලුවාට කුඹුරුවල තියෙන වතුර ආයෙත් ගගට බහින්නේ නැත.එහෙම්මම රැදිලා තිබෙන්නේය.මේකට සුද්දන් යෙදු උපායනම් ඇලවල් හාරා ඒ ඇලවල් හරහා කුඹුරුවල ඇති වතුර විශාල පොම්ප මගින් ඇද ආයෙත් ගගට දැමීමයි.එමෙන්ම ගංවතුර වැලැක්වීමට මහා විශාල වේලි බැදීමයි.ඒ අනුව අපේ ගමටත් පොම්පාගාරයක් සහ වේල්ලක් ලැබුණි.වේල්ලේ නම BR 7 ය.සුද්දන්ට මුලින්ම වැඩ වැරදුනේ ඇලවල් කපන්නට ගොසින්ය.ඇලවල් කැපු පසු හැන්දෑ කොරේට යස අගේට ගග දිගේ ඉහලට ආ කරිජ්ජ [කරදිය] කුඹුරුවලට වැදුනේය.කුබුරුවල වී වෙනුවට ටිකියා පඳුරු පිටින් වැවෙන්නට ගත්තේය.කිරල කැලේ වතුර බස්සන්නට කපපු ඇලවල් දිගේ ආ කිබුල් තඩියෝ ටික ගඟට බැහැගත්තේය.ඉන්පස්සේ මිනිහෙකුට ගගෙන් නෑම තියා ගග ලගින් යෑමත් මරුවාට අත වැනීමක් වුනේය.

ඇත්තම කියනවනම් මට මේ කාලය එතරම් මතක නැත.මට මතක එකම දේනම් ඔන්න මේ පල්ලෙහා තියෙන පින්තුරේ ජාතියේ ට්‍රක්රථය.




මේකට අපේ ගමේ මිනිස්සු කීවේ ඌරු හොම්බ කියලාය.මේ වාහනේ විශේෂත්වය පිටිපස ඇති ටේලරය වැරදිලාවත් පෙරලුනත් ඩ්‍රයිවර් ඉන්න කෑල්ල පෙල්ලෙන්නේ නැති එකය.කොහොමවුනත් මේ යකඩ යක්කු අපේ ගම අනිත් පැත්ත පෙරලුවේය.ගමේ හදපු වේල්ලේ එක කොනක් හැදුවේ අපේ ඉඩමට අල්ලලාය.ඒ වෙනකොටත් ගග පැත්තට යන්නට තිබුනු පාර මේ නිසා බන්ට් එක උඩින්යන්නට සිදුවිය.සාමාන්‍ය බස් පාර බන්ට් එකට මෙපිටින් දිවෙන්නට විය.ඒ නිසා අපේ ගෙදර ගාව නිකම්ම හන්දියක් හැදුනේය.ඒ 417 හන්දියේ උප්පත්ති කතන්දරයයි.

417 හන්දිය ඇතිවී වැඩිකලක් ගියේ නැත.දකුණ වෙලාගත් භීෂණය අපේ ගමටත් එබිකං කළේය.අපේ මිනිස්සු 88-89 භීෂනෙට මුහුණ දුන්න හැටි ඊලග පොස්ටුවෙන්.......



ප.ලි.- මේකත් හැලපය්යාගේ මොනාලිසා සීරිස්‌ එක වගේ වෙවිද මන්දා.කියන්න එන්නේ එකක්.ඒත් අන්තිමට මං කියලා තියෙන්නේ වෙන එකක්.



Tuesday, July 16, 2013

අපේ ගමේ බස් එක සහ 417 හන්දියේ කතා ...

චායාරූපය -sltbus.blogspot.com

පහුගිය දොහේ බ්ලොග් ලිවිල්ල එපාවී තිබුනේය.ඒත් ඉතින් එහෙම ඉදලාත් බැරිය.පස්සෙන් පන්නන උන්ගේ මඩ ප්‍රහාර දරාගැනීමට හොද හයිය හිතක් තිබිය යුතුය.අලුත්ම මඩ ප්‍රහාරය දේශකයාගෙනි.ඉවසීමේ සීමාව ඉක්මවා ගිය බැවින් පෝස්ට් එකක් දමන්නට සිතුනි.

