Wednesday, February 27, 2013

මොළේට ව්‍යායාමයක් - පිස්සු වැටෙන වැඩක්


ඔන්න ඉතින් ටික දොහක් බ්ලොගේ පාළුවට යන්න ඇරියා.ඔන්න විරාමයට තිත තියලා අද ඉතින් පොස්ට් එකක් දාන්න හිතුනා.ඔන්න උඩ රූපේ තියෙන බඩු ගැන තමයි මං අද ලියන්නේ.දන්නා නොදන්නා ඔක්කොම දැනගන්න මේවට තමයි Rubik's Cube කියන්නේ.ගොඩක් කස්ටියනම් දැකලා ඇති නේද.මේක ප්‍රෙහෙලිකාවක්.එකපාට කැට එකපැත්තක එන විදිහට මේ කැටේ හදන්න ඕන.

අපි මුලින්ම බලමුකෝ මේක හොයාගත්තේ කවුද කියලා.මේකේ ආරම්භයනම් සිද්දවෙලා තියෙන්නේ 1974 දි.හන්ගේරියන් ජාතික මහාචාර්යවරයෙකු වුනු Ernő Rubik විසින් තමයි මේ අපූර්ව නිර්මාණය කරලා තියෙන්නේ.මුලින්ම මේක හදුන්වලා තියෙන්නේ magic cube කියලා.ඒත් rubik විසින් මේක 1980 දි Ideal Toy Corp කියන සෙල්ලම් බඩු සමාගමට මහාපරිමාණයෙන් නිෂ්පාදනය කරන්න අවසර දුන්නට පස්සේ මේක ලෝකේ වටේම පිස්සුවක් වෙනතරම් වේගයෙන් පැතිරුනා.2009 වෙනකොට මේ කැට මිලියන 350 ක් ලෝකේ පුරා විකිණී තියෙනවා.ඒ කියන්නේ ලෝකේ මේ වෙනකොට වැඩියෙන්ම විකිනුනු සෙල්ලම් බඩුව තමයි මේ Rubik's Cube.

ඉතින් මේ Rubik's Cube කියන සෙල්ලම් බඩුව මොනවගේද කියලා බලමුකෝ.සාමාන්‍ය Rubik's Cube කියන්නේ එක පැත්තක කොටු නමයක් තියෙන සුදු,කහ,රතු,කොළ,තැඹිලි,නිල් පැති වලින් සමන්විත ගණකයක්.මෙයින් සුදු සහ කහත්,කොළ සහ නිලුත්,රතු සහ තැඹිලිත් එකිනෙකට ප්‍රතිවිරුද්ද පැතිවල තියෙනවා.මේ වෙනකොට එක පැත්තක කොටු ගණන වෙනස්,හැඩය වෙනස් Rubik's Cube බිහිවෙලා තියෙනවා.උඩ පින්තුරේ තියෙන්නෙත් එයින් කිහිපයක්.මීට අමතරව පාටට අමතරව එ‍ක එක රූප එක එක පැත්තේ තියෙන Rubik's Cube තියෙනවා.

මේක හදන්න උත්සාහ කරපු අය ඉන්නවද.පිස්සු වැටෙන වැඩක් නේද?හැබැයි ඉතින් ලොකු කමකට කියවනවා නෙමෙයි මටනම් සාමන්යෙන් විනාඩි 5 කින් විතර මේක හදන්න පුළුවන්.ඔන්න පුදුම හිතෙන වැඩේ මේකයි,අපි බලමුකෝ මේකේ කැට පිහිටන්න පුළුවන් විදි කීයක්‌ තියේද කියලා.අපි සාමාන්‍ය 3x3x3 කැටයක් සලකලා බලමුකෝ මේකේ මුළු 8 ක් තියෙනවා,ඒ වගේම දාර 12 ක් තියෙනවා.එතකොට මුළු 8 වෙනස් වෙන්න පුළුවන් විධි ගණන 8 ! = 40320 යි.මේකෙන් 7 ක් වෙනස් කලාට 8 වෙනි එක වෙනස් වෙන්න පුළුවන් විධි ගණන 2187 යි.එතකොට දාර වෙනස්වෙන්න පුළුවන් විධි ගණන 12 !/2 = 239,500,800.මේකෙන් 11 ක් වෙනස්වෙන්න පුළුවන් විධිය මත තමයි 12 වෙනි දාරයේ පිහිටීම රදාපවතින්නේ.එතකොට කැටේ පිහිටීම ගණන වෙන්නේ 



පිස්සු හැදෙයි නේද?ඒත් බයවෙන්නෙපා මේකෙන් 12 න් 1 යි විසදන්න පුළුවන් විසදුම් තියෙන්නේ.අනිත්වා විසදන්න වෙන්නේ කැටේ ගලවලා තමයි.ඇත්තටම කියනම්වනම් මේකේ මීට වඩා පිහිටීම් තියෙනවා.මං ඒක මෙතන ලිව්වත් ඔයාලට පැහැදිලිවෙන එකක් නැහැ.ඇත්තම පිහිටීම ගණන
2,125,922,464,947,725,402,112,000.හරි හරි තවත් පිස්සු වැටෙන්න කලින් ඉතිරි ටිකත් කියවමුකො.

මේ කැටේ විසදන අය අතරේ තරග පවා තියෙනවා,ඒ තරග වලට කියන්නේ Speedcubing competitions කියලා.මේකේ ගීනස්‌ වාර්තා මෙන්ම ලෝක කුසලාන පවා පැවැත්වෙනවා.වැඩේ අමාරු වගේ පෙනුනට මේක විසදන්න ඕන කරන්නේ පොඩි Algorithms ටිකක් විතරයි.හරි Algorithm එක හරි තැනට ආදේශ කරන්න විතරයි මොලේ පාවිච්චි කරන්න ඕන.මම හදන්නෙත් ඒවායේ උදව්වෙන් තමා.හරි එහෙනම් විස්තර ඇතිනේ දැන් ඔයාලටත් පුළුවන් මෙයින් කැටයක් හොයාගෙන වැඩේට බහින්න.අර Algorithms ඉන්ටෙර්නෙට්  එකෙන් හොයා ගන්න පුළුවන්.ඒ වගේම තමයි දැන් digital Rubik's Cube පවා වෙළද පොලේ තියෙනවා.බලමුකෝ මේකේ world record එක කොහොමද කියලා.

මෙන්න 3x3x3 ලෝක වාර්තාව.



මෙන්න 5x5x5 ලෝක වාර්තාව.


මෙන්න තියෙනවා ගොඩක් අය මේක විසදන්න උත්සාහ කරලා අන්තිමේදී විසදන විදිහ හි....හි...


මේ ගැන වැඩි විස්තර මෙතනින් ගිහිල්ලා බලාගන්න.

Tuesday, February 19, 2013

ගලිවර්ගේ සුවිසැරිය


අපේ තාත්තට රහස් සිතියමක් හම්බවුනා..
ඒකෙ තිබුනේ නිදන් දූපතක් ගැන විස්තර ...
මේ සිතියම තාත්තාගෙන් ලබාගන්න අපි ගමන්කළ නැවේ නියමුවා දඟ දැම්ම...
තාත්තට බොහෝම හිරිහැරකරන්න ආව..
ඔය අතරේ තමයි නැව කුනාටුවකට අහුවුනේ...
නැව සුන් වුනා....
තාත්තට මොනවා උනාද දන්නේ නැහැ ..
මමයි වයිටයි කොහොමහරි පාවෙලා ආව ලිලිපුට් දූපතට ..
ලිලිපුට්ටෝ කුරුමිට්ටෝ...
ඒ අය හිතුවේ මං හතුරෙක් කියල...
ඒ වුනත් කුරුමිටි රජ්ජුරුවෝ උකුස්සගෙන් බේරගත්තුනිසා ඒ අය මාත් එක්ක යාලු උනා..
දැන් ඉතින් මට තියන එකම ප්‍රශ්නේ මගේ තාත්තව හොයාගන්න එක ..

උඩ ටික කියවාගෙන යනකොටම ගොඩක් දෙනාට මතක වෙන්නැති අද අපි කතාකරන්න යන කාටූන් එක.මේකත් සිංහල බසින් රසවත් කරලා අපිට දුන්නේ රූපවාහිනියේ ටයි මාමා ඇතුළු පිරිස විසින්.අපේ පුංචි කාලයේ අමතක නොවන මතකයන්ගෙන් එකක් තමයි මේ කාටූන් එක.