අද ඉතින් ලියන්නේ අපේ ගමේ බස් එක ගැනය.ඒක ඔය උඩ තියෙන පින්තුරේ ජාතියේ එකක්ය.60 දශකයේ ඉස්සෙල්ලාම ගමට බස් එකක් ලැබුණි.එතකොට අපි ඉපදීලාවත් නැත.ඊට කලින් අපේ තාත්තලා සීයලා මාතර ගියේ බයිසිකලෙන්ය.ඒකත් නිකම්ම නිකම් පුස් බයිසිකලයෙන්ය.අපේ සීයාගේ හම්බර් බයිසිකලේ තාමත් තිබේ.ඒක තාමත් හොදින් පැදිය ඇහැකිය.දැන් තියෙන චීන ඉන්දියන් ලදරම් වගේ නෙවේය.

කොහොමවුනත් අපේ ගමට බස් එක වැටුණු පසු ගොඩක් දේවල් වෙනස් වුනේය.ගමට ලැබී තිබුනේ මුලින්ම තනි දොරේ බස් එකක්ය.ඒක අවුරුදු ගානක් සේවය කලපසු වැඩිවුණු ඉල්ලුමට ඔරොත්තු නොදෙන නිසා පෙන්ෂන් ගියේය.ඉන්පසු කරලියට ආවේ දැන් තියෙන බස් එකය.මේ කියන්නේ 80 දශකයේදී විතරය.කොහොමවුනත් මං ඉපදුනදා ඉදන් අපේ ගමට එන්නේ මේ බස් එකය.ඒ කියන්නේ අවුරුදු 30 ක් විතර දුවන්නේ මේ බස් එකයි.ඒත් තාමත් වැඩය.මං හිතන්නේ මේ වනවිට එන්ජින් 10 ක් වත් මාරුකරලා ඇතිය.ඒත් ඉතින් ගමේ මොනවා වෙනස්වුනත් බස් එකනම් වෙනස්වුනේ නැතිය.ඒක නිසා ලෝකේ කොහේසිට ආවත් ඇස් දෙක පියාගෙන වුවත් අපිට අපේ ගමේ බස් එක හොයාගත ඇහැකිය..

මාතරින් ගොඩක් ඈත නොවුනත් අපේ ගමට අපි ලොකු මහත්වනතුරුම ආවේ මේ බස් එක විතරය.දැන් ප්‍රයිවට් බස් එකකුත් දුවන නමුත් උන් දුවන්නේ සෙනග ඇත්නම් විතරය.පෝයට උන් සිල් ගනිති.ඉරිදාට දහම්පාසල් යති.හරිම ගුනයහපත්ය.හැබැයි එදත් අදත් එකසේ සේවය දෙන්නේ සීටීබී බස් එක විතරය.සෙනග හිටියත් නැතත් බස් එක හැමදාම දුවන්නේය.තියෙනදාට ගම කෙළවරටම දුවන්නේය.සෙනග නැත කියා මග හිටවන්නේ නැතිය.දුවන්නේ නැත්තේ කැඩුනොත් විතරය.

දැන්නම් බස් එක ගොඩක් දවසට කැඩෙනවාය.එතකොටනම් දැන් ගමේ ඉන්න කොල්ලෝ ආණ්ඩුවේ දෙමව්පියන් මතක් කරති.අපේ කාලයේනම් එහෙමවුනේ නැත.දවසක් අතරමගදී බස් එකේ ගියර් පෙට්ටිය කැඩී බිමට වැටුණි.කවුරුවත් මුකුත් නොකියා බස් එකෙන් බැස පයින්ම ගෙවල් බලා ගියෝය.