ගලිවර් කිව්වම අපේ ඔලුවට ඉස්සෙලම එන්නේ Jonathan Swift විසින් ලියපු Gulliver's Travels පොතනේ.ගොඩක් දෙනෙක් ඒ පොත හරි ඒකෙ සිංහල පරිවර්තන හරි කියවලා ඇති.ඒත් මේ කාටූන් එකනම් ඊට වඩා ටිකක් වෙනස්.මේකේ මුල් නම 
The Adventures of Gulliver.මුලින්ම රූපවාහිනියේ ගිහිල්ල තියෙන්නේ 1968 දි හරියටම කිව්වොත් 1968 සැප්තැම්බර් 14 වෙනිදා .ලංකාවෙනම් නෙමෙයි ඇමෙරිකාවේ ABC-TV චැනල් එකේ.නිෂ්පාදනය කරලා තියෙන්නේ Hanna-Barbera Productions විසින්.1968 ඉඳලා 1970 සැප්තැම්බර් 5 වෙනිදා වෙනකම් කොටස් 17 කින් තමයි කාටූන් එක නිෂ්පාදනය වෙලා තියෙන්නේ.

කතාව කෙටියෙන් කිව්වොත් මෙහෙමයි ගලිවර්ටයි ගලිවර්ගේ තාත්තටයි නිදන් දූපතක් ගැන රහස් සිතියමක් හම්බවෙනවා.ඉතින් තාත්තයි පුතයි නැව් නැගලා නිධානය සොයාගෙන යනවා.අතරමගදි නැවේ කප්පිත්තා වන කැප්ටන් ලීච් ,ඒ සිතියම ගැන දැනගන්නවා.එතකොටම නැව කුනාටුවකට අහුවෙලා විනාශ වෙනවා.ගලිවරුයි එයාගේ බල්ලා වන වයිටයි දූපතකට පාවෙලා ගිහින් බේරෙනවා.මේ දූපතේ තමයි ඉන්නේ ලිලිපුට්ටෝ.ලිලිපුට්ටෝ කියන්නේ කුරුමිට්ටෝ වගයක්.එයාලා ගලිවර්ව අත්අඩන්ගුවට ගන්නවා.කොහොමහරි ගලිවර් පස්සේ ලිලිපුට්ටන්ට උදව් කරලා එයාලත් එක්ක යාළුවෙනවා.ඊට පස්සේ එයාල එකතුවෙලා ගලිවර්ගේ තාත්තව හොයනවා.ඒ අස්සේ කැප්ටන් ලීච් මෙයාලට අංචි අදිනවා.ඔන්න ඔහොමයි කතාව යන්නේ.

පස්සේ කාලෙක ලංකාවට රූපවාහිනිය හදුන්වලා දුන්නට පස්සේ ටයිටස් තොටවත්ත ඇතුළු රූපවාහිනී හඬකැවීම් අංශයේ ඉදිරිපත්කිරීමක් හැටියට අපිටත් සිංහලෙන්ම මේ කාටූන් එක බලන්න පුළුවන් වුනා.ඒ කාටූන් එකට ටයි මාමා නම දාල තිබුනේ "ගලිවර්ගේ සුවිසැරිය" නමින්.මමනම් ඔය කාටූන් එකේ ආසම අර හැම තිස්සෙම "ඕක හරියන්නේ නෑ ....මම කිව්වේ ඕකනම් හරියන්නේ නෑ"කියන ලිලිපුට්ටට.මට නමනම් මතක නැහැ....ඉතින් ඔයාලත් පොඩි කාලේ මේක බලලා සතුටුවෙන්න ඇති කියලා මං හිතනවා.




Monday, February 18, 2013

බිව්වම කියන සින්දු මොනවද??


පහුගිය පොස්ට් ටික වගේම අදත් ලියන්න යන්නේ සින්දු ගැනම තමයි.හැබැයි අද ටිකක් වෙනස් සින්දු ටිකක් ගැන ලියන්නේ,හැබැයි ඉතින් අපේ ගොඩ දෙනෙකුටත් අදාළ මාතෘකාවක්.මං අද ලියන්නේ බිව්වම ඒ කියන්නේ බීලා වෙරිවුනාම කියන සින්දු මොනවද කියලා.

පිටරට කස්ටිය වගේ නෙමෙයි අපේ රටේ පැරණි මහලු කට්ටිය වගේම දැන් හැදෙන සමහර තරුණ ගැටයොත් මඩු විතකින් සප්පායම් වුනාම පොඩි ආතල් එකක් ගන්න සින්දු කියනවනේ.ඒකනේ කියන්නේ අපේ රටේ මිනිස්සු හරිවෙනස් කියලා.[හැබැයි ඔන්න මේකනම් කියන්න ඕනේ සින්දු කීම කෙසේවෙතත් බීම නම් මමත් අනුමතකරන්නේ නැහැ].ඔන්න ඔය වෙලාවට තමයි ගොඩක් ඇයගේ සැගවුණු ගායන දක්ෂතා කරලියට එන්නේ.මං හිතන්නේ හිතේ තියෙන ලැජ්ජාව සබකෝලය නැතිවීම ඒකට හේතුවෙනවා ඇති.

වැඩේ කියන්නේ සමහර අය මේ වෙලාවට පැරණි සින්දුවලට අලුත් ගීපද යොදා ගායන කරන එකයි.අපෙත් එකෙක් හිටියා මිනිහ ගොඩක් සින්දුවලට අලුත් පදමාලා ගොතනවා.[ඒ කියන්නේ කුණුහරුප දාලා කියන එක නෙමෙයි]ඔන්න මට මතකයි මිනිහා දවසක් පෝල් පෙරේරා මහත්තයාගේ "සුදු පාට ගවුමේ ..."සින්දුව කියනවා.මෙන්න මෙහෙමයි මිනිහා ඒක කියන්නේ."සුදු පාට ගවුමේ .....ලිඳ ගාව රවුමේ..."ඇතිනේ ,ඔන්න ඔය විදිහට තමයි.හැබැයි වැඩේ කියන්නේ ඔය සින්දුවම මිනිහා බීලා නැතිවෙලාවට හරියට කියනවා.

ඊලගට වැදගත් වෙන්නේ මේ වෙලාවට පාවිච්චිවෙන සංගීත භාණ්ඩ.ගොඩක් වෙලාවට මේ වගේ සාජ්ජ වලට ගන්නේ ඩොල්කියනේ.හොද සුදානමක් තියෙන සාජ්ජ වලදී සර්පිනාවත් තියෙනවා.ඒත් ඉතින් ගොඩක් වෙලාවට මේ වගේ පාටි දාගන්නේ ප්ලෑන් කරලා නෙමෙයිනේ ඒකනිසා මේ වෙලාවට වැඩියෙන්ම තියෙන සංගීත් භාන්ඩේ තමයි හිස් බෝතලේට රුපියලේ කාසි දෙකකින් තට්ටු කරන එක.නැත්නම් හිස් සෝඩා මෙගා බෝතලෙන් මේසෙට ගහන එක.විසිල් එකයි කටයි තමයි අනිත් සංගීත් භාණ්ඩ වෙන්නේ.ඔය සමහර සින්දු වල අතර මැද තියෙන්නේ හෝ...හෝ... ගාන තැන්[රැල්ලෙන් රැල්ලට පාවෙන ඔරුවේ...]ඒ වෙලාවට ඉතින් ඇත්තටම මූදක් ගාවට ගියා වගේ තමයි.

හරි ඊලගට බලමු කියන සින්දු මොනවද කියලා මේ වෙලාවට වැඩියෙන්ම ස්ටේජ් එකට නගින්නේ ජෝතිපාලයි කපුගෙයි නේ.පරම්පරාව මොකක්වුනත් ඔය දෙන්නා තමයි වැඩියෙන්ම මාකට්වෙන්නේ.මොකක්ද මන්දා හේතුව.ඒ දෙන්නත් හොද මදුවිත ලෝලියෝ නිසාද..?ඔතනිනුත් බෝතලේ මුල් හරියේදී වැඩියෙන්ම යන්නේ කපුගේ තමයි.ඔතනින් අනිවාර්යෙන්ම කියවෙන සින්දුවක් තමයි..සුදු නැන්දා ඇයි ගේ දොර වැහුවේ.....ඊලගට දුක හාදු දෙන රැයේ....



බෝතලේ මැදක් හරියට එනකොට ජෝතිපාල මතක වෙනවා.ජෝතිපාල ගැන ගත්තොත් අනිවාර්යෙන්ම කියවෙන්නේ "මම ගන්නෙමි කරකාර බන්දාලා ....



ඒ වගේම "මුලදී බැන්ද ආදරයක මිහිර දැන්....



වෙන වෙලාවට ඇහෙන්නේ නැති තරම් වුනාට මේ සින්දුවත් ගොඩක් වෙලාවට මේ වගේ අවස්තාවලදී ඇහෙනවා "වස්තුව ඉල්ලන කාශ්‍යප පුතුනේ...."


කොහොමින් කොහොමහරි මේ වගේ සින්දු කිහිපයක් යනකොට බෝතලෙත් ඉවරවෙන්න එනවනේ.මේ වෙලාව වෙනකොට බීට් එක ටිකක් වැඩිවෙලා වාඩිවෙලා සින්දු කියපු කිහිප දෙනෙක් ඔන්න දැන් නැගිටලා තමන්ගේ ගායන හැකියාව වගේම නර්ථන හැකියාවත් කලඑළි බස්සනවා.ඔන්න මේ වෙලාවට යන්නේ මේ වගේ සින්දු "කුසුමිලතා රේනුලතා....."


සින්දු ගැනම ලියන්න ගියොත් සමහර පාටිවගේ මේ පොස්ට් එකත් එළිවෙනකං ලියන්න පුළුවන්.හැබැයි වැඩේ කියන්නේ කවුරු කොච්චර බිව්වත් ඉරාජ්ලගේ සින්දුනම් කියන එකක් නැහැ.මොකද එතකොට නිකම්ම වෙරි බහිනවනේ...හි..හි...


Saturday, February 16, 2013

ආදරයේ විරහව දැනෙන්නේ පේරාදෙණියේ උන්ට විතරද??

මට මේක ලියන්න හිතුනේ අද උදේ කනට වැටිච්ච සින්දුවක් නිසා.හැබැයි ඉතින් මේ ගැන ලියන්නනම් මට කිසිම සුදුසුකමක් නැහැ.අපේ බ්ලොග් අවකාශෙත් පේරේ [පේරාදෙණිය විශ්ව විද්‍යාලය]ඉගෙනගත්තු කකා වගේ කට්ටිය වගේම දැනටත් ඉන්න රත්ගමයා මගේ කට්ටියත් මගේ වැරදි ඇතොත් නිවැරදි කරත්වා.

ලංකාවේ අනෙත් විශ්ව විද්‍යාලය වලට වඩා ආදරය ගැන කියනකොට කාටත් මතක  වෙන්නේ පේරේ තමයි.ඒ කියන්නේ අනිත් කැම්පස්වල උන් love කරන්නේ නෑ කියන එකද...,එහෙමත් නැත්නම් පේරේ පිහිටලා තියෙන romantic පරිසරය නිසාද?කොහොමවුනත් සින්දු ගත්තත් ,පොත්පත ගත්තත් වැඩියෙන්ම ඔය subject එකට මාකට් වෙන්නේ පේරේ තමයි.

හැබැයි ඔය හැම එකේම අනිවාර්යෙන්ම සදහන් වෙන ස්ථාන නම් කිහිපයක්ම තියෙනවා.හන්තාන එයින් එකක්,අනික මහවැලි නදිය ,ම්...ම්...තවත් තැන තියෙනවද...මල්වත්තයි,අර lovers lane ඒකයි ගැනනම් කවුරුත් ලියාලා නෑ නේද?කොහොමවුනත් මං අද ලියන්න ආවේ සින්දු ගැනනේ.ආදරය කිව්වම ඊලට එන වචනේ විරහව නේද ...ඒ නිසා මට මතක සින්දු ඔක්කොම ලියවිලා තියෙන්නේ විරහව ගැන.ඒ මොනවද ..

ඉස්සෙල්ලම මතක වුනේ ප්‍රසිද්ධම එක මේ "මේ නගරය ..."කියන්නේ මර්වින් පෙරේරා ,පද - ප්‍රේමකීර්ති අල්විස්



ඊලගට "සොඳුරිය ..කාලය කෙතරම් නපුරුද ..."කියන්නේ - අමරසිරි පීරිස් 



විරහවක්ම නොවුනට "හන්තානේ කඳු මුදුන සිසාරා..." කියන්නේ - පණ්ඩිත් අමරදේව 



මේවා campus internal ඒ කියන්නේ ඇතුලට ගියපු අය පස්සේ ලියපුවා වුනාට campus external ඒ කියන්නේ යන්න බැරිවෙච්ච කට්ටිය ගියපු කට්ටියට ලියපුවත් තියෙනවනේ ,මේක ඒ වගේ එකක් "හන්තානට පායන සඳ...." කියන්නේ - අමරසිරි පීරිස් 



මේකත් පේරේ නේද?"රඟහල දැන් ඇත අඩ අඳුරේ ...."කිව්වේ - විජේරත්න වරකාගොඩ සහ අනුලා බුලත්සිංහල,පස්සේ මේකේ අයිතියට නඩුවකුත් ගියානේද..


මටනම් මතක් වුනේ මේ ටික විතරයි.ආ.ආ.. හෝව් ..හෝව්..මේ පල්ලෙහා තියෙන එකත් උඩ ගොඩේම එකක් නේද.පදවැල ලස්සන වුනාට බීට් එකනම් විරහ ගීතයකට ගැලපෙන්නේ නැහැ ."සදලුතලේ ඔබයි මමයි..."කියන්නේ -ඉන්ද්‍රජිත් දොලමුල්ල...


වැඩේ කියන්නේ මේ එකකටවත් හරි හමන් වීඩියෝ එකක් නැති එකනේ.මට අමතක වෙච්චා අනන්තවත් ඇති,ඒවා කොමෙන්ටු හැටියට දැම්මොත් ලිපියට add කරන්න පුළුවන්.ආයෙත් කියන්නේ මගේ වැරදි ඇතොත් නිවැරදි කරත්වා.දැන් ඉතින් මේවා අහලා බලලා අපේ ඉගෙන ගන්න උන් පේරාදෙණියටම යන්න වැඩකොරනවා හොදයි.....හි..හි..


ප.ලි....

වැඩිය අහලා නැතත් ඔන්න මෙන්න මේකත් ඔය ගොඩේමයි
සරසවියේදී හෙට විතරයි හමුවන්නේ, කියන්නේ - දයාරත්න රණතුංග 


මෙන්න අපේ මානවක මතක කරපු සින්දුව
හන්තාන දෙසින් එන ...,කියන්නේ-කරුණාරත්න දිවුල්ගනේ 



මෙන්න නිර්මලා මධුශානි මතක කල සින්දුව
හන්තාන කදුවැටිය ...-කියන්නේ අමරසිරි පීරිස් [මොකද මන්දා අමරසිරි පීරිස් පේරේ ගැන මෙච්චර සින්දු කියලා තියෙන්නේ ]


Wednesday, February 13, 2013

අර්ධ ශතකය සමගින් දන්නා කෙනෙක් ගැන නොදන්නා දේවල්

පින්තුරය ගත්තේ - http://reflectionscenter.com

ඔන්න යාලුවනේ එහෙනම් හසරැල්ලක් බ්ලොගේ 50 වෙනි පියවරට පැමිණි ඔයාලව සාදරයෙන් පිලිගන්නවා.ඇත්තටම මටත් හිතාගන්න බැහැ පොස්ට් 50 ක් මේ තරම් ඉක්මනට දැම්මද කියලා.අවුරදු 2 ක් 3 ක් විතර බ්ලොග් කියෙව්වට පස්සේ මේ බ්ලොග් එක මං පටන්ගත්තේ 2011 දී වුනත් එක පොස්ට් එකකට විතරක් සීමාවුණා.වැඩේ හරියටම නැගලා යන්න ගත්තේ 2012 නොවැම්බර් වලදී මං තවත් බ්ලොග් එකක් වුනු අපේ ගම මාතර පටන් ගත්තට පස්සේ. ඊට පස්සේ ඒ බ්ලොග් එක ලියන වැඩේ අතරමග නැවතුනත් මගේ ප්‍රධාන බ්ලොග් එක වුනු මේක දිගින් දිගටම ලියවුනා.ඉතින් කොහොමහරි මාස 3 කින් විතර පොස්ට් 50 ක් දාන්න පුළුවන් වුනා කියන්නේ මටනම් ලොකු ජයග්‍රහණයක්‌..මොකද මං මේ පොස්ට් කොටන්නේ හවස වැඩ ඇරිලා ඇවිත් ගෙවෙන පැය කිහිපයේදී.

බ්ලොග් එක ගැන කියද්දී මං මේ දේනම් අනිවාර්යෙන්ම සදහන් කරන්න ඕන.ජීවිතේ ප්‍රශ්න ගොඩකින් හෙම්බත් වෙලා හිටපු කාලෙක පටන් ගත්තු මේ බ්ලොග් එකනිසා මට ජීවිතේ දිහා අලුත් විදිහකට බලන්න පුළුවන් වුනා.ඒක තමයි මං මේ බ්ලොග් ලියවිල්ලෙන් ලබපු ලොකුම දේ.ඒ වගේම ඔයාලට මගේ බ්ලොග් එක කියෙව්වොත් දකින්න පුළුවන් මං ගොඩක් පොස්ට් ලියලා තියෙන්නේ අතීත සැමරුම් ගැන කියලා.ඒකට හේතුවෙන්න ඇත්තේ මට හොද වර්තමානයක් නොතිබුනාට ලස්සන අතීතයක් තිබුණු නිසා වෙන්න ඇති.ඇත්තටම ඒ ලස්සන ළමා කාලයට වගේම ඉස්කෝලේ කාලෙටත් මං දැනුත් හිතින් ගමන් කරනවා.