දැන් ගමේ ඉන්න පොඩි කොල්ලන්ට බස් එක පොෂ් මදිය.උන්ට දැන් ප්‍රයිවට් බස් එක තියෙන නිසා මේකේ යාම මදිකමකි.ප්‍රයිවට් බස් එක ගමට ආපු කාලයේ ගමේ ගොඩක් උන්ට ඒක "අලුත ගෙනා මනමාලි" වගේ වුනේය.කිරි කිරි සීට්ය.සෙට් එක දැම්මාම පපුවට පයින් ගහන්නා වාගේය.මාතර ඩිපෝවත් ඇරියේ නැත.සීටීබී බස් එකට අලුත් තීන්ත පාරක් දමාදුන්නේය.ගමේ කොල්ලෝ රැලත් වැඩේ ඇරියේ නැත.ගමේ ගෙවල් වලට ගොස් කාගෙනුත් කීය කීය හරි එකතුකොට සීටීබී බස් එකට සෙට් එකක් හා ඩ්‍රයිවර් මහත්තයා ඉන්න තැනට උඩින් LED බලුබ් පත්තුවෙන බුදු පින්තුරයක් සවිකලෝය.අපේ කාලයේ උන් ඒ වගේය.

බස් එකනිසා ගමේ ගොඩක් ළමුන්ට [මා ඇතුළුව] නගරයේ පාසල්වල ඉගෙනීමට අවස්ථාව ලැබුණි.බස් එක කැඩුණුදාට අපි ඉස්කෝලේ යන්නේ නැතිය..නොපැමිණීමට හේතුව ලෙස ලියාගෙන යන්නේද බස් එක කැඩුණු නිසා කියාය.අපේ ගමට තියෙන්නේ එක බස් එකක් විතරක් බව ඉස්කොලෙනුත් දන්නා නිසා සමාව ලැබේ.අද අපේ ගමේ දියුණුවට වැඩියෙන්ම අතදී ඇත්තේ බස් එකයයි කිව්වොත් ඒක බොරුවක් නෙවේය.සීසන් එක අරගෙන නගරයේ ඉස්කෝලවලට ගෑටු අපිවැනි ගොඩක් දෙනෙක් අද ඉන්නා තැන් ගැන බලා සතුටුවිය හැකිය.

බස් එකේ වැඩකළ ගොඩක් ඩ්‍රයිවර් මහත්තුරු කොන්දොස්තර මහත්තුරු අපේම නෑදෑයෝ වගේය.ඒ කාලයේ අපි අවුරුද්දට නෑ ගමන් යනවිට පුළුවන් කමක් ඇතොත් ඒ දෙදෙනාගේද ගෙවල්වල යන්නෙමු.අනෙත් අතට ගමේ අය ඔවුන් ඇමතුවේද අපිම හදාගත් නම් වලිනි.එක ඩ්‍රයිවර් මහත්තයෙක් ප්‍රභාකරන් වගේය.ඒ නිසා ඔහු නිකම්ම "ප්‍රභාකරන්" වුයේය.ඊටපස්සේ ඩිපෝවේ අයත් ඔහු අමතන්නේ "ප්‍රභාකරන්" කියාය.තවත් කාලයක් වැඩකළ කොන්දොස්තර මහත්තයෙක් මිටිය,මහතය.ඒ නිසා ඔහු නිකම්ම "බෝලේ අන්කල්" වුනේය.

කොච්චර හිතවත් වුනත් මේ දෙන්නා සමහර කාලවලට ගමේ උන්ගෙන් හොදහැටි බැනුම් අසන්නේය..ආණ්ඩුවෙන් අලුත් බස් අනිත් පාරවල් වලට දානවිට ගමේ උන්ට ඉහිලුම් නොදෙන්නේය.සමහර උන් හිතන විදිහට අපිට අලුත් බස් එකක් නොලැබෙන්නේ ඩ්‍රයිවර් මහත්තයා සහ කොන්දොස්තර මහත්තයා ඩිපෝවෙන් අලුත් බස් එකක් ඉල්ලන්නේ නැති නිසාය.මේ බස් එක කැඩුනාම ඩ්‍රයිවර් මහත්තයාටයි කොන්දොස්තර මහත්තයාටයි ගෙදර ඉඳං නිකම්ම පඩිකත හැකි නිසාය.හැබැයි ඉතින් target එකට දුවන නිසා බස් එක කැඩුනොත් ඒ දෙන්නාගේත් බඩට වදින බව දන්නේ කීපදෙනෙක් පමණය.