ඒ වගේම මං මගේ බ්ලොග් එක "හසරැල්ලක්" කියලා නම් කරන්න වුනු හේතුවත් කිව්වනම් හොදයි කියලා හිතෙනවා.මගේ නමේ මැද කොටස තමයි හසරැල් කියන්නේ. මගේ අම්මා තමයි මට නම දාලා තියෙන්නේ.ඒත් ජීවිතේ හසරැල්ල අඩුවෙන්ම තිබුණු කාලයක් නිසා වෙන්න ඇති මටත් නොදැනීම බ්ලොග් ඒකෙ නම "හසරැල්ලක්" වුනේ.අනිත් එක මං විශ්වාසකරන දෙයක් තමා අපිට තවත් කෙනෙකුට නොමිලේම දෙන්න පුළුවන් හොදම සංග්‍රහය තමා හසරැල්ලක් කියන්නේ.ලෝකේ ගොඩ දෙනෙක් පිළිගන්න කාරණයක් තමා ලංකාවේ මිනිස්සු ලෝකේ වෙනත් රටවල මිනිස්සුන්ට වඩා සිනහසෙන කොටසක් බව.බ්ලොග් එකේ නම තියෙන බැනර් එක හදලා දුන්නේ මගේ අය්යා.ඒ වගේම මගේ අක්කත් බ්ලොග් එකක් ලියනවා.සමහරවිට ඔයාලා එයාගේ බ්ලොග් එකත් කියවලා ඇති කියලා මං හිතනවා.

මේ බ්ලොග් කෙරුවාවේදී මං ආසාවෙන්ම කරපු වැඩක් තමා weekend project එක.පොඩි කාලේදී අපි හදපු කියපුවා අපේ පොඩි උන්ටත් බලාගන්න පුළුවන් විදිහට බ්ලොග් අවකාශේ සටහන් කරන්න පුළුවන් වුනු එක මට ගොඩක්ම සතුටු කාරණයක්.දැනට වැඩේ පොඩ්ඩක් නැවතිලා තියෙන්නේ නිර්මානවලට ඕන අමුද්‍රව්‍ය සොයාගන්න අපහසු නිසා.මගේ බලාපොරොත්තුව වන ගමට ස්ථාන මාරුවක් ලැබුනොත් නම් වැඩේ ආයෙත් පටන්ගන්න පුළුවන්.ඒ වගේම මගේ රාජකාරි ක්ෂේත්‍රය වන බැංකු වැඩ ගැන බැංකුවයි ඔබයි පාඩම් මාලාවෙන් ගොඩ දෙනෙක් නොදන්නා කරුණු දැනගෙන තිබුනා ඒකත් මට සතුටක්.

ඒ වගේම කියන්න ඕන දැනට නැවතිලා තියෙන අපේ ගම මාතර බ්ලොග් එකත් ගමට ස්ථාන මාරුවක් ලැබුනොත් නැවත පටන්ගන්න බව.එතෙක් මාතරවාසීන් ඇතුළු සියලු බ්ලොග්වාසීන් කමත්වා.තවත් පොඩි දෙයක් කියන්න ඕන මං සමහරවෙලාවට පොඩි පොඩි දේවල් ගැන මට හිතෙන විදිහට මගේ විචාර දානවා.ඒවායේ මටත් නොදැනීම දේශපාලන සිද්දීන් සම්බන්ධවෙලා තියෙන්න පුළුවන්.ඒත් දේශපාලනය කියන්නේ මං අකමැතිම මාතෘකාවක්.ඒවාට ඔයාලා දාන කොමෙන්ට් වලට සමහරවෙලාවට මං අදහස් ප්‍රකාශ නොකරන්නේ ඒකයි.

අනිත් එක මං අවස්ථාව තිබුනත් රාජකාරි වෙලාවේදී ප්‍රතිපත්තියක් විදිහට අන්තර්ජාලයට පිවිසෙන්නේ නැහැ.ඒ නිසා රෑ වෙලා දාන පොස්ට්වලට ඔයාල දාන කොමෙන්ට් වලට මං උත්තර නොදෙන්න පුළුවන්.කොහොමවුනත් මේ කාලසීමාව තුලදී මගේ බ්ලොග් එකට පිවිසුණු.ලිපි කියවපු,අදහස් දක්වපු ඔයාල ඔක්කොටම ස්තුතියි.මගේ බ්ලොග් එකේ මුණු පොතේ පිටුවට මෙතනින් ගිහිල්ලා එකතු වුනොත් මං ලිපි පලකලාම මුණු පොතෙනුත් ඔයාලට ඔත්තුවක් ලැබෙයි.මං ගොඩක් අයගේ බ්ලොග් කියෙව්වත් කොමෙන්ට් කරන්නේ සමහරවෙලාවට විතරයි.ඒ මට තියෙන සීමිත කාලසීමාව නිසා හොදේ.ඒ වගේම මගේ බ්ලොග් අඩවිය සින්ඩිකේටර වලට ඇතුළු කරගෙන උදව්කල ඒවායේ හිමිකරුවන්ටත් මං මේ වෙලාවේ ස්තුතිවන්ත වෙනවා.

අර්ධ ශතකය ගහපුවෙලේ නිකම්ම අවුට් වෙලා යන්න හොද නැතිනිසා පින්තුර ටිකකුත් එක්ක ඔයාල සමහරවිට දන්නා කෙනෙක් ගැන නොදන්නා කරුණු ටිකක් දාන්න හිතුවා.ඔන්න එහෙනම් බලමුකෝ ......


Nike සමාගමේ මැලේසියාවේ කර්මාන්ත ශාලාවේ සියලුම සේවකයින් වසරක් තුලදී ලබන ආදායමේ එකතුවට වඩා වැඩි මුදලක් Nike සමාගම විසින් Micheal Jordan ට ගෙවනවා.



Adolf Hitler ලැබෙන්න සිටි අවස්ථාවේදී ඔහුගේ මව ගබ්සාවකට සුදානම් වුවත් එය වලක්වා ඇත්තේ ඇයගේ දොස්තර විසින්.



සුප්‍රසිද්ධ micky mouse නිර්මාණය කල Walt disney මීයන්ට අධික ලෙස බිය දක්වුවෙක්.


Ernest Vincent Wright නමැති මේ ලේඛකයා Gadsby නමින් පොතක් ලියා තිබෙනවා.එහි ඇතුලත් වචන 50000 න් කිසිම වචනයක E අක්ෂරය සදහන්වෙන්නේ නැහැ.


virginiya woolf තමන්ගේ සියලුම පොත් ලියා ඇත්තේ සිටගෙනයි.


albert einstein ට වයස අවුරුදු 9 ක් වනතුරුත් හරිහැටි කතාකරගනීමට බැරිව තිබෙනවා.ඔහුගේ මව්පියන් සිතා ඇත්තේ ඔහුට මානසික අපොහොසත් බවක් ඇති කියල..


kermit කියන රූකඩ ගෙම්බා වමත්කාරයෙක්.


Donald Duck නමේ මැද කොටස තමයි Fauntleroy කියන්නේ.


Napolean තමන්ගේ යුද්ධ සැලසුම් කරලා තියෙන්නේ වැලි පිල්ලක.    [ඒ කියන්නේ වැලි අතුරපු පෙට්ටියක]


Marilyn Monroe ගේ කකුලක ඇඟිලි 6 ක් තිබිලා තියෙනවා.

එහෙනම් ටටා බයි බායි.....

ප.ලි.-පස්සේ කාලෙක අපේ ගම මාතර බ්ලොග් එකේ පොස්ට් ආනයනය කළනිසා මේක 50 වෙනි පොස්ට් එක විදිහට පෙන්නන්නේ නෑ.ඒත් මේක තමයි මේ බ්ලොග් එකේ 50 වෙනි පොස්ට් එක 

Tuesday, February 12, 2013

මහත්තයා ගෙවන්නේ Credit Card එකෙන්ද ??....

පින්තුරය ගත්තේ -http://finance.yahoo.com

ටික දවසකින් මුකුත් ලියන්නවත් බ්ලොග් කියවන්නවත් වුනේ නැහැ.ඔන්න ඉතින් අද පොස්ට් එකක් දාන්න ඕන කියලා හිතුනා.අපේ බැංකුවයි ඔබයි පන්තියත් එහෙම්ම නැවතුනානේ.අද මං කියලා දෙන්නේ  Credit Card ගැන.ඔන්න සමහර අයනම් දැන්ම පොස්ට් එක කියවන එක නවත්තලා දාවී නේද?හෝව් ..හෝව් .. පොඩ්ඩක් ඉන්න මං කියන්න යන්නේ  Credit Card පාවිච්චි කරන හැටිනම් නෙමෙයි.මං කියන්න යන්නේ කොහොමද  Credit Card ආරම්භ වුනේ සහ පරිණාමනය වුනේ කියලයි.

 Credit Card  නැත්නම් ණය කාඩ්පත් ඇතිවීමට හේතුවුනේ මීට අවුරුදු 95 කට විතර කලින් නිව්යෝර්ක් නගරයේදී වුනු එක්තරා සිද්දියක්.ඒ කාලේ ඇමෙරිකාවේ හිටපු ධනවත් ව්‍යාපාරිකයෙකු වුනු ෆ්රෑන්ක් මක්නමාරා මහත්තයා තමන්ගේ යාලු මිත්තරයෝ කිහිප දෙනෙක්ට නිව්යෝර්ක් වල අවන්හලක පොඩි පාර්ටි එකක් දීලා තියෙනවා.පාර්ටිය ඉවරවෙලා බිල ගෙවන්න යද්දී තමයි මෑන්ට දෙලෝ රත්වෙලා තියෙන්නේ .මොකොද මෑන් පර්ස් එක ගෙදර දාලා ඇවිත්.මේ වෙලාවේ යාන්තම් අවන්හලේ පාලකයෝත් එක්ක කතාකරලා පොරොන්දු පත්‍රයකට අත්සන් කරලා මැක්නමාරා ගෙදර ගිහින් පහුවදා ඇවිත් බිල ගෙවලා තියෙනවා.[අපිට වුනානම් තාමත් පිගන් හෝදනවා..]ඉතින් මේ සංකල්පය උඩ Dinners Club Card නම් කාඩ්පත් ඇතිවෙලා තියෙනවා.[ Credit Card මුලින්ම ඕන වුනත් දැන් ඕනවෙන්නෙත් එකම දේවල්වලට නේද??]

මේ සිද්දියට කලිනුත් එක එක  Credit Card භාවිතාවෙලා තියෙනවා.ඒත් ඒවා භාවිතා වෙලා තියෙන්නේ එක තැනකින් බඩු ගන්න පුළුවන් විදිහට විතරයි,අර දැන් තියෙන loyalty card වගේ.[හැබැයි  loyalty card වලින් වෙන්නේ වෙනත් දෙයක්,පටලොගන්නේපා ]පස්සෙන් පහු මේ සංකල්පය දියුණුවෙලා 1946 දී bush national bank ද 1951 දී  franklin national bank ද 1958 දී  bank of america ද මුලින්ම ණය කාඩ්පත් හදුන්වලා දීල තියෙනවා.පස්සේ 70 දශකයේදී bank of america තවත් මුල්‍ය ආයතන කිහිපයක් සමග එක්කහුවෙලා visa international සහ master card international නමින් වෙන වෙනම ව්‍යාපාර දෙකක් ආරම්භ කරලා තියෙනවා.ඒ ව්‍යාපාර තමයි අදටත් ලෝකේ වැඩිම ණය කාඩ්පත් නිකුත් කරන ආයතන දෙක.

ඔයාල Credit Card එකක මුලික අංග දන්නවාද?ඔයාලගේ ලග තියෙන Credit Card එකත අතට අරගෙන මේ වගේද බලන්නකෝ,මේකේ තියෙන chip එකනම් සමහරවිට ඔයාලගේ එකේ නැතුව ඇති.



අපේ සිරි ලංකාවේ මුලින්ම Credit Card හදුන්වලා දීල තියෙන්නේ 1979 වසරේදී golden key ආයතනයයි.Credit Card කිව්වට මේක දීලා තියෙන්නේ මුදල් ඇපයක්‌ තියාගෙන [අර පහුගිය කාලේ එක බැංකුවක් හැම කෙනාටම Credit Card දුන්නා වගේ ],බැංකු අතරින් ලංකා බැංකුව 1989 දී සහ මහජන බැංකුව 1990 දී ණය කාඩ්පත් හදුන්වලා දීලා තියෙනවා.අද වෙනකොට ලංකාවේ හැම වාණිජ බැංකුවක් වගේ Credit Card නිකුත් කරනවා.

මේ වෙනකොට visa,master,amex භාවිතාවන ප්‍රධාන කාඩ්පත් වර්ග වන අතර ඒවායේ ගනුදෙනු ප්‍රමාණය මත classic,gold, platinum වශයෙන් වර්ග කරලා තියෙනවා.Credit Card වල තියෙන පහසුකම්ම තියෙන debit card නුත් දැන් තියෙනවා.visa electron ,mestro කියන්නේ ඒ වගේ කාඩ්පත් කිහිපයක්.debit card වල විශේෂත්වය වෙන්නේ ඒවායේදී බඩු මිලදීගන්නේ ගිනුමක තියෙන බැර ශේෂයට පමණක් නිසා පොලියක් ගෙවන්න ඕන නැහැ.

Credit Card පාවිච්චි කරන හැටිනම් මං කියලා දෙන්න ඕනා නැහැනේ.මට මතක විදිහට අපේ සුදීක අය්යත් ඔය ගැන පොස්ටුවක් දාල තිබුනා.කොහොමවුනත් මටනම් කියන්න තියෙන්නේ තමන්ට අත්යාවශ්‍යනම් විතරක් Credit Card ගන්න කියලයි.මොකද මේ වෙනකොට ලංකාවේ ගොඩ දෙනෙක් දෙපා පාමුලට ගෙනල්ලා දීපු Credit Card අරගෙන එරිලා crib එකෙත් [ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශය ] report වෙලා බැංකුවකින් ණයක්වත් ගන්න බැරි විදිහට එරිලා ඉන්න නිසා.ඒ වගේම පහුගිය කාලේ ලංකාවේ Credit Card වංචා ගොඩක් වාර්තාවුනා.ඉතින් ඒක නිසා තමන්ගේ Credit Card පාවිච්චියේදී විශේෂයෙන් online payment කරද්දී ප්‍රවේසම් වෙන්න.ලංකාවේ වෙළඳසල්වලදී  ගෙවීම් කිරීමේදී වැඩකරන සේවකයින් රිසිට්පතේ සහ Credit Card පතේ පිටුපස අත්සන සසදා නොබලීමත් මේ වංචාවලට හේතුවෙනවා.එහෙනම් අදට ඇතිනේද ?මේ ටික කොටන්නත් වෙලාව හොයාගත්තේ අමාරුවෙන්.

ඊලගට හසරැල්ලක් බ්ලොග් එකේ 50 වෙනි පොස්ට් එකෙන් හමුවෙමු.

Wednesday, February 6, 2013

අපි කවුරුද ?????

සීසීකඩ විසිරුණු සිතුවිලි 
දිය බුබුලේ නලියන පෙණකැටි වාගේ ..... නැතිවෑ
හුදකලාවේ තනිවී සිටියම
සිහින ආකරේක වැටුනා වාගේ ..... නිමක් නෑ

මොහොතින් මොහොතට ගෙවෙනා කාලය
දැනෙනවා කාටත් එක විදිහට
ගිනියම් ඉර සඳ සිසිලස
අතරේ හොයනවා හොයනවා මේ අපි කවුරුද 
ගීයකි ලොව සිතුවම් කල 
අතරේ අහනවා බලනවා මේ අපි කවුරුද 

ඉර බැසයන ගොම්මන් යාමේ
තරු එක දෙක දිලිසෙන කළු ආකාසේ 
ගලාහැලෙන රිද්මේ නැහැවී 
ඇදී යන්නේ ඈතින් ඈතට පාවී... සුළග සේ 

මොහොතින් මොහොතට ගෙවෙනා කාලය
දැනෙනවා කාටත් එක විදිහට
ගිනියම් ඉර සඳ සිසිලස
අතරේ හොයනවා හොයනවා මේ අපි කවුරුද 
ගීයකි ලොව සිතුවම් කල 
අතරේ අහනවා බලනවා මේ අපි කවුරුද 

පද රචනය/සංගීතය - සේනක බටගොඩ     ගැයුම - වායෝ 




මං සාමාන්යෙන් දැන් තියෙන සින්දුවලට කැමති නැහැ.ඒත් ඉතින් හිතට අල්ලන සින්දුවක් ඇහුනොත් කොච්චර ඇහුවත් එපා වෙන්නේත් නැහැ.මේ සින්දුවත් ඒ වගේ තමයි.සංගීත් අලුතින් වායෝ කියල මියුසික් ගෘප් එකක් පටන්ගත්තට මේ ලගදි තමයි මට මේ සින්දුව කනට වැටුනේ.අහලබලන්න සමහරවිට ඔයාලත් කැමතිවෙයි.ඒ වගේම දැන් කාලේ ඇහෙන සින්දු අතර තේරුමක් ඇති සින්දුවක්නේ මේක.නැත්ද මං අහන්නේ ..