ඒ කාලයේ අපි මහා නීතිවිරෝදී වැඩද කළෙමු.උදේට ඉස්කෝලේ යනවිට අපි සීසන් එක කොන්දොස්තර මහත්තයාට දෙන්නේ නැත.
එයැයි ඉල්ලන්නෙත් නැත.ඉතින් අපි ඒ සීසන් එකෙන්ම හවස පන්තිත් යන්නෙමු.කොන්දොස්තර මහත්තයාද වැඩේ දන්නා නමුත් අපිට මුකුත් කියන්නෙත් නැතිය.ටික්කෝ [චෙකර්ලා] පනින දවසට නම් සීසන් එක කැන්සල් කිරීම අනිවාර්යෙන්ම වෙන්නේය.අපි ඉස්කෝලේ යන කාලයේ ගමේ බස් එකේ කවදාවත් හොරෙන් ගියපු කෙනෙක් අසුවී නැතිය.දවසක් අසරණ සීයා කෙනෙක් [සල්ලි නැති කම නිසාම] අසුවුනි.බස් එකේ සිටි සියල්ලෝම සල්ලි එකතුකර සීයා බේරාගත්තෙමු.

එදා ගමේ කඩේට පත්තරේ ගෙනාවේ බස් එකෙන්ය.හදිසියට අවශ්‍ය දෙයක්,අරක්කු බෝතලයක් මාතරින් ගෙන්නා ගැනීමට අවශ්‍ය වුනොත් පිහිටවුණේ බස් එකය.අදටත් ඒක එසේමය.ගමේ මරණෙට ,මගුලට,දානෙට අනිවාර්යෙන්ම සහභාගී වන දෙන්නෙකි ඩ්‍රයිවර් මහත්තයා සහ කොන්දොස්තර මහත්තයා.ඒ දවස්වල බස් එකේ අපේ ප්‍රියතම පොට් එක ඩ්‍රයිවර් මහත්තයාගේ සීට්එක පිටුපස බැට්රි පෙට්ටියයි.ඒ දවස්වල ලොකුම පොරේ යන්නේ ඔතන යෑමටය.බස් එක ගැන මට වඩා හොද මතක අපේ අක්කාට තිබෙන්නට පුළුවන.එහෙම තිබුනොත් එයෑ ඒක කොමෙන්ට් කොරන් නැතෑ.

එක පෝස්ට් එකෙන් ඉවර කරන්නට සිටියත් අදට මෙතනින් නවතින්නේය........417 හන්දියේ කතා ඊලග පෝස්ට් එකෙන් බලාපොරොත්තුවන්න.

ප.ලි. - මේක කියවපු ගොඩක් දෙනෙකුට අපේ ගම මොකක්දැයි ගැටළුවක් ඇතිවී තිබෙන්නට පුළුවන.417 කියන්නේ අපේ ගමේ බස් එකේ මාර්ග අංකයයි.ඒ නිසා ගමේ කොල්ලෝ රැල ගමේ හන්දිය නිකම්ම 417 හන්දිය කරගත්තෙමු.අපේ ගමට එන්නට ඕනෑනම් ඔය උඩ තියෙන පින්තුරේ print කරගෙන ඇවිල්ලා මාතර බස් ස්ටෑන්ඩ් එකේ ඕනෑම කෙනෙක්ගෙන් අහන්නය.එවිට අපේ ගමේ නම මොකක්දැයි දැනගන්න ඇහැකිය.

linkwithin

Related Posts Plugin for WordPress, Blogger...