Tuesday, February 5, 2013

අධිවේගයේ සන්ත්‍රාසය - The Fast and The Furious


ඔන්න යාලුවනේ අද මං ලියන්න හිතුවේ මගේ හිතගත් චිත්‍රපටි මාලාවක් ගැන.දක්කගමන් ඔයාලවුනත් අදුන ගන්න ඇතිනේ.ඔව් මේක තමයි සුප්‍රසිද්ද The Fast and The Furious කතාමාලාව.ලතින් ඇමෙරිකානු රටවල සුලබ සිද්දියක් වන street racing කරන සහ මංකොල්ලකාරී කටයුතුවල යෙදෙන තරුණ කණ්ඩායමක් වටා තමයි මේ කතා මාලාව ගලායන්නේ.මේ වෙනකොට චිත්‍රපටි 5 ක් පිටවෙලාතියෙනවා.6 වෙනි එකත් ලගදීම බලන්න පුළුවන් කියන ආරංචිය නිසා තමයි මේ පොස්ට් එක දාන්න හිතුනේ.මේක සුප්‍රසිද්ද Universal Pictures නිෂ්පාදනයක්.

මෙහි පළමුවෙනි චිත්‍රපටිය 2001 දී The Fast and the Furious නමින් පිටවෙනවා.මෙහි ප්‍රදාන චරිතය වන Dominic Toretto චරිතය රගපාන්නේ Vin Diesel නම් සුප්‍රසිද්ද නළුවා.ඔහුගේ පෙම්වතිය වන Letty Ortiz ගේ චරිතය රගපාන්නේ Michelle Rodriguez විසින්.ඊට අමතරව  Jesse (Chad Lindberg), Leon (Johnny Strong), Vince (Matt Schulze) කියන යහළුවන් Dominic Toretto සමග ඉලෙක්ට්‍රොනික උපාංග පැහැරගැනීමේ ජාවාරමක යෙදෙනවා.මේ අය අල්ලන්න එවන පොලිස් නිලධාරියාගේ නම තමයි  Brian O'Conner,ඒ චරිතයට පන පොවන්නේ සුප්‍රසිද්ද නළු Paul Walker විසින්.ඊට අමතරව Mia Toretto (Jordana Brewster),ඒ කියන්නේ Dominic Toretto ගේ නංගිත් අපිට මේ චිත්‍රපටියේදී මුණ ගැහෙනවා.


මේකේ දෙවැනි චිත්‍රපටිය වුනු 2 Fast 2 Furious 2003 වසරේදී තිරගතවෙනවා.මේ චිත්‍රපටියේ ඉන්නේ මුල් චිත්‍රපටියේ සිටි අයගෙන් Brian O'Conner විතරයි.ඊට අමතරව Monica Fuentes (Eva Mendes) කියන චරිතයත් අපිට හමුවෙනවා.ඊට අමතරව Roman Pearce (Tyrese Gibson) කියන Brian O'Conner ගේ පරණ යාළුවෙක් ඔහුට මුණ ගැහෙනවා මේ කතාවේදී.මත්ද්‍රව්‍ය වෙළදාමක් ගැන තමයි මේ කතාවේ සදහන් වෙන්නේ.


චිත්‍රපටි මාලාවේ තුන්වෙනි කොටස වන Tokyo Drift කතාව තිරගතවෙන්නේ 2006 වසරේදී.පලවෙනි වතාවට ලතින් අමෙරිකාවෙන් මිදිලා කතාව ජපානය දිහාට යනවා.පරණ නළුවෝ කවුරුවත්ම නැහැ,මේකේ කතාව යන්නේ ජපානයේ street racing හරහා.


හතරවෙනි කතාවේදී[ Fast & Furious 2009 ]ආයෙමත් අපිට පරන චරිත ටික හමුවෙනවා.මේකේ යන්නේ මන්පහරණ කණ්ඩායමක් සහ මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන අයගේ කතාවක්.කතාව අවසාන වෙනකොට Letty Ortiz මියයාමත් ඒ වෙනුවෙන් පලිගැනීම නිසා Dominic Toretto සිරභාරයට පත්වීමත් සිදුවනවා.ඊට අමතරව mia සහ Brian පෙමින් බැදෙනවා.කොහොමවුනත් අවසාන ජවනිකාව අනුව dominic බේරාගන්න mia සහ Brian සමත්වෙනවා.


මුල් චිත්‍රපටි හතරේම හිටපු සුපිරිම චරිත ටික මුණගැහෙන්නේ පස්වෙනි කතාවේදී,ඒක Fast Five 2011 නමින් තිරගතවෙනවා.කළු සල්ලි එක්රැස්කරන කෝටිපතියෙකුගේ මුදල් පැහැරගන්නා ආකාරය තමයි ඔවුන් මෙහිදී සැලසුම් කරන්නේ.මේ කතාවේදී dominic ගේ පරණ යාලුවෙක් වන vince මියයනවා.ඒ වගේම මේකෙදි ඔවුන්ව අල්ලන්න එන්නෙත් ලේසි පාසු කෙනෙක් නෙමෙයි,ඒ තමයි Luke Hobbs (Dwayne Johnson) කියන පොලිස් කාරයා.ඒ වගේම dominic මේ කතාවේදී ඔහුට හමුවෙන Elena Neves (Elsa Pataky) කියන පොලිස් නිලධාරිනිය සමග විවාහ වෙනවා.ඊට අමතරව mia සහ Brian නුත් විවාහ වෙනවා.චිත්‍රපටිය අවසාන වෙන්නේ dominic ගේ මියගිය පෙම්වතිය වන Letty Ortiz ගේ ජීවත්ව සිටින බවට තොරතුරු ඇතුලත් ලිපි ගොනුවක් Luke Hobbs අතට පත්වීමත් සමග


හරි ඔන්න දැනට බලපු කතාවල විස්තර එහෙමයි.මේකේ 6 වෙනි කතාවත් මේ අවුරුද්දේ අපිට බලන්න පුළුවන් වෙයි.දැනටමත් ඒකෙ trailer එකක්නම් ඇවිත් තියෙනවා.කතාවනම් හරියට කියන්න දන්නේ නෑ.කොහොමවුනත් Letty Ortiz නැවතත් කතාවට එකතුවන බවයි ආරංචිය.

ලෝකේ පුරා රසිකයන්ගේ ජනප්‍රියතාවයට පත්වුණු නිසා මේ කතාමාලාවනම් 6 වෙනි එකෙනුත් නවතින එකක් නැහැ.අධිවේගී ත්‍රාසජනක ක්‍රියා ඇතිපදම් මේ චිත්‍රපටිවල තියෙනවා.ඒ වගේම තමයි සමහර දර්ශන වැඩිහිටියන්ට වඩාත් සුදුසුබවත් කියන්න ඕන.

ඔන්න ඉතින් මේ දවස්වල බ්ලොග් බලන්න බැරිවුනු නිසා වැඩිපුර බයිට් ඉතුරුවෙච්ච උන් ඉන්නවනම් මෙතනින් ගිහින් බාගෙන බලන එකයි ඇත්තේ,වැඩිය නැහැ චිත්‍රපටි 5 ම 3 GB වෙන්නේ .හි...හි..

Monday, February 4, 2013

නිදහස අහිමි අපේ දරුවෝ


අද රටම අපේ අභිමානවත් 65 වෙනි නිදහස් සමරුව සමරනවෙලේ මට ටිකක් වෙනස් අදහසක් ආව.ඉතින් ඒක ඔයාලත් එක්ක බෙදාහදාගන්න ඒක හොදයි කියලා හිතුනු නිසා සටහන් කරනවා.

ඇත්තටම නිදහස කියන්නේ මොකක්ද?මං එහෙම කෙනෙක්ගෙන් ඇහුවොත් විවිධ අය විවිධ අදහස් දක්වන්න පුළුවන්.ඒත් මං හිතනවා අපි මේ නිදහස කියලා සමරන්නේ මුලික වශයෙන්ම අපේ චින්තන නිදහස කියලා.නැත්නම් සරලව කියනවනම් ඕන කෙනෙක්ට තමන්ට හිතෙන දෙයක් කරන්න[අනිත් අයට කරදරයක් නොවන විදියට]තමන්ට කැමති තැනක යන්න[රටේ නීතියට අනුකුලව]නැත්නම් තමන්ට හිතෙන කෑමක් ,බීමක්‌ ගන්න තියෙන නිදහස කියලා.ඒ නිදහසනේ අපිට සුද්දාගෙන් අහිමිවෙලා තිබුනේ.ඒත් ඉතින් එක්තරා අන්දමකට වර්තමානයෙත් රටේ මිනිස්සුන්ගේ චින්තන නිදහස සීමාවෙලා තියෙනවා තමයි.

ආ... කතාකරන්න ආපු දෙයින් පිට ගියානේ.මං අද කතාකරන්න බලාපොරොත්තුවුනේ වර්තමානයේ අපේ දරුවන් නිදහසක් අත්විදිනවාද ,නැද්ද යන්න ගැනනේ.අපි පොඩිකාලේ අපි වින්ද නිදහස දැන් දරුවෙක් විදිනවද කියල බැලුවොත් ගොඩ දෙනෙක් එකගවෙයි අපි විදපු නිදහසින් කොටසක්වත් දැන් ඉන්න දරුවෙක් විදින්නේ නැහැ කියලා.

ඒකට ඉතින් දෙමව්පියන්ට විතරක් දොස් කියලා හරියන්නෙත් නැහැ.එහෙමෙයි කියලා සමාජ ක්‍රමේට දොස් නැගලා හරියන්නෙත් නැහැ.අපි පොඩි කාලේ ගමේ වෙලේ ඇලේදොලේ දුව පැනලා නටලා අතක පයක් හූරගෙන කඩාගෙන හරි ගෙදර ආවා කියලා අපේ අම්මලා තාත්තලා අපේ නිදහස සීමාකරේ නෑනේ.ඒකනිසා මං හිතනවා එහෙම හැදෙන දරුවෙක් නිදහස් චින්තනයකට හිමිකම් කියනවා කියලා.අපිටත් වඩා අපේ තාත්තලාගේ කාලේ අය ඒ නිදහසට හිමිකම් කීවා.

දැන් දරුවෙක්ට බොහෝ වෙලාවට ඒ නිදහස අහිමිවෙලා තියෙනවා.නිකම් ගෙදර සෙල්ලම් කරලා තුවාලයක්හරි කරගත්තොත් ඉස්පිරිතාල ගානේ උස්සගෙන යන්නවෙනනිසා දරුවෙක්ට දුවලා පැනලා සෙල්ලමක්වත් කරන්න දැන් ඉන්න දෙමව්පියෝ ඉඩදෙන්නේ නැහැනේ.අපි ඒ කාලේ කරපු සෙල්ලම්වල තැන දැන් වීඩියෝ ගේම් අරගෙන.අනෙත් අතට අධ්‍යාපනේ ගත්තත් දරුවන් පැය 24 ම විෂය නිර්දේශේට අනුව වැඩකරවනවා මිසක කතන්දර පොතක්.කවි පොතක්වත් කියවන්න දැන් ඉන්න දරුවන්ට වෙලාවක් නැහැනේ.

අනෙක් අතට දැන් සමාජයේ දරුවන්ට හරිහමන් ආරක්ශාවක්වත් නැති නිසා දරුවෙක් පාරක තොටක ගිහින් ගෙදර එනකල් අම්මලා ඉන්නේ හිතේ ගින්දරින්.විශේෂයෙන්ම ගැහැණු දරුවන් ගැන.පුළුවන් අය තමන්ගේ දරුවන් අමතර පන්තියකටවත් නොයවා ගුරුවරු ගෙදරට ගෙනවිත් උගන්වන්නේ තමංගේ දරුවන්ගේ ආරක්ෂාව ගැන හිතලයි.ඒත් ඒ දරුවා කවදාහරි සමාජෙට තනියම මුහුණ දෙන්න ඕන දවසට ඒ දරුවා කොච්චර අසරනවෙනවාද කියලා ඒ අම්මලා හිතන්නේ නැහැ.

විශ්වාසකරන්න...මන් දන්න ගැහැණු ළමයෙක් හිටියා වයස අවුරුදු 23 ක් වුනත් ජීවිතේට කවදාවත් බස් එකක ගිහිල්ලා නැති.පවුලේ එකම දරුවා වුනු නිසා ඒ දෙමව්පියෝ ඒ වෙනතුරුත් උදේට කාර් එකෙන් ගෙනවිත් අරලනවා ,හවසට ගෙනියන්න එනවා.අපිත් එක්ක දවසක් බස් එකේ යද්දී එයා මුහුණදුන්න අපහසුතාවයන් ඒ දෙමව්පියෝ දැක්කනම් තමන් තමන්ගේ දරුවාගේ නිදහස අහිමිකරලා කරගත්තු විපත ගැන ඇත්තටම කනගාටුවේවි.

මේ අධිවේගී සමාජ ක්‍රමය අනුව අපි වින්ද නිදහස අපේ දරුවන්ට දෙන්න බැහැ කියලා ගොඩ දෙනෙක් කියාවි.ඒක ඇත්ත,ඒත් ඒ දරුවන්ගේ නිදහස වුවමනාවට වඩා සීමාකරලා ඒ අයගේ අනාගතේ අදුරු කරන්න එපා කියලා තමයි මට මේ නිදහස් දවසේ ඉල්ලන්න තියෙන්නේ....

Saturday, February 2, 2013

හම්බන්තොට Island 1st වීම නොහොත් ශ්‍රී ලාංකීය අධ්‍යාපනයේ බමුණු කුලය බිඳවැටීම

පින්තුරය ගත්තේ  - http://www.shilpasayura.org

ශ්‍රී ලාංකීය දේශපාලනයේ බමුණු කුලය බිඳවැටුනේ 1956 දීය.1956 සිදුවුණු ආණ්ඩු පෙරලිය මාර්ටින් වික්‍රමසිංහ දුටුවේ බමුණු කුලයේ බිදවැටීම ලෙසය.එලෙසම ශ්‍රී ලාංකීය අධ්‍යාපනයේ බමුණු කුලය බිදවැටුණු අවුරුද්ද ලෙස 2012 සටහන් වනු ඇත.

මා එසේ කියන්නේ 2012 උසස්පෙළ ගණිත සහ විද්‍යා අංශයන්ගෙන් දිවයිනේ ප්‍රථම ස්ථාන හිමිකරගැනීමට හම්බන්තොට වීරකැටිය රාජපක්ෂ විදුහලේ රුසිරු ගම්භීරආරච්චි සහ කසුන් ලක්මාල් සමත්ව තිබීම නිසාවෙනි,එහෙත් දිස්ත්‍රික්කය හම්බන්තොට වීම නිසාවෙනුත් පාසල වීරකැටිය රාජපක්ෂ විදුහල වීම නිසාවෙනුත් මේ දරුවන්ගේ දක්ෂතාවය දෙස සමහරුන් සමච්චලෙන් බැලීමට පුරුදුවී ඇත.ඔවුන්ට අනුවනම් ඒ ජනාධිපතිගේ ආනුභාවයයි.එහෙත් කලා,වාණිජ,තොරතුරු තාක්ෂණ මුල් ස්ථාන කොළඹ දෙවි බාලිකාවට හිමිවීම  ඔවුන්ට ගැටළුවක් නොවේ.ඔවුන්ට ඒ දරුවන් දක්ෂ දරුවන්ය.

ශ්‍රී ලාංකීය අධ්‍යාපනය අනුව තවමත් දිවයිනේ ප්‍රථම ස්ථාන හිමිවිය යුත්තේ රෝයල්, සාන්ත තෝමස් විදුහල්වලටයයි සිතන පුද්ගලයන් සිටින රටක මෙසේ වීම පුදුමයක් නොවේ.ශ්‍රී ලාංකීය අධ්‍යාපනයේ රෝයල් ආධිපත්‍ය බිදවැටී දැන් ටික කලක් ගතවී ඇත.ඉන්පසු ඒ ආධිපත්‍ය හිමිවුණේ ගාල්ල මහින්ද ,මාතර රාහුල, මහනුවර ධර්මරාජ විදුහල්වලටය.දැන් එය එහි තුන්වැනි අදියරට පිවිස ඇත.එනම් දුෂ්කර යයි හංවඩු ගැසුණු දිස්ත්‍රික්කවලින් දක්ෂයින් බිහිවීමයි.

බොහෝ දෙනෙක් මෙහි නොදකින පැත්තනම් මේ සිදුවීම එක රැයකින් සිදුවුනක් නොවීමයි.වසරින් වසර කෙමෙන් කෙමෙන් හම්බන්තොට ඇතුළු පහසුකම් අඩු දිස්ත්‍රික්කවල සිසුන් තමන්ගේ දිවයින් කුසලතාවයන් වැඩි දියුණු කරගෙන ඇත.පසුගිය වසරවල ප්‍රතිපල සසඳා බැලුවහොත් ඔබට ඒ බව පැහැදිලිවනු ඇත.රුසිරු සහ කසුන්ගේ දක්ෂතාවය එහි කූටප්‍රාප්තියයි.

පහසුකම් අඩු දිස්ත්‍රික්ක යයි පැවසීමේදී සදහන් කලයුත්තේ එම දරුවන්ට අඩු පහසුකම් මිස දක්ෂතාවය නොවන බවයි,පහසුකම්ද දැන් දැන් නගරයේ පාසල් වලටමෙන්ම ගමේ පාසල් වලටද ලැබී තිබීම සතුටට කරුණකි.අනෙක් අතට හම්බන්තොට ජනාධිපතිගේ දිස්ත්‍රික්කය වීම නිසා එම දරුවන්ට පසුගිය කාලයෙදී පහසුකම් වැඩිවී ඇත.අනෙක් අතට රුසිරු සහ කසුන් තමා ඉපදුනු ගමේ නොවී තව කිලෝමීටර් 15 ක් 20 ක් මෙහායින් ඉපදී මාතරින් උසස්පෙළ සමත්වූවානම් අද ඔවුන්ට සමච්චල් කරන කිසිවෙකු එසේ නොකරනු ඇත.

පසුගිය කාලයේ සිදුවුණු ඇතැම් සිද්ධීන් නිසා අපට විභාග දෙපාර්තමේන්තුව පිලිබඳ විශ්වාසය බිද වැටී ඇත.එය මේ දරුවන්ට ඇගිල්ල දිගුකරන සමහරුන්ට පිටිවහලක් වී ඇත.අපි කවුරුත් දන්නා පරිදි උසස්පෙළ කරන සිසුන් පාසලට වඩා දැනුම ලබාගන්නේ අමතර පන්ති සහභාගී වීමෙනි.මේ දරුවන් දෙදෙනාද අමතර පන්ති සහභාගී වීඇත.මාතර නගරයේ අමතර පන්ති කරන ගුරුවරුන් සියල්ලක්ම පාහේ තංගල්ල නගරයේද අමතර පන්ති පවත්වයි.මේ දරුවන්ද ඒ පන්තිවලට සහභාගී වී ඇත.ඒ පන්තිවලට සහභාගී වී දිවයිනේ ප්‍රථමයා වීමට මාතර රාහුලේ සිසුවෙකුට හැකිනම් එම පන්තිවලට සහභාගී වී දිවයිනේ ප්‍රථමයා වීමට වීරකැටිය රාජපක්ෂ විදුහලේ සිසුවෙකුට නොහැකි මන්දැයි මටනම් වටහාගත නොහැකිය.

අමතර පන්ති ගැන කතාකිරීමේදී ගණිත අංශයෙන් දිවයිනේ මුල් ස්ථාන රැසක් දකුණේ සිසුන්ට හිමිවීම නිසා එක්තරා වෙබ් අඩවියක් මගින් අමතර පන්ති ගුරුවරයෙකු වන ජනක අබේවර්ධන මහතාට මඩ ප්‍රහාරයක් එල්ල කර ඇත.පසුගිය සාමාන්‍ය පෙළ විභාගයේදී සිදුවුණු ප්‍රශ්න පත්තර වංචාව ගැන සදහන් කොට මේ ගුරුවරයාද එවැන්නෙකියි කීමට ඔවුන් උත්සාහ දරා ඇත.මෙහිද මට කීමට ඇත්තේ පාසල් අතරින් රෝයල් මුල්තැන ගතයුත්තන් සිතන්නේ හොදම ටියුෂන් ගුරුවරු සිටින්නේ නුගේගොඩ කියාය.


එහෙත් පසුගිය කාලයේ ගණිත අංශයේ දිවයින් කුසලතාවයන් සලකා බැලුවහොත් මාතර ඇතුළු දකුණේ සිසුන් මුල් ස්ථාන රැකගැනීමට සමත්ව ඇති බව ඔබට දැක ගැනීමට හැකිවනු ඇත.ඒ බොහෝ සිසුන්ද මේ ගුරුවරයාගේ අමතර පන්තිවලට සහභාගී වී ඇති බව ඔබට ඔවුන්ගෙන්ම අසා දැනගත හැකිය.අනෙක් අතට ඔහුට එසේ ප්‍රශ්නපත්‍ර හොරෙන් පිටකරගැනීමේ කිසිදු අවශ්‍යතාවයක් නැත.ඔහුගේ විෂය වන ව්‍යවහාර ගණිතය සම්බන්දයෙන් දකුණේ ඔහුට ඇත්තේ ඉහල ඉල්ලුමකි.ඔහු හැර වෙනත් විකල්පයක් නැත.එහෙයින් ප්‍රශ්නපත්‍ර හොරෙන් ගත්තායයි ඔහුට අලුතෙන් එකතු වන සිසුවෙක් හෝ වැඩිවන ආදායමක් නැත.

ශ්‍රී ලාංකීය අධ්‍යාපනය පසුගිය කාලයේ ඉතා සීග්‍ර අන්දමින් දියුනු වී ඇත.බොහෝ පාසල්වල පරිගණක විද්‍යාගාර ඇත.අන්තර්ජාලය යනු තව දුරටත් සිහිනයක් නොවේ.අධ්‍යාපන අවස්ථා වැඩිවී ඇත.එය දිවයින පුරා විසිරී සිටින කසුන්ලාට හා රුසිරුලාට පිටිවහලකි.මට අවසන් වශයෙන් කීමට  ඇත්තේ දුෂ්කරයයි සම්මත දිස්ත්‍රික්කවල කොල්ලන් හමුදාවටද කෙල්ලන් ගාමන්ට් වලද රැකියාව කලයුතු යයි සිතන අයට, මේ වසරේ දිවයිනේ ප්‍රථමයා මොනරාගල මහානාම විදුහලෙන් හෝ අම්පාර සේනානායක විදුහලින් බිහිවුවහොත් පුදුම නොවන ලෙසයි.

සීයාගේ දිනපොතින්..........



ඔන්න ඉතින් මං අද දාන්න හිතුවේ මගේ සීයාගේ දිනපොත්වලින් ගත්ත පොඩි විස්තර ටිකක්.මට මේක දාන්න හිතුනේ අපේ සිරා කොලුවාගේ සීයාගේ පත්තර කොලෙක්ෂන් එකේ පින්තුර ටික දැක්කමයි.

කාගේ වුනත් දිනපොත් ,ලියුම් කියවන එක හොද වැඩක් නෙමෙයි,ඒ මොකද ඒවයේ ජීවිතේ කාටවත් නොකියපු අතිශය රහසිගත දේවල් පවා තියෙන නිසා.ඒත් ඉතින් ලෝකේ ගොඩක් ප්‍රසිද්ද වුනු අයගේ දිනපොත් පොත් විදිහට පවා මුද්‍රණය වෙලා තියෙනවා.ඒවායෙන් අපේ ජීවිතවලටත්  ගන්න පුළුවන් ආදර්ශ තියෙනවා.

මං සීයා කියලා කීවාට අපේ පැත්තේ සීයලා නෑනේ.අපේ මාතර පැත්තේ ඉන්නේ මුත්තලා.ඉතින් මගේ තාත්තගේ අම්ම ඒ කියන්නේ මගේ ආච්චිගේ අය්යා වන මුත්තාගේ තමයි මේ දිනපොත්.අපි කිව්වේ සුදු මුත්තා කියලා.ඔහු නමින් එච්.එස්.පී.ජයවර්ධන.රාජකාරි කලේ මාතර කච්චේරියේ,රැකියාව ආරච්චිල,මේ කියන්නේ අර ඉස්සර ගම්වල හිටපු ආරච්චිලා ගැන නෙමෙයි,ඉස්සර රජයේ කන්තෝරුවල හිටපු ප්‍රධාන කාර්යාල කාර්ය සහායකට කිව්වේ ආරච්චිල කියලයි,ඉතින් ඒ කාලේ හිටපු දිසාපතිවරුන්ගේ කා.කා.ස. හැටියට තමයි මගේ සීයා වැඩකලේ.ඔහු 1971 දී රැකියාවෙන් විශ්‍රාම ලබනවා.

මං ඉතින් අද දිනපොත්වලින් ගත්තා කියලා දාන්නේ දිනපොත්වල මුද්‍රණය කරලා තියෙන පොඩි දැන්වීම් කීපයක් විතරයි,ඒ ඒ කාලවල රටේ සිදුවුණු සිදුවීම් දින වකවානුත් එක්ක දිනපොත්වලින් උපුටලා පස්සේ පොස්ටුවකින් දාන්නම්.මේ දිනපොත් ඔක්කොම වගේ කුඩාප්‍රමානයේ සාක්කු දිනපොත්.1950 සිට 1970 දක්වා සමහර අවුරුදුවල දිනපොත් එතන තියෙනවා.මං අද තෝරා ගත්තේ 1953 දිනමිණ සාක්කු දිනපොතේ දැන්වීම් ටිකක්..
















linkwithin

Related Posts Plugin for WordPress, Blogger...